Social Icons

Showing posts with label කොටස් කතා. Show all posts
Showing posts with label කොටස් කතා. Show all posts

Wednesday, August 7, 2013

චාපා 30 (අවසාන කොටස)


    දැඩි සත්කාර ඒකකයේ දොර අරිද්දිම මට දකින්නට වූයේ ජීවිතයේ කෙදිනකවත් දකින්නට බලාපොරොත්තුවූ දසුනක් නොවේය. නිල් පැහැති රෝහල් ඇදුමකින් සිටි ඇයට යන්ත‍්‍රයක ආධාරයෙන් ඔක්සිජන් ලබා දෙමින් තිබුණි. දකුණු පසින් ආධාරකයක එල්ලන ලද සේලයින් බෝතලයක කෙලවර චාපාගේ අතක් සිදුරු කර ඇත. මට ඇතිවූයේ දරාගත නොහැකි දුකකි.

"අංකල් ඇයි මේ? චාපට හුගක් අමාරුද..?"

"පේෂන්ට්ව ගේන්න ටිකක් පරක්කු උනා පුතා. නැත්තම් මේතරම් අමාරු වෙන්නෑ. දැනටනම් අපිට කරන්න පුළුවන් හැමදේම කරලා තියෙන්නෙ. ඒත් ඇත්තම කියනවානම් පේෂන්ට්ට අමාරුයි..."
මම ඇය අසල ඇද කෙලවරේ ඉදගත්තේය.

"පුතා මම විනාඩි දහයකින් එනවා, ඉක්මනට පේෂන්ට්ව බලලා එළියට යන්න. එයාට කොයිම වෙලාවක හරි සිහිය එන්න පුළුවන්. මේක අපි හැමෝම අමාරුවේ වැටෙන වැඩක්, තේරුණාද..."
කල්පගේ මාමා එළියට ගියේය. මට දැනුනේ පුදුමාකාර හිස් හැඟීමකි...

"සුදූ..."
මම ඇයගේ අතකින් අල්ලා ගත්තේය. වෙනදා මටත් කලින් මගේ අතේ වෙලෙන ඒ අත අද අප‍්‍රාණිකය.

"සුදූ මං දිහා බලන්න..."
දුටු මුල්දිනයේ මෙන්ම අදත් ඒ මුහුණ පියකරුය. ඇය හුස්ම ගත්තේ අපහසුවෙනි.

"ඇයි සුදූ මෙහෙම දෙයක් කරගත්තෙ? ආදරෙ නැද්ද මට? මාව දාලා යන්න පුළුවන්ද එහෙම..?"

මගේ කදුළු බින්දුවක් ඇගේ පිටි අල්ල මතට වැටුනේය. වෙනදා මේ අත අල්ලා ගන්නේ එහි ඇති උණුසුමට ලෝභකමේය. නමුත් අද ඒ අත සීතලවී ඇත.

"මම කොහොමද ඔයා මෙහෙම ඉන්නවා බලන් ඉන්නෙ දන්නවාද මට කොයිතරම් දුකයිද කියලා. මමයි මේ හැමදේටම වැරදි. පාඩුවේ ඉදපු ඔයාව දුක විතරක් ඉතුරු කරන බැදීමක පටල ගත්තට. පුළුවන්නම් මට සමාව දෙන්න.."

මම ඒ අත ගෙන සිපගත්තේ අපමණ සෙනෙහසකිනි. ඇය කොන්දෙන් ඉස්සෙමින් එකවර තදින් හුස්මක් ගත්තේය.

"සුදූ... අමාරුද ඔයාට..."

ඇය වරක් ඇස්ඇර බලා නැවතත් පියවා ගත්තාය. ඇයට සිහිය එනවා විය හැකිය. නර්ස් කෙනෙක්ට කතාකරන්නටවත් මට එළියට යාමට හැකියාවක් නැත.

"සුදූ..."

එකවර ඇය මගේ අත තදින් අල්ලා ගත්තාය. මට පුදුමාකාර සතුටක් දැනුණි. ඇය නැගිටින්නට හැදුවාය.

"ගිම්..හා..."

"ඔහොම්ම ඉන්න. කතා කරන්න එපා රත්තරං. ඔයාට අමාරුයිනෙ..."

"කො..හෙද මේ..."

"ඔයාට අසනීප උනානෙ.. ඉතිං හොස්පිට්ල් ගෙනාවා.. දැන් මුකුත් කල්පනා කරන්න එපා.. තව ටිකක් නිදා ගන්න.."
මම ඇයගේ හිස ආදරයෙන් අතගෑවේය.

"මාව.. රට.. ගෙනි..."

"නෑ සුදූ ඔයාව කොහෙවත් අරන් ගියේ නෑ. කතා කරන්න එපා පුතේ. ඔයාට හොද නෑ..."

"නෑ.. ම..ට පුළුව..න්.."

"හ්ම්.. ඒත් මට මෙතන ගොඩක් වෙලා ඉන්න බෑ සුදූ... ඉක්මනට යන්න වෙනවා. හරිම අමාරුවෙන් මෙහෙම හරි ඔයා ළඟට ආවේ.."

"අනේ.. යන්..න එපා..."
ඇය අපහසුවෙන් මගේ අත තදකර අල්ලාගත්තාය.

"මට.. සමාව දෙ..නවා නේ..ද..?"
ඇය මගේ ඇස් දිහා බලමින් ඇසුවෙ අහිංසකවය.

"මමයි සමාව ඉල්ලන්න ඕනෙ ඔයාට මෙහෙම කලාට.. දැන් ඕවා හිතන්නෙපා.  අපි ඉක්මනට සනීපවෙලා ඉමු, හොදද.."

"ඒත් මා..වා ආයෙ රට ය..වයි.."

"එහෙම වෙන්නෙ නෑ සුදූ.. අපි බලමු මොනවා හරි කරන්න.."
ඇය අපහසුවෙන් සිනාසුනාය.

"අමාරුද ඔයාට..?"

"කවදා.වත් තනිවෙ..න්න එ.පා.."
මම ඇසූ දෙයට ඇය පිළිතුරු දුන්නේ නැත.

"හොදට ඉ..ගෙන ගන්න. හැමෝ..ටම පේන්න. ම..ගේ ආදරේට වටිනකමක් දෙන්..න මහත්තයෝ...."

"ඔයා කියපු කිසිම දෙයක් මම නොකර ඉදලා තියෙනවද..?"

"මං කාත් එක්..කවත් ගියේ.. නෑ.. මුලි..න්මයි අන්තිමටයි ඇල්..ලුවෙ මේ අත..."
ඇය මගේ අතගෙන පපුව උඩින් තියාගත්තාය. 

"ඔයාගෙ අයියා එන්න කලින් මම යන්න ඕනෙ රත්තරං.."

"ඉන්..න ටිකක්.. මාත් එනවා.."
ඇය සිටින්නේ තවමත් හරියටම පියවි සිහියේ නොවෙන්නට ඇත.

"නිදි මතයි නේද ඔයාට.. නිදාගන්න ටිකක්.."
ගිම්හානට නොකීවාට චාපා සිටියේ දැඩි වේදනාවකිනි. ඇයට ශරීරය අභ්‍යන්තරයෙන් ලොකු වෙනසක් දැනෙන්නට ගත්තාය. 

"එ..දා පාර්.ක් එ..කේ..දි...."
ඇයට වචන පිටවන්නේම නැති තරම්ය.

"මම කිව්වා දව..සක ඇති තර..ම් කිස් දෙන්..න..ම් කියලා... ඒත්...."

"හරි සුදූ ඔයා සනීපවෙලා එනවානෙ. එතකොට මම ළඟටම වෙලා ඉන්නම්.."
ඇය කතාකරන දේවල්වල අමුත්තක් ගිම්හානට නොදැනුනාම නොවේ නමුත් ඔහු එය නොසිතා ඉන්නට හැදුවේ හිතට දැනුන බිය නිසාය.

"ම්හ්.. මට.. නළලට....."

මගේ ඇතුළු ළයම කඩා වැටුනේ ඇය එය කියූ අසරණ විලාසයටය. චාපා මට මේතරම් ආදරේ කරන්නේ කෙසේදැයි මට සිතාගැනීමටවත් නොහැක. මම පහත්වී උතුරා ගලායන තරම් සෙනෙහසකින් ඇයගේ නළල සිපගත්තේය. චාපා දිග හුස්මක් ඉහලට ඇද මගේ අත අත්හැරියාය.



සමාප්තයි !

පසුවදන:
     චාපා නමින් කොටස් 30 කින් පලවූ යොවුන් නවකතාව අදින් මෙසේ නිමාවට පත්වෙන බව මෙය මෙතෙක් කියැවූ පාඨක ඔබට දැනුම්දෙන්නේ සතුටින් නම් නොවේ. චාපා අවසාන කොටසේ සමාප්තයි යනුවෙන් අකුරු අමුණන විට මට දැනුනේ වචන කල නොහැකි දුකකි. චාපාගේ අවසානය ගැන පාඨක ඔබේ අදහස කවරාකාර වුවත් වෙනස් කල නොහැකි සත්‍යය එයවේ. මන්ද මෙය ලිවීමට පටන්ගෙන කොටස් දෙක තුන පලවද්දී මට ලැබෙන්නට වූ ප‍්‍රතිචාරවලින් බොහෝමයක කියැවුනේ චාපා කතාව හොදම විදියට අවසන් කරන ලෙසයි. ඇතැම් ඒවා තර්ජනද විය. කෙසේ නමුත් මෙය මීට වසර නවයකට පෙර උසස්පෙළ සමයේ ඉතිරිවූ හිස්කොලවල ලියා අවසන්ව තිබූ කතාවක් බැවින් එහි අවසානය කෙසේවත් වෙනස් කල නොහැකිව තිබුණි. එබැවින් තමන්ට රිසි පරිදි මෙහි අවසානය භාර ගැනීම පාඨක ඔබට භාරය.කෙසේවෙතත් පසුවදනක් ලෙස මට ලිවීමට කරුණු කිහිපයක් නොලියාම බැරිය. 
පලමුවෙන්ම චාපා සමග මුල සිටම රැදී සිට එය කියැවීමෙන් නොනැවතී මා දිරිමත් කල පාඨකයන් කිහිපදෙනෙකුට හදපිරි ස්තූතිය පුදකිරීමට මෙය අවස්ථාව කර ගනිමි. ඉන් බොහෝ අය ඊළඟ කොටස පල කිරීමට ප‍්‍රමාදවූ විට බැන වැදුණ අවස්ථා එමටය. ඔවුන් සැමදෙනාටම මා සමගින් සිටීම පිළිබදව නැවත වරක් කෘතඥපූරක වීමට කැමැත්තෙමි.

පොත් අතරේ පුස්කා විනාශ වන්නට තිබූ 'චාපා' මා බ්ලොග් පිටු අතරට එක්කලේ හුදෙක් මගේ හිතසුව පිණිස පමණක් වුවත් නොසිතූ පරිදි එයට ප‍්‍රතිචාර ලැබීම මගේ පුදුමයට හේතුවිය. නමුත් කණගාටුවට කරුණ නම් ඒවායින් බොහෝ ප‍්‍රතිචාර රහසිගත ඒවා වීමයි. බොහෝදෙනෙක් බ්ලොග් පිටුවේම අදහස් දක්වනවා වෙනුවට මුහුණු පොතේ පුද්ගලික පණිවුඩ ලෙස ඒවා එවීය. අප හැමෝම නොකියන අපේම කතාවක් ඇත. එය තමන්ට ලියන්නට නොහැකිවූ කල කවුරුන්හෝ ලියනාලද කතාවකට අප ආශා කරන්නේ ඒ නිසාය. ඇතැමෙක් තමන්ගේ ජීවිත කතාවන්වල සමානකම් දැක චාපාට පෙම්බැන්දේය. ඇතැමෙක්ට උවමනා වූයේ චාපා හා ගිම්හාන මෙන් ආදරය කිරීමටය. ඒ අතරම ඇතැමෙක් චාපා විවේචනය කල අතර ඇත්ත ලෝකයේ කිසිවෙකු මෙසේ ආදරය නොකරන බවට දෝෂාරෝපණය කලේය. ඒ සියලු අදහස් තම තම නැණ පමණින් මෙන්ම තම තම අත්දැකීම් අනුවය.

කෙසේ වෙතත් චාපා අදින් අවසන්ය. චාපාලා ගිම්හානලා අඩුවැඩි අයුරින් අප සමාජයේ අප අතරේම ජීවත් වෙයි. චාපා පළමු වරට ලියනවිට මා අසාවත් නොතිබූ ඇතැම් දෙබස්, ස්ථාන, සිදුවීම් වසර නවයක් ගෙවුණු තැන අසන්නට දකින්නට සිදුවීම දෛවයේ අපූර්වත්වයක් මට කියාදුන් බව පමණක් කිව හැක.

'චාපා' සමග රැදී සිටි,
ඔබ සැමට,
ස්තූතියි !

- නිරෝෂ් මෛති‍්‍ර -
- 2013/08/05 -




Sunday, August 4, 2013

චාපා 29



    දෙනෙත් හැර බලන විට මම හිටියේ පුටුවක් මතය. සිදුවූයේ කුමක්දැයි මතකයක් නැතත් තදින් වැදුණු පහරකට මෙන් හිස කකියන්නට විය. මට හදිස්සියේ සිහිවූයේ ඉරේෂා කියූ දේවල්ය.

"චාපා...."

"ගිම්හාන... මචං..."
පැතුනුත් කල්පත් මා අසලය.

"පැතුම්.. චාපා..."

"හරි බං අපි දැං යමු චාපා බලන්න. උඹ ඔහොම කලබල උනොත් කවුද චාපාව බලා ගන්නෙ? රිදෙනවාද ඔළුව..?"

"මොකක්ද පැතුම් උනේ? පැලෙන්න රිදෙනවා..."

"උඹ ඇදගෙන වැටුනනෙ මෙතන. අර තඩි මල් පෝච්චියේ ඔළුව වැදුනා..."

"ඒකට කමක් නැහැ බං අපි දැන්ම යමු..ඇයි දෙයියනේ චාපා මෙහෙම කරගත්තෙ?"
මම හිස අතගානගමන් නැගිට්ටේය. 

"කල්ප උඹ වාහනේ එළියට ගනින්. මම ගිම්හාන එක්ක එන්නම්..."

කල්ප ඉක්මනින් වෑන්රිය කළුබෝවිල රෝහල දෙසට ධාවනය කරන්නට විය. කියාගන්නට බැරි දුකකින් හිත තෙරපෙන්නට විය. මෙතරම් තද තීරණයක් ගැනීමට චාපාට හැකිවූයේ කෙසේද? මොහොතකටවත් මාව මතක්වූයේ නැතිද? 

"මොකක්ද මචං මේ උනේ? චාපා ඊයෙත් මට කතා කලානෙ. ඒත් මේතරම් දෙයක් කරගන්න තරම්......"
මම වීදුරුවට හිස තබාගෙන පැතුම්ගෙන් ඇසුවේය.

"එතන ලොකු ප‍්‍රශ්නයක් තිබිලා මචං..."

"මොකක්ද පැතුම් ජීවිතේ නැතිකරගන්න හදන්න තරම් තිබ්බ ප‍්‍රශ්නෙ? මේකටද බං ආදරේ කියන්නෙ..?"

"මුකුත් නොදැන ඔහොම කතා කරන්න එපා මචං. ප‍්‍රශ්නෙ වෙලා තියෙන්නෙ එදා උඹලා හම්බවෙලා චාපා ආයෙම ගෙදර ගියාට පස්සෙ..."

"උඹ කොහොමද ඕවා දන්නෙ..?"

"ඉරේෂා කතා කරපු වෙලාවෙ කිව්වෙ. එදා ගෙදර ලොකු රණ්ඩුවක් වෙලා. චාපාගෙ තාත්තා චාපාට ගහලත් එක්කලු. අද පාන්දර අර කොල්ලත් එක්ක රට යවන්න ඉදලා තියෙන්නෙ..."

"මොකක්...?"
මට හිතාගන්නටවත් බැරිවිය. ඒතරම් දෙයක් සිදුවූයේනම් එදා කතාකල වෙලාවේම චාපා එය මට නොකීවේ ඇයි?

"චාපා උඹට කොයිතරම් ආදරෙයිද කියලා අපි උඹට කියන්න ඕන නැහැනෙ. උඹව මෙහෙම නන්නත්තාර කරලා අර මෑන් එක්ක යන්න වෙන නිසා චාපා මෙහෙම කරගන්න ඇති.."

මට කරකියාගන්නට දෙයක් නොමැති විය. ඇය දැඩි සත්කාර ඒකකයේ සිටිනා අයුරු මට මැවී පෙනෙන්නට ගත්තේය. පහුගිය කාලෙම ඇය සිටියේ ඉතාමත් සතුටිනි. එහෙම කෙල්ල අද ඉස්පිරිතාලෙක වැටී සිටිනවා දකින්නට හිතට හයියක් නැත.

"චාපාගෙ තාත්තා එච්චර හොද පොරක් නෙවෙයිලු මචං. චාපායි නංගියි පොඩිකාලේ ඉදන්ම ළඟ අම්මාට විතරලු. සමහර විට ඒ නිසාම වෙන්නත් ඇති චාපා උඹට ඔය තරම් ආදරේ කලෙත්..."

කල්ප වාහනය පදවන ගමන්ම කීවේය. මට කතාකරන්නට උගුරෙන් වචන පිටවන්නේද නැත. මම දෙනෙත් පියගතිමි. පසුගිය දින කිහිපයේම ඇයව සිහිනයෙන් දුටුවේ මේ අසුභ ලකුණ පහල වන්නට තිබූ නිසාවෙන් විය යුතුය. මේ මෝඩි මෝඩ වැඩක් කලොත් මට සමාව දෙනවා නේදැයි ඇසූයේ මෙයටද? මෝඩ වැඩක් බව දැනගෙන සිටියානම් මෙවැනි තීරණයක් ගත්තේ ඇයි?

"මචං අපි හොස්පිට්ල් එක ළඟ..."
කල්ප රෝහල අසල රථගාලේ වාහනය නැවැත්තුවේය.

"මචං මෙතන ඉදලා ලොකු ගේමක් ගහන්න තියෙන්නෙ. චාපාගේ තාත්තා හරි අයියා හරි ඔතන හිටියොත් අපිට ඔය ළඟින්වත් යන්න වෙන්නෑ. ඒ නිසා අපි කල්පනාවෙන් වැඩකරමු..."

"ඉතින් අපි කොහොමද චාපාව බලන්නෙ.."

"ඒ සේරම හරි. කල්පයාගෙ මාමා ඉන්නෙත් මේ හොස්පිට්ල් එකේමනෙ. උඹ එන්න කලින් අපි එයාට කතා කරලා සේරම ලෑස්ති කලා. මිනිහා නම් වැඬේට බෑමයි කිව්වා. ඒත් කල්පයා එහෙම කලොත් නෑ කමත් අතඅරිනවා කියලා හෙන කේස් එකක් දාලායි අන්තිමට මාමාව ෂේප් කරගත්තෙ..."

"අනේ උඹලට පිං මචං.."
මම කල්පගේ උරහිසට අතක් තබා කීවේය.

"ඕක මොකක්ද බං. මේ වගේ වෙලාවක නැති උදව්වක් අහවල් එකටද. අනික බං මාමා උනත් මේවගේ තැනක ඉදලා උදව්වක් කරන්නැත්තං හාල් ගරන්නද බං.."

"හරි පරක්කු වෙන්න බෑ. අපි යමු. අපි දෙන්නව කවුරුත් දන්නෙ නෑනේ. ඒ නිසා අවුලක් නෑ. උඹ පොඩ්ඩක් අපි දෙන්නට දුරින් වරෙන්.."

අපි රෝහලේ පඩි නගිමින් ඉහළ මාලයකට පැමිණ කොරිඩෝව දිගේ දැඩි සත්කාර ඒකකය දෙසට ගියෝය. වාට්ටුවල සිටින ලෙඩ්ඩුන්ගේ අදෝනාවල් හිත තවත් කඩා වට්ටවයි. චාපා සිටින්නේ දැඩි සත්කාර ඒකකයේ නම් ඇයද කෙතරම් දුක් විදිනවා ඇතිද.

"මචං ඔහොම්මම ඉදිං..."
කල්පත් පැතුනුත් ආපසු හැරී මාවත් ඇදගෙන යන්නට පසෙකට ගියේය.

"ඇයි මොකද..?"

"ආන්ටියි චාපාගෙ අයියයි එතන බංකුවේ වාඩිවෙලා ඉන්නවා බං. අනාතයි. අංකලයා හිටියානම් අවුලක් නෑ මොකද මිනිහා උඹව දන්නෙ නෑනෙ.."

"මචං මට දැන් කවුරු දැක්කත් කමක් නෑ මට ඕනෙ චාපාව බලන්න.."

"ගිම්හානයා මේ, මොඩයෙක් වෙන්න එපා. මේක ඉස්පිරිතාලයක්. අර කෙල්ල ඉන්නෙ පණ ඇද ඇද. පොඩ්ඩක් කල්පනා කරලා වැඩ කරමු මචං.."

"ඔවු මචං උඹ කලබල උනොත් මෙතන අපි කරපු සේරම වතුරෙ යනවා.."

"ඔයාලා මෙතන..."

අපි තුන්දෙනාම ගැස්සුණි. නමුත් ඒ ඉරේෂාය.

"ඇයි මෙතන ඉන්නෙ..?"

"කොහෙ යන්නද ඉරේෂා අර වසවර්තියා ඉන්නවානෙ..."

"කවුද අයියද..?"

"ඔවු අර ඉන්නෙ..."
පැතුම් ඉරේෂාට දැඩි සත්කාර ඒකකය අසල ඇති බංකුව පෙන්වූයේය.

"අයියෝ දැන් මොකද කරන්නෙ? අනේ ගිම්හාන ඔයා නම් යන්න එපා. අහුඋනොතින් මරයි..."

"පොඩ්ඩක් කලබල නොවී ඉන්නකො. මම ඉක්මනට එන්නම්...මචං උඹ මාමාට කෝල් එකක් දීලා කියපං අපි ඇවිත් ඉන්නෙ කියලා.."
පැතුම් වාට්ටු තිබූ  පැත්තට යන්නට ගියේය. 

"කොහෙද ඔයා යන්නෙ..?"

"ඉන්න මම ඉක්මනට එන්නම්..."

"අනේ මන්දා. පුදුම කරුමයක් තමයි මේක. මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන හැටි. ඒකත් මේ ගෑණු ළමයෙක් එක්ක. ඇයි එයාලාගෙ තාත්තට පොඩ්ඩක් කල්පනා කරන්න බැරි. නාදුනන මනුස්සයෙක් එක්ක යවනවද වෙන රටකට ඔහොම බලහත්කාරෙන්..."

ඉරේෂාගේ කටහඩද වෙනස්වී ඇත. ඇය චාපාට හැමදාමත් සහෝදරියක් වූවාය.

"අන්න අයෝධ්‍යා ඉන්නවා. ඔය දෙන්නා ඔතනම ඉන්න, මම නංගිට කතා කරලා එන්නම්.."
ඉරේෂා චාපාගේ නංගිව දැක විදුලි සෝපානය දෙසට ගියාය.

"මොකක්ද දැන් අපි කරන්නෙ කල්ප..?"
මම කල්පගෙන් ඇසුවේය.

"මම මාමාට කතා කලා. මිනිහා තව ටිකකින් එනවා කිව්වා. අපි බලමු පැතුම් එනකන්. ඌ මොකක් හරි කරන්න තමයි ගියේ.."

"අයියේ..."
චාපාගේ නංගී කතා කලේ අඩාගෙනමය.

"මොකක්ද අයියේ අපේ අක්කට මේ උනේ..?"

"අඩන්න එපා නංගි. අක්කට මුකුත් වෙන්නෑ. බය වෙන්න එපා. අක්කා ගොඩක් හොද කෙනෙක්. එයා දිහා දෙයියෙ බලයි.."

"පවු එයා. පොඩි කාලෙ ඉදන් සතුටක් තිබ්බෙ නැහැ. ඒත් ඔයා නිසා හරිම සතුටින් හිටියෙ. අනේ මගෙ අක්කා..."
අයෝධ්‍යා ඉරේෂාගේ උරහිසේ එල්ලී හඩන්නට ගත්තාය.

"අඩන්නෙපා චූටි. දැන් අපි අක්කව සනීප කරගන්න විදිහක් බලමු. අඩලා මුකුත් කරන්න බෑනේ. අපි ඔක්කොම දුකින් තමයි ඉන්නෙ.."
ඉරේෂා ඇයගේ හිස අත ගෑවාය.

"මචං හරි..."
පැතුම් අප අසලට ආවේ මුහුණේ සිනහවක්ද සමගිනි.

"කොහෙද උඹ ගියේ..?"

"මම නර්ස් කෙනෙක් හම්බවෙන්න ගියේ. අපේ අම්මා ඇඩ්මිට් වෙලා ඉන්න වෙලාවෙ ගොඩක් උදව් කරපු කෙනෙක්..."

"යකෝ මේක නර්ස්ලාගෙ දුක සැප බලන්න යන වෙලාවක්ද? පිස්සුද තොට..?"
කල්ප පැතුම්ට බැණවැදුනේය.

"ඉදපංකො රිලවා වගේ පනින්නැතුව කියලා ඉවරවෙනකං. මම ඒ නර්ස්ට විස්තරේ සේරම කිව්වා. එයා තව ටිකකින් ඇවිත් චාපාගෙ අයිය එක්කගෙන යයි ඩොකියුමන්ට් වගේකට සයින් කරන්න කියලා. එයා කිව්වා උපරිම විනාඩි දහයයි රස්තයාදු කරන්න පුළුවන් ඊට වඩා බෑ, එයාගෙ රස්සාවත් නැතිවෙයි කියලා..."

"උඹ පුදුම පොරක්නෙ..."
කල්පගෙ මුහුනේද සිනහවක් ඇදුණි.

"මාමාට කිව්වද උඹ..?"

"ඔවු දැන් එනවා කිව්වා.."

"නංගි ඇයි තාත්තා පේන්න නැත්තේ..?"
පැතුම් අයෝධ්‍යා දෙස බලා ඇසුවේය.

"තාත්තා ගෙදර ගියා දැන් පැය බාගෙකට විතර කලින්, ෂොප් එකේ යතුරු ටික මැනේජර් අංකල්ට දීලා එන්න කියලා.."

"ඒකියන්නෙ මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් ෂොප් එක අද අරිනවද..?"

අයෝධ්‍යා දිග හුස්මක් පිටකරමින් ඉවත බලාගත්තේ අසරණ ලෙසය.

"හරි, දැන් ඕවා කතා කරලා තේරුමක් නැහැ, අපි අපේ කෙල්ල ගැන බලමු. ඉරේෂා.. ඔයාටයි නංගිටයිත් කරන්න වැඩක් තියෙනවා..
නංගි, අම්මා කාලාද ඉන්නෙ..?"


"නැහැ අයියෙ, උදේ ඉදන් වතුර උගුරක්වත් නැතුවයි ඔය අඩ අඩ ඉන්නෙ. කන්න ගෙනත් දුන්නා දෙතුන් සැරයක් ඒත් එපා කිව්වා.."

"අනේ පවු දෙයියනේ..."
මට ඇය ඇතිවූයේ දුකකි. ඇයවත් නොමැතිවූවානම් චාපාට කිසිදු රැකවරණයක් නැත.

"එහෙනම් ඔය දෙන්නා අයියා ගියාට පස්සෙ අම්මා ළඟට ගිහින් කොහොම හරි කන්න එක්ක යන්න. මොනවම හරි කියලා. අපිට කෝක කරන්න තියෙන්නෙත් විනාඩි දහයියි..."

මගේ හිතේ ඇති බිය එන්න එන්නම වැඩිවන්නට විය. ඇය ඉන්නේ සාමාන්‍ය වාට්ටුවක නම් හිත හදාගන්නට තිබුණි. ඒත් ඇය ඉන්නේ දැඩි සත්තාර ඒකකයේය.

"ගිම්හාන උඹේ අතේ තමයි මචං සේරම තියෙන්නෙ තේරුණාද? උඹට චාපාව බලන්න පුළුවන් විනාඩි දහයයි කියන එක ඔළුවෙ තියාගෙන ඇතුලට පලයන්. අපි දන්නවා උඹට දුකයි කියලා. ඒත් ඊට වඩා එක විනාඩියක්වත් ගන්න එපා. එහෙම උනොත් වෙන්නෙ මෙතන ලොකු ප‍්‍රශ්නයක් ඇතිවෙනවා විතරක් නෙවෙයි. මිනිස්සු දෙතුන් දෙනෙක්ගෙ රස්සාවලුත් නැතිවෙන එක. තේරුණාද උඹට..?"

"අපි හැමෝම මේ ජීවිතේටවත් නොකරපු දේවල් කරන්නෙ උඹ හොද එකා නිසයි උඹ චාපාට ඇත්තටම ආදරෙයි කියලා හොදාකාරවම දන්න නිසයි. ඒ නිසා අපිවත් බේරගෙන වැඩ කරන එක උඹේ යුතුකම..."

"මට තේරෙනවා මචං. උඹලා නැත්තම් මට අද චාපාව එක විනාඩියකටවත් දකින්න ලැබෙන්නෑ..."

"මේ.. කෝ බං උඹේ මාමා? සේරම ලස්සනට ප්ලෑන් කරලා අන්තිමට මිනිහා වැඬේ නායි වගේ..."
පැතුම් කීවේ කල්පටය. 

"ඉදහන් මම ගිහින් බලන්නම්..."

"පුතා..."
කල්ප යන්නට හදද්දීම දොස්තර කෙනෙක් පසුපස සිට කතා කලේය.

"කාවද දැන් ඇතුලට එක්ක යන්න ඕනෙ..?"

"මෙයාව මාමෙ.. ගිම්හාන මේ මගේ මාමා. මාමේ මේ ගිම්හාන.. මගේ අතිජාත මිත‍්‍රයා.."
කල්ප සිනාවී මාව හදුන්වා දුන්නද ඔහුගේ මුහුණේ සිනහවක සේයාවක් වත් නොමැත. 

"මම මේක මෙයාගෙ බලකිරීමට කරනවා මිසක් පුළුවන් කමකට කරනවා නෙවෙයි තේරුණාද? මේවා අපිට අනවශ්‍ය ප‍්‍රශ්න ඇතිවෙන වැඩ.."

"හරි හරි මාමේ, මම මේ උදව්වක් ඉල්ලුවාමනෙ.."

"ආයෙ උදව් නොයිලුවාට කමක් නෑ... යන කෙනා එන්න..."
ඒසේ කියමින් ඔහු දැඩි සත්කාර ඒකකට දෙසට ඇවිද ගියේය.

"අයියේ, අන්න අපේ අයියව අර නර්ස් එක්ක ගියා..."
අයෝධ්‍යා වාට්ටුව දෙසින් ඇවිද යන ඇයගේ අයියා පෙන්වූවාය.

"හරි දැන් තමයි ඔය දෙන්නගෙ වෙලාව. පුළුවන් ඉක්මනට අම්මාවත් එතනින් එක්ක යන්න. නංගි ඔයා අම්මට කියන්න එයා එනකන් එතන ඉන්නම් කියලා. ඉක්මන් කරන්න..."

පැතුම් ඉරේෂාවත් අයෝධ්‍යාවත් පිටත් කර හැරියේය. ඇත්තෙන්ම මෙය බරපතල වැඩකි. සියලු දෙනාම මේ අවධානම ගන්නේ එක විනාඩි දහයටක මට ඇයව බලා ගැනීමටය.

"මචං උඹත් ඔහොම්මම පලයං. වදින්නම්, මෙච්චර වෙලා කිව්ව දේවල් මතක තියාගනින්.. කල්ප උඹත් මූ එක්ක පලයං. මම මෙතන ඉන්නම්. එළියෙ අවුලක් වෙයිද කියන්න බැහැනෙ.."

"උඹලට පිං මචං..."

"පිං දීපං ඇවිත්.. ඉක්මනට පලයං..."

හදවත වේගයෙන් ගැහෙද්දී මම දැඩි සත්කාර ඒකකයේ දොර ඇරියේය.


(චාපා අවසාන කොටස සමගින් හමුවෙමු...)
- නිරෝෂ් මෛති‍්‍ර -
- 2004 -




Thursday, August 1, 2013

චාපා 28



   සුවදා පාන්දර එකවරම ඇහැරුනේ දාඩිය දමා ඉවසන්නටම බැරි වූ නිසාය. කුමන හෝ හේතුවකින් විදුලි පංකාවද රාති‍්‍රයේ අකි‍්‍රයවී ඇත. ඊයේ රැයේද චාපාව සිහිනෙන් දුටුබව මතකය. 'අනේ මාව බේරගන්න' කියා කෑගසමින් ඇය හඩා වැටුනාය. එය සියල්ල පැටලී ඇති අගක් මුලක් නැති විකාර සිහිනයක් බැවින් ඒ ගැන තවත් සිතීමෙන් පලක් නැත. විදුලි පංකාව නිවී ඇති නිසා දාඩිය දැමීමෙන් විකාර සිහින පෙනෙන්නටද ඇත. නමුත් හිතට දැනෙන්නේම අමුත්තකි. ඇදෙන් නැගිට ගොස් හිතේ කේඩෑරි ගතිය යන්නටත් එක්ක පාන්දරම නෑවේය.
අද සෙනසුරාදා නොවුවානම් පාසලේදි ඉරේෂාව හමුවී චාපා ගැන විස්තර ටිකක් දැනගන්නට තිබුණි. යළිත් රැයේදුටු සිහිනය සිහිපත් විය. මාව බේරාගන්නට යැයි කිය කියා ඇය පසුපසට ඇදී ගියාය. ඇතැම්විට එවැනි සිහිනයක් දුටුවේ ඊයේ දුරකථන ඇමතුම ගැන උවමනාවටත් වඩා කල්පනා කළ නිසාද වන්නට ඇත. 
නෑමෙන් පසු හිතට දැනුනේ ප‍්‍රබෝධයකි. කරදර දවස් ගණනාවක් පසුකල නිසා පාඩම් වැඩද මඟ හැරී තිබුනේය. මම ආර්ථික විද්‍යා පොතද රැගෙන බැල්කනියට ආවේය. පොත බලන්නට ගත්වනමද සිහිවූයේ චාපාවය. ආර්ථික විද්‍යා පොත ඇය මට උපන්දිනයට දුන් තෑග්ගයි. ඇය හැම අතින්ම මගේ ජීවිතයට හොදක් මිස කෙදිනකවත් වරදක් කර නැති අපූරු යුවතියක් නේදැයි සිතෙද්දී හිතට ඇතිවන්නේ පුදුමාකාර සතුටකි.

"පුතා අන්න පැතුම්ගෙන් කෝල් එකක්.. හදිස්සියක්ලු.."

අම්මා පඩිපෙළ ළඟ සිට අඩගැසුවාය. පැතුම් සාමාන්‍යයෙන් උදෑසන ඇමතුම් දෙන්නේ නැත. මන්ද මම පාඩම් කරන වෙලාව බව ඔහු හොදින්ම දන්නා නිසාය. 

"ඔවු බං.. මොකෝ මේ උදේම..?"
පැතුම් කතාකරන්නට මොහොතක් ගත්තේය.

"ගිම්හාන උඹ පාඩම් කරනවා නේද?"

"ඔවු මචං. ඒකට කමක් නැහැ කියපං.. මොකක්ද හදිස්සිය..."

"අදට ඕක පොඩ්ඩක් නවත්තලා ඉක්මනටම අපේ ගෙදරට වරෙන්..."
පැතුම්ගේ හඩ අද ඉතාමත් සංසුන්ය.

"මොකද මේ එක පාර..?"

"වරෙන්කො පුළුවන් ඉක්මනට.. මං තිබ්බා.."

පැතුම්ගේ හඬේ වෙනදා මෙන් සතුටක් නැත. මොකක් නමුත් හදිස්සියක් වන්නට ඇත. පැතුම් හා කල්ප මට කර ඇති උදව්වලට මට ඔවුන් වෙනුවෙන් කල නොහැකි දෙයක් නැත. මම ඉක්මනින් ලෑස්තිවී අම්මාටත් කියා පාරට බැස්සේය. එනගමන් පැතුම් සමග පාසල අසලට ගොස් ඉරේෂා හමුවී චාපා ගැනද දැනගත හැකිය.
පැතුම්ගේ නිවසට එන විටම කල්පද එහි සිටිනු දැක මා පුදුව වූයේය.

"මූත් මෙහෙද? ඇයි මේ හදිස්සියේ ඉස්කෝලෙටවත් යන්නද සුදු ඇදන් ඉන්නෙ..?"

"ගිම්හාන ගෙට එන්නකො..."
වෙනදා දගකාර කටවල් අද වැසී ඇති නිසා මට දැනුනේ අමුත්තකි.

"මොකද බං මේ තොපි දෙන්නට වෙලා තියෙන්නෙ? ඇයි කරදරයක් වත්ද? වෙනදට මමනෙ අඩුවෙන් කතා කරන්නෙ..."
මට හිනහා ගියේය.

"හරි.. හරි..ඒකට කමක් නෑ ඇයි මේ හදිස්සියේ එන්න කිව්වෙ..?"

"ගිම්හාන, පොඩි කරදරයක් වෙලා මචං. හැබැයි මේක අහලා උඹ කලබල වෙන්න එපා..."
කල්ප පැමිණ මගේ කරෙන් අතක් දාගත්තේය.

"මම මොකටද බං කලබල වෙන්නෙ. කියපංකො මොකද මෙතන වෙලා තියෙන්නෙ කියල?"

"පැතුම් උඹම කියපං..."

"දෙන්නගෙන් මොකෙක් හරි කියපංකො ඇඹරෙන්නෙ නැතුව.."

"ගිම්හාන..."
පැතුම් මා දෙස බලාසිටියේ අනුකම්පා සහගතවය. මට මේ හැසිරීම් හරිම අමුතුය.

"මචං චාපා.."
මාව ඉබේම නැගිට්ටුණි.

"ඇයි චාපාට මොකද..?"

"ඔය ඉතිං කලබල වෙනවානෙ.."

"කලබල වෙන්න හරි, නොවෙන්න හරි කියපං චාපාට මොකද..?"

"මචං චාපා හොස්පිට්ල් එකේ.."

"මොකක්..?"

"ඔවු මචං ICU එකේ. බේරගන්න අමාරුයි කියලාලු කියන්නෙ.."
මම කල්පට කම්මුල් පහරක් ගැසුවේය.

"ජරා විහිළු කරන්න එපා යකෝ. උඹලට විහිළු කරන්න ඕනෙ නම් වෙන එකෙක් අල්ල ගනින් චාපාව නැතුව. තොපි අනිත් උන්ට දෙන බයිට් මම දන්නෙම නෑනෙ...."
මාව වෙව්ලන්නට ගත්තේය.

"දවස් ගානකට පස්සෙ පොතක් අතට ගත්තා විතරයි මේකටද කෝල් කරලා ගෙන්න ගත්තෙ? 
මදැයි මමත් යාළුවෙක්ට කරදරයක් කියලා දුවන් ආවා..."

මට පුදුමතරම් තරහක් අවේය. කල්පත් චාමරත් ඇස් රතුවෙන විහිළු පාසැලේදි ඕනෑ තරම් කර ඇත. කල්ප තවමත් කම්මුල අල්ලාගත් ගමන්මය.

"සොරි මචං.. උඹට උනත් තද වෙනවනෙ බං එහෙම විහිළු කරද්දි. දන්නවනෙ මම චාපාට මුකුත් කියනවාට කැමති නැහැ කියලා..."

මම කල්පගේ කරෙන් අතක් දාගෙන කීවෙමි. කල්පගේ ඇස්වලින් කදුළු එමින් තිබුණි.

"මං කොහොමද බං උඹට තේරුම් කරන්නෙ..?"

"ගිම්හාන, කල්ප විහිළුවක් නෙවෙයි බං කලේ.. ඌ කිව්වෙ ඇත්ත.."

"දැන් ඇති පැතුම් හොදද..?"
පැතුම් පුටුවෙන් නැගිට්ටේය.

"යකෝ උඹ හිතුවද ගෙදර පාඩම් කරන එකාව ගෙන්නලා චාපා ඉස්පිරිතාලෙ කියලා කියන්න අපිට මොලේ හොද නෑ කියලා? චාපා ඊයෙ රෑ පෙරිටන් වගයක් බීලා. රෑම ඇඩ්මිට් කරලා. උඹ විතරක් නෙවෙයි මචං අපිත් හිතුවෙම මේක බොරුවක් කියලා..."

පැතුම්ගේද ඇස්වල කදුළුය. මම කෙසේනම් මෙය විශ්වාස කරන්නද? ප‍්‍රශ්න තිබූ බව සැබෑය. නමුත් චාපාට ජීවිතය නැතිකර ගැනීමට තරම්නම් හේතුවක් තිබුනේ නැත.

"අපි මේ ලෑස්ති වෙලා හිටියෙම උඹත් එක්ක හොස්පිටල් යන්න මචං. තවත් පරක්කු නොකර යමු. ඉරේෂා තමයි මටත් උදේ කතා කරලා මේක කිව්වෙ.."

"මට තාමත් හිතාගන්න බැහැ පැතුම්.."

"අපිට උඹව තේරෙනවා මචං. අතන තියෙනවා ෆෝන් එක. ඉරේෂාට කතා කරලා අහපංකො. මොනවා උනත් අපි උඹත් එක්ක ඉන්නවා... "

මම ඉරේෂාලාගේ නිවසේ අංකයට ඇමතුමක් ගත්තේය. දුරකථනය ගත්තේ ඉරේෂාගේ අම්මා විය යුතුය.

"ආන්ටි ඉරේෂා ඉන්නවද..?"

"ඉන්නවා, කවුද කතා කරන්නෙ..?"

"මම ගිම්හාන ආන්ටි.."

"ටිකක් ඉන්න පුතේ..."
විනාඩියකට පමණ පසු ඉරේෂා දුරකථනය ගත්තේය.

"ගිම්හාන..."
ඇය කතා කලේම අඩන ගමන්ය.

"මොනවද ඉරේෂා මේ පැතුම්ලා කියන්නෙ? බොරු නේද මේ සේරම..?"

"මාත් ආසයි ගිම්හාන මේ සේරම බොරු කියලා අහන්න... ඒත් චාපාට හොදටම අමාරුයි.."

මගේ අතින් රිසීවරය අතහැරුණි. මේ සිදුවූයේ කුමක්ද? චාපා මේ කරගත්තේ කුමක්ද? මෙහෙම දෙයක් කරගැනීමට තරම් ඇයට තිබූ හේතුව කුමක්ද? මගේ ඉදිරියේ ඇති සියල්ල කැරකෙන්නට පටන්ගත්තේය.

"ගිම්හාන...."


ජීවිතයේ මඟ හැරුණා යමක් හොයා ගන්න බැරි වෙන්නම....
(චාපා 29 වන කොටස සමගින් හමුවෙමු...)
- නිරෝෂ් මෛති‍්‍ර -
- 2004 -




Tuesday, July 30, 2013

චාපා 27



    සුවදා පහන්වන තුරුම රැයේ දුටු සිහිනය චාපාගේ සිතේ සක්මන් කලාය. හෙට මේ මොහොත වන විට තමන් උපන් රටේවත් නැතැයි සිතෙන විට ඇතිවෙන්නෙ කියාගත නොහැකි දුකකි. ගිම්හානට කරදරයක් සිදුවේයැයි සිත කියයි. ඒ තමන් නිසා නේදැයි සිහිවද්දී ඇතිවන්නේ පුදුමාකාර කළකිරීමකි. විටෙක ගිම්හාන කියූ පරිද්දෙන් වෙන දෙයක් වෙන්නට ඔහුත් සමග කොහේ හෝ ගොස් ජීවත්වන්නට සිතුණි. නමුත් ලස්සන ජීවිතයක් නිස්කාරනේ නැතිකර දමන්නට නොහැක. තමන් නිසා ඔහුගේ හිතට දුන් බර ඕනෑවටත් වඩා වැඩියැයි ඇයට සිතුණි. හිසේ පැත්තක්ම දැඩීව රිදෙන්නට ගත්තේ ඊයේ බියවී ඇහැරුණ වෙලේ පටන්ය. චාපා පැනඩෝල් හතරක් පමණ එකවර බී ඇදෙහි ඇලවුණාය.
තාත්තා ඊයේ කියූ දේවල් වලින් සක්සුදක්සේ පැහැදිලිවූයේ කිසිදු හේතුවක් නිසාවත් ඔවුන්ගේ ආශිර්වාදය මත තමන්ට ගිම්හානව නොලැබෙන බවයි. ඒ වෙනුවෙන් යමක් කිරීමටවත් කාලයක් දැන් ඉතිරිව නැත. සියල්ල නිමාවීමට ඇත්තේ තව පැය විසිහතරකටත් අඩු කාලයකි. ගිම්හාන නොමැතිව හෙට දවස උදාවෙන්නේ කවරාකාරයකින්දැයි ඇය සිතුවාය. ඇයට අතීතය සිහිවී මුවගට ආදරණිය සිනහවක් ආවාය. ගිම්හානව පාසලේදි මුලින් දුටු දිනය, අහම්බෙන් ඔහුගේ හිසේ හැපුණ දිනය, විද්‍යාගාරයේදී පළමුවරට ආදෙරේයැයි කියූ දිනය, ඔහුගේ උපන්දිනය දවසේ ආදරයෙන් තමන්ගේ නළල සිපගත් දිනය ඇයට චිත‍්‍රපටයක් සේ එක දිගට සිහිවන්නට විය. හිතේ තෙරපෙන දුක කියාගන්නටවත් ගිම්හාන ළඟ හිටියානම්...
චාපා ඇදේ මුනින් හැරී කොට්ටය බදාගෙන අඩන්නට ගත්තාය. 
ජීවිතය තමන්ව මේතරමට අසරණ කර දැමුවේ ඇයිදැයි ඇයටවත් සිතාගන්නට නොහැක. තමන් පෙර ආත්මයක කාටහෝ අප‍්‍රමාණ දුකක් දෙන්නට ඇත. කිසිදු දිනක අගහිගයක් නොතිබූ පවුලක් උපතින් තමන්ට හිමිවුවද උපන්දා සිට අගහිගවූයේ හිතේ සතුට නේදැයි ඇය සිතුවාය. ගිම්හානව සිහිවන විට හිතට ඇතිවන්නේ පුදුමාකාර ලෝභකමකි. මෙලොව කිසිදු පිරිමියෙකු තමන්ට ගිම්හාන මෙන් ආදරය කරන්නේ නැති බව ඇය දැන උන්නාය. හෙටින් පසු නොදන්නා පිරිමියෙකු සමග ගෙවන ජීවිතය ගැන සිතන්නටවත් නොහැකිය.

*********************************************************

අවදිවන විට වෙලාව අටද පසුවී තිබුණි. අද පාසැල් යාමට සිතාසිටියද දැන් ප‍්‍රමාද වැඩිය. රැයේ යාන්තමට මෙන් දුටු සිහිනයක් නිසා අවදිවූ වෙලේ පටන් හිතට ඇත්තේ ගුප්ත බවකි. චාපා සුදු සල්වාර් ඇදුමකින් සැරසී මාව පන්සල් එක්ක යනවාදැයි අසමින් ඇවිද ආවාය. නමුත් මඟදී ඇය පය පැකිලී ඇදගෙන වැටුණි. කෙතරම් උත්සහ කලද ඉන්පසු දුටු දේවල් මතකයටය ආවේම නැත. 
ඇයට කරදරයක්දැයි සිතට දැනුනේ බියකි. දුරකථන ඇමතුමක් දෙන්නට සිතුවද ඇයට නැති ප‍්‍රශ්නයක් ඇතිවේයැයි සිතුණි. මේ කරදර කාලය ඉක්මනින් ඉවරවේයැයි සිත කියයි. මොනදේ සිදුවුවත් ඇයගේ නැතිවුන සිනහව නැවත ඇයට ලබාදිය හැකිනම් ඊටවඩා සතුටක් තවත් නැත. කල්පනාව බිදීගියේ දුරකථනය නාදවන හඩ ඇසීමෙනි.

"හෙලෝ ගුඩ් මෝර්නින්..."

"ගිම්හාන මේ.. මම..."

"සුදූ.. හරිම පුදුමයි... මම මේ දැනුත් ඔයාට කතාකරන්න විදියක් කල්පනා කර කර හිටියෙ. මම ඊයේ රෑ මහ විකාර හීනයක් දැක්කා. ඔයා සනීපෙන් නේද සුදූ...පාළුයිද...?"

ඇය කතා කලේ නැත. නමුත් ඇය හොරෙන් ඉකි ගසනවා මට හොදින්ම ඇසුණි.

"සුදූ.. ඇයි කතා කරන්නෙ නැත්තෙ? ඔයා අඩනවා නේද?"

"නැහැ රත්තරං, නැහැ..."

"කවදා ඉදන්ද මට බොරු කියන්න පටන් ගත්තෙ?"

අදින් පස්සෙ බොරුවක්වත් කියන්න මම නැහැ ගිම්හාන කියන්නට සිතුණි. ඒත් මේ සිදුවන දේවල් කියා ඔහුව කෙසේ අවුල්කර දමන්නද...

"තාත්තා ආයෙම මුකුත් කිව්වද..?"

"අපි ඕවා කතා නොකර ඉමු ගිම්හාන..."
ඇය අද හරිම අමුතුය. කතාකරන විදිය සම්පූර්ණයෙන්ම වෙනස්ය.

"ගිම්හාන..."

"කියන්න සුදූ..."

"ඔයාගේ මෝඩි මෝඩ වැඩක් කලොත් මට සමාව දෙනවා නේද...?"

"මොනාද ඔයා අද කතා කරන දේවල්? හරිම වෙනස් ඔයා..."

"මට ඕනෙ ඔය කකුල් දෙක අල්ලලා මූණ ඉඹලා සමාව ගන්න. ඒත්...."

"ඔයා මොනවා කලාටද මගෙන් සමාව ගන්නෙ? ඔය පිස්සු කතාව දැන් නවත්තගන්න. මටත් ඔයාව බලන්න ඕනෙ... හරි බයයි මට ඔයා ගැන. හරිම ආදරෙයි මං ඔයාට.."

"ඇති ගිම්හාන..."

සිදුවී ඇති කිසිවක් නොදැන ගිම්හාන තවත් ආදරයෙන් කතා කිරීම චාපාට දරාගැනීමට නොහැකිවූවාය. වෙන්නට යන දේවල් ගිම්හාන දන්නවානම්...

"චාපා මොනවද ඇති කියන්නෙ..?"

"ඇති කියන්නෙ මට ආදරේ කලා ඇති කියලා..."

ඇය රිසීවරය තැබුවාය. මට පුදුම සිතුණි. ඇය මේ තරම් සැරෙන් මට කතා කලාමය. පොඩි වචනයකටත් දෙතුන් පාරක් සමාව ඉල්ලන ඇය අද නොකියාම දුරකථනයද විසන්ධි කලාය. වැරැද්දක් නොකරම සමාවද ඉල්ලුවාය. මට නොකියන යමක් චාපාගේ නිවසේ සිදුව ඇති බවනම් පැහැදිළිය. 



(චාපා 28 වන කොටස සමගින් හමුවෙමු...)
- නිරෝෂ් මෛති‍්‍ර -
- 2004 -



Sunday, July 28, 2013

චාපා 26



      චාපා ගෙදර එනවිට හවස හයද පසුවී තිබුණි. තාත්තාගේ වාහනයත් තවත් රතු පැහැති කැබ් රථයකුත් නිවස ඉදිරිපිට නවත්වා තිබුනේය. ගෙදර එනවිට රෑ වන බව කීවද තාත්තා කලින්ම ආවේ ඇයි දැයි ඇයට බියක් දැනුනි. 

"කොහෙ ගිහිල්ලද මේ එන්නෙ...?"

සාලය පසුකරගෙන යනවිටම ඇසුනේ පියාගේ හඩයි. ඇය හැරී බලන විට පියාත් අනුරුද්ධගේ පියාත් ඇය දෙස බලා සිටියෝය. අනුරුද්ධ යනු චාපාව විවාහ කරදීමට සැරසෙන කෙනාය. 

"ඉරේෂාලාගේ ගෙදර තාත්තේ..."

"අදින් පස්සෙ කොහෙවත් යන්නෑ තේරුණාද? අනිද්දාට අනුරුද්ධ එක්ක ඉන්දියා යන්න ලෑස්ති වෙන්න ඕනෙ. මම සේරම ලෑස්ති කරලා තියෙන්නෙ..."

චාපාගේ හිසට ඉහළින් අකුණක් කෙටුවාක් මෙන් විය. කොයිදේ වුවත් තමන්ව මේ රටේවත් නොතියාවියැයි ඇය සිහිනෙකින්වත් නොසිතුවාය. කාමරයට ආවද දෙපා පණ නැතිව යන්නාක් මෙන් දැනුනි. තාත්තා මෙතරම් දවසක් නිහඩව සිටියේ මේ සදහා වන්නට ඇත. ගිම්හානට වචනෙකින් හෝ කරදරයක් නොවූයේ තමන්ව රටින්ම යවන්නට පියා සැලසුම් කරගෙන සිටි නිසා බව වැටහෙන්නේ දැන්ය. ගිම්හානගේ ආදරය කෙසේ උවද තාත්තා මේ උදුරා ගන්නේ තමන්ගේ නිදහසේ ජීවත්වීමේ අයිතිය නොවේද. වචනයක් වත් කතාකර නොමැති පුද්ගලයෙක් සමග නන්නාදුනන රටක තමන්ගේ දුව තනිකර දැමීමට ඔහු හිත හදාගත්තේ කෙසේ. ඔළුව පැලෙන්නට තරම් කැක්කුමක් ආවෙන් ඇය කාමරයේ තිබූ වතුර වීදුරුව අතට ගනිද්දීම එය බිමට වැටුණි.

"ලොකූ ඇයි පුතේ...?"

චාපාගේ මව කාමරයට ආවේ දුවගෙනය. චාපා එහෙම්මම අම්මාගේ උරහිසට වාරුවූවාය.

"ඇයි මට මෙහෙම කරන්නෙ අම්මේ...?"

ඇය ඉකිගසමින් හඩන්නට ගත්තාය. චාපාගේ මේ ප‍්‍රශ්නයේදී ඇයගේ මව ඉතා අසරණය. මීට මොහොතකට කලින් චාපාව අනුරුද්ධ සමග රට යවනවා යැයි කීවිට ඇය දැඩිව විරුද්ධ වූවාය. නමුත් පිට මනුස්සයෙක් ඉදිරියේදී චාපාගේ පියා ඇයට කුණුහරුපයෙන් බැන වැදුන හැටි ඇයට සිහිපත් විය.

"අනේ අම්මේ තාත්තට කියන්න අම්මේ මට මෙහෙම කරන්නෙපා කියලා.. මට බැහැ අම්මෙ මේ විදියට ජීවත් වෙන්න. මේ තරම් ලොකු දඩුවමක් දෙන්න තරම් මම මොකක්ද අම්මේ තාත්තට කරපු වරද...?"

"උඹ කරපු වැරැද්දද? ඉදපං මම උඹට කරපු වැරැද්දෙ දිග පළල කියලා දෙන්න.."
චාපාගේ පියා දොර රෙද්ද මෑත් කරමින් කාමරයට පැමිණියේය.

"මම උඹව ඉස්කෝලෙ යැව්වෙ මොකටද? උගන්නන්න. ඒත් උඹ කලේ මොකක්ද? කොහෙවත් යන එකෙක් එක්ක රෝන්දෙ ගහන්න ගිය එක. ලොකු එකා නොදැක්කනම් උඹ අදටත් ඌත් එක්ක පාර්ක් ගානෙ යනවා. තාමත් උඹ කියනවද උඹ වරදක් කලේ නැහැ කියලා?හැබැයි උඹ මේක හොදට මතක තියාගනින් මට ඕන විදියට දේවල් සිද්ධ උනේ නැත්තං මම ඕකට බත් කන්නනම් තියන්නෑ...."

ගිම්හාන ගැන කියූ කතාවත් සමග ඇයට ඉහිලුම් නැතිවිය. මේ ප‍්‍රශ්න කොයිහැටි වෙතත් කිසිම හේතුවක් නිසාවත් තමන් නිසා ඔහුට හීරීමක්වත් වනවාට චාපා කැමතිවූයේ නැත.

"තාත්තා මුකුත් නොදැන අයියා කියපු දේවල් අහලා ඔහොම කතා කරන්නෙපා. ඔව් මම ගිම්හානට ආදරෙයි. මගේ පණටත් වඩා ආදරෙයි. ඒක නිකම්ම නිකං කට වචනයක් නෙවෙයි. ඒ වගේම කොයි විදියට සැලකුවත් මම අම්මට වගේම තාත්තටත් ආදරෙයි. හැබැයි තාත්තෙ මොන හේතුව නිසා හරි ගිම්හානට පොඩි හරි කරදරයක් වෙලා තිබුනොත් තාත්තට එදාට තමයි තාත්තගෙ ලොකු දුව නැතිවෙන්නෙ...."

චාපාගේ කම්මුල හරහට පියාගෙන් වේගයෙන් කම්මුල් පහරක් වැදුනේ ඇයටත් හිතාගන්නටවත් බැරි මොහොතකය. වැදුණු පහරට ඇයව විසිවී වැටුනේ ඇද පාමුලය.

"ඔයා මොනවද මේ කරනේනෙ දෙයියනේ? ගෑණු ළමයෙක්ට ගහනවාද මෙහෙම...?"

"ගෑණු ළමයෙක්? හහ්.. ගෑණු ළමයෙක් නෙවෙයි මේකි අපේ පවුල කන්න ආපු එකියක්. බලන්නකො අද මේකි මාත් එක්ක එකට එක කතා කරන හැටි..."

ඇත්තටම චාපාගේ පියාටත් ඇය ගැන පුදුමය. මේ ජීවිත කාලයටම ඇය පියා සමග මෙසේ කතා කරනවාමය. ඔහුගේ මූණ බලාවත් කතාකරන්නට බිය ඇය පියාට යමක් කියන්නට ඇත්තම් එය කීවේ මවගේ මාර්ගයෙනි.  අද ඇය චාපා නොවේදැයි සිතෙන තරමටම වෙනස්වී ඇත.

"තාත්තා පොඩ්ඩක්වත් හිතුවද තාත්තාගෙ දුව කොල්ලෙක්ට මෙච්චර මැරෙන්න හදන්නෙ ඇයි කියලා. තාත්තා පොඩිකාලෙ ඉදන්නම මට ආදරෙන් කතා කරලා තියෙනවද? මට තියා නංගිටවත්? මම තාත්තා කියපු මොනදේද නොකලෙ? අපි හැදුනේ මේ ගේ ඇතුලේ තනියම නේද? ඒත් තාත්තා අයියාට එහෙම කලේ නැහැ. ඇයි අපි දෙන්නට අකමැති? අපි ගෑණු ළමයි නිසාද? තාත්තා අයියාව හොදම ඉස්කෝලෙකට දැම්මා. ඒත් මායි නංගියි යන්නෙ ගමේ ඉස්කෝලෙට. ඇයි ඒ? දැන් ඇයි එක පාරට හොයන්න ගත්තෙ අපි ගැන...?"

"දැන් ඇති කටවහගනින් කිව්වම..."

"තාත්තා සල්ලිම හෙව්වා. අයියාත් තාත්තගෙ අඩිපාරෙම ගියා. දෙන්නටම මනුස්සකම් නෑ. තාත්තා එහෙම කලාම ආදරයක් ලැබෙන තැනකට අපි යනවා නේද? ගිම්හාන පුදුම තරම් ආදරෙයි මට. මාත් මනුස්සයෙක් තාත්තෙ...."

"උඹ කට වහනවද නැද්ද? ඔයාවත් මේකිට කියන්න. නැත්තං අද මේකිට මම......"

චාපාගේ පියා නැවතත් චාපාගේ කොණ්ඩයෙන් ඇද ගහන්නට සැරසුනේය. අනුරුද්දගේ පියාද කාමරයට ආවේ ඒ වෙලාවේය.

"මොනවද නිමල් මේ කරන්නෙ? පිස්සු වැඩ කරන්න එපා. පොඩි ළමයෙක්ටද ඔය ගහන්න පනින්නෙ? එන්න අපි යමු..."

"තාත්තා සල්ලි හම්බ කලා. ටිකක් නෙවෙයි මහ ගොඩක්. ඒත් අන්තිමේදි තාත්තට දරුවො නැති උනා. මං ගැන විතරක් නෙවෙයි අයියා ගැන උනත් හිතලා බලන්න, අයියාට අද වෙනකොට උසාවි කීයක නඩු තියෙනවද කියලා..."

"ලොකු දුව කටවහන්න..."
චාපාගේ මව ඇයව වත්තන් කරගෙන ඇදෙන් වාඩිකෙරෙව්වාය.

"මට සමාවෙන්න අම්මෙ.අද කතා නොකලොත් මට ආයෙ කතා කරන්න දවසක් නැතිවෙයි. තාත්තාට ගිම්හානට අකමැති වෙන්න කිසිම හේතුවක් නැහැ. සල්ලිම නම් ඕනෙ අපිට තරම් නැති උනාට ගිම්හානට සල්ලිත් තියෙනවා. ඒත් තාත්තා හදන්නෙ මාව බන්දලා දීලාත් වෙන බිස්නස් එකක් කරගන්න... මම තරහ නෑ තාත්තත් එක්ක. හැබැයි මෙහෙම ජීවිතයක් මට ඕනෙත් නැහැ. වැඩි දවසක් යන්න කලින් තාත්තට තේරෙයි සල්ලිම නෙවෙයි ජීවිතේ කියන්නෙ කියලා..."

"බලන්නකො මේකි...."

චාපාගේ පියා නැවත කාමරයට එන්නට හැදුවද අනුරුද්දගේ පියා ඔහුව එළියට රැගෙන ගියේය. ඔහුට වැඩියෙන් රිදුනේ ඇය කියූදේවල් වැඩියෙන් දැනුන නිසාය. නමුත් මොනම හේතුවක් නිසාවත් ඔහු ඒවා පිළිගන්නට සූදානම් වූයේ නැත. හෙට ඇයගේ විවාහය ලියාපදිංචි කර අනිද්දාට අනිවාර්යයෙන්ම මාස තුනකටවත් ඇයව රට යවනවාමයි ඔහු සිතාගත්තේය.

චාපාට එදා රෑ නින්දක් ආවේම නැත. හිතේ දුක් ගොඩකි. වැඩිමනත් දුක තාත්තාට කතා කල විදිය ගැනය. නමුත් කියූ කිසිදෙයක් තවදුරටත් නොකියා සිටිය හැකි දේවල්ද වූයේ නැත. ඒත් පියා ගෙදර සිටියානම් සමාවගන්නටවත් තිබුනායැයි සිතුණි.  මේ සියල්ලට වඩා ඇයට බියවූයේ අනිද්දා සිට ගෙවන්නට සිදුවන ජීවිතය ගැනය. තමන් කැමති වුවද අකමැති වුවද තමන්ගේ ජීවිතයේ වැදගත්ම තීරණ වෙනදා මෙන්ම පියා තනිකැමැත්තට ගෙන ඇත. එයද අතිශය අමානුෂික ආකාරයෙනි. එයට අකමැති උවහොත් ගිම්හානට හොදින් ඉන්නට නොදෙන බවට පියා දිවුරා කීවේය. ඔහු දෙයක් කිව්වොත් කීවාමය. ගිම්හාන නොමැති හෙට දිනයක් හිතාගන්නට නොහැකි උවද ඔහුගේ ජීවිතය අවධානමට හෙලන්නටද කිසිසේත් නොහැකිය. හිතට දැනෙන්නේ විස්තර කල නොහැකි ගුප්ත හැඟීම් රාශියකි. චාපාගේ ඇස් පියවුනේ නොදැනීමය.

"ගිම්හාන.................."

"අක්කේ... ඇයි අක්කෙ මේ..."

"අනේ ගිම්හානව මරන්නෙපා... තාත්තෙ එයාට යන්නෙ දෙන්න තාත්තෙ... අනේ ගිම්හාන දුවන්න..."

"අක්කේ මේ බලන්න... ඔයා හීනෙන් බයවෙලා ඉන්නෙ... කෝ එන්න..."
ඇය චාපාව ඇදේ වාඩිකරවීය. චාපාගේ ඇස් රතුවී හොදටම දාඩිය දමා ඇත.

"මේ වතුර ටිකක් බොන්න..."

චාපාත් ඇයගේ නැගණියක් කුඩාකල සිටම නිදාගත්තේ එක ඇදේය. අයෝධ්‍යාට වෙනම කාමරයක් තිබුණද ඇය කෙදිනකවත් එය පාවිච්චියට ගත්තේ නැත. ඇය සිය සහෝදරියට අපමණව ආදරය කලාය.

"නංගි ඔයා හෙට ඉස්කෝලෙදි එයාට කියනවද පරිස්සම් වෙන්න කියලා..."

"හරි අක්කෙ, දැන් නිදා ගන්නකො..."

"අනේ ඔයා කියනවා නේද...?"

"හරි අක්කෙ මම අයියට කියන්නම්. නිදාගන්න, මම ඉතිපිසෝ ගාථාව කියන්නම්..."



(චාපා 27 වන කොටස සමගින් හමුවෙමු...)
- නිරෝෂ් මෛති‍්‍ර -
- 2004 -




Thursday, July 25, 2013

චාපා 25



    වට පැවතියේ දැඩි නිහැඩියාවකි. වායුසමීකරණයේ සීතලද වැඩියෙන් දැනුන නිසාවෙන් චාපා තවත් මට තුරුළුවූවාය.

"මට තවත් මේවා ඔයාගෙන් හංගන්න බැහැ ගිම්හාන. අපේ ගෙදර තත්ත්වෙ එන්න එන්නම නරක් වෙනවා. මට එන්න දෙන්නෙත් ඉරේෂාලාගෙ ගෙදරට විතරයි. ඒ ආපු වෙලේටත් එයාලගෙ ගෙදරට අපේ අම්මා දෙතුන් පාර කෝල් කරන්වා.."

"ඇයි අම්මා ඔච්චරටම ඔයාව හිර කරන්නෙ..?"

"අම්මා හිර කරනවා නෙවෙයි ගිම්හාන. තාත්තයි අම්මව හිර කරලා තියෙන්නෙ. එයාගෙ කීමටයි මේ සේරම? අනේ මන්දා.. මේකත් ජීවිතයක්ද?..."
ඇය මගේ ඇඟිලිකරු අතරිත් අත යැව්වාය.

"මම ඔයාලාගෙ තාත්තත් එක්ක කතා කරන්නද...?"
චාපා හිස ඔසවා මා දෙස බැලුවාය.

"අනේ රත්තරං ඒ වැඬේ නම් කරන්න හිතන්නවත් එපා. අපේ අයියයි තාත්තයි ඔයාත් එක්ක ඉන්නෙ පුදුම තරහකින්. දැනටත් ඔයාට මුකුත් නොකරන්නෙ ඔයා ඉස්කෝලෙ යන නිසා. නැත්තම්....."

"මාව මරයි නේද..?"

ඇය නැවතත් හිස මගේ උරහිසට බර කලාය. මට දිග හුස්මක් පිටවිය. අප කරමුලටම හිරවී ඇත. 

"මේකට තියෙන්නෙ විසදුම් දෙකයි සුදූ. දෙකම අමාරුයි. ඒත් දෙකෙන් එකක් කරන්නම වෙනවා..."

"මොකක්ද...?"
ඇය මගේ ගෙල පාමුල සිප ගත්තාය.

"පලවෙනි එක තමයි ඔයා මාත් එක්ක යන්න එන එක..."

"අනේ දෙයියනේ මේ මොනාද ඔයා කියන්නෙ? විභාගයක් අත ළඟ තියාගෙන ඔයාගෙ ජීවිතේ නැති නාස්ති කරන්නද මට කියන්නෙ? ඔයත් එක්ක යන්න තියෙනවානම් මට කොහේ උනත් කමක් නෑ. ඒත් ඔයා? ඔයාගෙ ඉගෙනීම? අර අහිංසක අම්මා? මට බෑ ගිම්හාන ඔයාගෙ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න..."

මම ඇයගේ හිස අතගෑවාය. ඇය කියන සෑම දෙයක්ම ඇත්තය. එවැනි දැඩි තීරණයක් ගැනීම කල නොහැකිය. එයින් නැති නාස්ති වන්නේ අප දෙදෙනාමය.

"මොකක්ද අනික..?"

ඇය ඉස්සී මගේ මුහුණ දෙස බලා ඇසුවාය. ඒ දෑස් විඩාබරය. මේ ප‍්‍රශ්න නොසෑහෙන වද දී ඇත.

"ඔයා එහෙනම් තාත්තා කියන කෙනාව බදින්න..."

අය එක් වරම මා වෙත හැරී මගේ දෑස් දෙස කෙලින් බැලුවාය.

"ඔයාද මේ කියන්නෙ? ඔයාද ආ....?"
මම ඉවත බලාගත්තේය.

"මං දිහා බලන්න. මං දිහා බලලා කියන්න, තව මිනිහෙක් එක්ක යන්නද මං..?"
මම තරයේ ඇයව වැලද ගත්තේය.

"වෙන කරන්න දෙයක් නැහැ රත්තරං.ඔයා කොච්චර පවුද. මට ආදරේ කර කර මං මත්තෙම නැහෙනවාට වඩා ඒක හොද නැද්ද. බලන්න දැන් ඔයාගෙ හැටි. මේ සති දෙක තුනට ඔයා කොච්චර ඇදිලා ගිහිල්ලද? ඉස්සර හිනා උන ගමන්මයි. මට කියන්නෙ මේවා බලන් ඉන්න කියලද? අයිති වෙන එකම නෙවෙයි සුදූ ආදරේ කියන්නෙ. අනික කවුද දන්නෙ ඔය කියන කෙනා මටත් වැඩිය හොදද කියලා. මටත් වඩා ඔයාට ආදරේ කරයිද කියලා. කැමති වෙන්න සුදූ... වෙන කරන්න දෙයක් නැහැ දැන්...."

මගේ දෙනෙතටද කදුළු ඉනුවේ දරාගන්නටම බැරි තැනය. එක එක්කෙනාට දන්දී ඉවත බලා ගැනීමට මම කෙදිනකවත් ඇයගේ ලෝකයට එන්නට හිතුවේ නැත.

"තේරුමක් නැති දේවල් කතා නොකර ඉමු ගිම්හාන. එහෙම දෙයක් කවදාකවත් වෙන්නෑ මම ජීවත් වෙලා ඉන්නකන්. එහෙම කලොත් මම මෙච්චර දවසක් නැහීගෙන ඔයාට කරලා තියෙන්නෙ ආදරයක් නෙවෙයි බොරුවක්..."

"ඇති දෙයියනේ ඇති.. මට තවත් ආදරේ කරන්නෙපා.මොනවද මං ගාව ඔච්චරටම තියෙන්නෙ? ඔයා මෙහෙම තවත් ආදෙරේ කරන්න කරන්න බැදීම් වැඩිවෙනවා විතරයි. ඒකෙන් ඔයාගෙ ජීවිතේට වෙන හොදක් නැහැ.."


මම ඇයගේ දෙඋරෙන් අල්ලා ඉවතට ගෙන කීවේය. චාපා පුදුමයෙන් මා දෙස බලා සිටියාය.හිතේ ආවේගයට කියූවද එසේ නොකියා ඉන්නට තිබුනා යැයි මට සිතුණි.

"ගිම්හාන... මොනවද ඔයා මේ කියවන්නෙ, ඔයාට දැන් මාව කරදරයක් වෙලාද? ඔයා හදන්නෙ මාව දාලා යන්නද..?"

"ඔයා එහෙම හිතනවද..?"

"ඒත් ඔයා මේ කතා කරන දේවල්....."

"ඇයි තේරුම් නොගන්නෙ? මම දාලා යන කතාවක් කිව්වද දැන්? මට ඕනෙ ඔයා මේ දුක්විදින එක නවත්තන්න. නිස්කාරනෙ ඔයාගෙ ජීවිතේ විනාස වෙලා යන එක නවත්තන්න..."

"මගේ ජීවිතේ විනාස වෙන්නෙ ඔයාව මට නැති උනොත් විතරයි.."

"ඇයි සුදූ හිතුවක්කාර වෙන්නෙ? මේක ඔයා හිතන තරම් සුළු දෙයක් නෙවෙයි..."

"මම දන්නවා. ඒත් මොනවා උනත් මොනවම උනත් මම අන්තිම මොහොත වෙනකන් ඔයාට ආදරේ කරනවා.ඔයා තමයි මගේ ජීවිතේට ආවේ. ඒක ඇත්ත. ඒත් දැන් මොනදේ උනත් මම ඔයාව දාලා යන්නෑ. ඔයාට මේ කෙල්ලව කරදරයක්නම් මට ඒක කියන්න..."

"ඔය කිව්වෙ ඉතිං. ඔව්, පුදුම කරදරයක් තියෙන්නෙ මට..."
මම ඇයගේ උකුලේ හිස තබා ගත්තේය.

"පණ්ඩිතකම් කියවන්නැතුව ඔන්න ඔහොම ඉන්න. තවත් ඔළුවට ප‍්‍රශ්න එකතු කරන් යන්න නෙවෙයි මම මෙච්චර අමාරුවෙන් ආවෙ..."

ඇය පහත්වී මගේ නළල සිපගත්තාය. මෙතරම් ආදරයක් කෙසේනම් තවකෙනෙක්ට පූජාකර බලා ඉන්නද....


(චාපා 26 වන කොටස සමගින් හමුවෙමු...)
- නිරෝෂ් මෛති‍්‍ර -
- 2004 -


Monday, July 22, 2013

චාපා 24


      සෙනසුරාදා පැතුම් සමග නුගේගොඩට එනවිට මදක් හවස්වී තිබුණි. ඉරේෂා චාපාත් සමග නුගේගොඩට ආසන්නයේ සැලූන් එකකට එනබව දන්වා ඊයේ රාති‍්‍රයේ දුන් දුරකථන ඇමතුමෙන් පසුව ඇයව හමුවන තුරු සිතේ තිබුනේ දැඩි නොසන්සුන් කමකි.

"හොද වෙලාවට අද අයියාකාරයා ගෙදර. නැත්තං ඌ උදේම වෑන් එක අරන් අර හෝන්තුවගෙ ගෙදර යනවා. එන්නෙ මහ රෑට..."

පැතුම් නාවල පාරෙන් නුගේගොඩ දෙසට හරවනගමන් කීවේය.

"කවුද බං හෝන්තුව?..."
මම හිනාවෙන ගමන් ඇසුවේය.

"හෝන්තුව කවුරු උනත් බලපංකො අද උඹේ මූණේ සිරියාව. පහුගිය ටිකේ හිටියෙ නිකං බූරු ගහලා පැරදිලා වගේනෙ..."

"තාමත් එහෙමම තමයි බං. මේ යන්නෙත් විනාඩි පහක හරි සතුට හොයාගෙනනෙ..."

වාහන තදබදයට අසුව තිබූ වාහන අතරින් පැමිණි හිඟන කාන්තාවක් වෑන් එකේ වීදුරුවට තට්ටු කලාය. ඇගේ අතේ අවුරුදු දෙකක පමණ කුඩා දැරියකි.

"අනේ මහත්තයෝ මමයි පොඩි එකියි තාම දවල්ට මුකුත් කාලා නැහැ. පාන් කෑල්ලක් කන්න කීයක් හරි දෙන්න බුදු මහත්තයෝ,පිං සිද්ධ වෙනවා...."
මේ ඝෝෂාකාරී නුගේගොඩ නගරය මැද පොඩි එකී හොදටම නිදිය. මම පර්ස් එකෙන් ගත් රුපියල් පනහක් වීදුරුව පහත් කර ඇයට දුන්නේය.

"අනේ මහත්තයාට ගොඩක් පිං මහත්තයෝ. කරන කියන හැමදේම හරියන්න ඕනෙ..."
මහලොකු දෙයක් කලාක් මෙන් හිතට දැනුනෙ අමුතුම හැඟීමකි.

"උඹටත් පිස්සු බං. ඕකුන් කුඩු බොන්න ඔය සල්ලි එකතු කරන්නෙ. උඹෙත් ඉතිං පොඩ්ඩ ඇත්තං උණු වෙනවනෙ..."

"අර බලපං..."

මම පැතුම්ට උත්තර දෙනවා වෙනුවට කලේ තව දුරටත් හිඟකනවා වෙනුවට පාර අයිනෙ තිබූ පෙට්ටි කඩයකට ගිය ඇයව පෙන්වීමයි. තදබදය අතරින් වාහනය ඉදිරියට යනවිට ඔවුන් දෙදෙනාව වඩාත් පැහැදිලිව දැක ගත හැකි විය. දුටු සංවේදී දසුනෙන් පැතුම්ට තමන් වැරදි යැයි වැටහෙන්නට ඇත. දරුවාව උකුලේ තියාගත් ඇය පාන් කාලක කෑලි කඩා පොඩි එකාටද කවන ගමන් ඇයද කෑවාය.

"සමහර හිඟන්නන්ගෙ ලෝක බොරු නිසා ඇත්තට අසරණ උන කෙනෙක්ටවත් දැන් මිනිස්සු සතයක්වත් දෙන්නෙ නැහැ බං..."

"ඇත්ත පැතුම්, අපිට වඩා දුක් විදින මිනිස්සු කොච්චර මේ ලෝකෙ ඉන්නවද කියලා හිතෙන්න පාරටම බහින්න ඕනෙ..."

"ඒක ඇත්ත බං. හැමදේම තියාගෙනත් අපි නැති දේ ගැනම හිත හිතා කොච්චර අඩනවද? ඒ මිනිස්සුන්ගෙ හැටි බං. කොච්චර තිබ්බත් මදි. නැතිදේටමයි ආස..."
වාහන තදබදය අඩුවූයෙන් කොහුවල දෙසට ධාවනය පහසුවිය.

"අරක නේද සැලූන් එක..."

"ඔව්. උඹ ටිකක් මෙහායින් අයින් කරලා නවත්තහං..."

පැතුම් පාරෙ අයිනටම කර වවාහනය නැවැත්තුවේය.ඔවුන් දෙදෙනා පෙනෙන්නටවත් සිටියේ නැත. 

"උඹ ඔහොම හිටපං මම ගිහිං බලලා එන්නම්. උඹ කෝකටත් කියලා පිටිපස්සට ගිහිං වාඩිවෙයං. අපි පරිස්සමට ඉන්න එක ඇඟට ගුණයි..."

පැතුම් වාහනයෙන් බැස සැලූන් එක දෙසට ගියේය. මේ ගමන් සියල්ල අවධානම් උවත් දැන් වෙන කරන්නම දෙයක් නොමැත. කලේ එකම එක වරදකි. එනම් ඇයට අපමණව ආදරය කිරීම පමණි.
විනාඩි පහකට පමණ පසුව පැතුම් නැවත ආවේය.

"ඇයි බං මොකද උනේ...?"

"අවුලක් නැහැ. දෙන්නම පාරෙ ඉන්නවා. අපි ටිකක් ඉස්සරහට යමු..."

සැලූන් එක පසුකර මද දුරක් යද්දිම චාපාත් ඉරේෂාත් පාර අයිනේ සිටියෝය. චාපා දකිනවිටම මට ඇතිඋන හැඟීම විස්තර කල නොහැක.

"ඉක්මනට නගින්න. ඉරේෂා ඔයා ඉස්සරහට එන්න..."
මම පසුපස දොර හැර චාපාව ඇතුලට ගත්තේය. 

"එන්න සුදූ..."

ඇය මා දෙස බලාගෙනම වාහනයට නැග්ගාය. ඇයෙගේ ඇස් ආදරයෙන් දිළිසෙයි.

"කරදරයක් නේද මම?..."

මම ඇයගේ සුරත ගෙන කම්මුලේ තබාගත්තේය. ඇය තවමත් මා දෙස බලාගත්වනමය.

"මොනාද ආපු වෙලෙ ඉදන් බලන් ඉන්නෙ හොල්මනක් දිහා වගේ...?"

ඇය හිටිවනම මාව වැලද ගත්තාය. තවමත් ඇය එකදු වචනයක් හෝ කතාකලේ නැත. කදුළු බින්දුව බින්දුව මගේ දකුණතට වැටෙන්නට විය.

"ගිම්හානයා අපි කොහෙටද යන්නෙ...?"

"ඉරේෂා කියන තැනකට යමු මචං..."

"කොහේ උනත් කමක්නෑ මනුස්ස වාසයක්වත් නැති තැනකට යමු. මම අද මේ ආවේ ලොකු අවදානම් ගමනක්..."

ඉරේෂා පැතුම් දෙස බලා කීවාය.

"එහෙනම් ඉතිං යන්න වෙන්නෙ කනත්තකට තමයි..."
පැතුම් හයියෙන් සිනාසිය.

"කනත්තකට හරි කමක්නෑ, මොකෙක්වත් නැත්තං. ආන්ටි අද මෙයාව මාත් එක්ක සැලූන් එකට එව්වෙත් දාහක් දේවල් කියලා..."

ඉරේෂාගේ මුහුණේ අද ඇත්තේ බැරූරුම් ස්වරූපයකි. ඇය කියුවාක් මෙන් ඇත්තටම අප කාට කෙසේ උවත් ඇයට මෙය අවධානම් ගමනකි. චාපාව ඇයගේ ගෙදරට එවන්නේද ඇය පිළිබද ඇති විශ්වාසය නිසාය.

"තාම අඩනවද? අද කතාකරන්නෙ නැද්ද මාත් එක්ක..?."
මම චාපාගෙ හිස අතගාමින් ඇසුවේය.

"අඩන්න දෙන්න මට..."

පැතුම් බොරලැස්ගමුවෙන් අතුරු පාරකට දමා සැලකිය යුතු දුරක් පැමිණ තිබුනේය. වාහනය නැවැත්වුයේ විශාල රබර් වත්තක් අසලය.

"ඔන්න ඉරේෂා නෝනාව මනුස්ස වාසයක් නැති තැනකට ගෙනාවා..."

"විහිළු කරන්නෙපා පැතුම්..."
ඉරේෂා දොර ඇරගෙන එළියට බැස්සාය. පැතුම්ද බැස පසුපස දොර හැරියේය.

"ඉරේෂාගෙ බය සාධාරණයි බං. අපි මෙහෙම ආවාට මේක මහ ඬේන්ජර්ස් ගමනක්..."

"ඒක ඇත්ත මචං මටත් තේරෙනවා. එහෙමයි කියලා වෙන මොනවා කරන්නද...?"

"මම නිසා හැමොටම කරදරයි නේද..?"

"එහෙම එකක් නෑ චාපා. අපි සහෝදරයො වගේ එකට ඉන්න අය. අපි අපිට උදව් කරගන්නෙ නැත්තං වෙන කවුරු උදව් කරන්නද..?"

චාපාගෙ ඇස්වල කදුළු අළුත් විය. ඒත් සමග ඉරේෂා එතැනට ආවාය.

"මට සමාවෙන්න චාපා. මම ටිකක් කලබල උනා. උඹට මම කියලා දෙන්න ඕන නෑනෙ උඹලාගෙ තාත්තගෙ හැටි. ඒ නැතත් අර මරුමුස් අයියා..."

"ඒකට කමක් නැහැ ඉරේෂා. ඔයා මේ කරන උදව් වෙන කෙනෙක්නම් කරන්නෑ මග අරිනවා මිසක්..."

"හරි හරි. අපිට ගොඩක් වෙලා මෙතන ඉන්න බැහැ. කතා කරගන්න තියෙන සේරම ඉක්මනට කතා කරගන්න. මායි පැතුනුයි පාරට ගිහිං බොන්න මොනවා හරි අරන් එන්නම්..."

"මචං කවුරු ආවත් දොරනම් අරින්න එපා. අපි ඉක්මනට එන්නම්..."

පැතුම් දොර වසා දමා ඉරේෂාත් පාර දෙසට යන්නට ගියේය.



(චාපා 25 වන කොටස සමගින් හමුවෙමු...)
- නිරෝෂ් මෛති‍්‍ර -
- 2004 -

Friday, July 19, 2013

චාපා 23



      පාසැල් යාමට තරම් කිසිදු මානසිකත්වයක් නැතත් ඇයට මා උන පොරොන්දුව රැකිය යුතු නිසාම පාසැල් ඒමට සිදුවිය. නමුත් බැලු බැලු හැම තැනම ඉතිරිව ඇත්තේ ඇයගේ මතකය පමණි. උදේන්ම පන්තියට එනවිට කොරිඩෝව ළඟින් හැරෙන විට වෙනදාට දකින රුව දකින්නට නොලැබෙන බව දැන දැනත් මට අවනත නැති නෙත් සොයන්නේ ඇයයි. අපගේ සොදුරු මතක සටහන් මේ පාසැල් බිමේ ඉතිරිකර දා ඇය අද එක තත්පරයකටවත් දකින්නටවත් නැත.
පන්තිය ඇතුලට පැමිනෙත්ම නෙත ගැටුනේ කෙලවරේම වූ ඇයගේ මේසය හා පුටුවයි. අද එය හිස්වී පාලුවටම ගොස් ඇත. හිතේ ඇවිලෙන තනිකමත් සමග මම ඇයගේ පුටුවේ මොහොතකට ඉදගත්තේය. චාපාගේ මේසය දැක මට හීල්ලුණි. එහි තැනින් තැන ඇයගේ වටකුරු අකුරෙන් 'ගිම්හාන' ලෙස ලියා ඇත. මට අද දකින්නටවත් නැත්තේ මේ තරම් මට ආදරය කල යුවතියයි. හිතේ බර දරාගන්නට බැරි තැන මම ඇගේ මේසය මත හිසතබා ගත්තේ ඇයගේ සුවඳවත් මේ කොහේහෝ ඇත්දැයි සොයමිනි.

"ගිම්හාන..."

හීනයෙන් මෙන් මට ඇසුනේ චාපාගේ හඩය. ඇය පාසැල් ඇවිත්ද? හිතට දැනුන සතුට කියා නිමකල නොහැකිවිය.

"චාපා...."

මම එකවර හිස ඔසවා බැලුවේය. නමුත් ඒ ඉරේෂාය. ඇය පුදුමයෙන් මා දෙස බලා සිටියාය.

"සොරි ඉරේෂා, මම හිතුවෙ චාපා කියලා...."

ඉරේෂා කතා කලේ නැත. බලා සිටියා පමණි. ඇය අසලට එත්ම මා චාපාගේ පුටුවෙන් නැගිට්ටේය.

"ඔයා හිත හිතා දුක්විදිනවා නේද ගිම්හාන...?"
මට දිග හුස්මක් පිටවුණි. ඇය ගැන සිතා දුක්වීමද හිතට සතුටකි.

"ඇයි ඊයේ ඉස්කෝලෙ ආවෙ නැත්තෙ?.."
චාපා පාසැල් ගමන අවසන් කල පසුදින මට පාසැල් ඒමට කොහෙත්ම පිරියක් තිබුනේ නැත.

"චාපා මේ දවස් ටිකේම හවස අපේ ගෙදර ආවා. ඒ ඇවිල්ලත් අහන්නෙම ඔයා ගැන. මම ඉතිං බොරු කිව්වා එදා ඉස්කෝලෙ ආවා කියලා කෙල්ල අප්සෙට් යන නිසා.."

මට ඇය ගැන පුදුමාකාර ආදරයක් දැනුනි. මොනම හේතුවක් නිසාවත් යළි පාසැල් නෑවිදින් නොසිටින්නට සිතාගත්තෙමි.

"චාපාගෙ ගෙදර තත්වෙ කොහොමද ඉරේෂා? .."

"ඒකෙ ඇති වෙනසක් නැහැ ගිම්හාන.  ආ..මේක චාපා ඔයාට දෙන්න කිව්වා..."

ඉරේෂා ඇයගේ පොතක් දිගහැර දෙකට තුනට නවා තිබූ කොලයක් මට දුන්නාය. එය චාපා දුන් ලිපියකි. මට පුදුමාකාර සතුටක් දැනුනි.

"යන්තං ඇති. දැනුයි මූණට හිනාවක් ආවෙ..."

ඉරේෂාද සිනාසී පන්තියෙන් එළියට ගියාය. තව මොහොතක් හෝ නාස්ති නොකර මම ලිපිය දිගහැර පොතක් තුළට දමාගෙන කියවන්නට ගත්තේය.

මගේම ගිම්හාන,
ඔයා සනීපෙන් නේද මහත්තයෝ. මම හැමදාම ඉරේෂාගෙන් ඔයාගැන අහනවා. තරහ නැහැ නේද? ගිම්හාන ඔයා මේ ප‍්‍රශ්න ගැන හිතන්නෙපා. මම ඔයාගෙන් ඉල්ලපු දේ මතකයි නේද? හැමදාම ඉස්කෝලෙ එන්න ඉගැන්නුවත් නැතත්. හවසට ක්ලාස් ගිහින් ඇවිත් රෑට පාඩම් කරන්න පුළුවන් තරම්. මාස 05ක් කියන්නෙ ඒ තරම් ලොකු කාලයක් නෙවෙයිනෙ. එහෙ බලලා මෙහෙ බලද්දි ගෙවිලත් තියෙයි. ඔයාට වැඩ වැඩි උනාම මේ ප‍්‍රශ්න ගැන හිතන්න වෙලාවක් නැතිවෙයි. එතකොට ඔයාගෙ හිතත් නිදහස්. ඔයා කොහොම හරි එක්සෑම් හොදටම පාස්වෙන්න. ඒකනෙ රත්තරං මගේ එකම හීනෙ. 
මට ඉස්කෝලෙ එන්න වෙන්නෙ නැති එක ගැන ඔයා හිතන්න යන්නෙපා. ඒක මගෙ ලැබීම. මට ඔයාව දකින්න ගොඩක් ආසයි. හරිම පාළුයි ඔයා නැති ජීවිතේ. ඒත් මාව දැකලා ඔයා ආයෙමත් අවුල් වෙයි. ඒ නිසා ඒක එපා. මගේ හැඟීම් වලට වඩා මට ඔයාගෙ අනාගතේ වටිනවා. මම ඔයාට ගොඩාක් ආදරෙයි ගිම්හාන. ගොඩක්ම. 
මට දැන් ගෙදරට වෙලා මෙහෙම හිර වෙලා ඉන්න එක හරි සන්තෝසෙන් ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙ අපේ ලස්සන මතයකන් ගොඩක් ඉතුරු උන නිසා. ඒ තරමට ඔයා මට ආදරේ දීලා තියෙනවා. ඒකට ඔයාට ගොඩක් පිං සිද්ද වෙනවා. අනේ මම හරිම ආදරෙයි ඔයාට. පරිස්සමින් ඉන්න මගෙ මහත්තයො. මට ඉන්නෙ ඔයා විතරයි. කරදර වලට පැටලෙන්න යන්නෙපා. මේක අපේ නරක කාලයක් වෙන්නැති. සමහරවිට ඉක්මනට අපිට හොද කාලයක් එයි.

බුදු සරණයි ඔයාට,
ඔයාගෙම,
චාපා...

මගේ නෙතගට කදුලක් ඉනුවෙ නොදැනීමය. මෙතරම් ආදරයක් ලබන්නට තරම් මම කල පින කුමක්දැයි මටම නොතේරේ. නොකීවාට ඇය ගොඩක් දුක්විදින බව මම හොදාකාරවම දනිමි. නමුත් ඇයට උවමනා මගේ හිත හදන්නටය. ඇයනම් පුදුමාකාර සෙනෙහසක් තිබෙන යුවතියකි.
විවේක කාලයේදි මම ඉරේෂා සමග කතා කලේය.

"මට චාපාව හම්බවෙන්න විදිහක් නැද්ද ඉරේෂා?.."

"ඔය හදන්නෙ ආයෙමත් ප‍්‍රශ්නයක් ඇතිකර ගන්න නේද?.."

"නැහැ ඉරේෂා මේකෙ මොකක්හරි විසදුමක් තියෙන්නත් එපැයි.නොකිව්වට එයත් දුක් විදිනවා. මගෙත් ඔලුව අවුල්. අනිත් දේවල් කොහොම උනත් මට එයාව දකින්නැතුව මේ විදියට ඉන්න අමාරුයි ඉරේෂා. මොකක්ද මේ ජීවිතේ?..."

"කලබල වෙලා තීරණ ගන්නෙපා ගිම්හාන. කෙල්ලගෙ පැත්තෙනුත් හිතලා අපි ටිකක් ඉවසමු..."

සුසුම් හෙලනවා හැරෙන්නට ඇත්තෙන්ම මට කරන්නට දෙයක් කවර කොනකින්වත් නොපෙනේ.

"මට තව දවස් දෙක තුනක් දෙන්න. මම ඔයාට චාපාව මුනගස්සන්නම්. ඔය දෙන්නා දෙපැත්තට වෙලා හූල්ල හූල්ල ඉන්න එක මට බලන් ඉන්නත් බෑ..."
හිතට දැනුනේ සැනසීමකි.

"ඔයාට පිං ඉරේෂා..."
දැන් දින දෙක තුනකට හෝ සතුටින් ජීවත් වීමට බලාපොරොත්තුවක් ඇත.


(චාපා 24 වන කොටස සමගින් හමුවෙමු...)
 

Sample text

Sample Text