Social Icons

Thursday, July 11, 2013

චාපා 21



     අද උදේන්ම නැගිට පාසැල් යාමට සූදානම් වූයේය. කාලෙකින් පසුව පාසැල් යන නිසාත් අද චාපාවද පාසැලේදි නැවත වරක් දැකගැනීමට හැකි නිසාත් හිත අමුතු ප‍්‍රබෝධයකින් පිරී ඇත. තව අතකින් අද තීරණාත්මක දිනයකි. චාපාගේ මව සමග කතා කරන්න ලැබෙන ප‍්‍රථම මෙන්ම අවසාන අවස්ථාවද මෙය වන්නට පුළුවන. ඇය කුමක් කියූවද සාවදානව අසා සිටීමට හිත හදාගෙනම පාසැලට ආවේය. කලකට පසුව කොරිඩෝව දිගේ එනවිට සුපුරුදු රුව දැකීමෙන් මුළු හිතම පිරී ගියේය. යම් දිනක ඇය මට අහිමි වුවත් මේ මතකයන් සදාකල්ම මා රිදවනු ඇත.

"ගුඩ් මෝනින් ..."
මම ඇය අසලට එමින් කීවේය.

"ගුඩ් මෝනින් රත්තරන්..."
චාපා මුව පුරාම සිනාසෙමින් කීවාය.

"අම්මා එනවද?..."

"ඔව්, නමයාමාර විතර වෙනකොට එන්නම් කිව්වා. මම ඊයේ රෑ නිදාගත්තෙ අම්මත් එක්ක. මම රෑ  සේරම කිව්වා අම්ම එක්ක...."

"මොනාද ඔයා කිව්වෙ?.."
මම පුදුම වී ඇසීමි.

"ඔයා ගොඩක් හොදයි කිව්වා. ගොඩා...ක්ම. මට හුගාක් ආදරෙයි කිව්වා. කවුරුවත් කවදාවත් මාව ඔයා තරම් හොදට බලාගන්නෙ නැහැ කිව්වා. කොටින්ම මට ඔයා නැතුව දැන් ජීවිතයක් නැහැ කිව්වා..."
ඇය මේ සේරම අම්මාට කීවාද.

"ඉතිං අම්මා මොකද කිව්වෙ..?"

"මම හිතුවා අම්මා මට බනියි කියලා. බැන්නත් කමක් නැහැ කියලයි මම සේරම කිව්වෙ. මට තවත් මේවා හිතේ තියන් ඉන්න බැහැ ගිම්හාන. එහෙම උනොත් මට පිස්සු හැදෙයි. ඒත් අම්මා බැන්නෙ නැහැ මට. එයා දන්නවා මම හැදුන විදිය. තාත්තාට කොයිතරම් බයද කියලා. එහෙම මම මේ තරම් ඔයා මත්තෙම ඉන්නෙ මෙතන ලොකු දෙයක් තියෙනවා කියලා එයා හිතන්න ඇති..."

"ඔය සේරම අල්ලලා මට බනියිද දන්නෑ..."

"නැහැ ගිම්හාන.. අම්මා එච්චර නපුරු නැහැ..."

දහය පමණ වන විට දෙමාව්පියන් සියලුදෙනාම පාහේ ඇවිත් සිටියෝය. නමුත් චාපාගේ මව ආවේ නැත. රැස්වීම  ආරම්භවී පැය භාගයක් පමණ ගෙවුනත් තවමත් ඇය නැත. චාපා ඉරේෂා සමග පාසැල් ගේට්ටුව අසල බලාගෙන සිට බැරිම තැන එන්නට ආවේ රැස්වීමද අවසන් වූ නිසාය.

"කොහෙද ගියේ ජෝඩුව? මම හෙව්වත් එක්ක..."
ඇගේ මුහුණ මැලවී ඇත.

"අම්මා ආවෙ නැහැ ගි..ම්..හාන.."

ඇය දුක්මුසුව කීවාය. අද දිනය ගැන ඇය සිටියේ බොහෝ බලාපොරොත්තු තබාගෙනය. උදෑසන සතුටින් පිරී තිබූ මුහුණ දැන් සොයාගන්නටවත් නැත. විවේක කාලයේදී ඇය පන්තියේ කොනේම පුටුවෙ හිදගෙන පිට්ටනිය කෙලවර බලාගෙන මොනවදෝ කල්පනා කරයි. අද කුමක්හෝ හොද දෙයක් වේ යැයි ඇය සිතන්නට ඇත. 

"සුදූ..."
ඇය හෙළුවේ දුක්බර බැල්මකි.

"ඕ ඔය තරම් හිතන්න එපා දරුවො. මොකක් හරි වැඩක් නිසා අම්මට එන්න බැරි වෙන්න ඇති..."

"වෙන්න බැහැ ගිම්හාන. මම උදේ එද්දිත් අම්මාගෙන් දහ සැරයක් විතර ඇහුවා එනවා නේද කිය කියා. අම්මට නොඑන්න කිසිම හේතුවක් නැහැ. මට ලොකු බයක් දැනෙනවා..."

මම නොදන්නා යමක් ඇය දන්නවා විය හැකිය. ඒ ගෙදර කොහොමටත් ඇත්තේ අමුතු පරිසරයකි.

"සුදූ ඔයා මට මොනවා හරි හංගනවද...?"

"නැහැ..."
ඇය කීවේ ඇස් හංගාගෙනය.

"ඇයි එහෙනම් අහක බලන් කතා කරන්නෙ කවදාවත් නැතුව? ඔයා මට කියන්නැති දේවලුත් තියෙනවද දැන්? ඇයි මාව අවිස්වාසද?.."

"ඔයාව විශ්වාස නොකර මම කාව විශ්වාස කරන්නද දෙයියනේ?.."

ඇය මගේ අත අල්ලාගෙන ඩෙස්ක් එකට හිස තබා ගෙන අඩන්නට ගත්තාය. මම වටපිට බැලුවේ ගුරුවරයෙකු දුටුවහොත් ඇතිවන තත්ත්වය දන්නා නිසාය.

"සුදූ කෝ ඔළුව උස්සන්න. මෙහෙම අඩන එක හොද නෑනෙ? මොකද උනේ කියන්නකො අඩන්නෙ නැතුව..."
ඇය පහත්වී කදුළු පිසගෙන හිස එසෙව්වාය.

"මෙහෙම කතා කරන්න බැහැ ගිම්හාන. ඉස්කෝලේ ඇරුනම අපි පොඩ්ඩක් කතා කරමු..."

චාපා කුමක් හෝ හිතේ තබාගෙන විදවයි. ඇය ඕන එකටයි එපා එකටයි හැමදේටම අඩන කෙල්ලෙක් නොවේය. එබැවින් මෙතන මම නොදන්න ලොකු දෙයක් වනවා වන්නට පුළුවන. පාසැල නිමවූ පසු මම චෙස් පුහුණුකිරීම් කරන කාමරයට ගියේය. 

"ගිම්හාන පුතේ..."

"ඇයි ටීච..."

"පුතා හොද වෙලාවට ආවේ, බැංකුව වහන්න කලින් මම ඉක්මනට බැංකුවට දුවලා එන්නම්, පුතා පොඩ්ඩක් මේ පොඩ්ඩො ටික බලනවද?..."

"හා ටීච, මම බලන්නම්..."

පත්මා ටීච ගිය එකද හොදය. මටත් චාපාටත් මෙතනම කතාකල හැක. ටික වේලාවකින් චාපා පහළ පන්තියක ගැහැණු ළමුන් තිදෙනක්ද සමග පැමිණියාය. වෙනදා මෙන් ඒ  මුහුණේ සතුටක සේයාවක් නැත. මම චෙස් පුවරුවක් ගෙන ඉත්තන් පිළිවෙළට සකසමින් උන්නෙමි. ඇය මා ඉදිරියේ වාඩිවී අසරණ ලෙස මාදෙස බලා සිටියාය.

"කියන්න සුදූ... මොකද උනේ..?"
ඇයගේ දෙනෙත් නැවතත් බොදවී ගියේ බලා සිටියදීය.

"අඩන්නැතුව කියන්න දරුවො... මාත් බය වෙනවනෙ.."

"අනේ රත්තරං මේක අහලා කලබල වෙන්නම් එපා, හොදද..?"

"කලබල වෙන්න හරි, නොවෙන්න හරි ඔයා ඕක කියන්න එපැයි. මොකද උනේ?..."



(චාපා 22 වන කොටස සමගින් හමුවෙමු...)

- නිරෝෂ් මෛති‍්‍ර -
- 2004 -

No comments:

Post a Comment

 

Sample text

Sample Text