Social Icons

Sunday, June 30, 2013

චාපා 16



අප නුවරට යනකම් කලේ සින්දු කියන එකය. නමුත් නුවරට ළඟා වන විට වැඩි දෙනෙක්ගේ කන් අගුල් වැටී උගුර බැරැන්ඩි වී වෙන්න තිබූ සේරම සිදුවී තිබුණි.නමුත් නුවර පරිසරයත් සීතල මද සුළඟත් සහිත පරිසරය ගතට ගෙනෙන්නේ වෙනස්ම හැඟීමකි. දළදා මාළිගාව වැදීමෙන් අනතුරුව දහවල් දොළහ පමණවන විට අප පේරාදෙණිය උද්භිද උද්‍යානයට ඇතුළුවූයේ එහි සිටම දිවා ආහාරය ගැනීම පහසු නිසාය. තැන තැන ගස් යට එකතුවූ ළමයින් ආහාර ගැනීමට සැරසූනේය.

"ගිම්හාන ආ..."
චාපා හා ඉරේෂා පැමිණ බත් පාර්සලයක් මා අත තැබීය.

"මේ කොහෙන්ද?.."

"මම ගෙදරින් ගෙනාවා.."
මට පුදුම සිතුණි.

"කාටද බත් දෙකක් ගෙනියන්නෙ කියලා ඇහුවෙ නැද්ද?..."

"අම්මා ඇහුවා, මම කිව්වා ඉරේෂාගෙ අම්මාට අසනීප නිසා එයාටත් එක්ක තව එකක් දෙන්න කියලා..."
මට සිනා ගියේ ඇය එය කියූ ආකාරයටය.

"බලනවා ඉතින් ,මෙයාලාගෙ කෙහෙල්මල් ලවු එකක් හින්දා අර ගහක් ගලක් වගේ ගෙදර ඉන්න අපේ අම්මත් ලෙඩ ඇදට දාලා. උඹ අහුවෙයන්කො මට...."
ඉරේෂා චාපාට කියූවේ මවාගත් තරහකිනි.

"එහෙනම් කන්න ගිම්හාන, අපි යන්නම්..."

"ඔය දෙන්නත් අපිත් එක්ක මෙතන කමු...."

"ආසයි. ඒත් පි‍්‍රයංකා ටීච මුකුත් කියයිද දන්නෑ..."

"ඒක හරි වැඩක්නෙ. මෙන්න මෙතන වාඩිවෙලා කන්න ජෝඩුවම. අපි මේ ටි‍්‍රප් එකක්නෙ ඇවිත් ඉන්නෙ...."

චාමර පත්තරයක් දිගහැර වාඩිවෙන ගමන් කීවේය. චාපාත් ඉරේෂාත් ඔවුන්ගේ කෑම පාර්සල් දෙක ගෙනවිත් අප අසලින් වාඩිවිය. චාපා ඉදගත්තේ මගේ අනෙක් පසිනි.

"කෝ දිග ඇරපන් බලන්න උඹේ නැන්දම්මාගෙ බත් එක. මේකෙන් තමයි අපි තීරණය කරන්නෙ කොල්ලව එහෙට යවන්න සුදුසුද නැද්ද කියලා...."

පැතුම් මටත් කලින් චාපා මට දුන් බත් පාර්සලය දිග හරිමින් කීවේය. චාපා මා දෙස බලා සිනාසුනාය.

"ෂා.. මාර සුවදක් නම් එනවා සුවද වගේම රසත් තිබ්බොත් නංගි ගොඩ.."
චාමරත් කල්පත් කට හද හදා කන්නට පටන් ගත්තේය.

"මේ ළමයාටත් කන්න දෙනවාකො හාමතේ ඉදලා වගේ තනියම ගිලින්නෙ නැතුව.."
ඉරේෂා චාමරට කීවාය.

"ආ මෙන්න.. මූ බඩගින්නෙ කියලා චාපාට නෙවෙයි මෙයාටයි ඩෝං ගිහිං තියෙන්නෙ..."

මමත් පැත්තකින් බත් කටක් ඇනුවේය. ඇනූ කට කන්නට කලින් මට චාපා දෙස බැලිණි. මම බලන විටත් චාපා සිටියේ මා දෙස බලා සිටියේ ඇනූ බත් කටක් බත් පාර්සලයේ තබාගෙනය. කවන්නට ආසා වුවත් එවන් දෙයක් කරන්නට මෙය තැන නොවන නිසා මම බත් කට ඇයගේ බත් පාර්සලයේ කොනකින් තැබුවේය. ඇයද ඒසේම කලාය.

"අපි දැක්කෝ..."
චාමරගේ හැකර කට අවදිවිය.

"ඕක එහාට මෙහාට පාස් කරන්නේ නැතුව කැවුවනම් ඉවරයිනෙ..."
චාපා ලැජ්ජාවෙන් මා දෙස බැලූවාය.

"ඉරේෂා ඩෙසට් වලට මොනාද ගෙනාවේ?.."
පැතුම් ඉරේෂාගෙන් ඇසුවේ බත් කා අවසන් වන විටය.

"මං නම් මුකුත් ගෙනාවෙ නැහැ, ඔන්න චාපානම් මොනාද ගෙනාවා කිව්වා..."

"අහපු මෝඩකම, ඒ කෙල්ල තමයි ඉතින් මොනාහරි ගෙනාවොත් ගේන්නෙ. මොනාද චාපෝ ගෙනාවෙ?..."

"ආනමාලු.."

මට බකස් ගා හිනා ගියේය. බත් කටද හිරවී කැස්සක්ද ආවේය. කල්පද මරහඩ දෙමින් සිනාසෙයි. චාපා මා අසලටවිත් පිට අතගාන්නට ගත්තාය.

"කනකොට හිනාවෙනවද ගිම්හාන? හිනා උනත් ඔහොම?.."

චාපා මට වතුර බොතලය අතට දෙමින් කීවාය. සිනාසී මගේ ඇස්වලින් කදුළුද පැන ඇත. මම අමාරුවෙන් පැතුම් දෙස බැලීය. පැතුම්ගේ මුහුණ බලන්නට නොහැකි තරම් ලැජ්ජාවට පත්ව ඇත.

"ඔය තරම් හිනා යන්න මොකක්ද උනේ?.."

"මම කියන්නද පැතුමෝ?..."

කල්ප ඇසුවේ පැතුම්ගේ කරට අතක් දාගන්නා ගමන්ය. පැතුම් කල්පට රැව්වේය.
"කියන්නකො මොකක්ද?..."

"චාපා නොදන්නවා උනාට පොඩි කේස් එකක් නිසා පැතුමාට කියන්නෙ ආනමාලුවා කියලා..."
අප සියල්ලෝම සිනාසුනෝය.

"අනේ සොරි පැතුම් මම දැනගෙන හිටියෙ නැහැනෙ...."


අප රාති‍්‍රයේ නැවතුනේ නුවරින් මදක් ඇතුළට වන්නට තිබූ පිටිසර පාසැලකය. ඉතාමත් සුන්දර පරිසරයට එම පාසැල පිහිටා තිබුනේය. රාති‍්‍ර කෑම සියල්ලන්ම එකතුවී පිසින්නට යොදාගෙන තිබූ නිසා එය සැමට අළුත් අත්දෑකීමක් විය. මමත් කල්පත් එක්වූයේ ළූණු සුද්දකරන තැනටය.

"ආ ළමයි බරටම වැඩ වගේ.."

සදමාලි කොළ මිටි දමාගත් බේසමක් ඔසවාගෙන විත් අප අසලින් වාඩිවිය. චාපාද ඇය සමගින් ආවාය.

"කාටද බං ඔච්චර කොළ?..."
කල්ප සදමාලිගෙන් ඇසුවේය.

"ඔයාලට කවන්න තමයි..."

චාපා සිනාසී මා දෙස බැලුවාය. මා ඇයට ඇසක් ඉඟි මැරීය.

"අපිට කොහොම උනත් උඹලා ටික කාපල්ලා එතකොට තමයි අඩුගානෙ කවදාහරි උඹලාගෙ ළමයෙක්වත් පාට වැටිලා උපදින්නෙ..."

"අනේ හරි සුදු එක්කෙනානෙ මෙයා..."
සදමාලි කල්පට රැව්වාය.

"කෝ දෙන්න මම සුද්ද කරන්නම්..."
චාපා මා ළඟින් වාඩිවී මාඅත තිබූ පිහිය ගන්නට හැදුවාය.

"කමක් නෑ මම සුද්ද කරන්නම්..."

"මෙන්න මෙහෙට දෙන්න, බැරිවැඩ කරන්නෙ නැතුව ගිහින් අත් දෙකයි මූණයි හෝදගන්න. බලන්න ඇස්වල කදුළු..ආ ලේන්සුව..."

ඇය පිහිය උදුරා ගත්තාය. ළූණු සැරට මගේ ඇස්වලින් කදුළු ඇවිත් තියෙනවා ඇය දකින්නට ඇත. මම ඇගේ ලේන්සුවෙන් ඇස් දෙකෙලවර පිහිදා ගත්තේය.

"හරි සුවදයි. මේක මම තියාගන්නම්..."

"බැහැ බැහැ.. කෝ දෙන්න..."
ඇය මගේ අතේ තිබූ ලේන්සුව ගත්තාය.

"ඇයි ඒ? මට ඔයාගේ ලේන්සුවක්වත් දෙන්නෙ නැද්ද?..."

"එහෙම එකක් නෙවෙයි ගිම්හාන, මං අහලා තියෙනවා ලේන්සු දුන්නම තරහා වෙනවා කියලා. ඒවා ඇත්තද බොරුද කියලා මම දන්නෑ. ඒත් මට බයයි..."

"ආච්චි අම්මා දන්න දේවල්..."
මම ඇයගේ අතක් කෙනිත්තුවේය.

"මොට්ට මහත්තයාව මම අල්ලගන්නයි හිටියෙ, මොකක්ද අර අද දවල් කලේ? ෆුට් බෝඩ් එකේ ගිහින් වැටුනනම් එහෙම?.."

ඇය වැඩිහිටි ස්වරූපයක් ගෙන ඇත. මට හිනා ආවේය.ඇයට එතරම් බැරෑරැම් මුහුණක් ගත නොහැක.

"ළස්සන ගෑණු ළමයි ටිකක් පාරෙ ගියා. ඉතින් මායි චාමරයයි ඇඩ‍්‍රස් ලියලා දදා ගියා..."
ඇගේ සුදු මුහුණ බලා සිටියදී මැල විය.

"ඉතින්  ඕකට තරහද?..."

"ඔවු තරහයි තමයි. කතා කරන්නෙපා මාත් එක්ක. ඔය ඉතින් ආදරේ තරම තමයි..."

"මම ඔයත් එක්ක නැතුව වෙන කාත් එක්ක කතා කරන්නද?.."

"කතා කරන්න කෙනෙක් හොයා ගන්නනෙ ඔය ඇඩ‍්‍රස් දදා යන්න ඇත්තෙ...."

"ඔයා හොදටම දන්නවනෙ සුදූ මම එහෙම කරනවද නැද්ද කියලා. දැන් මේ හිතේ වෙන කාටවත් ඉඩක් නැහැ...."

ඇය සිනාසුනේ අහිංසක විදියටය. ඇය තරහවූයේ බොරුවට බව මම දනිමි.



(චාපා 17 වන කොටස සමගින් හමුවෙමු...)


Thursday, June 27, 2013

චාපා 15



    වරින් වර කල්යමින් බොහෝ කලක් සිට යාමට සූදානම් කරගෙන සිට අධ්‍යාපන චාරිකාව යාමට අවසානයේ දිනයක් නියමවිය. ඒ පිළිබදව කලා පන්තියේ සිසු සිසුවියන් සිටියේ ඉතාමත් සතුටිනි. කොහොමටත් අනෙක් විෂය ක්ෂේත‍්‍රයන්වල සිසුන් උසස්පෙළ බැරූරුම්ව සිතුවද කලා විෂයන් කරන සිසුන් ඉන්නේ ඉතාමත් සැහැල්ලුවෙනි. උසස්පෙළ සිසුන්ගෙන් වැඩිපුර පාසැල් එන්නේද ඔවුන්ය. අනෙක් උසස්පෙළ පන්තිවල සිසුන් පාසැල් එන්නේම නැති තරම්ය. ඇතැමෙක් ගෙදර නැවතී පාඩම් කරන අතර ඇතැමෙක් උදෑසන සිට අමතර පන්ති යයි.

"ඒයි මොනවාද කල්පනා කරන්නෙ?..."
පැතුම් මා ළඟින් වාඩිවෙන ගමන් ඇසුවේය.

"මුකුත් නැහැ මචං. ටි‍්‍රප් එක යන්න ඔක්කොම ලෑස්තිද?.."

"හ්ම්.. උඹේ මල් කුමාරිත් යනවද?..."

"නැතුව.. නැතුව.."

"අම්මපා අපිට නැහැනෙ ජෝඩුදාලා ටි‍්‍රප් යන්න චාන්ස් එකක්.."

"හොයාගනින්කො ඉතින් ජෝඩු දාන්න පුළුවන් එකක් නහයෙන් අඩන්නෙ නැතුව.."

"ඒයි, අන්න උඹට චාපා කතා කලා..."
චාමර අපි අසලට විත් කීවේය. මම පසුපස හැරෙමින් චාපා දෙස බැලීය. ඇය හිසෙන් මට එන්නයැයි කීය.

"ඇයි සුදූ..."

"හෙට යනවා නේද?..."

"ඔවු.. ඔයාත් එනවනෙ..."


"හ්ම්... අඩලා අඩලා පර්මිෂන් ගත්තෙ ගෙදරින්. කොහෙවත් යවන්නෑ මාවයි නංගිවයි. හිරකාරියො වගේ අපි.."

"දැන් ඕවා හිතන්නෙපා, කොහොමහරි ටි‍්‍රප් එක යනවානෙ..."

"අනේ මටනම් හරි..ම ආසයි..."

ඇය කුඩා දරුවෙකුමෙන් ඇස් කුඩාකර කීවාය. පවු, අහින්සක කෙල්ල ගෙදරින් පිටට යාමට ලැබීම ගැන ඇත්තටම ඉන්නේ ඉමහත් සතුටිනි.

"උදේට කන්න ගේන්නෙපා සුදූ, මම ඔයාටත් එක්ක අරන් එන්නම්..."

"මම මොනාද ඔයාට ගේන්නෙ?.."

"මුකුත්ම එපා. ඔයා එනඑකම ඇති මට. නැත්තම් මාත් නොගිහින් ඉන්නයි හිටියෙ. ඒක නෙවෙයි,මම ඉස්කෝලෙ ඇරිලා යද්දි චාමර එක්ක ස්විටර් එකක් ගන්න යනවා..."

"ඇයි ඔයාට එකක් නැද්ද?.."

"නැහැ සුදූ, නුවරඑළියේ රෑ නතරවෙන නිසා එකක් ඕනෙවෙයි කියලා චාමර කිව්වා.."

ඇය මුහුනෙ සිනහවකින් මා දෙසම බලා සිටියාය. මම කැමතිම ඇගේ ඇස් දෙකටය.

"මොකද හිනාවෙන්නෙ..."

"නැහැ.. මුකුත් නැහැ.."
ඇය සිනාවෙමින්ම කීවාය.

"කියනවා මෝඩි, මොකද හිනාවෙන්නෙ?.."

"ඔයා ළඟ හිටියානම් මට ස්විටර් එකක් ඕන වෙන්නෑ..."
ඇය කිව්වෙ අහක බලාගෙනය.

"මේකි හිතන දේවල්..."

"නැතුව...ඔයාගැන හිතන්නෙ නැතුව මම කවුරුගැන හිතන්නද? නංගි ගාවත් ස්විටර් එකක් තියෙනවා. මම ඒක ගන්නම්. මගේ එක ඔයාට ගෙනත් දෙන්නම්. රස්තයාදු වෙන්න යන්නෙපා...."

***********************************************************************

පාන්දර පහට පාසලින් බස්රථය පිටත්විය. කලා පන්තියේ සිසුන් පමණක් සහභාගි වූ නිසා එක බස්රථයක් පමණක් ප‍්‍රමාණවත් විය. කාන්ති ගුරුතුමිය චාරිකාව යාමට පැමිණීම කාගේත් සතුටට හේතුවූ නමුත් පි‍්‍රයංකා ගුරුතුමියගේ සහභාගීත්වයෙන් බොහෝ දෙනා සිටියේ මැලවුණු මුහුණෙනි. නමුත් දැන් කරන්නට දෙයක් නොමැති නිසා හිතේ දුකටත් එක්ක පටන් ගත් තැනම සිට සියල්ලෝම ගීත ගායනා කළෝය.
අපි මුලින්ම ගියේ කැළණි විහාරයටය. පාන්දර කැළණි විහාරයේ ඇත්තේ අමුතුම පින්බර බවකි. අනෙක් පන්සල්වල පෝයටවත් නැති සෙනගක් කැළණි විහාරයේ සෑම දිනකම ඇත.

"හැමෝම එකට ඉන්න තේරුණාද? වෙන වෙනම අරෙහෙ මෙහෙ ගිහින් අහුවෙන්න එපා. මතක තියාගන්න අපි ඇවිත් ඉන්නෙ ඉස්කෝලෙකින් කියලා..."

ඒ පි‍්‍රයංකා ගුරුතුමියගේ හඩයි. ළමයි අකමැතිවූයේම ඇයගේ මේ දැඩි නීති රීති නිසාය. අප බසයෙන් බැස පන්සල දෙසට ගමන් කෙලේ පි‍්‍රයංකා ගුරුතුමියට හිතින් බනිමිනි.

"අපි අතදරුවො කියලද බං අරයා හිතං ඉන්නෙ? පුදුමයි කිව්වෙ නැහැ දෙන්නා දෙන්නා අත් අල්ලන් යන්න කියලා.."

පි‍්‍රයංකා ටීච සමග වැඩිපුරම තරහා නදුන්ය. ඒ ඔහුගේ පේ‍්‍රම සම්භන්ධයට ඇය කිහිප වරක්ම අවවාද කල බැවිනි.

"එහෙම කිව්වානම් තොට ඉබ්බා දියේ දැම්මා වගේ තියෙයි. දුවන් දුවන් ගිහින් සදමාලිගේ අතේ එල්ලෙයි..."
චාමර නදුන්ට පිටුපස සිට කීවේය.

"මම එල්ලෙන එක උඹට කියලා දෙනවා මේ පන්සල නෙවෙයිනම්..."

මම පසුපස හැරී චාපා එනවාදැයි බැලීය. ඇය හැරි හැරී මල් කඩ දෙස බලමින් යයි.

"ඇයි මල් ඕනෙද?.."
මම චාපා අසලට කිට්ටු වෙමින් ඇසුවේය.

"ඇයි ඔයා මල් විකුණනවාද?.."
ඉරේෂා කට ඇදකර ඇසුවාය. චාපා ඇයට අතින් ගැසුවාය.

"නෙළුම් මල් දැක්කම ආස හිතුනා ගිම්හාන..."

"ඉන්න මං ගෙනත් දෙන්නම්..."

"ආ සල්ලි..."

ඇය කියන විටත් මම මල් කඩයට ගොස් ඉවරය. මම නෙළුම් මල් පොකුරක්ම ගෙනවිත් ඇයට දුන්නේය. නෙළුම් මල් දැකීමෙන් ඇගේ මුහුණ මල් වලට වඩා පිපී ඇත. ඇය මෙහෙම ගමනක් ආවාම විය යුතුය. මල් ටිකට කෙතරම් ආසා උවද ඇය මල් පොකුරෙන් බාගයක්ම මට දී තවත් කොටසක් ඉරේෂාට දුන්නාය. ඇයට ඇත්තේ එවන්වූ පුදුම ගතිගුණය.

"මං දිහා බලන් ඉන්නැතුව ඔය මල්ටික පූජා කරන්න..."

ඇය සිනාසී කිවාය. චාපා මල් පූජා කල තැනින්ම මාත් මල්ටික පූජා කලෙමි. ඇය දෙනෙත් පියාගෙන බොහෝ වේලාවක් බුදු පිළිමයට වැදගෙන සිටියාය. ඇයට වදින්නට දී මම පසුපසට වී බලාගෙන සිටියේය.

"මොනවද මෙච්චරවෙලා වැදගෙන ප‍්‍රාර්ථනා කලේ?..."

ඇය බෝ මළුවට එනවිට මම ඇසුවේය. ඇය පහත්වෙමින් පෑගෙන්නට ගිය බෝපත් දෙකක් අතට ගත්තාය.

"ගොඩක් දේවල් ගිම්හාන. ඔයාවගේ හොද කෙනෙක් මගේ ජීවිතේට ලැබුණා. හැමදාමත් ඒ ආදරේ මං ළඟින්ම තියන්න කියලා ඉල්ලුවා. ඔයාව හොදට එක්සෑම් පාස් කරලා දෙන්න කියලා ඉල්ලුවා. මට හැමදාමත් ජීවිතේ නොලැබුණ සතුටක් සැනසීමක් දැන් ලැබෙනවා. ඒක මගෙන් ආයෙමත් උදුර ගන්නෙපා බුදු හාමුදුරුවනේ කියලා ඉල්ලුවා...."

ඇය ගැන මට අපමණව දුක සිතුණි. 

"ඔයා ගොඩක් හොදයිනෙ. ඒ නිසා ඔය සේරම ඔයාට ලැබෙනවා චාපා..."

කැළණි විහාරය වැදීමෙන් පසුව අපි පිටත්වූයේ නුවර බලා යාමටය. චාමරත් මමත් පසුපස දොරේ පාපුවරුවේ ගියේ කොළඹින් ඇත්වත්ම අවට පරිසරය එන්න එන්නම සුන්දර වෙන නිසා එය බැලීමටය.

"ගිම්හාන..."
චාපා දොර අසලට පැමිණෙන තුරු අප දුටුවේ නැත. 'දැං ඉතිං අහගනින් හොදට' චාමර මට කණට කර කීවේය.

"ඇතුළට එන්න, වැටුනොතින් එහෙම..."

"අමුතුවෙන් වැටෙන්න දෙයක් නෑ චාපා, මූ හත වසරෙදි වැටුනනෙ ගේ ළඟ ජම්බු ගහෙන්..."

"ඔයා තමයි චාමර ඔක්කොම කරන්නෙ. එන්න දෙන්නම ඇතුළට..."

"ප‍්‍රියංකා ටීච හොදයිනෙ බං.."
චාමර දොර වසන ගමන් කීවේය.

"ඇද්ද අහගත්තා..."
ඉරේෂා ප‍්‍රීතියෙන් ඉපිලෙමින් කීවාය.

"ඇයි මොකද?.."

"මමයි චාපාට කිව්වෙ ඔයා ෆුට් බෝඩ් එකේ වැඩ පෙන්නනවා කියලා..."

"ආ ඇත්තද? උඹ තමයි එහෙනම් අහින්සක මටත් පාරේ යන කෙල්ලෙක්වත් බලන්න තිබ්බ චාන්ස් එක නැති කලේ..."
චාමර ඉරේෂාගේ කනක් මිරිකුවාය.

"ඌයි..."

"පවු චාමර ඒ ළමයාට පාඩුවෙ ඉන්න දෙන්න. එයා හොදක්නෙ කලේ. ෆුට් බෝඩ් ගිහින් වැටුනනම් එහෙම ගමනම ඉවරයිනෙ ඉතින්..."

චාපා මට රවන ගමන් චාමරට කීවාය.


ආදරයට ආදරෙන්...


(චාපා 16 වන කොටස සමගින් හමුවෙමු...)

 - නිරෝෂ් මෛති‍්‍ර -

Saturday, June 22, 2013

චාපා 14



   සෙනසුරාදා ආර්ථික විද්‍ය පන්තිය නිමවී ගම්පහ බස් ස්ටෑන්ඩ් එකට එනවිට 12.30 පමණ ඇත. ආර්ථික විද්‍යාව අපහසු විෂයක් වන්නේ ඕනවට එපාවට අතරින් පතර දේශනවලට සහභාගිවුවහොත් බව අද සුදත් සර් කීවේය. මුල සිට ක‍්‍රමානුකූලව පාඩම් කලහොත් විභාගය ආසන්න වන විට බියවීමට හේතුවක් නොමැති බව ඔහු නිතර කියන දෙයකි. එය සැබෑවටම ඇත්තකි. හැම විෂයක්ම අමාරු කර ගන්නේ අපය. නමුත් උනන්දුවෙන් මුල සිට පාඩම් කලහොත් අවසාන මොහොතේ නටන්නට හේතුවක් නැත.

"ගිම්හාන..."

උදේ සිට කෝච්චිවල බස්වල ඇවිත් දේශනවලට වලට සහභාගිවී ඇගට තිබුණ මහන්සිය දැන් කොහෙන් ගියාද නැත.

"මම ළඟට එනකම්ම දැක්කෙ නැහැ. ඔච්චර බර කල්පනාව කෙල්ලෙක් ගැනද?.."
ඇය සිනාසී ඇසුවාය.

"කොහොම දැනගන්නවද මන්දා හරියටම..."

"මම දන්නවනෙ එහෙම නෑ කියලා...."

අද ඇය වෙනදාටත් වඩා සුන්දරයැයි සිතුණි.

"අද ක්ලාස්එක කලින් ඉවර උනාද?..."


"ඔවු ගිම්හාන, විනාඩි දහයක් කලින් ඉවරයි. මේ අද මම ඉක්මනට ගෙදර යන්න ඕනෙ...."

"ඒ මොකෝ?..."

"අද අයියයි තාත්තයි දෙන්නම ගෙදර..."

"ඉතිං ඔයා බයද?..."

"අනේ නැහැ. පරක්කු උනාම මගේ චන්ඩියා ඉන්නවනෙ ගෙදරටම ඇරලවන්න..."

අපි නලීමා එකට යාමට පාර පනින විට චාපා වටපිට බලමින් ගියේ අදුනන කවුරුන්හෝ ඉදීවිදැයි බියෙනි.චාපාගේ අයියාට ගම්පහ යහළුවන් ඇතිබව ඇය පෙරවතාවක මට කීවා මතකය. වේටර්වරයා සිනාමුසු මුහුනෙන් ආවේ අපි දෙදෙනා නිතර පැමිණිම නිසා දැන් අපව අදුනන නිසාය.

"සුදූ මොනාද බොන්නෙ?..."

"ඔයා බොන දෙයක්..."

"එහෙනම් අපිට බියර් දෙකක් ගේන්න..."

"ඒයි.. පිස්සා..."

ඇයි සිනාසී මගේ අතක් කෙනිත්තුවාය. 

"අපිට ස්මැක් දෙකක් ගේන්න...."

සෙනසුරාදාට නිලීමා එකේ වැඩිපුරම සිටින්නේ පන්ති යන ළමයින්ය. වේටර්වරයා ගියපසු මම චාපාගේ සුරත දෝතටම ගෙන ඇය දෙස බැලීය. කහ පැහැති සල්වාර් එක ඇයගේ මුහුණට ගෙනවිත් තිබුනේ අමුතු ආලෝකයකි. චාපාගේ මැදගිල්ලේ දමා තිබු කුඩා රන් මුදුව පිරිමදිමින් මම ඇගේ දෙනෙත් දෙස බලා සිටියේය.

"මොනවා හරි කියන්නකො ගිම්හාන..."

මම බැහැයි කියන්නට හිස දෙපසට වැනුවේය.

"ඇයි?..."

"මට ටිකක් බලන්න ඉන්න දෙන්න. අද හරිම ලස්සනයි.  ලස්සන සල්වාර් එකක් ඇදලා හරියට හින්දි නිළියෙක් වගේ...."

මම ලෝබකමක් නැතුවම කීවේය. ඇය අහින්සකව සිනාසී බිම බලාගත්තාය.

"නුවරඑළියෙ යන්නෙ ඊළඟ මාසෙ නේද ගිම්හාන?..."

"හ්ම්..."

"මට යන්න දෙයිද දන්නෑ. අනේ ඒත් මම හරිම ආසයි යන්න..."

මම ගැස්සුණි. ඇය නාවොතින් මම ගිහින්ද පලක් නොමැත.

"ඇයි තාත්තා එන්න දෙන්නැතිවෙයිද?..."

"දන්නවනෙ ඉතිං..."

ඇය සුසුමක් පිටකරමින් කීවාය. ඇයගේ මුහුණ මැලවී ගියේ බලාගෙන ඉද්දිය.

"හරි හරි දැන් ඕවා හිතන්න එපා. අපි බලමුකො මොනවා හරි කරගන්න. මම ඉරේෂාටත් කියන්නම්...."

***************************************************************

සෙනසුරාදා පන්ති ඉවරවී ගෙදර එනවිට මහා වැස්සකට අසුවිය. වේයන්ගොඩට ළංවන විටත් වැස්සක සේයාවක් වත් නොතිබුනත් හිටි හැටියේම ඇද හැලුණ වැස්ස පොඩි වැස්සක් නොවීය. ගෙදර එනවිට ඉහෙන් කනින් වතුර බේරෙමින් තිබුණි. හෙම්බිරිස්සාවෙන් ඉරිදා දිනයම විදෙවව්වද අද පාසැල් ආවේ ඇයව දකින්නට නලියන හිතට ඉඩදීය. පාසැල් ආවද ඇගට කිසිම ප‍්‍රාණවත් ගතියක් නැත. ඔළුවද බර ගතියක් තිබූ නිසා මම ඩෙස්ක් එක මත හිස තබාගෙන සිටියේය.

"ගිම්හා..න.."

චාපාගේ හඩ ඇසීමත් සමග හිත පිරී ගියේය. මම හිමින් හිස ඔසවා බැලීය.

"ඇයි මේ සනීප නැද්ද? ඇස් දෙකත් රතු වෙලා..."
ඇය බියවී ඇත.

"සෙනසුරාදා ගෙදර යනකොට වැස්සට අහුඋනා සුදූ. ඊයෙ ඉදන් ඇගට හරි මදි..."

"එහෙනම් අද ආවෙ?..."

"මම සෙනසුරාදා ඔයාට කිව්වනෙ අද එනවා කියලා ඒකයි ආවේ..."

"පව් දෙයියනේ ඔයා..."
එවිටම මට කිවිසුමක් ගියේය. දැන්නම් ඊයෙට වඩා ඇඟට අමාරුය.

"ඊයේ බෙහෙත් ගත්තෙ නැද්ද?..."

"ඊයෙ මෙච්චර අමාරුවක් තිබ්බෙ නැහැ සුදූ.."

"පවු ඔයා. මට එනවා කිවුවට අසනීපනම් ගෙදර ඉන්න තිබ්බනෙ මහත්තයෝ..."
ඇය වටපිට බලා මගේ නළලට අත තබා උණ දැයි බැලුවාය.

"දෙයියනේ ඔයාට උණ ගිම්හාන.. බලන්නකො ඔයත් කරගන්න දේවල්. ඉන්න මම පැනඩෝල් දෙකක් අරන් එන්නම්...."
චාපා යන්නට හැරුණාය.

"එපා, දැන් හොදයි"
ඇය පුදුමයෙන් ආපසු හැරුණාය.

"ඒ කොහොමද?..."

මම සිනාසී පිටි අල්ල නළලට තබා ඇය උණ බැලූ ආකාරය කර පෙන්නුවේය.

"මොන ලෙඬේ තිබ්බත් දැගලිල්ලනම් අඩුනැහැ..."

ඇයගේ බෑගයෙන් පැනඩෝල් දෙකක් ගෙන ඇයගේ වතුර බෝතලයද ළඟට ගෙනත් දී චාපා මා දෙස බලාසිටියේ අනුකම්පාවෙනි.

"ඕක බොන්න. දැන් පි‍්‍රයංකා ටීච එයි. මම යන්නම්. බුදු සරණයි ඔයාට...."

මට හිතට දැනුන සතුට කියා නිමකල නොහැකි විය. ඇය මට මේ දක්වන ආදරය සෙනෙහස මට මහමෙරක් මෙන් විය.ඇය ආදරය කරන ප‍්‍රමාණයට මගෙන් ආදරයක් ලැබෙනවාදැයි වෙලාවකට මට සිතෙයි. ඇත්තටම ඇය උණ බැලූ පසු ඇගට දැනෙන්නේ සනීප ගතියකි. 

"ඒයි ඇත්තද උඹ අසනීපෙන් කියන්නෙ?..."
චාමර මා අසලින් වාඩිවී ඇසුවේය.

"දැන්ද අහන්නෙ? මැරෙන්න ඔන්න මෙන්න හිටියෙ...."

"සොරි මචං මම ගියා ටි‍්‍රප් එක ගැන කතාකරගන්න. උඹට පැනඩෝල් දෙකක් ගෙනත් දෙන්නද?..."

"එපා චාපා ගෙනත් දුන්නා...."

"අප්පට සිරි. දොස්තර නෝනා ඇවිත් ටී‍්‍රට්මන්ට් කරලා. බොරුවට අපිට පුප්පනවා...."

චාමර මට රවා යන්නට නැගිට්වේය. මම එහෙම්මම චාපා දෙස බැලුවේය. ඇය ඉරේෂා සමග කතාකරමින් බලා සිටින්නේ මා දෙසමය.



 හැමෝටම කතාවක් තියනවා කියන්න, කාටවත් නොකියන....

(චාපා 15 වන කොටස සමගින් හමුවෙමු...)

            - නිරෝෂ් මෛති‍්‍ර -
                  - 2004 -


මෙතනින් (චාපා 15)




Thursday, June 20, 2013

චාපා 13



හිස පුපුරන්නට තරම් රිදුම් දෙන්නට විය. මේ මොන මෝඩකමක් කලාදැයි දැන් මටම කළකිරී ඇත. නිදාගත් ඇඳ ගැස්සෙන්නේ ඇයිදැයි අපහසුවෙන් ඇස් ඇර බලන්නට හැදූ විට දුටුවේ පුදුම හිතෙන දෙයකි.

"සුදූ ඔයා...?"

මා මෙතෙක් වෙලා ඉද ඇත්තේ චාපාගේ උකුළේය. ඇය තවමත් ඉන්නේ මගේ හිස අතගාමිනි.  මම නැගිටින්නට හැදුවේය. නමුත් එය දෙයක් නොවීය.

"ඔහොම ඉන්න නැගිටින්න එපා...."

වෙනදා සිනහවෙන් පිරුණ ඇගේ මුහුණ අද හොයාගන්නටවත් නැත.

"ඔයා කොයිවෙලේද ආවේ සුදූ? කොහොමද කාමරේට ආවේ?.."

"මොන කාමරයක්ද ගිම්හාන, අපි මේ ඉන්නේ චාමරගෙ වෑන් එකේ ගෙදර යන ගමන්..."
මට මොලොව දෙයක් මතක නැත.

"මම කොහොමද වාහනේට ආවේ?.."

"එක වචනයක් කතා කරන්නෙපා ගිම්හාන. බලන්න ඔයාගෙ හැටි. මොනාද මේ කරගෙන තියෙන්නෙ? ඒ ලෙවල් කරනවා කිව්වම හිතන්නෙ මහ මිනිහෙක් කියලද ඔය මළ ජරාව බොන්න?.."

බැනුම් කෝටියකි. ඒත් ඇය බැන බැනත් කරන්නේ මගේ හිස අතගාන එකය. ඇය මේ හැමදේම කියන්නේ මට ඇති ආදරයට බව මම දනිමි.

"මට දුක හිතුනා සුදූ ඔයා එන්නෙ නැතිවෙයි කියලා. මම ගොඩක්වෙලා බලන් හිටියා...."

"ඉතින් නැති නිසා බිව්වා? .."

"සමාවෙන්න..."

"කතාකරන්නනම් එපා මාත් එක්ක ආයෙ. අර කාමරෙ ඉදපු හැටි දැක්කම මගේ පපුව පිච්චිලා ගියා. මම කවදාවත් හිතුවෙ නැහැ ඔයා මෙහෙමයි කියලා..."

දැන්නම් මගේ සිතද රිදිනි.

"ඔයා හිතන්නෙ මම බේබද්දෙක් කියලද චාපා? .."

ඇය ගැස්සිණි. ඒ මම ඇයට නම කියා කතාකල නිසා විය හැක.

"ඇයි චාපා කිව්වෙ
?.."
ඇයගේ හඩ ඇඩෙන ගානටය.

"ඔයා ආපු වෙලේ ඉදන්ම බනින එකනෙ කරන්නෙ? මමත් දවසක නෑවිත් හිටියොත් ඔයාට තේරෙයි මට අද දැනුන පාළුව.."
මම තරහින් කීවේය. හිසේ රිදුම තවත් වැඩිවිය.

"මම දන්නවා ගිම්හාන ඔයා එහෙම නැහැ කියලා. ඒත් මටත් දුකයිනෙ මගේ මහත්තයා බීලා වැටිලා ඉන්නවා දකිද්දි. අනික මම හිතලා පරක්කු උනේ නෑ..."

මේ කතාව දුරදිග ගියා වැඩිය. මම තවමත් සිටින්නේ ඇයගේ උකුළේය. මෙවන් සුන්දර මොහොතක් රණ්ඩුවකින් විනාසකර ගන්නට මට උවමනා වූයේ නැත.

"ඇය කියන්නකො ඉතිං පරක්කු උනේ?.."

"තාත්තා ගෙදර හිටියා ගිම්හාන. මට යන්නත් එපා කිව්වා. ඒත් මම ඔයාට පොරොන්දු උනානෙ එනවා කියලා. හොද වෙලාවට ඉරේෂා අපේ ගෙදර ආවා. ඒ නිසා යන්න දුන්නා. පැයක් ඇතුලත එන්න කිව්වා..."

ඇය පවු කියා මට සිතුණි. මට තරම් සැහැල්ලු ජීවිතයක් ඇයට නැත. ඇය ජීවත්වන්නේ ප‍්‍රශ්න ගොඩකය. එසේවීත් අද මෙහෙමවත් ඇය ආ එකම ලොකු දෙයක්ය. මට දාඩිය දමා තිබූ නිසා ඇය මගේ කමිසයේ බොත්තම් දෙකක් ගැලෙව්වේය.

"මම ආයෙ කවදාවත් බොන්නෙ නෑ..."
ඇගේ මුහුණේ පළමු වරට හිනාවක් ඇදුණි.

"පොරොන්දු වෙන්න මට..."

"කොහොමද?.."

ඇය මට රැව්වාය. මම එහෙම්මම හැරී ඇයගේ කුස සිපගත්තේය. මට චාපා ගැන දැනුනේ අපිරිමිත සෙනෙහසකි.


"මටත් සමාවෙන්න රත්තරන්..."

"ඇයි ඒ?..."

"මගේ පරක්කුවනේ මේ සේරටම මුල. ආයෙත් එහෙම වෙන්නෑ..."

"ඒහෙම නිකං සමාව දෙන්නෑ පුතේ..."

ඇය පහත්වී අදුරේම මගේ කම්මුලක් සිපගත්තාය.

"හරී සුවදයි. මොනවා ගාගෙන එනවාද මන්දා..."

"ඒ උනාට පිස්සා ගාව අරක්කු ගදේ බෑ. වෙන කෙල්ලෙක් නම් ඉඹිනවා තියා ළඟවත් තියාගන්නෑ..."

"ඒකනෙ මම ළඟ තියාගන්න කෙල්ලෙක්ව හොයාගත්තෙ..."
මම ඇයගේ ඉණවටා දැතම යවා ඇයට තුරුල් උනි.

"චාපා දේව්දාස් අයියා නිදිද?..."
චාමර වාහනය පදවමින්ම ඇසුවේය. 

"නිදිද ?"
ඇය හිස අතගාමින්ම ඇසුවාය.

"හ්ම්..."
මම කීවේ ඇයගේ බඩට මුහුණ තබාගෙනමය. මගේ හඩ ඇයට ඇතුලාන්තයේන්ද ඇසෙන්නට ඇත.

"මේ අපිට පිටිපස්සට ඇස් නෑ ඕකා ඇහැරිලානම් පරිස්සමෙන් චාපෝ..."
නදුන් ඉදිරිපස අසුනේ සිට කෑ ගසා කීවේය.

"ඒකට කමක් නැහැ. මට ගිම්හානව විශ්වාසයි...."
මට දැනුනේ කියා නිම කල නොහැකි සතුටකි.

"අඩෝ ඇද්ද අහගත්තා. පැනපං වෑන් එකෙන්..."

"අන්න අරූගෙ කටට පණ ඇවිත් චාමරයා. අනේ අපිට තිබ්බෙ ඕකව දාලා එන්න..."

"අපේ ගේ ළඟයි මහත්තයෝ..."
චාපා මගේ මුහුණ අතගාමින් කීය.

"අනේ..."

"මටත් දුකයි දාලා යන්න. ඒත් දැනටමත් පරක්කුයි. දන්නවනෙ අපේ තාත්තගෙ හැටි...."

"ආදරෙයිද මට?..."
මම මුහුණ ඔසවා චාපා දෙස බලා ඇසුවේය. ඇය මාදෙස බැලුවෙ උතුරා යන ආදර බැල්මකිනි.

"වෙන කාට ආදරේ කරන්නද මං. ඔයාට හිතාගන්නවත් බැරිතරම් ආදරෙයි මම.මොනවා හරි කිව්වානම් කිව්වෙ ආදරේට හොදද?..."

ඇය මගේ උරහිසට බරවූවාය.



          සුසුමේ, තවරා, සැගවූ සිහිනේ...

(චාපා 14 වන කොටස සමගින් හමුවෙමු...)

            - නිරෝෂ් මෛති‍්‍ර -
                  - 2004 -


මෙතනින් (චාපා 14)
මෙතනින් (චාපා 15)



Friday, June 14, 2013

චාපා 12



කල්පගේ අක්කාගේ විවාහ උත්සවය සදහා සහභාගිවීමට මමත් චාමරත් නදුනුත් පිටත්වූයේ සවස 6 ට පමණය. දෙවන දිනයක් නොමැති නිසාවෙන් එක් දිනකදී දෙපාර්ශවයේම නෑදෑයන්ගේ සහභාගීත්වයෙන් විවාහ උත්සවය පැවැත්වුණි. එබැවින් පාසලේ යහළුවන්ට කල්ප ආරාධනා කර තිබුනේ රාත‍්‍රියේ නිවසේ පැවැත්වෙන සාදයටය.

"මම මේ බල බල හිටියෙ මොකද පරක්කු උනේ...?"
අප එන විටත් කල්ප සිටියේ පාර අසලය.

"මේ නදුනයාව ගෙදරින් ගන්න උන්ගෙ අම්මට වදින්න උනා බං. ළාමක ටිං ටිං වගේනෙ මූව හදන්නෙ..."

"අනේ මේ මම කියන්නෑ ඉතිං..."

"කොහොම හරි කමක්නෑ ආවානෙ...."
අපේ පැමිණීමෙන් කල්පගේ මුහුණ එළිය වැටී ඇත.

"කෝ බං අපේ අනිත් උන්...?"
චාමර ඇසුවේ කල්පගෙනි.

"තාම නෑ, මඟ එනවා ඇති...."
කල්පගේ අක්කා අපේ මේසය අසලට පැමිණි පසු අප ඇයට සුභ පැතුවෝය.

"අක්කේ ඊළඟට මෙයා තමයි..."
නදුන් කල්පව ඇහෙන් පෙන්වමින් කීවේය.

"ඔවු ඉතින් එක්සෑම් ඉවර කරලා ජොබ් එකක් හොයාගත්තම මෙයාගෙ වාරෙ තමයි.. දැනට නැද්ද මල්ලි මෙයාට කවුරුත්..?"
අක්කා කල්ප දෙස හොරැහින් බලමින් ඇසුවාය.

"එක්කෙනෙක් කියලා නෑ අක්කෙ. දෙතුන් දෙනෙක් ඉන්නවා. මචං අර ශිෂ්‍යත්ව පන්තියේ කෙල්ලට මොකද උනේ? කෙල්ල දැන් අදිමදි කරනවා නේද?.."
නදුන් කල්පගෙන් ඇසුවේය. කල්පගේ අක්කා මහ හයියෙන් සිනාසුනාය. ඇය අද ඉතාමත් සුන්දරය.

"අක්කත් අහනවානෙ මුංගෙ පච..."

"මල්ලි, යාළුවන්ට බොන්න මොනවා හරි දෙන්න. මම අනිත් අයටත් කතා කරලා එන්නම්..."
අක්කා ඇයගේ යහළුවන් කිහිප දෙනෙකු පැමිණි නිසා යන්නට ගියාය.

"කෝ බං උබේ මස්සිනා? ඇයි පොරට අපිත් එක්ක කතා කරන්න ලැජ්ජයිලුද?.."

"ඔය හිටියෙ බං කැරකි කැරකි. අනේ මට ඌව දිරවන්නෑ බං...."
කල්ප කීවේ රහසිනි.

"මේ ඒක නෙවෙයි උඹලා මොනවද බොන්නෙ..?"

"මොනවද කියලා අහන්නෙ බියර් බෝතල් දහයක් පහලවක්වත් ගෙනෙන්. ආයෙ මෙහෙම කවදා බොන්නද?.."
කල්ප බියර් බෝතල් දෙකක් සමග වීදුරු තුනක් රැගෙන ආවේය.

"උඹලා සෙට් වෙයන් මම හපන්න මොනවා හරි අරන් එන්නම්...."

නදුන් චාමරත් සමග වැඩ ඇල්ලුවේ අප ඉදිරයේ තිබෙන්නේ ලෝකෙ තිබෙන අවසන් බියර් බෝතල් දෙක යැයි සිතෙන ආකාරයෙනි.

"මේ අදනම් ඇඹරෙන්න බැහැ හරිද? බීපං ටිකක්.. යකෝ කල්පයාගෙ අක්කා බැන්දා කියන්නෙ සුළුපටු සිද්ධියක්ද?.."

නදුන් කීවේ මා දෙසට වීදුරුවක් දිග් කරමිනි. බියර් බීමට මගේ වැඩි කැමැත්තක් නැතත් වෙනසකටත් එක්ක බීමට ගත්තේය.
රාත‍්‍රි 9 පමණ වුවද චාපා තවමත් ආවේ නැත. මා වැඩිමනත්ම ආවේ මොහොතකට හෝ චාපාව බලා යන්නටය. අද එන බවට ඇය මට පොරොන්දු වූවාය. ඇතැම් විට ගෙදරින් ඇයට එන්නට ඉඩ නොදෙන්නට ඇත. පාර දෙසම බලා සිට මගේ දෙනෙත්ද වෙහෙස වී ඇත. නොදැනුවත්වම දෙවන බියර් බෝතලයද අවසන් වී ඇත.

"බලහංකො බං සදමාලිත් නෑනෙ තාම..."
මා මෙන්ම නදුන්ද ඉන්නෙ හිතේ අමාරුවෙන් බව මට මතක්වූයේ දැන්ය.

"එන්නෙ නැතිවෙයි බං දැං වෙලාව කීයද?..."
චාමරගේ හොම්බට අනින්න ඇත්නම් යැයි සිතුනේ ඒ වෙලාවේය.

"කල්පයා තව බියර් එකක් ගෙනෙන්කො..."

"යකඩෝ මුන්ට මක්වලාද බං චාමරයෝ? බියර් නම් ෂුවර් නෑ ලොකු ජාති තමයි ඇත්තෙ..."

"මොන මගුල හරි ගෙනෙන් බං..."
ඒ පාර ඉස්සර වූයේ මාය. තිදෙනාම එකවර බැලුවේ මගේ මුහුණය. කිව්වා නොවෙයි කියවුණු බව තේරුනේ දැන්ය.

"මොකද මේ උඹට වෙලා තියෙන්නෙ?.."

"නිකං බං. ආයෙ බොන්නෑනෙ ඉතිං. ගෙනෙංකො හොද එකා වගේ.."

කල්ප ගෙනා බෝතලයෙන් බාගයටත් වැඩියෙන් හිස් කලේ මමත් නදුනුත්ය. වාහනය එළවන්නට තිබෙන නිසා චාමර බියර් වීදුරවක් පමණක් ගත්තේය. ලොකු කමට බොන්නට ගත්තද දැන් මා වටේ ඇත්තේ වේගයෙන් භ‍්‍රමණය වන ලෝකයකි. මුහුණුද ක‍්‍රමයෙන් බොදවී යයි.

"ගිම්හාන වරෙන් මචං කන්න යමු..."

"හරි යමු මචංලා..."
මම නැගිටින්නට හදනවිට පය පැකිලිණි. කල්ප මාව අල්ලගත්තේ නැත්නම් ගිම්හාන බිමය.

"මොකද වැඩියි නේද උඹට?.."

"නැහැ මච්චං අවු...ලක් නැහ් හැ...."

"නැත්තෙ මොකද බලපංකො ඇස් දෙක, ගොරකා මද දෙකක් වගේ. මෙහෙම යවන්න බැහැ මූව..."

"මොකද බං දැන් කරන්නෙ? නදුන් උඹටත් අවුල්ද?.."
චාමර නදුන්ගෙන් ඇසුවේය.

"නැහැ බං මට අවුලක් නැහැ. මූට පුරුදු නැහැනෙ බං ඒකයි...."

"මම කියන්නද චාමර, උඹ වරෙන් මාත් එක්ක. එහා පැත්තෙ අපේ නැන්දලාගෙ ගේ තියෙන්නෙ. ගෙදර කවුරුත් නැහැ, ඔක්කොම මෙහෙ. අපි කාලා එනකං ගිම්හානයාට ටිකක් ඇලවෙලා ඉන්න දෙමු...."

"ඒක හොදයි. නදුන් උඹ ඔහොම ඉදපං අපි ඉක්මනට එන්නම්...."
කල්පත් චාමරත් මාගේ කරේ අත දමාගෙන නැන්දලාගේ ගෙදරට අවෝය.

"උඹත් කරගන්න දේවල් බං..."

"චා..මරයා වෙලාව කීයද්..ද බං?..."

"දහයයි මචං.."

"දහයයි කියන්..නෙ දහ්..යයි ඒ කියන්නෙ චාපා එන්..නෑ මම ආවෙත් චාපා බලන්..න ඒත් චාපා නැහැ...."
මම ඔහේ කියවාගෙන ගියේය.

"චාපාට එන්න බැරිවෙන්න ඇති මචං. දැං ඕක කල්පනා නොකර ටිකක් නිදා ගනින්. මම ගිහිං ගෙදරට දාන්නම්..."

චාමර විදුලි පහන නිවා කාමරයේ දොර වැසුවේය.හිතුවාටත් වඩා ඔලුව බර විය. හිසේ එක පැත්තක් ගැලවෙන්නට මෙන් රිදෙන්නට ගත්තේය. මට අම්මාව මතක් විය. මේ අයුරින් මා සිටිනවා දුටුවානම් ඇය පැලී යනු ඇත. ආයේ කිසිදිනක මෙවැනි මෝඩ වැඩක් නොකරන්නට සිතාගත්තේය. එහෙම්මම ඇහැ පියවුනේ කොයි වෙලාවේ දැයි මතකයක් නැත. හීනෙන් මෙන් ඇහැරුනේ සුපුරුදු විලවුන් සුවදක් දැනීමෙනි. 



ජීවිතයෙන් මැකී යන අකුරු කියවන්න...
ආදරය වෙනුවෙන්...

(චාපා 13 වන කොටස සමගින් හමුවෙමු...)

            - නිරෝෂ් මෛති‍්‍ර -
                  - 2004 -

මෙතනින් (චාපා 13)
මෙතනින් (චාපා 14)
මෙතනින් (චාපා 15)



Sunday, June 9, 2013

චාපා 11



   ද උදෑසන වෙනදාටත් වඩා ලස්සනයැයි සිතුණි. පරිසරයද වෙනදාට වඩා අමුත්තක් ඇත. 7.30 ද පසුවී තිබුණද තිබුණද වෙනදාට පිටියේ සෙල්ලම් කරන කුඩා ළමුන්ද අද අඩුය. ගේට්ටුවෙන් ඇතුල් වෙද්දීම ඉරේෂාව මුණ ගැසුණි.

"ගුඩ් මෝනින්..."

"ගුඩ් මෝනින්.. කල්ප ආවද ඉරේෂා?..."

"එන්න ඇති ගිම්හාන. මම දැක්කෙනම් නැහැ...."

ඉරේෂා මා පාසලට ආ දිනයේ සිට මට හිතවත්වූ මිතුරියයි. ඇය චාපාගේ හොදම මිතුරියද වූවාය. තෙමහල් ගොඩනැගිල්ලේ කොරිඩෝව ළංවත්ම සුපුරුදු නොසන්සුන්කමින් සිත නළියන්නට වූයේය. උසස් පෙළ නිමා කර පාසලෙන් සමුගෙන ගිය දවසක මේ සුන්දර දවස් ටික මතක් වී පුදුමාකාර පාළුවක් සිතට දැනෙනු ඇත. වෙනදා මෙන්ම චාපා මටත් කලින් පැමිණ කොරිඩෝවෙ කණුවකට හේත්තුවී මඟ බලාගෙන ඇත.
ඇය දුටුවිට තුන් හිතම පිරීයයි.

"සුබ උදෑසනක් සුදු නංගී..."

"සුබ උදෑසනක්.. මොකද අද ලොකු සතුටකින් වගේ ?..."

"අද උදේ ඉදන් මගේ මූඩ් එක හොදයි, අද හොද දවසක්..."

"අම්මෝ ඒක නම් හොදයි නැත්තම් පොඩ්ඩ ඇත්තං තරහ යනවනෙ...."

ඇය සිනාසුනාය. ඇය මේ කියන්නේ පෙරේදා මම ඇයත් සමග තරහ වූ නිසාය. ඒ තරහා කාලපරිච්ඡේද දෙකකට වඩා දිග්වූයේ නැත. 


"අටටත් ළඟයිනෙ අද ඇයි මෙච්චර ළමයි අඩු ?.."

"ඇයි ළමයො, අදනෙ සයන්ස් ඬේ එක. අද ඉතින් වැඩක් කෙරෙන්නැති නිසා ළමයි අඩුයි..."

"අදද සයන්ස් ඬේ එක? මට මතක් උනේ නෑනෙ, අපරාදෙ මටත් ගෙදර ඉන්න තිබ්බා.
චාපා මා දෙස රවා බැලීය. 

"මොකද ඔරවන්නෙ?.."

"මොකද ඔරවන්නෙ, අද ආවෙ නැත්තම් මම බලාගන්නවා එහෙනම්.. අපි මේ උදේ පාන්දරම නොකා නොබී එනවා එක්කෙනෙක්ව බලන්න එයා ආපු එක ගැන දුක් වෙනවා..."

"පිස්සි, එන්න යමු පන්තියට. මම මේ තාම බෑග් එල්ලං. ඔයාව නොබලා ගෙදරට වෙලා ඉන්න පුළුවන්නම් බැරියැ ඉතිං..."

ඇය මගේ පසුපසින් පන්තිය ඇතුලට ආවාය. අප එනවිට කල්ප කාඩ් දෙක තුනක් තියාගෙන මොනවාදො කරමින් සිටියේය.

"වස්තුවේ උඹ ආවද?.."

"මොනාද බං ඔය..."
මම කල්පගෙන් ඇසීය.

"මේ සිකුරාදා අපේ අක්කගෙ වෙඩිම බං. මම මේ වැදලා වැදලා මගේ යාළුවන්ට දෙන්න කියලා කාඩ් දෙක තුනක් ඉල්ලගත්තා. ඔක්කොටම කියන්න විදියක් නැහැ බං. මස්සිනා මහ කුණා..."
චාපා මදෙස බලා සිනාසුනාය.

"මෙන්න මේක මගේ නෑනටයි මස්සිනාටයි..."

කල්ප මටත් චාපාටත් දෝතින්ම වෙඩින් කාඩ් එකක් දුන්නේය. කල්පලා යාළුවන් නොව සහෝදරයන්ය.

"කාඩ් මොකටද කල්ප. නිකං කිව්වනම් අපි එනවනෙ නේද ගිම්හාන.."

"ඒකනෙ. මූට පිස්සු..."

"හරි හරි රෝමියෝ අයියයි, ජුලියට් ඇන්ටියි එදාට අනිවා එන්නකො. මට ඒ ඇති...."

"ආ.. මම එතකොට ඇන්ටි...?"
චාපා කල්පට රැව්වාය.

අද චාමර පාසැල් ආවෙත් නැත. මාත් චාමරත් ප‍්‍රාථමික අංශයේ ළමයින්ගේ උදෑසන රැස්වීම අවසන් කර පිට්ටනිය දිගේ ආවේ වෙනදාට වඩා සැහැල්ලුවෙනි. අද පාසල හරිම නිශ්ශබ්දය.

"පොඩි උන් කරන දේවල් වලට හිනාකාලා මැරෙනවා බං.."
බිම වැටී තිබූ ටොපි කොල දෙකක් අතට ගනිමින් චාමර කීවේය.

"අනේ ඔවු බං, උන්ට එක විදියකට ඉන්නම බෑනෙ විනාඩියක්වත්.එකෙක් නහයෙ ඇගිල්ල ගහලා අනිකාට පෙන්නනවා මේ කියලා...."

"ඒක තමයි බං අපි එන්න එන්න ලොකු වෙනවා ඉස්කෝලෙ දාලා යන්න වෙන දිනේ ළං වෙනවා කියලා හිතෙද්දි හිතට එන්නෙ ලොකු දුකක් මචං..."

"ඒකනම් ඇත්ත බං. හැමදාම අර වයසෙ ඉන්න තිබ්බනම් කියලා කොයිතරම් හිතිලා ඇද්ද..."

පාසලේ අරලිය ගස් සෙවන යට පහේ පන්තියේ ළමුන්කිහිප දෙනෙක් බට්ටා පනියි. උන් කොයිතරම් අහින්සකද. බට්ටා පනින ළමයි දෙස පැත්තකට වී ඔහේ බලාගෙන සිටින කුඩා දැරියක දැක මට චාපාව සිහිවුණි. ඇයද පොඩි කාලේ මේ වගේම ඉන්නට ඇත.

පළමු කාල පරිච්ඡේදයෙන් පසු විද්‍යා දිනයේ වැඩ කටයුතු ආරම්භවීම නිසා ඉගැන්වීමෙ කටයුතු සිදුවූයේ නැත. කලා උළෙල තරම් සාර්ථක සංවිධානයක් විද්‍යා දිනයේ නොමැතිවීම ගැන අපේ පන්තියේ සිසුන් සිටියේ ආඩම්බරයෙනි. 

"ඕකුන්ට තාමත් පුළුවන් ලිට්මස් කෑල්ලක පාට වෙනස්වෙන එක ගැන ලියන්න විතරයි බං, ආයුබෝවන් කියන එකේ හල් කිරීමවත් නැහැ..."
අපේ අයට දැන් පේන්නේම වැරදිය.

"පිස්සු මරගාත බං ඉන්නෙ, මට බය පි‍්‍රන්සිපල්ව පිළිගන්න ඉන්න එකා ගම්මිරිස් කොළ දීලා වදියි කියලා..."

පන්තියම සිනාසුනේ මහ හයියෙනි. කරන්නට දෙයක්ද නැතිවූයෙන් මම අතපසුවූ සටහනක් ලියන්නට ගත්තේය. සදමාලි  පැමිණ මගේ පෑන ඉදිරුවාය.

"අදත් ලියන්න ගත්තද?..."

"කරන්න දෙයක් නැති කමට ලියන්න ගත්තෙ සදමාලි..."

"පව් හලෝ අර ළමයා තනියම. ගිහින් පොඩ්ඩක් කතා කරන්න. අද වගේ Free දවස් හැමදාම නෑනේ..."

මීට මොහොතකට පෙර සදමාලි සිටියේද නදුන් සමග ලොකූ කතාවකය. චාපාට පාළු දැනෙන්ට ඇත. මම ඇය දෙස බැලූ විට ඇය අහින්සකව සිනාසුනාය.

"ඉතිං.. ඉතිං.."
මම ඇයට ඉදිරිපස පේලියේ පුටුවක් අනෙක් පැත්ත හරවාගෙන වාඩිඋනෙමි.

"වැඩත් පාඩුයි නේද මම නිසා..."

"නෑ සුදූ කම්මැලිකමට ලියන්න ගත්තෙ. ඒක ගෙදර ගිහිනුත් කරන්න පුළුවන්..."

"මට පොත දෙන්න. මම ලියලා ගෙනත් දෙන්නම්..."

මම ඇය දෙස බලා සිනාසුනාය. ඇගේ දුඹුරු පැහැති නෙත් සඟල ඉතාමත් ආකර්ශනීයය. මම කතා නොකර ඇය දෙසම බලා සිටියේය.

"මොනාද බලන්නෙ?..."
මම කතා කලේ නැත.

"කතා කරන්නකො ගිම්හාන.."

"හරි ලස්සනයි..."
ඇගේ මුහුණ රතුවිය.

"කවුද...?"

"සදමාලි... මෝඩි, ඔයාදිහා බලාගෙන වෙන කවුරුහරි ලස්සනයි කියනවද? ..මට වෙලාවකට බයත් හිතෙනවා සුදූ..."

"ඇයි ඒ..?"

"මොකක් හරි හේතුවකින් මට ඔයාව නැති වෙයි කියලා..."

"නපුරු කතා කියන්නෙපා ගිම්හාන. අපිට එහෙම වෙන්නෑ.ලොකු අයියා තමයි ප‍්‍රශ්නයක් ඇතිකලොත් ඉතිං..."
"අපි පරිස්සම් වෙමු..."

"ඔයාලාගෙ අම්මා දැනගත්තම මට කැමති වෙයිද දන්නෑ නේද?..."
ඇය ඇස් කුඩාකර ඇසුවාය.

"අපේ අම්මවනම් කැමතිකර ගන්න එක ලේසි වෙන්නෑ. අම්මා දැනටමත් අපිට නෑදෑ වෙන කෙනෙක්ව මට කතා කරලා තියෙන්නෙ..."

මම ඇත්තක් මෙන් මුහුණ හදමින් කීවේය. ඇය මුහුණ පරවී ගියේ බලාගෙන ඉද්දිමය. අහින්සක කෙල්ලට දුක හිතෙන්නට ඇත.

"විහිළුවටනෙ සුදූ කිව්වෙ..."
මම සිනාසෙමින් ඇගේ සුරත අල්ලාගතිමි. ඇය අත ගසා දැමුවාය.

"අල්ලන්න එපා මාව.අම්මා හොයලා දීපු කෙල්ල එක්කම ඉන්න. ඔයාට මාව විහිළුවක්නෙ...."
ඇය ඉවත බලාගෙනම කීවාය.චාපාගේ ඇස් දෙකද රතුවී ඇත. මෙය මෙතරම් දුරදිග යාවියැයි මම සිතුවේ නැත.

"සුදූ මේ බලන්න... ඇත්තටම ඔයාට විහිළු තේරෙන්නැද්ද?..."

මම නැවතත් ඇයගේ සුරත මත මගේ දෑතම තැබුවේය. එවර ඇය මගේ අත් දෙකම තදින් අල්ලා ගත්තාය.

"ඔයා දන්නෑ ගිම්හාන මම ඔයාට කොයිතරම් ආදරේද කියලා. බලන්න අත් දෙකත් වෙව්ලනවා. විහිළුවටවත් ඔහොම දේවල් කියන්නෙපා. ඔයාව මට නැති උනොත් ඇත්තමයි මම........"

ඇයගේ දෑසින් කදුලක් පැන්නේය.මට පුදුම සිතුණි. ඇය මේ ආදරේ මේ තරම් බරපතලව සිතනවා යැයි මට දැනුනේ දැන්ය. මෙතරම් සුළු විහිළුවකින් චාපාගේ සිත රිදේයැයි මම කවදාවත් සිතුවේ නැත.

"හරි දැන් හිනාවෙලා ඉන්නකො. මම ආයෙ විහිළු කරන්නෑ...."

"ඔය කිව්වෙ ඉතින්.. මම විහිළු කරන්න එපා කිව්වද? මම කිව්වෙ අර වගේ හිත රිදෙන කතා කියන්නෙපා කියලා...."

"මචං සමදරා ටීච එනවා අපි යමු...."
නදුන් මගේ පිටට තට්ටු කර කීවේය.

"මම යන්නම් සුදූ...."

"හා.."
ඇය ළඟ තිබූ පොතක් ගෙන දිගහරිමින් මා සමග සිනාසුනාය.



නිම් හිම් නැති ආදරයක් බිහිකල ආදරණිය තක්සලාව...

(චාපා 12 වන කොටස සමගින් හමුවෙමු...)

            - නිරෝෂ් මෛති‍්‍ර -
                  - 2004 -




Friday, June 7, 2013

චාපා 10





"මේ තමයි මගේ පුංචි කාමරේ...."

මම කාමරයේ දොර ඇර ඇයට පෙන්වීය. ඇගේ දෙනෙත් කාන්තිමත් විය. මෙලෙස මගේ කාමරයට ඒමට හැකිවේයැයි ඇය නොසිතන්නට ඇත. චාපා මුළු කාමරේ වටේම ඇස් යැව්වාය. 

"ගනන් ගන්නෙපා. පොඩ්ඩක් හැඩිවෙලා. දන්නවනෙ ඉතිං කොල්ලන්ගෙ කාමර..."

"අම්මා හොයයිද? මං ගැන වැරදියට හිතයිද දන්නෑ..."

"අම්මා කෑම හදනවා. අපේ අම්මා හරීම හොදයි. එයා දන්නවා මම වැරදි වැඩ කරන්නෑ කියලා. ඒක නෙවෙයි අද හරිම ලස්සනයි...."

"බොරු කියන්නෙපා.. තාත්තා ගෙදර එයි කියලා බයේ මම ඉක්මනට ලෑස්තිවෙලා ආවෙ. හරියට ඇදුමක්වත් තෝරලා අදින්න බැරි උනා..."

"කලබලේට මෙච්චර ලස්සනයිනම් නිවීසැනසිල්ලෙ ලස්සන වෙලා ආවනම් මට කොල්ලන්ගෙන් බේරගන්න බැරිවෙයි..."
මම ඇයගේ අතක් අල්ලගනිමින් කීවේය.

"වැඬේමයි..."

"ඇත්තමයි සුදූ අම්මත් කිව්වා ලස්සන ගෑණු ළමයෙක් කියලා...."

"බොරූ..."

"මම උඹට බොරු කියලා තියෙනවද?..."

"මෝඩයා කතාකරන හැටි විතරක්..."
ඇය මගේ උරහිසට ගැසුවාය.

"මෙන්න මගෙන් පුංචි ප‍්‍රසන්ට් එකක්..."
ඇය මෙතෙක් වෙලා අතේ තබාගෙන සිටි කුඩා බෑගය මගේ අතේ තැබුවාය.

"මොකටද සුදූ තෑගි ගෙනාවෙ. ඔයා මෙහෙම අපේ ගෙදරට ආපු එකම මදිද..."

"ඕක ඇරලා බලන්නකො සීයෙ..."

"දැන්ම?.."

"ඔවු..."

මම කවරය ඉවත්කර පසෙකින් තැබුවේය. ඇතුලේ තිබුනේ පොත් දෙකකි. එය ආර්ථික විද්‍යාවට අයත් මම මෙතෙක් දවසක් හොයමින් සිටි පොත් දෙකකි. මට අදහාගත නොහැකි විය.

"සුදූ ඔයාට කොහෙන්ද මේ පොත් දෙක. අනික ඔයා කොහොමද දන්නෙ මට මේ දෙක ඕනෙ කියලා?..."
ඇය සිනාසිසී මා දෙස බලා සිටියා මිස මට පිළිතුරු දුන්නේ නැත. මගෙන් මේ පුදුමවීම ඇය බලාපොරොත්තු වන්නට ඇත. තෑග්ගක් දුන් පසු, දුන් කෙනා වැඩිපුරම සතුටු වන්නේ ලබාගත් කෙනා එයින් සතුටුවනවා දැකය. 

"හිනාවෙන්නැතුව කියනවකො මොට්ටි.."
මම පොත් දෙක ආශාවෙන් අතට ගෙන ඇද මත වාඩිවිය. ඇයද මා අසලින් වාඩිවිය.

"ඔයා දවසක් කල්ප එක්ක කියනවා මම අහන් හිටියා. දන්න දන්න හැම බුක්ෂොප් එකකම බැලුවා තිබ්බෙ නැහැ කියලා. ඉතින් මම අපේ තාත්තට කියලා මේ පොත් දෙක ගෙන්න ගත්තා..."

"ඒ කොහෙන්ද?.."

"මේ පොත් දෙක පි‍්‍රන්ට් කරන ප්‍රෙස් එක අයිති අපේ තාත්තගෙ යාළුවෙක්ට..."
ඇය සිනාසී පිළිතුරු දුන්නාය. මට ඇය පිළිබද ඇතිවූ ආදරය කියා නිමකල නොහැකිවිය. මම චාපාගේ දෙනෙත් දෙසම බලා සිටියේය. ඇය මේතරම් මට ආදරේ කරනවාද?

"හැබැයි මේක විතරක්නම් මට මදි..."

"මම දන්නවා මේක පුංචි තෑග්ගක් කියලා. පස්සෙ මම මොනාහරි අරන් දෙන්නම්කො...."

"ආනේ නෑ. මට මේ පොත් දෙක ගොඩක් වටිනවා. මම කිව්වෙ ඒ තෑගි නෙවෙයි..."

"එහෙනම්?..."

"මේන් මේකක්..."

හිතේ තෙරපෙන අපමණ ආදරයෙන් මම ඇයගේ නළලත සිපගත්තේය. ඇය ළඟින් හමා ආවේ හැමදාමත් මා කැමතිම සුවඳයි. මට සිපගෙනම ඉන්නට සිතුණි. මම මෑත්වී චාපා දෙස බැලීය. ඇගේ දෙනෙත්වල කදුළුය.

"ඇයි මේ..."

මම ඇයගේ මුහුණ දෝතට ගෙන ඇසීය. ඇය මොහොතක් මා දෙස බලා සිට එක්වරම මාව වැළදගත්තාය.

"ඔයා කොයිතරම් හොද කෙනෙක්ද? මට කොයිතරම් ආදරෙයිද? මේ වෙන දේවල් මට හරිම නුහුරුයි ගිම්හාන. ඒත් මම ඉන්නෙ හරිම සතුටින්. ගොඩක්ම සතුටින්...."
ඇගේ කදුළු මගේ පිටට එකපිට එක වැටෙයි.

"අනේ මම මොඩියෙක් වගේ ඔයත් එක්ක කතා නොකර නපුරුකම් කරලා යාළුනොවී හිටියානම් මම අදටත් අර පන්තියේ මුල්ලට වෙලා පාළුවෙන් හූල්ල හූල්ල ඉන්නවනෙ. මම ඔයාට ගොඩක් ආදරෙයි ගිම්හාන. මාව කවදාවත් තනිකරන්නෙපා...."

ඇය මගෙන් මෑත් වෙමින් කීවාය. 

"ඉතිං අඩන්නැතුව ඉන්න මගේ සුදූ මම මොකටද ඔයාව දාලා යන්නෙ?.."

"ඒත් මට හරි බයයි ගිම්හාන...."

"අපි හැමදේම කලබල නොවී ලස්සනට විසදගමු. එන්න යමු පහළට ඔයාට බඩගිනිත් ඇති...."

"නෑ, දැන්නනම් කොහොමටත් බඩගින්නක් නැහැ...."
චාපා කදුළු පිසදාමින් කීවේ සිනාසෙමිනි.



ඇසිපිය යට තරු කැට තියන් හීන දැක්කත්...


(චාපා 11 වන කොටස සමගින් හමුවෙමු...)

            - නිරෝෂ් මෛති‍්‍ර -
                  - 2004 -


මෙතනින් (අයියෝ "චාපා")

 

Sample text

Sample Text