Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Wednesday, April 25, 2012

සාරන්‍යා 01




ඉඩ ලද සෑම විටකම කාර්යාලයේ දිග ජනේලයෙන් මුහුණ ඔබා සුවිශාල ගොඩනැගිලි අතරින් පෙනෙන අහස දෙස ඔහේ බලාගෙන සිටීමට මා පුරුදුවූයේ නිරායාසයෙනි.
ඒ අහස වැඩිපුරම ලස්සනට පේන්නේ ඉර බහින හැන්දෑවටය. විඩාබර දෙනෙතට ඒ අළු අහසනම් රසදුනකි. වැසි දිනකදී එම ජනේලයෙන් පිටත බලා සිටීම තරම් සොදුරු දසුනක් තවත් නැත. තව තට්ටු දෙකක්වත් ඉහලින් කාර්යාලය පිහිටා තිබුනේනම් මුළු කොළඹම මෙතනට දිස්වන්නට ඉඩ තිබුණි.දැහැන බිදුනේ ජංගම දුරකථනය සාක්කුව තුල දෙදරුම් කෑමෙනි. ඇමතුම සාරන්‍යාගෙන්. දිග සුසුමක් හෙලා දුරකථනයට පිළිතුරු දුන්නෙමි.

"කියන්න සාරන්‍යා.."

"ඔයා වැඩකද?"

"නෑ.. වැඩ ඉවරයි. ටිකක් රෑ
උන නිසා ගෙදර යනවද නැද්ද කියලා මම මේ කල්පනා කර කර හිටියෙ.."

"ඇයි මේ වෙලාවට බස් නැද්ද?"

"බස්නම් තියෙනවා. ඒත් ගම්පහ ඉදන් ගෙදරට යන්න බෑනෙ. නවයෙන් පස්සෙ හන්දියෙ තී‍්‍රවීල්වත් නැහැ, ඔයා කොහෙද ඉන්නෙ හොස්ටල් එකේද?"

"හ්ම්..."

"ඇයි හ්ම්? "

සාරන්‍යාගේ හඩ වෙනදාට වඩා අමුතුය. ජනේලයෙන් පිටතින් එන සීතළ සුළඟත් එන්න එන්නම වැඩිය.

"මම ඔයාට දෙයක් කියන්න ගත්තෙ.."

"කියන්න සාරන්‍යා"

"මම අර කිව්වෙ කැම්පස් එකේ අයියා කෙනෙක් ගැන..."

"ඉතිං..."

"මම අද ගෙදර ඉදන් එනකොට, පේරාදෙණිය ස්ටේෂන් එකේදී ඒ අයියාව හම්බුනා..."

"එහෙනම් අදත් ඔයාගෙන් ඇහුවා... මම හරිද?"

"හ්ම්...."

ජනේලය ගාව තවත් ඉන්නට බැරිය. උදුවප් සීතල දැන් ඉදන්ම පටන් ගෙන ඇත. සීතල හිටි ගමන් වැඩිවූයේ ජනේලය විවෘතව තිබෙන නිසාද, නැත්නම් සාරන්‍යා කියූ දෙය නිසාදැයි හිතාගැනීමට නොහැක.මම ජනේලය වසාදමා පුටුවකට බර උනෙමි.

"ඉතිං ඔයා මොකද කිව්වෙ..."

"මම මුකුත් කිව්වෙ නැහැ... මම මොකද කරන්නෙ"

සාරන්‍යා මීට වසර දෙකකට පෙර මගෙ පෙම්වතියයි. වසර දෙකක පේ‍්‍රමය මීට මාස තුනකට පෙර නිමාවූවත්, ඇයත් මමත් ඉඩලද සෑම විටෙකම කතාබහ කලේය. මුලදී ඇයටත් වඩා මා ඇය ඇමතුව වාර ගණන වැඩිවන්නට ඇත. මන්ද එකවරම ඇයගෙන් ඈත්වීමට මට අපහසුවූ බැවිනි.පසුව ඇයට මිතුරෙක් පමණක්වීමට මම හිත හදාගත්තමි.

"මේකයි සාරන්‍යා.. ඔයාට හොදක් වෙනවනම් මගේනම් ඕකට ඇකමැත්තක් නැහැ. හැබැයි හොදට හොයලා බලලා, හොදට හිතලා බලලා කරන දෙයක් කරන්න. නැත්තම් වෙන්නෙ ආයෙමත් දුක්විදින්න.."

මා එය කීවේ හිතේ දැඩි සංවේගයක්ද කැටිකරගෙනය. මන්ද අද තත්ත්වය කෙසේ උවද
පෙරදිනයක ඇය මාගේ පෙම්වතියයි.

"ඔයා හරි හොදයි අකිල.. ඉස්සර ප‍්‍රශ්නයක් උනාම කොහොමද ඔයා හැසිරුනේ.. මටනම් පුදුමයිත් එක්ක..."

මම මේසය උඩට කකුල් දෙක ගත්තමි. දුම්වැටියක අවශ්‍යතාවය තදින් දැනේ.
ඇය මේ කියන්නේ පෙර මම  ඕන එකට මෙන්ම එපා එකටද රණ්ඩුවූ හැටි මතක්වී විය යුතුය.

"දැන් පරණ දේවල් කතාකරලා වැඩක් නැහැනෙ.. වෙන්න තියෙන දෙයක් බලමු. ඔයාට හොදක් වෙනවානම් එච්චරයි.."

ඇය ඉන්නේ සතුටින්ද දුකෙන්දැයි හරිහමන් නිගමනයක් මට නැත. නමුත් ඇය පෙරට වඩා සැනසීමෙන් ඇති බවනම් මට විශ්වාසය.කෙසේ උවත් ඇයව සතුටින් තියන්නට මම ඉටාගත්තේ අප වෙන්වූ පසුවය.

"මම ඔයාට අකිල අයියෙ කියන්නද? "

"ඔයාට මාව ඔයාගෙ අයියා කෙනෙක් වගේ දැනෙනවද? "

"ඇත්තටම ඔවු අකිල.. අපි හැමදාමත් මේ විදියට ඉමු."

හිත තුළ ඇත්තේ හිස් හැඟීමකි. අමුතු සතුටක් මෙන්ම අමුතු දුකක්ද නැත.මේසය උඩ ඇති පැන්සලයකින් පැරණි ෆැක්ස් කොලේක බලි ඇන්දෙමි.

"හිතලා බලලා හොදම තීරණේ ගන්න. මාව අයියා කෙනෙක් විදියට දැනෙනවානම් කරන දෙයක් කියලා කරන්න. මොකද ඔයා අයෙමත් දුකින් ඉන්නවා බලන්න මම ආස නැහැ. මම කැමතියි ඔයා හොද කෙනෙක්ගෙ වෙනවානම්.. ඔයාගෙ දේවල්වලට කරදරයක් වෙන්නෙනම් නැහැ, පුළුවන් හැමදේටම උදව් කරන්නම්, ඔයා සතුටින් ඉන්නවානම්..."

වෙලාවකට බොළද වැඩිවූවාදැයි සිතුනත් ඇත්තෙන්ම මට ඇය කෙරෙහි වූවෙ එවන් හැඟීමක් පමණි. අපගේ පේ‍්‍රමය අවසන් වන දින තෙක්ම මට ඇයට හොදින් සලකන්නට, කතාකරන්නට නොහැකිවිය. ඇය බලාපොරොත්තුවූ උත්තරීතර ආදරය ඇය වෙනුවෙන් විකසිත කරන්නට මට නොහැකි විය. නමුත් එම පේ‍්‍රමයට කණකොකා හැඩූ දින පටන් මට ඇගේ දුරස්වීම දරාගත නොහැකිවිය. ජනේලයෙන් දුර ඈත අහස බලාසිටීමටත් මා හුරුවීමට එක හේතුවක් එයද වන්නට ඇත.ලෝකයේ සිදුවන්නනේ සිදුවන්නට තිබෙන හොදම දෙයනම්, සාරන්‍යා මා හැරයාමෙත් ඇයට අළුතින් පෙම්වතෙකු හමුවීමෙත් ගුණ පමණක් දකින්ට මම ඉටා ගත්තෙමි.


(මතු සම්බන්ධයි)


- නිරෝෂ් මෛති‍්‍ර -
2012/04/25


මෙතනින් (සාරන්‍යා 02)  
මෙතනින් (සාරන්‍යා 03)  
මෙතනින් (සාරන්‍යා 04)  
මෙතනින් (සාරන්‍යා 05)  
මෙතනින් (සාරන්‍යා 06) - අවසාන කොටස