Social Icons

Sunday, August 4, 2013

චාපා 29



    දෙනෙත් හැර බලන විට මම හිටියේ පුටුවක් මතය. සිදුවූයේ කුමක්දැයි මතකයක් නැතත් තදින් වැදුණු පහරකට මෙන් හිස කකියන්නට විය. මට හදිස්සියේ සිහිවූයේ ඉරේෂා කියූ දේවල්ය.

"චාපා...."

"ගිම්හාන... මචං..."
පැතුනුත් කල්පත් මා අසලය.

"පැතුම්.. චාපා..."

"හරි බං අපි දැං යමු චාපා බලන්න. උඹ ඔහොම කලබල උනොත් කවුද චාපාව බලා ගන්නෙ? රිදෙනවාද ඔළුව..?"

"මොකක්ද පැතුම් උනේ? පැලෙන්න රිදෙනවා..."

"උඹ ඇදගෙන වැටුනනෙ මෙතන. අර තඩි මල් පෝච්චියේ ඔළුව වැදුනා..."

"ඒකට කමක් නැහැ බං අපි දැන්ම යමු..ඇයි දෙයියනේ චාපා මෙහෙම කරගත්තෙ?"
මම හිස අතගානගමන් නැගිට්ටේය. 

"කල්ප උඹ වාහනේ එළියට ගනින්. මම ගිම්හාන එක්ක එන්නම්..."

කල්ප ඉක්මනින් වෑන්රිය කළුබෝවිල රෝහල දෙසට ධාවනය කරන්නට විය. කියාගන්නට බැරි දුකකින් හිත තෙරපෙන්නට විය. මෙතරම් තද තීරණයක් ගැනීමට චාපාට හැකිවූයේ කෙසේද? මොහොතකටවත් මාව මතක්වූයේ නැතිද? 

"මොකක්ද මචං මේ උනේ? චාපා ඊයෙත් මට කතා කලානෙ. ඒත් මේතරම් දෙයක් කරගන්න තරම්......"
මම වීදුරුවට හිස තබාගෙන පැතුම්ගෙන් ඇසුවේය.

"එතන ලොකු ප‍්‍රශ්නයක් තිබිලා මචං..."

"මොකක්ද පැතුම් ජීවිතේ නැතිකරගන්න හදන්න තරම් තිබ්බ ප‍්‍රශ්නෙ? මේකටද බං ආදරේ කියන්නෙ..?"

"මුකුත් නොදැන ඔහොම කතා කරන්න එපා මචං. ප‍්‍රශ්නෙ වෙලා තියෙන්නෙ එදා උඹලා හම්බවෙලා චාපා ආයෙම ගෙදර ගියාට පස්සෙ..."

"උඹ කොහොමද ඕවා දන්නෙ..?"

"ඉරේෂා කතා කරපු වෙලාවෙ කිව්වෙ. එදා ගෙදර ලොකු රණ්ඩුවක් වෙලා. චාපාගෙ තාත්තා චාපාට ගහලත් එක්කලු. අද පාන්දර අර කොල්ලත් එක්ක රට යවන්න ඉදලා තියෙන්නෙ..."

"මොකක්...?"
මට හිතාගන්නටවත් බැරිවිය. ඒතරම් දෙයක් සිදුවූයේනම් එදා කතාකල වෙලාවේම චාපා එය මට නොකීවේ ඇයි?

"චාපා උඹට කොයිතරම් ආදරෙයිද කියලා අපි උඹට කියන්න ඕන නැහැනෙ. උඹව මෙහෙම නන්නත්තාර කරලා අර මෑන් එක්ක යන්න වෙන නිසා චාපා මෙහෙම කරගන්න ඇති.."

මට කරකියාගන්නට දෙයක් නොමැති විය. ඇය දැඩි සත්කාර ඒකකයේ සිටිනා අයුරු මට මැවී පෙනෙන්නට ගත්තේය. පහුගිය කාලෙම ඇය සිටියේ ඉතාමත් සතුටිනි. එහෙම කෙල්ල අද ඉස්පිරිතාලෙක වැටී සිටිනවා දකින්නට හිතට හයියක් නැත.

"චාපාගෙ තාත්තා එච්චර හොද පොරක් නෙවෙයිලු මචං. චාපායි නංගියි පොඩිකාලේ ඉදන්ම ළඟ අම්මාට විතරලු. සමහර විට ඒ නිසාම වෙන්නත් ඇති චාපා උඹට ඔය තරම් ආදරේ කලෙත්..."

කල්ප වාහනය පදවන ගමන්ම කීවේය. මට කතාකරන්නට උගුරෙන් වචන පිටවන්නේද නැත. මම දෙනෙත් පියගතිමි. පසුගිය දින කිහිපයේම ඇයව සිහිනයෙන් දුටුවේ මේ අසුභ ලකුණ පහල වන්නට තිබූ නිසාවෙන් විය යුතුය. මේ මෝඩි මෝඩ වැඩක් කලොත් මට සමාව දෙනවා නේදැයි ඇසූයේ මෙයටද? මෝඩ වැඩක් බව දැනගෙන සිටියානම් මෙවැනි තීරණයක් ගත්තේ ඇයි?

"මචං අපි හොස්පිට්ල් එක ළඟ..."
කල්ප රෝහල අසල රථගාලේ වාහනය නැවැත්තුවේය.

"මචං මෙතන ඉදලා ලොකු ගේමක් ගහන්න තියෙන්නෙ. චාපාගේ තාත්තා හරි අයියා හරි ඔතන හිටියොත් අපිට ඔය ළඟින්වත් යන්න වෙන්නෑ. ඒ නිසා අපි කල්පනාවෙන් වැඩකරමු..."

"ඉතින් අපි කොහොමද චාපාව බලන්නෙ.."

"ඒ සේරම හරි. කල්පයාගෙ මාමා ඉන්නෙත් මේ හොස්පිට්ල් එකේමනෙ. උඹ එන්න කලින් අපි එයාට කතා කරලා සේරම ලෑස්ති කලා. මිනිහා නම් වැඬේට බෑමයි කිව්වා. ඒත් කල්පයා එහෙම කලොත් නෑ කමත් අතඅරිනවා කියලා හෙන කේස් එකක් දාලායි අන්තිමට මාමාව ෂේප් කරගත්තෙ..."

"අනේ උඹලට පිං මචං.."
මම කල්පගේ උරහිසට අතක් තබා කීවේය.

"ඕක මොකක්ද බං. මේ වගේ වෙලාවක නැති උදව්වක් අහවල් එකටද. අනික බං මාමා උනත් මේවගේ තැනක ඉදලා උදව්වක් කරන්නැත්තං හාල් ගරන්නද බං.."

"හරි පරක්කු වෙන්න බෑ. අපි යමු. අපි දෙන්නව කවුරුත් දන්නෙ නෑනේ. ඒ නිසා අවුලක් නෑ. උඹ පොඩ්ඩක් අපි දෙන්නට දුරින් වරෙන්.."

අපි රෝහලේ පඩි නගිමින් ඉහළ මාලයකට පැමිණ කොරිඩෝව දිගේ දැඩි සත්කාර ඒකකය දෙසට ගියෝය. වාට්ටුවල සිටින ලෙඩ්ඩුන්ගේ අදෝනාවල් හිත තවත් කඩා වට්ටවයි. චාපා සිටින්නේ දැඩි සත්කාර ඒකකයේ නම් ඇයද කෙතරම් දුක් විදිනවා ඇතිද.

"මචං ඔහොම්මම ඉදිං..."
කල්පත් පැතුනුත් ආපසු හැරී මාවත් ඇදගෙන යන්නට පසෙකට ගියේය.

"ඇයි මොකද..?"

"ආන්ටියි චාපාගෙ අයියයි එතන බංකුවේ වාඩිවෙලා ඉන්නවා බං. අනාතයි. අංකලයා හිටියානම් අවුලක් නෑ මොකද මිනිහා උඹව දන්නෙ නෑනෙ.."

"මචං මට දැන් කවුරු දැක්කත් කමක් නෑ මට ඕනෙ චාපාව බලන්න.."

"ගිම්හානයා මේ, මොඩයෙක් වෙන්න එපා. මේක ඉස්පිරිතාලයක්. අර කෙල්ල ඉන්නෙ පණ ඇද ඇද. පොඩ්ඩක් කල්පනා කරලා වැඩ කරමු මචං.."

"ඔවු මචං උඹ කලබල උනොත් මෙතන අපි කරපු සේරම වතුරෙ යනවා.."

"ඔයාලා මෙතන..."

අපි තුන්දෙනාම ගැස්සුණි. නමුත් ඒ ඉරේෂාය.

"ඇයි මෙතන ඉන්නෙ..?"

"කොහෙ යන්නද ඉරේෂා අර වසවර්තියා ඉන්නවානෙ..."

"කවුද අයියද..?"

"ඔවු අර ඉන්නෙ..."
පැතුම් ඉරේෂාට දැඩි සත්කාර ඒකකය අසල ඇති බංකුව පෙන්වූයේය.

"අයියෝ දැන් මොකද කරන්නෙ? අනේ ගිම්හාන ඔයා නම් යන්න එපා. අහුඋනොතින් මරයි..."

"පොඩ්ඩක් කලබල නොවී ඉන්නකො. මම ඉක්මනට එන්නම්...මචං උඹ මාමාට කෝල් එකක් දීලා කියපං අපි ඇවිත් ඉන්නෙ කියලා.."
පැතුම් වාට්ටු තිබූ  පැත්තට යන්නට ගියේය. 

"කොහෙද ඔයා යන්නෙ..?"

"ඉන්න මම ඉක්මනට එන්නම්..."

"අනේ මන්දා. පුදුම කරුමයක් තමයි මේක. මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන හැටි. ඒකත් මේ ගෑණු ළමයෙක් එක්ක. ඇයි එයාලාගෙ තාත්තට පොඩ්ඩක් කල්පනා කරන්න බැරි. නාදුනන මනුස්සයෙක් එක්ක යවනවද වෙන රටකට ඔහොම බලහත්කාරෙන්..."

ඉරේෂාගේ කටහඩද වෙනස්වී ඇත. ඇය චාපාට හැමදාමත් සහෝදරියක් වූවාය.

"අන්න අයෝධ්‍යා ඉන්නවා. ඔය දෙන්නා ඔතනම ඉන්න, මම නංගිට කතා කරලා එන්නම්.."
ඉරේෂා චාපාගේ නංගිව දැක විදුලි සෝපානය දෙසට ගියාය.

"මොකක්ද දැන් අපි කරන්නෙ කල්ප..?"
මම කල්පගෙන් ඇසුවේය.

"මම මාමාට කතා කලා. මිනිහා තව ටිකකින් එනවා කිව්වා. අපි බලමු පැතුම් එනකන්. ඌ මොකක් හරි කරන්න තමයි ගියේ.."

"අයියේ..."
චාපාගේ නංගී කතා කලේ අඩාගෙනමය.

"මොකක්ද අයියේ අපේ අක්කට මේ උනේ..?"

"අඩන්න එපා නංගි. අක්කට මුකුත් වෙන්නෑ. බය වෙන්න එපා. අක්කා ගොඩක් හොද කෙනෙක්. එයා දිහා දෙයියෙ බලයි.."

"පවු එයා. පොඩි කාලෙ ඉදන් සතුටක් තිබ්බෙ නැහැ. ඒත් ඔයා නිසා හරිම සතුටින් හිටියෙ. අනේ මගෙ අක්කා..."
අයෝධ්‍යා ඉරේෂාගේ උරහිසේ එල්ලී හඩන්නට ගත්තාය.

"අඩන්නෙපා චූටි. දැන් අපි අක්කව සනීප කරගන්න විදිහක් බලමු. අඩලා මුකුත් කරන්න බෑනේ. අපි ඔක්කොම දුකින් තමයි ඉන්නෙ.."
ඉරේෂා ඇයගේ හිස අත ගෑවාය.

"මචං හරි..."
පැතුම් අප අසලට ආවේ මුහුණේ සිනහවක්ද සමගිනි.

"කොහෙද උඹ ගියේ..?"

"මම නර්ස් කෙනෙක් හම්බවෙන්න ගියේ. අපේ අම්මා ඇඩ්මිට් වෙලා ඉන්න වෙලාවෙ ගොඩක් උදව් කරපු කෙනෙක්..."

"යකෝ මේක නර්ස්ලාගෙ දුක සැප බලන්න යන වෙලාවක්ද? පිස්සුද තොට..?"
කල්ප පැතුම්ට බැණවැදුනේය.

"ඉදපංකො රිලවා වගේ පනින්නැතුව කියලා ඉවරවෙනකං. මම ඒ නර්ස්ට විස්තරේ සේරම කිව්වා. එයා තව ටිකකින් ඇවිත් චාපාගෙ අයිය එක්කගෙන යයි ඩොකියුමන්ට් වගේකට සයින් කරන්න කියලා. එයා කිව්වා උපරිම විනාඩි දහයයි රස්තයාදු කරන්න පුළුවන් ඊට වඩා බෑ, එයාගෙ රස්සාවත් නැතිවෙයි කියලා..."

"උඹ පුදුම පොරක්නෙ..."
කල්පගෙ මුහුනේද සිනහවක් ඇදුණි.

"මාමාට කිව්වද උඹ..?"

"ඔවු දැන් එනවා කිව්වා.."

"නංගි ඇයි තාත්තා පේන්න නැත්තේ..?"
පැතුම් අයෝධ්‍යා දෙස බලා ඇසුවේය.

"තාත්තා ගෙදර ගියා දැන් පැය බාගෙකට විතර කලින්, ෂොප් එකේ යතුරු ටික මැනේජර් අංකල්ට දීලා එන්න කියලා.."

"ඒකියන්නෙ මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් ෂොප් එක අද අරිනවද..?"

අයෝධ්‍යා දිග හුස්මක් පිටකරමින් ඉවත බලාගත්තේ අසරණ ලෙසය.

"හරි, දැන් ඕවා කතා කරලා තේරුමක් නැහැ, අපි අපේ කෙල්ල ගැන බලමු. ඉරේෂා.. ඔයාටයි නංගිටයිත් කරන්න වැඩක් තියෙනවා..
නංගි, අම්මා කාලාද ඉන්නෙ..?"


"නැහැ අයියෙ, උදේ ඉදන් වතුර උගුරක්වත් නැතුවයි ඔය අඩ අඩ ඉන්නෙ. කන්න ගෙනත් දුන්නා දෙතුන් සැරයක් ඒත් එපා කිව්වා.."

"අනේ පවු දෙයියනේ..."
මට ඇය ඇතිවූයේ දුකකි. ඇයවත් නොමැතිවූවානම් චාපාට කිසිදු රැකවරණයක් නැත.

"එහෙනම් ඔය දෙන්නා අයියා ගියාට පස්සෙ අම්මා ළඟට ගිහින් කොහොම හරි කන්න එක්ක යන්න. මොනවම හරි කියලා. අපිට කෝක කරන්න තියෙන්නෙත් විනාඩි දහයියි..."

මගේ හිතේ ඇති බිය එන්න එන්නම වැඩිවන්නට විය. ඇය ඉන්නේ සාමාන්‍ය වාට්ටුවක නම් හිත හදාගන්නට තිබුණි. ඒත් ඇය ඉන්නේ දැඩි සත්තාර ඒකකයේය.

"ගිම්හාන උඹේ අතේ තමයි මචං සේරම තියෙන්නෙ තේරුණාද? උඹට චාපාව බලන්න පුළුවන් විනාඩි දහයයි කියන එක ඔළුවෙ තියාගෙන ඇතුලට පලයන්. අපි දන්නවා උඹට දුකයි කියලා. ඒත් ඊට වඩා එක විනාඩියක්වත් ගන්න එපා. එහෙම උනොත් වෙන්නෙ මෙතන ලොකු ප‍්‍රශ්නයක් ඇතිවෙනවා විතරක් නෙවෙයි. මිනිස්සු දෙතුන් දෙනෙක්ගෙ රස්සාවලුත් නැතිවෙන එක. තේරුණාද උඹට..?"

"අපි හැමෝම මේ ජීවිතේටවත් නොකරපු දේවල් කරන්නෙ උඹ හොද එකා නිසයි උඹ චාපාට ඇත්තටම ආදරෙයි කියලා හොදාකාරවම දන්න නිසයි. ඒ නිසා අපිවත් බේරගෙන වැඩ කරන එක උඹේ යුතුකම..."

"මට තේරෙනවා මචං. උඹලා නැත්තම් මට අද චාපාව එක විනාඩියකටවත් දකින්න ලැබෙන්නෑ..."

"මේ.. කෝ බං උඹේ මාමා? සේරම ලස්සනට ප්ලෑන් කරලා අන්තිමට මිනිහා වැඬේ නායි වගේ..."
පැතුම් කීවේ කල්පටය. 

"ඉදහන් මම ගිහින් බලන්නම්..."

"පුතා..."
කල්ප යන්නට හදද්දීම දොස්තර කෙනෙක් පසුපස සිට කතා කලේය.

"කාවද දැන් ඇතුලට එක්ක යන්න ඕනෙ..?"

"මෙයාව මාමෙ.. ගිම්හාන මේ මගේ මාමා. මාමේ මේ ගිම්හාන.. මගේ අතිජාත මිත‍්‍රයා.."
කල්ප සිනාවී මාව හදුන්වා දුන්නද ඔහුගේ මුහුණේ සිනහවක සේයාවක් වත් නොමැත. 

"මම මේක මෙයාගෙ බලකිරීමට කරනවා මිසක් පුළුවන් කමකට කරනවා නෙවෙයි තේරුණාද? මේවා අපිට අනවශ්‍ය ප‍්‍රශ්න ඇතිවෙන වැඩ.."

"හරි හරි මාමේ, මම මේ උදව්වක් ඉල්ලුවාමනෙ.."

"ආයෙ උදව් නොයිලුවාට කමක් නෑ... යන කෙනා එන්න..."
ඒසේ කියමින් ඔහු දැඩි සත්කාර ඒකකට දෙසට ඇවිද ගියේය.

"අයියේ, අන්න අපේ අයියව අර නර්ස් එක්ක ගියා..."
අයෝධ්‍යා වාට්ටුව දෙසින් ඇවිද යන ඇයගේ අයියා පෙන්වූවාය.

"හරි දැන් තමයි ඔය දෙන්නගෙ වෙලාව. පුළුවන් ඉක්මනට අම්මාවත් එතනින් එක්ක යන්න. නංගි ඔයා අම්මට කියන්න එයා එනකන් එතන ඉන්නම් කියලා. ඉක්මන් කරන්න..."

පැතුම් ඉරේෂාවත් අයෝධ්‍යාවත් පිටත් කර හැරියේය. ඇත්තෙන්ම මෙය බරපතල වැඩකි. සියලු දෙනාම මේ අවධානම ගන්නේ එක විනාඩි දහයටක මට ඇයව බලා ගැනීමටය.

"මචං උඹත් ඔහොම්මම පලයං. වදින්නම්, මෙච්චර වෙලා කිව්ව දේවල් මතක තියාගනින්.. කල්ප උඹත් මූ එක්ක පලයං. මම මෙතන ඉන්නම්. එළියෙ අවුලක් වෙයිද කියන්න බැහැනෙ.."

"උඹලට පිං මචං..."

"පිං දීපං ඇවිත්.. ඉක්මනට පලයං..."

හදවත වේගයෙන් ගැහෙද්දී මම දැඩි සත්කාර ඒකකයේ දොර ඇරියේය.


(චාපා අවසාන කොටස සමගින් හමුවෙමු...)
- නිරෝෂ් මෛති‍්‍ර -
- 2004 -




No comments:

Post a Comment

 

Sample text

Sample Text