Social Icons

Tuesday, July 30, 2013

චාපා 27



    සුවදා පහන්වන තුරුම රැයේ දුටු සිහිනය චාපාගේ සිතේ සක්මන් කලාය. හෙට මේ මොහොත වන විට තමන් උපන් රටේවත් නැතැයි සිතෙන විට ඇතිවෙන්නෙ කියාගත නොහැකි දුකකි. ගිම්හානට කරදරයක් සිදුවේයැයි සිත කියයි. ඒ තමන් නිසා නේදැයි සිහිවද්දී ඇතිවන්නේ පුදුමාකාර කළකිරීමකි. විටෙක ගිම්හාන කියූ පරිද්දෙන් වෙන දෙයක් වෙන්නට ඔහුත් සමග කොහේ හෝ ගොස් ජීවත්වන්නට සිතුණි. නමුත් ලස්සන ජීවිතයක් නිස්කාරනේ නැතිකර දමන්නට නොහැක. තමන් නිසා ඔහුගේ හිතට දුන් බර ඕනෑවටත් වඩා වැඩියැයි ඇයට සිතුණි. හිසේ පැත්තක්ම දැඩීව රිදෙන්නට ගත්තේ ඊයේ බියවී ඇහැරුණ වෙලේ පටන්ය. චාපා පැනඩෝල් හතරක් පමණ එකවර බී ඇදෙහි ඇලවුණාය.
තාත්තා ඊයේ කියූ දේවල් වලින් සක්සුදක්සේ පැහැදිලිවූයේ කිසිදු හේතුවක් නිසාවත් ඔවුන්ගේ ආශිර්වාදය මත තමන්ට ගිම්හානව නොලැබෙන බවයි. ඒ වෙනුවෙන් යමක් කිරීමටවත් කාලයක් දැන් ඉතිරිව නැත. සියල්ල නිමාවීමට ඇත්තේ තව පැය විසිහතරකටත් අඩු කාලයකි. ගිම්හාන නොමැතිව හෙට දවස උදාවෙන්නේ කවරාකාරයකින්දැයි ඇය සිතුවාය. ඇයට අතීතය සිහිවී මුවගට ආදරණිය සිනහවක් ආවාය. ගිම්හානව පාසලේදි මුලින් දුටු දිනය, අහම්බෙන් ඔහුගේ හිසේ හැපුණ දිනය, විද්‍යාගාරයේදී පළමුවරට ආදෙරේයැයි කියූ දිනය, ඔහුගේ උපන්දිනය දවසේ ආදරයෙන් තමන්ගේ නළල සිපගත් දිනය ඇයට චිත‍්‍රපටයක් සේ එක දිගට සිහිවන්නට විය. හිතේ තෙරපෙන දුක කියාගන්නටවත් ගිම්හාන ළඟ හිටියානම්...
චාපා ඇදේ මුනින් හැරී කොට්ටය බදාගෙන අඩන්නට ගත්තාය. 
ජීවිතය තමන්ව මේතරමට අසරණ කර දැමුවේ ඇයිදැයි ඇයටවත් සිතාගන්නට නොහැක. තමන් පෙර ආත්මයක කාටහෝ අප‍්‍රමාණ දුකක් දෙන්නට ඇත. කිසිදු දිනක අගහිගයක් නොතිබූ පවුලක් උපතින් තමන්ට හිමිවුවද උපන්දා සිට අගහිගවූයේ හිතේ සතුට නේදැයි ඇය සිතුවාය. ගිම්හානව සිහිවන විට හිතට ඇතිවන්නේ පුදුමාකාර ලෝභකමකි. මෙලොව කිසිදු පිරිමියෙකු තමන්ට ගිම්හාන මෙන් ආදරය කරන්නේ නැති බව ඇය දැන උන්නාය. හෙටින් පසු නොදන්නා පිරිමියෙකු සමග ගෙවන ජීවිතය ගැන සිතන්නටවත් නොහැකිය.

*********************************************************

අවදිවන විට වෙලාව අටද පසුවී තිබුණි. අද පාසැල් යාමට සිතාසිටියද දැන් ප‍්‍රමාද වැඩිය. රැයේ යාන්තමට මෙන් දුටු සිහිනයක් නිසා අවදිවූ වෙලේ පටන් හිතට ඇත්තේ ගුප්ත බවකි. චාපා සුදු සල්වාර් ඇදුමකින් සැරසී මාව පන්සල් එක්ක යනවාදැයි අසමින් ඇවිද ආවාය. නමුත් මඟදී ඇය පය පැකිලී ඇදගෙන වැටුණි. කෙතරම් උත්සහ කලද ඉන්පසු දුටු දේවල් මතකයටය ආවේම නැත. 
ඇයට කරදරයක්දැයි සිතට දැනුනේ බියකි. දුරකථන ඇමතුමක් දෙන්නට සිතුවද ඇයට නැති ප‍්‍රශ්නයක් ඇතිවේයැයි සිතුණි. මේ කරදර කාලය ඉක්මනින් ඉවරවේයැයි සිත කියයි. මොනදේ සිදුවුවත් ඇයගේ නැතිවුන සිනහව නැවත ඇයට ලබාදිය හැකිනම් ඊටවඩා සතුටක් තවත් නැත. කල්පනාව බිදීගියේ දුරකථනය නාදවන හඩ ඇසීමෙනි.

"හෙලෝ ගුඩ් මෝර්නින්..."

"ගිම්හාන මේ.. මම..."

"සුදූ.. හරිම පුදුමයි... මම මේ දැනුත් ඔයාට කතාකරන්න විදියක් කල්පනා කර කර හිටියෙ. මම ඊයේ රෑ මහ විකාර හීනයක් දැක්කා. ඔයා සනීපෙන් නේද සුදූ...පාළුයිද...?"

ඇය කතා කලේ නැත. නමුත් ඇය හොරෙන් ඉකි ගසනවා මට හොදින්ම ඇසුණි.

"සුදූ.. ඇයි කතා කරන්නෙ නැත්තෙ? ඔයා අඩනවා නේද?"

"නැහැ රත්තරං, නැහැ..."

"කවදා ඉදන්ද මට බොරු කියන්න පටන් ගත්තෙ?"

අදින් පස්සෙ බොරුවක්වත් කියන්න මම නැහැ ගිම්හාන කියන්නට සිතුණි. ඒත් මේ සිදුවන දේවල් කියා ඔහුව කෙසේ අවුල්කර දමන්නද...

"තාත්තා ආයෙම මුකුත් කිව්වද..?"

"අපි ඕවා කතා නොකර ඉමු ගිම්හාන..."
ඇය අද හරිම අමුතුය. කතාකරන විදිය සම්පූර්ණයෙන්ම වෙනස්ය.

"ගිම්හාන..."

"කියන්න සුදූ..."

"ඔයාගේ මෝඩි මෝඩ වැඩක් කලොත් මට සමාව දෙනවා නේද...?"

"මොනාද ඔයා අද කතා කරන දේවල්? හරිම වෙනස් ඔයා..."

"මට ඕනෙ ඔය කකුල් දෙක අල්ලලා මූණ ඉඹලා සමාව ගන්න. ඒත්...."

"ඔයා මොනවා කලාටද මගෙන් සමාව ගන්නෙ? ඔය පිස්සු කතාව දැන් නවත්තගන්න. මටත් ඔයාව බලන්න ඕනෙ... හරි බයයි මට ඔයා ගැන. හරිම ආදරෙයි මං ඔයාට.."

"ඇති ගිම්හාන..."

සිදුවී ඇති කිසිවක් නොදැන ගිම්හාන තවත් ආදරයෙන් කතා කිරීම චාපාට දරාගැනීමට නොහැකිවූවාය. වෙන්නට යන දේවල් ගිම්හාන දන්නවානම්...

"චාපා මොනවද ඇති කියන්නෙ..?"

"ඇති කියන්නෙ මට ආදරේ කලා ඇති කියලා..."

ඇය රිසීවරය තැබුවාය. මට පුදුම සිතුණි. ඇය මේ තරම් සැරෙන් මට කතා කලාමය. පොඩි වචනයකටත් දෙතුන් පාරක් සමාව ඉල්ලන ඇය අද නොකියාම දුරකථනයද විසන්ධි කලාය. වැරැද්දක් නොකරම සමාවද ඉල්ලුවාය. මට නොකියන යමක් චාපාගේ නිවසේ සිදුව ඇති බවනම් පැහැදිළිය. 



(චාපා 28 වන කොටස සමගින් හමුවෙමු...)
- නිරෝෂ් මෛති‍්‍ර -
- 2004 -



No comments:

Post a Comment

 

Sample text

Sample Text