Social Icons

Thursday, August 1, 2013

චාපා 28



   සුවදා පාන්දර එකවරම ඇහැරුනේ දාඩිය දමා ඉවසන්නටම බැරි වූ නිසාය. කුමන හෝ හේතුවකින් විදුලි පංකාවද රාති‍්‍රයේ අකි‍්‍රයවී ඇත. ඊයේ රැයේද චාපාව සිහිනෙන් දුටුබව මතකය. 'අනේ මාව බේරගන්න' කියා කෑගසමින් ඇය හඩා වැටුනාය. එය සියල්ල පැටලී ඇති අගක් මුලක් නැති විකාර සිහිනයක් බැවින් ඒ ගැන තවත් සිතීමෙන් පලක් නැත. විදුලි පංකාව නිවී ඇති නිසා දාඩිය දැමීමෙන් විකාර සිහින පෙනෙන්නටද ඇත. නමුත් හිතට දැනෙන්නේම අමුත්තකි. ඇදෙන් නැගිට ගොස් හිතේ කේඩෑරි ගතිය යන්නටත් එක්ක පාන්දරම නෑවේය.
අද සෙනසුරාදා නොවුවානම් පාසලේදි ඉරේෂාව හමුවී චාපා ගැන විස්තර ටිකක් දැනගන්නට තිබුණි. යළිත් රැයේදුටු සිහිනය සිහිපත් විය. මාව බේරාගන්නට යැයි කිය කියා ඇය පසුපසට ඇදී ගියාය. ඇතැම්විට එවැනි සිහිනයක් දුටුවේ ඊයේ දුරකථන ඇමතුම ගැන උවමනාවටත් වඩා කල්පනා කළ නිසාද වන්නට ඇත. 
නෑමෙන් පසු හිතට දැනුනේ ප‍්‍රබෝධයකි. කරදර දවස් ගණනාවක් පසුකල නිසා පාඩම් වැඩද මඟ හැරී තිබුනේය. මම ආර්ථික විද්‍යා පොතද රැගෙන බැල්කනියට ආවේය. පොත බලන්නට ගත්වනමද සිහිවූයේ චාපාවය. ආර්ථික විද්‍යා පොත ඇය මට උපන්දිනයට දුන් තෑග්ගයි. ඇය හැම අතින්ම මගේ ජීවිතයට හොදක් මිස කෙදිනකවත් වරදක් කර නැති අපූරු යුවතියක් නේදැයි සිතෙද්දී හිතට ඇතිවන්නේ පුදුමාකාර සතුටකි.

"පුතා අන්න පැතුම්ගෙන් කෝල් එකක්.. හදිස්සියක්ලු.."

අම්මා පඩිපෙළ ළඟ සිට අඩගැසුවාය. පැතුම් සාමාන්‍යයෙන් උදෑසන ඇමතුම් දෙන්නේ නැත. මන්ද මම පාඩම් කරන වෙලාව බව ඔහු හොදින්ම දන්නා නිසාය. 

"ඔවු බං.. මොකෝ මේ උදේම..?"
පැතුම් කතාකරන්නට මොහොතක් ගත්තේය.

"ගිම්හාන උඹ පාඩම් කරනවා නේද?"

"ඔවු මචං. ඒකට කමක් නැහැ කියපං.. මොකක්ද හදිස්සිය..."

"අදට ඕක පොඩ්ඩක් නවත්තලා ඉක්මනටම අපේ ගෙදරට වරෙන්..."
පැතුම්ගේ හඩ අද ඉතාමත් සංසුන්ය.

"මොකද මේ එක පාර..?"

"වරෙන්කො පුළුවන් ඉක්මනට.. මං තිබ්බා.."

පැතුම්ගේ හඬේ වෙනදා මෙන් සතුටක් නැත. මොකක් නමුත් හදිස්සියක් වන්නට ඇත. පැතුම් හා කල්ප මට කර ඇති උදව්වලට මට ඔවුන් වෙනුවෙන් කල නොහැකි දෙයක් නැත. මම ඉක්මනින් ලෑස්තිවී අම්මාටත් කියා පාරට බැස්සේය. එනගමන් පැතුම් සමග පාසල අසලට ගොස් ඉරේෂා හමුවී චාපා ගැනද දැනගත හැකිය.
පැතුම්ගේ නිවසට එන විටම කල්පද එහි සිටිනු දැක මා පුදුව වූයේය.

"මූත් මෙහෙද? ඇයි මේ හදිස්සියේ ඉස්කෝලෙටවත් යන්නද සුදු ඇදන් ඉන්නෙ..?"

"ගිම්හාන ගෙට එන්නකො..."
වෙනදා දගකාර කටවල් අද වැසී ඇති නිසා මට දැනුනේ අමුත්තකි.

"මොකද බං මේ තොපි දෙන්නට වෙලා තියෙන්නෙ? ඇයි කරදරයක් වත්ද? වෙනදට මමනෙ අඩුවෙන් කතා කරන්නෙ..."
මට හිනහා ගියේය.

"හරි.. හරි..ඒකට කමක් නෑ ඇයි මේ හදිස්සියේ එන්න කිව්වෙ..?"

"ගිම්හාන, පොඩි කරදරයක් වෙලා මචං. හැබැයි මේක අහලා උඹ කලබල වෙන්න එපා..."
කල්ප පැමිණ මගේ කරෙන් අතක් දාගත්තේය.

"මම මොකටද බං කලබල වෙන්නෙ. කියපංකො මොකද මෙතන වෙලා තියෙන්නෙ කියල?"

"පැතුම් උඹම කියපං..."

"දෙන්නගෙන් මොකෙක් හරි කියපංකො ඇඹරෙන්නෙ නැතුව.."

"ගිම්හාන..."
පැතුම් මා දෙස බලාසිටියේ අනුකම්පා සහගතවය. මට මේ හැසිරීම් හරිම අමුතුය.

"මචං චාපා.."
මාව ඉබේම නැගිට්ටුණි.

"ඇයි චාපාට මොකද..?"

"ඔය ඉතිං කලබල වෙනවානෙ.."

"කලබල වෙන්න හරි, නොවෙන්න හරි කියපං චාපාට මොකද..?"

"මචං චාපා හොස්පිට්ල් එකේ.."

"මොකක්..?"

"ඔවු මචං ICU එකේ. බේරගන්න අමාරුයි කියලාලු කියන්නෙ.."
මම කල්පට කම්මුල් පහරක් ගැසුවේය.

"ජරා විහිළු කරන්න එපා යකෝ. උඹලට විහිළු කරන්න ඕනෙ නම් වෙන එකෙක් අල්ල ගනින් චාපාව නැතුව. තොපි අනිත් උන්ට දෙන බයිට් මම දන්නෙම නෑනෙ...."
මාව වෙව්ලන්නට ගත්තේය.

"දවස් ගානකට පස්සෙ පොතක් අතට ගත්තා විතරයි මේකටද කෝල් කරලා ගෙන්න ගත්තෙ? 
මදැයි මමත් යාළුවෙක්ට කරදරයක් කියලා දුවන් ආවා..."

මට පුදුමතරම් තරහක් අවේය. කල්පත් චාමරත් ඇස් රතුවෙන විහිළු පාසැලේදි ඕනෑ තරම් කර ඇත. කල්ප තවමත් කම්මුල අල්ලාගත් ගමන්මය.

"සොරි මචං.. උඹට උනත් තද වෙනවනෙ බං එහෙම විහිළු කරද්දි. දන්නවනෙ මම චාපාට මුකුත් කියනවාට කැමති නැහැ කියලා..."

මම කල්පගේ කරෙන් අතක් දාගෙන කීවෙමි. කල්පගේ ඇස්වලින් කදුළු එමින් තිබුණි.

"මං කොහොමද බං උඹට තේරුම් කරන්නෙ..?"

"ගිම්හාන, කල්ප විහිළුවක් නෙවෙයි බං කලේ.. ඌ කිව්වෙ ඇත්ත.."

"දැන් ඇති පැතුම් හොදද..?"
පැතුම් පුටුවෙන් නැගිට්ටේය.

"යකෝ උඹ හිතුවද ගෙදර පාඩම් කරන එකාව ගෙන්නලා චාපා ඉස්පිරිතාලෙ කියලා කියන්න අපිට මොලේ හොද නෑ කියලා? චාපා ඊයෙ රෑ පෙරිටන් වගයක් බීලා. රෑම ඇඩ්මිට් කරලා. උඹ විතරක් නෙවෙයි මචං අපිත් හිතුවෙම මේක බොරුවක් කියලා..."

පැතුම්ගේද ඇස්වල කදුළුය. මම කෙසේනම් මෙය විශ්වාස කරන්නද? ප‍්‍රශ්න තිබූ බව සැබෑය. නමුත් චාපාට ජීවිතය නැතිකර ගැනීමට තරම්නම් හේතුවක් තිබුනේ නැත.

"අපි මේ ලෑස්ති වෙලා හිටියෙම උඹත් එක්ක හොස්පිටල් යන්න මචං. තවත් පරක්කු නොකර යමු. ඉරේෂා තමයි මටත් උදේ කතා කරලා මේක කිව්වෙ.."

"මට තාමත් හිතාගන්න බැහැ පැතුම්.."

"අපිට උඹව තේරෙනවා මචං. අතන තියෙනවා ෆෝන් එක. ඉරේෂාට කතා කරලා අහපංකො. මොනවා උනත් අපි උඹත් එක්ක ඉන්නවා... "

මම ඉරේෂාලාගේ නිවසේ අංකයට ඇමතුමක් ගත්තේය. දුරකථනය ගත්තේ ඉරේෂාගේ අම්මා විය යුතුය.

"ආන්ටි ඉරේෂා ඉන්නවද..?"

"ඉන්නවා, කවුද කතා කරන්නෙ..?"

"මම ගිම්හාන ආන්ටි.."

"ටිකක් ඉන්න පුතේ..."
විනාඩියකට පමණ පසු ඉරේෂා දුරකථනය ගත්තේය.

"ගිම්හාන..."
ඇය කතා කලේම අඩන ගමන්ය.

"මොනවද ඉරේෂා මේ පැතුම්ලා කියන්නෙ? බොරු නේද මේ සේරම..?"

"මාත් ආසයි ගිම්හාන මේ සේරම බොරු කියලා අහන්න... ඒත් චාපාට හොදටම අමාරුයි.."

මගේ අතින් රිසීවරය අතහැරුණි. මේ සිදුවූයේ කුමක්ද? චාපා මේ කරගත්තේ කුමක්ද? මෙහෙම දෙයක් කරගැනීමට තරම් ඇයට තිබූ හේතුව කුමක්ද? මගේ ඉදිරියේ ඇති සියල්ල කැරකෙන්නට පටන්ගත්තේය.

"ගිම්හාන...."


ජීවිතයේ මඟ හැරුණා යමක් හොයා ගන්න බැරි වෙන්නම....
(චාපා 29 වන කොටස සමගින් හමුවෙමු...)
- නිරෝෂ් මෛති‍්‍ර -
- 2004 -




No comments:

Post a Comment

 

Sample text

Sample Text