Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Friday, May 31, 2013

චාපා 07

සුමුදු පියවර තබා එන මඟ, සුසුදු පියවිලි එළා තැබුවා...


ට ඇසුන දේ තවමත් මට විශ්වස නැත. චාපා ඒ කීවේ ඇයද මට ආදරේ කරන බවද?

"චාපා..."

මම දෙනෙත් විශාල කරගෙන ඇය දෙසම බලාගෙන සිටියේය. චාපා ලැජ්ජාවෙන් බිම බලාගත්තාය. 

"චාපා මොකක්ද ඔයා කිව්වෙ?..."

"ඔයාට ඇහුන දේ තමයි...."
ඇය ඇඟිළි තුඩින් මේසය හූරමින් කීවාය.

"ඒ කිව්වෙ ඔයත් මට ආදරෙයිද? ..."

මම ඇයට ළං වෙමින් ඇසුවෙ අදහාගත නොහැකි සතුටකිනි. ඇය මේසයේ හූරපු තැන බලාගෙම හිස වැනුවාය. මට මෙතන නටන්නට තරම් සතුටක් දැනුණි.

"චාපා මං දිහා බලන්න... ඇයි කියන්න එක පාරම හිත වෙනස් උනේ?..."

ඇය සෙමින් හිස ඔසවා මා දෙස බැලුවාය. මටනම් තවමත් උන දේ අදහාගත නොහැක.

"ඔයා යන්න ගියාම මට බය හිතුනා. මං ඔයා නිසා ඉන්නෙ සතුටින්. මට බැහැ ඒ සතුට නැතිකරගන්න..."

මට මේ ඇසෙන්නේ මා මෙතෙක් දිනක් අසන්නට පෙරුම් පිරූ වචන කිහිපයයි. මේ පාසල නොවේනම් මීට වඩා සැහැල්ලුවෙන් කතාකරන්නට තිබුනායැයි සිතුනේය.

"ඒත් මට ගොඩක් බයයි. මේවා අන්තිමට කොහෙන් කෙලවර වෙයිද දන්නෑ ගිම්හාන...."

දැන් කොහෙන් කෙලවර උනද ඒ හැමදේටම මුහුණ දීමට හිතට පුදුමාකාර ශක්තියක් ඇත.

"හැමදේම අපි ටික ටික විසදගමු චාපා. ඔයා හිතට බරක් ගන්නැතුව සතුටින් ඉන්නකො. ඒත් මට තාමත් අදහාගන්න බැහැ..."

ඇය ආදරණියව සිනාසුනාය. මම ඇයගේ අසලටම වූයේය. කුමක්දෝ සිත පිනායන සුවදක් ඇය ළඟින් හමා එයි.

"තව එක පාරක් කියනවාද?..."

"මොකක්ද?..."

"ඇත්තටම මට ආදරෙයිද?..."

හිත මෙතරම් බොළද වන්නේ ඇය ඉදිරියේ පමණය. මම එයට ආශා කලෙමි.නැවතත් ඇගේ ඇස් මේසය මතය. නමුත් ඒ දෑස්මත කදුළුය. 

"මම නෙවෙයි ගිම්හාන. ඔයා ඒක කියන්න. මම මේ පිරිමි ළමයෙක්ට මේතරම් ළං උන පළවෙනි වතාව. මට මේ මුකුත් තේරෙන්නෑ. කවදාහරි ඔයාට එපාවෙලා මාව දාලා ගියොත් එදාට මට ජීවිතේම එපා වෙයි...

ඇය එහෙම්මම මගේ මැණික් කටුව ළඟින්අල්ලා ගත්තාය.

"ආවු..."

"ඇයි ?.."

"මෝඩි, මගේ අත..."

"අනේ සොරි..."

ඇය සමාව ඉල්ලන්නාක් මෙන් මා දෙස බැලුවාය.


"පිස්සා නිකං අත තුවාල කරගත්තා. යන්න දැං කල්ප එක්ක ගිහින් බෙහෙත් දාගන්න..."

"තුවාල උනාට පාඩු උනේ නැහැනෙ...."

ඇයත් මමත් එකවිට සිනාසුනෝය. හිතේ තිබූ ලොකු බරක් නිදහස් වූවාක් මෙන් මහා සැහැල්ලුවක් දැනෙයි.

"මේ... එක්ස්කියුස් මී වෙන්න ඕනෙ. බෙල් එක ගහලා දැන් හුගක් වෙලා. එළියෙ මුර කරලම මගේ දනිස් රිදෙනවා. අපි දැන් යමුද දෙයියනේ කියලා..."
කල්ප කඩාපහත් වූ පසුයි බෙල් එක ගැසූ බවත් දන්නෙ.

"ඇහුනෙවත් නෑ බං..."

"ඇහෙයියැ ඉතිං. පෙම් සයුරෙ ගිලිලා ඉද්දි කං ඇහෙනවා හොරයිනෙ මචං...."
චාපා සිනාසී යන්න නැගිට්ටාය.

"යමු..."

"ඔයා යන්න චාපා අපි දෙන්නා ටිකක් ඉදලා එන්නම්...."

චාපා මදක් දුර ගොස් නැවත කල්පට කතා කලාය. කල්පත් සමග මොන මොනවාදෝ කියා මාත් සමග සිනාසී යන්නට ගියාය. මොහොතකට පෙර සිදුවූ සියල්ලම මට තවමත් සිහිනයක් මෙනි.

"ඒයි මෝඩයා, කෝ අත පෙන්නපං..."

කල්ප පැමිණි පසු මගේ අත අල්ලාගෙන ඇසීය. චාපාගේ ලේන්සුව තවමත් අතේය. එහි තැනින් තැන ලේ ගෑවී ඇත.

"පිස්සුද යකෝ උඹට? මේ මොකක්ද කරන් තියෙන්නෙ..."

"ඒක තිබෙද්දෙනං කියපං චාපා මොනාද කිව්වෙ?..."

"උඹව බෙහෙත් දාන්න එක්ක යන්නලු. නැත්තං උඹ ඔහොම්මම ඉදියිලු..."

මට ඇය ගැන ඇති ආදරේ වැඩිවිය. මගේ තේරීම වැරදි නැත. මම කල්පට උන හැමෙදේම මුලසිට කිවේය. කල්ප සියල්ල අසා සිටියේ කටත් ඇරගෙනය.

"මාර සීන් එකක්නෙ බං වෙලා තියෙන්නෙ..."

"ඒක තමයි බං මටත් තාම අදහාගන්නත් අමාරුයි...."

"ඒකි හොද එකී බං. ඔය ගෙදර තියෙනවා කිව්ව අවුල නිසා තමයි කොච්චරවත් මුල්ලකට වෙලා කල්පනා කර කර ඉන්නවා ඇත්තෙ. උඹ හොද එකා කියලා තේරුණ හංදා වෙන්න ඇති කැමති වෙන්න ඇත්තෙ...."

"හ්ම්ම්..."

"දැං ඉතිං උඹව ගොඩදාලා දීපු සේරටම අඩුමගානෙ ප්ලේන්ටි පාටියක්වත් දෙන්න වෙයි...."

කල්ප විද්‍යාගාරයෙන් එළියට එනගමන් මගේ කරට අතක් දමාගෙන කීවේය.
"ප්ලේන්ටි මොකටද බං, උඹලා සේරටම අරං දෙන්නංකො හොද ස්ට්‍රෝන්ග් ටී...."

"චාමරයට මේක කිව්වම ෂුවර් එකටම කලන්තෙ දායි..."

"ඒක ඇත්ත..."

"හරි හරි.. උඹේ කියවිල්ල පැත්තක තියලා වරෙන් අතට බෙහෙත් ටිකක් දාන් එන්න යං නැත්තං චාපාගෙන් මමත් බැනුම් අහගන්නවා..."

ඇයගේ නම ඇසුනත් හිතට දැනෙන්නෙ අමුතුම සතුටකි.



        හැකිවේද ඔබට මගේ තනිකම මකන්නට...

(චාපා 08 වන කොටස සමගින් හමුවෙමු...)


            - නිරෝෂ් මෛති‍්‍ර -
                  - 2004 -



කියවන්න

Thursday, May 30, 2013

තෝසයක් කියූ කතාවක්...




   පන්තිය අද වෙනදාට වඩා විනාඩි 15ක් වේලාසන අවසන් වූයේය. ජයරත්න මල් ශාලාව අසලින් පාර පැන බොරැල්ලට යන බස් එකක එල්ලුනේ ටියුට් එක රෝල්කර කලිසම් සාක්කුවේ රුවාගෙනය. වෙලාව 12.45. කාර්යාලයට යාමට ප‍්‍රමාද නැතත් ඇයව බලන්නට නලියන හිතේ තිබුනේ නොසන්සුන් කමකි. බොරැල්ලෙ හන්දියෙන් බසය නවත්වන්නටත් කලින්ම එයින් පැන්නේය.

"ක්ලාස් ඉවරද?.."
"ඔවු බබා.. අද කලින් ඉවර උනා. මොනාද කන්න ගේන්නෙ?.."
"ආස දෙයක්... මටනම් බඩගිනිත් නෑ..."
"ආ.. නොකා හදාගන්නකො ලෙඩක්. ඉන්න මම ඉක්මනට එන්නම්..."
හැමදාම මම ගෙනියන්නෙ මසාල තෝසය. මම කැමතිම ඒවට බව ඇය දනියි. මම බොරැල්ලෙන් තෝස ගෙන ඉක්මනින් කාර්යාලටය ගියේය. ඇයගේ මුහුණ දුටු පසු මටත් ඇති බඩගින්නක් නැත. ඇය ඒ තරම් ආදරණියය.

"ඇයි බබා ? මූණත් අමුතුයි.."
තෝස කෑ පසු කාර්යාලයේ පුටුවකට බරවෙන ගමන් මම ඇසුවෙමි.
"නෑ එහෙම දෙයක් නැහැ නිසල්, මගෙ කට අමුතුයි ඒකයි.,,"
"ඇයි වමනෙ යන්න එනවද?.."
"ඒ වගේ.."
"ඇයි ඒ... කෑවට පස්සෙ නේද?.."
"හ්ම්..."
"ඔයා ආසයිනෙ තෝස වලට. අද මොකක්ද අවුල් උනේ නිකම්ම ? .."

ඇය සිහින්ව සිනාසුනාය. ඒත් ඒ හිනාව ව්‍යාජ යැයි මට සිතුණි.

"මොකක් හරි තියෙනවා ඔයා නොකියන?.."
ඇය අහින්සකව හිස ඔසවා මා දෙස බැලුවාය.

"මම තෝස වලට ආස නැහැ මහත්තයෝ.."
මගේ හිසට පොල්ලෙන් ගැසුවාක් මෙනි.මම තෝස ගෙනා පළමු දිනය මෙය නොවේය. ගෙනා සෑම දිනකම ඇය ඒවා කෑවෙ රස කර කරය.

"එහෙනම් මෙච්චර දවස් ආසාවෙන් කෑවෙ?.."
ඇයගේ ඇස් දෙක තෙත්වී ඇත.
"අද කෑවෙත් ආසාවෙන් තමා නිසල්. මම දන්නවනෙ ඔයා කන්න ආසම ඒවා කියලා. මම ආස නැහැ කිව්වොත් මම නිසා ඔයා ආයෙ ඒවා ගේන්නැති බවත් මම දන්නවා. පවුනෙ ඔයා. ආස නැති දෙයක් දිගටම කද්දි වමනෙට එනවානෙ මගෙ මහත්තයෝ. ඒකයි අද උනෙ..."

ආදරය කියා අප තේරුම් ගෙන ඇත්තේ මොනවාද? මට මා ගැනම ලැජ්ජා සිතුණි.



- නිරෝෂ් මෛති‍්‍ර -
2013-05-30






කියවන්න

Tuesday, May 28, 2013

චාපා 06

සැගව යන්නට හැදු ආදරයක, වචන එකතු කල ආදරණිය පියවර...


චාපා අසල සිටි ගැහැණු ළමයින් දෙදෙනා නැගිට එළියට ගියේ මාත් සමග සිනාසීය. මම චාපා අසලට ගියේ ටික ටික එකතුකරගත් ආත්ම ශක්තියෙනි.

"මම මෙතනින් වාඩිවෙන්නද?.."
ඇය මේසය මත බාගෙ රූලකින් ඔහේ ඉරි අදියි. විනාඩියක් දෙකක් ගියද ඇයි පිළිතුරු දුන්නේද නැත.

"චාපා..."

"ඔයා මේ මොනවාද සුරේකාට කියලා තියෙන්නෙ?..."
ඇය හිස ඔසවන්නේ නැතුවම ඇසීය.

"ඇයි මම වැරදි දෙයක් කිව්වද?..."
මගේ පපුව ගැහෙන ශබ්දය ඇයට තව ටිකකින් එහා පන්තියටත් ඇසෙනු ඇත.

"ඒ උනාට මම ඕවට කැමති නැහැ..."
ඇය කියන්නෙ බොරුය. ඇය අකමැතිනම් එදාම සුරේකාට එය කියන්නට තිබුණි.

"ඒ ඇයි කියලා දැනගන්න පුළුවන්ද?..."

"මට ඉගෙන ගන්න ඕනෙ..."

"මටත් ඉගෙන ගන්න ඕනෙ..."

"එහෙනම් ඉගෙනගන්න මට කරදර කරන්නෙ නැතුව..."
බලාපොරොත්තු කන්දම මගේ දෙපතුල ළඟ ඇදවැටුණි. මම සිතුවා හරිය. ඇය මාව ගෙන්වාගත්තේ බනින්නමය. මම පසුපස ඇති දිග මේසයට හේත්තු වූ විට අතේ යමක් ඇනිණි. එය බිදීගිය පරීක්ෂණ නලයකින් කැබැල්ලකි. හිතට ඇනුන ඇයගේ වචන ටික ඊට වඩා රිදුම් දුන්නේය.

"ඇයි ඔයා මෙහෙම කතාකරන්නෙ කියලා මම දන්නෑ චාපා. ඔයා හිතනවද දන්නෑ මම ඉගෙන ගන්න ආසාවක් නැතුව අනිත් අය වගේ පිස්සු නටන්න හදනවා කියලා. මගේ අනාගතේ සම්පූර්ණයෙන් රැදිලා තියෙන්නෙ මගේ ඉගෙනීම උඩ. ඒ නිසාම මේ කාරණේ මම අමතක කරලා ඉන්න ගොඩක් උත්සහ කලා. ඒත් මට ඒක කරන්න බැරි උනා. ඇත්තම කියනවානම් මම මෙහෙට ආපු පළවෙනි දවසෙ ඉදන්ම ඔයාට ගොඩක් කැමැත්තෙන් හිටියෙ. මටත් නොදැනීම ඒක ආදරයක් උනා. මම වැරදි ඇති. ඒකට මට සමාවෙන්න. ඒත් මම ඇත්තටම ඔයාට ආදරෙයි. තව දුරටත් මට ඒක හංගන්න බැහැ. ඔයාට නොකියා ඉන්නත් බැහැ. මම මේක කිව්වෙ ඔයාගෙවත් මගේවත් ඉගෙනීම කඩාකප්පල් කරගන්න නෙවෙයි. මං ගැන වැරදියට හිතන්න එපා. මම යන්නම්..."

මම එක දිගට කියාගෙන කියාගෙන ගියේය. ඒතරම් ආත්ම ශක්තියක් මට කොහෙන් ආවාදැයි මම නොදනියි. චාපා පළමුවරට හිස ඔසවා මාදෙස බැලුවාය.  නමුත් අපමණව සිත රිදී ඇත්තේ බලාපොරොත්තු සියල්ල කඩවී ඇති නිසාවෙනි. සිත් වේදනාවට මටත් නොදැනීම වීදුරු කැබැල්ල මිරිකිනි. අතින් ලේ පැන්නේය.

"මොනවද මේ කරන්නෙ? පිස්සුද ආ?..."
චාපා නැගිටවිත් මගේ ලේ එන දකුණු අත දෙස බලා ඇසුවාය. නමුත් මම යන්නට හැරුණි.

"නෑ ඒක ගානක් නෑ. ඊට වඩා හිත ගොඩක් රිදිලා ඉවරයි. මම යන්නම්..."
වීදුරු කටුව තවමත් අතේය. යන මොහොතේ හෝ ඇය මොනවා හරි කියාවියැයි බොළඳ ආශාවක් ඇතිවිය.

"මට සමාවෙන්න. හොදට ඉගෙන ගන්න..."

ඇයට කීමට ඇත්තේ එපමනක්මද? 'උඹ පව් බං ගිම්හාන' විද්‍යාගාරයේ වීදුරු පෙට්ටියේ ඇති ඇටසැකිල්ලද මට සිනාසෙනවාක් මෙන් මට පෙනුණි. අවසන් බලාපොරොත්තුවද පයට පෑගී ගියේය. ආපසු හැරී විද්‍යාගාරයේ දොර දෙසට යමින් ගමන් මම වීදුරු කටුව අතින් ඇද දැම්මේය.

"ආ...."
වීදුරු කටුව අදින විට මට රිදුම් ආවේ ඇහෙන් කදුළු පනිමිනි. කදුළු ආවේ අතේ රිදුමටද හිතේ රිදුමටද කියා මා දන්නේ නැත. නමුත් චාපා දිව එනවා මට ඇසුණි.

"ඇයි දෙයියනේ හිතුවක්කාර වැඩ කරන්නෙ?.."

මම කිසිවක් නොකියා ඔහේ සිටියේය. නහය උඩිනුත් වතුර ගියපසු තව මොන කතාද?

"මේ බලන්න අතින් ලේ ගලනවා. කෝ එන්න..."

චාපා මගේ ලේ එන අත මෘදුව අල්ලා ගත්තාය. මට දැනුන හැගීම කියා නිමකල නොහැක. ඇය මාව විද්‍යාගාරයේ කරාමය අසලට ගෙන ආවාය. කරාමය ඇර අඩු වේගයෙන් ජලය එන්නට හැර ඇය ලේ සෝදා හැරියාය.

"රිදෙනවද?..."

ඇය මා දෙස බැලූ ආදරණීය බැල්ම මට කවදාවත් අමතක නොවේ යැයි මට සිතුණි.

"මට මේකට අකමැති වෙන්න හේතු තියෙනවා ගිම්හාන. නැත්තම්...'"
ඇය කියන්නට ගියදේ ගිලගත්තාය.

"ඒ මොනාද ?..."
කතාකරන්නට වචනයක් සොයාගත්තේ හරිම අපහසුවෙනි. 

"ඉස්සෙල්ලා මෙතනින් වාඩිවෙන්න..."

විද්‍යාගාරය ඇත්තේ පාසලේ කෙලවරක නිසා සිසුන් වැඩිපුර මේ අසල නොගැවසෙයි. එබැවින් උසස්පෙළ විද්‍යාගාරය අවට හරිම නිස්කලංකය.

"ඔයා හොද කෙනෙක් කියලා මම දන්නවා ගිම්හාන. ඔයා ඉගෙනගනැනැති ළමයෙක් නෙවෙයි කියලත් දන්නවා..."

'එහෙනම් ඉස්සෙල්ලා අරෙහෙම කිව්වෙ ඇයි' දැයි අහන්නට සිතුනත් ඇයට කතාකරන්නට ඉඩදී මම බලාසිටියේය.

"මම පිරිමි ළමයිත් එක්ක වැඩි කතාබහක් නැහැ. මොකද මට ඒ තරම් ලොකු පැහැදීමක් නැති නිසා. ඔයාට ඇත්තම කියනවානම් මට එහෙම උනේ අපේ අයියයි තාත්තයි නිසා..."

ඇයගෙන් අහන්නට හරස්ප‍්‍රශ්න එක දිගට ගලා එයි. නමුත් තව දුරටත් නිහඩව ඇයට සවන් දුනි.

"ඔයාගෙ හිත රිදුනා නේද ?....මම නපුරු කෙනෙක් කියලා හිතන්නෙපා. මට ඕන උනේ මේවා අමතක කරලා ඔයා ඉගෙනගන්න ඒවට හිත යොදවනවානම්. ඒකයි මම එහෙම කතාකලේ. ඒත්..."

"ඒත් කිව්වෙ ඇයි?..."
මම ඇය දෙස කෙලින් බලා ඇසුවේය. ඇයගේ ඇස් දිළිසෙයි.

"මම ඇත්තම කියන්නම්, පහුගිය ටිකේ ඔයත් එක්ක කතා බහ කරලා මම හිටියෙ සතුටින්. සමහර දවස්වලට මම ගෙදර ගිහිනුත් කල්පනා කරනවා. මම දන්නෑ ඒ ඇයි කියන්න. මේ ජීවිත කාලෙටම පිරිමියෙක් ගැන ප‍්‍රියමනාප හැඟීමක් ඇති උනානම් ඒ ඔයා ගැන විතරයි..."

තුවාල වූ තැනින් ලේ බින්දු එක දෙක මතුවී තිබුණි. නමුත් දැන් එහි වේදනාවක් නැත. මන්ද ඇය මා ගැන මේ කියනා දේවල් නිසාය.

"ආයෙමත් ලේ එනවා නේද ? ආ මේක එතනින් තියාලා ටිකක් තදකරන් ඉන්න...."
ඇය ලේ එන තැනට ඇගේ ලේන්සුව තබා මා දෙස බැලුවාය. 

" මම ලේ හලාගෙන ආදරේ කරන්න තරම් වටින කෙනෙක් නෙවෙයි ගිම්හාන..."

ඇයගේ කම්මුල් දිගේ කදුළු දෙපේලියක් ගලා ගියේ මගේ හිත කඩා වට්ටවමිනි. ඇයව ඇඩෙව්වෙ මමද?

"අඩන්නෙපා චාපා. මමයි වැරදි. පාඩුවෙ ඉදපු ඔයාගෙ ඔලුවට විකාර ගෙනත් දැම්මෙ මමයි. මම ඒක අමතක කරන්නම්..."

කරකියාගත හැකි දෙයක් නොවූයෙන් මම හිත තදකරගෙන කීවෙමි.

"මගෙන් ආයෙ කරදරයක් වෙන්නෑ ඔයාට. අඩන්නැතුව ඉන්නකො..."

"මම ඇඩුවෙ අද ඊයෙ නෙවෙයි ගිම්හාන. මට දැන් ඒක පුරුදුයි. දවසක මම සේරම කියන්නම් ඔයාට...."
අයෙ දවසක අපට කතාකරන්නට ඉඩක් ලැබෙන්නේ නැත. මා එතරම් වාසනාවන්තයෙකු නොවන බව දැන් උවමනාවටත් වඩා පැහැදිලිය. නමුත් තවදුරටත් ඇගේ සිත රිදවිය නොහැක.

"ඒත්... මම නිසා ඔයා දුක් විදිනවට මම කැමති නැහැ..."

"කවුද කිව්වෙ මම ඔයා නිසා දුකෙන් ඉන්නෙ කියලා...?"

ඇය මගේ දෙනෙත් දෙස බලා ඇසුවාය. තද කරගත් හිත කඩාගෙනම වැටෙන්නෙ වැඩියෙන්ම ආදරය කරන ඒ දෙනෙත් දකින විටය.

"එහෙනම් දැන් ඇඩුවෙ..."

"ගෑණු ළමයින්ට තියෙන ප‍්‍රශ්න පිරිමි ළමයින්ට තේරෙන්නෑ ගිම්හාන, එයාලා සැහැල්ලුවෙන් විනෝදෙන් ජීවත්වෙන අය. කිසිම බරක් පතලක් නැහැ. ඒත් අපිට එහෙම බැහැ...."

"කොහොම උනත් මම නිසා ආයෙ අඩන්නෙපා. මම ආයෙ ඔයාට කරදර කරන්නෑ චාපා. හොදට ඉගෙන ගන්න. හැබැයි මම හැමදාමත් ආදරෙයි ඔයාට..."

තවත් මෙහි රැදුනොත් මටද හැඩුම් එන නිසා මම යන්නට නැගිට්ටේය. මම ඇයට කොතෙක් ආදරය වුවත් මා නිසා ඇය අඩනවා මට බලාසිටිය නොහැක.

"මාත්..."

විදුලි සැරක් වැදුනාක් මෙන් මුළු සිරුරම වෙව්ලා ගියේය. එය කීවෙ චාපාමද ? මම නැවතත් හැරුනා නොවෙ, ඉබේම හැරවුණි.



 සුමුදු පියවර තබා එන මඟ, සුසුදු පියවිලි එළා තැබුවා...

(චාපා 07 වන කොටස සමගින් හමුවෙමු...)

                    - නිරෝෂ් මෛති‍්‍ර -
                           - 2004 -

මෙතනින් (චාපා 07)
මෙතනින් (චාපා 08)
මෙතනින් (චාපා 09)
මෙතනින් (චාපා 10)


කියවන්න

Sunday, May 26, 2013

චාපා 05

හිස් අතින්ම එන්න ආදරය අරන්...


    මම බ‍්‍රහස්පතින්දා පාසැල් නොගියේය. එදා දිනය ගෙවා දැම්මේ කෙතරම් අපහසුවෙන්දැයි දන්නේ මා පමණි. දවස පුරාම එක එක දේවල් සිතෙයි. සුරේකා මොනවා කරගත්තාද? චාපා සුරේකාට බැණ වැදුනාද? ඇය අකමැති වුවහොත් මා මින්පසු ඇයට මුහුණ දෙන්නේ කෙසේද? සියල්ල පැටලී ඇති සෙයකි. සිකුරාදා පාසැල් ආවේ මේ සිතිවිලි ගොන්න නැවත නැවතත් අලූත් කරමිනි. කොරිඩෝව දිගේ එද්දිම දුරටම දුටුවේ ඒ සොදුරු රුවයි. ඇය අද වෙනදාටත් කලින් පැමිණ ඇත. පන්තිය ඉදිරියේ ඇති කණුවකට හේත්තුවී ඇය බර කල්පනාවකය. මේ පාන්දර ඇය මොනවා සිතනවාද?
මම පන්තියට ඇතුළු වන තුරුම චාපා මා දුටුවේ නැත. මගේ තිගැස්ම තවත් වැඩිවිය. ඇය මාව දුටුවානම් ඇයගේ ප‍්‍රතිචාරය අනුව ඇය දුන් පිළිතුර මට අනුමාන කල හැක.

"අඩෝ උඹ උදේම ආවද?..."
කල්ප සිනාමුසු මුහුණෙන් පැමිණියේය.

"මේ.. මේ.. විකාර නොකර මෙහෙ වරෙන්, මොකද ඊයේ උනේ ?..."

"ඉදින්කො බෑග් එකවත් තියනකං උඹට මාර හදිස්සියක්නෙ තියෙන්නෙ..."

"මාව තවත් බයකරන්නැතුව කියහංකො උනේ මොකක්ද කියලා..."

"මේකයි උනේ අපි සුරේකාට කියලා වැඬේ පත්තුකලා. මොකද මායි අරුයි එක්කත් චාපා වැඩිය කතා බහක් නෑනෙ.."

"ඉතිං..."
දැන් මගේ හදගැස්ම එන්න එන්නම වැඩිවෙයි.

"සුරේකා මේක චාපාගෙන් අහන්නත් ටිකක් අදිමදිකලා, ඒකිට බැනුම් අහන්නවෙයි කියලා.මොකද චාපා සුරේකලා වගේ නෙවෙයිනෙ. එයා අහින්සක චූටි රැබිට්නෙ..."
චාමර මාව මඩවන්නට තියාගෙනය.
"හරි  ඕවා මම දන්න දේවල්නෙ. උනේ මොකද කියහං දැන්වත්..."

"මේකයි, චාපා වැඩියමක් කියලා නැහැ..."
දැන්නම් 

මගේ හදවත පුපුරන තරම්ය. ඇය අකමැති වූවානම් ආයෙ ඇගේ මුහුණ බලාද ඉවරය.

"උඹත් එක්ක කතා කරන්න ඕන කිව්වලු..."

ඉහලට ගෙන මෙතෙක් වෙලා හිරකරගෙන සිට හුස්ම පිටකලේ දැන්ය.මේ ටික කියන්න කල්පයා මාව මොකාවද මෙන් කෝට්ටේ එක්ක ගිය හැටි.

"කොයි වෙලේටද බං කතා කරන්නෙ? මං මොනවා කියන්නද..?"

"කියන කරනදේ උඹ කල්පනා කරලා කරගනින්. ව්‍යාපෘති පීරියඩ් එකේ කතාබහ කරගන්න එකක් කරගන්න පුළුවන්..."

"ඒ කොහොමද?"

"අද පද්මා ටීච එන්නෙ නැහැ කියලා වැඩ වගයක් දුන්නා. කාටද බං ඕවා කරන්න වෙලාවක් තියෙන්නෙ. ඒ පීරියඩ් දෙකම අයිස් තමයි..."

"තෑන්ක් යූ මගෙ දෙයියො.."
මම කල්පට තට්ටුවක් දාමින් කීය.

"අපිවගේ යාළුවො පතපං හැම ආත්මෙම..."

"වෙලාවක් තිබ්බොත් බලමු..."

මට පුදුම සතුටක් දැනුණි.එය නිශ්චිතවම සතුටකැයි කිව නොහැක. එහි සතුට දුක බය සැකය නැති එකක් නැත. මම දැන් කුමක් කරන්නද? ඇය සමග කතාව කොහෙන් පටන්ගන්නද? කියනවානම් දාහක් දේ ඇත. නමුත් වචනයක් දෙකක් කතාකරනවිට මාව හිරවෙනු ඇත. 
ව්‍යාපෘති දෙවන කාලපරිච්ඡේදයේ තිබුනද මට ඒ වන තුරුද සිටිය නොහැකි තත්ත්වයක් ඇතිවමින් තිබුණි. අද වෙනදාටත් වඩා ඉබිගමනේ වෙලාව යයි. කී වතාවක් මම දැන් වෙලාව බැලුවාද? අවසානයේ මම ඔරලෝසුවට සාපකෙරුවෙමි.
මම දෙතුන් වරක් චාපා දෙස බැලූවද ඇය අද එක්වරක්වත් මා දෙස බැලුවෙ නැත. එම නිසා මගේ සතුට ක‍්‍රමයෙන් පහව යමින්ද තිබුණි. ඇය මට බනීවිද? ඇය එසේ කරාවියැයි මට සිතිය නොහැක. 
දෙවන කාලපරිච්ඡේදය සදහා සීනුව නාද විය. මෙතෙක් වේලා මෙය නාදවන තුරු බලා සිටියද දැන්නම් ඇත්තේ බියකි.

"ඒයි.. අන්න උබේ මංගල සීනුව නාද වෙනවා..."

චාමර මට කණට කර කීවේය. චාපා තවත් ගැහැණු ළමුන් දෙදෙනෙකුද සමග විද්‍යාගාරය වෙතට ගියේ මා දෙසවත් නොබලාය. අපගේ ව්‍යාපෘති භාරව සිටි පද්මා ගුරුතුමිය විද්‍යා ගුරුවරියක් වීම නිසා ව්‍යාපෘති සදහා අපේ කාණ්ඩායම යන්නේ විද්‍යාගාරයටයි. 

"වරෙන් යන්න..."
චාමර මගේ අතකින් ඇද්දේය.

"ඒත්..."

"මේ.. මේ.. ඒත් මේත් නෙවෙයි.හරිම අමාරුවෙන් කතාකරන්න කැමතිවෙන තැනකට ඕක ගොඩදාලා දුන්නෙ. නිකං දෙල්කරගන්නනම් එපා හරිද?.."

"චාපාගෙ මූඩ් එක එච්චර හොදනෑ බං. සුරේකාට කෙලින්ම බැහැයි නොකිය මාත් එක්ක කතා කරන්න ඕනෙ කිව්වෙ හොදවයින් දෙකක් කියන්නද දන්නෑනෙ?.."

"අනේ මේ.. කාගෙවත් මූණවල් බලලා සාස්තර කියන්න ඇයි උඹ සාස්තර පුංචි අම්මගෙ පුතාද? මෙන්න මෙහෙ වරෙන් යන්න..."

චාමර මාත් සමගම විද්‍යාගාරයට ආවේය. චාපා තවත් ගැහැණු ළමයින් දෙදෙනෙකු සමග කතා කර කර සිටියාය.නමුත් මා දුටුවිට ඇයගේ මුහුණ වෙනස්විය. කල්ප විද්‍යාගාරයේ දොර ළඟ නතරවිය. 

"පලයං..පලයං..  ඕල් ද බෙස්ට්..."



අවසානයක් කොහෙද ආරම්භයක් ළඟ...
(චාපා 06 වන කොටස සමගින් හමුවෙමු...)
- නිරෝෂ් මෛති‍්‍ර -
- 2004 -


කියවන්න

Tuesday, May 21, 2013

අයියෝ "චාපා"



      චාපා ගැන පූර්විකාවක් නොලිව්වේ ඇයි දැයි මට සිතුනේ ඒ පිළිබදව මාව හතරවෙනි තට්ටුවට ගෙන ගොස් රහස් පොලීසිය ප‍්‍රශ්න කරන්නාක් මෙන් කිහිපදෙනෙක් දැඩිව ප‍්‍රශ්න කල නිසාවෙනි. බොහෝ දෙනා මේ පිළිබදව වැරදි මතයක පිහිටා කතාව කියවන බව දැනුන නිසා පමාවී හෝ පූර්විකාවක් නොවූවත් යම් පැහැදිලිකිරීමක් සටහන් කිරීමට සිතුණි. මන්ද, වෙන් වෙන්ව මෙයට පිළිතුරුදී මට ඇතිවී ඇති නිසාවෙනි. චාපා සදහා පූර්විකාවක් තැබීමට මට අමතක වූවා නොවේ. කතාව අවසානයේ පසුවදනක් ලීවීමට සිතා සිටි නමුත් එන්න එන්නම ඇතිවන භීෂණකාරී තත්ත්වය උග‍්‍ර අතට හැරෙන නිසා තවත් මෙය ප‍්‍රමාද කිරීම සුදුසු නොවන බව හැඟුනි.

ප‍්‍රථමයෙන්ම සදහන් කරන්නට ඇත්තේ චාපා යනු මීට වසර 9 කට පෙර එනම් 2004 වර්ෂයේ ලියා අවසන් කල කතාවක් බවයි. වැඩිදෙනාගේ ජාතික ගැටළුව වූයේ චාපා මගේ අත්දැකීමක් නේදැයි යන පැනයයි. වැඩි දෙනෙක්ට උත්තර බැදීමට සිදුවූ නිසා දුන් බොහෝ පිළිතුරු උදාසීන ඒවා විය. නමුත් බුද්ධියේ විමසුමට ලබාදෙන සත්‍යයේ සටහන නම් චාපාගෙන් ඉතාමත් සුළු කොටසක් මගේ අත්දැකීම්ද සහිත උවත් සමස්ත කතාවෙන් 95% ක්ම මගේ නොවෙන බවයි. 
චාපා මට ලියන්නට හේතුවක් විය. ගිම්හානට මෙන් පාසැල් සමයේ මටද ඇතිවූ ප‍්‍රථම පේ‍්‍රමයක් විය. එය මාස 03ක් හෝ 04ක් පමණක් තිබී හිටි හැටියේම අවසන් වූයේ ප‍්‍රථම වතාවට විරහව යනු කුමක්දැයි මට වටහාදෙමිනි. සිගරට් අරක්කු වල පිහිට නොපතන ඒ කාලේ එම පීඩනය පිටකරගන්නට පිටු ඉතිරිව තිබූ සාමාන්‍ය පෙල තනිරූල් පොත් 04 ක මම කතාවක් ලීවෙමි. ඒ ඇතැම් විට මට සාර්ථක පාසැල් ආදරයක් තිබුනානම් මා කැමැත්තෙන් සිටියේ මේ ආකාරයක ආදර කතාවක් යැයි මගේ සිතේ තිබුන කතාව වන්නට ඇත. චාපා යනු මගේ සිතේ සිටිය මම ආදරය කරන්නට කැමැත්තෙන් සිටි චරිතය වන්නට ඇත. මම ආදරයක් ලැබීමට කැමැත්තෙන් සිටි චරිතය වන්නට ඇත. ඒ පීඩනය අවසානයේ චාපා ලෙස එළියට ආවේය. (අද ඒ ආකාර සිදුවීමක් උනානම් කතා නොලියා අපි බාර් හිස් කරන්නෙමු). 

   පාසැල් කාලයෙන් පසුව මට එක් වරක් හැරෙන්නට එම කතාව නැවත කියවීමට අවස්ථාවක් වූයේ නැත. රැකියාවක් කරන්නට පටන්ගෙන අප ලොකු මිනිසුන්වූ පසු මට එම පොත් 04 අමතකම වී ගියේය. නමුත් පසුගිය මසෙක මට එම පොත් හතර සුරැකිව තිබී හමුවිය. මට දැනුනේ පැරණි මිතුරෙකු නැවත දුටුවාක් මෙන් සතුටකි. ඉන්පසුව චාපා මෙලෙස කොටස් වශයෙන් අන්තර්ජාලයට එකතුවෙන්ට පටන්ගත්තේය. 

චාපා ගැන මෙතෙක් කියූ දේවල් වලට වඩා විශේෂ යමක් කීමට ඇත. එනම්, චාපා කතාව මට පුදුම සහගත කතාවක් බවයි. චාපා ලියද්දී මගේ සිතුවිලි වලින් හෝ සිහින ලෝකයේ හෝ දේවල් වලින් ලියූවද පසුකාලීනව කතාවෙ එන බොහෝ සිදුවීම් ඒ ආකාරයෙන්ම සිදුවිය. ඇතැම් දෙබස් ඒ ආකාරයෙන්ම කණ වැකෙද්දී මම පුදුම වී ගියේය. ඇතැම් චරිත ඒ ආකාරයෙන්ම මුණ ගැසුණි. එබැවින් චාපා කතාව මට සැමදාම විශේෂ එකක් විය.චාපා කතාව ගැන තව කියන්නට ගියහොත් කතාවේ ඉදිරි කොටස් පිළිබදව හෙළදරව් වන නිසා කටඋත්තරය මෙතනින් අවසන් කිරීම සුදුසුය. නවකතාකරුවන් හෝ කෙටිකතා කරුවන් කතා ලියන්නේ ඇතැම්විට අත්දැකීමක් පාදක කරගෙනය. නමුත් එය සෑම විටම එසේ නොවන බවයි මට කීමට අවශ්‍ය වූයේ. චාපා කතාව එයට හොදම උදාහරණයයි.


- නිරෝෂ් මෛත‍්‍රි -
   2013/05/22



කියවන්න

චාපා 04




   පාසලට ආ දිනයේ සිට කුමක් හෝ බාහිර කි‍්‍රයාකාරකමක් කිරීමේ ආශාවෙන් සිටියද විවිධ හේතු නිසා එය මගහැරී ගියේය. කල්ප හා චාමර විවාද කණ්ඩායමේ සාමාජිකයින්ය. ඔවුන් මට විවාද කණ්ඩායමට එක්වෙන ලෙසට අවස්ථා කිහිපයකදීම ඇවිටිලි කලද මගේ ඉදිරිපත්වීමේ හැකියාව එතරම් හොද මට්ටමක නොතිබූ නිසා මම එයට අකමැති විය.මම වඩාත් කැමැත්තෙන් සිටියේ තූර්ය වාදක කණ්ඩායමට සම්බන්ධවීමටය. නමුත් ඒ වන විටත් එයට සිසුන් බදවාගෙන අවසානය. උදාරගේ මාර්ගයෙන් දැනගන්නට ලැබුනේ පාසලේ චෙස් සංගමයක් ඇතිබවය.
කුඩාකල සිටම මට හොදින් ක‍්‍රිඩාකල හැක්කේ කි‍්‍රකට් හා චෙස් පමණි. එබැවින් මම පාසල නිමවීමෙන් පසුව චෙස් පුහුණුවීම් කරන පන්ති කාමරය වෙත ගියේ එම පිරිසට මා අළුත් බැවින් යම් චකිතයකිනි.

මට වෙන්නේ අර කාටද මන්දා නිතර වෙන දේවල්ය.චෙස් සංගමයේ පුහුණුවීම් වෙන තැන චාපාද සිටියි. ඇය දැක මගේ ඉහේ මලක් පිපුනාක් මෙන් විය. ඇය මා දුටුවේ නැත. මම විනාඩියක්.. දෙකක්.. තුනක්.. පමණ එක දිගට ඇය දෙස බලා සිටියේය. ඇය සමග කතාකරනවාද නැද්ද. 

"ඔයා මේකෙත් ඉන්නවාද?.."
චාපා හැරී බැලුවාය. ඇගේ මුහුණේ සිහින් සිනාවක් ඇදුනි. ඔහොම හිනාවෙන්නට එපා යැයි මට කියන්න සිතුණි.

"ඔවු.. ප‍්‍රයිමරි ළමයිව ප‍්‍රැක්ටිස් කරන්නෙ මම.."

"ඒ කියන්නෙ  එහෙනම් චෙස් චැම්පියන් කෙනෙක්.."
ආයෙත් ඒ සිනාවයි.

"ඇයි ඔයා මෙහේ ?..."

"මාත් ආසයි චෙස් ඉගෙන ගන්න.."
මම චෙස් දන්නා බවක් ඇයට ඇගවිය යුතු නැත.

"නන්දා ටීචනම් පි‍්‍රන්සිපල් සර් හම්බවෙන්න ගියා. එතකං ඔයා මේ බෝඩ් එක අරන් ප‍්‍රැක්ටිස් වෙන්න..."
ඇය මට චෙස් බෝඩ් එකක් පෙන්වා කීවාය.

"මේකෙ දාං ඉත්තො කපනවා වගේද කපන්නෙ?.."
ඇය මට බෝඩ් එක දී යාවි යැයි සිතා මම ප‍්‍රශ්න අසන්නට ගත්තේය. ඇය අතින් කට වසාගෙන සිනාසුනි.

"නැහැ මේක ඊට වඩා ගොඩක් වෙනස් හැබැයි මෝඩයන්ට නම් කරන්න අමාරුයි.."
ඇය තොලක් සපාගෙන හොරැහින් බලා කීවාය. එහෙනම් ඔයාත් අදින්නෙ යැයි වෙන කෙනෙක්ටනම් පිළිතුරු දෙන්නට තිබුණි.එහෙත් ඇයට එසේ කීමට නොහැක.

"ආ.. අපි ගැන එහෙම වෙන්නැති හිතාගෙන ඉන්නෙ..."

"හරි ඉන්නකො මම කියලා දෙන්න..."
ඇය ඉත්තන් පිළිවෙලට සකසයි. මම ඇගේ ඇඟිළි තුඩු පිළිවෙලට එහා මෙහා යන ආකාරය බලා සිටියේය. 

"හරි.. මේ පෝන්.."

මම ගැස්සී ගියේය. ඇය ඉත්තන් පෙන්වමින් මට ඔවුන්ව හදුන්වා දෙයි. නමුත් ඇයට අවශ්‍යනම් මට මොවුන්ට නම් වැටුන හැටිද කිව හැක.

"මේ රුක්.. මේ බිෂොප්..."

"මෙයා කවුද?.."
මම ක්වීන් පෙන්වා ඇසුවේය.

"ඔය ක්වීන්.."
'ඔයා වගේමයි' කියන්න කට නලියයි. වේලාසනින් ටිකට් කපාගත යුතු නැත. ඇය සියල්ල මට හදුන්වාදී අදින්නට පටන්ගත්තාය.

"ඔයාගෙ බිෂොප් කැපෙනවා බේරගන්න.."

"බේරගන්න බැරිඋනොත්...."

"කිංට බලපෑම් වැඩියි. එහෙම උනොත් ඔයා පරදිනවා.."

ඇය උනන්දුවෙන් කී‍්‍රඩාව කරයි.මම බලා සිටියේ ඇය දෙසය. ඇයගේ ඇස් මෙතරම් ලස්සන වූයේ කෙසේද?  මම නොසිතූ මොහොතක ඇයද දෙනෙත් එසෙව්වාය. දැන් බිම බලාගැනීමට පරක්කු වැඩිය. ඇය සෙමින් නැවතත් පුවරුව දෙසට දෙනෙත් බර කර ගත්තාය.
මගේ ඉත්තන් පිට පිටම කැපේ. ඇය ඉන් අපමණ සතුටක් ලැබූ බව ඇගේ මුහුණෙ ඇති ජයග‍්‍රාහී හිනාවෙන් පෙනෙයි. දැන් මගේ වැඩ පෙන්විය යුතු වෙලාවයි.මම අවස්ථා දෙකකදී ඇයගේ රුක්ලා කපා දැම්මේය.

"ඒ... කොහොමද කලේ ?.."

"අනේ මන්දා.."
මගේ ඉතිරිව ඇත්තේ ක්වීන් එක රුක් කෙනෙක් හා නයිට්ලා දෙදෙනාය. මම ඇයගේ කිං කොටුකර දැමීය. දැන් ඇයට කිං ඇදීමට කොටුවක් ඉතිරිව නැත.

"චෙක් මේට්.."
මම පුරුද්දට කියවිණි.

"ඔයා කොහොමද චෙක් මේට් කරන හැටි දන්නෙ? මම කියලා දුන්නෙත් නෑනෙ?.."

"නෑ... මං මේ...."

"බොරුකාරයා, චෙස් දැනගෙන ඉදලා දන්නෑ වගේ රඟපෑවා නේද ?.."
ඇය මුහුණ ඇඹුල්කරගෙන නැගිට්ටාය. ඇය පරාජයවීම ගැන ඇයට තරහ එන්නට ඇත.මට සිනාගියේය.

"හැක හැක තමා.."
ඇය නැගිට යන්නට හැදුවාය. 

"චාපා.."
මට එකවරම ඇයගේ අතකින් ඇල්ලිණි. ඇය ඇස් ලොකුකරගෙන හැරී බැලුවාය. මම හෙමින් ඇයගේ අත අතහැරියේය.

"සොරි.."

"පිස්සෙක්.."

ඇය මුහුණ අමුතුකර යන්නට ගියාය. මම ඈ දෙසම බලා සිටියේ කියාගන්නට නොහැකි හැඟීම් ගොඩක් හිත ඇතුලේ තෙරපෙද්දිය.ඇය චෙස් කාමරයෙන් පිටවීමට පෙර තව වරක් හැරී බැලීය.

"යෙස්.."

මට කියවිණි. ළඟ සිටි කුඩා ළමයි කිහිපදෙනෙක් හැරී මා දෙස බැලුවෙ අමුතු විදියටය. 

********************************************************************************

පසුවදා පාසැල් ආවේ චකිතයකිනි. මන්ද ඊයේ සිදුවීමෙන් චාපා මා සමග අමනාප වී ඇද්දැයි සැකයක් තිබුනේය. අද ප‍්‍රමාද වී තිබුණද තවමත් පළමුවන කාල පරිච්ඡේදය ආරම්භවී නොතිබුනේය. මම පන්තියට ඇතුලට ආවේ චාපා සිටින ඩෙස්ක් එක දෙස බලාගෙනමය. ඇය සටහනක් ලියමින් හිද හිස ඔසවා බැලුවාය. මම ඇය සමග චකිතයකින් සිනාසුනේය. ඇයද ලෝබ නැතුව සිනාසුනාය. ඇගට ලේ ටිකක් ඉනුවේ දැන්ය.
තවත් මට මෙය සිතේ තබාගෙන සිටිය නොහැක. විවේක කාලයේදී පාප මිත‍්‍රයන් දෙදෙනාට සියල්ල කියනවා යැයි සිතා ගත්තේය.

"ඒයි ඉරේෂා මොකද බං අර සදමාලි මූණ එල්ලන් ඉන්නෙ?..."
ජීවන්ත පසුපස පේලියේ සිට බෙරිහන් දුන්නේය.

"නදුන් අයියා සතියකට ඉන්දියා යනවනෙ ජීවන්ත කරාටේ ටූනමන්ට් එකට. ඒකයි ඔය..."
නදුන් යනු ජීව විද්‍යා පන්තියේ අවසාන වසරේ ඉගෙන ගන්නා සිසුවෙකි. ඔහු පාසලේ පමණක් නොවෙ සමස්ත ලංකා මට්ටමේ ජනපි‍්‍රය කරාටේ කී‍්‍රඩකයෙකි. එමෙන්ම සදමාලිගේ පෙම්වතාය.

"මේක හරි වැඩක්නෙ යකෝ, ඌ යන්නෙ ඉන්දියාවට මිසක් යුද්ධෙට නෙවෙයිනෙ?
අනේ අම්මපා අපි ගිලිලා මලත් අඩන්න එකෙක් නැති හැටි..."

"ඉතින් හොයාගන්න එකනෙ තියෙන්නෙ අනුන්ගෙ ඒවා බල බල හූල්ලන්නැතුව.."
ඉන්දීවරී සදමාලිව ආරක්ෂා කරන්න සිතාගෙන කීවාය.

"ඔයාගේ කකුළෙ බකලෙ තිබ්බෙ නැත්තම් මම එකෙන්ම කැමති වෙනවා රත්තරං. අපේ අම්මා කැමති වෙන එකක් නෑ බකල කෑල්ලක් මම ගෙදරට ගේනවට..."
මුළු පන්තියම සිනාසුනි. ඉන්දීවරීට ඇති බකලයක් නැත. ජීවන්තව අවුස්ස ගත්තොත් ඔහොම්මමය.

මම විවේක කාලයේදී කල්පට හා චාමරට පෙරදා සිදූවු සිදුවීමත් සමග මගේ සිතේ ඇති හැමදෙයක්ම කීවේය.

"අම්මට සිරි ගෙම්බෙක් ගිය උඩක්.."

"මම සීරියස් කියන්නෙ බං.."

"මම කියන්නද? අපි මේක සුරේෂිට කියමු ඒකි තමයි අභ්‍යන්තර පේ‍්‍රම කටයුතු භාරව ඉන්නෙ.."

"සුරේෂි නායිද ?..."

"නැහැ.. නැහැ.. උඹ බය නැතුව ඉදින්.සුරේෂි ඔයිට වඩා ඒවා ගොඩදාලා තියෙනවා..."

"හැබැයි උඹලා මේක සුරේෂිට කියන්න ඕනෙ හෙට හරිද?.."

"ඇයි හෙට කෙම්මුර දවසක්ද?.."
කල්ප මගේ බඩට ගසා ඇසුවේය.

"උඹ පැහෙන්නෙ නැතුව හෙට සුරේෂිට කියලා වැඬේ ගොඩදාපන්කො. හරිද?.."

මම හෙට පාසැල් නොඑන්නට සිතා ගත්තේය. හෙට ඇතිවන මේ ඇතිවන්නට යන භීෂණකාරී තත්ත්වය මට නුහුරුය. ඒ ආදරය මට කුළුදුල් මාතෘකාවක් වන බැවිනි. 



හිස් අතින්ම එන්න ආදරය අරන්...

(චාපා 05 වන කොටස සමගින් හමුවෙමු...)


- නිරෝෂ් මෛති‍්‍ර -
- 2004 -

මෙතනින් (චාපා 05)
මෙතනින් (චාපා 06)
මෙතනින් (චාපා 07)
මෙතනින් (චාපා 08)
මෙතනින් (චාපා 09)
මෙතනින් (චාපා 10)


කියවන්න

Sunday, May 19, 2013

Heer - (අතිශයින් හින්දි රසිකයන් සදහා පමණයි)




Jab Tak Hai Jaan පසුගිය කාලයේ අතිශය ජනපි‍්‍රයත්වයට පත් චිත‍්‍රපටයක්. එහි තවත් විශේෂත්වයක් වන්නේ බොලිවුඩ් සිනමාවේ ආදරණීයම චිත‍්‍රපට නිෂ්පාදකයා වන යශ් චෝප්රා (King of Romance) අතින් නිර්මාණය වූ අවසාන චිත‍්‍රපටය වන නිසාය. මෙම සටහනෙන් බලාපොරොත්තු වන්නේ යශ් චෝප්රා ගැන හෝ Jab Tak Hai Jaan චිත‍්‍රපටය ගැන කතාබහ කිරීම නොව එහි එන අපූරු ගීයක යට ගියාව පිළිබද විශේෂ සටහනක් ඉදිරිපත් කිරීමටය.
සුන්දර ගීත රැසකින් හෙබි Jab Tak Hai Jaan චිත‍්‍රපටයේ එන "Heer" නම් පන්ජාබ් ගීතය විරහ ගීයකි. එහි තාලයත්, ගායිකාවගේ හඩත් හින්දි ගීත ලෝලීන්ගේ සිත් වසග කරගන්නේ අපූරු ආකාරයෙනි. මන්ද එය පන්ජාබ් ගීතයක් වූවද මෙතරම් ජනපි‍්‍රයත්වයක් දිනාගන්නේ එහි ඇති අපූර්වත්වය නිසාවෙනි.
පන්ජාබයේ එන ඉතිහාස කතා දෙකක් නොදැන සිටියහොත් ඔබට "Heer" ගීතයේ අරුත වැටහෙන්නේ නැත.
එම කතා දෙක නම්, හීර් - රන්ජා (Heer - Ranjha) හා මිර්සා - සහිබා (Mirza - Sahiba) යන ආදර කතා දෙකයි.

Heer - Ranjha - 'හීර්' කියන්නේ ජන්ජාබයේ ජාන්ග් නගරයේ ධනවත් පවුලක උපන් ඉතාමත් සුරූපි තරුණියක්. 'රාන්ජා' ජන්ජාබයේ ටාක්ත් හසාරා නගරයේ සිවුදෙනෙකුන් යුක්ත පවුලේ බාලයායි.
තරුණ රාන්ජා තම සහෝදරයන්ගේ මදිපුංචිකම් ඉවසාගත නොහැකිව ගෙදරින් පිටවී රැකියාවක් සොයාගෙන ජාන්ග් නගරයට පැමිනෙනවා. එහිදී ඔහුට හීර් මුණ ගැසීමෙන් පසුව හීර් තම පියාට අයත් ගව රැළක ගොපල්ලෙකු වශයෙන් ඔහුට රැකියාවක් ලබාදෙනවා. රාන්ජා දක්ෂ බටනලා වාදකයෙක්. ඔහුගේ බටනලා වාදනයට හීර් ඉතාමත් ආශා කරනවා. සෑම දිනකම ඔහුගේ වාදනය ඇසීමට හීර් පැමිණෙනවා. පසුව ඔවුන් නොදැනීම පේ‍්‍රමවන්තයින් වනවා. මෙම ආදරය වසර ගණනනාවක් හොර රහසේ පැවතියත් හීර්ගේ මාමා කෙනෙකුට මොවුන්ගේ පේ‍්‍රමය ආරංචි වෙනවා. පසුව හීර්ගේ දෙමාපියන් ඇයගේ අකමැත්තෙන් 'සයිදා කේරා' නම් පුද්ගලයෙකුට විවාහ කරදෙනවා.

Mirza - Sahiba - චෞද්රි වන්ජාල් ඛාන්ගේ පුතා වන 'මිර්සා' ඔහුගේ අධ්‍යාපන කටයුතු සදහා 'කීවාන්' ප‍්‍රදේශයේ නෑදෑ නිවසක නතරකර තබනවා. එහිදී ඔහුට 'සාහිබා' නම් රූමත් තරුණිය මූණ ගැසී ඔවුන් දෙදෙනා ආදරය කිරීමට පටන්ගන්නවා.කල්යත්ම සාහිබාගේ දෙමාපියන් ඇයව 'තහා ඛාන්' නම් පුද්ගලයෙකුට විවාහකරදීමට සූදානම් වනවා.
මෙය සැලවූ මිර්සා ඇයගේ මෙහෙන්දී උත්සවයේදී අශ්ව කරත්තයකින් පැමිණ ඇයව රහසේම රැගෙන යනවා. නමුත් සාහිබාගේ සහෝදරයන්ට මෙය ආරංචිවී ඔවුන් දෙදෙනා සොයාගෙන ලුහුබදිනවා. බොහෝ වේලාවක් ගමන්කල නිසා මිර්සා ගසක් යට අශ්ව කරත්තය නවත්වා සාහිබාගේ උකුළ මත හිස තබාගෙන විවේක ගන්නවා. සාහිබා තම සහෝදරයින් දුරින් එනවා දැක කළබල වනවා. මන්ද මිර්සා හොදින් පුහුණුවූ දුණුවායෙක් බැවින් ඔහු අවදිවුවහොත් ඔහුගේ දුණු පහරින් තම සහෝදරයින් මියයාවියැයි ඇය බියවනවා. එබැවින් ඇය මිර්සා නිදාසිටියදී ඔහුගේ ඊතළ කඩාදමනවා. ඇයගේ සහෝදරයින් ඇයට ගොඩක් ආදරය කරන බව දන්නා සාහිබා ඇයව දුටු පමණින් ඔවුන්ගේ සිත් වෙනස්වී ඔවුන් දෙදෙනාට අනතුරක් නොකර ආශිර්වාද කොට ඔවුන්ව ගෙදර ගෙනයාවියැයි ඇය විශ්වාස කරනවා. නමුත් සිදුවන්නේ අනෙකක්. මිර්සාව වටකරගන්නා සහෝදරයින් ඇතුළු පිරිස ඔහුට පහර දෙනවා. අවදිවූ මිර්සාද ඔවුන් සමග සටන් කලද පිරිස විශාල නිසාත් ඔහුගේ ඊතළද නොමැති නිසාත් සාහිබාගේ සහෝදරයන්ගේ කඩුපහරින් මරු වැළද ගන්නවා. කිසිවෙකුගේ ලේ වැගීරීමකට අකමැති වූ සාහිබා නොසිතූ අයුරින් සිය පේ‍්‍රමවන්තයා තමන් නිසා මියගිය ශෝකයෙන් ඔහුගේ කඩුව ගෙන මිර්සා ඉදිරියේම සියදිවි නසාගන්නවා. අදටත් මිර්සා හා සාහිබා පන්ජාබ් ජාතිකයින් අතර අමරණීය පේ‍්‍රමවන්තයින් දෙදෙනෙක්.


'Heer' ගීතය ගොඩනැගෙන්නේ මෙම පුරාවෘත්ත දෙක පදනම් කරගෙනය.


"Heer Heer na akho adiyo
Main te Sahiba hoi
Ghodi leke aave le jaaye
Ho mainu le jaaye Mirza koi
Le jaaye Mirza koi..."


"මට 'හීර්' කියා ආමන්ත‍්‍රණය නොකරන්න..

මම කැමතියි 'සාහිබා' කෙනෙක් වෙන්න...
මොකද එහෙම උනොත් විතරයි 
'මිර්සා' අශ්වයාගේ පිටින් ඇවිත් 
මාව එක්කගෙන යන්නෙ..."

- පද රචනය | ගුල්සාර් -


මෙතෙක් මේ ගීතය අසා නැත්නම් උනන්දුවෙන් එක්වරක් දෑස්වසාගෙන අසා බලන්න. ජීවිතයේ එක්දිනක් හෝ ආදරය කර ඇත්නම් සැබවින්ම මේ ගීතය ඔබේ හදවතට දැනේවි.



"Heer" ගීතය මෙතනින්...






Jab Tak Hai Jaan චිත‍්‍රපටය සංක්ෂිප්තව :

සමර් හට අනතුරක් සිදුවූ අවස්ථාවේ මීරා දෙවියන්ගෙන් ඔහුව සුව කරදෙන මෙන් ඉල්ලා සිටියාය. ඒ වෙනුවෙන් ඇය භාරවූයේ තමන්ගේ ආදරයයි. සමර් හට සුවවුවහොත් මින් පසුව ඔහුව මුණ නොගැසෙන බවට ඇය දෙවියන්ට පොරොන්දු වනවා. අවසාන වතාවට සමර් හමුවන ඇය රොජර් නම් විදේශිකයා හා විවාහ වෙන බවට පවසා ඔහුගෙන් සමුගන්නවා. පසුව ඉන්දියානු හමුදාවේ බෝම්බ නිශ්කී‍්‍රය අංශයට බැදෙන සමර් ජීවිතය පිළිබදව කිසිදු බලාපොරොත්තුවකින් තොරව සිය ආදරය සිතේ තබාගෙන අවදානම් දිවියක් ගෙවමින් ජීවත්වනවා.
වසර ගණනාවක් ගෙවුනු පසු අනපේක්ෂිත අන්දමින් අකීරාගේ මැදිහත්වීම නිසා සමර් හා මීරා මුණගැසෙන්නෙ කොපමණ දුරස් කරන්නට උත්සහ කලද ඔවුන්ගේ ආදරය යටපත් කිරීමට නොහැකිවූ නිසාවෙනි. නමුත් ඒ වන විටත් මීරා හෝ සමර් විවාහවී සිටියේ නැත.


- නිරෝෂ් මෛති‍්‍ර -
2013/05/19


කියවන්න

Friday, May 10, 2013

චාපා 03



කලා උළෙලින් පසුව එක දිගට ඉගැන්වීමේ කටයුතු කෙරීගෙන ගිය නිසා පාසල තුළදී විවේකයක් ලැබුනේම නැත. පාඩම් රැසක් මගහැරීද තිබූ නිසා ආර්ථික විද්‍යාවට හා දේශපාලන විද්‍යාවට අමතර පන්ති දෙකකටද බැදුනේය. ආර්ථික විද්‍යාව සිතුවාට වඩා අමාරු වෙන තත්ත්වයක් උදාවෙන්නට පටන්ගත්තේ නොසිතුව පිරිද්දෙනි.
එබැවින් වැඩි බරක් දමා ආර්ථික විද්‍යාව සටහන් සම්පූර්ණ කරගත්තේය.

දිනක් ගම්පහ ආර්ථික විද්‍යා පන්ති නිමාවී දුම්රියපොළට එනවිට චාපාද එහි සිටිනු දැක මම පුදුමයට පත්විය. ඇය ඇඳ සිටියේ ලා නිල් පැහැති ලස්සන සල්වාර් එකකි. අද ඇය වෙනදාටත් වඩා සුන්දරය. ඇයද අමතර පන්ති පැමිණ ඇතිබව දැනගත්තේ ඇය අතේ දේශපාලන විද්‍යාව පොත්පත් තිබුණු නිසාවෙනි.ඇය සමග කතාකරන්නට සිතුනද මේ පාසල නොවන නිසාත් ඇය මාත් සමග එතරම් හිත හොද නැති නිසාත් ඇය මා සමග කතා නොකරාවි යැයි සැකයක් ඇතිවිය.
ටික වේලාවක් සිටින විට ඇය සමග තව දුරටත් කතානොකර සිටිය නොහැකි විය.වෙන දෙයක් වෙද්දෙන් කියා මා ඇය සමීපයට ගියේය.

"හලෝ මිස් මාව අදුනන්න පුළුවන්ද ..?"
කොච්චර ඩීසන් වෙන්න හැදුවද රස්තයාදුකාර වචන සෙට් එක ඉස්සරහට පනියි.

"ඔයා කොහෙද මෙහේ...?"
මම ඇසුවෙමි.

"ඇයි අපිට මෙහෙ එන්න බැරිද...?"

"අනේ නැහැ. මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක්නෙ. මිනිස්සුන්ට මූලික අයිතිවාසිකම් තියෙනවා. ඕන තැනක යන්න එන්න නිදහස තියෙනවා කියලා ව්‍යවස්ථාවෙම තියනවා..."

"අපෝ ඇති ඇති...ඇවිල්ලා සති තුනයි, පොලිටිකල් සයන්ස් කටපාඩම් කලාද...?"
චාපා සිනාසෙමින් ඇසුවාය. ඇය සිනාසෙන විට මට මෙතරම් සතුටක් දැනෙන්නේ ඇයි.
"ගෙදර යන්නද ඉන්නෙ..."

ඇය හිස වැනුවාය.

******************************************************

"උඹ ළඟදි ඉදන් එක විදියක්.."
විවේක කාලයේදි කල්ප මාත් සමග කතාවට වැටුනේය. චාමරද එතනට පැමිණියේ මගේ නරකම වෙලාවටය.

"උඹට විකාරද? මම මේ ඉන්නෙ දෙයියනේ කියලා..."

"අඩෝ එකට ඉන්න අපිට පොත් පෙරලන්න එපා.ඇත්තට අපිටත් හොරා මුකුත් උනාද උඹට...?"
මගේ මුහුනේ සිනාවක් ඇදුනේ චාපාව සිහිවීය. මුන් මේවා කොහොම දැනගන්නවාද?

"මුගේ නේද? මමත් නෝට් කලා. ළඟදි ඉදන් මුගේ මූණ හරි පෙම් පාටයි. උඹ දැක්කද කල්පයා මුගේ ඩෙස්ක් එකේ ලියලා තියෙන සින්දු. අම්මි ගහයි ටින් එකෙන්, ඔක්කොම තනි ඇහැට ඇඩෙන ඒවා..."
මම වටපිට බැලූවේ චාපා අහල පහල ඉන්නවාද කියාය. මුන්ගේ හැකර කටවල් වලින් වහන්න ඉතිං අම්මා තාත්තාටවත් බැරි උන එකේ මට පුළුවන්ද.

"ආ උඹත් පටන්ගත්තද? උඹේ අදහස් ටික විතරයි අඩුවෙලා තිබුනෙ. අනේ පල යන්න..."

"මේ සීරියස් අහන්නෙ ගිම්හානයා, ඇත්තටම මොකක්ද වෙනස? කවුරු හරී......"
මුන් දෙන්නට හොරෙන් වතුර උගුරක්වත් බිව්වත් මුන්ට සුවඳ එයි.

"නැතුවමත් නෙවෙයි, උඹලට පස්සෙ දවසක් කියන්නම්..."

"ඔය පැන්නෙ බැළලි පැටවුත් එක්කම මල්ලෙන් එළියට, මේ කියහංකෝ කවුද කෙල්ල කියලා..."
කල්ප පුටුවකුත් ඇදගෙන මා ආසලට ආවේ රස කාතාවක් ඇසීමට මෙනි.

"මම ගෙස් කරන්නද..?"
චාමර ඇසුවේය.

"කවුද..?"
මම ඇසූවේ කුතුහළයෙනි.

"චාපා........ මම හරිද..?"
මගේ මුහුණේ ඇදුනේ සතුටු සිනාවකි.ඇය ගැන මතක් වෙද්දී නිතර ඇදෙන සිනාව එයයි.

"අම්මට සිරි ඔය තියෙන්නෙ ස්මයිල් එක. උඹ නම් පුදුම පොරක් බං ඒක නෙවෙයි චාමරයා උඹ කොහොමද දැනගත්තෙ කෙල්ල චාපා කියලා...?"
"මම දැක්කා කලා උළෙල දවස්වල මූ චාපාට ප්ලග් වෙලා ඉන්නවා..."
චාමර සිනාසී කීවේය.

"හොදයි.. හොදයි.. කාට කාට හරි හරියනවනම්. හැබැයි පුතෝ මම හිතන්නෑ වැඬේ ලේසිවෙයි කියලා..."
කල්ප කියූ විදියට මගේ හිතේ ඇතිවූයේ බියකි.

"ඇයි ඒ? චාපාට බෝයි කෙනෙක් ඉන්නවාද..?"

"අම්මේ, මෙන්න දාඩියත් දාලා.. චාමර මූට චාමර සලපං, නෑ යකෝ මම මේ කිව්වෙ අපි දන්න විදියටනම් එහෙම සීන් එකක් නෑ. ඒත් චාපා එක විදියක්නෙ බං. කාත් එක්කවත් වැඩි කතාබහක් නෑ. ඉන්නෙත් සයිලන්ස් මෝඩ් එකේ.හැබැයි කෙල්ලනම් හරිම හොදයි."

මට මහත් සතුටක් දැනුනි. හිතට තිබුණු එකම බයනම් ඇයට මේ වනවිටත් පෙම්වතෙක් ඇතිය කියාය.දැන් ඒ බර හිතින් නිදහස්ය.

"දැන් උඹ මොකක්ද කරන්න ඉන්නෙ...?"
චාමර ඇසුවේය.

"අපි අහන්නද...?"

"අපෝ එපා. උඹ හදන්නෙ මේ තියෙන ඇයිහොදැයියත් නැති කරන්නද...?"

"හරි.. හරි.. උඹේ කැමැත්තක් අපි ඕන වෙලාවක සහයට ඩැනී ජොබ් එක කරනවා හරිය..."



වෙන්විමද ආරම්භයකි හමුවිය යුතු...


(චාපා 04 වන කොටස සමගින් හමුවෙමු...)


- නිරෝෂ් මෛති‍්‍ර -
   - 2004 -



මෙතනින් (චාපා 04)
මෙතනින් (චාපා 05)
මෙතනින් (චාපා 06)
මෙතනින් (චාපා 07)


කියවන්න

Thursday, May 9, 2013

චාපා 02




"චාපා මේ අරලිය කොළ ටික පොල්තෙල් පහන යටින් රවුමට තියනවද?

මදි උනොත් මට කියන්න.තව ටිකක් ගෙනත් දෙන්නම්..."

තිර රෙද්ද ඈත්කල මට දකින්නට ලැබුනේ ඉරේෂා ඇයත් සමග කතාකර කර ඉන්න සොදුරු දසුනයි. 'චාපා' ඇයටම ගැලපෙන අමුතු නමකි. 'චාපා' 'චාපා' 'චාපා' මම හිතින් කිහිප වතාවක් ඒ නම මිමිණුවේය.

අද මෙතරම් වාසනාවන්ත දිනයක් වේ යැයි මම කීයටවත් සිතුවේ නැත.අද සවස නතරවීමට මගේ කිසිම කැමැත්තක් තිබුනේ නැත. නමුත් එසේ වූවානම් මෙතරම් සොදුරු මොහොතක් මට මග හැරෙන්නට තිබුණි. එසේ වූවානම් ඇගේ නමවත් දැනගැනීමට මට නොහැකිවනු ඇත. මම ඉරේෂාට පින්දෙමින් ජීවන්ත හමුවීමට යාමට වේදිකාවෙන් බිමට බැස්සේය. එවිට ඇය සිටියේ පොල්තෙල් පහන සකසමිනි.

ඇයගේ හිත වෙනතක ඇති බව තේරුම් ගියේ මෙතරම් සමීපයට මා පැමිණ ඇතත් ඇයට නොදැනුන නිසාය. එකවර යමක් මතක් වී මෙන් ඇගේ මුහුණට සිනාවක් ආවාය.

"ඇයි තනියම හිනාවෙන්නෙ?..."
ඇය ගැස්සුනි. ඇය මා දෙසට හෙලුවෙ' මම ළගට ආවේ කොයිවෙලේද' යන හැගීමෙන් යුතු බැල්මකි.

"නැහැ.. මුකුත් නැහැ..."

"හැබැයි මම දන්න විදියටනම් ගෑණු ළමයි හිනාවෙන්න විශේෂ හේතු දෙකක් තියෙනවා..."
මම ඇයට සමීපවන්නට සිතා කීවෙමි.

"ඒ මොනාද?.."
ඇය එය ඇසුවේ නම් සැබෑම උවමනාවකිනි.

"එක්කෝ කවුරුහරි කරපු විහිළුවක් මතක් උනාම, නැත්නම් යාළු පිරිමි ළමයව මතක් උනාම..."
මට උවමනා වූයේ මේ මල දැනටමත් නෙලාගෙන ඇත්දැයි දැනගැනීමටය.

"පිස්සු..."

ඇය මට රවා යන්නට ගියාය. මම දැනුම ප‍්‍රදර්ශනය කරන්නට ගොස් තියෙන ලකුණු ටිකත් කපා ගනියි. 

"ඒයි කොහෙද ඉන්නෙ?.."
කල්ප පිටට තට්ටුවක් දමා ඇසුවේය.

"නැහැ බං මම මේ හෙට වැඩටික ගැන කල්පනා කර කර හිටියෙ. අපේ ඔලුවෙනෙ බං සේරම බර.."

"ආ එහෙනම් කමක් නැහැ, උඹට තාම ඊතල වැදිලා නැහැනෙ තනියම කල්පනා කරන්න?.."

"මොන ඊතලද බං.."

"මල්සරා විදින ඒවා.."
මට හිනා ගියේය.මල්සරා හීය විද්දේ පාසලට පැමිණි මුල් දිනයේය.


***************************************************************

අද ඉතා කාර්යබහුල දිනයක් විය. කලා පන්තියේ සිසුන් තම තමන්ට පැවරුණු වැඩ කොටස ඉතා හොදින් නිම කිරීමට ඉතාමත් වෙහෙසවී වැඩ කරන බව කිව යුතුමය. කල්ප කලා උළෙලේ නිවේදන කටයුතු කිරීමට යොදවා තිබුණි. චාමර වේදිකාව පසුපස වැඩකටයුතු මෙහෙයවීමට භාරගත්තේය. මම සංවිධාන කටයුතු කිහිපයක් සමග කාර්යබහුල විය. වැඩි යමක් කිරීමට මම තවම අලුත් වැඩි යැයි මට නිතර සිතුණි.

චාපා කතාවක් පැවැත්වීමට සූදානමින් ඉන්නාබව මට කවුරුන්හෝ කියනවා ඇසුනි. ඒ සදහා අද ඇය පැමිණ සිටියේ ළමා සාරියකින් සැරසීය. ඇය අද වෙනදාටත් වඩා පින්බරය. ළමා සාරියට ඇය කුඩා දැරියක් මෙනි. නමුත් පවත්වීමට නියමිත කතාව ගැන ඇය බියෙන් පසුවෙන බව මට දැනුනේ අද උදෑසන පටන් කලබලයෙන් එහාට මෙහාට ගිය ආකාරයෙනි.
ඒ එක් අවස්ථාවක ඇයගේ අතේ තිබූ හාෆ් ෂීට් කොලයක් වැටුණි.මම එය අහුලාගෙන ඇයට දීමට බලන විටත් ඇය සෑහෙන දුර ගොස්ය. එය දිගහැර බලනවිට එය අද පැවැත්වීමට නියමිත කතාවේ කටු සටහනකි.

ගිම්හාන මේ කොඩි ටික ගේට්ටුව ළඟ ඉන්න උන්ට දීලා වරෙන්කො ටාර් ගාලා
දිලීප කොහෙන්දෝ පැමිණ සිංහ කොඩි තොගයක් මගේ ඇගේ ගැස්වේය. චාපාගේ කොළය එහෙම්මම සාක්කුවේ දාමාගෙන දිලීපට හිතින් බැන බැන මම කොඩි භාර දීමට ගියේය.

කලා උළෙල ඉතා උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. ප‍්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස නන්දා මාලනී මහත්මියත්, රෝහන බැද්දගේ මහතාත් සහභාගි විය. කලා සිසුන් හැමදෙනාගේම මුහුනේ තිබුනේ සතුටු සිනාය. ඒ අප සිතුවාටත් වඩා හොදින් වැඩකටයුතු සිදුවෙමින් පවතින නිසාවෙනි.
මේ දින කිහිපයේම මහන්සිවූ නිසාදෝ මට උදේ සිට සුළු හිසරදයක් තිබුණි. වේදිකාව පසුපස වැඩ කටයුතු ටිකක් නිමකර මම පන්තියට එන්නට ප‍්‍රධාන ශාලාවෙන් එළියට ආවේය.

"මචං, කොහෙද යන්නෙ?.."
ඒ චාමරය.

"පන්තියට ටිකක් ගිහින් එන්නම්.ඔලුව කකියනවා බං ඊයෙ රෑත් තුන වෙනකං තෑගි එතුවනෙ..."

"එහෙනම් පැනඩෝල් දෙකක් ගහලා ඉක්මනට වරෙන්..."

පන්තියේ කවුරුත්ම නැත. මම ඩෙස්ක් එකක් ළගට ඇදගෙන කල්පගේ බෑගයට ඔලුව තියාගත්තේ අමාරුව වැඩිකමටය. ටික වේලාවකින් පුටු එහාට මෙහාට කරන ශබ්දයක් ඇසී මම හිස ඔසවා බැලුවේය. ඒ චාපාය. මගේ හිසේ කැක්කුම කොහෙන් ගියාද නැත. ඇය පුටු එහාට මෙහාට කරමින් මොනවාදෝ සොයයි. මට දෙලොව සිහිවූයේ එවෙලේය. ඇය සොයන්නේ ඇගේ කතාවට අදාල හාෆ් ෂීට් එක වන්නට ඇත. වැඩවල සිරවූ නිසා මට එය එහෙම්මම අමතකවී ගියේය. නමුත් එය එකවර දීමට මට සිත් නොවීය.

"මොකක්ද හොයන්නෙ?.."

"මුකුත් නැහැ.."
ඇය කීවේ තරමක් තදිනි. ඊයේ මගේ මෝඩ කතාවට ඇය තවමත් තරහින් පසුවනවා වන්නට ඇත.

"සොරි..."
එසේ කියා මම හිස අනෙක් පසට හරවාගෙන නැවතත් මේසයෙන් හිස තබාගත්තේය. නැවත මගේ හිසේ කැක්කුම වැඩිවිය.

"මේ.... පන්තිය ඇතුලෙ හාෆ්ෂීට් කොලයක් වැටිලා තියෙනවා දැක්කද?.."

ඇයගේ කතාව පැවැත්වීමට වෙලාව ළග නිසා ඇය අසරණ වන්නට ඇත. නැත්නම් ඇය මට සැර දැම්මේ මීට සුලු මොහොතකට කලිනි. මම ස්වයංකී‍්‍රයව මෙන් නැගිට කොලය ගෙන ඇයට දිගුකලෙමි.

"උදේ ඔයා අතින් වැටිලා තිබුනා වැඩත් එක්ක මට දෙන්න බැරි උනා..."
ඇගේ මුහුණේ ඇදුණු සතුටු සිනාවෙන් මගේ හිත පිරී ගියේය. මට දැනුනේ මම මහා වීරක‍්‍රියාවක් කාලාක් මෙනි.

"අනේ තව ටිකකින් මම ඉවරයි, පින් සිද්ධ වෙනවා... හොදටම පරක්කු වෙලා"
ඇය යන්නට හැරුණි.

"ඇයි ඔලුව ගහන් ඉන්නෙ කලා උළෙලට යන්නැද්ද?.."
ඇය නැවතත් හැරී ඇසුවාය. මගේ සතුට නිම්හිම් නැතිවිය.

"මගේ ඔලුව ටිකක් රිදෙනවා ඒකයි එහෙම හිටියෙ..."

"මගේ බෑග් එකේ ඉස්සරහ පොකට් එකේ පැනඩෝල් පෙති දෙකක් ඇති අරන් බොන්න. මට හොදටම පරක්කු වෙලා මම යනවා..."

එසේ කියා ඇය ප‍්‍රධාන ශාලාව දෙසට දිව ගියාය.

'මගේ බෑග් එකේ පැනඩෝල් පෙති දෙකක් ඇති, අරන් බොන්න' මගේ හිතේ ඒ වචන දෝංකාර දුන්නේය. දැන්නම් මට ඇති ලෙඩක් නැත. මට පන්තියේ නටන්නට හිතුනි. ඇයට මෙහෙමවත් සමීපවීමට ලැබූමත් මටනම් විශිෂට ජයග‍්‍රහණයකි. කොතරම් ඇය ගැන නොසිතා ඉන්නට හැදුවද සිත නවතින්නේම ඇය ළගය. ඇය ලස්සන නිසා මම සිතා සිටියේ ඇය අහංකාර යුවතියක් වන්නට ඇතිය කියාය. නමුත් ඒ සිතුවිල්ල වැරදි බව දැන් තේරෙයි. ගිම්හානට මොනවා වෙන්නට යනවාදැයි මම දන්නේ නැත.



(චාපා 03 වන කොටස සමගින් හමුවෙමු...)


- නිරෝෂ් මෛති‍්‍ර -
     - 2004 -


මෙතනින් (චාපා 03)
මෙතනින් (චාපා 04)
මෙතනින් (චාපා 05)
මෙතනින් (චාපා 06)
මෙතනින් (චාපා 07)
මෙතනින් (චාපා 08)
මෙතනින් (චාපා 09)
මෙතනින් (චාපා 10)


කියවන්න

Thursday, May 2, 2013

චාපා 01




සස් පෙළ සදහා නව පාසලට ඇතුළු වූ මුල් දිනවල තිබූ පාළුව හා තනිකම දැන් නැත. ඒ මා මෙන්ම වෙනත් පාසැල් දෙකකින් පැමිණි සිසුන් දෙදෙනෙකු වන චාමර හා කල්ප මා සමග හොදින් මිතුරුවීම නිසාය. මුල් දිනවල නම් මෙය එපාම කරපු තැනක් වන්නට වූයේ පාසැලේ පැරණි සිසුන් රැග් කරන්නට තියාගත් නිසාය. නමුත් තත්ත්වය සාමාන්‍යවී ඔවුන් මගේ හොද මිතුරන් වන්නට එතරම් කාලයක් ගතවූයේ නැත.

කලා විෂයන් සිතූ තරම් අපහසු නොවූවත් දේශපාලන විද්‍යාවට හා ආර්ථික විද්‍යාව විෂයන්ට අමතර පන්තිවලට සහභාගි නොවීම බැරිය. තවද මම උසස් පෙළ සදහා පාසලට ඇතුල්වූයේම මාස 03ක් ප‍්‍රමාද වී බැවින් අතපසුවූ සටහන් තොගයක්ම ආවරණය කර ගැනීමට ඇත. ඒ නිසා මේ දිනවල වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවීම හිසරදයක් වෙන තරමටම දැන් පැමිණ ඇත. වැඩිපුර සටහන් ලබාදී ඇත්තේ දේශපාලන විද්‍යාවෙන් නිසා අතපසුවූ කොටස් ලියා ගැනීමට කල්පගේ දේශපාලන විද්‍යාව පොත ඉල්ලා සිටිය විට එය ලබාදෙනවා වෙනුවට ඔහු කලේ මාධවී නැමැති ගැහැණු ළමයෙකුගේ පොතක් ඉල්ලා දීමය.

"ඌ උඹට උගේ පොත නුදුන්නෙ අවුලකට නෙවෙයි, ලැජ්ජාවට..."
චාමර කියූ දෙය මට වැටහුනේ නැත.

"ඒ මොකද බං ඒ ? "
මම ඇසුවෙ පුදුමයෙනි.

"උගේ අකුරු ඌ කියවන්නෙත් පුදුම දුකක් විදලා, ඒකයි..."
මාත් චාමරත් ඇති තරම් සිනාසුනි.මට කාරණය වැටහුනේ එවිටය.

පාසලට ආ මුල් දිනයේම දුටු රැවක් මගේ සිතේ තදින්ම සටහන්වූ බවනම් කිව යුතුමය. විදුහල්පතිතුමාගේ කාර්යාල කාමරයෙන් එළියට එනවිටම දකුණුපස ඇති රෝස පාත්තිය අසලින් ඇය ආ හැටි සිහිවන හිතට දැනෙන්නේ අමුතුම හැගීමකි. පාත්තියේ ලා රෝස මලුත් ඇගේ මුහුනත් අතර එතරම් වෙනස්කමක් නොතිබුනේය. ඇය කෙතරම් තදින් මගේ සිතේ ඇදුනත් කාරණා කිහිපයක් නිසා ඇය ගැන සිතීම මම ඇතහැර දැමීය.

එයින් ප‍්‍රධානම හේතුව වූයේ අපමණ වෙහෙසක් දරා සමත්වූ සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව ලැබූ උසස්පෙළ වරම විශ්ව විද්‍යාලයෙන් කෙලවර කරගැනීමට මම ඉටාගෙන සිටි නිසාය. මගේ දුප්පත් අම්මා අප උස්මහත් කිරීමට විදි දුක් කන්දරාව මම දෑහින්ම දැක තිබුණි. ඇයට දුකක් එන කිසිම දෙයක් කිරීමට මට හිත හදාගැනීමට නොහැක. ඒ නිසා අනවශ්‍ය සබදකමක් මාව මගේ අරමුණු වලින් ඈත්කිරීමට ඉඩ ඇත. අනෙක් කරුණ නම් මා තවම මේ පාසැලට අලුත්ය. මෙවැනි දෙයක් නිසා පාසැල තුළ මා අපහසුතාවයට ලක්වීමට ඇති ඉඩකඩ වැඩිය. අනෙක් කාරණා කෙසේ උවත් ඇය වැනි සුන්දර යුවතියකට පෙම්වතෙක් නැතැයි සිතිය නොහැක. නමුත් හිත හදාගන්නට නොහැකිවූයේ ඇයද කලා පන්තියේ සිසුවියක බව දැන ගැනීමෙන් පසුවය.


******************************************************


පාසලේ කලා උළෙල පැවැත්වීමට තව ඇත්තේ දින දෙකකි. එබැවින් මේ දිනවල පන්තිය තුළ ඇත්තේ කළබලකාරී ස්වභාවයකි. කලා උළෙල නිසා ඉගැන්වීමේ කටයුතුද නොකෙරෙන බැවින් මදක් සැහැල්ලුවෙන් විනෝදයෙන් මේ දින දෙකවත් කල්ගෙවිය හැක. 
කලා උළෙලේ වැඩ නිසා ගොඩක් ළමයින්ව දැන හදුනාගැනීමට අවස්ථාවක් ලැබුණි. එය මට මෙන්ම චාමරට හා කල්පටද හොද අවස්ථාවකි. දැන් දැන් අපට නව පාසලේ නුහුරු ගතිය මග හැරෙමින් තිබුණි.

සවස නතරවීමට කලා අංශයේ සියලු සිසුන්ට උපදෙස් ලැබුනේ සැරසීමේ කටයුතු රාශියක් ඉතිරිව තිබූ නිසාය.  එබැවින් අප සියලු දෙනාම එකාවන්ව එම වැඩවල යෙදුනේ කලා ශිෂ්‍යා ශිෂ්‍යවන්ගේ හැකියාවන් මුළු පාසලටම පෙන්වන්නට එන හොදම දිනය එදින බැවිනි. ප‍්‍රධාන ශාලාව සැරසීම වේදිකාව සැකසීම හා පිරිසිදු කිරීමේ කටයුතු සිදුකිරීම පමණක් මේවන විට ඉතිරිව තිබුණි. මමත් තවත් පිරිමි ළමුන් තිදෙනෙකුත් වේදිකාව සැකසීමේ කටයුතුවල නිරතවුනි.

"රසාංග මේක මැදට වෙන්න දාන්න"

කියමින් මම අනෙක් පැත්ත හැරෙනවාත් සමගම කෙනෙක් මගේ නළලේ තදින් වැදුණි. ඒ ඇයයි. මා මේ පාසලේ දකින්නටම කැමතිම රුවයි. නමුත් වැදුනේ සුලුපටු වැදීමක් නොවේ. ඇයට හොදටම රිදෙන්නට ඇතිය. නමුත් මටනම් ගානක්වත් නැතිවූයේ ඇය නිසාවන්නට ඇත.මම ඇය දෙස බලාගෙනම උන්නෙමි.

"අනේ සොරි මගෙයි වරද, මම අහක බලන් ආවෙ..."

ඇය කියූවේ අසරණ තාලයෙනි.

"නැහැ නැහැ මගෙයි වරද මට සමාවෙන්න.."
ඇයට වරද බාරගැනීමට කිසිසේත් ඉඩදිය යුතු නැත.ඇය තවමත් නළල අතගාන ගමන්ය.

"තාම රිදෙනවාද? "

ඇය මදෙස බලා යන්තම් සිනාසුනි.මට එයද හොදටම ඇතිය.

"පොඩ්ඩක් රිදෙනවා.."

'කෝ බලන්න' කියා කියන්න හිතුවද එය වචන කලේ නැත.

"අයි ඈම් සොරි, මම වෙන කල්පනාවක හිටියේ.."

ඇගේ නමවත් නොදැන එතනින් එහාට කතාකිරීමට අපහසුය. ඊටත් වඩා කවදාවත් නැති විදිහට අද මට වචන පැටලේ.

"මම හිතුවා..."
ඇය කීවාය. මම තුෂ්නිම්භූත විය.

"මොකක්ද?.."

මම දෑස් ලොකුකරගෙන ඇයගෙන් ඇසුවෙමි.

"වෙන කල්පනාවක තමයි හිටියෙ කියලා..."

සිනාසෙමින් ඇය යන්නට ගියාය.වේදිකාව විශාල තිරදේද පිටුපස මේ හැලහැප්පීම් ජාලාව සිදුවූ බැවින් කවුරුත් එය දැක්කේ නැත.මට දැනුනේ පුදුමාකාර සතුටකි. ඇය සමග මෙහෙමවත් වචනයක් කතාකිරීමට ලැබීමත් කෙතරම් දෙයක්ද.


"චාපා..."

ඒ ඉරේෂාගේ හඩයි. 'චාපා' නුහුරු නමක් ඇසුන නිසා මම තිර රෙද්ද මෑත්කර බැලීය.


(මතු සම්බන්ධයි)


- නිරෝෂ් මෛති‍්‍ර -
     - 2004 -


මෙතනින් (චාපා 02)
මෙතනින් (චාපා 03)
මෙතනින් (චාපා 04)
මෙතනින් (චාපා 05)
මෙතනින් (චාපා 06)
මෙතනින් (චාපා 07)
මෙතනින් (චාපා 08)
මෙතනින් (චාපා 09)
මෙතනින් (චාපා 10)



කියවන්න