Social Icons

Tuesday, July 9, 2013

චාපා 20



     බසයෙන් බැස ඉරේෂලාගේ නිවසට යන පාර දෙසට හැරෙන විට දහවල් 12 පමණ වන්නට ඇත. කාලෙකට පසුව හිතට සැහැල්ලුවක් දැනුනද තවත් කරදරයක් වේයැයි හිතේ චකිතයක්ද නොතිබුනාම නොවේ. නමුත් මොහොතකටවත් චාපාව බලන්නට නලියන හිත පාලනය කරගන්නට මට නොහැකි විය. එනවිට බස් රථයේ වාදනයවූ ගීතයක් මතක් වී මුවගට සිනහවක් නැගුණි.

අපි හැඟුම් වලට ඉඩදී
මොහොතක්
ඉඩ ලබා ගනිමු
තරමින් වියතක්...
හඳපානේ
මද අදුරේ
අත් පටලා යමු
ආයේ...

මම එන විටත් ඉරේෂා ගේ දොරකඩට වී බලා සිටියාය.

"ගේ හොයාගන්න අමාරු උනාද ගිම්හාන?..."

"නැහැ, මගේ යාළුවෙකුත් ඉන්නවා මේ ළඟ..."

"ආ.. එහෙනම් මේ පැත්තෙත් රස්තයාදු ගහලා තියෙනවා.. එන්න, වාඩිවෙන්න ගිම්හාන..."

සාලය පුරාම නෙත් යැවූවද ඇය පෙනෙන්ටවත් සිටියේ නැත.

"තාම ආවෙ නැද්ද?.."

"ආවා.. ආවා.. පුදුම ආදරයක්නෙ මේක..."

"ආවානම් හංගගෙන ඉන්නෙ, පෙන්නපං මගේ කෙල්ලව.."
මම ඉරේෂාට රැව්වේය.

"මගේ කාමරේ ඉන්නවා. ගිහින් කතා කරන්න..."

"එපා ඉරේෂා එයාට එන්න කියන්න. ගෙදර අය වැරදියට හිතයි..."

"වැරදියට හිතන්න ගෙදර අය ඉන්න එපැයි.. අද අම්මයි තාත්තයි තාත්තගෙ ඔෆිස් එකේ යාළුවෙක්ගෙ මළ ගෙදරක ගිහින්. ඒකයි මම ඔයාව ගෙන්න ගත්තෙත්. නැත්තං කොහෙද මේ සෙල්ලම්. මාවත් ගහලා පන්නයි..."

"ඔයානම් පුදුම යාළුවෙක් ඉරේෂා..."

"හරි හරි, මට බටර් ගාන්නෙ නැතුව ගිහින් අර ළමයත් එක්ක කතා කරන එකක් ඉක්මනට කතා කරගන්න. හවස් වෙන්න කළින් ඒකිව යවන්න ඕනෙ. කොහොමටත් සාලෙ ඉන්නෙපා ගිම්හාන. කවුරු කඩා පහත්වෙයිද දන්නෑනෙ. පහුගිය ටිකේම උනේම හොද දේවල් නෙවෙයිනෙ. දැන්වත් පරිස්සමින් වැඩ කරමු...."

"ඒක ඇත්ත..."

"හ්ම්... මම යනවා මල්ලිට කවන්න, ඔය දෙන්නා කතා කර කර ඉන්න එහෙනම්..."

මම කාමරයේ දොර රෙද්ද මෑත් කර බැලුවේය. චාපා ඉරේෂාගේ පොත් මේසයට හිස තබාගෙන නිදිය. මට හීල්ලිනි. ඇය පහුගිය දින කිහිපයේම නිදි මරන්නට ඇත.

"සුදූ...."

මම චාපා අසලට ගොස් ඇගේ හිස අතගෑවේය.

ඇය ගැස්සී හිස ඔසවා බැලුවාය. මා දැක මුහුණේ ඇදුණු සිනාවෙන් මැලවී තිබූ මුහුණ පිපී ආවේය.

"ගි..ම්හා..න..."

පුටුවෙන් නැගිට්ට ගමන් චාපා මාව වැළද ගෙන හඩන්නට වූවාය. මේ මොහොත එන තුරු දින කීයක් දුක් වින්දාද මේ සුවද විදින්නට දින කීයක් මඟබලා සිටයාද අද මොහොතකට හෝ ඇය මගේය. හිතේ දුක හේදී දියවී යන්නටම මම ඇයව ඉතා ආදරයෙන් වැළද ගත්තෙමි. ඇය ඉස්සී මගේ නළල, දෙකොපුල්, ගෙල සිපගනිමින් පපුවට තුරුළු වූවාය.

"අපිට මොනවද මේ උනේ ගිම්හාන?..."
ඇය හැඩුම්බරව ඇසුවාය.

"මුකුත් උනේ නැහැ සුදූ... මම මේ ඉන්නෙ ඔයා ළඟ..."
මම චාපාගේ හිස අතගානගමන් කීවේය.

"මම ඔයාව දකින්න කොච්චර ආසාවෙන්ද හිටියෙ. මේ අත්දෙක මේ මූණ අනේ මම කොයි තරම් ආදරෙයිද..."

"දැන් මම ළඟ ඉන්නවනෙ, අඩන්නෙපා ඉතිං..."

"මමත් ඇයත් ඉරේෂාගේ ඇද මතින් ඉදගත්තේය. චාපා මොහොතකටවත් මගේ දෑත අත් හැරියේ නැත..."

"එන්න මෙතනට...."

ඇය උකුළ පෙන්වා කීවාය. මට චාපා ගැන දැනුනේ පුදුමාකාර ලෝබ කමකි. ඇය කෙතරම් ලස්සනට ආදරේ කරනවාද මම ඒ උකුළ මතින් හිස තබාගත්තේ ඉමහත් සෙනෙහසිනි.

"ඇයි සුදූ ඉස්කෝලෙ එන්නෙ නැත්තෙ? මට කොච්චර පාළුද? මම නිසා ඔයාගෙ ඉගෙනීමත් කඩාකප්පල් උනා නේද? මට මං ගැනම ලොකු කළකිරීමක් ඇතිවෙලා තියෙන්නෙ. වෙලාවකට ජීවිතේම එපා වෙනවා..."

"ඔයා මොනවා කරන්නද ගිම්හාන. මේ මගේ ලැබීම. මටයි සේරම එපා වෙන්න ඕනෙ. ඒත් මම තාමත් ඉන්නෙ ඔයාගෙ ආදරේ නිසා. මේක විතරයි මට දැන් ජීවත්වෙන්න බලාපොරොත්තුවකට තියෙන්නෙ...."

ඇය පහත්වී මගේ හිස සිපගත්තාය.

"ඒවයින් මේවයින් වැඩක් නැහැ, ඇයි කියනවා මට ඉස්කෝලෙ ගියෙ නැත්තේ..."
චාපා මගෙ කණක් මිරිකමින් ඇසුවාය. මම පාසැල් නොගිය බව ඉරේෂා ඇයට කියන්නට ඇත. මම මුහුණ හංගා ගතිමි.

"මේ බලන්න මං දිහා... ඔයා මොනවද මේ කරන පිස්සු වැඩ කියන්න...?"
ඇය බලෙන්ම මගේ මුහුණ ඇයදෙසට හරවගත්තාය.

"මං නිසා ඉගෙනීමනම් කඩාකප්පල් කරගන්නෙපා මගේ මහත්තයෝ තේරුණාද? ඉවසන්න බැරි ගොඩක් දේවලුත් මම ඉවසන් ඉන්නෙ ඔයාගෙ එක්සෑම් එක නිසා. අපි හැමෝගෙම බලාපොරොත්තු රැදිලා තියෙන්නෙ එතන. මොනා නැතත් අර අහිංසක අම්මා ගැන හිතන්න. එයා ඔයාට කොයිතරම් ආදරෙයිද. මම නිසා මේ හැමදේම විනාස උනොත් මට කවදාවත් හොදක් වෙන්නෑ. මේ වැඩකට නැති මගේ ආදරයක් නිසා විහින් ජීවිතේ නාස්තිකර ගන්නෙපා. මේ කෙල්ල හැමදේටම වඩා ඔයාට ආදරෙයි තමයි. එහෙමයි කියලා මම නිසා ඔයාව නැති නාස්ති වෙනවා බලන් ඉන්න මට බැහැ. හොදට ඉගෙන ගෙන හොද තැනකට ආවාම මට වඩා දහස් ගුණයක් හොද ලස්සන නෝනා කෙනෙක් ඔයාට හම්බවෙයි..."

මම බලාසිටියදීම ඇගේ දෑසින් කදුළු පැන්නාය.

"දැන් කියලා ඉවරද? දැන් සතුටුද? මේ බලන්න චාපා. මට වෙන කෙනෙක් ඕනෙ නම් මෙච්චර දුක් විද විද ඔයාට ආදරේ කරන්නෑ. මෙහෙමවත් එන්නෙත් නෑ. ඔයා හිතනවද මට මෙච්චර ආදරේ කරන ඔයා නිසා මම විනාස වෙයි කියලා. ඒ ආදරේ මට ලොකු ශක්තියක් මිසක් මගේ දුර්වලකම නෙවෙයි. මම දන්නවා ඔයා මේ සේරම කියන්නෙ මට තියෙන ආදරේට කියලා. ඒත් තේරුමක් නැති කතානම් කියන්න එපා..."

ඇය ඇස් ලොකු කරගෙන බලාගෙන සිටියාය.

"මොනාද බලන්නෙ...?"

"ඇයි චාපා කියන්නෙ...?"
මට සිනාගියේය. මෙතරම් දේවල් කීවද ඇයට මතක ඇයගේ නම කී එක පමණි.

"ඔයා මගෙ නම කියන්නෙ තරහ ගියාම.  එපා එහෙම කරන්න. මම ආස නෑ ඔයා නම කියනවට..."

"මොනවා නැතත් මේකිගෙ හුරතලේනම් තියෙනවා...."
මම නැගිට ඇයව උරහිසින් තල්ලු කලේය.

"ඔවු හුරතලේ තමයි. මගේ මිනිහා එක්ක හුරතල් නොවී මං කාත් එක්ක හුරතල් වෙන්නද?.."

"චාපා... එන්න ගිම්හාන එක්ක කෑම ටිකක් කන්න..."
ඉරේෂා සාලයේ සිට අඩගැසුවාය.

"පව් දෙයියනෙ කන්නත් හදලා..."
චාපා මගේ උරහිස සිප නැගිට්ටාය.

"ඇයි කරදර උනේ ඉරේෂා. ඔයා මේ කරන උදව් මදිවටද?"
චාපා සාලයට එනගමන් කීවාය.

"උඹ මට පුංචි කාලෙ ඉදන් කරපු උදව් මට හොදට මතකයි චාපා. මේවත් උදව්ද? පැහෙන්නැතුව දෙන්නත් එක්ක කාපං තියෙන විදිහට...."
චාපා ඉරේෂා දෙස බලා සිටියේ කරුණාබරවය.

"බඩගිනිත් ඇති නේද?"
චාපා මගේ ඇගේ ගෑවෙමින් ඇසුවාය. ඇය කුඩා දරුවෙකු මෙනි.

"එද්දිනම් තිබ්බා, ඒත් දැන් නෑ..."
චාපා පිගානක් ගෙන බත් බෙදන්නට ගත්තාය.

"රෙදි වගයක් තියෙනවා මම හොදලා දාලා එන්නම්. දන්නවනෙ මේක පිට ගෙයක් නෙවෙයි කියලා. හිතේ ගින්දර නිවුනා වගේ බඬේ ගින්දරත් නිවෙන්න හොදට කන්න..."

"ඉරේෂානම් ගිය ආත්මෙ මගේ සහෝදරියක් වෙන්න ඇති..."
චාපා බත් බෙදූ පිගාන මඅතින් තබන ගමන් කීවාය.

"මට බඩගිනි නැහැ සුදූ..."
ඇය සිනාසී නැවතත් බත් පිගාන අතට ගත්තාය.

"මම ඔයා හැරෙනකොට දන්නවා ගිම්හාන පැටියො තේරුණාද? වාඩිවෙන්න මෙතනින්, මම කවන්නම්..."

මට පුදුම සිතුණි. මගේ සුළු වෙනස්වීමක්  උවද ඇයට තේරෙන්නට තරම් චාපා මට කෙතරම් ආදරය කරනවා ඇතිද. මට මෙතක් දවස් මෙතරම් ආදරය කලානම් කලේ අම්මා  පමණි. යම් හෙයකින් චාපාව නොලැබුනහොත් මට කුමක් වේදැයි සිතාගත නොහැක.

"මැල්ලුම් දාන්න එපා..."
ඇය බත් කටට මැල්ලුම් දමා අනන්න යනවිට මම කීවේය.

"ඇයි ඒ. සුදුවෙයි කියලා බයද? "

"මං ආස නැහැ මැල්ලුම් වලට..."

"මමනෙ කවන්නෙ... මම වහ කවන්නෑනෙ. මාව විශ්වාසයිනම් විතරක් කන්න..."

ඇයව අවිශ්වසයිනම් විශ්වාස කල හැකි කෙනෙක් නොහැමැත. පළමු බත් කට කවනවාත් සමගම ඇයගේ නෙතින් කදුලක් වැටුණි.අහින්සක කෙල්ල අද ඉන්නේ ඉතාමත් සතුටිනි.

"සුදූ මම වෙන දෙයක් වෙන්න ඔයාලගෙ ගෙදර අයත් එක්ක කතා කරන්නද?"
චාපා දෙනෙත් ඔසවා මා දෙස බැලීය.

"ඇයි එපාද...?"

"මම එපා කියනවා නෙවෙයි... ඒත් ඔයා මොනවද කතා කරන්න හදන්නෙ...?"
ඇය තවත් බත් කටක් කවන ගමන් ඇසුවාය.

"මුලින්ම කියන්නෙ ඔයාව ඉස්කෝලෙ එවන්න කියලා. එයාලට මාව අවිස්වාසයිනම් මම ඉස්කෝලෙන් අස්වෙලා ප‍්‍රයිවට් හරි එක්සෑම් කරන්නම්. දැනටත් මට එක්සෑම් ෂුවර් එකේ ඒක මට ලොකු ප‍්‍රශ්නයක් නෙවෙයිනෙ. මම ක්ලාස් ගිහිල්ලා හරි එක්සෑම් එක කරගන්නම්..."

චාපා මට කවන්නට ගිය බත් කට නැවතත් පිඟානට දැමුවේ දෑසේ කඳුළු පුරවාගෙනය.

"ඔයාට ඕනෙ මාව අඩවන්නද? මම දන්නවා ඔයා මට ගොඩක් ආදරෙයි කියලා. ඒත් එහෙමයි කියලා ඇයි ඔහොම දේවල් කියන්නෙ? ඔයා අස් උනාම මට පුළුවන්ද ඒ ඉස්කෝලෙට ගිහින් ඉන්න ගිම්හාන? 

"ඉතිං එහෙමයි කියලා ඔයා එක්සෑම් කරන්නෙ නැද්ද?"

"කොහොමටත් අපේ තාත්තා එක්කනම් කතා කරන්න තියා හිතන්නවත් එපා රත්තරන්. හැබැයි ඔයාට ඕනෙමනම් අපේ අම්මත් එක්ක අනිද්දට කතා කරන්න පුළුවන්..."

"අනිද්දට...?"
මම දෑස විසල් කරගෙන ඇසුවෙමි.

"ඔවු... අනිද්දාට ඇඩ්මිෂන් දෙනවනෙ නේද? එදාට අන්තිම දෙමව්පිය රැස්වීමත් තියෙන නිසා අම්මා ඇඩ්මිෂන් ගන්න ඉස්කෝලෙ යන්න කිව්වා. එයත් රැස්වීමට එනවා කිව්වා..."

"අනේ එහෙනම් කොච්චර දෙයක්ද?"

"ඔවු තාත්තා නැති නිසා හොදයි. ඒත් අර නපුරා දැනගත්තොත් විනාසයක්. මේ දවස් ටිකේ රගර් මැච් එකකට නුවර ගිහින් ඉන්නෙ. ඒකයි මාත් හිතේ නිදහසේ අද ආවෙත්..."

කතාවෙන්ම මම බත් පිඟානම හිස් කර ඇත.

"තව ඕනෙද?"

"එපා... ඔයා බෙදාගෙන එන්න..."


දියවී හැළෙන කදුළු පිසලමින්, සුසුම් හමයි තවමත් ඔබේ නමින්...

(චාපා 21 වන කොටස සමගින් හමුවෙමු...)

No comments:

Post a Comment

 

Sample text

Sample Text