Social Icons

Tuesday, October 9, 2012

හැමදාම මල් පෙති ළං කලත්...



මැරුණ හිතක් අමාරුවෙන් හුස්මගන්න හදන සද්දෙ ඇහිලා තියෙනවද?
මට ඊයෙ ඇහුණා...
හැඟීම් මැරුණට පස්සෙ ඉන්නෙ කොයිවගේ මිනිහෙක්ද කියලා දැකලා තියෙනවද?
මම ඊයෙ දැක්කා...
ගොඩාක් සතුටින් ඉන්නවා වගේ පෙන්නන ඒත් අමුම අමු මළ කදක් එක්ක කතා කරලා තියෙනවද?
මම ඊයෙ කතා කලා...
එතන දැන් ජීවයක් නැහැ.
මම හිතන්නෙ ඌ දැන් ගන්ධබ්බයෙක්...


- නිරෝෂ් මෛති‍්‍ර -
- 2012/10/10 -


Sunday, October 7, 2012

ඇවිදින මළකඳ




මෙච්චර සතුටු වෙන්න
දේවල් තියෙද්දිත්,
සතුටක්,
නොදැනෙන හැටි...
දුක් වෙන්න
ඇති තරම් දේවල්
ඇගේ හැපි හැපි යද්දිත්
දුකක්
නොදැනෙන හැටි...
මම හිතන්නෙ
ඔයාව
වළලපු දවසේ
මාත්
මැරෙන්නැති...

- නිරෝෂ් මෛති‍්‍ර -
2012/10/07

Tuesday, October 2, 2012

ඔහු හා ඇය




ඔහු

* පත්තරේකට නිදහස් මාධ්‍යවේදියෙක් විදිහට ලිව්වා.
* අප‍්‍රසිද්ධ සමාජවාදී කල්ලියකට සම්බන්ධ වෙලා හිටියා.
* නිතර දේශපලනික පොත් බැලුවා.
* කාර්යාලයේදීත් කියෙව්වෙ ආණ්ඩුව විවේචනය කරලා තියෙන වෙබ් පිටු, බ්ලොග් පිටු.
* දවසකට දුම්වැටි දෙකක්වත් ඉරුවා.
* ලස්සන නිසදැස් ලිව්වා.
* ඒවයෙනුත් ගොඩක් ඒවා හරි බරයි.
* ඒ වගේම ඔහු රණ්ඩුවටත් බරයි.


ඇය

* ලස්සන ඇදුම් ඇන්දා.
* උදේට දැක්කම පන්සලක් දැක්කා වගේ හිතම පිරෙනවා.
* ප‍්‍රවෘත්ති කාමරේ වැඩි බරක් ඇද්දත් ඇය කවදාවත් දේශපාලනය ගැන කතා කරන්න ආසා උනේ නැහැ.
* ඉඩක් ලැබුන හැටියෙ සින්දු ඇහුවා.
* ඔන්ලයින් ගේම් ප්ලේ කලා.
* කොණ්ඩ මෝස්තර දාන හැටි යූ ටියුබ් එකෙන් බලාගත්ත අතේ බලන් හිටියා.
* කාර්යාලය දෙක වෙන්න හයියෙන් හිනා උනා.
* කන්න කැමති උනේ 'ටිපි ටිප්' වගේ පොඩිඋන් කන්න කැමති කෑම.


හැබැයි ඇය ඔහුට ගොඩක් ආදරේ කලා. හිතාගන්නවත් බැරි තරමට.
ඒ වෙනදෙයක් නිසා නෙවෙයි, ඔහුගෙ බරයි කියලා පෙන්නන ජීවිතය යට ඉන්නෙ ඇයටත් වඩා කුඩා දරුවෙක් බව ඇය හොදාකාරවම දැනන් හිටිය නිසා...


- නිරෝෂ් මෛති‍්‍ර -
2012-10-02


 

Sample text

Sample Text