Social Icons

Sunday, May 19, 2013

Heer - (අතිශයින් හින්දි රසිකයන් සදහා පමණයි)




Jab Tak Hai Jaan පසුගිය කාලයේ අතිශය ජනපි‍්‍රයත්වයට පත් චිත‍්‍රපටයක්. එහි තවත් විශේෂත්වයක් වන්නේ බොලිවුඩ් සිනමාවේ ආදරණීයම චිත‍්‍රපට නිෂ්පාදකයා වන යශ් චෝප්රා (King of Romance) අතින් නිර්මාණය වූ අවසාන චිත‍්‍රපටය වන නිසාය. මෙම සටහනෙන් බලාපොරොත්තු වන්නේ යශ් චෝප්රා ගැන හෝ Jab Tak Hai Jaan චිත‍්‍රපටය ගැන කතාබහ කිරීම නොව එහි එන අපූරු ගීයක යට ගියාව පිළිබද විශේෂ සටහනක් ඉදිරිපත් කිරීමටය.
සුන්දර ගීත රැසකින් හෙබි Jab Tak Hai Jaan චිත‍්‍රපටයේ එන "Heer" නම් පන්ජාබ් ගීතය විරහ ගීයකි. එහි තාලයත්, ගායිකාවගේ හඩත් හින්දි ගීත ලෝලීන්ගේ සිත් වසග කරගන්නේ අපූරු ආකාරයෙනි. මන්ද එය පන්ජාබ් ගීතයක් වූවද මෙතරම් ජනපි‍්‍රයත්වයක් දිනාගන්නේ එහි ඇති අපූර්වත්වය නිසාවෙනි.
පන්ජාබයේ එන ඉතිහාස කතා දෙකක් නොදැන සිටියහොත් ඔබට "Heer" ගීතයේ අරුත වැටහෙන්නේ නැත.
එම කතා දෙක නම්, හීර් - රන්ජා (Heer - Ranjha) හා මිර්සා - සහිබා (Mirza - Sahiba) යන ආදර කතා දෙකයි.

Heer - Ranjha - 'හීර්' කියන්නේ ජන්ජාබයේ ජාන්ග් නගරයේ ධනවත් පවුලක උපන් ඉතාමත් සුරූපි තරුණියක්. 'රාන්ජා' ජන්ජාබයේ ටාක්ත් හසාරා නගරයේ සිවුදෙනෙකුන් යුක්ත පවුලේ බාලයායි.
තරුණ රාන්ජා තම සහෝදරයන්ගේ මදිපුංචිකම් ඉවසාගත නොහැකිව ගෙදරින් පිටවී රැකියාවක් සොයාගෙන ජාන්ග් නගරයට පැමිනෙනවා. එහිදී ඔහුට හීර් මුණ ගැසීමෙන් පසුව හීර් තම පියාට අයත් ගව රැළක ගොපල්ලෙකු වශයෙන් ඔහුට රැකියාවක් ලබාදෙනවා. රාන්ජා දක්ෂ බටනලා වාදකයෙක්. ඔහුගේ බටනලා වාදනයට හීර් ඉතාමත් ආශා කරනවා. සෑම දිනකම ඔහුගේ වාදනය ඇසීමට හීර් පැමිණෙනවා. පසුව ඔවුන් නොදැනීම පේ‍්‍රමවන්තයින් වනවා. මෙම ආදරය වසර ගණනනාවක් හොර රහසේ පැවතියත් හීර්ගේ මාමා කෙනෙකුට මොවුන්ගේ පේ‍්‍රමය ආරංචි වෙනවා. පසුව හීර්ගේ දෙමාපියන් ඇයගේ අකමැත්තෙන් 'සයිදා කේරා' නම් පුද්ගලයෙකුට විවාහ කරදෙනවා.

Mirza - Sahiba - චෞද්රි වන්ජාල් ඛාන්ගේ පුතා වන 'මිර්සා' ඔහුගේ අධ්‍යාපන කටයුතු සදහා 'කීවාන්' ප‍්‍රදේශයේ නෑදෑ නිවසක නතරකර තබනවා. එහිදී ඔහුට 'සාහිබා' නම් රූමත් තරුණිය මූණ ගැසී ඔවුන් දෙදෙනා ආදරය කිරීමට පටන්ගන්නවා.කල්යත්ම සාහිබාගේ දෙමාපියන් ඇයව 'තහා ඛාන්' නම් පුද්ගලයෙකුට විවාහකරදීමට සූදානම් වනවා.
මෙය සැලවූ මිර්සා ඇයගේ මෙහෙන්දී උත්සවයේදී අශ්ව කරත්තයකින් පැමිණ ඇයව රහසේම රැගෙන යනවා. නමුත් සාහිබාගේ සහෝදරයන්ට මෙය ආරංචිවී ඔවුන් දෙදෙනා සොයාගෙන ලුහුබදිනවා. බොහෝ වේලාවක් ගමන්කල නිසා මිර්සා ගසක් යට අශ්ව කරත්තය නවත්වා සාහිබාගේ උකුළ මත හිස තබාගෙන විවේක ගන්නවා. සාහිබා තම සහෝදරයින් දුරින් එනවා දැක කළබල වනවා. මන්ද මිර්සා හොදින් පුහුණුවූ දුණුවායෙක් බැවින් ඔහු අවදිවුවහොත් ඔහුගේ දුණු පහරින් තම සහෝදරයින් මියයාවියැයි ඇය බියවනවා. එබැවින් ඇය මිර්සා නිදාසිටියදී ඔහුගේ ඊතළ කඩාදමනවා. ඇයගේ සහෝදරයින් ඇයට ගොඩක් ආදරය කරන බව දන්නා සාහිබා ඇයව දුටු පමණින් ඔවුන්ගේ සිත් වෙනස්වී ඔවුන් දෙදෙනාට අනතුරක් නොකර ආශිර්වාද කොට ඔවුන්ව ගෙදර ගෙනයාවියැයි ඇය විශ්වාස කරනවා. නමුත් සිදුවන්නේ අනෙකක්. මිර්සාව වටකරගන්නා සහෝදරයින් ඇතුළු පිරිස ඔහුට පහර දෙනවා. අවදිවූ මිර්සාද ඔවුන් සමග සටන් කලද පිරිස විශාල නිසාත් ඔහුගේ ඊතළද නොමැති නිසාත් සාහිබාගේ සහෝදරයන්ගේ කඩුපහරින් මරු වැළද ගන්නවා. කිසිවෙකුගේ ලේ වැගීරීමකට අකමැති වූ සාහිබා නොසිතූ අයුරින් සිය පේ‍්‍රමවන්තයා තමන් නිසා මියගිය ශෝකයෙන් ඔහුගේ කඩුව ගෙන මිර්සා ඉදිරියේම සියදිවි නසාගන්නවා. අදටත් මිර්සා හා සාහිබා පන්ජාබ් ජාතිකයින් අතර අමරණීය පේ‍්‍රමවන්තයින් දෙදෙනෙක්.


'Heer' ගීතය ගොඩනැගෙන්නේ මෙම පුරාවෘත්ත දෙක පදනම් කරගෙනය.


"Heer Heer na akho adiyo
Main te Sahiba hoi
Ghodi leke aave le jaaye
Ho mainu le jaaye Mirza koi
Le jaaye Mirza koi..."


"මට 'හීර්' කියා ආමන්ත‍්‍රණය නොකරන්න..

මම කැමතියි 'සාහිබා' කෙනෙක් වෙන්න...
මොකද එහෙම උනොත් විතරයි 
'මිර්සා' අශ්වයාගේ පිටින් ඇවිත් 
මාව එක්කගෙන යන්නෙ..."

- පද රචනය | ගුල්සාර් -


මෙතෙක් මේ ගීතය අසා නැත්නම් උනන්දුවෙන් එක්වරක් දෑස්වසාගෙන අසා බලන්න. ජීවිතයේ එක්දිනක් හෝ ආදරය කර ඇත්නම් සැබවින්ම මේ ගීතය ඔබේ හදවතට දැනේවි.



"Heer" ගීතය මෙතනින්...






Jab Tak Hai Jaan චිත‍්‍රපටය සංක්ෂිප්තව :

සමර් හට අනතුරක් සිදුවූ අවස්ථාවේ මීරා දෙවියන්ගෙන් ඔහුව සුව කරදෙන මෙන් ඉල්ලා සිටියාය. ඒ වෙනුවෙන් ඇය භාරවූයේ තමන්ගේ ආදරයයි. සමර් හට සුවවුවහොත් මින් පසුව ඔහුව මුණ නොගැසෙන බවට ඇය දෙවියන්ට පොරොන්දු වනවා. අවසාන වතාවට සමර් හමුවන ඇය රොජර් නම් විදේශිකයා හා විවාහ වෙන බවට පවසා ඔහුගෙන් සමුගන්නවා. පසුව ඉන්දියානු හමුදාවේ බෝම්බ නිශ්කී‍්‍රය අංශයට බැදෙන සමර් ජීවිතය පිළිබදව කිසිදු බලාපොරොත්තුවකින් තොරව සිය ආදරය සිතේ තබාගෙන අවදානම් දිවියක් ගෙවමින් ජීවත්වනවා.
වසර ගණනාවක් ගෙවුනු පසු අනපේක්ෂිත අන්දමින් අකීරාගේ මැදිහත්වීම නිසා සමර් හා මීරා මුණගැසෙන්නෙ කොපමණ දුරස් කරන්නට උත්සහ කලද ඔවුන්ගේ ආදරය යටපත් කිරීමට නොහැකිවූ නිසාවෙනි. නමුත් ඒ වන විටත් මීරා හෝ සමර් විවාහවී සිටියේ නැත.


- නිරෝෂ් මෛති‍්‍ර -
2013/05/19


No comments:

Post a Comment

 

Sample text

Sample Text