Social Icons

Friday, May 31, 2013

චාපා 07

සුමුදු පියවර තබා එන මඟ, සුසුදු පියවිලි එළා තැබුවා...


ට ඇසුන දේ තවමත් මට විශ්වස නැත. චාපා ඒ කීවේ ඇයද මට ආදරේ කරන බවද?

"චාපා..."

මම දෙනෙත් විශාල කරගෙන ඇය දෙසම බලාගෙන සිටියේය. චාපා ලැජ්ජාවෙන් බිම බලාගත්තාය. 

"චාපා මොකක්ද ඔයා කිව්වෙ?..."

"ඔයාට ඇහුන දේ තමයි...."
ඇය ඇඟිළි තුඩින් මේසය හූරමින් කීවාය.

"ඒ කිව්වෙ ඔයත් මට ආදරෙයිද? ..."

මම ඇයට ළං වෙමින් ඇසුවෙ අදහාගත නොහැකි සතුටකිනි. ඇය මේසයේ හූරපු තැන බලාගෙම හිස වැනුවාය. මට මෙතන නටන්නට තරම් සතුටක් දැනුණි.

"චාපා මං දිහා බලන්න... ඇයි කියන්න එක පාරම හිත වෙනස් උනේ?..."

ඇය සෙමින් හිස ඔසවා මා දෙස බැලුවාය. මටනම් තවමත් උන දේ අදහාගත නොහැක.

"ඔයා යන්න ගියාම මට බය හිතුනා. මං ඔයා නිසා ඉන්නෙ සතුටින්. මට බැහැ ඒ සතුට නැතිකරගන්න..."

මට මේ ඇසෙන්නේ මා මෙතෙක් දිනක් අසන්නට පෙරුම් පිරූ වචන කිහිපයයි. මේ පාසල නොවේනම් මීට වඩා සැහැල්ලුවෙන් කතාකරන්නට තිබුනායැයි සිතුනේය.

"ඒත් මට ගොඩක් බයයි. මේවා අන්තිමට කොහෙන් කෙලවර වෙයිද දන්නෑ ගිම්හාන...."

දැන් කොහෙන් කෙලවර උනද ඒ හැමදේටම මුහුණ දීමට හිතට පුදුමාකාර ශක්තියක් ඇත.

"හැමදේම අපි ටික ටික විසදගමු චාපා. ඔයා හිතට බරක් ගන්නැතුව සතුටින් ඉන්නකො. ඒත් මට තාමත් අදහාගන්න බැහැ..."

ඇය ආදරණියව සිනාසුනාය. මම ඇයගේ අසලටම වූයේය. කුමක්දෝ සිත පිනායන සුවදක් ඇය ළඟින් හමා එයි.

"තව එක පාරක් කියනවාද?..."

"මොකක්ද?..."

"ඇත්තටම මට ආදරෙයිද?..."

හිත මෙතරම් බොළද වන්නේ ඇය ඉදිරියේ පමණය. මම එයට ආශා කලෙමි.නැවතත් ඇගේ ඇස් මේසය මතය. නමුත් ඒ දෑස්මත කදුළුය. 

"මම නෙවෙයි ගිම්හාන. ඔයා ඒක කියන්න. මම මේ පිරිමි ළමයෙක්ට මේතරම් ළං උන පළවෙනි වතාව. මට මේ මුකුත් තේරෙන්නෑ. කවදාහරි ඔයාට එපාවෙලා මාව දාලා ගියොත් එදාට මට ජීවිතේම එපා වෙයි...

ඇය එහෙම්මම මගේ මැණික් කටුව ළඟින්අල්ලා ගත්තාය.

"ආවු..."

"ඇයි ?.."

"මෝඩි, මගේ අත..."

"අනේ සොරි..."

ඇය සමාව ඉල්ලන්නාක් මෙන් මා දෙස බැලුවාය.


"පිස්සා නිකං අත තුවාල කරගත්තා. යන්න දැං කල්ප එක්ක ගිහින් බෙහෙත් දාගන්න..."

"තුවාල උනාට පාඩු උනේ නැහැනෙ...."

ඇයත් මමත් එකවිට සිනාසුනෝය. හිතේ තිබූ ලොකු බරක් නිදහස් වූවාක් මෙන් මහා සැහැල්ලුවක් දැනෙයි.

"මේ... එක්ස්කියුස් මී වෙන්න ඕනෙ. බෙල් එක ගහලා දැන් හුගක් වෙලා. එළියෙ මුර කරලම මගේ දනිස් රිදෙනවා. අපි දැන් යමුද දෙයියනේ කියලා..."
කල්ප කඩාපහත් වූ පසුයි බෙල් එක ගැසූ බවත් දන්නෙ.

"ඇහුනෙවත් නෑ බං..."

"ඇහෙයියැ ඉතිං. පෙම් සයුරෙ ගිලිලා ඉද්දි කං ඇහෙනවා හොරයිනෙ මචං...."
චාපා සිනාසී යන්න නැගිට්ටාය.

"යමු..."

"ඔයා යන්න චාපා අපි දෙන්නා ටිකක් ඉදලා එන්නම්...."

චාපා මදක් දුර ගොස් නැවත කල්පට කතා කලාය. කල්පත් සමග මොන මොනවාදෝ කියා මාත් සමග සිනාසී යන්නට ගියාය. මොහොතකට පෙර සිදුවූ සියල්ලම මට තවමත් සිහිනයක් මෙනි.

"ඒයි මෝඩයා, කෝ අත පෙන්නපං..."

කල්ප පැමිණි පසු මගේ අත අල්ලාගෙන ඇසීය. චාපාගේ ලේන්සුව තවමත් අතේය. එහි තැනින් තැන ලේ ගෑවී ඇත.

"පිස්සුද යකෝ උඹට? මේ මොකක්ද කරන් තියෙන්නෙ..."

"ඒක තිබෙද්දෙනං කියපං චාපා මොනාද කිව්වෙ?..."

"උඹව බෙහෙත් දාන්න එක්ක යන්නලු. නැත්තං උඹ ඔහොම්මම ඉදියිලු..."

මට ඇය ගැන ඇති ආදරේ වැඩිවිය. මගේ තේරීම වැරදි නැත. මම කල්පට උන හැමෙදේම මුලසිට කිවේය. කල්ප සියල්ල අසා සිටියේ කටත් ඇරගෙනය.

"මාර සීන් එකක්නෙ බං වෙලා තියෙන්නෙ..."

"ඒක තමයි බං මටත් තාම අදහාගන්නත් අමාරුයි...."

"ඒකි හොද එකී බං. ඔය ගෙදර තියෙනවා කිව්ව අවුල නිසා තමයි කොච්චරවත් මුල්ලකට වෙලා කල්පනා කර කර ඉන්නවා ඇත්තෙ. උඹ හොද එකා කියලා තේරුණ හංදා වෙන්න ඇති කැමති වෙන්න ඇත්තෙ...."

"හ්ම්ම්..."

"දැං ඉතිං උඹව ගොඩදාලා දීපු සේරටම අඩුමගානෙ ප්ලේන්ටි පාටියක්වත් දෙන්න වෙයි...."

කල්ප විද්‍යාගාරයෙන් එළියට එනගමන් මගේ කරට අතක් දමාගෙන කීවේය.
"ප්ලේන්ටි මොකටද බං, උඹලා සේරටම අරං දෙන්නංකො හොද ස්ට්‍රෝන්ග් ටී...."

"චාමරයට මේක කිව්වම ෂුවර් එකටම කලන්තෙ දායි..."

"ඒක ඇත්ත..."

"හරි හරි.. උඹේ කියවිල්ල පැත්තක තියලා වරෙන් අතට බෙහෙත් ටිකක් දාන් එන්න යං නැත්තං චාපාගෙන් මමත් බැනුම් අහගන්නවා..."

ඇයගේ නම ඇසුනත් හිතට දැනෙන්නෙ අමුතුම සතුටකි.



        හැකිවේද ඔබට මගේ තනිකම මකන්නට...

(චාපා 08 වන කොටස සමගින් හමුවෙමු...)


            - නිරෝෂ් මෛති‍්‍ර -
                  - 2004 -



No comments:

Post a Comment

 

Sample text

Sample Text