Social Icons

Friday, July 5, 2013

චාපා 18



"අනේ දැන් මොකද කරන්නෙ?..."

චාපා හොදටම බියවී ඇත. ඇය මගේ බාහුව තදින් අල්ලාගෙන සිටියාය. චාපාගේ අයියා පාර පැන අප අසලට විත් මගේ මුහුණ දෙස කන්නට මෙන් බලා සිටියේය.

"උඹ පන්ති එනවා කියලා එහෙනම් මේවටයි එන්නෙ නේද?..."

"අ..යියෙ.. නැහැ අ...යි...යෙ..."

"අයියෙ අයියෙ, මඟුල් නටන්නද උඹව ගෙදරින් එවන්නෙ?.."

ඔහු පැනපු ගමන් චාපාට කම්මුල් පහරක් ගැසුවේ දෙනෝදාහක් බලාසිටියදීය. ඔහු මහපාරේ හැසිරෙන්නේ තිරිසනෙකු මෙනි. මොනවා උනත් චාපා ගැහැණු ළමයෙක් බව සිතන්නට තිබුණි. තවත් මට කතා නොකර සිටිය නොහැකිවිය.

"එයාට ගහන්න එපා අයියෙ..."

"මේ.. මේ.. උඹ කවුද යකෝ මට කතා කරන්න? තෝ මගේ නංගිට ඉගෙන ගන්න නොදී මගූලෙ එක්ක යනවද? ආ.. බල්ලො..."

ඔහු මගේ කොළරයෙන් අල්ලා මූණට පහරක් එල්ල කරනවිට මම එය වැලැක්වුයේය. තවත්නම් මටද ඉවසීමක් නොමැතිවිය.

"අයියෙ මේ තමුසෙ වැදගත් විදිහට හැසිරෙනවා. මේක පාර. මම තමුසෙගෙ නංගිව මගුලෙ එක්ක ගියේ නැහැ. ඒක නංගි දන්නවා. අපි ආශ‍්‍රය කලේ හරිම වැදගත් විදියට..."

පාරේ මිනිස්සුන්ද අප දෙස බලාගෙනය. ත‍්‍රීවීල් පාර්ක් එකේ දෙතුන් දෙනෙක් අප අසලට ආවේය.

"අම්මට හුඩු... මම දැන් උඹෙන්ද ඉගෙනගන්න ඕනෙ වැදගත් විදියට හැසිරෙන විදිහ?"

"ඇයි මල්ලි මොකක්ද ප‍්‍රශ්නෙ?.."
එතැනට පැමිණි ත‍්‍රිරෝද රියදුරෙකු ඇසුවේය.

"නෑ.. අයියෙ ප‍්‍රශ්නයක් නෑ..."

"ලොකූ වරෙන් ගෙදර යන්න..."

ඔහු චාපාවත් අතින් ඇදගෙන ගොස් වාහනයට නැගුනේය. චාපා මග දිගට හැරි හැරී මා දෙස බලමින් හැඩුවාය. ඇයට මෙන්ම මටද තවමත් හදිසියේ සිදුවූයේ කුමක්දැයි සිතාගත නොහැක. 

"ඕවා ගනන්ගන්නෙපා මල්ලි. මල්ලි ගෙදර යන්න..."

ත‍්‍රිවීල් පාර්ක් එක් කෙනෙකු එසේ කියා යන්නට ගියේය. මීට පැය කිහිපයකට පෙර අපි කෙතරම් සතුටින් සිටියාද? හිටිගමන් මේ සිදුවූයේ කුමක්ද? චාපා කියා තිබුනාක්මෙන් ඔහුගේ අයියා නාහෙට අහන්නෙ නැති කෙනෙකි. ත‍්‍රීවිල් පාර්ක් එකේ අය නාවානම් ඔහු නිකම්ම යන්නේද නැත. මට දුක චාපා ගැනය. අයියා ගෙදර ගිය පසුද ඇයට පහර දීමට ඉඩ ඇත. මගේ ඔළුව විකාරවී ගියේය. කරන්නේ කුමක්දැයි සිතාගත නොහැක.
ගෙදර පැමිනෙද්දීත් හොදටම රෑවී තිබුනේය. ගේට්ටුව ඇර  ඇතුළට එනවිට අම්මා දොරකඩට වී පාර බලාගෙන සිටියාය. මට ඇය දැක දුක සිතුණි.

"ඇයි ලොකු පුතේ පරක්කු උනේ?..."
මගේ හිතේ තිබෙන දුකට ඇයට සියල්ලම කියන්නට සිතුණි.

"බස්එක කැඩුණා අම්මෙ.. අම්මා කෑවද?..."

මම ගෙට ගොඩවෙන ගමන් ඇයගෙන් මුහුණ සගවමින් ඇසුවේ මගේ වෙනසක් ඇය දකීවියැයි බියෙනි.

"නෑ පුතා එනකං හිටියෙ. ඇග හෝදන් එන්න. මම ඉදිආප්ප හැදුවා..."

කෑමටනම් කොහෙත්ම පිරියක් නැත. නමුත් මගේ ප‍්‍රශ්න නිසා අම්මාගෙ සිත රිදවිය නොහැක. ඇය ඉදිආප්ප හදන්නේ කෙතරම් මහන්සියෙන්දැයි මම හොදින් දනිමි. එයද මම වැඩිපුරම ආශා නිසාය.
මම නානකාමරයේ ෂවර් එක ඇර වතුරට හිස අල්ලාගෙන සිටියේය. ඔළුව පැලෙන්නට තරම් කකියන්නට වූයේය. මට ඇගේ මුහුණම මතක්වෙයි. ඇය දැන් කීයටවත් රෑට කන්නේ නැත.පවු අහින්සක කෙල්ල. මේ හැම කරදරයක්ම මම නිසානේදැයි සිතුණි. අද ගමන මට නොගිහින් ඉන්නට තිබුනි. ඇය බියවූයේ මේ දේ සිදුවේයැයි කියා විය යුතුය. මට ඇය ගැන මීට වඩා සිතන්නට තිබුනා නේද? 


"මට අද රෑට නින්ද යන එකක් නැහැ..."

"ඇයි ඒ?..."

"මෝඩිගෙ වැඩ නිසා.."

ඇයට කියූ ලෙසටම මට නින්ද අහලකට වත් අවේ නැත. මම සිතා සිටියේ අද රාත‍්‍රියේම සවස අප ගෙවූ සුන්දර මොහොත මතක් කර කර ඉන්නටය. නමුත් සිදුවූයේ සිතන්නටවත් අප‍්‍රසන්න සිදුවීමක මතකයක් මනසේ සක්මන් කිරීමය. වෙලාව රාත‍්‍රි එකට පමණය. නමුත් මට මොහොතකට නින්දක් නොඑයි. පපුව ඇතුලෙන් දැනෙන්නේ දැඩි වේදනාවකි. ඉවසීමටම නොහැකි තැන වෙන දෙයක් වන්නට මම චාපාගේ නිවසට දුරකථන ඇමතුමක් ගන්නට සිතුවේය. ඇයගේ නිවසේ දුරකථනය නාද විය. නමුත් වෙන කවුරුන්හෝ දුරකථනය ගතහොත් ඇයට තවත් ප‍්‍රශ්න ඇතිවේයැයි මට සිතුණි. මම රිසීවරය තබනවිටම කවුරුන්හෝ කතා කලේය.

"හෙලෝ..."

ආවේ ගැහැණු කටහඩකි. නමුත් මම කතා නොකර සිටියේ ඇතිඋන බිය නිසාය.

"හෙලෝ කවුද කතා කරන්නෙ?..."
ඒ චාපාගේ නංගිගේ හඩයි.

"නංගි මේ ම..ම.. ගිම්හාන අයියා..."

"අයියේ ඇයි ඔයා මෙහෙට ගත්තෙ?"
ඇය කතාකලේ ඉතාමත් පහත් හඩකිනි.

"අනේ නංගි තරහ නැතුව අක්කට පොඩ්ඩක් කතා කරනවද?..."

"අයියෙ ඔයා දන්නවද දැන් වෙලාව කීයද කියලා? හොද වෙලාවට උඩ ෆෝන් එක රින්ග් උනේ නැත්තම් මෙතන තවත් යුද්ධයක්..."

"ඇයි නංගි ගෙදර මොකද උනේ?..."

"මොකද උනේ අහන්නෙ, අපේ අයියා ගෙදර ඇවිත් අක්කට හොදටම බැන බැන ගැහුවා. හොද වෙලාවට තාත්තා ගෙදර හිටියෙ නැත්තෙ. නැත්තන් මෙතන එක යුද්ධයක් වෙනවා. ආයෙ ඉස්කෝලෙ එවයිදත් මම දන්නෑ..."

මගේ පපුව පිච්චී ගියේය. ඇයට ගුටි කෑමට තරම් හයියක් නැත.

"කෝ නංගි දැං අක්කා? කෑවද එයා? නිදිද?..."

"කෑවා ගුටි. තාමත් කාමරේට වෙලා ඉකි ගගහා ඉන්නවා. අඩ අඩාත් කියවන්නෙ ඔයා ගැන...."
මට චාපාව එක මොහොතක් දකින්නට ඇත්නම්..

"අනේ ප්ලීස් නංගි එකම එක පාරන් අක්කට කතාකරන්න දෙන්න. එකම එක පාරක්..."
ඉබේම මගේ දෑසට කදුළු අවේය.

"අනේ මන්දා... පොඩ්ඩක් ඉන්න එහෙනම්..."

ඇය කල වරද මට ආදරය කිරීමද? චාපා මට ආදරෙයි කියූ මුල්ම දිනය මට සිහිවිය. ඇය එදාද බියවූ කාරණය මෙය වන්නට ඇත.

"ගි..ම්..හාන.."
ඇය කතා කලේ අඩාගෙනමය. මට දැනුන දුක කියා නිමකල නොහැකි විය.

"අඩන්නෙපා මගේ සුදූ..ඔයා අඩනවා අහන්න නෙවෙයිනෙ මේ මහ රෑ කතා කලේ... අනික ගෙදර අයත් ඇහැරෙයි..."

"අනේ ඇයි ඔයා මේ රෑ ඇහැරගෙන..."

"කොහොම නිදාගන්නද උන දේවල්වලට... අයියා හුගක් ගැහුවද?..."

"නැහැ ගිම්හාන, ඒ වෙලාවෙ ගහපු එක විතරයි..."

ඇය මේ සියල්ලම මගේ හිත හදන්නට කියන දේවල්ය.

"නංගි මට සේරම කිව්වා... මං නිසා නේද මේ සේරම උනේ?..."

"මොනාද මේ කියන්නෙ? මේවා කොහොමත් වෙන්න තිබ්බ දේවල් මහත්තයෝ... කියන්නකො මට කෑවද ඔයා?..."

අඩ අඩාද ඇය අහන්නේ මම කෑ නොකෑ එක ගැනය. මට ඇය ගැන දැනෙන ආදරය නිම්හිම් නැතිවිය.

"ඔයා කෑවද කියන්නකො?..."

"නැහැ ගිම්හාන, මට බඩගින්නක් ආවෙ නැහැ. මට හවස බය හිතුනා අයියා ඔයාට ගහයි කියලා. එහෙම උනානම් මම සහෝදරකම් අතඅරිනවා එයත් එක්ක. .."

"මොනා උනත් ඒ ඔයාගෙ අයියා චාපා, එහෙම කතා කරන්න එපා...."

"ඔයා මොනාද මහත්තයෝ එයා ගැන දන්නෙ."
නංගි හෙමින් ඇයට කතා කරනවා ඇසිණි. කවුරුන් හෝ ආවාදැයි මම බියවිය.

"ගිම්හාන මම තියන්නම්. අරයා මේකත් දැනගත්තොත් තවත් විකාරයක් නටයි මහ රෑ කියලා බලන්නෙ නැතුව. මේක හොදට මතක තියාගන්න මම මුලින්ම පිරිමියෙක්ට කියලා ආදරේ කලේ ඔයාට අන්තිමට ආදරේ කරන්නෙත් ඔයාට මොනදේ උනත් මැරෙනකන්ම ආදරේ කරන්නෙත් ඔයාට විතරයි. බුදු සරණයි රත්තරං..."

මට මුකුත් කියන්නට ඉඩක් නොතියාම දුරකථනය විසන්ධි විය. විසන්ධි වූයේ මගේ ජීවිතයැයි සිතුණි. චාපාගේ වචනයක් වචනයක් පාසා ඇත්තේ ආදරයයි. උතුරා පිටාර දමන ආදරයයි. මේතරම් ආදරයක් ලැබීමට තරම් මම වාසනාවන්ත වූයේ කෙසේදැයි මටම පුදුමය.
නමුත් හෙට සිට කුමක් කරන්නද යැයි කිසිදු පැහැදිලි අදහසක් ඔළුවට එන්නේ නැත.


ගියත් සිත තුළ සදා රැදෙනා මතකයට කියන නම,ආදරය...

(චාපා 19 වන කොටස සමගින් හමුවෙමු...)

- නිරෝෂ් මෛති‍්‍ර -
- 2004 -

 
 


No comments:

Post a Comment

 

Sample text

Sample Text