Social Icons

Wednesday, July 3, 2013

චාපා 17



    විභාගයට තව ඇත්තේ මාස 09ක් පමණය. ජීවිතයේ ඉදිරි ගමන තීරණය කරන වැදගත් කඩඉමක් ජයගැනීමට එතරම් කාලයක් ඉතිරිව නැත. විභාගය අත ළඟට එනතුරු නොසිට පාඩම් කටයුතු දිනපතා කරන නිසාවෙන් එය මතක් වෙන විට අමුතුවෙන් හිතට බයක් එන්නෙ නැත. උසස්පෙළින් පසුව කුමක් කරන්නේදැයි තවමත් තීරණයක් ගෙන නැතත් ප‍්‍රතිපල එනතුරු පරිගණක පාඨමාලාවක් කිරීමට ආශාවක් බොහෝ කලෙක සිට තිබුණේය.
උසස් පෙළ පුනරීක්ෂණ පන්ති පටන් ගැනීම නිසා පාසැල් යාමට සිදුවූයේ සතියට දින කිහිපයකි. පුනරීක්ෂණ පන්ති මගින් පාඩම් කටයුතුවලට ලැබෙන සහය කියා නිමකල නොහැක. පාසලේදි නම් දැන් කෙරෙන දෙයක් නැති තරම්ය. විශේෂයෙන් ආර්ථික විද්‍යාව පටන්ගත් තැනමය. වැඩක්  නොකෙරුනත් පාසැල් පැමිණෙන්නේ මේ සුන්දර පාසැල් ඇදුම ඇදගෙන ගෙවන අවසන් මාස කිහිපය ගැන සිහිවන විට ඇතිවන දුක නිසාය.

"මචං දැන් මොකද තත්ත්වෙ..?"
කැන්ටිමෙන් පේලේන්ටියක් බොන ගමන් චාමර මා සමග කතාවට වැටුනේය.

"මොන තත්ත්වෙද බං..?"

"ආ.. දැන් උඹට බරපතල තත්ත්ව දෙකක්ම තියෙනවා කියලා මට අමතක උනානෙ, මම ඇහුවෙ එක්සෑම් තත්ත්වෙ ගැන..."

චාමර දෙකක්යැයි කීවේ චාපා ගැනත්ය. මට ඇය සිහිවී නිරායාසයෙන්ම මුවගට සිනහවක් ආවේය.

"බලපන්කො මුගෙ මල් හිනාව..යකෝ මූට මතක් කලත් ඇතිනෙ චාපා කෙලීව..."

"නැතුව ඉතින් තොපෙ ආච්චිව මතක් උනාම මල් හිනා දාන්නද? එක්සෑම් එක ඉතින් කොහොම හරි ගොඩ දාගන්නවා බං, ඒකෙ අවුලක් නෑ..."

"එහෙනම් අවුලක් නෑ. මම හිතුවා උඹ වෙන දේවලුත් ඔලුවට දාගෙන නිසා පාඩමක්වත් හරියට කරගන්නවාද දන්නෑ කියලා..."

චාමර මේ කියන්නේ චාපා ගැනය. මටත් වඩා මගේ විභාගය ගැන හිතන්නේ ඇයයි. 

"උඹ හිතන විදිහ වැරදියි චාමර. චාපාගෙයි මගෙයි සම්බන්ධෙ කවදාවත් ඔළුවට බරක් උනේ නැහැ. චාපා මගේ ඔළුවට ප‍්‍රශ්න ගෙනත් දැම්මෙත් නැහැ. උඹ දන්නවද දන්නෑ මටත් වඩා මගේ එක්සෑම් එක ගැන බලාපොරොත්තු තියන් ඉන්නෙ චාපා. ඒ නිසා උඹ කීයටවත් ඒ වගේ කතාවක්නම් චාපාව ගාවලා කියන්නෙපා මචං..."

චාපා ගැන වැරදියට හිතීමද පවුය. ඒ තරමට ඇය මට ආදරය කලාය.

"මචං උඹට තරහ ගියාද? මම නිකමට බං ඇහුවෙ උඹට අවුලක් නැතුව පාඩම් කරන්න පුළුවන්ද කියලා. උඹට පොඩ්ඩ ඇත්තං ඩෝං යනවනෙ..."

"ඩෝං ගියානම් මේතරම් විනීතව මම උඹට කතා කරන්නෑ මස්සිනේ. චාපා ගැන වැරදියට කතා කරන්නෙපා බං. එයා හරිම හොද කෙල්ලෙක්..."


"මොනවා උනත් උඹ කෙල්ලට හරි ආදරෙයි නේද පුතේ..."

මම සිනාසුනේය.

"හොදයි හොදයි.. කෙල්ලත් උඹට පණ ඇරගෙන ලව්. ඊයෙත් මට කිව්වා උඹ ගැන හොයලා බලන්න කියලා. නරක යාළුවො එහෙම ආශ‍්‍රය කරන්න දෙන්නෙපා කියලා..."

මට ඇයව මැවී පෙනුනි. ඇය මට සෙවනැල්ලක් මෙනි.

"චාපාට අමතක වෙන්න ඇති බං.."

"මොකක්ද?.."

"දැනටමත් මම උඹවයි කල්පවයි ආශ‍්‍රය කරනවා කියලා..."

"මම කියන්නෑ තොට..."

චාමර කැන්ටිමෙන් එළියට එන ගමන් කීවේ මගේ බඩට පහරක් ගසන ගමන්ය.

****************************************************

එදින පැහැබර දිනයක් විය. අහසද වලාකුළු වලින් තොරවී පැහැදිලි වී ඇත. මමත් චාපාත් පන්ති අවසන් වී ගම්පහ මල්වත්තට ආවේ බොහෝ දිනකින් නිදහසේ කතාකිරීමට තරම්වත් වේලාවක් නොලැබුණ නිසාවෙනි. චාපා බොහෝවිට අදින්නේ සල්වාර් ගවුම්ය. නමුත් අද ඇය සායකින් හා අත් නවනලද කමිසයකින් සැරසී සිටි නිසාවෙන් ඇය කෙරෙන් ආවේ දඟකාර පෙනුමකි. නමුත් අප මල්වත්තට පැමිණි පළමු වතාව මෙය නිසා චාපා සිටියේ තරමක බියකිනි. සති අන්තයේ දිනයක් වූ බැවින් මල් වත්තේ තැන තැන පෙම්වතුන් වැඩිදෙනෙකු ගැවසුනෝය. 

"මෙතනට ආවාට මට හරි බයයි ගිම්හාන..."
විශාල මාර ගසක් යට තිබුණ බංකුවක් මත ඉදගන්නා ගමන් ඇය කීවාය.

"කපල් ගොඩක් ඉන්න නිසාද?..."

"ම්හ්.. කවුරු හරි දැකලා ගෙදරට කියයි කියලා..."

"එහෙනම් අපි යමු..."
මම බෑගයත් අතට ගෙන යන්නට නැගිට්ටේය. ඇය මගේ අතකින් ඇද නැවත ඇය ළඟින් වාඩිකරගත්තාය.

"අම්මේ.. මෙයාට යන තරහා. මම තරහ ගන්න දෙයක් කිව්වෙ නැහැනෙ මහත්තයෝ. මම කිව්වෙ කවුරු හරි දැක්කොත් අපි දෙන්නටම හොද නැහැනෙ..."

මම කතා නොකරම සිටියේය.

"ගිම්..හා.න.."

ඒත් මම බැලුවේ නැත. ඇය වමතින් මගේ මුහුණ හරවා මගේ මගේ මුහුණ පිරිමැද්දේ ඉමහත් සෙනෙහසකිනි.

"මං දිහා බලන්න මගේ ගිම්හාන..ඇයි පොඩ්ඩ ඇත්තං තරහා ගන්නෙ ආ...මම වැරැද්දක් කිව්වද? ඔයා ඔහොම කතා නොකර ඉද්දි කොයිතරම් හිත රිදෙනවාද කියලා දන්නවද ඔයා? ඔයාගෙ පොඩි දේකිනුත් මට හරියට රිදෙනවා ගිම්හාන. බයෙන් උනත් හරිම ආසවෙන් අද ආවෙ ඔයා ඔහොම ඉන්නවා බලන්නද? මම කොයිතරම් ආදරෙයිද ඔයාට? ඇයි තේරුම්ගන්නැතුව මෙහෙම තරහ වෙන්නෙ?.."

ඇය එක දිගට කීවාය. මට තවත් මෙසේ සිටිය නොහැකිවිය. මම හිස ඔසවා ඇය දෙස බැලීය. චාපාගේ දෑස් තෙත්වී ඇත. මට දැනුන දුක කියා නිම කල නොහැකි විය. ඇයගේ නෙත්වල කදුළු දැකීමට තරම් හිත හයිය නැත.

"තරහා ගත්තෙ නැහැ සුදූ. මටත් දුක හිතුනා. දිගටම ක්ලාස් වලයි පොත්වලයි හිරවෙලා ඉදලා ඔයා ළඟට එන්නෙ හිත ටිකකට හරි නිදහස් කර ගන්න.ඒ ඇවිල්ලත් ඔයා......"

"හරි දැන් ඔය කතාව නවත්තමු..."

ඇය මගේ උරහිසට හිස ඇල කලාය. ඇගේ හිසෙන් ආවේ නොදන්නා ෂැම්පූ වර්ගයක සුවදකි. මම අපිරිමිත සෙනෙහසකින් ඇගේ හිස සිපගත්තේය. මම ඇයට කෙතරම් ආදරේ කරනවාදැයි මටම නොතේරේ.

"මොනාද කල්පනා කරන්නේ?..."
ඇය මගේ වමත දෝතින්ම අල්ලාගනිමින් ඇසුවාය.

"ඔයා ගැන.."

"මම ගැන මොනාද?..."

"ඇයි සුදූ මට මෙච්චර ආදරේ?.."

"ඒකටනම් මාත් තාම උත්තර හොයනවා...."

"ඉතිං හම්බඋනේ නැද්ද?..."

"ඔයාට ආදරේ කරන්න එක හේතුවක් විතරක් තියෙන්න බැහැනෙ ගිම්හාන. ඔයා කොයිතරම් හොදයිද? දන්නවද සමහර වෙලාවට මම තනියම කල්පනා කරනවා කොහොමද මේ දේවල් මෙහෙම උනේ කියලා. ඇත්තටම මටනම් මේ අවුරුදු එකහමාර හීනයක් වගේ..."

ඇය මගේ අතක් ගෙන සිපගත්තාය.

"දැන් මෙහෙම කියනවා.ඒ උනාට අපු අළුත බලන්නෙපැයි ආඩම්බර. නිලූලා, සදමාලිලා සේරම මාත් එක්ක කතා කලා. ඒ උනාට මෙයාගෙ ගනන්...."

"එහෙම තමයි, මම ඔය අළුතෙන් ආපු කොල්ලොන්ව ගනන් ගත්තෙවත් නෑනෙ ඒ දවස්වල..."
චාපා සිනාසෙමින් කීවාය.

"ආ.. එහෙමද? එහෙනම් දැන් ගණන්ගන්නත් එපා..."

මම ඇයගේ අත ගසා දමමින් කීවේය. ඇය නැවත මගේ ඇඟිළිකරු අතරින් ඇගේ ඇගිළි යවමින් මට තුරුළු වූවාය. 

"අනේ නැහැ ගිම්හාන. මම එයාලා වගේ නෙවෙයි කියලා ඔයා දැන් දන්නවනේ. මම ඔයත් එක්ක විතරක් නෙවෙයි අපේ පන්තියේ පිරිමි ළමයි කාත් එක්කවත් වැඩි කතා බහක් නැහැ. ඒ ලොකු කමකට නෙවෙයි. මම හැදුන හැටි. අපේ තාත්තාගෙයි අයියාගෙයි වැඩ නිසා මට පිරිමි ගැන පොඩි කාලෙ ඉදන්ම තියෙන්නෙ බයක්. මට විතරක් නෙවෙයි අපේ නංගිටත්. ඔයා දන්නවද ගිම්හාන, ඉරේෂා පුදුම උනා මම ඔයත් එක්ක යාළු උනා කිවුව දවසෙ. මොකද එයා කවදාවත් හිතුවෙ නැහැ මම කිසිම පිරිමි ළමයෙකුට කැමතිවෙයි කියලා...."

"මම වාසනාවන්තයි එහෙනම්?..."

"නැහැ.. මමයි වාසනාවන්ත. ඔයයි මට ලස්සන ජීවිතයක් දුන්නෙ. මොකක්ම හරි හේතුවක් නිසා ඔයාව මට නැති උනොත් සත්තයි මට ජීවිතයක් නැතිවෙයි...."

"මොනාද ඔය කියන්නෙ..."
ඇය තවත් මා තුරුළට වූවාය. මම ඇයගේ හිස ආදරයෙන් පිරිමැද්දේය.අපට තරමක් දුරින් සිට පෙම් යුවලක් එක්වරම සිපගත්තේය. එය දැක චාපා ලැජ්ජාවෙන් බිම බලාගත්තාය.

"මටත් එකක්?..."
මම චාපාගේ දෙනෙත් දෙස බලමින් කීය.

"මොනාද?..."

"අර ඒවයින් එකක්..."

"හොදට හිටියි...."
ඇය දෑස් ලොකු කරගනිමින් කීවාය.

"හරි හරි, දෙන්න බැරිනම් කමක් නැහැ. මට කාවවත් බලෙන් ඉඹින්න බැහැනෙ..."

මම ඉවත බලාගත්තේ මවාගත් තරහකිනි. මට සිතාගැනීමටත් නොහැකි මොහොතක චාපා මගේ මුහුණ ඇය දෙසට හරවාගෙන මගේ දෙතොල් සිපගත්තාය. සිපගෙනම සිටියාය. මාත් ඇයත් මෙලෙසින් සිපගත් පළමු අවස්ථාවයි. මට ඇය ගැන ඇතිවූ ආදරය කියා නිමකල නොහැකිවිය. මිනිත්තු කිහිපයකට පසු ඇය මගෙන් මිදී ලැජ්ජාවෙන් බිම බලාගත්තාය. නුහුරු අත්දැකීමක් බැවින් මමත් සිටියේ වික්ෂිප්ත වීය. 

"දැන් හරිද මෝඩයෝ..."
ඇය නැවතත් මගේ උරහිස මත හිස තබාගත්තාය.

"මට අද රෑට නින්ද යන එකක් නැහැ..."

"ඇයි ඒ?..."

"මෝඩිගෙ වැඩ නිසා.."

ඇය ලැජ්ජාවෙන් සිනාසුනි. අද දවස ඇත්තටම සුන්දර දිනයකි. ජීවිතයේ ලස්සනම දවස් ටික ආදරණිය හදවතක් සමගින් ගෙවන්නට ලැබීමත් කෙතරම් වාසනාවක්දැයි සිතෙයි.

"ගිම්හාන අපි යමුද? හවස් උනා..."

ඒසේ කියමින්ද තවමත් ඇයගේ හිස මගේ උරහිසේය. දෑත දෑතේ පැටලීය.

"හා යමු.. හැබැයි යන්න කලින් තව එකක් ඕනෙ..."

"පිස්සා... පස්සෙ දවසක ඇතිවෙන්න දෙන්නම්. දැන් යමු, යන ගමන් අර අක්කටයි අයියටයිත් බැනගෙන යන්න ඕනෙ.එයාලා තමයි මේ සේරටම මුල..."

ඇය කියූවෙ රණ්ඩුවට යන පොඩි දරුවෙකු මෙනි. මම සිනාසෙමින් යන්නට නැගිට්ටේය.අප ගම්පහ බස්නැවතුමට එනවිටත් හවස හයවී තිබුණි. අද වෙනදාට වඩා ප‍්‍රමාදය.බස් නැවතුම දෙසට පාර පනින විට චාපා මගේ අත තදින් අල්ලාගත්තාය.

"ගිම්හාන අර..."

චාපා හිසෙන් ඉදිරියේ අප දෙස බලා සිටින කෙනෙකු පෙන්වීය.

"කවුද ඒ?..."

"ලොකු අයියා...."


ආදරයේ හැපි පය පැකිලූනේ නම් ආදරය කවරක්ද...

(චාපා 18 වන කොටස සමගින් හමුවෙමු...)

No comments:

Post a Comment

 

Sample text

Sample Text