Social Icons

Sunday, July 14, 2013

චාපා 22



"එදා ගම්පහදි උනදේ තාත්තා දැනගත්තට පස්සෙ මගේ කම්මුලට ගහලා කිව්වා 'උඹට ඕනෙ මඟුලක් නම් හරි මම ඒක කරලා දෙන්නම්' කියලා..."

"ඉතිං..."

"මම හිතුවෙ ඒක ඒ වෙලාවෙ තරහට කියපු එකක් කියලා...ඒත්...."
ඇගේ දෙනෙතේ ආයෙමත් කදුළු පිරුණි.

"ඇයි ඒත්...?"

"ඒක නිකං කියපු කතාවක් නෙවෙයි ගිම්හාන, මට ඇහුනා ඊයෙ අම්මා තාත්තත් එක්ක ෆෝන් එකෙන් රණ්ඩු වෙනවා ඒ ළමයාට මොන කසාදද කියලා..."

"මොකකද වෙලා තියෙන්නෙ කියලා මට හරියට කියන්න සුදූ.. මට මුකුත් තේරෙන්නෑ..."

"තේරුම් ගන්නත් එපා රත්තරං. අපේ තාත්තාගෙ යාළුවෙක්ගෙ පුතෙක්ට මාව කතා කරලා..."
ඇය එසේ කියා යන්නට නැගිට්ටාය. මගේ අතින් චෙස් පුවරුව බිම වැටුණි. ළමයින් සියලු දෙනාම හැරී අප දෙස බැලුවෝය. 

"ඇයි මචං මොකද? .."
ලසන්ත පැමිණ ඇසුවේය.

"නෑ මචං අවුලක් නැහැ. මල්ලිලා ඔයාලා සෙල්ලම් කරන්න.."
මම අනෙක් අයට කියා යන්නට නැගිට්ටේය. 

"මචං උඹ පොඩ්ඩක් මෙතන බලපං. මම යනවා බං..."

"හරි බං අවුලක් නෑ.. පරිස්සමින් පලයං..."

චාපාගේ පියා මේ කුමක් කරන්නට යනවාද? විභාගය අත ළඟ තියාගෙන ඉන්න මේ කෙල්ලට මොන කසාදද. මම ගෙදර යාමට එළියට එනවිට චාපා ගේට්ටුව අසල සිටියාය.ඇගේ ඇස් වල කදුළු පිරී තිබුණි. මටත් ඇයගේ හිත හැදීමට වත් කීමට වචනයක් සොයාගත නොහැකිවිය. නමුත් මේ වන්නට යනදේ තාමත් මට විශ්වාස කල නොහැකිය.

"අඩන්න එපා සුදූ. අපි එන විදියක් බලමු..."

"බලන්න දෙයක් නෑ ගිම්හාන අම්මා අද නාවෙත් ඒක තමයි. ඔයා කලබල නොවී ඉන්නවානම් මට ඒ ඇති..."

"අනේ මන්දා මටනම් හිතාගන්නවත් බෑ මොනාද මේ වෙන්න යන්නෙ කියලා. කාටද ඔයාව ඔය බන්දලා දෙන්න හදන්නෙ?.."

මට කරන්නම දෙයක් නැති තැන ඇසුවේය. අවසානයේ විසදුමක් නොමැතිම නම් ඇය හොද කෙනෙක් සමග විවාහවූවායැයි සිතා හෝ මට හිත හදාගත හැක.

"මමත් ඒ අංකල්ව දන්නවා. එයාගෙ ඔය කියන පුතාවනම් මම දැකලා නැහැ. එයාට අවුරුදු විසි නවයක්ලු. ඒ කියන්නෙ මට වඩා අවුරුදු දහයකටත් වඩා වැඩිමල්..."
චාපා අහක බලාගෙන සිනාවූවාය. මට ඇය ගැන දැනුන දුක කියානිමකල නොහැක. 

"අම්මාද ඕවා කිව්වෙ?..."

"ඔවු මේ ප‍්‍රශ්නෙදි අම්මා හරිම අසරණයි ගිම්හාන. අම්මටත් අන්තිමේදි කරන්න වෙන්නෙ තාත්තා කියන දේ තමයි..."

"මේ හැමදේම උනේ මම නිසා නේද සුදූ..."
මට දැනෙන්නෙ දැඩි වරදකාරී හැඟීමකි.

"මේක මගේ කරුමෙ. වෙන මුකුත් නෙවෙයි ගිම්හාන. අහිංසක ඔයා මොනවා කරන්නද?.."

"එහෙනම් ඔයාව බලෙන් හරි බන්දලා දෙයි නේද? ඔයා ඉක්මනට මාව දාලා යයි නේද?.."

"ඇයි දෙයියනේ ඔහොම කතා කරන්නෙ? මම ඔයාගෙ ඔයාගෙ විතරමයි. මම මුලින්ම ආදරේ කලේ ඔයාට. ඒක ඉවර වෙන්නෙත් ඔයාගෙන්ම තමයි. ආදරේ කියන්නෙ මොකකද කියලා මට කියලා දුන්නෙත් ඔයා. ඒහෙම එකේ ඔයා හිතනවද මම ඔයාව දාලා යයි කියලා? මට මේතරම් ආදරේ කරන ඔයාව දාලා?.."

ඇය අඩ අඩාම කීවාය. පාසැල් බිමේ පේන තෙක් මානෙක කවුරුවත් නැතත් මෙහෙම කතා කර කර ඉන්න එක අප දෙදෙනාටම හොද නැත.

"එන්නකො අපි යමු...."
මම ඇයත් සමග පාර පැන බස් නැවතුම දෙසට අවේය.

"ගිම්හාන අපි අර පාර දිගේ පොඩ්ඩක් යමු..."

බස් නැවතුමට මෙහා ඇති පාළු පටුමග පෙන්වා ඇය මට කීවාය. ඇය පවු කියා මට සිතුණි. වෙනදාට කෙලවරක් නැතිව කියවන ඇයගේ කට අද වැසී ඇත. වසර දෙකකට ආසන්න කාලයක් අපි කෙතරම් සතුටින් සිටියාදැයි මට සියල්ල මැවී පෙනුනි.

"මම දන්නවා සුදූ ඔයා මාව දාලා යන්නෙ නැහැ කියලා. ඒත් මෙච්චර දේවල් කරන එකේ ඔයාව බන්දලා දෙන එක තාත්තට මහ දෙයක් නෙවෙයිනෙ නේද?..."

"මම මැරෙනවා ගිම්හාන. මං මැරෙනවා. ඇත්තමයි එහෙම දෙයක් කරන්න හැදුවොත් මම මැරෙනවාමයි. මට මගේ අම්මට පස්සෙ වටින එකම කෙනා ඔයා. ඔයාගෙ නමින් දිවුරනවා මම මැරෙනවා...."

"ඔව් එහෙම කරන්න. පරක්කු කරන්නෙපා. එතකොට ඔක්කොම හරි. මට පුදුමාකාර සතුටකින් ජීවත්වෙන්න පුළුවන්නෙ ඊට පස්සෙ...."

මට තරහ ගියේය. ඇයද මේ ප‍්‍රශ්නයෙන් මිරිකී සිටියි. තමන් අකමැති කෙනෙක් සමග විවාහ වී ජීවිත කාලෙම දිවි ගෙවන්නට වීම කෙතරම් දරුණු දඩුවමක්ද.ඇය ඉකි ගස ගසා අඩන්නට ගත්තාය.

"මාව බේරගන්න ගිම්හාන... මාව බේරගන්න..."

ඇය මගේ අත තදින් අල්ලා ගනිමින් කීවාය. වෙනදා මෙන් අද මට ඇයට හඩන්නට එපා කියන්නට නොහැක. ඇයට හඩන්නට එපා කියනවානම් මම මෙයට විසදුමක් කිව යුතුය. මම කියනා විසදුම කුමක්ද? මට ඇය වෙනුවෙන් කල හැක්කේ කුමක්දැයි මට සිතාගත නොහැක.

"ඔයාටත් එපා වෙලා ඇති නේද? මේ මූසල කෙල්ල එක්ක යාළු උනත් හරි හිතට කිසිම සැනසීමක් නැහැනෙ කියලා හිතෙනවා ඇති නේද? මට ආදරේ කරන්න ගිහිං ඔයාගෙ ජීවිතෙත් නිකං නාස්ති වෙලා යනවා..."

අද ඇය කියන්නේ කවදාවත් නොකී කතාය.

"මොනවද සුදූ මේ කියවන්නෙ..."

"පවු ඔයා..."
යන ගමන්ම ඇය මගේ මුහුණ අතගෑවාය. මට නැතිවන්නට යන්නේ මෙතරම් මට ආදරෙ කරන යුවතියකි. පාර ඉවරවෙන තැනටම අපි පැමිණ තිබේ. මෙතනින් එහාට යාමට තැනක් නැත.

"පාරත් ඉවරයි සුදූ.. අපි ආපහු යමු..."

"ඒකත් අපේ ජීවිත වගේමයි නේද ගිම්හාන. අපි ආදරෙන් ඇවිදන් ගිය පාරත් හිටි හැටියෙ ඉවර උනානෙ..."
මේ ගැන කතා කර තවත් ඇයට දුක් දිය නොහැක.

"හෙට ඉස්කෝලෙ එනවද සුදූ..."


"සමහර විට මට ආයෙ කවදාවත් ඉස්කෝලෙ එන්න බැරිවෙයි.."
මම එතැනම නතරවුණි. එසේනම් මින්පසුව ඒ සුන්දර පියසට මටද පය තැබිය නොහැක.

"ඇයි..."

"එහෙම උනොත් මම කොහොමද..."
මගේ උගුර හිරවී ඇත. 

"එන්නකො යන්න..."
ඇය මගේ සුරතින් අල්ලගත්තේ සිනාසෙමිනි. අද දවසටම ඇය සිනාසෙනවා දැක්කාමය.

"මේ අහන්න මගේ මහත්තයෝ.. මම දන්නවා ඔයා මට හරිම ආදරෙයි කියලා. ඒ ආදරෙට වටිනාකමක් දෙන්නනම් මොනවා උනත් ඔයා දිගටම ඉස්කෝලෙ එන්න ඕනෙ. ඉගෙන ගන්න වැඩ වලට මේ ප‍්‍රශ්න බාධාවක් කරගන්නැතුව ඉන්න ඕනෙ. ඔයාත් අනිත් අය වගේ නෙවෙයි කියලා මට පෙන්නන්න ඕනෙ. එතකොටයි මට මම ආදරේ කලේ ලෝකෙ ඉන්න හොදම පිරිමියාට කියලා ආඩම්බරයක් එන්නෙ. තේරුණාද?..."

ඇය සිනාසෙන්නෙ ආයාසයෙන් බව මට තේරුණි. ඇයට උවමනා මගේ හිත හදන්නටය. වැඩියෙන්ම දුක ඇය මෙසේ කරන විටය.

"මම ඉස්කෝලෙ ආවත් නැතත්, මීට පස්සෙ ඔයාව ඇහැකට දැක්කත් නැතත් මම ඉන්නෙ ඔයාත් එක්කමයි. ඔයා පාඩම් කරන කොට ක්ලාස් යනකොට මාත් ළඟින්ම ඉන්නවා. ඔයා වැටෙන්නැතුව එක්සෑම් හොදට කරලා පෙන්නන්න මට. එතකොට ඔයාට මාව නැති කරන්න යන අයට තේරෙයි මම කොහෙවත් යන කෙනෙක්ට නෙවෙයි මේ තරම් මැරෙන්න ගියේ කියලා, මගේ වචනෙටත් ආදරේ කරපු කෙනෙක්ට කියලා..."

හිතට දැනෙන හයිය මෙතෙකැයි කිව නොහැක. ඇය ඇත්තෙන්ම පුදුමාකාරය. කවදාවත් මාව වැට්ටුවේ නැත. ප‍්‍රශ්න ඇතිවන හැම වතාවකම මාව තවත් ශක්තිමත් කල පුදුමාකාර කෙල්ලෙකි. 

"අහගෙන නේද ඉන්නෙ?.."

"ඔව් සුදූ.. ඔයා කියන හැමදෙයක්ම ඒ විදියටම වෙයි... මම හරිම ආදරෙයි ඔයාට..."

ඇය කදුළු පිරි දෙනෙතින් පුදුමාකාර ආදරයකින් මගේ මුහුණ බැලුවාය. නොදැනීම අප නැවතත් බස් නැවතුම අසලට පැමිණ ඇත.

"එහෙනම් මම යන්නම් රත්තරං. තව පරක්කු උනොත් ඒකත් වැරැද්දකට තියෙයි..."

ඇය මගේ සුරත ගෙන සිපගත්තාය. මට කීමටවත් අද වචන නැත. හිතට දැනෙන්නේ පුදුමාකාර තනිකමකි.

"බුදුසරණයි ගිම්හාන..."



මට මගේ නොවෙන මගේම ආදරයක් තිබුණා...
(චාපා 23 වන කොටස සමගින් හමුවෙමු...)

- නිරෝෂ් මෛති‍්‍ර -
- 2004 -



 

No comments:

Post a Comment

 

Sample text

Sample Text