Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Tuesday, April 1, 2014

කට කහනවට



ලිවීම දිගින් දිගටම මඟ හැරෙන විට මතක්වන්නේම සාරංග පතිරණවය. එකට බ්ලොග් ලියන අප දෙදෙනාටම හරහට එන ගැටළුව කාලයයි. පතිරණ මස්සිනා ලිවීම අඩුකරන විට කින්ඩි දැමූ මටද දැන් මමම කින්ඩි දමන තත්ත්වයට ලිවීම මඟහැරී ඇත. ඒ අවු අස්සෙ සුබියාද බ්ලොගයක් අටවාගෙන ලියන්නට පැමිණිම සතුටට කරුණකි. කවුරුම හෝ ලියනවා දැකීම ඇත්තටම සතුටකි. ලියන එකා කියවන එකෙකි. කියවන එකා දැනුවත් එකෙකි. අවසාන අරමුණ පට්ටම පොරක් වීම නොවුනත් දැනුවත්වී සිටීම අප කාට කාටත් ජීවත්වීම අතිශය පහසුකරවයි.

මුලින්ම කීමට ඇත්තේ මේ ලියමන ලියන්නට ගන්න මොහොතවන විටත් ලියන්නේ කුමක් ගැනදැයි නිශ්චිත අරමුණක් තිබුනේ නැත. නමුත් ලියන්නට වටිනා නොසෑහෙන දේවල් ඇතිකරන මාතෘකා රැසක් පසුගිය කාලය පුරාවටම සිදුවිය. ස්වයං වාරණය සෘණ අගයක් ගන්නා මං වැනි අයෙකු නොලියාම සිටින එක රට ජාතියේ අභිවෘද්ධියට කෙසේ වෙතත්, ඇතැම් පුද්ගලයන්ට මෙන්ම ආයතනයන්ගේ උන්නතියට එය වඩාත් හිතකර වනු ඇත. නමුත් ලිවීම, හුස්ම ගැනීම මෙන් ජීවිතයේ අංගයක් වූ කෙනෙක් හට වෙන විකල්පයක්ද නැතිය.

සාමූහිකත්වය ගිලිහෙමින්, සංක‍්‍රාන්තික අවධියක් පසුකරමින් යන අප හට සමූහයක් ලෙස ඇත්තේ බලාපොරොත්තු විරහිත, ඉච්චාභංගත්ව මානසිකත්වයකි. ලොක්කන් කියන අය පිස්සු කෙලමින් සිටින අතර, ගැල අදින පොඩ්ඩන්, කුඩ්ඩන් මෙන් මානසික ආතතිය සදහා නේවාසික ප‍්‍රතිකාර ගනිමින් සිටියි. වටු කුරුල්ලන් මෙන් දැළම ඔසවාගෙන යනවා වෙනුවට එක් එක් වටුවන් තමන් සිටින තැනින් දැළට කොටා ඉඟිලී යයි. එය වටුවාගේ ආත්මාර්ථය යැයි මොහොතකට හෝ අර්ථ ගැන්විය නොහැක. මන්ද දැළේ පැටලී සිටින වටුවන්ද ඔසවනවාක් මෙන් පෙන්වූවාට ඔසවන දැළක් නොමැති නිසාය. එය ආඩි හත් දෙනාගේ කැඳ හැළියටද සමානය. අවසානයේ කැද සෑදීමට හාල් දැමූවෙකු නොමැතිවූවා සේ එකතුවී, කෙලින් කතා කර දැළ ඔසවන සාමූහිකත්වයක් පෙනෙන්නට නැත. අවසාන විග‍්‍රහයේදී සාමූහිකවම සෑම දෙනාම පරාදය. වැඩිපුරම ගුටිකා ඇත්තේ ගුරු දෙගුරු රැස්වීමේදී විදුහල්පති මාතාව "හොද පුතා" හෝ "හොද දුව" යැයි කී අයය.
මේ ගෙවන්නේ එදා වේල ජීවිතයකි. 'දිනය' නැමැති ඒකාකාරී සෙක්කුවක ගැට ගසා ඇති අප නැවතත් නැවත නැවතත් යන්නේ සෙක්කුව වටේටම පමණි. පොතක් පතක් කියවන්නේ නැත, වේදිකා නාට්‍යක්, සිනමාවක් ගැන මෙලෝ හසරක් නැත, වඩාත් පැහැදිලිව කියන්නේ නම් කොහෙත්ම සංස්කෘතික ජීවිතයක් නැත, යාළුවෙක් මිත‍්‍රයෙක් ඇසුරකට කාලයක් නැතකොටින්ම අරකත් නැත, මේකත් නැත.

නමුත් ලියන්නට අපමණ දේවල් ඇත. ඒත් මේ වෙලාව නොවේ යැයි සිතෙයි. සිදුණු හෝ බිදුණු මනසින් යුතුව උවද අප අනාගතය දෙස උපේක්ෂවෙන් බලා සිටිමු.



- නිරෝෂ් මෛත‍්‍රි -
2014/04/01