Social Icons

Showing posts with label සිතක සටහන්. Show all posts
Showing posts with label සිතක සටහන්. Show all posts

Thursday, June 4, 2015

මට හොද නැති, මම කැමතිම දෙය කුමක්ද?



අද දහවල් අසන්නට දකින්නට ලැබුන දෙයක් ගැන Facebook සටහනක් තබන්නට සිතුවත් එය ප‍්‍රමාණයෙන් දිගුවේයැයි කල පූර්ව නිගමනය නිසා බ්ලොග් සටහනක් තැබීම වඩාත් සුදුසු යැයි සිතුණි. තවත් අතකින් මා වසරකටත් වැඩි කාලයකට පසුව තබන බ්ලොග් සටහනද වන්නේ මෙයයි. බ්ලොග් ලිවීම හා කියැවීම පිස්සුවක්ව තිබූ ඒ කාලය මඟහැරුණේ කොතනින්දැයි සෙවීමට දැන් කාලයක් නොමැත.

මාතෘකාවෙන් පිට යන නිසා මූලික කාරණය වෙත නැවතත් පැමිණියහොත් ඇතැම් පුද්ගල චරිත නිසාත් ඔවුන් සිතන පතන දේ නිසාත් අපට උගත හැකි දේවල් අපමණයැයි සිතුන බැවින් මෙම සටහන තැබීමට සිත්විය. අත්දැකීම් පරිනත මිනිසෙක් බිහිකරයි යන්න යළි යළිත් වේගයෙන් පසක් කිරීමට ඇතැම් පුද්ගල චරිත ඉටු කරන්නේ නොමද කාර්ය භාර්යයකි.

මා හොදින් හදුනන එක්තරා පුද්ගලයෙකුගේ මංගල දිනය පසුගියදා පැවැත්වුන අතර පුද්ගලික හේතුවක් මත මට ඊට සහභාගි වන්නට තිබූ අවස්ථාව මඟහැරී ගියේය. නමුත් අද ඔහුගේ මංගල දිනයට ප‍්‍රථමයෙන් පටිගතකල Preshoot වීඩියෝව (මෙයට සිංහල භාෂාවෙන් කියනා වදනක් ගැන මා දැනුවත් නැත) අහම්බයෙන් දැක ගැනීමට හැකිවිය. එය මාත් සමගම නැරඹූ බහුතරයකගෙන් අසන්නට ලැබුණු ප‍්‍රතිචාර නිසාම බොහෝමයක් දුරකට හිතන්නට අවස්ථාවක් ලැබුණි. සේවය නිමවී වව්නියාව බලා ධාවනය වන සීඝ‍්‍රගාමී දුම්රියකින් නැවත එන අතරතුරේදීද සිතුවේ එකිනෙකා කියූ ඒ අමුතුම වර්ගයේ විවිධ කතාබහ ගැනයි.

ඇතැමෙක් එම වීඩියෝවත් පුද්ගලයාවත් විවේචනය කරන්නට යෙදුණු අතර ඇතැමෙක් එහි නිර්මාණශීලිත්වය අගය කරන්නට යෙදුනා. ඒ අතර කෙනෙක්ගේ අදහස වූයේ "මමනම් කීයටවත් මේවගේ එකක් කරන්නෙ නම් නැහැ" යන ස්ථාවරයයි. හේතුව පසුවට ලියන්නම්. තවත් අයෙක්ගේ අදහස වූයේ මෙයින් ඔහුගේ 'ඉමේජ්' එක 'ඩැමේජ්' වෙන බවයි. මුලින් නොකී හේතුවද සබැදෙන්නේ මෙතනටමයි. හේතුව ඉමේජ් - ඩැමේජ්. තව තව දේවල් ඇසුණු අතර හිතන්නට බොහෝ දේ ඉතිරි කලේ මේ ප‍්‍රතිරූපයට වන හානිය පිළිබදව කතාවයි.

ජීවිතය රඟමඩලකි.. අපි එහි නළුනිළියන් වෙමු.. අදාල චරිතය රඟ පෑ පසු නික්ම යන්නට සිදුවනු ඇතැයි ශේක්ෂ්පියර් වරෙක කීවේය. අදාල චරිතය රඟපාමින් සිටින අපට ඇති ප‍්‍රතිරූපය කවරාකාර එකක්දැයි කෙනෙක් පැහැදිලි කරන්නේ කෙසේද? කෙනෙක් තමන්ගේ ප‍්‍රතිරූපය රැකගැනීමේ මහාප‍්‍රාණ සිතේ සිරකරගෙන, ජීවිතය විදීම පසෙක තබනවා නම්, තමන් කැමති දෙයක් කිරීමට මැළිවේ නම් ඔහු ගෙවනා ජීවිතය පවුකාර එකක් නොවන්නේද? ඒ අර්ථයෙන් බලන විට අපි කෙතරම් වංකයෝ වෙමුද?

අවංකව සිනාසෙන්නේ කිරිදරුවන් පමණකැයි බොහෝ තී‍්‍රරෝද රථවල පිටුපස සදහන් කර ඇත. දරුවන් සිනාසීම පමණක් නොව සියලුම දේවල් වලදී අවංකයෝය. එහෙයින් ඔවුන් ජීවිතය විදවනවා වෙනුවට ජීවිතය විදියි. මුහුනේ ඇත්තේ සිරියාව මිසක් විදවන, තෙරපෙන, පීඩිත ස්වභාවයක් නොවෙයි. එම ලිහිල් භාවය වැඩිහිටියන් වන විට නැතිවන්නේ ඇයි? එයට බොහොමයක් හේතු ඇතත් ඒ අතර ප‍්‍රතිරූපය යන සාධකයද වන විට වරෙක සිනහවක්ද නැගෙයි.

මා දන්නා සාපේක්ෂව එතරම් සුන්දර පෙනුමක් නොමැති පුද්ගලයෙකු නිතර කරන්නේ ඔහුගේ ඡායාරූප ගෙන Facebook අඩවියේ පල කිරීමය. එයින් ඔහු වින්දනයක් ලබනා බව කාලයත් සමග මා තේරුම් ගත් අතර රොක්ස්ලා, ඒන්ජල්ස්ලා මෙන් සුන්දර රුවකට තමන් හිමිකම් නොකීවත් ඇති රුව වල දැමීමට ඔහු සූදානම් නැත. ඒ අතින් ඔහු ඉතාමත් ඉදිරිගාමීය. ධනාත්මක චින්තනයන්ගෙන් පිරිපුන්ය. 

ඉහතින්ම සදහන් කල වීඩියෝවේ අදාල පුද්ලයා වැදගත් යැයි සම්මත ආයතනයක, වැදගත් යැයි සම්මත රැකියාවක් කරන පුද්ගලයෙකි. එහෙව් ඔහු වතුරේ පනිමින්, සරම් ඇද, කැලෑ අස්සේ රංගමින්, බිම බඩගාමින් මුදා හරින්නේ තමන්ගේ සැබෑ ප‍්‍රතිරූපයයි. ලෝකයට ව්‍යාජ ප‍්‍රතිරූපයකින් වසා සිටිනා තමන්ගේ සැබෑ ස්වරූපයයි. ඒ අතින් ඔහු අවංකයෙකි. ඔහු මුදාහරින්නේ ඔහුගේ යටි සිතේ තෙරපමින් තිබෙනා සැබෑ චරිතයයි. එම සැබෑවට ඉඩ නොදී යට ගසා සිටින වංකයා පරයමින් අවංකයා එළියට මතුවූ විට එය සමාජ සම්මතයෙන් බැහැර එකක් ලෙස සලකා එය පිළිකෙව් කිරීම කෙතරම් පසුගාමී ආකල්පයක්ද. 

මෙය දේශපාලනිකව උවද පැහැදිලි කරගත හැක. කලෙක මහා දැවැන්ත ප‍්‍රතිරූප අප ජීවත්ව සිටින කාලයේදීම දියාරු වී අප පයටම පෑගි ගිය මෑත අතීතයෙන්ද ප‍්‍රතිරූප පිළිබදව කියාදෙන පාඩම් මාලව වඩා වැදගත්ය. එකල දැවැන්ත කොටි අද කොටි නැසූ පක්ෂ වල උප සභාපතිවරුන්ය. සදාකල් ජනපතිදුන්ලා අද පන්සල් ගානේ ගොස් අගමැතිකම් ඉල්ලනවාය. එකල යුධහමුදාපතිවරු අප බලාසිටියදීම හිරබත් කන්නට ගියේය. වට්ටන්නට තබා හොල්ලන්නටවත් බැරි ලලිත් කොතලාවල වැනි මහා ව්‍යාපාරිකයන් ජම්පර් ඇදගෙන කූරු ගැන්නේය. ඉතින් ප‍්‍රතිරූප යනු කවරක්ද? එය හුදෙක් මවාගත්, මවා දුන් වංචාකාරී මායාවක් පමණක් නොවන්නේද?

'ප‍්‍රතිරූපයක්' යන මායාව නිසා සැබෑම පුද්ගලයා යට ගසා සිටිනා පුද්ගලයන් සිටින්නේ කොතරම් පීඩනයකින් දැයි ඔවුන් මට වඩා දන්නවා විය යුතුය. ඊනියා සමාජ සම්මතයන් නිසා අප රඟනා රඟමඩලේ සිටිනා ඉතා කුඩා කාලයද විදවමින් ජීවත් වීම කෙතරම් පාපකාරීද...



- නිරෝෂ් මෛති‍්‍ර -
2015 ජුනි 04



Tuesday, April 1, 2014

කට කහනවට



ලිවීම දිගින් දිගටම මඟ හැරෙන විට මතක්වන්නේම සාරංග පතිරණවය. එකට බ්ලොග් ලියන අප දෙදෙනාටම හරහට එන ගැටළුව කාලයයි. පතිරණ මස්සිනා ලිවීම අඩුකරන විට කින්ඩි දැමූ මටද දැන් මමම කින්ඩි දමන තත්ත්වයට ලිවීම මඟහැරී ඇත. ඒ අවු අස්සෙ සුබියාද බ්ලොගයක් අටවාගෙන ලියන්නට පැමිණිම සතුටට කරුණකි. කවුරුම හෝ ලියනවා දැකීම ඇත්තටම සතුටකි. ලියන එකා කියවන එකෙකි. කියවන එකා දැනුවත් එකෙකි. අවසාන අරමුණ පට්ටම පොරක් වීම නොවුනත් දැනුවත්වී සිටීම අප කාට කාටත් ජීවත්වීම අතිශය පහසුකරවයි.

මුලින්ම කීමට ඇත්තේ මේ ලියමන ලියන්නට ගන්න මොහොතවන විටත් ලියන්නේ කුමක් ගැනදැයි නිශ්චිත අරමුණක් තිබුනේ නැත. නමුත් ලියන්නට වටිනා නොසෑහෙන දේවල් ඇතිකරන මාතෘකා රැසක් පසුගිය කාලය පුරාවටම සිදුවිය. ස්වයං වාරණය සෘණ අගයක් ගන්නා මං වැනි අයෙකු නොලියාම සිටින එක රට ජාතියේ අභිවෘද්ධියට කෙසේ වෙතත්, ඇතැම් පුද්ගලයන්ට මෙන්ම ආයතනයන්ගේ උන්නතියට එය වඩාත් හිතකර වනු ඇත. නමුත් ලිවීම, හුස්ම ගැනීම මෙන් ජීවිතයේ අංගයක් වූ කෙනෙක් හට වෙන විකල්පයක්ද නැතිය.

සාමූහිකත්වය ගිලිහෙමින්, සංක‍්‍රාන්තික අවධියක් පසුකරමින් යන අප හට සමූහයක් ලෙස ඇත්තේ බලාපොරොත්තු විරහිත, ඉච්චාභංගත්ව මානසිකත්වයකි. ලොක්කන් කියන අය පිස්සු කෙලමින් සිටින අතර, ගැල අදින පොඩ්ඩන්, කුඩ්ඩන් මෙන් මානසික ආතතිය සදහා නේවාසික ප‍්‍රතිකාර ගනිමින් සිටියි. වටු කුරුල්ලන් මෙන් දැළම ඔසවාගෙන යනවා වෙනුවට එක් එක් වටුවන් තමන් සිටින තැනින් දැළට කොටා ඉඟිලී යයි. එය වටුවාගේ ආත්මාර්ථය යැයි මොහොතකට හෝ අර්ථ ගැන්විය නොහැක. මන්ද දැළේ පැටලී සිටින වටුවන්ද ඔසවනවාක් මෙන් පෙන්වූවාට ඔසවන දැළක් නොමැති නිසාය. එය ආඩි හත් දෙනාගේ කැඳ හැළියටද සමානය. අවසානයේ කැද සෑදීමට හාල් දැමූවෙකු නොමැතිවූවා සේ එකතුවී, කෙලින් කතා කර දැළ ඔසවන සාමූහිකත්වයක් පෙනෙන්නට නැත. අවසාන විග‍්‍රහයේදී සාමූහිකවම සෑම දෙනාම පරාදය. වැඩිපුරම ගුටිකා ඇත්තේ ගුරු දෙගුරු රැස්වීමේදී විදුහල්පති මාතාව "හොද පුතා" හෝ "හොද දුව" යැයි කී අයය.
මේ ගෙවන්නේ එදා වේල ජීවිතයකි. 'දිනය' නැමැති ඒකාකාරී සෙක්කුවක ගැට ගසා ඇති අප නැවතත් නැවත නැවතත් යන්නේ සෙක්කුව වටේටම පමණි. පොතක් පතක් කියවන්නේ නැත, වේදිකා නාට්‍යක්, සිනමාවක් ගැන මෙලෝ හසරක් නැත, වඩාත් පැහැදිලිව කියන්නේ නම් කොහෙත්ම සංස්කෘතික ජීවිතයක් නැත, යාළුවෙක් මිත‍්‍රයෙක් ඇසුරකට කාලයක් නැතකොටින්ම අරකත් නැත, මේකත් නැත.

නමුත් ලියන්නට අපමණ දේවල් ඇත. ඒත් මේ වෙලාව නොවේ යැයි සිතෙයි. සිදුණු හෝ බිදුණු මනසින් යුතුව උවද අප අනාගතය දෙස උපේක්ෂවෙන් බලා සිටිමු.



- නිරෝෂ් මෛත‍්‍රි -
2014/04/01



Friday, January 17, 2014

උගත් පෙම්වතියට අමතකවූ ව්‍යාධිගත රෝගය



      මොනවාම හරි ලියනවා වෙනුවට ලියන්නට උනන්දුව ඇති කරන සිදුවීමක් පහුගිය දවස්වල සිද්ධ උනා. ඒ තවත් බ්ලොග් එකක නිර්නාමිකව මම ගැන තියෙනවා දැකලා. ඒක බලපු වෙලේ ඉදන් මම බඩ අල්ලන් හිනා උනා මදිවට මේ වගේ චරිතත් මේ ලෝකෙ ඉන්නවා නේද කියලා මාර ආතල් එකක් ආවෙ. කොහොම උනත් ඒ චරිතෙ එදා ඉදන් අද වෙනකන් මට ගෙනත් දුන්නෙ පුදුමාකාර විකාර ලෝකයක්. ඒ ලෝකෙ මම හිර නොවීම ගැන දැන් ඇතිවෙන්නෙ කියලා නිමකරන්න බැරි සතුටක්.
මේ ලියමන කියවන බොහෝ අයට එය තේරුම්ගැනීම අපහසුවනු නියතය. මන්ද එය පෞද්ගලික චරිත හා සිද්ධි කිහිපයක් වටා ලිවීමට බලාපොරොත්තුවන බැවිනි. වෙන අර්ථයකින් කියනවානම් මෙය හුදෙක් මගේ හිතසුව පිණිසම පමණක් ලිවීමට බලාපොරොත්තුවන ලියමනකි. එබැවින් මා පෙර ලිවූ මගේ උගත් පෙම්වතී ලියමන මෙන් බොහෝ අයට මෙය නොතේරෙනු ඇත. නමුත් කරන්නට දෙයක් නැතිය. මෙය නොලියාද බැරිය.
මනෝවිශ්ලේෂණ අර්ථකථනයන්ට අනුව ‛ස්ත්‍රිය’ යනුවෙන් කෙනෙක් භාෂා ලෝකයේ හැඟවුම්කාරකයක් ලෙස නොපවතියි. එම අදහස ඉතාම රැඩිකල් අදහසකි. ස්ත්‍රීවාදයේ මූලික අත්වැරදීම මනෝවිශ්ලේෂණයට අනුව නිර්වචනය කරන්නේ නම් එය මෙසේය. ස්ත්‍රිය තමා ස්වාධීන, ස්වායත්ත මනුෂ්‍යයෙක් බව වටහා ගන්නේ ඇයට පුරුෂ සංකේත ලෝකය තුළ “සාරයක්” (ESSENCE) නැති බව අවබෝධ කර ගැනීම තුළය. යම් ස්ත්‍රියක් තමන්ට සාරයක් ඇතැයි සිතා ෆැන්ටාස්මති පුරුෂයකු හෝ උතෝපියානු පුරුෂාධිපත්‍යයක් විචාරය කරන්නේ නම් ඇය ස්ත්‍රියක් නොව හිස්ටෙරිකයෙකි. හිස්ටෙරික ප්‍රශ්නය මෙසේ සාරාංශගත කළ හැක. ‛ඔබ කියන කෙනා බවට මම පත්විය යුත්තේ ඇයි?’
යම් කිසි ස්ති‍්‍රයක් පළමුවරට පුරුෂයෙක් සමග සම්බන්ධයක් පවත්වාගෙන යයි. එහිදී අනෙකුත් ආදර සම්බන්ධතාවලට පොදු කාරනා ඔවුන් වටාද භ‍්‍රමණය වෙයි. ඒ අනුව Love sms, රණ්ඩු සරුවල්, සිප වැළදගැනීම් යනාදී පොදු කාරනා ඔවුන් අතරද සිදුවෙයි. අවසනදී ලෝක ස්වභාවයට අනුව එම සබදතාවය බිදී යයි. ඉන් අනතුරුව අධ්‍යාපනික සුදුසුකම් වලින් පිරිපුන් දෙවනි පෙම්වතා කරළියට එයි. (දෙවනි පෙම්වතාගේ ගණනය කිරිම්වලට අනුව ඔහු කරලියට ආවේ මීට බොහෝ කලකට පෙරය :P ) පෙම්වතිය ඔහුට පෙම් කරන්නේ මුල් පෙම්වතාගේ නුගුන කියමිනි. ඇය ඔහුගේ නමවත් මතක් කිරීමට අකමැති වීමෙන් නොනැවතී දෙවනි පෙම්වතාගේ පැරණි පෙම්වතියගේ නමද මතක් කිරීමෙන් කිපීමට ලක්වෙයි. (අපි එය මනෝ ව්‍යාධිගත රෝගයක් ලෙස නොසලකා සාමාන්‍ය මිනිස් ස්වභාවය ලෙස නම් කරමු)  

පෙරසබදතාවය ගැන මනෝමූලික චිත‍්‍රයක් මුලසිටම ගොඩනගාගෙන සිටින නවක පෙම්වතා පෙර සබදතාවයේ ලිංගික කරුණු සම්බන්ධයෙන් ඇයගෙන් ප‍්‍රශ්න කරන තැනකට කෙමින් කෙමින් තල්ලුවෙයි. ප‍්‍රශ්න කිරීම අවසානයේ අත උස්සන තැනටද, පයින් පාගන තත්ත්වයටද පත්වන්නේ නව 'අයියා' 'ප*යා' කරවමිනි. ඒ මදිවට ඔහු පැරණි පෙම්වතා අමතාද ඔවුන්ගේ පෙම්පලහිලව්ව තුළ ඇතිවූ අතිශය පෞද්ගලික කාරණාගැන ප‍්‍රශ්න කරයි. (එම රෝගයට අප හිස්ටීරියාව යැයි නොකියමු). විවාහවීමට ඔන්න මෙන්නයි කියා තිබියදී එම සබදතාවයද කටුගා දමා නැවත කොළඹ එන පෙම්වතිය උදව් ගන්නේ ඉපැරණි, නමවත් මතක් කරනවාට අකමැතිවූ පෙම්වතාගෙනි. ඒ වන විට ඔහුද වසර එකහමාරක සබදතාවයක් පවත්වා එය බිදීගිය දුකෙන් පසුවන්නේ තවමත් ඇයට ආදරය කරමිනි. ඔහු දෙවන වරට පැවති පෙම් සබදතාවය ඉපැරණි පෙම්වතියගේ වත්මන් විශ්ලේෂණයට අනුව පර ස්ත‍්‍රියක් අරඹයා පැවති එකකි. එය ඇගේ වචනයෙන් මෙසේ පැහැදිළි කරගනිමු.

"කායක්‍ ‍මං‍ ‍තා ‍ගින්‍ ‍ආශ් ‍පු ‍කෙනෙක්‍‍ ‍ඩිලූශන්‍ රි ‍ලූශන්‍ රි ‍කි ‍නම්‍ පු ‍ලෙඩේ‍ මාරාන්‍‍ති ‍හැදි ‍තිබුනාදාවත්‍ ‍බා ‍ගන්‍‍ ‍බැරි ‍වෙනත්‍ ‍පුරුයෙකු ‍යිති ස්‍‍තිරියක්‍ ‍කෙරෙහි ‍ලෝ ‍කින්‍ ‍හු ‍දුක්‍ ‍වින්‍‍දා ‍විරක්‍ ‍නෙවෙයි ‍ ‍ගැ ලෝයා ‍පාරම්‍ ‍බෑවාමා ‍ජා ‍වෙබ්‍ ‍වි ‍ල boot status ‍දැම්‍‍මා.ටි ‍කායක්‍ ලන්‍ ඉන්‍‍කො ‍යි ‍ ‍තේරුනේ ප්රේයෙන්‍ මිනිස්‍‍සු ‍විදි ‍ශෘං‍‍ගා ‍මේ ‍හායා‍ විදින්‍‍නෙ ‍ ස්ත්රියක්‍ ‍වෙනුවෙන්‍ ‍මැවුනු ‍දාවත්‍ හැබෑ ‍නොවෙ ‍හීකින්‍ ‍කිලා. ප්රේ ‍ඩා ‍විවේ ‍හක්‍ තියෙ ‍ ‍හී ‍ ‍ ‍ඛේවායක්‍."

දැන් අපි නැවතත් මුල් කතාවට යමු...
නැවතත් කොළඹ පැමිණි ඉපැරණි පෙම්වතිය මුල් පෙම්වතාට මුලින් පවසන්නේ තමන් කොළඹ රැකියාවට පැමිණියේ ඉතාමත් අසීරුවෙන් 'අයියා' නැමති පෙම්වතා කැමති කරවාගෙන බවයි. නමුත් ඇය නිතර දෙවේලේ දුරකථන ඇමතුම් ගන්නා බැවින් මුල් පෙම්වතා අසනුයේ තමන්ට මෙසේ අමතන බව 'අයියා' නම් පෙම්වතා දන්නවාද යන්නයි. ඒ අවස්ථාවේ දෙලොව රත්වෙන පිළිතුරක් දෙමින් ඇය පවසන්නේ එම ආදරය කටුගා දමා කොළඹ පැමිණි බවයි. පසුව ඇය මුණ ගැසුන අවස්ථාවක පසුගිය තිත්ත අතීතය වමාරන ඇය තමන්ට ඇතිවූ තාඩන පීඩනයන්, රැවුම් ගෙරවුම්, අතපය විසිකිරීම් පිළිබදව දීර්ඝ පාපොච්චාරණයක් කරයි. ඇය හඩමින් පවසන්නේ තමන් මුල්පෙම්වතාට කල පවු වලට රිටර්න් එක තමන්ට ලැබුන බවයි. නමුත් මුල් පෙම්වතා ඇයව සනසමින් තමන්ද සබදතාවයේදී කල දහසක් වැරදි සිහිපත් කරමින් එය ඇගේ වරදක් පමණක් නොවන බව පවසා වැඩිගොඩ තමන් සතුකර ගනියි.

කාලය දින එක දෙක ගෙවී යනවිට පැරණි පෙම්වතියගේ වෙනස්කම් එකින් එක මතුවන්නට ගනියි. ඇය ගෙදර තිබූ දානයක බත් එකක් අමාරුවෙන් පොදි බැදගෙන පැරණි පෙම්වතා බලන්නට කාර්යාලය අසලට එයි. පැරණි පෙම්වතා එයට කිපෙයි. මග දිගට ඇය කුඩය ඔහුට අල්ලයි. ඔහුට මල පනියි. ඇය ස්වයංකී‍්‍රයව නැවතත් පැරණි පෙම්වතියගේ තත්ත්වයෙන් මිදී පෙම්වතියම වීමට සැරසෙන බවක් පෙනෙයි.
දිනක් ඔහු මුණගැසුන පැරණි පෙම්වතිය අසන්නේ අපට සියල්ල අමතක කර පෙර පරිදි සිටිය නොහැකිද යන්නයි. මෙය තවත් දුරදිය යාවියැයි සිතූ ඉපැරණි පෙම්වතා පවසන්නේ තමන් තවමත් ආදරය කරනුයේ ඇයට පසුව මුණ ගැසුන කෙනාට බවත් ඇය හිමිවූවත් නැතත් එහි වෙනසක් නොවන බවත් ඇයගෙන් තොර වෙන කෙනෙකුන් ගැන සිතීමට ඔහුට අපහසු බවත්ය. මෙවැනි පිළිතුරක් කිසිසේත් බලාපොරොත්තු නොවූ මුල් පෙම්වතියගේ නෙතඟ පිරෙන්නේ කදුලකි. නමුත් ඇයගේ අතීත කි‍්‍රයාකලාපය ගැන බරපතල විවේචනයක සිටින පැරණි පෙම්වතා උදව් කිරීමකින් එහා ආදර සබදතාවයකට යාමට සූදානම් නොවුනේ නැවතත් සිදුවන දෙය සක්සුදක්සේ දැනසිටිය නිසාය. ඇයගේ Facebook පිටුවෙහි පලවෙන Status තුළින් ඇයගේ මනෝභාවයන් ලෝකයාට ප‍්‍රදර්ශනය කළාය. ඇය අමතන ලද මුල් පෙම්වතා කීවේ මෙවැනි විකාර පලකර ලෝකයට සිනාසීමට අවස්ථාවක් නොදෙන ලෙසයි. (වත්මන් විශ්ලේෂණයට අනුව ඇයට අතීතයේ අත්‍යාවශ්‍යම කොටස් අමතකවී ගොස් ඇති සෙයකි. ඒ අනුව ඇයගේ Status පල කිරීම් අමතකවී මුල්පෙම්වතා පමණක් ව්‍යාධිගත තත්ත්වයක පිහිටා Status දමා ඇත)
ඉන් පසුව දිනෙක නැවතත් ඇය ඔහුට විද්යුත් තැපෑලයෙන් ලිපියක් එවයි. එය මේ ආකාරයක් ගනියි.

මට ආදරේද හ්ම්...???? එක පාරක් කියන්න ඔව් කියලා. මට මුලු ජීවිත කාලෙටම ඒ ටික ඇති. මං දන්නවා එහෙම ඔයාගෙන් අහන එක සාධාරන නෑ කියලා. ඒත් මං ආසයි තාමත් ඔයාගෙ සුවදට. මං සෑහෙන්න දුර ගිහින් ආයෙමත් ඔයාගෙ ජීවිතේ විනශ කරන්න ඇවිත් ඉන්නව කියල හිතන්න එපා. මං හරි නරක කෙනෙක් කියල හිතල මට එක පාරක් සමාව දෙන්න කියල කියන්නවත් මං වටින්නෙ නෑ කියල මං දන්නවා. ඒත් ආයෙත් පරන දවස් වල මතක වලින් මගෙ හිත ආයෙ හුස්ම ගන්න හදන බව මට තේරෙනවා. ඔයා ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියල ඔයාම කියද්දි මන් ආයෙත් බලාපොරොත්තු ඇති කරගන්න හදනවා. ඔයා දැන් මට නෙවෙයි ආදරේ වෙන කෙනෙක්ට කියල දැන දැනත්. මං මේ කියන කතා බොලදයි තමයි.ඒත් කවුරු හරි ඇහුවොත් මගේ ජීවිතේ තියෙන්නෙ කොතනද කියලා මං කියනවා beach එකේ අපි හිටපු තැන එතන තමයි මගෙ ජීවිතේ තියෙන්නෙ කියලා බොලදයි නේද? ඔයා හිනා වෙනවා නේද? ඒත් මං මොනා කියල කරන්නද. අතීතෙ අමතක කරල දාන්න මට ඕනෙ. අලුත් ජීවිතයක් පටන් ගන්න මට ඕනෙ ඒත් මං දන්නවා දැන් ඉතින් කවදාවත් මට එහෙම බෑ කියල.
මං තවමත් ඔයාට ආදරේ බව කිව්වත් ඔයා පිලිගන්නැති බවත් මං දන්නවා. මගේ ජීවිතේ ලැබීම් මෙච්චරයි මෙතනින් එහාට තියෙන්නෙ නොලැබීම් විතරයි කියල කොච්චර හිත හදාගන්න හැදුවත් මට බෑ. මුලු ජීවිත කාලෙම මට ඔයා නොලැබුනත් මං ජීවත් වෙනවා එහෙම බලාපොරොත්තුවක් වෙනුවෙන්...."

මුල් පෙම්වතා එයට පිළිතුරක් නොලියන අතර ඇය හමුවූ විටෙක නැවත වරක් පවසන්නේ ආයෙමත් ආදරෙන් සිටින්නට හැකියාවක් ඇත්නම් ඒ ඔහුට හමුවූ දෙවන පෙම්වතිය සමගින් පමණක් වන බවයි. ඒ අනුව දෙවන වරද බඩු මුට්ටු අස්පස් කරගත් ඇය ගම රට බලා පිටත්ව යයි. ඉන් දින කිහිපයකට පසුව ආරංචි වන්නේ ඇය පෙර කී දෙවන පෙම්වතා වන 'අයියා' සමග නැවත වරක් පෙමින් වෙලී විවාහයට දින ගණිනා බවයි.

දැන් අප එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ අද්විතීය නිර්මාණයක් වන 'මනමේ' නාටකයේ එන මේ පැදිපෙල කියවා බලමු.

මනමේ රජු ඔබ - ගෙල සිදලන්ටා
කඩුව ඉල්ලු සඳ - ඔහු වලකන්ටා
කළ තැත දුටුවද - ඔබ ගලවන්ටා
සිතුණෙ කඩුව ඔබ - අතටම දෙන්ටා

මෙම පෙම් පුවතේ එන පෙම්වතිය නිතැතින්ම සිහිගන්වන්නේ මනමේ කතාවේ එන මනමේ කුමරියගේ චරිතයයි. සටනින් මනමේ කුමරු මියගිය පසුව අසරණ වන මනමේ කුමරිය සරණක් නොමැති බව දැනගෙන වැදි රජුට පවසන්නේ තමන් කඩුව ගත්තේ වැදි රජුට දීමට මිස මනමේ කුමරුට දීමට නොවන බවයි. ඇයට අවශ්‍ය වන්නේ සරණකි. එතනින් නොනැවතුන ඇය වත්මන් පෙම්වතාගේ විශ්වාසය දිනාගැනීමට නොයෙකුත් දේ පවසයි. ඇයට වරදින්නේද එතැනමය. 
දෙවන පෙම්වතා මුණ ගැසුන පෙම්වතිය ඔහුගේ විශ්වාසය දිනාගැනීමට මුල් පෙම්වතා පතුරු ගැසුවේය. (වරෙක එම ගැසූ 'පතුරු කොටස්' දෙවන පෙම්වතා මුල් පෙම්වතාට පෙන්වූයේය) නැවත දෙවන පෙම බිදී මුල් පෙම්වතා ළඟට එන පෙම්වතී දෙවන පෙම්වතාගේ නුගුණ කීවේ මුල් පෙම්වතාව දිනාගැනීමටය. ඇය දෙවන වරටත් දෙවන පෙම්වතාගේ තුරුළේ හිදිමින් මුල් පෙම්වතාව පතුරු ගැසුවොත් එය පුදුමයට කාරනයක් නොවන්නේය. ඒ අනුව ඇය කි‍්‍රයා කලේ ඓතිහාසිකව එන ස්ත‍්‍රී චරිතයට අදාල රංගනය මිස වෙන අන් යමක් නොවන්නේය.
මුල් පෙම්වතා සම්බන්ධයෙන් ඉහතින් සදහන් ඇයගේ නිගමනයක් මෙසේය.

"ක‍ව‍දා‍වත්‍ ‍ල‍බා ‍ගන්‍‍න ‍බැ‍රි ‍වෙ‍නත්‍ ‍පු‍රු‍ශ‍යෙ‍කු‍ට ‍අ‍යි‍ති ස්‍‍ති‍රි‍යක්‍ ‍කෙ‍රෙ‍හි ‍ලෝ‍භ ‍ක‍ම‍කින්‍ ‍ඔ‍හු ‍දුක්‍ වින්‍‍දා ‍වි‍ත‍රක්‍ නෙ‍වෙ‍යි ‍ඒ ‍ගැ‍න ‍ලෝ‍ක‍යා‍ට ‍පා‍රම්‍ බෑ‍වා. ප්‍රේ‍ම‍යෙන්‍ මි‍නිස්‍‍සු ‍වි‍දි‍න ‍ශෘං‍‍ගා‍ර‍ය ‍මේ ‍හා‍ද‍යා‍ වි‍දින්‍‍නෙ ‍ප‍ර ස්‍ත්‍රි‍යක්‍ ‍වෙ‍නු‍වෙන්‍ මැ‍වු‍නු ‍ක‍ව‍දා‍වත්‍ හැ‍බෑ ‍නො‍වෙ‍න ‍හී‍න‍ය‍කින්‍. ප්‍රේ‍ම‍ය‍ට ‍ව‍ඩා ‍වි‍ර‍හ‍වේ ‍ර‍හක්‍ ති‍යෙ‍න ‍බ‍ව ‍ඇ‍ද‍හී‍ම ‍එ‍ක ‍අ‍ත‍ක‍ට ‍ඛේ‍ද‍වා‍ච‍ක‍යක්‍."

එසේම ඇය එවනා ලද ඊමේල් ලිපිය අවසන් කරන්නේ මෙසේය.

"මගේ ජීවිතේ ලැබීම් මෙච්චරයි. මෙතනින් එහාට තියෙන්නෙ නොලැබීම් විතරයි කියල කොච්චර හිත හදාගන්න හැදුවත් මට බෑ. මුලු ජීවිත කාලෙම මට ඔයා නොලැබුනත් මං ජීවත් වෙනවා එහෙම බලාපොරොත්තුවක් වෙනුවෙන්...."

ඇයටම අනුව ඇය විරහවේ රහ වෙනුවෙන් ජීවිත කාලයම විදවීමට සූදානම් උදාර කාන්තාවකි. නමුත් ඒ අතීතයේය. දැන් ඈ අලුතෙන් පොතක් කියවා ෆැන්ටසියක් සාදාගෙන එයට සමාරෝපනය වී ඇත. එයට අනුව ඇය නව චරිතයකට කිදාබැස අන් අයගේ ව්‍යාධිගත රෝග දෙස බලන්නේ සානුකම්පිතවය. නමුත් සැබෑ ලෝකයට අනුව ඇය ඩි‍ලූ‍ශන්‍ ‍හ‍රි ‍ඉ‍ලූ‍ශන්‍ ‍හ‍රි ‍කි‍ය‍ල ‍න‍මක්‍ ‍දා‍පු ‍රෝගය පිළිබදව කප් ගැසූ රෝගියෙකි. තව අර්ථයකින් කියනවානම් ඇය නරුමවාදයට කදිම උදාහරණයකි. එනම් තමන් විසින් ගොඩනගාගන්නා ෆැන්ටසිය වෙනුවට තමන් යටත් කරගන්නා ලද බලවේගයට විවේචන ඉදිරිපත් කිරීමට ඇය නොපැකිලෙයි. නමුත් සැබෑව නම් තමන් තුළ තිබෙන ෆැන්ටසිය බාහිරට ප‍්‍රකාශකරන්නට නොහැකි නිසාවෙන් මවාගත් දුෂ්ඨ බලවේගයක් විෂය (Subject) ලෙස ගෙන එයට පහර දීමය. 
ඇයගේ විනෝදය කුඩු පට්ටම්වීම ගැන ඇය සිටින්නේ ද්වේශයෙනි. ඒ පළමු පෙම්වතා සමගින් පමණක් නොව, ඔහුට දෙවනියට ළංවූ පෙම්වතිය කරාද පැතිරී ගිය එකක් බව ඇයගේ ලියවිල්ලෙන් පැහැදිලිය. මන්ද ඇයගේ විනෝදයට බෝම්බ දැමූ පළමු පෙම්වතාගේ මානසික ව්‍යාධිය යැයි ඇය කල්පනා කරන්නේ දෙවනි පෙම්වතිය බැවිනි. 
අවසානයේ ඇයට අවශ්‍යදේ සිදුනොවුනි. සරණට සිටියේ අතපය ඉස්සුවද 'අයියා' නම් පෙම්වතාය. නැවතත් මුල් හිස්ටෙරික ප්‍රශ්නය අසනාවානම්,
ඔබ කියන කෙනා බවට මම පත්විය යුත්තේ ඇයි ?'
තවත් පොතක් කියවා තමන්ට හිමි ලෙඬේ සොයාගන්නැයි අපි ආරාධනා කරමු...



- නිරෝෂ් මෛති‍්‍ර -
2014/01/16


Wednesday, October 16, 2013

සරසවි සිහිනය



       ක්කට අලුතින් ලැබුණු සිඟිත්තාව බලන්නට කාර්යාලයෙන් පිටවූයේ දහවල් 2 ට පමණය. හයිලෙවල් මාර්ගය ඔස්සේ නුගේගොඩ නගරයට ඇතුළු වද්දිම මතකය දිවගියේ මීට වසර 7ක් පමණ ඈත අතීතයටය. අළුතින් ඉදිවූ ගුවන් පාලම නුගේගොඩ නගරයේ තිබූ අතීත සුන්දර සැකැස්ම එහෙම්පිටින්ම වෙනස්කොට ඇත. එදා නුගේගොඩට එනවිටම ඇස ගැසෙන්නේ ඒ සුවිශාල බෝ ගස උවත් අද නෙතගැටෙන්නේ ගුවන් පාලමය. 

"මචං අපි ඇවිත් ඉන්නේ බෝගහ ගාව.අනිත් උනුත් මෙතනට සෙට් වෙනවා. ඉන්න මගුලකින් වරෙන් ඉක්මනට..."

එදා ඒ බෝගස නුගේගොඩ අමතර පන්ති යන බොහෝ දෙනෙකු වෙන වෙන ගමන් යාමට එක්රැස්කර ගන්නා නගර සලකුණක්ද විය. කෙසේ වෙතත් ඒ නගරය දැන් නුහුරු නුපුරුදු වන තරමටම වෙනස්වී ඇත. ඒ විනාඩි කිහිපයට මහගොඩක් දේවල් කල්පනා වූයේ මා ඒ නගරයට ඇත්තටම ආශා කල නිසා විය යුතුය.

හොදම සිදුවීම සිදුවූයේ නුගේගොඩ හංදියෙන් වමට හරවනවාත් සමගමය. කාලෙකින් හොදම මිතුරෙකු දුටු කලෙක මෙන් පාරෙන් එහා පැත්තේ තිබූ සරසවි පොත්හල දැක නොදැනීම තිරිංග තදවුණි. එය දැක මට මේ තරම් සතුටක් දැනුනේ ඇයිදැයි මා නැවත ගෙදර පැමිණි පසුද කල්පනා කලේය. මොහොතක් සරසවිය දෙස බලා සිටි මට එයට ගොඩවීමට දැඩි ආශාවක් ආවද දැනටමත් ප‍්‍රමාදවී ඇති බැවින් ආපසු එන එන ගමනේ සරසවියට යන බලාපොරොත්තුවෙන් නැවත වාහනය පණ ගැන්වූයේය. රොටරියේ අමතර පන්ති දවස්වල මා වැඩි කාලයක් ගෙවූයේ සරසවියේත් සම්මාන එකේත්ය. අතේ මුදල් නොගැවසුන ඒ කාලේ පොතක් ගන්නවා කියන්නේම හෙන ගේමකි. වැඩි හරියක් කලේ සරසවියේ මා කැමතිම පොත් අතගා ඒමය. ඒ පොත්වල සුවද අදටද මට දැනෙයි. ඒ කියැවීමේ පුරුද්ද නැතිවූයේ කවදාදැයි මට සිතාගත නොහැක.

ලෝකෙ නැති බොරු කියමින් හකු රිදෙන තුරු සිනාසී කාලය ගත කර අක්කාගේ නිවසින් පිටවූයේ සවස 5 ට පමණය. එන ගමන් සරසවිය අසලින් බයිසිකලය නවත්වා එයට ගොඩවූ විටම මට දුටු දෙයින් ඇස් අදහා ගත නොහැකි විය. සරසවිය පිරෙන්නට තිබූ පොත්පත් වෙනුවට එහි රාක්ක වල තිබුනේ පාසැල් උපකරණ, ලිපිද්‍රව්‍ය, සුභ පැතුම් පත්ය. මාව කරකවා අතඇරියාක්මෙන් විය. පසුව සිහිවූයේ මා බයිසිකලය නැවැත්වූ තැනට අනෙක් පසින් නව සරසවි ගොඩනැගිල්ලක් තිබූ බවය. පසුව හිත හදාගෙන එයට ගොඩවූ පසු එහි හාත්පස තිබුනේ ඉංගී‍්‍රසි පොතපතය. සිහින ලෝකයක් එකවර දෙපතුල ළඟ කඩාවැටුන කලෙක දැනෙන හැඟීමක් මට දැනෙන්නට විය. මා හිස් අතින්ම ආපසු හැරුනේය. ඇතැම්විට එහි කොහේ හෝ සිංහල පොතපත තියෙන තැනක් තිබෙනවා විය හැක. නමුත් මා එය සොයන්නට නොගියේය. ඒ, මා සෙවූයේ අතීතයේ තිබූ සරසවියම වන නිසා විය යුතුය. අවසානයේ නුගේගොඩ නගරය පමණක් නොව එහි අතීතයද බොහෝ වෙනස්වී ඇති බව පමණක් තේරුම් ගෙන නැවත බයිසිකලයට නැංගේය.

අප අතීතයට, අතීතයේ සුන්දර මතක සැමරුම් වලට අතිශය ලෙස ආදරය කරමු. හැකි සෑම විටම අප උත්සහ කරන්නේ ඒ සුන්දරවූ අතීතයේ දිනවල ඇවිද යන්නටය. ඒ සුවඳ විදින්නටය. අප විශ්වාස කරනුයේ ඒ අතීතය ඒ ආකාරයෙන්ම නොනැසී තවමත් ඒ ආකාරයෙන්ම අප වෙනුවෙන් බලා හිදිනබවය. නමුත් එය එසේ නොවෙන්නේ සිහිනයට වඩා බොහෝ ළඟින් සැබෑ ලෝකය පවතින නිසාවෙනි. එක් මොහොතකට හෝ ඒ අතීතයේ දිනකට ගොස් අතීතයේ අහුමුළු තුළ ඉපැරණි දෑ සෙවූවද ඒවා වර්තමානයේ පවතින්නේ අපව කඩාවට්ටන තරම් වෙනස්කම් සහිතව බව දකින්නට සිදුවීම වෙනස්කල නොහැකි සත්‍යයකි.


- නිරෝෂ් මෛති‍්‍ර -
2013 ඔක්තෝම්බර් 17






Sunday, August 18, 2013

බොක්කෙ Fit එක



උඹව මගේ ළඟට ගත්තේ හරියට දුක් විදලා.
විදලා විතරක් නෙවෙයි අදටත් විදිනවා..
කොහොමටත් ගෙදර ඇවිත් සතියකින් 
උඹ මට දුන්නනෙ අත් දෙක ලෙලි යන්නම..
ඒත්, උඹයි මමයි කාපු කටු දන්නෙ 
අපි දෙන්නා විතරමයි නේද?
ජොබ් එකෙන් අයින් වෙලා,
නන්නත්තාර වෙලා ඉදපු දවස් මතකද?
ඒ දවස්වල මාත් එක්ක උඹ 
මේ කොළඹ 
නොගිය තැනක් නැතුව ඇති..
මහරගම පාරවල් ගානෙ 
අපි සතියට කී පාරක් එහාට මෙහාට ගියාද?
මතකද පාර්ලිමන්ට් පාරේ අක්කාගේ තේ කඬේ?
ගියපු කිසිම දවසක එතනින් රොටියක් නොකා ගියේ නැහැ..
ඒත් දවසක් 
එතනින් යනකොට අක්කාගේ කඬේ කඩලා..
හේතුව, 
කොටාගේ නගර අලංකරණ වැඩපිළිවෙලලු..
ඌටයි, උගේ අම්මටයි පිංසිද්ධ වෙන්න,
මගදි නිදහසේ ප්ලේන්ටියක් ගහලා,
සිගරට් එකක් බොන්න තිබ්බ තැනත් නැති උනා...


උඹට මතකද උඹව කැඩුණ පළවෙනි දවස?
එදා මැච් එකක් ගහලා අපේ උන් වලේ සෙට් උන දවසක්..
එකෙක්ට නහුතෙට වැදිලා,
ඇල්විටිගල පාරේ රේස් පදින්ඩ ඕනෙ කියලා උඹව අරන් ගියා...
මට ඌට බැහැයි කියන්න බැරි උනා..
අන්තිමට බලද්දි ඌ පොලීසියට අහුවෙලා..
අපි ගිහින් ඌවත් අරගෙන එනකොට 
උඹේ ගියර් සෙට් එකම කඩලා..
මහ රෑ උඹව වෙන එකෙක්ගේ බෝඩිමකට අරන් ගියේ 
නොවිදිනා දුක් විදලා..
ඌ අදටත් හිනා වෙනවා එදා රෑ ගැන මතක් කරලා..

හොදම සිද්ධිය උනේ අලුත් රස්සාවට ආවට පස්සෙ.
මතකද දවසක් මම ඕෆ්වෙලා 
මහ රෑ ගෙදර යන්න යනකොට
පොලීසියෙන් උඹේ ප්ලග් එක ගලවන් ගිහින් තිබුනා..
එදා රෑ මට හීන් දාඩිය දැම්මා,
ගෙදර යන්නෙ කොහොමද කියලා..
අන්තිමේදී බඩ ලොකු අයියා තමයි 
දෙයියෙක් වගේ පිහිටට ආවෙ පොලීසියට යන්න.
නැත්තම් තාම ඔෆිස් එක ගාව..
ඒකෙ හොදම සීන් එක,
පොලීසියට ගිහින් ඇහුවම 
"ඇයි ප්ලග් එක ගැලෙව්වෙ" කියලා 
එතන වාහන නවත්තන්ඩ බෑලු..
"නවත්තන්න තහනම් කියලා එතන කොහෙද ගහලා තියෙන්නෙ" කියලා ඇහුවම 
"ගහන්න දෙයක් නැහැනෙ මහත්තයෝ, 
බැසිල් මහත්තයාගෙ වාහන එනකොට 
පාර ක්ලියර් වෙලා තියෙන්න ඕනෙනෙ, 
නැත්තම් අපිටනෙ කේස්"
මට 'අනේ හුකේ' කියලා කියවෙන්නනම් ගියේම නෑ..

ඒත් උඹයි මායි දෙන්නම දන්න 
ඒත් මතක්කරන්නවත් අකමැති දෙයක් තියෙනවා..
ඒ උඹත් එක්ක එක්කගෙන යන්න 
මේ ලෝකෙ කැමතිම කෙනත් එක්ක යන්න 
උඹටවත් මටවත් කවදාවත් වාසනාවක් නොලැබුන එක ගැන 
අපි දෙන්නම දුක්වෙනවා කියලා....
අදටත් උඹ ආසයි නේද එයා එක්ක කොහේම හරි යන්න?
ආ.. පුළුවන්නම් නෑ කියපං?

කරන්න දෙයක් නැහැ පුතේ,
මොනවා උනත් 
උඹ මට හොද යාළුවෙක්.
පුළුවන් තරම් කාලයක් 
එකට ඉමු...



- නිරෝෂ් මෛති‍්‍ර -
- 2013/08/18-




Thursday, May 30, 2013

තෝසයක් කියූ කතාවක්...




   පන්තිය අද වෙනදාට වඩා විනාඩි 15ක් වේලාසන අවසන් වූයේය. ජයරත්න මල් ශාලාව අසලින් පාර පැන බොරැල්ලට යන බස් එකක එල්ලුනේ ටියුට් එක රෝල්කර කලිසම් සාක්කුවේ රුවාගෙනය. වෙලාව 12.45. කාර්යාලයට යාමට ප‍්‍රමාද නැතත් ඇයව බලන්නට නලියන හිතේ තිබුනේ නොසන්සුන් කමකි. බොරැල්ලෙ හන්දියෙන් බසය නවත්වන්නටත් කලින්ම එයින් පැන්නේය.

"ක්ලාස් ඉවරද?.."
"ඔවු බබා.. අද කලින් ඉවර උනා. මොනාද කන්න ගේන්නෙ?.."
"ආස දෙයක්... මටනම් බඩගිනිත් නෑ..."
"ආ.. නොකා හදාගන්නකො ලෙඩක්. ඉන්න මම ඉක්මනට එන්නම්..."
හැමදාම මම ගෙනියන්නෙ මසාල තෝසය. මම කැමතිම ඒවට බව ඇය දනියි. මම බොරැල්ලෙන් තෝස ගෙන ඉක්මනින් කාර්යාලටය ගියේය. ඇයගේ මුහුණ දුටු පසු මටත් ඇති බඩගින්නක් නැත. ඇය ඒ තරම් ආදරණියය.

"ඇයි බබා ? මූණත් අමුතුයි.."
තෝස කෑ පසු කාර්යාලයේ පුටුවකට බරවෙන ගමන් මම ඇසුවෙමි.
"නෑ එහෙම දෙයක් නැහැ නිසල්, මගෙ කට අමුතුයි ඒකයි.,,"
"ඇයි වමනෙ යන්න එනවද?.."
"ඒ වගේ.."
"ඇයි ඒ... කෑවට පස්සෙ නේද?.."
"හ්ම්..."
"ඔයා ආසයිනෙ තෝස වලට. අද මොකක්ද අවුල් උනේ නිකම්ම ? .."

ඇය සිහින්ව සිනාසුනාය. ඒත් ඒ හිනාව ව්‍යාජ යැයි මට සිතුණි.

"මොකක් හරි තියෙනවා ඔයා නොකියන?.."
ඇය අහින්සකව හිස ඔසවා මා දෙස බැලුවාය.

"මම තෝස වලට ආස නැහැ මහත්තයෝ.."
මගේ හිසට පොල්ලෙන් ගැසුවාක් මෙනි.මම තෝස ගෙනා පළමු දිනය මෙය නොවේය. ගෙනා සෑම දිනකම ඇය ඒවා කෑවෙ රස කර කරය.

"එහෙනම් මෙච්චර දවස් ආසාවෙන් කෑවෙ?.."
ඇයගේ ඇස් දෙක තෙත්වී ඇත.
"අද කෑවෙත් ආසාවෙන් තමා නිසල්. මම දන්නවනෙ ඔයා කන්න ආසම ඒවා කියලා. මම ආස නැහැ කිව්වොත් මම නිසා ඔයා ආයෙ ඒවා ගේන්නැති බවත් මම දන්නවා. පවුනෙ ඔයා. ආස නැති දෙයක් දිගටම කද්දි වමනෙට එනවානෙ මගෙ මහත්තයෝ. ඒකයි අද උනෙ..."

ආදරය කියා අප තේරුම් ගෙන ඇත්තේ මොනවාද? මට මා ගැනම ලැජ්ජා සිතුණි.



- නිරෝෂ් මෛති‍්‍ර -
2013-05-30






Tuesday, May 21, 2013

අයියෝ "චාපා"



      චාපා ගැන පූර්විකාවක් නොලිව්වේ ඇයි දැයි මට සිතුනේ ඒ පිළිබදව මාව හතරවෙනි තට්ටුවට ගෙන ගොස් රහස් පොලීසිය ප‍්‍රශ්න කරන්නාක් මෙන් කිහිපදෙනෙක් දැඩිව ප‍්‍රශ්න කල නිසාවෙනි. බොහෝ දෙනා මේ පිළිබදව වැරදි මතයක පිහිටා කතාව කියවන බව දැනුන නිසා පමාවී හෝ පූර්විකාවක් නොවූවත් යම් පැහැදිලිකිරීමක් සටහන් කිරීමට සිතුණි. මන්ද, වෙන් වෙන්ව මෙයට පිළිතුරුදී මට ඇතිවී ඇති නිසාවෙනි. චාපා සදහා පූර්විකාවක් තැබීමට මට අමතක වූවා නොවේ. කතාව අවසානයේ පසුවදනක් ලීවීමට සිතා සිටි නමුත් එන්න එන්නම ඇතිවන භීෂණකාරී තත්ත්වය උග‍්‍ර අතට හැරෙන නිසා තවත් මෙය ප‍්‍රමාද කිරීම සුදුසු නොවන බව හැඟුනි.

ප‍්‍රථමයෙන්ම සදහන් කරන්නට ඇත්තේ චාපා යනු මීට වසර 9 කට පෙර එනම් 2004 වර්ෂයේ ලියා අවසන් කල කතාවක් බවයි. වැඩිදෙනාගේ ජාතික ගැටළුව වූයේ චාපා මගේ අත්දැකීමක් නේදැයි යන පැනයයි. වැඩි දෙනෙක්ට උත්තර බැදීමට සිදුවූ නිසා දුන් බොහෝ පිළිතුරු උදාසීන ඒවා විය. නමුත් බුද්ධියේ විමසුමට ලබාදෙන සත්‍යයේ සටහන නම් චාපාගෙන් ඉතාමත් සුළු කොටසක් මගේ අත්දැකීම්ද සහිත උවත් සමස්ත කතාවෙන් 95% ක්ම මගේ නොවෙන බවයි. 
චාපා මට ලියන්නට හේතුවක් විය. ගිම්හානට මෙන් පාසැල් සමයේ මටද ඇතිවූ ප‍්‍රථම පේ‍්‍රමයක් විය. එය මාස 03ක් හෝ 04ක් පමණක් තිබී හිටි හැටියේම අවසන් වූයේ ප‍්‍රථම වතාවට විරහව යනු කුමක්දැයි මට වටහාදෙමිනි. සිගරට් අරක්කු වල පිහිට නොපතන ඒ කාලේ එම පීඩනය පිටකරගන්නට පිටු ඉතිරිව තිබූ සාමාන්‍ය පෙල තනිරූල් පොත් 04 ක මම කතාවක් ලීවෙමි. ඒ ඇතැම් විට මට සාර්ථක පාසැල් ආදරයක් තිබුනානම් මා කැමැත්තෙන් සිටියේ මේ ආකාරයක ආදර කතාවක් යැයි මගේ සිතේ තිබුන කතාව වන්නට ඇත. චාපා යනු මගේ සිතේ සිටිය මම ආදරය කරන්නට කැමැත්තෙන් සිටි චරිතය වන්නට ඇත. මම ආදරයක් ලැබීමට කැමැත්තෙන් සිටි චරිතය වන්නට ඇත. ඒ පීඩනය අවසානයේ චාපා ලෙස එළියට ආවේය. (අද ඒ ආකාර සිදුවීමක් උනානම් කතා නොලියා අපි බාර් හිස් කරන්නෙමු). 

   පාසැල් කාලයෙන් පසුව මට එක් වරක් හැරෙන්නට එම කතාව නැවත කියවීමට අවස්ථාවක් වූයේ නැත. රැකියාවක් කරන්නට පටන්ගෙන අප ලොකු මිනිසුන්වූ පසු මට එම පොත් 04 අමතකම වී ගියේය. නමුත් පසුගිය මසෙක මට එම පොත් හතර සුරැකිව තිබී හමුවිය. මට දැනුනේ පැරණි මිතුරෙකු නැවත දුටුවාක් මෙන් සතුටකි. ඉන්පසුව චාපා මෙලෙස කොටස් වශයෙන් අන්තර්ජාලයට එකතුවෙන්ට පටන්ගත්තේය. 

චාපා ගැන මෙතෙක් කියූ දේවල් වලට වඩා විශේෂ යමක් කීමට ඇත. එනම්, චාපා කතාව මට පුදුම සහගත කතාවක් බවයි. චාපා ලියද්දී මගේ සිතුවිලි වලින් හෝ සිහින ලෝකයේ හෝ දේවල් වලින් ලියූවද පසුකාලීනව කතාවෙ එන බොහෝ සිදුවීම් ඒ ආකාරයෙන්ම සිදුවිය. ඇතැම් දෙබස් ඒ ආකාරයෙන්ම කණ වැකෙද්දී මම පුදුම වී ගියේය. ඇතැම් චරිත ඒ ආකාරයෙන්ම මුණ ගැසුණි. එබැවින් චාපා කතාව මට සැමදාම විශේෂ එකක් විය.චාපා කතාව ගැන තව කියන්නට ගියහොත් කතාවේ ඉදිරි කොටස් පිළිබදව හෙළදරව් වන නිසා කටඋත්තරය මෙතනින් අවසන් කිරීම සුදුසුය. නවකතාකරුවන් හෝ කෙටිකතා කරුවන් කතා ලියන්නේ ඇතැම්විට අත්දැකීමක් පාදක කරගෙනය. නමුත් එය සෑම විටම එසේ නොවන බවයි මට කීමට අවශ්‍ය වූයේ. චාපා කතාව එයට හොදම උදාහරණයයි.


- නිරෝෂ් මෛත‍්‍රි -
   2013/05/22



Sunday, May 19, 2013

Heer - (අතිශයින් හින්දි රසිකයන් සදහා පමණයි)




Jab Tak Hai Jaan පසුගිය කාලයේ අතිශය ජනපි‍්‍රයත්වයට පත් චිත‍්‍රපටයක්. එහි තවත් විශේෂත්වයක් වන්නේ බොලිවුඩ් සිනමාවේ ආදරණීයම චිත‍්‍රපට නිෂ්පාදකයා වන යශ් චෝප්රා (King of Romance) අතින් නිර්මාණය වූ අවසාන චිත‍්‍රපටය වන නිසාය. මෙම සටහනෙන් බලාපොරොත්තු වන්නේ යශ් චෝප්රා ගැන හෝ Jab Tak Hai Jaan චිත‍්‍රපටය ගැන කතාබහ කිරීම නොව එහි එන අපූරු ගීයක යට ගියාව පිළිබද විශේෂ සටහනක් ඉදිරිපත් කිරීමටය.
සුන්දර ගීත රැසකින් හෙබි Jab Tak Hai Jaan චිත‍්‍රපටයේ එන "Heer" නම් පන්ජාබ් ගීතය විරහ ගීයකි. එහි තාලයත්, ගායිකාවගේ හඩත් හින්දි ගීත ලෝලීන්ගේ සිත් වසග කරගන්නේ අපූරු ආකාරයෙනි. මන්ද එය පන්ජාබ් ගීතයක් වූවද මෙතරම් ජනපි‍්‍රයත්වයක් දිනාගන්නේ එහි ඇති අපූර්වත්වය නිසාවෙනි.
පන්ජාබයේ එන ඉතිහාස කතා දෙකක් නොදැන සිටියහොත් ඔබට "Heer" ගීතයේ අරුත වැටහෙන්නේ නැත.
එම කතා දෙක නම්, හීර් - රන්ජා (Heer - Ranjha) හා මිර්සා - සහිබා (Mirza - Sahiba) යන ආදර කතා දෙකයි.

Heer - Ranjha - 'හීර්' කියන්නේ ජන්ජාබයේ ජාන්ග් නගරයේ ධනවත් පවුලක උපන් ඉතාමත් සුරූපි තරුණියක්. 'රාන්ජා' ජන්ජාබයේ ටාක්ත් හසාරා නගරයේ සිවුදෙනෙකුන් යුක්ත පවුලේ බාලයායි.
තරුණ රාන්ජා තම සහෝදරයන්ගේ මදිපුංචිකම් ඉවසාගත නොහැකිව ගෙදරින් පිටවී රැකියාවක් සොයාගෙන ජාන්ග් නගරයට පැමිනෙනවා. එහිදී ඔහුට හීර් මුණ ගැසීමෙන් පසුව හීර් තම පියාට අයත් ගව රැළක ගොපල්ලෙකු වශයෙන් ඔහුට රැකියාවක් ලබාදෙනවා. රාන්ජා දක්ෂ බටනලා වාදකයෙක්. ඔහුගේ බටනලා වාදනයට හීර් ඉතාමත් ආශා කරනවා. සෑම දිනකම ඔහුගේ වාදනය ඇසීමට හීර් පැමිණෙනවා. පසුව ඔවුන් නොදැනීම පේ‍්‍රමවන්තයින් වනවා. මෙම ආදරය වසර ගණනනාවක් හොර රහසේ පැවතියත් හීර්ගේ මාමා කෙනෙකුට මොවුන්ගේ පේ‍්‍රමය ආරංචි වෙනවා. පසුව හීර්ගේ දෙමාපියන් ඇයගේ අකමැත්තෙන් 'සයිදා කේරා' නම් පුද්ගලයෙකුට විවාහ කරදෙනවා.

Mirza - Sahiba - චෞද්රි වන්ජාල් ඛාන්ගේ පුතා වන 'මිර්සා' ඔහුගේ අධ්‍යාපන කටයුතු සදහා 'කීවාන්' ප‍්‍රදේශයේ නෑදෑ නිවසක නතරකර තබනවා. එහිදී ඔහුට 'සාහිබා' නම් රූමත් තරුණිය මූණ ගැසී ඔවුන් දෙදෙනා ආදරය කිරීමට පටන්ගන්නවා.කල්යත්ම සාහිබාගේ දෙමාපියන් ඇයව 'තහා ඛාන්' නම් පුද්ගලයෙකුට විවාහකරදීමට සූදානම් වනවා.
මෙය සැලවූ මිර්සා ඇයගේ මෙහෙන්දී උත්සවයේදී අශ්ව කරත්තයකින් පැමිණ ඇයව රහසේම රැගෙන යනවා. නමුත් සාහිබාගේ සහෝදරයන්ට මෙය ආරංචිවී ඔවුන් දෙදෙනා සොයාගෙන ලුහුබදිනවා. බොහෝ වේලාවක් ගමන්කල නිසා මිර්සා ගසක් යට අශ්ව කරත්තය නවත්වා සාහිබාගේ උකුළ මත හිස තබාගෙන විවේක ගන්නවා. සාහිබා තම සහෝදරයින් දුරින් එනවා දැක කළබල වනවා. මන්ද මිර්සා හොදින් පුහුණුවූ දුණුවායෙක් බැවින් ඔහු අවදිවුවහොත් ඔහුගේ දුණු පහරින් තම සහෝදරයින් මියයාවියැයි ඇය බියවනවා. එබැවින් ඇය මිර්සා නිදාසිටියදී ඔහුගේ ඊතළ කඩාදමනවා. ඇයගේ සහෝදරයින් ඇයට ගොඩක් ආදරය කරන බව දන්නා සාහිබා ඇයව දුටු පමණින් ඔවුන්ගේ සිත් වෙනස්වී ඔවුන් දෙදෙනාට අනතුරක් නොකර ආශිර්වාද කොට ඔවුන්ව ගෙදර ගෙනයාවියැයි ඇය විශ්වාස කරනවා. නමුත් සිදුවන්නේ අනෙකක්. මිර්සාව වටකරගන්නා සහෝදරයින් ඇතුළු පිරිස ඔහුට පහර දෙනවා. අවදිවූ මිර්සාද ඔවුන් සමග සටන් කලද පිරිස විශාල නිසාත් ඔහුගේ ඊතළද නොමැති නිසාත් සාහිබාගේ සහෝදරයන්ගේ කඩුපහරින් මරු වැළද ගන්නවා. කිසිවෙකුගේ ලේ වැගීරීමකට අකමැති වූ සාහිබා නොසිතූ අයුරින් සිය පේ‍්‍රමවන්තයා තමන් නිසා මියගිය ශෝකයෙන් ඔහුගේ කඩුව ගෙන මිර්සා ඉදිරියේම සියදිවි නසාගන්නවා. අදටත් මිර්සා හා සාහිබා පන්ජාබ් ජාතිකයින් අතර අමරණීය පේ‍්‍රමවන්තයින් දෙදෙනෙක්.


'Heer' ගීතය ගොඩනැගෙන්නේ මෙම පුරාවෘත්ත දෙක පදනම් කරගෙනය.


"Heer Heer na akho adiyo
Main te Sahiba hoi
Ghodi leke aave le jaaye
Ho mainu le jaaye Mirza koi
Le jaaye Mirza koi..."


"මට 'හීර්' කියා ආමන්ත‍්‍රණය නොකරන්න..

මම කැමතියි 'සාහිබා' කෙනෙක් වෙන්න...
මොකද එහෙම උනොත් විතරයි 
'මිර්සා' අශ්වයාගේ පිටින් ඇවිත් 
මාව එක්කගෙන යන්නෙ..."

- පද රචනය | ගුල්සාර් -


මෙතෙක් මේ ගීතය අසා නැත්නම් උනන්දුවෙන් එක්වරක් දෑස්වසාගෙන අසා බලන්න. ජීවිතයේ එක්දිනක් හෝ ආදරය කර ඇත්නම් සැබවින්ම මේ ගීතය ඔබේ හදවතට දැනේවි.



"Heer" ගීතය මෙතනින්...






Jab Tak Hai Jaan චිත‍්‍රපටය සංක්ෂිප්තව :

සමර් හට අනතුරක් සිදුවූ අවස්ථාවේ මීරා දෙවියන්ගෙන් ඔහුව සුව කරදෙන මෙන් ඉල්ලා සිටියාය. ඒ වෙනුවෙන් ඇය භාරවූයේ තමන්ගේ ආදරයයි. සමර් හට සුවවුවහොත් මින් පසුව ඔහුව මුණ නොගැසෙන බවට ඇය දෙවියන්ට පොරොන්දු වනවා. අවසාන වතාවට සමර් හමුවන ඇය රොජර් නම් විදේශිකයා හා විවාහ වෙන බවට පවසා ඔහුගෙන් සමුගන්නවා. පසුව ඉන්දියානු හමුදාවේ බෝම්බ නිශ්කී‍්‍රය අංශයට බැදෙන සමර් ජීවිතය පිළිබදව කිසිදු බලාපොරොත්තුවකින් තොරව සිය ආදරය සිතේ තබාගෙන අවදානම් දිවියක් ගෙවමින් ජීවත්වනවා.
වසර ගණනාවක් ගෙවුනු පසු අනපේක්ෂිත අන්දමින් අකීරාගේ මැදිහත්වීම නිසා සමර් හා මීරා මුණගැසෙන්නෙ කොපමණ දුරස් කරන්නට උත්සහ කලද ඔවුන්ගේ ආදරය යටපත් කිරීමට නොහැකිවූ නිසාවෙනි. නමුත් ඒ වන විටත් මීරා හෝ සමර් විවාහවී සිටියේ නැත.


- නිරෝෂ් මෛති‍්‍ර -
2013/05/19


 

Sample text

Sample Text