Social Icons

Sunday, April 29, 2012

සාරන්‍යා 03



මෙතනින් (සාරන්‍යා 01)
මෙතනින් (සාරන්‍යා 02)

නිවාඩු දින ගත කිරීමට සිටි සැහැල්ලුව සතුට උදෑසනින්ම සාරන්‍යා විසින් උඩුහුලගේ පා කළාය. ඒ මදිවට දැන් අයියලා එක්කත් යාළු මිත‍්‍රකම් පැවැත්වීමට සිදුවී ඇත. වෙන දෙයක් වෙන්න කියා මම දුරකථනය අතට ගත්තෙමි.

"හෙලෝ.."


"මේ අකිලද? "


මගේ දුරකථනයට
නම් ඇමතුවේ "මම අකිල නැතුව තොගෙ ***ද" අහන්න සිතුනත් ආයාසයෙන් එය මැඩගත්තේ අනෙක් පසෙන් ආවේ නොදන්නා හඩක් නිසාවෙනි.

"ඔවු අකිල තමයි.. මේ කවුද? "


"මම සංජය.. සාරන්‍යා නංගි කියන්න ඇති නේද මං ගැන "


මේ සාරන්‍යාගේ පෙම්වතා වන්නට ඇත. දැන් මම මොනවා කතාකරන්නද?


"ආ ඔවු සංජය.. මට කියලා තියෙනවා ඔයා ගැන.. ඉතින් කොහොමද? "


"වරදක් නැහැ අද වැඩද? "


"නැහැ සංජය.. අද off එක"


සංවාදයක් පවත්වාගෙන යාමේ පිරියක් මට නැත. එබැවින් කටට එන්නේම කෙටි පිළිතුරුය.


"සංජයට මට කතා කරන්න ඕනෙ කිව්වෙ විශේෂ දේකටද? "


"නැහැ එහෙම විශේෂ දෙයක් නැහැ.. මට සාරන්‍යා ඔය දෙන්නාගෙ සම්බන්ධෙ ගැන කියලා තියෙනවා."

'ඉතිං' කියලා අහන්න සිතුණි. සංජය කතා කරන විලාශයට මට හිනා යන්නටම එයි. දකුණු පළාතේ උග‍්‍ර ග‍්‍රාමීය ප‍්‍රදේශයක හැදුන කෙනෙක්වත් මෙතරම් ඇද ඇද කතාකරන්නේ නැත.


"සංජය කොහෙද? "


"මම මාතර.."


අයියෝ සල්ලි. මම හිතුවා හරියටම හරිය..


"ඔයාලගේ සම්බන්ධෙ කොච්චරකල් තිබුනද? "


"අවුරුදු දෙකක් විතර සංජය.."


"ලොකු කාලයක් නේද? "


"හ්ම්.."


"එතකොට ඔයාලා අතර තිබුනේ මොනවගේ සම්බන්ධයක්ද? "


අනේ මගේ කටට එන දේවල් ඇයි දෙයියනේ නිදහසේ කියන්න ඉඩක් නැත්තේ.. අඩුතරමේ නිදහසේ සිනාසෙන්නවත්.. සාරන්‍යාත් මාත් අතර තිබුනේ මාපිය දූදරු සම්බන්ධයක් කියා කියමුද?


"මට තේරුන්නෑ සංජය ඔයා අහනදේ ගැන.."


"නෑ මම කියන්නෙ මේකයි.. මටත් මීට කලින් සම්බන්ධයක් තිබුණා. අපි දන්නවනෙ ඉතිං, ඒවගේ දෙකදි මොනවා මොනවද වෙන්නෙ කියලා.. ඔයත් කොල්ලෙක් මාත් කොල්ලෙක්නෙ, ඒ ගැනයි මම ඇහුවෙ.."

මූ නම් මාරම පොරකි. යකඩෝ දැකලාවත් නැති මගෙන් අහන ප‍්‍රශ්න. අනික මේකට මෙච්චර හයියක්..


"මේකයි සංජය, ඔයා අහන්නෙ තේරුමක් නැති ප‍්‍රශ්නයක්. අපේ affair එක ඇතුලෙ මොනවා උනත්, ඒක දැන් අදාල නැහැනෙ. සාරන්‍යා දැන් ඉන්නෙ ඔයත් එක්ක. ඔයාට එයා හොද නිසා වෙන්න ඇතිනෙ ඔයා එයත් එක්ක affair එකක් පටන් ගත්තෙ.. ඊයෙ ඔයා මෙච්චර දවස් සාරන්‍යාගෙන් අහපුදේට උත්තර ලැබුනනෙ. ඒනිසා දැන් ඔය දෙන්නා හොදින් ඉන්න. පරණ කුණු අදින්නෙ නැතුව. ඔයවගේ නැති ප‍්‍රශ්න අදින එක ඔයාට ඇති වැඩකුත් නැහැ, මටත් ඇති වැඩක් නැහැ.."


තරමක ආවේගයෙන් නමුත් පැහැදිලි හඩින් මම එක දිගට කීවෙමි.


"තරහ ගන්න එපා අකිල.. මම නිකමට ඇහුවෙ, අනික ඔයා මොකක්ද මේ කිව්වෙ ඊයේ උත්තර ලැබුන කතාවක්? "


"මම මොකක්ද කිව්වෙ කියන්නෙ? සාරන්‍යා ඊයෙනෙ ඔයාගෙ යෝජනාවට කැමති උනේ, ඒ ගැනයි මම කිව්වෙ.. "


"අකිලට පිස්සුද?  සාරන්‍යාගෙයි මගෙයි සම්බන්ධෙට අනිද්දට මාස තුනක්..."


(මතු සම්බන්ධයි)  

- නිරෝෂ් මෛති‍්‍ර -
2012/04/29
  

මෙතනින් (සාරන්‍යා 04) 
මෙතනින් (සාරන්‍යා 05)  
මෙතනින් (සාරන්‍යා 06) - අවසාන කොටස


Friday, April 27, 2012

සාරන්‍යා 02



 මෙතනින් (සාරන්‍යා 01) 

එදින නිවාඩු දිනයක් වූ බැවින් ටිකක් වැඩිපුර නිදගන්නට ලැබුණි. අද කරන්නට විශේෂ යමක් නොතිබූ බැවින් තවත් ටික වෙලාවක් ඇදේ දිග පලල මැන්නේය. ජංගම දුරකථනය බෙරිහන් දෙන්නට වූයෙන් මිනුම් කටයුතු නිමාකරන්නට සිදුවිය.ඉස්සර දුරකථනය නාදවීම තරම් පි‍්‍රයජනක සංගීතයක් තුන්ලෝකයේම නැතත් දැන්නම් එය දස වදයකි. නිදිමතේම අතපතගා දුරකථනය ගෙන බලන විට ඇමතුම සාරන්‍යාගෙනි. එක්වරම හිත අතීතයට දිව ගියේය.

"ගුඩ් මෝර්නින් මහත්තයෝ.."

"මෝර්නින්.. මෝර්නින්.. ඇයි දෙයියනේ මහ පාන්දර,
ඔයාට නින්ද යනවා හොරයිද? "
 

"හොද පාන්දර, නැගිටිනවා කම්මැලියා..
දැන් වෙලාව අටයි, කීයටද ක්ලාස් යන්නෙ..
 

"අනේ මට බැරියෝ... මම තියනෝ......"

වෙනදාට ඇහැරෙන්නේ ඇගේ ඇමතුමෙනි. නින්දට යන්නේද ඇගේ ඇමතුමෙනි. දැන් ඒ මල්සමය නිමවී බොහෝ කල්ය.

"ගුඩ් මෝර්නින්"
 

වෙනසකට ඇත්තේ දැන් අමුවෙන්ම ගුඩ් මෝර්නින්ය.ඉන්පසුව විශේෂණ පදත් සමග කියැවෙන මගේ නම නැත.
කෙසේ උවද ඇගේ හඩ වෙනදාටත් වඩා ප‍්‍රබෝධමත්ය.

"ගුඩ් මෝර්නින්.. ඇයි මේ ගොඩ කාලෙකින් උදේම call කලේ? "


"ඔයා නිදාගෙනද හිටියේ? Sorry අකිල.. මම පොඩි පණිවිඩයක් කියන්න ගත්තෙ.."


"නෑ ඒකට කමක් නැහැ, ඔයා කියන්න.."


පණිවිඩය පොඩි එකක් වන්නට බැරිය.


"අකිල ඊයෙ මම අරක ගැන තීරණයක් ගත්තා. පස්සෙ අයියාට මම ඒ ගැන කිව්වා"

"මොකක් ගැනද? "


"එයා අහපු දේ ගැන,මම ඒකට කැමතියි කියලා"


මෙය නම් සොදුරු උදෑසනකි.ඉබේම ඇදේ ඉන්දවුනි. දැන් මම මොන ආකාරයේ පිළිතුරක් දෙන්නද?


"අකිල.."


"ඔවු කියන්න"


"ඔයා අහගෙනද ඉන්නෙ.."


"හ්ම්..."


"ඔයා දුකෙන්ද? "


ඇයට මගේ වෙනස තේරෙන්නට ඇත.ඇය වසර දෙකක් කුළුදුලේම ඇසුරුකල පිරිමියා මමය.


"නැහැ සාරන්‍යා.. තාම නිදිමතේනෙ, ඒකයි. ඔයා හිතලා බලලානම් තීරණය ගත්තෙ, මම wish කරනවා ඔයාට.. හොදින් ඉන්න.."


"මම අයියට ඔයා ගැනත් කිව්වා. එයා කිව්වා ඔයත් එක්ක කතා කරන්න  ඕනෙ කියලා.."


මේ මොන හෙණ ගෙඩියක් පහත් වෙන්න එනවාද? ප‍්‍රශ්න ගොඩක වැටී කොහොල්ලැ බබා බදාගත්තාක් මෙන් ඉන්න මට නැති ප‍්‍රශ්නය.

"ඒ මොකද.. ඒ මාත් එක්ක මොනවා කතාකරන්නද? "


"විශේෂ දෙයක් නෙවෙයි, යාළුවෙක් වගේ කතා කරන්න. මම කැමතියි ඔය දෙන්නා යාළුවො වෙනවානම්"


මගේ කටට ආවෙ කුණුහරුපය.සිල්ගත්ත නයාගේ කතාව සිහියට ආවේ නිරායාසයෙනි. ඒත් ඇයගේ සිත රිදවීමට නොහැකිය.අනික ඒකත් එක්ක කතා කලා කියලා මම මැරෙනවායැ.


"අයියා දවල්වෙලා ඔයාට ගනියි, කතා කරන්න හොදේ..."


මම නිරුත්තරය.සාරන්‍යාට කැමැත්තකට ඉඩදුන් මට ඇගේ අළුත් පෙම්වතා සමග කතාබස්කර මිතුරුවන්නට කියන්නේ ඇයි? අවංකවම ඇයට ඇත්තේ ඒ උවමනාවද? නැත්නම් මා රිදවීමටද? අප වෙන්වූයේ අපට අප නොගැලපෙන බව තේරුම්ගත් නිසාවෙනි.සාරන්‍යාත් මාත් ඒ දිනවල අසීමිතව රණ්ඩු උනෙමු. හේතු ඇතුව රණ්ඩුවූ අප පසුකාලීනව අහේතුකව රණ්ඩුවන සිල්ලර තත්ත්වයට ඇද වැටුණි.නමුත් කිසිදිනෙක සාරන්‍යා මා හැර නොයන බවට මා තුළ දැඩි විශ්වාසයක් විය.ඒ විශ්වාසය නිසාම බියෙන් සැකෙන් තොරව මා ඇය සමග සිත්සේ රණ්ඩුවිය.මට අවශ්‍යවූයේ මා කැමති දේ පමණක් සාරන්‍යා කරනු දැකීමයි.එය කෙතරම් අසාධාරණ හැසිරීමක්දැයි මා තේරුම් ගන්නා විට සාරන්‍යා මට සැතපුම් සිය ගණනක් දුරින්ය.කෙතරම් රණ්ඩු සරුවල් උවත් සාරන්‍යා හට මා අසීමිතව ආදරය කලේය.ඒ ආදරය ආත්මාර්ථකාමීවූ තැන බහින්බස්වීම් ඇතිවූයේ මගේම පවකට විය යුතුය.


පැයකට පමණ පසු නැවතත් නොදන්නා අංකයකින් ඇමතුමකි.එම අංකය සාරන්‍යාගේ අංකයට බොහොදුරට සමානය.වෙනස ඇත්තේ අවසන් අංක දෙක පමණි.


(මතු සම්බන්ධයි)

- නිරෝෂ් මෛති‍්‍ර -
2012/04/27 


මෙතනින් (සාරන්‍යා 03)
මෙතනින් (සාරන්‍යා 04) 
මෙතනින් (සාරන්‍යා 05)  
මෙතනින් (සාරන්‍යා 06) - අවසාන කොටස  


Wednesday, April 25, 2012

තත්සරණි



දරයත්
සහෝදරත්වයත්
අතර
අපැහැදිලි සෙනෙහස...
විටෙක නැගෙමින්
විටෙක බිදෙමින්
නැගෙන
රළපෙළ...
මිටින් මුදා හළද
හැරදමා නොගිය
සෙනෙහස...
නිබද බෝ
ස්නේහයෙන්
ඡායාව මෙන් රැදුන
ගැහැණිය...
උස් මුදුනක
මා වැජඹෙන්නට
සිහින දුටු
හදවත...
නමක් නැති
නෑකමට
නම් සොයා
ළතනොවෙමු
ඔබ මිහිර
පද වැලක්ය
....................

- නිරෝෂ් මෛත‍්‍රි -
2012/04/26



සාරන්‍යා 01




ඉඩ ලද සෑම විටකම කාර්යාලයේ දිග ජනේලයෙන් මුහුණ ඔබා සුවිශාල ගොඩනැගිලි අතරින් පෙනෙන අහස දෙස ඔහේ බලාගෙන සිටීමට මා පුරුදුවූයේ නිරායාසයෙනි.
ඒ අහස වැඩිපුරම ලස්සනට පේන්නේ ඉර බහින හැන්දෑවටය. විඩාබර දෙනෙතට ඒ අළු අහසනම් රසදුනකි. වැසි දිනකදී එම ජනේලයෙන් පිටත බලා සිටීම තරම් සොදුරු දසුනක් තවත් නැත. තව තට්ටු දෙකක්වත් ඉහලින් කාර්යාලය පිහිටා තිබුනේනම් මුළු කොළඹම මෙතනට දිස්වන්නට ඉඩ තිබුණි.දැහැන බිදුනේ ජංගම දුරකථනය සාක්කුව තුල දෙදරුම් කෑමෙනි. ඇමතුම සාරන්‍යාගෙන්. දිග සුසුමක් හෙලා දුරකථනයට පිළිතුරු දුන්නෙමි.

"කියන්න සාරන්‍යා.."

"ඔයා වැඩකද?"

"නෑ.. වැඩ ඉවරයි. ටිකක් රෑ
උන නිසා ගෙදර යනවද නැද්ද කියලා මම මේ කල්පනා කර කර හිටියෙ.."

"ඇයි මේ වෙලාවට බස් නැද්ද?"

"බස්නම් තියෙනවා. ඒත් ගම්පහ ඉදන් ගෙදරට යන්න බෑනෙ. නවයෙන් පස්සෙ හන්දියෙ තී‍්‍රවීල්වත් නැහැ, ඔයා කොහෙද ඉන්නෙ හොස්ටල් එකේද?"

"හ්ම්..."

"ඇයි හ්ම්? "

සාරන්‍යාගේ හඩ වෙනදාට වඩා අමුතුය. ජනේලයෙන් පිටතින් එන සීතළ සුළඟත් එන්න එන්නම වැඩිය.

"මම ඔයාට දෙයක් කියන්න ගත්තෙ.."

"කියන්න සාරන්‍යා"

"මම අර කිව්වෙ කැම්පස් එකේ අයියා කෙනෙක් ගැන..."

"ඉතිං..."

"මම අද ගෙදර ඉදන් එනකොට, පේරාදෙණිය ස්ටේෂන් එකේදී ඒ අයියාව හම්බුනා..."

"එහෙනම් අදත් ඔයාගෙන් ඇහුවා... මම හරිද?"

"හ්ම්...."

ජනේලය ගාව තවත් ඉන්නට බැරිය. උදුවප් සීතල දැන් ඉදන්ම පටන් ගෙන ඇත. සීතල හිටි ගමන් වැඩිවූයේ ජනේලය විවෘතව තිබෙන නිසාද, නැත්නම් සාරන්‍යා කියූ දෙය නිසාදැයි හිතාගැනීමට නොහැක.මම ජනේලය වසාදමා පුටුවකට බර උනෙමි.

"ඉතිං ඔයා මොකද කිව්වෙ..."

"මම මුකුත් කිව්වෙ නැහැ... මම මොකද කරන්නෙ"

සාරන්‍යා මීට වසර දෙකකට පෙර මගෙ පෙම්වතියයි. වසර දෙකක පේ‍්‍රමය මීට මාස තුනකට පෙර නිමාවූවත්, ඇයත් මමත් ඉඩලද සෑම විටෙකම කතාබහ කලේය. මුලදී ඇයටත් වඩා මා ඇය ඇමතුව වාර ගණන වැඩිවන්නට ඇත. මන්ද එකවරම ඇයගෙන් ඈත්වීමට මට අපහසුවූ බැවිනි.පසුව ඇයට මිතුරෙක් පමණක්වීමට මම හිත හදාගත්තමි.

"මේකයි සාරන්‍යා.. ඔයාට හොදක් වෙනවනම් මගේනම් ඕකට ඇකමැත්තක් නැහැ. හැබැයි හොදට හොයලා බලලා, හොදට හිතලා බලලා කරන දෙයක් කරන්න. නැත්තම් වෙන්නෙ ආයෙමත් දුක්විදින්න.."

මා එය කීවේ හිතේ දැඩි සංවේගයක්ද කැටිකරගෙනය. මන්ද අද තත්ත්වය කෙසේ උවද
පෙරදිනයක ඇය මාගේ පෙම්වතියයි.

"ඔයා හරි හොදයි අකිල.. ඉස්සර ප‍්‍රශ්නයක් උනාම කොහොමද ඔයා හැසිරුනේ.. මටනම් පුදුමයිත් එක්ක..."

මම මේසය උඩට කකුල් දෙක ගත්තමි. දුම්වැටියක අවශ්‍යතාවය තදින් දැනේ.
ඇය මේ කියන්නේ පෙර මම  ඕන එකට මෙන්ම එපා එකටද රණ්ඩුවූ හැටි මතක්වී විය යුතුය.

"දැන් පරණ දේවල් කතාකරලා වැඩක් නැහැනෙ.. වෙන්න තියෙන දෙයක් බලමු. ඔයාට හොදක් වෙනවානම් එච්චරයි.."

ඇය ඉන්නේ සතුටින්ද දුකෙන්දැයි හරිහමන් නිගමනයක් මට නැත. නමුත් ඇය පෙරට වඩා සැනසීමෙන් ඇති බවනම් මට විශ්වාසය.කෙසේ උවත් ඇයව සතුටින් තියන්නට මම ඉටාගත්තේ අප වෙන්වූ පසුවය.

"මම ඔයාට අකිල අයියෙ කියන්නද? "

"ඔයාට මාව ඔයාගෙ අයියා කෙනෙක් වගේ දැනෙනවද? "

"ඇත්තටම ඔවු අකිල.. අපි හැමදාමත් මේ විදියට ඉමු."

හිත තුළ ඇත්තේ හිස් හැඟීමකි. අමුතු සතුටක් මෙන්ම අමුතු දුකක්ද නැත.මේසය උඩ ඇති පැන්සලයකින් පැරණි ෆැක්ස් කොලේක බලි ඇන්දෙමි.

"හිතලා බලලා හොදම තීරණේ ගන්න. මාව අයියා කෙනෙක් විදියට දැනෙනවානම් කරන දෙයක් කියලා කරන්න. මොකද ඔයා අයෙමත් දුකින් ඉන්නවා බලන්න මම ආස නැහැ. මම කැමතියි ඔයා හොද කෙනෙක්ගෙ වෙනවානම්.. ඔයාගෙ දේවල්වලට කරදරයක් වෙන්නෙනම් නැහැ, පුළුවන් හැමදේටම උදව් කරන්නම්, ඔයා සතුටින් ඉන්නවානම්..."

වෙලාවකට බොළද වැඩිවූවාදැයි සිතුනත් ඇත්තෙන්ම මට ඇය කෙරෙහි වූවෙ එවන් හැඟීමක් පමණි. අපගේ පේ‍්‍රමය අවසන් වන දින තෙක්ම මට ඇයට හොදින් සලකන්නට, කතාකරන්නට නොහැකිවිය. ඇය බලාපොරොත්තුවූ උත්තරීතර ආදරය ඇය වෙනුවෙන් විකසිත කරන්නට මට නොහැකි විය. නමුත් එම පේ‍්‍රමයට කණකොකා හැඩූ දින පටන් මට ඇගේ දුරස්වීම දරාගත නොහැකිවිය. ජනේලයෙන් දුර ඈත අහස බලාසිටීමටත් මා හුරුවීමට එක හේතුවක් එයද වන්නට ඇත.ලෝකයේ සිදුවන්නනේ සිදුවන්නට තිබෙන හොදම දෙයනම්, සාරන්‍යා මා හැරයාමෙත් ඇයට අළුතින් පෙම්වතෙකු හමුවීමෙත් ගුණ පමණක් දකින්ට මම ඉටා ගත්තෙමි.


(මතු සම්බන්ධයි)


- නිරෝෂ් මෛති‍්‍ර -
2012/04/25


මෙතනින් (සාරන්‍යා 02)  
මෙතනින් (සාරන්‍යා 03)  
මෙතනින් (සාරන්‍යා 04)  
මෙතනින් (සාරන්‍යා 05)  
මෙතනින් (සාරන්‍යා 06) - අවසාන කොටස  





Tuesday, April 24, 2012

පොද වැස්ස



පාළු අහස යට
අදුරු සැදෑවක
ඔබේ දෙනෙත්
මතකෙට නැගුනා...
සීතල සුළඟත්
වැහිබර අහසත්
ඔබදුටු මුල්දින
මතක් කලා...

එම අහසෙම අද
දුක්බර විලසින්
අදුරු වෙලා
ඔබෙ රුව ඇදුනා...
ඉදහිට වැටෙනා
මේ පොද වැස්සට
ඔබ මෙන් මා වත්
මග හැරුනා...


- නිරෝෂ් මෛත‍්‍රි -
2012/04/24


Monday, April 23, 2012

සමකාලීනයන් අතර වීරයෙක්



එය සුවිශාල Spathodea ගොඩනැගිල්ලට පිටුපසින් මළහිරු බසිමින් තිබූ හැන්දෑවකි.
අපගේ ගුරුවරයෙකුට පෙරකල උපකාරයකට ප‍්‍රතිඋපකාර කරනු වස් පයිප්ප පාරේ අවන්හලක මධුවිත තොළගෑමේ set වීමකට මටද ආරාධනා ලැබුණි.
පැරණි මිතුරන් හමුවීමේ හා ඔවුන් සමග ආගිය තොරතුරු දොඩමළුවීමේ ප‍්‍රහර්ෂයද හිතින් දරාගෙන මා තවත් මිතුරෙකුද සමග අදාල ස්ථානයට යන විටත් සාදය ආරම්භවී තිබුණි.
අප කල උපකාරයන්ට බඩ කට පිරෙනතුරු ස්තූති කතාවලින් පිදුම් ලැබූ පසු,
පවත්නා තත්ත්වය තුළ ලාංකීය දේශපාලනයේ ඉදිරි ගමන
ත්, නැගිටිමින් තිබෙන ජන අරගල ව්‍යාපාරය පිළබදවත්, සම්භාව්‍ය චිත‍්‍රපට කිහිපයක විචාරයන් දෙක තුනකුත්, ඒවනවිට විවාහවීමට නියමිතව සිටි (දැනට විවාහවී සිටින) සගයෙකුට "සාර්ථක විවාහ දිවියකට අපෙන් අත්වැලක්" යන මාතෘකාව යටතේ උපදෙස් මාලාවකුත් යනාදී දේශන, උපදෙස්මාලා, උපකාරක පන්ති, සම්මන්ත‍්‍රණ කිහිපයක්ද මේ සුළු කාලය අතර අපේ සෙට්එක නොමිලේම ලබාදුන්නේය.ඒවාට අපේ උන් උපන් හපනුන්ය. ඇතැම් අය උපදෙස් සදහාම සමස්ත ලංකා මට්ටමේ සහතිකපත් ලාභීන්ය.බෝතලය මේසය වටා වරක් දෙවරක් පැදකුණු කල පසු දැන් යන්නේ ක්ෂිතිජයට ආසන්නයේ කතාබස්ය.හිස්ටීරියාව, මනෝ විශ්ලේශනය, සංජනනය, දීප්ති කියන්නේ කවුද? ලෝකෙ නැති ප‍්‍රශ්නය.
බෝතලය, බයිට් ප්ලේට් එක, බෝතල් දෙක, බයිට් ප්ලේට් දෙක, තුන, හතර හිස් වෙමින් තිබුණි.වටින් පිටින් එළිවෙමින් තිබෙන නිසාදෝ හොද හොද සෙල්ලම් කරළියට එමින් තිබුණි.දැන් උස්මිටිකම් නොමැති සමතලා සමාජයකි. කලින් අයියලා දැන් මචංලාය. කලින් මචංලා දැන් හු** ලාය.

" ඕකාට ඔය මුකුත් කියලා වැඩක් නැහැ.. ඌ විඥාණවාදියෙක්.. ඌ දෙයක් තේරුම් අරන් ඉන්නෙ මෙහෙමයි.. ඒ නිසා ඌ ඒ මතේ අත්අරින්න ලෑස්ති නැහැ. කවදාවත් විඥාණවාදීන්ට පැහැදිලිකිරීම් කරන්න බැහැ.. මොකද ඌ මතයක පිහිටලා, දැනටමත් උගේම කියලා ෆැන්ටසියක් ගොඩනගාගෙන ඉවර නිසා.."


"ආ....."

රසකතා ගොඩකි. ඉහත පැහැදිලි කිරීම ඔහුටම අකුරු කරවූ ගුරුවරයෙකුටය. මට ඉබේටම බයිට් කැවේ.

"හරි.. දැන් මොකක්ද උඹ ඔය කියන විඥාණවාදය? " ඉහත කී ගුරුවරයාගෙන් හරස් ප‍්‍රශ්නයකි.

"ඔයා මාර පොරක්නෙ, විඥාණවාදය කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැතුවද ඔයා මෙච්චරවෙලා කතා කරපු දේවල් අහන් හිටියෙ? ඔයත් නිකන්............."
ගුරුවරයාගේ හිස වටේ Tweety Birds ලා පියාඹයි. අතරින් පතර වල්ගා තරුද කඩා හැලේ.බිව්වට වඩා දැන් මට වෙරිය.

අවසානයේදී දීප්තිද මොකාද කියා දීප්තිවද අදුනන්නේ නැති විදියට හැසිරුණු අපේ කාලයේ වීරයා ජයග‍්‍රහණය කළේය. අන්තිම shot එකද එක උගුරට හලා ගත්තේය. මටනම් මෙය රසගුලාවකි. බයිට් පිගානේ මුහුණ ඔබාගෙන තනිවම සිනාසේ.

දැන් අපේ going away එකය.අයෙක් බදා සිපවැලදගන්නා විට අයෙක් අතේ තිබෙන සිගරට් එකද උදුරාගෙන යන තරමේ දෝරෙ ගලායන සෙනෙහසින් අප පිටව ගියෙමු.
අනේ එවන් සුන්දර රාත‍්‍රියක් ගෙවුණු ඉක්මන !!!

*****

පසුදා උදෑසනින්ම ජංගම දුරකථනය බෙරිහන් දෙන හඩය.

"මචං අයිවන්ව ඊයේ රෑ arrest කරලා කියලා ආරංචිද? "
මගේ නිදි විකාර ගතිය කොහෙන් ගියාද නැත.

"නෑ බං මම දැනුයි ඇහැරුනෙ...ඇයි මොකද වෙලා තියෙන්නෙ? "

"දන්නෑ බං.. උගෙ phone එකත් off,පොඩ්ඩක් හොයලා බලහන්කො.."

හැරෙන තැපෑලෙන් මම පෙරකී ගුරුවරයාට ඇමතුමක් ගත්තේය.

"සර්.. ඊයෙ මෙහෙම සිද්ධියක් උනාලු, ඇත්තද බොරුද දන්නෑ "

"නෑ.. නෑ.. කලබල වෙන්න දෙයක් නෑ. මටත් ඊයේ
රෑම ආරංචි උනා. මමත් හිතුවෙ බොරුවක් කියලා..
පස්සෙ හොයලා බලද්දි බයික් එකේ ලයිසන් නැති නිසා මිනිහව අල්ලලා.කෙසෙල්වත්ත පොලීසියෙ හිටියෙ. මමයි මිලානුයි ගිහින් පුද්ගලි
ඇප දීලා මිනිහව එළියට ගත්තා"

"
ඉතිං ඊයේ මොකද වෙලා තියෙන්නෙ? "

" ඊයේ මිනිහට හොදටම වැඩියිනෙ. මදුරුවෙක්ගෙන් ගිහින් තියෙන්නෙ. යද්දි Traffic පොලීසියෙන් අල්ලලා. හෙල්මටුත් නෑ. No: Plate ඇත්තෙත් නෑ. පොලීසියෙන් ඒවා කෝ කියලා ඇහුවම මදුරුවන්ට මොකටද ඒවා කියලා අහලා. දැන් ඒ නීතිය වෙනස් කරලානෙ බං.. ඒක ඌට කිව්ව
කොහෙද වෙනස් කරලා තියෙන්නෙ වෙනස් කරලා තියෙනවානම් පෙන්නන්න කියලා ගේම ඉල්ලලා.. කතාව දුර දිග ගිහින්.."

"ඉතින් ඒ නීති කොහොම උනත් මේකා බීලා ඉදපු එකම ඇතිනෙ"

"ඒකනෙ බං කියන්නෙ එතනත් විඥාණවාදය කතා කරන්න යන්න ඇති.අනික ඊයෙ සිකුරාදා, ඊයෙම මිනිහා ගත්තෙ නැත්තන් සදුදා වෙනකන්ම ඇතුලෙ.
ඒමදිවට මම බයේ හිටියේ ඊයේ අතනින් යන වෙලාවෙ මිනිහා මට කිවුවා, ඔතපු කූරු දෙකක් තියෙනවා කියලා. මම හිතුවෙ ඒවත් මාට්ටුද දන්නෑ කියලා, වෙලාවට එහෙම හෙණයක් පාත්වෙලා තිබ්බෙ නැහැ..."

"හොද වෙලාවට... කොහොම හරි කමක් නැහැ දැන් මිනිහට ප‍්‍රශ්නයක් නෑනෙ, එහෙනම් එච්චරයි"

********

නැවත මම මුලින් පණිවුඩය දුන් මිතුරා ඇමතුවෙමි.

"මචං ඌට අවුලක් නැහැ ඊයෙම එළියට අරන්"  මම කීවෙමි.

ඊළඟට මට ලැබුනෙ හරි අපූරු පිළිතුරකි.

"ඔවු බං මම දැන් ඌට ගත්තා. ඌ කිව්වා අවුලක් නැහැ කියලා. ඌ අදුනන ලෝයර්ස්ලා ඉන්නවනෙ. උන්ට කතා කරලා වැඬේ ගොඩදාගත්තලු. ලෝයර් කෙනෙක් ඇවිත් ඇපදීලා ගත්තලු. ප‍්‍රශ්නයක් උනේ නැහැලු "
දැන්
Tweety Birdsලා පියාඹන්නේ මගේ හිස වටේය..

"මොකක්? උගේ මොන ලෝයරයෙක්ද? ඊයේ අපේ මිලානයයි, විමල් සර්රුයිනෙ ගිහින් පුද්ගලික ඇප දීලා අරන් තියෙන්නෙ"

"ආ....."


- නිරෝෂ් මෛත‍්‍රි -
2012/04/22


Saturday, April 21, 2012

සමාවෙන්න





සමාවෙන්න මට !
- මට දැන්  ඕක කියන්න එපා..
ඇයි ඒ ?
- ඔයා  ඕක කියලා කියලාම සමාවෙන්න කියන වචනෙත් බාල්දුකරලා තියෙන්නෙ.
එහෙනම් මම මොකක්ද කියන්න  ඕනෙ ?
- සමාවක් ඉල්ලන්න  ඕන වෙන්නෙ නැති තැනට වැඩ කරන්න.
හරි මම මීට පස්සෙ එහෙම කරන්නම්.
- කී දවසකටද ?
හ්ම්ම්...
- උත්තරයක් දෙන්න බැහැ නේද ?
ම්ම්ම්...
- කමක් නැහැ ඔයා දිගටම සමාව ඉල්ලන්න.
ඇයි ඒ ? මාත් එක්ක තරහින් නේද ?
- නැහැ හොද මිනිස්සු කියන්නෙ වැරදි නොකරන අයට නෙවෙයි, වැරදි හදාගත්ත අයට.
ඔයාට හොද අවබෝධයක් තියෙනවා.
- ඔයාගෙන්ම තමයි ඒක ලැබුනෙ...


  - නිරෝෂ් මෛති‍්‍ර -

ළගදි ගත්තෙ වද්දන්න එපා




රොබට් සෙමාකිස්ගේ (Robert Zemeckis) Forrest Gump චිත‍්‍රපටියේ ප‍්‍රධාන චරිතය වූ "ගම්ප්" නම් පුද්ගලයා කිසිදු දෙයක් වටහා ගන්නට උත්සහ නොකරන්නෙකි. අවට පවතින සමාජ යථාර්ථය කෙරෙහි ඔහු දක්වන්නේ බිංදුවේ ප‍්‍රතිචාරයකි. වරක් ඔහු ඇමරිකාව වෙනුවෙන් වියට්නාම් යුද්ධයට බැදී සටන් කරයි,තව වරක් ඔහුව ඇමරිකන් ආණ්ඩුව පිංපොං බෝල ගැසීම සදහා චීනයට යවයි,ඔහු ආදරය කරන පෙම්වතිය වියට්නාම් යුද්ධයට එරෙහිව පෙළපාලිවල ගමන් කරන්නියකි,ඇයට ඊට අමතරව AIDS වැළදී ඇත.වියට්නාම් යුද්ධය,චීනය, AIDS යන මේවා ඓතිහාසික සිදුවීම්වන අතර ඒවා අතර විශාල වෙනස්කම් පවතියි.නමුත් ගම්ප්ට අනුව ඔහුට මේවා අතර වෙනසක් නැත. වියට්නාම් යුද්ධයේදී සටන්කරන ඔහු ඊට ප‍්‍රතිපක්ෂ ස්ථාවරයක සිටින තම පෙම්වතිය විවාහ කර ගැනීමේදී ඒ ගැන කිසිවක් නොඅසයි.
            මෙම චිත‍්‍රපටිය හදිසියේ මතකයට පැමිණියේ මගේ මිතුරෙකුගේ සටහනක් අන්තර්ජාලයේ අහම්බයෙන් දැකීමෙනි. එය කියවා අවසන් වූ පසු මට දැනුන එකම කරුණ නම්,යම් ස්ත‍්‍රියක් අරඹයා ඔහු පැටලී ඇති ග‍්‍රස්ථිය සුළුපටු එකක් නොවන බවයි. විටෙක සදාචාර සම්පන්න සමාජයක් ගැන කතාකරමින්,තවත් විටෙක අරගලයක් සිත තුළ නළියෑම පිළිබදව සිහින දකිමින් ඇතැම් වගඋත්තරකරුවන් ලේ නෑයින් වූ විට ඔහු දක්වන්නේ බිංදුවේ ප‍්‍රතිචාරයකි. එවිට අයෙක් පිළීබද අන්ධ භක්තියකින් පෙළෙන ගමන් කුහකත්වය,මූනිස්සම්,සල්ලි ගහේ නැගීම, නම් කැපීම,සැරව ගැලීම යන විසම්භන්ධ වචන රැසක් (ඔහුගේම වචනවලින් නම් රැප් ගීයක ආකාරයෙන්) එක පෙලට ගායනා කරයි. නමුත් සැබෑ ලෝකයේදී සිදුවී ඇත්තේ අනෙකක් බව තේරුම්ගැනීමට තව අල්ප කාලයක් පමණක් ඔහුට ප‍්‍රමාණවත්ය. යථාර්ථය (Reality) යැයි මිනිසුන් තේරුම් ගන්නේ ඔවුන් දකින්නට කැමති දේය.එයට පරිබාහිර දෙයක් සිදුවන විට ඔවුන් හැසිරෙන්නේ උන්මත්තකයින්ටත් අන්ත ආකාරයකිනි.ඇතැම් විට යථාර්ථය මෙය බව දැන දැනත් යථාර්ථයට වඩා ඇලී සිටින (තාවකාලික උවත්) මායාව ආශ්වාදනීය බැවින් ඔවුහු මායාවට පෙම්බදිත්. එබැවින් එම ස්වයං වින්දනය වෙනුවෙන් ඔවුන් අවිචාරව පෙනී සිටියි.නමුත් එතැනින්ද නොනැවතී මා මෙන්ම ඔබද මේ ස්වයං වින්දනය වෙනුවෙන් හඩ නොනගන්නේ ඇයි දැයි අසයි.
            එඩිත් වෝටර්න්ගේ (Edith Wharton) The Age of Innocence නවකතාවේ හරය මෙම තත්ත්වයට බොහෝ සෙයින් සමපාතය.
එහි කතානායකයාට ඉහළ පන්තියේ කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවයක් තිබෙන බව ඔහුගේ බිරිද හොදින්ම දනියි.නමුත් ඔහුට එවැනි සම්බන්ධකමක් නැතැයි කියා ඇය විශ්වාසකරන අතර ඇය ජීවත්වන්නේ තම සැමියා ඉතා යහපත් පුද්ගලයෙකු කියා සලකාගෙනය. ඇගේ මෙම තර්කය නිසා ඇය අවට යතාර්ථය ඉතා හොදින් කි‍්‍රයාත්මක වෙයි. ඒ අනුව ඇගේ විවාහය යනු සැබෑ ලෝකයේ පවතින දෙයක් නොව ලෝකය ඉදිරියේ පවතින ප‍්‍රබන්ධයකි. නමුත් ඇය එම කටුක ඇත්ත ප‍්‍රතික්ෂේප කොට එවැන්නක් සිදුවී නැතැයි සිතා කි‍්‍රයාකරයි. එතැනදී ඇයගේ විවාහ ජීවිතය පමණක් නොව සමාජයෙන් වෙන ගැරහුම්වලින්ද ඇය ආරක්ෂාවෙයි.කිසිදු දෙයක් සිදුවී නැතැයි යන යථාර්ථය බැහැර කොට ඇය නිර්මාණය කරගන්නා ලද ෆැන්ටසිය තුළ සතුටින් ජීවත්වීමට උත්සහ කරයි.
            ඉදින් සැබවින් නොපවත්නා යමක් රැක ගැනීමට පුද්ගලයෙකුට අපමණ වෙහෙසක් ගැනීමට සිදුවීම,පිටතින් බලා සිටින කෙනෙකුට අසිත තවුසා සිහිපත් කරන්නකි. මන්ද එකවර සොම්නස මෙන්ම දොම්නසද පහල කරන බැවිනි. ඔහුගේ සතුට රැදී තිබෙන්නේ යථාර්ථය බැහැර කරන තෙක්ය.ඔහු තමන් පරමාදර්ශී චරිතයක් බව සිතන ගමන් තමා වටා ඇති සංකේත චරිත  රැකගැනීමට ගොස් පුද්ගලයන්ට පොදු විනෝදාස්වාදයද සපයන්නේ නිරායාසයෙනි. එවන් අයෙක් පිළිබදව අනුකම්පා කරනවා හැරෙන්නට වෙන කලහැකි යමක් නැත.
ඉදින් යහපත් මෙන්ම බුද්ධිමත් අනාගතයක් වෙනුවෙන් එවන් මිනිසුන්ට පුණ්‍යානුමෝදනා කරමු.


- නිරෝෂ් මෛති‍්‍ර -
2012/03/01

හෘද සාක්ෂියක් කී කතාවක්



ප‍්‍රතිඵලය:

මට බොරු කියන්න බැරිවීමේ විපාක කර්ම ඊයේ හොදහැටි පඩිසන් දුනි.
කියූ බොරුවක් Creative නොවීම නිසාත්, හරස් ප‍්‍රශ්න ඇසීමේදී උපමා, රූපක යොදා බොරුව හැඩ කිරීමට නොහැකිවූ නිසාත්, කරමුලටම හිරවුණි.
මුග්ධ මිනිසෙක් ලෙස මා ජීවත්වන්නට උත්සහ කලත් තවමත් මා තුළ වියැකී නොගිය ගුණයහපත්කම් තිබෙන බව පෙරදා රැය මට කියාදුන් පාඩමයි.

හෘද සාක්ෂියේ සටහන:

හොද ගුණ යහපත් මිනිහෙක් ලෙසත්, බොරුකියා අනුන්ව රවටා ජීවත්වන පවුකාරයන් පිළිකුලෙන් යුතුව හෙළාදුටු යුගයත් මීට වසරකට පමණ පෙර අවසන් විය.
ඉන්
පසුව බිහිවූයේ දෙබිඩි මිනිසෙකි. ඔහු පව පින ගැන ඒතරම් තැකීමක් නැත.
උදාහරණයක්
ලෙස පොහොය දිනයේ ගල් වලේ (ගල්වල යනු අත්හැර දමා ඇති ගල් වැඩපොලකි) සෙට් වී සිගරට් උරණ, ගංජා ගසන, අරක්කු බොන සිය යහළුවන්ව ඔහු දුටුවේ දේවදත්තලා මෙනි. (ගල්වලට ඉහලින් කෙලින්ම දිස්වන්නේ ගමේ පන්සලේ චෛත්‍යයවීම ඔහුගේ සිත තවත් සංවේදී කෙරිණි)
නමුත් පසුකාලීනව දෙබිඩි මිනිසා පොහොය දිනයේ බාර් වසා දැමීම පිළිබදව ආණ්ඩුවටත්, රට කරවන ඇත්තන්ගේ මව් පාර්ශවයන්වලටත් නිතර දෙවේලේ පුණ්‍යානුමෝදනා කරවීය.දෙබිඩි මිනිසා ඉන්ද නැවතුනේ නැත. අදටත් බොරු කිරීමේ හසල දැනුමක් ඔහුට නැතත් (ඇතැම් බොරු අතේ පත්තු වූවත්) ඔහු දිගටම බොරුකීය.
විශේෂයෙන්ම කාන්තා පාර්ශවයටය.මන්ද එම සත්වයා කෙරෙහි වූ විශ්වාසයේ අගය දිගින් දිගටම සෘණ අගයක් ගත් බැවිනි.
නමුත් එයට හේතුවක් විය. පෙරසිටි බෝසත් තරුණයා ඇත්තෙන්ම අහින්සකයෙකි. ඔහුට තිබුන මූලික දුර්වලකම නම් නිතර කිපීම පමණි.
එමෙන්ම ඔහු අවංකයෙකි.එබැවින් එහි අතුරු පලයක් ලෙස ඔහු පුද්ගලයන් ඇදහූ මෝඩයෙකුද විය. එම නිසාම ඔහුව කඬේ යවා විනෝදාස්වාදයක් ලැබූ පුද්ගලයන්ද මේ අතර විය.

කාලය අතර හමා ගිය චණ්ඩ සුළඟකින් බොහෝ දේ උඩුයටිකුරු විය. ඉන් බෝසත් තරුණයාගේ සිත තව තවත් කිළිටිවී කෙළෙස් සතුරන් වර්ධනයවිය. ඔහු දැන් තවදුරටත් සිරිත්මල්දමේ සිරිමත් නොවේය. ඔහුට අනුන්ගේ දුකක් නොදැනෙයි. දුරකථනයෙන් ඔහු අමතා තමන්ගේ දුක කියනා ගැටිස්සියන්ට ඔහු සිනාවිය.
"
ඔයානම් මහ ගල් හිතක් තියෙන කෙනෙක්, තකහනියක් ඔයාට call කරලා මේවා කියන මටයි ගහන්න ඕනෙ" යන දෙබස් ඔහුට කටපාඩම් වන තරමට නිතර දෙවේලේ ඇසුණි. නමුත් පුදුමය නම් නැවත නැවතත් ගැටිස්සියන් ඔහුටම දුක කීමය. එයටද හේතුවක් විය. එනම් ඔහු ඉතාමත් මිත‍්‍රශීලී පුද්ගලයෙකුවීමයි. ඔහු (අභ්‍යන්තරයෙන් දැවුනත්) නිතර පී‍්‍රතියෙන් සිනහවෙන් දිවිගෙවන්නට තැත්කිරීම ඔවුන්ට පි‍්‍රය වන්නට ඇත. විහිළු කිරීම, කට කැඩිච්ච කතාවක් කීම ඔහුගේ අනිවාර්ය අංගයකි. හෙන ගැහුවද සතුටින් සිටීමට ඔහුට ආභාෂය ලැබුනේ පැරණි පෙම්වතියකගෙනි. (ඇය පිළිබද විශේෂ සටහනක් ඉදිරියේදි බලාපොරොත්තුවන්න)
ප‍්‍රශ්නවලින් මිරකී සිටින්නෙකු බොරුවට හෝ සතුටින් ජීවත්වන්නේ කෙසේදැයි ඉගැනීමට අවැසිනම් ඇය පරමාදර්ශී චරිතයකි.
ඇයගේ වියෝව දෙබිඩි මිනිසාව තව තවත් මුග්ධ කිරීමට බලපෑවේය.
ඔහුගේ සිතින් අනුකම්පාව වියැකුනේ බලාගෙන සිටින විටය. ඔහු සහෝදරියක් මෙන් ඇසුරුකල තැනැත්තියක් ඔහුට වංචා කල පසු නිර්දය ලෙස ඇයව ඉවත දැමුවේය. දැඩිව ආදරය කල තරුණිය නොමැතිව දිවිගෙවන්නට හුරුවිය. ඉන්පසු ආදරයක පැටලෙන්නට බලෙන් ඇගේ එල්ලෙන අයට සිත්සේ වංචා කළේය. නමුත් දෙබිඩි මිනිසා ප‍්‍රතිපත්තිගරුක මිනිසෙකි. ඔහු තමන්ගේම මතයක පිහිටා කටයුතු කරයි. ඔහුට දේශපාලනයක් ඇත. සමාජය, පුද්ගලයින්, ආදරය, විරහව වැනි කාරනා පිළිබදව ඔහුගේම විවේචන ඇත. ඔහු ඒ වෙනුවෙන් හැකි සෑම විටම පෙනී සිටියි.

නමුත් ඔහු තවමත් දෙබිඩි මිනිසෙකි...




- 2012/04/21 -
නිරෝෂ් මෛති‍්‍ර 


තටු කැපූ අප හෙවත් දුම්රියපොළේ කවි




දළුලා වැඩෙයි
අතු රිකිළි අතර
වියැකෙන්නට
වෙරදරන
ඔබට ඇති
ආදරය...


පිණි බිදුවක
හිම කැටයක
සිනිදුබව නොරැදුන
කටුක වූ
අපෙ ආදරය...


පියාපත් විදා
දුර අහසේ
පාවෙන්නට
හිත්ලද්දි
උපතින්ම තටු
අහිමි ආදරය...


කිසිදිනක එක් නොවන
සමාන්තර ඉරිදෙකකි
ඔබ තැනක
මා තැනෙක
ආදරය...


- නිරෝෂ් මෛති‍්‍ර -
2012/04/10

අදටත් නෙතට උළෙල



ද ඉස්මත්තේ
පාළු පෙදෙස
ගැඹුරු අගාධෙක
ලා.. පස්දා..
නිමාකල සෙනෙහෙ
සුන්ධයෙන්,
නැවතත්සිපිය
බොකළ මොහොතක,
ඔබවම පෙනිලා
නොපෙනී යා නම්...


සිහින ලොක හිද
දඟක සිතිවිලි..
මිරිගුව දැක දැ
අපමැවු හසරැලි..
නොලැබෙන බ දැන
හී මාළිගා
දියවී ඇදුනා
වෙළේ දියරැළි...


සින්නෙ නැහැ
මල් වරුසා අප හට..
මල් පියවිළි පෑගෙන්නෑ
දෙපට..
නාදුනනා පෙම් යුවලක්
විලසින්
යළි අ හමුවූයේ යි
මේ විලස...


- නිරෝෂ් මෛතී‍්‍ර -
    2012/03/27



හිස් බව



ශීර්ෂයට ඇති
එකම සෙවන
තම අත බව
වැටහුනේ
ලෙඩ ඇදේ ඉන්නාවිට



වතේ දූලි කැබැල්ලත්
ඇස් අග කබ කැබැල්ලත්
මුව අග ඉදුලුත්
මටම හිනැහෙනවා
උනුත්...



ඉදහිට හමන සුළගත්
අද ගෙනෙන්නේ
මූසල පුසුඹක්..
තටුවක් කැඩුණ සමනලයෙක්
උරයි රොන්
ප්ලාස්ටික් මලකින්


වෙනදා සුව ගෙනාව
මදුරු දැලද
හිසරදයක්,
රැහැයියන්ගේ විලාපය
උන්නම්
ගාන්ධරවයින්


ඉදහිට වැටෙන වැස්ස
මවයි දුරාතීතය
ඇස් කෙවෙනි යට,
බෙලි කටුවක හිස් "හෝ" හඩ
රැව් නැගෙයි මා තුළ
ඇති හිස් බව...


(සත්‍ය සිදුවීමක් ඇසුරෙන්)
- නිරෝෂ් මෛති‍්‍ර -

ඇසු හොදම ස්තූති කතාව හෙවත් මනුෂ්‍යත්වය අප්පිරියා කිරීම



පසු:

අළු අහස දින ගණන්
දහසකුත් වේදනා විද
බක්මහේ අකුණු මැද
වැස්සා සොදුරු
මල් වැස්සක්...



මල් වැස්ස
හරි හැඩයි...
මල් වැස්ස
පියකරුයි...
මල් වැස්සෙ ගුණ වයන්න
දාහකුත් එකක් සෙනග



පෙර:

අළු අහස දුක්බරයි
අළු අහස දුර්වලයි
කේඩෑරි රළු පොළව
උන්දැව රැවැටූ හැඩයි


අළු අහස
හූල්ල හූල්ලා
ඇඩූ හැටි
දන්නෙ
වළාකුලක්
දෙකක්..


මල් වැස්ස අත ළගයි
අළු අහස දුර්වලයි
ගතේ දා පිසින්නට
වළාකුළු වින්දේ අපමණ දුකක්



අද:

මල් වැස්ස හරි හැඩයි
මල් වැස්ස පියකරුයි
"උඹ වැස්සෙ මම නිසයි
අපව රැකුවේ එකයි"
කියා අළු අහස මල් වැස්සට
පෙන්වයි
එකම වළාකුලක්....


" උඹට දැන් සනීපද?
තව උනා මදි නේද?
දෙමව්පියන්ටවත් උඹ
කලාද ඔහොම?
දැන් බඩ කපං
මැරියං... "


සිනාසෙයි මුවින් නොව
අන් අන් සියලු
තැන් වලින්
දාහකුත් එකක් වළාකුලු
නිල් අහස ගුගුරවා
එකම එක
වළාකුළකට...



- නිරෝෂ් මෛති‍්‍ර -
     2011/12/18



විෂඝෝර පෙම්වතාට



නටන්නට වන්නම් මට
පෙන්වූ මුලා දෑසට
කටුවකින් නොඇන
නටන්නෙමි මං
වන්නම්..


දොඩන්නට පෙම්බස් මට
කිවියෙකු වූ ඔබේ මුවගට
විෂ හාදුවක් නොතබා
දොඩන්නෙමි මං
නැවුම් පෙම් බස්..


අසන්නට හද ගැහෙන
රාවයක් මට
එදා හද නොවෙයි
උසස් හදකින්
ඔබේ හද සිදුරු කර
අසන්නෙමි මං
නිතර පද වැල්...


- නිරෝෂ් මෛති‍්‍ර-
(2012-01-02)



මගෙත් එක්ක පොඩි වැඩක් පටන්ගමු



මේ Blog එක හදලාම දැන් අවුරුදු දෙක තුනක් උනත් එක එක වැඩ නිසා මට එකම එක Post එකක්වත් දාන්න අද වෙනකන්ම බැරි උනා.
ඒත් පහුගිය කාලෙම සිද්ධ උන ගොඩක් සිදුවීම් වගේම ගොඩක් පුද්ගලයින් මාව ආයෙ ලියන තැනට ගෙනාවා.
ඒ නිසා මුලින්ම ඒ අයට පින් දීලම නමෝ විත්තියෙන් වැඬේ පටන් ගමු.
එක දිගටම ලියන්න බැරි වේවි.. ඒත් පුළුවන් හැමවෙලාවෙම තවත් කෙනෙක්ටත් වැදගත්වෙයි කියලා හිතෙන දෙයක් මේ Blog එකේ තියේවි.
හැබැයි මේක පුරාවටම තියෙන්නෙ මට හිතෙන දේවල් විතරමයි.
වැඩි කතා නැතුවට අපි වැඬේ පටන් ගමු.
මට ආශිර්වාද කරන්න කවුරුත් නැති නිසා මමම ඒකත් කරගන්නම්..

All The Best Nirosh....
:D

 

Sample text

Sample Text