Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Saturday, November 9, 2013

චොගම් ආතල්



     තම යටත් විජිතයන් එකින් එක බිදී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය කුඩුපට්ටම් වී යද්දී ඔවුන් නැවතත් නව යටත්විජිතකරණයක් ව්‍යංගයෙන් ගොඩනැංවූයේය. එයට තැබූ නම "පොදුරාජ්‍ය මණ්ඩලය" නම් විය. තම කොළනි නැවතවරක් අනියමින් තම යටතට ගෙන එක් එක් රටවල සමළු පවත්වා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය අදටත් උත්කෘෂ්ටත්වයේ පවත්වාගෙන යාමට ඔවුන් වගබලාගත්තෝය. එහෙව් ඊනියා මන්ද මානසිකත්වයකට, එදාවේල කන්න නැතත් අධිවේගී මගේ අසිරිය ආවඩන දුප්පත් රටවල් ලැබෙන ලබ්බක් නැතත් 'චොගම්' 'චොගම්' කියා කෑමොර දුන්නෝය. ලැබෙන්නේ මොනවාදැයි ඇසූ කල ඔවුන් මුහුණෙන් මුහුණ බැලූහ. චොගමයට යාමට ඇමැත්තෝ අලුත් ඇදුම් ඇන්දෝය. රණ්ඩුවකදී බිදීගිය මගුල් ජායාරූපය තවමත් ගේ මුල්ලේ තිබියදි "මට චාල්ස් කුමාරයා එක්ක පොටෝ එකක් ගන්නම ඕනෑ" යැයි ඇමති බිරිදෑවරුන් හඩා වැටුනෝය. චොගමය ගැන වාක්‍ය රචනයක් ලියාගන්නට කරුණු නොදන්නා මාධ්‍යවේදින් ඔවුන්ගේ හැදුනුම්පතේ ජායාරූප ගෙන මුහුණු පොතේ දැමුවෝය. අහිංසක සිවිල් වැසියන් අමු අමුවේ මරාදමන චිත‍්‍රපට සාදා අහස පොළොව නුහුලන බේගල් මවා පෑ කාලකන්නි සරපයින් යැයි කියූ චැනල් ෆෝමාධ්‍යවේදීන් රතුපලස් මතින් මෙරටට ඒමට නියමිතය. ඔවුන්ගේ මව්ගුණ ගී ගැයූ ඇමැත්තෝ චොගම් යෑමට රැවුල කැපීමට බාබර් සාප්පුවට ගොස්ය. 

දැන් ඉතින් අපට හිටගෙන පණ ගියද කම් නැත. ගෑණු දුසිම් පහ හයද සමග ස්වාසිලන්තයේ රජා කොළඹ හෝටලයට යනතුරු වැසුණු පාරේ ගිලන්රථයේ සිටින හදවත් රෝගී ලෙඩා උඩුකුරුංඤං ගැසුවද අප දිලිසෙන බෙන්ස් රථ බලා සැනසෙනවා හැරෙන්නට වෙන කල හැකි යමක් නැත. ආදරණීය චොගම් ඔබ එනතුරු අප පෙරුම් පිරුවෝය. දින ගැන්නෝය. මග රැක්කෝය. ගල් ගිල්ලෝය. අද සිට ඔබ අප සමගය. දැන් අපට දුකක් නැත. අප සතුටිනි. විදවන්නේනම් නැත. අද නිහඩ නන්දා මාලනිය එදා කියූවේ මෙසේය.



බුදුන් දහම් සඟ තෙරුවණ වැඳ අවසර රුගෙන සියල්
අසන් මහතුනේ අනාථ රටක ගැයෙන විරිදු සුරල්
(කේන්තියට කියන විරිඳු)

මේ අනාථ රට ඉස්සර සකල සිරින් පිරුණු රටක්
බුදුන් පවා පය තිබ්බා උතුම් හිතින් දෙතුන් විටක්
(බුදුන් උන්නෙ එහා රටේ)

රට රටවල මහ ඇත්තන් පතල මහා කරුණාවට
ඇවිත් එ’රට කළ කොඩිවින කපන්න බැහැ මේ කපේට
(කාගෙත් ඇස් යොමු වුනු රට)

ගෙරි හංකඩ එලා ගන්ට කොළඹට ආ පරංගියා
අපේ රටම හූරාගෙන උගේ රටට අරන් ගියා
(කොයි පරයත් එහෙම තමයි)

ඉඟුරු දීලා මිරිස් ගත්ත
මෝඩ අපේ රජ දරුවෝ ලන්දේසින් ඉංග්රීසින්
කැන්දාගෙන වින කොටුවෝ
(ඒක සැබැයි සැබැයි සැබැයි)

බේරගන්ට පුළුවන් නම් රජ දරුවන් හට ඔටුන්න
සූදානම් මහතුනි උන් පරයි එක්ක නිදි වදින්න
(රජ පුටුවේ මළත් සැපයි)

එදත් අදත් හෙටත් මිතුරු වෙස් අරගෙන පරයි එනව
දළදා මාළිගෙත් අරන් උන් දවසක යන්න යනව
(හෙටත් වෙන්න ඉඩ තියෙනවා)

කා ගන්නා අතර එකම රටේ ඉන්න සිංහයො කොටි
කෙළ හලනව තළු මරනව අල්ලපු රටවල හොටබරි
(උකස් කරල රන් දූපත)

පරෙයියන්ගෙ වෙස් ගත්තත් පරයො ඇහැකි අඳුනගන්ට
තමුන්ගෙ වාසියට මිසක් උන් ඒවිද පිහිට වෙන්ට
(පෙරුම් පුරන බෝසත්වරු)

පෘතුගීසි ලන්දේසී ඉංග්රීසි කාලෙ වගේ
කල දවසක් ආයෙ එතොත් මොකටද ලක් මෑණි මගේ
(ඒ පව අප පිට වැටේවි)

රට වටකර වැට බඳින්ට කැති මන්නා ගන්ට වෙනව
වැටට උඩින් පනින උන්ට මන්න පහර දෙන්ට වෙනව
(සාධාරණ පහරදීම)

සිහළු අපේ දෙමළු අපේ මුස්ලිම් මිනිසුනුත් අපේ
උන් කඳවරු බඳින දිනේ පරයන්ගේ බොටුව කැපේ
(අනාථ රට සනාථ වෙයි)



- නිරෝෂ් මෛති‍්‍ර -
2013/11/09

කියවන්න

Wednesday, October 16, 2013

සරසවි සිහිනය



       ක්කට අලුතින් ලැබුණු සිඟිත්තාව බලන්නට කාර්යාලයෙන් පිටවූයේ දහවල් 2 ට පමණය. හයිලෙවල් මාර්ගය ඔස්සේ නුගේගොඩ නගරයට ඇතුළු වද්දිම මතකය දිවගියේ මීට වසර 7ක් පමණ ඈත අතීතයටය. අළුතින් ඉදිවූ ගුවන් පාලම නුගේගොඩ නගරයේ තිබූ අතීත සුන්දර සැකැස්ම එහෙම්පිටින්ම වෙනස්කොට ඇත. එදා නුගේගොඩට එනවිටම ඇස ගැසෙන්නේ ඒ සුවිශාල බෝ ගස උවත් අද නෙතගැටෙන්නේ ගුවන් පාලමය. 

"මචං අපි ඇවිත් ඉන්නේ බෝගහ ගාව.අනිත් උනුත් මෙතනට සෙට් වෙනවා. ඉන්න මගුලකින් වරෙන් ඉක්මනට..."

එදා ඒ බෝගස නුගේගොඩ අමතර පන්ති යන බොහෝ දෙනෙකු වෙන වෙන ගමන් යාමට එක්රැස්කර ගන්නා නගර සලකුණක්ද විය. කෙසේ වෙතත් ඒ නගරය දැන් නුහුරු නුපුරුදු වන තරමටම වෙනස්වී ඇත. ඒ විනාඩි කිහිපයට මහගොඩක් දේවල් කල්පනා වූයේ මා ඒ නගරයට ඇත්තටම ආශා කල නිසා විය යුතුය.

හොදම සිදුවීම සිදුවූයේ නුගේගොඩ හංදියෙන් වමට හරවනවාත් සමගමය. කාලෙකින් හොදම මිතුරෙකු දුටු කලෙක මෙන් පාරෙන් එහා පැත්තේ තිබූ සරසවි පොත්හල දැක නොදැනීම තිරිංග තදවුණි. එය දැක මට මේ තරම් සතුටක් දැනුනේ ඇයිදැයි මා නැවත ගෙදර පැමිණි පසුද කල්පනා කලේය. මොහොතක් සරසවිය දෙස බලා සිටි මට එයට ගොඩවීමට දැඩි ආශාවක් ආවද දැනටමත් ප‍්‍රමාදවී ඇති බැවින් ආපසු එන එන ගමනේ සරසවියට යන බලාපොරොත්තුවෙන් නැවත වාහනය පණ ගැන්වූයේය. රොටරියේ අමතර පන්ති දවස්වල මා වැඩි කාලයක් ගෙවූයේ සරසවියේත් සම්මාන එකේත්ය. අතේ මුදල් නොගැවසුන ඒ කාලේ පොතක් ගන්නවා කියන්නේම හෙන ගේමකි. වැඩි හරියක් කලේ සරසවියේ මා කැමතිම පොත් අතගා ඒමය. ඒ පොත්වල සුවද අදටද මට දැනෙයි. ඒ කියැවීමේ පුරුද්ද නැතිවූයේ කවදාදැයි මට සිතාගත නොහැක.

ලෝකෙ නැති බොරු කියමින් හකු රිදෙන තුරු සිනාසී කාලය ගත කර අක්කාගේ නිවසින් පිටවූයේ සවස 5 ට පමණය. එන ගමන් සරසවිය අසලින් බයිසිකලය නවත්වා එයට ගොඩවූ විටම මට දුටු දෙයින් ඇස් අදහා ගත නොහැකි විය. සරසවිය පිරෙන්නට තිබූ පොත්පත් වෙනුවට එහි රාක්ක වල තිබුනේ පාසැල් උපකරණ, ලිපිද්‍රව්‍ය, සුභ පැතුම් පත්ය. මාව කරකවා අතඇරියාක්මෙන් විය. පසුව සිහිවූයේ මා බයිසිකලය නැවැත්වූ තැනට අනෙක් පසින් නව සරසවි ගොඩනැගිල්ලක් තිබූ බවය. පසුව හිත හදාගෙන එයට ගොඩවූ පසු එහි හාත්පස තිබුනේ ඉංගී‍්‍රසි පොතපතය. සිහින ලෝකයක් එකවර දෙපතුල ළඟ කඩාවැටුන කලෙක දැනෙන හැඟීමක් මට දැනෙන්නට විය. මා හිස් අතින්ම ආපසු හැරුනේය. ඇතැම්විට එහි කොහේ හෝ සිංහල පොතපත තියෙන තැනක් තිබෙනවා විය හැක. නමුත් මා එය සොයන්නට නොගියේය. ඒ, මා සෙවූයේ අතීතයේ තිබූ සරසවියම වන නිසා විය යුතුය. අවසානයේ නුගේගොඩ නගරය පමණක් නොව එහි අතීතයද බොහෝ වෙනස්වී ඇති බව පමණක් තේරුම් ගෙන නැවත බයිසිකලයට නැංගේය.

අප අතීතයට, අතීතයේ සුන්දර මතක සැමරුම් වලට අතිශය ලෙස ආදරය කරමු. හැකි සෑම විටම අප උත්සහ කරන්නේ ඒ සුන්දරවූ අතීතයේ දිනවල ඇවිද යන්නටය. ඒ සුවඳ විදින්නටය. අප විශ්වාස කරනුයේ ඒ අතීතය ඒ ආකාරයෙන්ම නොනැසී තවමත් ඒ ආකාරයෙන්ම අප වෙනුවෙන් බලා හිදිනබවය. නමුත් එය එසේ නොවෙන්නේ සිහිනයට වඩා බොහෝ ළඟින් සැබෑ ලෝකය පවතින නිසාවෙනි. එක් මොහොතකට හෝ ඒ අතීතයේ දිනකට ගොස් අතීතයේ අහුමුළු තුළ ඉපැරණි දෑ සෙවූවද ඒවා වර්තමානයේ පවතින්නේ අපව කඩාවට්ටන තරම් වෙනස්කම් සහිතව බව දකින්නට සිදුවීම වෙනස්කල නොහැකි සත්‍යයකි.


- නිරෝෂ් මෛති‍්‍ර -
2013 ඔක්තෝම්බර් 17






කියවන්න

Sunday, October 6, 2013

වළලන කවි



වැසීගිය සද
ලියූ ක
වි පද
නොපෙ
නී
ගි
දාක
වළ
දාමි,
අප ඇවි

ගි
මඟ
එකි
න් 
...


- නිරෝෂ් මෛති‍්‍ර -
2013/10/07



කියවන්න

Monday, September 23, 2013

දෙවැනි පෙම්වතෙකුවී ඉපිද..



පැහැබර දිනයක
අරුණළු අරගෙන
ඔබ එන මඟ
නෙත් විදහා සිටියත්
ඔබ එන්නේ
ඔහු සමගින්දැයි සිත
විදවනවා
අපමණ දුක්
දහසක්...


නද දෙන හැමවිට
හා කෙටි පණිවිඩ
ඔහුගෙන් දැයි
විදවන්නේ
තුන්හිත...


ඉඩලද හැමවිට
ඔබදෙස බලමින්
තුන්හිත උතුරණ
ආදර හැඟුමන්
දිනයක අවසන
සැන්දෑ යාමෙක
ඔබ එනතුරු ඔහු
වැඩපල අභියස...



- නිරෝෂ් මෛති‍්‍ර -
2013/09/23


කියවන්න

Monday, September 16, 2013

ඔබෙයි මගෙයි තීරණය

ඔබ 

තීරණය කරලා 


ජීවත් වෙන්න


මම නැතුව...


මමත් 


තීරණය කලා 


ජීවත් වෙන්න 


මම නැතුව..



- නිරෝෂ් මෛති‍්‍ර -
2013-09-16


කියවන්න

Saturday, September 14, 2013

ලේ



නරක්
නොකරන්නැයි
ඉල්ලුවා
ඔබේ ලේ,
මම ඔබේ ලේ
වන නිසාම..
නරක් කරන්නට හෝ
නොකරන්නට
මම තවමත්
ඔබේ
ලේ ද?
 


- නිරෝෂ් මෛති‍්‍ර -
2013-09-14



කියවන්න

Tuesday, September 3, 2013

(අ)කැමතිම ගීතය



ඔයා 

ආසම

ගයන්න

අකමැති

ගීතය

මම... 


 නිරෝෂ් මෛති‍්‍ර 
- 2013/09/03 -


කියවන්න

Sunday, August 18, 2013

බොක්කෙ Fit එක



උඹව මගේ ළඟට ගත්තේ හරියට දුක් විදලා.
විදලා විතරක් නෙවෙයි අදටත් විදිනවා..
කොහොමටත් ගෙදර ඇවිත් සතියකින් 
උඹ මට දුන්නනෙ අත් දෙක ලෙලි යන්නම..
ඒත්, උඹයි මමයි කාපු කටු දන්නෙ 
අපි දෙන්නා විතරමයි නේද?
ජොබ් එකෙන් අයින් වෙලා,
නන්නත්තාර වෙලා ඉදපු දවස් මතකද?
ඒ දවස්වල මාත් එක්ක උඹ 
මේ කොළඹ 
නොගිය තැනක් නැතුව ඇති..
මහරගම පාරවල් ගානෙ 
අපි සතියට කී පාරක් එහාට මෙහාට ගියාද?
මතකද පාර්ලිමන්ට් පාරේ අක්කාගේ තේ කඬේ?
ගියපු කිසිම දවසක එතනින් රොටියක් නොකා ගියේ නැහැ..
ඒත් දවසක් 
එතනින් යනකොට අක්කාගේ කඬේ කඩලා..
හේතුව, 
කොටාගේ නගර අලංකරණ වැඩපිළිවෙලලු..
ඌටයි, උගේ අම්මටයි පිංසිද්ධ වෙන්න,
මගදි නිදහසේ ප්ලේන්ටියක් ගහලා,
සිගරට් එකක් බොන්න තිබ්බ තැනත් නැති උනා...


උඹට මතකද උඹව කැඩුණ පළවෙනි දවස?
එදා මැච් එකක් ගහලා අපේ උන් වලේ සෙට් උන දවසක්..
එකෙක්ට නහුතෙට වැදිලා,
ඇල්විටිගල පාරේ රේස් පදින්ඩ ඕනෙ කියලා උඹව අරන් ගියා...
මට ඌට බැහැයි කියන්න බැරි උනා..
අන්තිමට බලද්දි ඌ පොලීසියට අහුවෙලා..
අපි ගිහින් ඌවත් අරගෙන එනකොට 
උඹේ ගියර් සෙට් එකම කඩලා..
මහ රෑ උඹව වෙන එකෙක්ගේ බෝඩිමකට අරන් ගියේ 
නොවිදිනා දුක් විදලා..
ඌ අදටත් හිනා වෙනවා එදා රෑ ගැන මතක් කරලා..

හොදම සිද්ධිය උනේ අලුත් රස්සාවට ආවට පස්සෙ.
මතකද දවසක් මම ඕෆ්වෙලා 
මහ රෑ ගෙදර යන්න යනකොට
පොලීසියෙන් උඹේ ප්ලග් එක ගලවන් ගිහින් තිබුනා..
එදා රෑ මට හීන් දාඩිය දැම්මා,
ගෙදර යන්නෙ කොහොමද කියලා..
අන්තිමේදී බඩ ලොකු අයියා තමයි 
දෙයියෙක් වගේ පිහිටට ආවෙ පොලීසියට යන්න.
නැත්තම් තාම ඔෆිස් එක ගාව..
ඒකෙ හොදම සීන් එක,
පොලීසියට ගිහින් ඇහුවම 
"ඇයි ප්ලග් එක ගැලෙව්වෙ" කියලා 
එතන වාහන නවත්තන්ඩ බෑලු..
"නවත්තන්න තහනම් කියලා එතන කොහෙද ගහලා තියෙන්නෙ" කියලා ඇහුවම 
"ගහන්න දෙයක් නැහැනෙ මහත්තයෝ, 
බැසිල් මහත්තයාගෙ වාහන එනකොට 
පාර ක්ලියර් වෙලා තියෙන්න ඕනෙනෙ, 
නැත්තම් අපිටනෙ කේස්"
මට 'අනේ හුකේ' කියලා කියවෙන්නනම් ගියේම නෑ..

ඒත් උඹයි මායි දෙන්නම දන්න 
ඒත් මතක්කරන්නවත් අකමැති දෙයක් තියෙනවා..
ඒ උඹත් එක්ක එක්කගෙන යන්න 
මේ ලෝකෙ කැමතිම කෙනත් එක්ක යන්න 
උඹටවත් මටවත් කවදාවත් වාසනාවක් නොලැබුන එක ගැන 
අපි දෙන්නම දුක්වෙනවා කියලා....
අදටත් උඹ ආසයි නේද එයා එක්ක කොහේම හරි යන්න?
ආ.. පුළුවන්නම් නෑ කියපං?

කරන්න දෙයක් නැහැ පුතේ,
මොනවා උනත් 
උඹ මට හොද යාළුවෙක්.
පුළුවන් තරම් කාලයක් 
එකට ඉමු...



- නිරෝෂ් මෛති‍්‍ර -
- 2013/08/18-




කියවන්න

Wednesday, August 7, 2013

චාපා 30 (අවසාන කොටස)


    දැඩි සත්කාර ඒකකයේ දොර අරිද්දිම මට දකින්නට වූයේ ජීවිතයේ කෙදිනකවත් දකින්නට බලාපොරොත්තුවූ දසුනක් නොවේය. නිල් පැහැති රෝහල් ඇදුමකින් සිටි ඇයට යන්ත‍්‍රයක ආධාරයෙන් ඔක්සිජන් ලබා දෙමින් තිබුණි. දකුණු පසින් ආධාරකයක එල්ලන ලද සේලයින් බෝතලයක කෙලවර චාපාගේ අතක් සිදුරු කර ඇත. මට ඇතිවූයේ දරාගත නොහැකි දුකකි.

"අංකල් ඇයි මේ? චාපට හුගක් අමාරුද..?"

"පේෂන්ට්ව ගේන්න ටිකක් පරක්කු උනා පුතා. නැත්තම් මේතරම් අමාරු වෙන්නෑ. දැනටනම් අපිට කරන්න පුළුවන් හැමදේම කරලා තියෙන්නෙ. ඒත් ඇත්තම කියනවානම් පේෂන්ට්ට අමාරුයි..."
මම ඇය අසල ඇද කෙලවරේ ඉදගත්තේය.

"පුතා මම විනාඩි දහයකින් එනවා, ඉක්මනට පේෂන්ට්ව බලලා එළියට යන්න. එයාට කොයිම වෙලාවක හරි සිහිය එන්න පුළුවන්. මේක අපි හැමෝම අමාරුවේ වැටෙන වැඩක්, තේරුණාද..."
කල්පගේ මාමා එළියට ගියේය. මට දැනුනේ පුදුමාකාර හිස් හැඟීමකි...

"සුදූ..."
මම ඇයගේ අතකින් අල්ලා ගත්තේය. වෙනදා මටත් කලින් මගේ අතේ වෙලෙන ඒ අත අද අප‍්‍රාණිකය.

"සුදූ මං දිහා බලන්න..."
දුටු මුල්දිනයේ මෙන්ම අදත් ඒ මුහුණ පියකරුය. ඇය හුස්ම ගත්තේ අපහසුවෙනි.

"ඇයි සුදූ මෙහෙම දෙයක් කරගත්තෙ? ආදරෙ නැද්ද මට? මාව දාලා යන්න පුළුවන්ද එහෙම..?"

මගේ කදුළු බින්දුවක් ඇගේ පිටි අල්ල මතට වැටුනේය. වෙනදා මේ අත අල්ලා ගන්නේ එහි ඇති උණුසුමට ලෝභකමේය. නමුත් අද ඒ අත සීතලවී ඇත.

"මම කොහොමද ඔයා මෙහෙම ඉන්නවා බලන් ඉන්නෙ දන්නවාද මට කොයිතරම් දුකයිද කියලා. මමයි මේ හැමදේටම වැරදි. පාඩුවේ ඉදපු ඔයාව දුක විතරක් ඉතුරු කරන බැදීමක පටල ගත්තට. පුළුවන්නම් මට සමාව දෙන්න.."

මම ඒ අත ගෙන සිපගත්තේ අපමණ සෙනෙහසකිනි. ඇය කොන්දෙන් ඉස්සෙමින් එකවර තදින් හුස්මක් ගත්තේය.

"සුදූ... අමාරුද ඔයාට..."

ඇය වරක් ඇස්ඇර බලා නැවතත් පියවා ගත්තාය. ඇයට සිහිය එනවා විය හැකිය. නර්ස් කෙනෙක්ට කතාකරන්නටවත් මට එළියට යාමට හැකියාවක් නැත.

"සුදූ..."

එකවර ඇය මගේ අත තදින් අල්ලා ගත්තාය. මට පුදුමාකාර සතුටක් දැනුණි. ඇය නැගිටින්නට හැදුවාය.

"ගිම්..හා..."

"ඔහොම්ම ඉන්න. කතා කරන්න එපා රත්තරං. ඔයාට අමාරුයිනෙ..."

"කො..හෙද මේ..."

"ඔයාට අසනීප උනානෙ.. ඉතිං හොස්පිට්ල් ගෙනාවා.. දැන් මුකුත් කල්පනා කරන්න එපා.. තව ටිකක් නිදා ගන්න.."
මම ඇයගේ හිස ආදරයෙන් අතගෑවේය.

"මාව.. රට.. ගෙනි..."

"නෑ සුදූ ඔයාව කොහෙවත් අරන් ගියේ නෑ. කතා කරන්න එපා පුතේ. ඔයාට හොද නෑ..."

"නෑ.. ම..ට පුළුව..න්.."

"හ්ම්.. ඒත් මට මෙතන ගොඩක් වෙලා ඉන්න බෑ සුදූ... ඉක්මනට යන්න වෙනවා. හරිම අමාරුවෙන් මෙහෙම හරි ඔයා ළඟට ආවේ.."

"අනේ.. යන්..න එපා..."
ඇය අපහසුවෙන් මගේ අත තදකර අල්ලාගත්තාය.

"මට.. සමාව දෙ..නවා නේ..ද..?"
ඇය මගේ ඇස් දිහා බලමින් ඇසුවෙ අහිංසකවය.

"මමයි සමාව ඉල්ලන්න ඕනෙ ඔයාට මෙහෙම කලාට.. දැන් ඕවා හිතන්නෙපා.  අපි ඉක්මනට සනීපවෙලා ඉමු, හොදද.."

"ඒත් මා..වා ආයෙ රට ය..වයි.."

"එහෙම වෙන්නෙ නෑ සුදූ.. අපි බලමු මොනවා හරි කරන්න.."
ඇය අපහසුවෙන් සිනාසුනාය.

"අමාරුද ඔයාට..?"

"කවදා.වත් තනිවෙ..න්න එ.පා.."
මම ඇසූ දෙයට ඇය පිළිතුරු දුන්නේ නැත.

"හොදට ඉ..ගෙන ගන්න. හැමෝ..ටම පේන්න. ම..ගේ ආදරේට වටිනකමක් දෙන්..න මහත්තයෝ...."

"ඔයා කියපු කිසිම දෙයක් මම නොකර ඉදලා තියෙනවද..?"

"මං කාත් එක්..කවත් ගියේ.. නෑ.. මුලි..න්මයි අන්තිමටයි ඇල්..ලුවෙ මේ අත..."
ඇය මගේ අතගෙන පපුව උඩින් තියාගත්තාය. 

"ඔයාගෙ අයියා එන්න කලින් මම යන්න ඕනෙ රත්තරං.."

"ඉන්..න ටිකක්.. මාත් එනවා.."
ඇය සිටින්නේ තවමත් හරියටම පියවි සිහියේ නොවෙන්නට ඇත.

"නිදි මතයි නේද ඔයාට.. නිදාගන්න ටිකක්.."
ගිම්හානට නොකීවාට චාපා සිටියේ දැඩි වේදනාවකිනි. ඇයට ශරීරය අභ්‍යන්තරයෙන් ලොකු වෙනසක් දැනෙන්නට ගත්තාය. 

"එ..දා පාර්.ක් එ..කේ..දි...."
ඇයට වචන පිටවන්නේම නැති තරම්ය.

"මම කිව්වා දව..සක ඇති තර..ම් කිස් දෙන්..න..ම් කියලා... ඒත්...."

"හරි සුදූ ඔයා සනීපවෙලා එනවානෙ. එතකොට මම ළඟටම වෙලා ඉන්නම්.."
ඇය කතාකරන දේවල්වල අමුත්තක් ගිම්හානට නොදැනුනාම නොවේ නමුත් ඔහු එය නොසිතා ඉන්නට හැදුවේ හිතට දැනුන බිය නිසාය.

"ම්හ්.. මට.. නළලට....."

මගේ ඇතුළු ළයම කඩා වැටුනේ ඇය එය කියූ අසරණ විලාසයටය. චාපා මට මේතරම් ආදරේ කරන්නේ කෙසේදැයි මට සිතාගැනීමටවත් නොහැක. මම පහත්වී උතුරා ගලායන තරම් සෙනෙහසකින් ඇයගේ නළල සිපගත්තේය. චාපා දිග හුස්මක් ඉහලට ඇද මගේ අත අත්හැරියාය.



සමාප්තයි !

පසුවදන:
     චාපා නමින් කොටස් 30 කින් පලවූ යොවුන් නවකතාව අදින් මෙසේ නිමාවට පත්වෙන බව මෙය මෙතෙක් කියැවූ පාඨක ඔබට දැනුම්දෙන්නේ සතුටින් නම් නොවේ. චාපා අවසාන කොටසේ සමාප්තයි යනුවෙන් අකුරු අමුණන විට මට දැනුනේ වචන කල නොහැකි දුකකි. චාපාගේ අවසානය ගැන පාඨක ඔබේ අදහස කවරාකාර වුවත් වෙනස් කල නොහැකි සත්‍යය එයවේ. මන්ද මෙය ලිවීමට පටන්ගෙන කොටස් දෙක තුන පලවද්දී මට ලැබෙන්නට වූ ප‍්‍රතිචාරවලින් බොහෝමයක කියැවුනේ චාපා කතාව හොදම විදියට අවසන් කරන ලෙසයි. ඇතැම් ඒවා තර්ජනද විය. කෙසේ නමුත් මෙය මීට වසර නවයකට පෙර උසස්පෙළ සමයේ ඉතිරිවූ හිස්කොලවල ලියා අවසන්ව තිබූ කතාවක් බැවින් එහි අවසානය කෙසේවත් වෙනස් කල නොහැකිව තිබුණි. එබැවින් තමන්ට රිසි පරිදි මෙහි අවසානය භාර ගැනීම පාඨක ඔබට භාරය.කෙසේවෙතත් පසුවදනක් ලෙස මට ලිවීමට කරුණු කිහිපයක් නොලියාම බැරිය. 
පලමුවෙන්ම චාපා සමග මුල සිටම රැදී සිට එය කියැවීමෙන් නොනැවතී මා දිරිමත් කල පාඨකයන් කිහිපදෙනෙකුට හදපිරි ස්තූතිය පුදකිරීමට මෙය අවස්ථාව කර ගනිමි. ඉන් බොහෝ අය ඊළඟ කොටස පල කිරීමට ප‍්‍රමාදවූ විට බැන වැදුණ අවස්ථා එමටය. ඔවුන් සැමදෙනාටම මා සමගින් සිටීම පිළිබදව නැවත වරක් කෘතඥපූරක වීමට කැමැත්තෙමි.

පොත් අතරේ පුස්කා විනාශ වන්නට තිබූ 'චාපා' මා බ්ලොග් පිටු අතරට එක්කලේ හුදෙක් මගේ හිතසුව පිණිස පමණක් වුවත් නොසිතූ පරිදි එයට ප‍්‍රතිචාර ලැබීම මගේ පුදුමයට හේතුවිය. නමුත් කණගාටුවට කරුණ නම් ඒවායින් බොහෝ ප‍්‍රතිචාර රහසිගත ඒවා වීමයි. බොහෝදෙනෙක් බ්ලොග් පිටුවේම අදහස් දක්වනවා වෙනුවට මුහුණු පොතේ පුද්ගලික පණිවුඩ ලෙස ඒවා එවීය. අප හැමෝම නොකියන අපේම කතාවක් ඇත. එය තමන්ට ලියන්නට නොහැකිවූ කල කවුරුන්හෝ ලියනාලද කතාවකට අප ආශා කරන්නේ ඒ නිසාය. ඇතැමෙක් තමන්ගේ ජීවිත කතාවන්වල සමානකම් දැක චාපාට පෙම්බැන්දේය. ඇතැමෙක්ට උවමනා වූයේ චාපා හා ගිම්හාන මෙන් ආදරය කිරීමටය. ඒ අතරම ඇතැමෙක් චාපා විවේචනය කල අතර ඇත්ත ලෝකයේ කිසිවෙකු මෙසේ ආදරය නොකරන බවට දෝෂාරෝපණය කලේය. ඒ සියලු අදහස් තම තම නැණ පමණින් මෙන්ම තම තම අත්දැකීම් අනුවය.

කෙසේ වෙතත් චාපා අදින් අවසන්ය. චාපාලා ගිම්හානලා අඩුවැඩි අයුරින් අප සමාජයේ අප අතරේම ජීවත් වෙයි. චාපා පළමු වරට ලියනවිට මා අසාවත් නොතිබූ ඇතැම් දෙබස්, ස්ථාන, සිදුවීම් වසර නවයක් ගෙවුණු තැන අසන්නට දකින්නට සිදුවීම දෛවයේ අපූර්වත්වයක් මට කියාදුන් බව පමණක් කිව හැක.

'චාපා' සමග රැදී සිටි,
ඔබ සැමට,
ස්තූතියි !

- නිරෝෂ් මෛති‍්‍ර -
- 2013/08/05 -




කියවන්න

Sunday, August 4, 2013

චාපා 29



    දෙනෙත් හැර බලන විට මම හිටියේ පුටුවක් මතය. සිදුවූයේ කුමක්දැයි මතකයක් නැතත් තදින් වැදුණු පහරකට මෙන් හිස කකියන්නට විය. මට හදිස්සියේ සිහිවූයේ ඉරේෂා කියූ දේවල්ය.

"චාපා...."

"ගිම්හාන... මචං..."
පැතුනුත් කල්පත් මා අසලය.

"පැතුම්.. චාපා..."

"හරි බං අපි දැං යමු චාපා බලන්න. උඹ ඔහොම කලබල උනොත් කවුද චාපාව බලා ගන්නෙ? රිදෙනවාද ඔළුව..?"

"මොකක්ද පැතුම් උනේ? පැලෙන්න රිදෙනවා..."

"උඹ ඇදගෙන වැටුනනෙ මෙතන. අර තඩි මල් පෝච්චියේ ඔළුව වැදුනා..."

"ඒකට කමක් නැහැ බං අපි දැන්ම යමු..ඇයි දෙයියනේ චාපා මෙහෙම කරගත්තෙ?"
මම හිස අතගානගමන් නැගිට්ටේය. 

"කල්ප උඹ වාහනේ එළියට ගනින්. මම ගිම්හාන එක්ක එන්නම්..."

කල්ප ඉක්මනින් වෑන්රිය කළුබෝවිල රෝහල දෙසට ධාවනය කරන්නට විය. කියාගන්නට බැරි දුකකින් හිත තෙරපෙන්නට විය. මෙතරම් තද තීරණයක් ගැනීමට චාපාට හැකිවූයේ කෙසේද? මොහොතකටවත් මාව මතක්වූයේ නැතිද? 

"මොකක්ද මචං මේ උනේ? චාපා ඊයෙත් මට කතා කලානෙ. ඒත් මේතරම් දෙයක් කරගන්න තරම්......"
මම වීදුරුවට හිස තබාගෙන පැතුම්ගෙන් ඇසුවේය.

"එතන ලොකු ප‍්‍රශ්නයක් තිබිලා මචං..."

"මොකක්ද පැතුම් ජීවිතේ නැතිකරගන්න හදන්න තරම් තිබ්බ ප‍්‍රශ්නෙ? මේකටද බං ආදරේ කියන්නෙ..?"

"මුකුත් නොදැන ඔහොම කතා කරන්න එපා මචං. ප‍්‍රශ්නෙ වෙලා තියෙන්නෙ එදා උඹලා හම්බවෙලා චාපා ආයෙම ගෙදර ගියාට පස්සෙ..."

"උඹ කොහොමද ඕවා දන්නෙ..?"

"ඉරේෂා කතා කරපු වෙලාවෙ කිව්වෙ. එදා ගෙදර ලොකු රණ්ඩුවක් වෙලා. චාපාගෙ තාත්තා චාපාට ගහලත් එක්කලු. අද පාන්දර අර කොල්ලත් එක්ක රට යවන්න ඉදලා තියෙන්නෙ..."

"මොකක්...?"
මට හිතාගන්නටවත් බැරිවිය. ඒතරම් දෙයක් සිදුවූයේනම් එදා කතාකල වෙලාවේම චාපා එය මට නොකීවේ ඇයි?

"චාපා උඹට කොයිතරම් ආදරෙයිද කියලා අපි උඹට කියන්න ඕන නැහැනෙ. උඹව මෙහෙම නන්නත්තාර කරලා අර මෑන් එක්ක යන්න වෙන නිසා චාපා මෙහෙම කරගන්න ඇති.."

මට කරකියාගන්නට දෙයක් නොමැති විය. ඇය දැඩි සත්කාර ඒකකයේ සිටිනා අයුරු මට මැවී පෙනෙන්නට ගත්තේය. පහුගිය කාලෙම ඇය සිටියේ ඉතාමත් සතුටිනි. එහෙම කෙල්ල අද ඉස්පිරිතාලෙක වැටී සිටිනවා දකින්නට හිතට හයියක් නැත.

"චාපාගෙ තාත්තා එච්චර හොද පොරක් නෙවෙයිලු මචං. චාපායි නංගියි පොඩිකාලේ ඉදන්ම ළඟ අම්මාට විතරලු. සමහර විට ඒ නිසාම වෙන්නත් ඇති චාපා උඹට ඔය තරම් ආදරේ කලෙත්..."

කල්ප වාහනය පදවන ගමන්ම කීවේය. මට කතාකරන්නට උගුරෙන් වචන පිටවන්නේද නැත. මම දෙනෙත් පියගතිමි. පසුගිය දින කිහිපයේම ඇයව සිහිනයෙන් දුටුවේ මේ අසුභ ලකුණ පහල වන්නට තිබූ නිසාවෙන් විය යුතුය. මේ මෝඩි මෝඩ වැඩක් කලොත් මට සමාව දෙනවා නේදැයි ඇසූයේ මෙයටද? මෝඩ වැඩක් බව දැනගෙන සිටියානම් මෙවැනි තීරණයක් ගත්තේ ඇයි?

"මචං අපි හොස්පිට්ල් එක ළඟ..."
කල්ප රෝහල අසල රථගාලේ වාහනය නැවැත්තුවේය.

"මචං මෙතන ඉදලා ලොකු ගේමක් ගහන්න තියෙන්නෙ. චාපාගේ තාත්තා හරි අයියා හරි ඔතන හිටියොත් අපිට ඔය ළඟින්වත් යන්න වෙන්නෑ. ඒ නිසා අපි කල්පනාවෙන් වැඩකරමු..."

"ඉතින් අපි කොහොමද චාපාව බලන්නෙ.."

"ඒ සේරම හරි. කල්පයාගෙ මාමා ඉන්නෙත් මේ හොස්පිට්ල් එකේමනෙ. උඹ එන්න කලින් අපි එයාට කතා කරලා සේරම ලෑස්ති කලා. මිනිහා නම් වැඬේට බෑමයි කිව්වා. ඒත් කල්පයා එහෙම කලොත් නෑ කමත් අතඅරිනවා කියලා හෙන කේස් එකක් දාලායි අන්තිමට මාමාව ෂේප් කරගත්තෙ..."

"අනේ උඹලට පිං මචං.."
මම කල්පගේ උරහිසට අතක් තබා කීවේය.

"ඕක මොකක්ද බං. මේ වගේ වෙලාවක නැති උදව්වක් අහවල් එකටද. අනික බං මාමා උනත් මේවගේ තැනක ඉදලා උදව්වක් කරන්නැත්තං හාල් ගරන්නද බං.."

"හරි පරක්කු වෙන්න බෑ. අපි යමු. අපි දෙන්නව කවුරුත් දන්නෙ නෑනේ. ඒ නිසා අවුලක් නෑ. උඹ පොඩ්ඩක් අපි දෙන්නට දුරින් වරෙන්.."

අපි රෝහලේ පඩි නගිමින් ඉහළ මාලයකට පැමිණ කොරිඩෝව දිගේ දැඩි සත්කාර ඒකකය දෙසට ගියෝය. වාට්ටුවල සිටින ලෙඩ්ඩුන්ගේ අදෝනාවල් හිත තවත් කඩා වට්ටවයි. චාපා සිටින්නේ දැඩි සත්කාර ඒකකයේ නම් ඇයද කෙතරම් දුක් විදිනවා ඇතිද.

"මචං ඔහොම්මම ඉදිං..."
කල්පත් පැතුනුත් ආපසු හැරී මාවත් ඇදගෙන යන්නට පසෙකට ගියේය.

"ඇයි මොකද..?"

"ආන්ටියි චාපාගෙ අයියයි එතන බංකුවේ වාඩිවෙලා ඉන්නවා බං. අනාතයි. අංකලයා හිටියානම් අවුලක් නෑ මොකද මිනිහා උඹව දන්නෙ නෑනෙ.."

"මචං මට දැන් කවුරු දැක්කත් කමක් නෑ මට ඕනෙ චාපාව බලන්න.."

"ගිම්හානයා මේ, මොඩයෙක් වෙන්න එපා. මේක ඉස්පිරිතාලයක්. අර කෙල්ල ඉන්නෙ පණ ඇද ඇද. පොඩ්ඩක් කල්පනා කරලා වැඩ කරමු මචං.."

"ඔවු මචං උඹ කලබල උනොත් මෙතන අපි කරපු සේරම වතුරෙ යනවා.."

"ඔයාලා මෙතන..."

අපි තුන්දෙනාම ගැස්සුණි. නමුත් ඒ ඉරේෂාය.

"ඇයි මෙතන ඉන්නෙ..?"

"කොහෙ යන්නද ඉරේෂා අර වසවර්තියා ඉන්නවානෙ..."

"කවුද අයියද..?"

"ඔවු අර ඉන්නෙ..."
පැතුම් ඉරේෂාට දැඩි සත්කාර ඒකකය අසල ඇති බංකුව පෙන්වූයේය.

"අයියෝ දැන් මොකද කරන්නෙ? අනේ ගිම්හාන ඔයා නම් යන්න එපා. අහුඋනොතින් මරයි..."

"පොඩ්ඩක් කලබල නොවී ඉන්නකො. මම ඉක්මනට එන්නම්...මචං උඹ මාමාට කෝල් එකක් දීලා කියපං අපි ඇවිත් ඉන්නෙ කියලා.."
පැතුම් වාට්ටු තිබූ  පැත්තට යන්නට ගියේය. 

"කොහෙද ඔයා යන්නෙ..?"

"ඉන්න මම ඉක්මනට එන්නම්..."

"අනේ මන්දා. පුදුම කරුමයක් තමයි මේක. මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන හැටි. ඒකත් මේ ගෑණු ළමයෙක් එක්ක. ඇයි එයාලාගෙ තාත්තට පොඩ්ඩක් කල්පනා කරන්න බැරි. නාදුනන මනුස්සයෙක් එක්ක යවනවද වෙන රටකට ඔහොම බලහත්කාරෙන්..."

ඉරේෂාගේ කටහඩද වෙනස්වී ඇත. ඇය චාපාට හැමදාමත් සහෝදරියක් වූවාය.

"අන්න අයෝධ්‍යා ඉන්නවා. ඔය දෙන්නා ඔතනම ඉන්න, මම නංගිට කතා කරලා එන්නම්.."
ඉරේෂා චාපාගේ නංගිව දැක විදුලි සෝපානය දෙසට ගියාය.

"මොකක්ද දැන් අපි කරන්නෙ කල්ප..?"
මම කල්පගෙන් ඇසුවේය.

"මම මාමාට කතා කලා. මිනිහා තව ටිකකින් එනවා කිව්වා. අපි බලමු පැතුම් එනකන්. ඌ මොකක් හරි කරන්න තමයි ගියේ.."

"අයියේ..."
චාපාගේ නංගී කතා කලේ අඩාගෙනමය.

"මොකක්ද අයියේ අපේ අක්කට මේ උනේ..?"

"අඩන්න එපා නංගි. අක්කට මුකුත් වෙන්නෑ. බය වෙන්න එපා. අක්කා ගොඩක් හොද කෙනෙක්. එයා දිහා දෙයියෙ බලයි.."

"පවු එයා. පොඩි කාලෙ ඉදන් සතුටක් තිබ්බෙ නැහැ. ඒත් ඔයා නිසා හරිම සතුටින් හිටියෙ. අනේ මගෙ අක්කා..."
අයෝධ්‍යා ඉරේෂාගේ උරහිසේ එල්ලී හඩන්නට ගත්තාය.

"අඩන්නෙපා චූටි. දැන් අපි අක්කව සනීප කරගන්න විදිහක් බලමු. අඩලා මුකුත් කරන්න බෑනේ. අපි ඔක්කොම දුකින් තමයි ඉන්නෙ.."
ඉරේෂා ඇයගේ හිස අත ගෑවාය.

"මචං හරි..."
පැතුම් අප අසලට ආවේ මුහුණේ සිනහවක්ද සමගිනි.

"කොහෙද උඹ ගියේ..?"

"මම නර්ස් කෙනෙක් හම්බවෙන්න ගියේ. අපේ අම්මා ඇඩ්මිට් වෙලා ඉන්න වෙලාවෙ ගොඩක් උදව් කරපු කෙනෙක්..."

"යකෝ මේක නර්ස්ලාගෙ දුක සැප බලන්න යන වෙලාවක්ද? පිස්සුද තොට..?"
කල්ප පැතුම්ට බැණවැදුනේය.

"ඉදපංකො රිලවා වගේ පනින්නැතුව කියලා ඉවරවෙනකං. මම ඒ නර්ස්ට විස්තරේ සේරම කිව්වා. එයා තව ටිකකින් ඇවිත් චාපාගෙ අයිය එක්කගෙන යයි ඩොකියුමන්ට් වගේකට සයින් කරන්න කියලා. එයා කිව්වා උපරිම විනාඩි දහයයි රස්තයාදු කරන්න පුළුවන් ඊට වඩා බෑ, එයාගෙ රස්සාවත් නැතිවෙයි කියලා..."

"උඹ පුදුම පොරක්නෙ..."
කල්පගෙ මුහුනේද සිනහවක් ඇදුණි.

"මාමාට කිව්වද උඹ..?"

"ඔවු දැන් එනවා කිව්වා.."

"නංගි ඇයි තාත්තා පේන්න නැත්තේ..?"
පැතුම් අයෝධ්‍යා දෙස බලා ඇසුවේය.

"තාත්තා ගෙදර ගියා දැන් පැය බාගෙකට විතර කලින්, ෂොප් එකේ යතුරු ටික මැනේජර් අංකල්ට දීලා එන්න කියලා.."

"ඒකියන්නෙ මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් ෂොප් එක අද අරිනවද..?"

අයෝධ්‍යා දිග හුස්මක් පිටකරමින් ඉවත බලාගත්තේ අසරණ ලෙසය.

"හරි, දැන් ඕවා කතා කරලා තේරුමක් නැහැ, අපි අපේ කෙල්ල ගැන බලමු. ඉරේෂා.. ඔයාටයි නංගිටයිත් කරන්න වැඩක් තියෙනවා..
නංගි, අම්මා කාලාද ඉන්නෙ..?"


"නැහැ අයියෙ, උදේ ඉදන් වතුර උගුරක්වත් නැතුවයි ඔය අඩ අඩ ඉන්නෙ. කන්න ගෙනත් දුන්නා දෙතුන් සැරයක් ඒත් එපා කිව්වා.."

"අනේ පවු දෙයියනේ..."
මට ඇය ඇතිවූයේ දුකකි. ඇයවත් නොමැතිවූවානම් චාපාට කිසිදු රැකවරණයක් නැත.

"එහෙනම් ඔය දෙන්නා අයියා ගියාට පස්සෙ අම්මා ළඟට ගිහින් කොහොම හරි කන්න එක්ක යන්න. මොනවම හරි කියලා. අපිට කෝක කරන්න තියෙන්නෙත් විනාඩි දහයියි..."

මගේ හිතේ ඇති බිය එන්න එන්නම වැඩිවන්නට විය. ඇය ඉන්නේ සාමාන්‍ය වාට්ටුවක නම් හිත හදාගන්නට තිබුණි. ඒත් ඇය ඉන්නේ දැඩි සත්තාර ඒකකයේය.

"ගිම්හාන උඹේ අතේ තමයි මචං සේරම තියෙන්නෙ තේරුණාද? උඹට චාපාව බලන්න පුළුවන් විනාඩි දහයයි කියන එක ඔළුවෙ තියාගෙන ඇතුලට පලයන්. අපි දන්නවා උඹට දුකයි කියලා. ඒත් ඊට වඩා එක විනාඩියක්වත් ගන්න එපා. එහෙම උනොත් වෙන්නෙ මෙතන ලොකු ප‍්‍රශ්නයක් ඇතිවෙනවා විතරක් නෙවෙයි. මිනිස්සු දෙතුන් දෙනෙක්ගෙ රස්සාවලුත් නැතිවෙන එක. තේරුණාද උඹට..?"

"අපි හැමෝම මේ ජීවිතේටවත් නොකරපු දේවල් කරන්නෙ උඹ හොද එකා නිසයි උඹ චාපාට ඇත්තටම ආදරෙයි කියලා හොදාකාරවම දන්න නිසයි. ඒ නිසා අපිවත් බේරගෙන වැඩ කරන එක උඹේ යුතුකම..."

"මට තේරෙනවා මචං. උඹලා නැත්තම් මට අද චාපාව එක විනාඩියකටවත් දකින්න ලැබෙන්නෑ..."

"මේ.. කෝ බං උඹේ මාමා? සේරම ලස්සනට ප්ලෑන් කරලා අන්තිමට මිනිහා වැඬේ නායි වගේ..."
පැතුම් කීවේ කල්පටය. 

"ඉදහන් මම ගිහින් බලන්නම්..."

"පුතා..."
කල්ප යන්නට හදද්දීම දොස්තර කෙනෙක් පසුපස සිට කතා කලේය.

"කාවද දැන් ඇතුලට එක්ක යන්න ඕනෙ..?"

"මෙයාව මාමෙ.. ගිම්හාන මේ මගේ මාමා. මාමේ මේ ගිම්හාන.. මගේ අතිජාත මිත‍්‍රයා.."
කල්ප සිනාවී මාව හදුන්වා දුන්නද ඔහුගේ මුහුණේ සිනහවක සේයාවක් වත් නොමැත. 

"මම මේක මෙයාගෙ බලකිරීමට කරනවා මිසක් පුළුවන් කමකට කරනවා නෙවෙයි තේරුණාද? මේවා අපිට අනවශ්‍ය ප‍්‍රශ්න ඇතිවෙන වැඩ.."

"හරි හරි මාමේ, මම මේ උදව්වක් ඉල්ලුවාමනෙ.."

"ආයෙ උදව් නොයිලුවාට කමක් නෑ... යන කෙනා එන්න..."
ඒසේ කියමින් ඔහු දැඩි සත්කාර ඒකකට දෙසට ඇවිද ගියේය.

"අයියේ, අන්න අපේ අයියව අර නර්ස් එක්ක ගියා..."
අයෝධ්‍යා වාට්ටුව දෙසින් ඇවිද යන ඇයගේ අයියා පෙන්වූවාය.

"හරි දැන් තමයි ඔය දෙන්නගෙ වෙලාව. පුළුවන් ඉක්මනට අම්මාවත් එතනින් එක්ක යන්න. නංගි ඔයා අම්මට කියන්න එයා එනකන් එතන ඉන්නම් කියලා. ඉක්මන් කරන්න..."

පැතුම් ඉරේෂාවත් අයෝධ්‍යාවත් පිටත් කර හැරියේය. ඇත්තෙන්ම මෙය බරපතල වැඩකි. සියලු දෙනාම මේ අවධානම ගන්නේ එක විනාඩි දහයටක මට ඇයව බලා ගැනීමටය.

"මචං උඹත් ඔහොම්මම පලයං. වදින්නම්, මෙච්චර වෙලා කිව්ව දේවල් මතක තියාගනින්.. කල්ප උඹත් මූ එක්ක පලයං. මම මෙතන ඉන්නම්. එළියෙ අවුලක් වෙයිද කියන්න බැහැනෙ.."

"උඹලට පිං මචං..."

"පිං දීපං ඇවිත්.. ඉක්මනට පලයං..."

හදවත වේගයෙන් ගැහෙද්දී මම දැඩි සත්කාර ඒකකයේ දොර ඇරියේය.


(චාපා අවසාන කොටස සමගින් හමුවෙමු...)
- නිරෝෂ් මෛති‍්‍ර -
- 2004 -




කියවන්න

Thursday, August 1, 2013

චාපා 28



   සුවදා පාන්දර එකවරම ඇහැරුනේ දාඩිය දමා ඉවසන්නටම බැරි වූ නිසාය. කුමන හෝ හේතුවකින් විදුලි පංකාවද රාති‍්‍රයේ අකි‍්‍රයවී ඇත. ඊයේ රැයේද චාපාව සිහිනෙන් දුටුබව මතකය. 'අනේ මාව බේරගන්න' කියා කෑගසමින් ඇය හඩා වැටුනාය. එය සියල්ල පැටලී ඇති අගක් මුලක් නැති විකාර සිහිනයක් බැවින් ඒ ගැන තවත් සිතීමෙන් පලක් නැත. විදුලි පංකාව නිවී ඇති නිසා දාඩිය දැමීමෙන් විකාර සිහින පෙනෙන්නටද ඇත. නමුත් හිතට දැනෙන්නේම අමුත්තකි. ඇදෙන් නැගිට ගොස් හිතේ කේඩෑරි ගතිය යන්නටත් එක්ක පාන්දරම නෑවේය.
අද සෙනසුරාදා නොවුවානම් පාසලේදි ඉරේෂාව හමුවී චාපා ගැන විස්තර ටිකක් දැනගන්නට තිබුණි. යළිත් රැයේදුටු සිහිනය සිහිපත් විය. මාව බේරාගන්නට යැයි කිය කියා ඇය පසුපසට ඇදී ගියාය. ඇතැම්විට එවැනි සිහිනයක් දුටුවේ ඊයේ දුරකථන ඇමතුම ගැන උවමනාවටත් වඩා කල්පනා කළ නිසාද වන්නට ඇත. 
නෑමෙන් පසු හිතට දැනුනේ ප‍්‍රබෝධයකි. කරදර දවස් ගණනාවක් පසුකල නිසා පාඩම් වැඩද මඟ හැරී තිබුනේය. මම ආර්ථික විද්‍යා පොතද රැගෙන බැල්කනියට ආවේය. පොත බලන්නට ගත්වනමද සිහිවූයේ චාපාවය. ආර්ථික විද්‍යා පොත ඇය මට උපන්දිනයට දුන් තෑග්ගයි. ඇය හැම අතින්ම මගේ ජීවිතයට හොදක් මිස කෙදිනකවත් වරදක් කර නැති අපූරු යුවතියක් නේදැයි සිතෙද්දී හිතට ඇතිවන්නේ පුදුමාකාර සතුටකි.

"පුතා අන්න පැතුම්ගෙන් කෝල් එකක්.. හදිස්සියක්ලු.."

අම්මා පඩිපෙළ ළඟ සිට අඩගැසුවාය. පැතුම් සාමාන්‍යයෙන් උදෑසන ඇමතුම් දෙන්නේ නැත. මන්ද මම පාඩම් කරන වෙලාව බව ඔහු හොදින්ම දන්නා නිසාය. 

"ඔවු බං.. මොකෝ මේ උදේම..?"
පැතුම් කතාකරන්නට මොහොතක් ගත්තේය.

"ගිම්හාන උඹ පාඩම් කරනවා නේද?"

"ඔවු මචං. ඒකට කමක් නැහැ කියපං.. මොකක්ද හදිස්සිය..."

"අදට ඕක පොඩ්ඩක් නවත්තලා ඉක්මනටම අපේ ගෙදරට වරෙන්..."
පැතුම්ගේ හඩ අද ඉතාමත් සංසුන්ය.

"මොකද මේ එක පාර..?"

"වරෙන්කො පුළුවන් ඉක්මනට.. මං තිබ්බා.."

පැතුම්ගේ හඬේ වෙනදා මෙන් සතුටක් නැත. මොකක් නමුත් හදිස්සියක් වන්නට ඇත. පැතුම් හා කල්ප මට කර ඇති උදව්වලට මට ඔවුන් වෙනුවෙන් කල නොහැකි දෙයක් නැත. මම ඉක්මනින් ලෑස්තිවී අම්මාටත් කියා පාරට බැස්සේය. එනගමන් පැතුම් සමග පාසල අසලට ගොස් ඉරේෂා හමුවී චාපා ගැනද දැනගත හැකිය.
පැතුම්ගේ නිවසට එන විටම කල්පද එහි සිටිනු දැක මා පුදුව වූයේය.

"මූත් මෙහෙද? ඇයි මේ හදිස්සියේ ඉස්කෝලෙටවත් යන්නද සුදු ඇදන් ඉන්නෙ..?"

"ගිම්හාන ගෙට එන්නකො..."
වෙනදා දගකාර කටවල් අද වැසී ඇති නිසා මට දැනුනේ අමුත්තකි.

"මොකද බං මේ තොපි දෙන්නට වෙලා තියෙන්නෙ? ඇයි කරදරයක් වත්ද? වෙනදට මමනෙ අඩුවෙන් කතා කරන්නෙ..."
මට හිනහා ගියේය.

"හරි.. හරි..ඒකට කමක් නෑ ඇයි මේ හදිස්සියේ එන්න කිව්වෙ..?"

"ගිම්හාන, පොඩි කරදරයක් වෙලා මචං. හැබැයි මේක අහලා උඹ කලබල වෙන්න එපා..."
කල්ප පැමිණ මගේ කරෙන් අතක් දාගත්තේය.

"මම මොකටද බං කලබල වෙන්නෙ. කියපංකො මොකද මෙතන වෙලා තියෙන්නෙ කියල?"

"පැතුම් උඹම කියපං..."

"දෙන්නගෙන් මොකෙක් හරි කියපංකො ඇඹරෙන්නෙ නැතුව.."

"ගිම්හාන..."
පැතුම් මා දෙස බලාසිටියේ අනුකම්පා සහගතවය. මට මේ හැසිරීම් හරිම අමුතුය.

"මචං චාපා.."
මාව ඉබේම නැගිට්ටුණි.

"ඇයි චාපාට මොකද..?"

"ඔය ඉතිං කලබල වෙනවානෙ.."

"කලබල වෙන්න හරි, නොවෙන්න හරි කියපං චාපාට මොකද..?"

"මචං චාපා හොස්පිට්ල් එකේ.."

"මොකක්..?"

"ඔවු මචං ICU එකේ. බේරගන්න අමාරුයි කියලාලු කියන්නෙ.."
මම කල්පට කම්මුල් පහරක් ගැසුවේය.

"ජරා විහිළු කරන්න එපා යකෝ. උඹලට විහිළු කරන්න ඕනෙ නම් වෙන එකෙක් අල්ල ගනින් චාපාව නැතුව. තොපි අනිත් උන්ට දෙන බයිට් මම දන්නෙම නෑනෙ...."
මාව වෙව්ලන්නට ගත්තේය.

"දවස් ගානකට පස්සෙ පොතක් අතට ගත්තා විතරයි මේකටද කෝල් කරලා ගෙන්න ගත්තෙ? 
මදැයි මමත් යාළුවෙක්ට කරදරයක් කියලා දුවන් ආවා..."

මට පුදුමතරම් තරහක් අවේය. කල්පත් චාමරත් ඇස් රතුවෙන විහිළු පාසැලේදි ඕනෑ තරම් කර ඇත. කල්ප තවමත් කම්මුල අල්ලාගත් ගමන්මය.

"සොරි මචං.. උඹට උනත් තද වෙනවනෙ බං එහෙම විහිළු කරද්දි. දන්නවනෙ මම චාපාට මුකුත් කියනවාට කැමති නැහැ කියලා..."

මම කල්පගේ කරෙන් අතක් දාගෙන කීවෙමි. කල්පගේ ඇස්වලින් කදුළු එමින් තිබුණි.

"මං කොහොමද බං උඹට තේරුම් කරන්නෙ..?"

"ගිම්හාන, කල්ප විහිළුවක් නෙවෙයි බං කලේ.. ඌ කිව්වෙ ඇත්ත.."

"දැන් ඇති පැතුම් හොදද..?"
පැතුම් පුටුවෙන් නැගිට්ටේය.

"යකෝ උඹ හිතුවද ගෙදර පාඩම් කරන එකාව ගෙන්නලා චාපා ඉස්පිරිතාලෙ කියලා කියන්න අපිට මොලේ හොද නෑ කියලා? චාපා ඊයෙ රෑ පෙරිටන් වගයක් බීලා. රෑම ඇඩ්මිට් කරලා. උඹ විතරක් නෙවෙයි මචං අපිත් හිතුවෙම මේක බොරුවක් කියලා..."

පැතුම්ගේද ඇස්වල කදුළුය. මම කෙසේනම් මෙය විශ්වාස කරන්නද? ප‍්‍රශ්න තිබූ බව සැබෑය. නමුත් චාපාට ජීවිතය නැතිකර ගැනීමට තරම්නම් හේතුවක් තිබුනේ නැත.

"අපි මේ ලෑස්ති වෙලා හිටියෙම උඹත් එක්ක හොස්පිටල් යන්න මචං. තවත් පරක්කු නොකර යමු. ඉරේෂා තමයි මටත් උදේ කතා කරලා මේක කිව්වෙ.."

"මට තාමත් හිතාගන්න බැහැ පැතුම්.."

"අපිට උඹව තේරෙනවා මචං. අතන තියෙනවා ෆෝන් එක. ඉරේෂාට කතා කරලා අහපංකො. මොනවා උනත් අපි උඹත් එක්ක ඉන්නවා... "

මම ඉරේෂාලාගේ නිවසේ අංකයට ඇමතුමක් ගත්තේය. දුරකථනය ගත්තේ ඉරේෂාගේ අම්මා විය යුතුය.

"ආන්ටි ඉරේෂා ඉන්නවද..?"

"ඉන්නවා, කවුද කතා කරන්නෙ..?"

"මම ගිම්හාන ආන්ටි.."

"ටිකක් ඉන්න පුතේ..."
විනාඩියකට පමණ පසු ඉරේෂා දුරකථනය ගත්තේය.

"ගිම්හාන..."
ඇය කතා කලේම අඩන ගමන්ය.

"මොනවද ඉරේෂා මේ පැතුම්ලා කියන්නෙ? බොරු නේද මේ සේරම..?"

"මාත් ආසයි ගිම්හාන මේ සේරම බොරු කියලා අහන්න... ඒත් චාපාට හොදටම අමාරුයි.."

මගේ අතින් රිසීවරය අතහැරුණි. මේ සිදුවූයේ කුමක්ද? චාපා මේ කරගත්තේ කුමක්ද? මෙහෙම දෙයක් කරගැනීමට තරම් ඇයට තිබූ හේතුව කුමක්ද? මගේ ඉදිරියේ ඇති සියල්ල කැරකෙන්නට පටන්ගත්තේය.

"ගිම්හාන...."


ජීවිතයේ මඟ හැරුණා යමක් හොයා ගන්න බැරි වෙන්නම....
(චාපා 29 වන කොටස සමගින් හමුවෙමු...)
- නිරෝෂ් මෛති‍්‍ර -
- 2004 -




කියවන්න

Tuesday, July 30, 2013

චාපා 27



    සුවදා පහන්වන තුරුම රැයේ දුටු සිහිනය චාපාගේ සිතේ සක්මන් කලාය. හෙට මේ මොහොත වන විට තමන් උපන් රටේවත් නැතැයි සිතෙන විට ඇතිවෙන්නෙ කියාගත නොහැකි දුකකි. මාධවට කරදරයක් සිදුවේයැයි සිත කියයි. ඒ තමන් නිසා නේදැයි සිහිවද්දී ඇතිවන්නේ පුදුමාකාර කළකිරීමකි. විටෙක ගිම්හාන කියූ පරිද්දෙන් වෙන දෙයක් වෙන්නට ඔහුත් සමග කොහේ හෝ ගොස් ජීවත්වන්නට සිතුණි. නමුත් ලස්සන ජීවිතයක් නිස්කාරනේ නැතිකර දමන්නට නොහැක. තමන් නිසා ඔහුගේ හිතට දුන් බර ඕනෑවටත් වඩා වැඩියැයි ඇයට සිතුණි. හිසේ පැත්තක්ම දැඩීව රිදෙන්නට ගත්තේ ඊයේ බියවී ඇහැරුණ වෙලේ පටන්ය. චාපා පැනඩෝල් හතරක් පමණ එකවර බී ඇදෙහි ඇලවුණාය.
තාත්තා ඊයේ කියූ දේවල් වලින් සක්සුදක්සේ පැහැදිලිවූයේ කිසිදු හේතුවක් නිසාවත් ඔවුන්ගේ ආශිර්වාදය මත තමන්ට ගිම්හානව නොලැබෙන බවයි. ඒ වෙනුවෙන් යමක් කිරීමටවත් කාලයක් දැන් ඉතිරිව නැත. සියල්ල නිමාවීමට ඇත්තේ තව පැය විසිහතරකටත් අඩු කාලයකි. ගිම්හාන නොමැතිව හෙට දවස උදාවෙන්නේ කවරාකාරයකින්දැයි ඇය සිතුවාය. ඇයට අතීතය සිහිවී මුවගට ආදරණිය සිනහවක් ආවාය. ගිම්හානව පාසලේදි මුලින් දුටු දිනය, අහම්බෙන් ඔහුගේ හිසේ හැපුණ දිනය, විද්‍යාගාරයේදී පළමුවරට ආදෙරේයැයි කියූ දිනය, ඔහුගේ උපන්දිනය දවසේ ආදරයෙන් තමන්ගේ නළල සිපගත් දිනය ඇයට චිත‍්‍රපටයක් සේ එක දිගට සිහිවන්නට විය. හිතේ තෙරපෙන දුක කියාගන්නටවත් ගිම්හාන ළඟ හිටියානම්...
චාපා ඇදේ මුනින් හැරී කොට්ටය බදාගෙන අඩන්නට ගත්තාය. 
ජීවිතය තමන්ව මේතරමට අසරණ කර දැමුවේ ඇයිදැයි ඇයටවත් සිතාගන්නට නොහැක. තමන් පෙර ආත්මයක කාටහෝ අප‍්‍රමාණ දුකක් දෙන්නට ඇත. කිසිදු දිනක අගහිගයක් නොතිබූ පවුලක් උපතින් තමන්ට හිමිවුවද උපන්දා සිට අගහිගවූයේ හිතේ සතුට නේදැයි ඇය සිතුවාය. ගිම්හානව සිහිවන විට හිතට ඇතිවන්නේ පුදුමාකාර ලෝභකමකි. මෙලොව කිසිදු පිරිමියෙකු තමන්ට ගිම්හාන මෙන් ආදරය කරන්නේ නැති බව ඇය දැන උන්නාය. හෙටින් පසු නොදන්නා පිරිමියෙකු සමග ගෙවන ජීවිතය ගැන සිතන්නටවත් නොහැකිය.

*********************************************************

අවදිවන විට වෙලාව අටද පසුවී තිබුණි. අද පාසැල් යාමට සිතාසිටියද දැන් ප‍්‍රමාද වැඩිය. රැයේ යාන්තමට මෙන් දුටු සිහිනයක් නිසා අවදිවූ වෙලේ පටන් හිතට ඇත්තේ ගුප්ත බවකි. චාපා සුදු සල්වාර් ඇදුමකින් සැරසී මාව පන්සල් එක්ක යනවාදැයි අසමින් ඇවිද ආවාය. නමුත් මඟදී ඇය පය පැකිලී ඇදගෙන වැටුණි. කෙතරම් උත්සහ කලද ඉන්පසු දුටු දේවල් මතකයටය ආවේම නැත. 
ඇයට කරදරයක්දැයි සිතට දැනුනේ බියකි. දුරකථන ඇමතුමක් දෙන්නට සිතුවද ඇයට නැති ප‍්‍රශ්නයක් ඇතිවේයැයි සිතුණි. මේ කරදර කාලය ඉක්මනින් ඉවරවේයැයි සිත කියයි. මොනදේ සිදුවුවත් ඇයගේ නැතිවුන සිනහව නැවත ඇයට ලබාදිය හැකිනම් ඊටවඩා සතුටක් තවත් නැත. කල්පනාව බිදීගියේ දුරකථනය නාදවන හඩ ඇසීමෙනි.

"හෙලෝ ගුඩ් මෝර්නින්..."

"ගිම්හාන මේ.. මම..."

"සුදූ.. හරිම පුදුමයි... මම මේ දැනුත් ඔයාට කතාකරන්න විදියක් කල්පනා කර කර හිටියෙ. මම ඊයේ රෑ මහ විකාර හීනයක් දැක්කා. ඔයා සනීපෙන් නේද සුදූ...පාළුයිද...?"

ඇය කතා කලේ නැත. නමුත් ඇය හොරෙන් ඉකි ගසනවා මට හොදින්ම ඇසුණි.

"සුදූ.. ඇයි කතා කරන්නෙ නැත්තෙ? ඔයා අඩනවා නේද?"

"නැහැ රත්තරං, නැහැ..."

"කවදා ඉදන්ද මට බොරු කියන්න පටන් ගත්තෙ?"

අදින් පස්සෙ බොරුවක්වත් කියන්න මම නැහැ ගිම්හාන කියන්නට සිතුණි. ඒත් මේ සිදුවන දේවල් කියා ඔහුව කෙසේ අවුල්කර දමන්නද...

"තාත්තා ආයෙම මුකුත් කිව්වද..?"

"අපි ඕවා කතා නොකර ඉමු ගිම්හාන..."
ඇය අද හරිම අමුතුය. කතාකරන විදිය සම්පූර්ණයෙන්ම වෙනස්ය.

"ගිම්හාන..."

"කියන්න සුදූ..."

"ඔයාගේ මෝඩි මෝඩ වැඩක් කලොත් මට සමාව දෙනවා නේද...?"

"මොනාද ඔයා අද කතා කරන දේවල්? හරිම වෙනස් ඔයා..."

"මට ඕනෙ ඔය කකුල් දෙක අල්ලලා මූණ ඉඹලා සමාව ගන්න. ඒත්...."

"ඔයා මොනවා කලාටද මගෙන් සමාව ගන්නෙ? ඔය පිස්සු කතාව දැන් නවත්තගන්න. මටත් ඔයාව බලන්න ඕනෙ... හරි බයයි මට ඔයා ගැන. හරිම ආදරෙයි මං ඔයාට.."

"ඇති ගිම්හාන..."

සිදුවී ඇති කිසිවක් නොදැන ගිම්හාන තවත් ආදරයෙන් කතා කිරීම චාපාට දරාගැනීමට නොහැකිවූවාය. වෙන්නට යන දේවල් ගිම්හාන දන්නවානම්...

"චාපා මොනවද ඇති කියන්නෙ..?"

"ඇති කියන්නෙ මට ආදරේ කලා ඇති කියලා..."

ඇය රිසීවරය තැබුවාය. මට පුදුම සිතුණි. ඇය මේ තරම් සැරෙන් මට කතා කලාමය. පොඩි වචනයකටත් දෙතුන් පාරක් සමාව ඉල්ලන ඇය අද නොකියාම දුරකථනයද විසන්ධි කලාය. වැරැද්දක් නොකරම සමාවද ඉල්ලුවාය. මට නොකියන යමක් චාපාගේ නිවසේ සිදුව ඇති බවනම් පැහැදිළිය. 



(චාපා 28 වන කොටස සමගින් හමුවෙමු...)
- නිරෝෂ් මෛති‍්‍ර -
- 2004 -



කියවන්න