Social Icons

Thursday, June 27, 2013

චාපා 15



    වරින් වර කල්යමින් බොහෝ කලක් සිට යාමට සූදානම් කරගෙන සිට අධ්‍යාපන චාරිකාව යාමට අවසානයේ දිනයක් නියමවිය. ඒ පිළිබදව කලා පන්තියේ සිසු සිසුවියන් සිටියේ ඉතාමත් සතුටිනි. කොහොමටත් අනෙක් විෂය ක්ෂේත‍්‍රයන්වල සිසුන් උසස්පෙළ බැරූරුම්ව සිතුවද කලා විෂයන් කරන සිසුන් ඉන්නේ ඉතාමත් සැහැල්ලුවෙනි. උසස්පෙළ සිසුන්ගෙන් වැඩිපුර පාසැල් එන්නේද ඔවුන්ය. අනෙක් උසස්පෙළ පන්තිවල සිසුන් පාසැල් එන්නේම නැති තරම්ය. ඇතැමෙක් ගෙදර නැවතී පාඩම් කරන අතර ඇතැමෙක් උදෑසන සිට අමතර පන්ති යයි.

"ඒයි මොනවාද කල්පනා කරන්නෙ?..."
පැතුම් මා ළඟින් වාඩිවෙන ගමන් ඇසුවේය.

"මුකුත් නැහැ මචං. ටි‍්‍රප් එක යන්න ඔක්කොම ලෑස්තිද?.."

"හ්ම්.. උඹේ මල් කුමාරිත් යනවද?..."

"නැතුව.. නැතුව.."

"අම්මපා අපිට නැහැනෙ ජෝඩුදාලා ටි‍්‍රප් යන්න චාන්ස් එකක්.."

"හොයාගනින්කො ඉතින් ජෝඩු දාන්න පුළුවන් එකක් නහයෙන් අඩන්නෙ නැතුව.."

"ඒයි, අන්න උඹට චාපා කතා කලා..."
චාමර අපි අසලට විත් කීවේය. මම පසුපස හැරෙමින් චාපා දෙස බැලීය. ඇය හිසෙන් මට එන්නයැයි කීය.

"ඇයි සුදූ..."

"හෙට යනවා නේද?..."

"ඔවු.. ඔයාත් එනවනෙ..."


"හ්ම්... අඩලා අඩලා පර්මිෂන් ගත්තෙ ගෙදරින්. කොහෙවත් යවන්නෑ මාවයි නංගිවයි. හිරකාරියො වගේ අපි.."

"දැන් ඕවා හිතන්නෙපා, කොහොමහරි ටි‍්‍රප් එක යනවානෙ..."

"අනේ මටනම් හරි..ම ආසයි..."

ඇය කුඩා දරුවෙකුමෙන් ඇස් කුඩාකර කීවාය. පවු, අහින්සක කෙල්ල ගෙදරින් පිටට යාමට ලැබීම ගැන ඇත්තටම ඉන්නේ ඉමහත් සතුටිනි.

"උදේට කන්න ගේන්නෙපා සුදූ, මම ඔයාටත් එක්ක අරන් එන්නම්..."

"මම මොනාද ඔයාට ගේන්නෙ?.."

"මුකුත්ම එපා. ඔයා එනඑකම ඇති මට. නැත්තම් මාත් නොගිහින් ඉන්නයි හිටියෙ. ඒක නෙවෙයි,මම ඉස්කෝලෙ ඇරිලා යද්දි චාමර එක්ක ස්විටර් එකක් ගන්න යනවා..."

"ඇයි ඔයාට එකක් නැද්ද?.."

"නැහැ සුදූ, නුවරඑළියේ රෑ නතරවෙන නිසා එකක් ඕනෙවෙයි කියලා චාමර කිව්වා.."

ඇය මුහුනෙ සිනහවකින් මා දෙසම බලා සිටියාය. මම කැමතිම ඇගේ ඇස් දෙකටය.

"මොකද හිනාවෙන්නෙ..."

"නැහැ.. මුකුත් නැහැ.."
ඇය සිනාවෙමින්ම කීවාය.

"කියනවා මෝඩි, මොකද හිනාවෙන්නෙ?.."

"ඔයා ළඟ හිටියානම් මට ස්විටර් එකක් ඕන වෙන්නෑ..."
ඇය කිව්වෙ අහක බලාගෙනය.

"මේකි හිතන දේවල්..."

"නැතුව...ඔයාගැන හිතන්නෙ නැතුව මම කවුරුගැන හිතන්නද? නංගි ගාවත් ස්විටර් එකක් තියෙනවා. මම ඒක ගන්නම්. මගේ එක ඔයාට ගෙනත් දෙන්නම්. රස්තයාදු වෙන්න යන්නෙපා...."

***********************************************************************

පාන්දර පහට පාසලින් බස්රථය පිටත්විය. කලා පන්තියේ සිසුන් පමණක් සහභාගි වූ නිසා එක බස්රථයක් පමණක් ප‍්‍රමාණවත් විය. කාන්ති ගුරුතුමිය චාරිකාව යාමට පැමිණීම කාගේත් සතුටට හේතුවූ නමුත් පි‍්‍රයංකා ගුරුතුමියගේ සහභාගීත්වයෙන් බොහෝ දෙනා සිටියේ මැලවුණු මුහුණෙනි. නමුත් දැන් කරන්නට දෙයක් නොමැති නිසා හිතේ දුකටත් එක්ක පටන් ගත් තැනම සිට සියල්ලෝම ගීත ගායනා කළෝය.
අපි මුලින්ම ගියේ කැළණි විහාරයටය. පාන්දර කැළණි විහාරයේ ඇත්තේ අමුතුම පින්බර බවකි. අනෙක් පන්සල්වල පෝයටවත් නැති සෙනගක් කැළණි විහාරයේ සෑම දිනකම ඇත.

"හැමෝම එකට ඉන්න තේරුණාද? වෙන වෙනම අරෙහෙ මෙහෙ ගිහින් අහුවෙන්න එපා. මතක තියාගන්න අපි ඇවිත් ඉන්නෙ ඉස්කෝලෙකින් කියලා..."

ඒ පි‍්‍රයංකා ගුරුතුමියගේ හඩයි. ළමයි අකමැතිවූයේම ඇයගේ මේ දැඩි නීති රීති නිසාය. අප බසයෙන් බැස පන්සල දෙසට ගමන් කෙලේ පි‍්‍රයංකා ගුරුතුමියට හිතින් බනිමිනි.

"අපි අතදරුවො කියලද බං අරයා හිතං ඉන්නෙ? පුදුමයි කිව්වෙ නැහැ දෙන්නා දෙන්නා අත් අල්ලන් යන්න කියලා.."

පි‍්‍රයංකා ටීච සමග වැඩිපුරම තරහා නදුන්ය. ඒ ඔහුගේ පේ‍්‍රම සම්භන්ධයට ඇය කිහිප වරක්ම අවවාද කල බැවිනි.

"එහෙම කිව්වානම් තොට ඉබ්බා දියේ දැම්මා වගේ තියෙයි. දුවන් දුවන් ගිහින් සදමාලිගේ අතේ එල්ලෙයි..."
චාමර නදුන්ට පිටුපස සිට කීවේය.

"මම එල්ලෙන එක උඹට කියලා දෙනවා මේ පන්සල නෙවෙයිනම්..."

මම පසුපස හැරී චාපා එනවාදැයි බැලීය. ඇය හැරි හැරී මල් කඩ දෙස බලමින් යයි.

"ඇයි මල් ඕනෙද?.."
මම චාපා අසලට කිට්ටු වෙමින් ඇසුවේය.

"ඇයි ඔයා මල් විකුණනවාද?.."
ඉරේෂා කට ඇදකර ඇසුවාය. චාපා ඇයට අතින් ගැසුවාය.

"නෙළුම් මල් දැක්කම ආස හිතුනා ගිම්හාන..."

"ඉන්න මං ගෙනත් දෙන්නම්..."

"ආ සල්ලි..."

ඇය කියන විටත් මම මල් කඩයට ගොස් ඉවරය. මම නෙළුම් මල් පොකුරක්ම ගෙනවිත් ඇයට දුන්නේය. නෙළුම් මල් දැකීමෙන් ඇගේ මුහුණ මල් වලට වඩා පිපී ඇත. ඇය මෙහෙම ගමනක් ආවාම විය යුතුය. මල් ටිකට කෙතරම් ආසා උවද ඇය මල් පොකුරෙන් බාගයක්ම මට දී තවත් කොටසක් ඉරේෂාට දුන්නාය. ඇයට ඇත්තේ එවන්වූ පුදුම ගතිගුණය.

"මං දිහා බලන් ඉන්නැතුව ඔය මල්ටික පූජා කරන්න..."

ඇය සිනාසී කිවාය. චාපා මල් පූජා කල තැනින්ම මාත් මල්ටික පූජා කලෙමි. ඇය දෙනෙත් පියාගෙන බොහෝ වේලාවක් බුදු පිළිමයට වැදගෙන සිටියාය. ඇයට වදින්නට දී මම පසුපසට වී බලාගෙන සිටියේය.

"මොනවද මෙච්චරවෙලා වැදගෙන ප‍්‍රාර්ථනා කලේ?..."

ඇය බෝ මළුවට එනවිට මම ඇසුවේය. ඇය පහත්වෙමින් පෑගෙන්නට ගිය බෝපත් දෙකක් අතට ගත්තාය.

"ගොඩක් දේවල් ගිම්හාන. ඔයාවගේ හොද කෙනෙක් මගේ ජීවිතේට ලැබුණා. හැමදාමත් ඒ ආදරේ මං ළඟින්ම තියන්න කියලා ඉල්ලුවා. ඔයාව හොදට එක්සෑම් පාස් කරලා දෙන්න කියලා ඉල්ලුවා. මට හැමදාමත් ජීවිතේ නොලැබුණ සතුටක් සැනසීමක් දැන් ලැබෙනවා. ඒක මගෙන් ආයෙමත් උදුර ගන්නෙපා බුදු හාමුදුරුවනේ කියලා ඉල්ලුවා...."

ඇය ගැන මට අපමණව දුක සිතුණි. 

"ඔයා ගොඩක් හොදයිනෙ. ඒ නිසා ඔය සේරම ඔයාට ලැබෙනවා චාපා..."

කැළණි විහාරය වැදීමෙන් පසුව අපි පිටත්වූයේ නුවර බලා යාමටය. චාමරත් මමත් පසුපස දොරේ පාපුවරුවේ ගියේ කොළඹින් ඇත්වත්ම අවට පරිසරය එන්න එන්නම සුන්දර වෙන නිසා එය බැලීමටය.

"ගිම්හාන..."
චාපා දොර අසලට පැමිණෙන තුරු අප දුටුවේ නැත. 'දැං ඉතිං අහගනින් හොදට' චාමර මට කණට කර කීවේය.

"ඇතුළට එන්න, වැටුනොතින් එහෙම..."

"අමුතුවෙන් වැටෙන්න දෙයක් නෑ චාපා, මූ හත වසරෙදි වැටුනනෙ ගේ ළඟ ජම්බු ගහෙන්..."

"ඔයා තමයි චාමර ඔක්කොම කරන්නෙ. එන්න දෙන්නම ඇතුළට..."

"ප‍්‍රියංකා ටීච හොදයිනෙ බං.."
චාමර දොර වසන ගමන් කීවේය.

"ඇද්ද අහගත්තා..."
ඉරේෂා ප‍්‍රීතියෙන් ඉපිලෙමින් කීවාය.

"ඇයි මොකද?.."

"මමයි චාපාට කිව්වෙ ඔයා ෆුට් බෝඩ් එකේ වැඩ පෙන්නනවා කියලා..."

"ආ ඇත්තද? උඹ තමයි එහෙනම් අහින්සක මටත් පාරේ යන කෙල්ලෙක්වත් බලන්න තිබ්බ චාන්ස් එක නැති කලේ..."
චාමර ඉරේෂාගේ කනක් මිරිකුවාය.

"ඌයි..."

"පවු චාමර ඒ ළමයාට පාඩුවෙ ඉන්න දෙන්න. එයා හොදක්නෙ කලේ. ෆුට් බෝඩ් ගිහින් වැටුනනම් එහෙම ගමනම ඉවරයිනෙ ඉතින්..."

චාපා මට රවන ගමන් චාමරට කීවාය.


ආදරයට ආදරෙන්...


(චාපා 16 වන කොටස සමගින් හමුවෙමු...)

 - නිරෝෂ් මෛති‍්‍ර -

No comments:

Post a Comment

 

Sample text

Sample Text