Social Icons

Sunday, June 9, 2013

චාපා 11



   ද උදෑසන වෙනදාටත් වඩා ලස්සනයැයි සිතුණි. පරිසරයද වෙනදාට වඩා අමුත්තක් ඇත. 7.30 ද පසුවී තිබුණද තිබුණද වෙනදාට පිටියේ සෙල්ලම් කරන කුඩා ළමුන්ද අද අඩුය. ගේට්ටුවෙන් ඇතුල් වෙද්දීම ඉරේෂාව මුණ ගැසුණි.

"ගුඩ් මෝනින්..."

"ගුඩ් මෝනින්.. කල්ප ආවද ඉරේෂා?..."

"එන්න ඇති ගිම්හාන. මම දැක්කෙනම් නැහැ...."

ඉරේෂා මා පාසලට ආ දිනයේ සිට මට හිතවත්වූ මිතුරියයි. ඇය චාපාගේ හොදම මිතුරියද වූවාය. තෙමහල් ගොඩනැගිල්ලේ කොරිඩෝව ළංවත්ම සුපුරුදු නොසන්සුන්කමින් සිත නළියන්නට වූයේය. උසස් පෙළ නිමා කර පාසලෙන් සමුගෙන ගිය දවසක මේ සුන්දර දවස් ටික මතක් වී පුදුමාකාර පාළුවක් සිතට දැනෙනු ඇත. වෙනදා මෙන්ම චාපා මටත් කලින් පැමිණ කොරිඩෝවෙ කණුවකට හේත්තුවී මඟ බලාගෙන ඇත.
ඇය දුටුවිට තුන් හිතම පිරීයයි.

"සුබ උදෑසනක් සුදු නංගී..."

"සුබ උදෑසනක්.. මොකද අද ලොකු සතුටකින් වගේ ?..."

"අද උදේ ඉදන් මගේ මූඩ් එක හොදයි, අද හොද දවසක්..."

"අම්මෝ ඒක නම් හොදයි නැත්තම් පොඩ්ඩ ඇත්තං තරහ යනවනෙ...."

ඇය සිනාසුනාය. ඇය මේ කියන්නේ පෙරේදා මම ඇයත් සමග තරහ වූ නිසාය. ඒ තරහා කාලපරිච්ඡේද දෙකකට වඩා දිග්වූයේ නැත. 


"අටටත් ළඟයිනෙ අද ඇයි මෙච්චර ළමයි අඩු ?.."

"ඇයි ළමයො, අදනෙ සයන්ස් ඬේ එක. අද ඉතින් වැඩක් කෙරෙන්නැති නිසා ළමයි අඩුයි..."

"අදද සයන්ස් ඬේ එක? මට මතක් උනේ නෑනෙ, අපරාදෙ මටත් ගෙදර ඉන්න තිබ්බා.
චාපා මා දෙස රවා බැලීය. 

"මොකද ඔරවන්නෙ?.."

"මොකද ඔරවන්නෙ, අද ආවෙ නැත්තම් මම බලාගන්නවා එහෙනම්.. අපි මේ උදේ පාන්දරම නොකා නොබී එනවා එක්කෙනෙක්ව බලන්න එයා ආපු එක ගැන දුක් වෙනවා..."

"පිස්සි, එන්න යමු පන්තියට. මම මේ තාම බෑග් එල්ලං. ඔයාව නොබලා ගෙදරට වෙලා ඉන්න පුළුවන්නම් බැරියැ ඉතිං..."

ඇය මගේ පසුපසින් පන්තිය ඇතුලට ආවාය. අප එනවිට කල්ප කාඩ් දෙක තුනක් තියාගෙන මොනවාදො කරමින් සිටියේය.

"වස්තුවේ උඹ ආවද?.."

"මොනාද බං ඔය..."
මම කල්පගෙන් ඇසීය.

"මේ සිකුරාදා අපේ අක්කගෙ වෙඩිම බං. මම මේ වැදලා වැදලා මගේ යාළුවන්ට දෙන්න කියලා කාඩ් දෙක තුනක් ඉල්ලගත්තා. ඔක්කොටම කියන්න විදියක් නැහැ බං. මස්සිනා මහ කුණා..."
චාපා මදෙස බලා සිනාසුනාය.

"මෙන්න මේක මගේ නෑනටයි මස්සිනාටයි..."

කල්ප මටත් චාපාටත් දෝතින්ම වෙඩින් කාඩ් එකක් දුන්නේය. කල්පලා යාළුවන් නොව සහෝදරයන්ය.

"කාඩ් මොකටද කල්ප. නිකං කිව්වනම් අපි එනවනෙ නේද ගිම්හාන.."

"ඒකනෙ. මූට පිස්සු..."

"හරි හරි රෝමියෝ අයියයි, ජුලියට් ඇන්ටියි එදාට අනිවා එන්නකො. මට ඒ ඇති...."

"ආ.. මම එතකොට ඇන්ටි...?"
චාපා කල්පට රැව්වාය.

අද චාමර පාසැල් ආවෙත් නැත. මාත් චාමරත් ප‍්‍රාථමික අංශයේ ළමයින්ගේ උදෑසන රැස්වීම අවසන් කර පිට්ටනිය දිගේ ආවේ වෙනදාට වඩා සැහැල්ලුවෙනි. අද පාසල හරිම නිශ්ශබ්දය.

"පොඩි උන් කරන දේවල් වලට හිනාකාලා මැරෙනවා බං.."
බිම වැටී තිබූ ටොපි කොල දෙකක් අතට ගනිමින් චාමර කීවේය.

"අනේ ඔවු බං, උන්ට එක විදියකට ඉන්නම බෑනෙ විනාඩියක්වත්.එකෙක් නහයෙ ඇගිල්ල ගහලා අනිකාට පෙන්නනවා මේ කියලා...."

"ඒක තමයි බං අපි එන්න එන්න ලොකු වෙනවා ඉස්කෝලෙ දාලා යන්න වෙන දිනේ ළං වෙනවා කියලා හිතෙද්දි හිතට එන්නෙ ලොකු දුකක් මචං..."

"ඒකනම් ඇත්ත බං. හැමදාම අර වයසෙ ඉන්න තිබ්බනම් කියලා කොයිතරම් හිතිලා ඇද්ද..."

පාසලේ අරලිය ගස් සෙවන යට පහේ පන්තියේ ළමුන්කිහිප දෙනෙක් බට්ටා පනියි. උන් කොයිතරම් අහින්සකද. බට්ටා පනින ළමයි දෙස පැත්තකට වී ඔහේ බලාගෙන සිටින කුඩා දැරියක දැක මට චාපාව සිහිවුණි. ඇයද පොඩි කාලේ මේ වගේම ඉන්නට ඇත.

පළමු කාල පරිච්ඡේදයෙන් පසු විද්‍යා දිනයේ වැඩ කටයුතු ආරම්භවීම නිසා ඉගැන්වීමෙ කටයුතු සිදුවූයේ නැත. කලා උළෙල තරම් සාර්ථක සංවිධානයක් විද්‍යා දිනයේ නොමැතිවීම ගැන අපේ පන්තියේ සිසුන් සිටියේ ආඩම්බරයෙනි. 

"ඕකුන්ට තාමත් පුළුවන් ලිට්මස් කෑල්ලක පාට වෙනස්වෙන එක ගැන ලියන්න විතරයි බං, ආයුබෝවන් කියන එකේ හල් කිරීමවත් නැහැ..."
අපේ අයට දැන් පේන්නේම වැරදිය.

"පිස්සු මරගාත බං ඉන්නෙ, මට බය පි‍්‍රන්සිපල්ව පිළිගන්න ඉන්න එකා ගම්මිරිස් කොළ දීලා වදියි කියලා..."

පන්තියම සිනාසුනේ මහ හයියෙනි. කරන්නට දෙයක්ද නැතිවූයෙන් මම අතපසුවූ සටහනක් ලියන්නට ගත්තේය. සදමාලි  පැමිණ මගේ පෑන ඉදිරුවාය.

"අදත් ලියන්න ගත්තද?..."

"කරන්න දෙයක් නැති කමට ලියන්න ගත්තෙ සදමාලි..."

"පව් හලෝ අර ළමයා තනියම. ගිහින් පොඩ්ඩක් කතා කරන්න. අද වගේ Free දවස් හැමදාම නෑනේ..."

මීට මොහොතකට පෙර සදමාලි සිටියේද නදුන් සමග ලොකූ කතාවකය. චාපාට පාළු දැනෙන්ට ඇත. මම ඇය දෙස බැලූ විට ඇය අහින්සකව සිනාසුනාය.

"ඉතිං.. ඉතිං.."
මම ඇයට ඉදිරිපස පේලියේ පුටුවක් අනෙක් පැත්ත හරවාගෙන වාඩිඋනෙමි.

"වැඩත් පාඩුයි නේද මම නිසා..."

"නෑ සුදූ කම්මැලිකමට ලියන්න ගත්තෙ. ඒක ගෙදර ගිහිනුත් කරන්න පුළුවන්..."

"මට පොත දෙන්න. මම ලියලා ගෙනත් දෙන්නම්..."

මම ඇය දෙස බලා සිනාසුනාය. ඇගේ දුඹුරු පැහැති නෙත් සඟල ඉතාමත් ආකර්ශනීයය. මම කතා නොකර ඇය දෙසම බලා සිටියේය.

"මොනාද බලන්නෙ?..."
මම කතා කලේ නැත.

"කතා කරන්නකො ගිම්හාන.."

"හරි ලස්සනයි..."
ඇගේ මුහුණ රතුවිය.

"කවුද...?"

"සදමාලි... මෝඩි, ඔයාදිහා බලාගෙන වෙන කවුරුහරි ලස්සනයි කියනවද? ..මට වෙලාවකට බයත් හිතෙනවා සුදූ..."

"ඇයි ඒ..?"

"මොකක් හරි හේතුවකින් මට ඔයාව නැති වෙයි කියලා..."

"නපුරු කතා කියන්නෙපා ගිම්හාන. අපිට එහෙම වෙන්නෑ.ලොකු අයියා තමයි ප‍්‍රශ්නයක් ඇතිකලොත් ඉතිං..."
"අපි පරිස්සම් වෙමු..."

"ඔයාලාගෙ අම්මා දැනගත්තම මට කැමති වෙයිද දන්නෑ නේද?..."
ඇය ඇස් කුඩාකර ඇසුවාය.

"අපේ අම්මවනම් කැමතිකර ගන්න එක ලේසි වෙන්නෑ. අම්මා දැනටමත් අපිට නෑදෑ වෙන කෙනෙක්ව මට කතා කරලා තියෙන්නෙ..."

මම ඇත්තක් මෙන් මුහුණ හදමින් කීවේය. ඇය මුහුණ පරවී ගියේ බලාගෙන ඉද්දිමය. අහින්සක කෙල්ලට දුක හිතෙන්නට ඇත.

"විහිළුවටනෙ සුදූ කිව්වෙ..."
මම සිනාසෙමින් ඇගේ සුරත අල්ලාගතිමි. ඇය අත ගසා දැමුවාය.

"අල්ලන්න එපා මාව.අම්මා හොයලා දීපු කෙල්ල එක්කම ඉන්න. ඔයාට මාව විහිළුවක්නෙ...."
ඇය ඉවත බලාගෙනම කීවාය.චාපාගේ ඇස් දෙකද රතුවී ඇත. මෙය මෙතරම් දුරදිග යාවියැයි මම සිතුවේ නැත.

"සුදූ මේ බලන්න... ඇත්තටම ඔයාට විහිළු තේරෙන්නැද්ද?..."

මම නැවතත් ඇයගේ සුරත මත මගේ දෑතම තැබුවේය. එවර ඇය මගේ අත් දෙකම තදින් අල්ලා ගත්තාය.

"ඔයා දන්නෑ ගිම්හාන මම ඔයාට කොයිතරම් ආදරේද කියලා. බලන්න අත් දෙකත් වෙව්ලනවා. විහිළුවටවත් ඔහොම දේවල් කියන්නෙපා. ඔයාව මට නැති උනොත් ඇත්තමයි මම........"

ඇයගේ දෑසින් කදුලක් පැන්නේය.මට පුදුම සිතුණි. ඇය මේ ආදරේ මේ තරම් බරපතලව සිතනවා යැයි මට දැනුනේ දැන්ය. මෙතරම් සුළු විහිළුවකින් චාපාගේ සිත රිදේයැයි මම කවදාවත් සිතුවේ නැත.

"හරි දැන් හිනාවෙලා ඉන්නකො. මම ආයෙ විහිළු කරන්නෑ...."

"ඔය කිව්වෙ ඉතින්.. මම විහිළු කරන්න එපා කිව්වද? මම කිව්වෙ අර වගේ හිත රිදෙන කතා කියන්නෙපා කියලා...."

"මචං සමදරා ටීච එනවා අපි යමු...."
නදුන් මගේ පිටට තට්ටු කර කීවේය.

"මම යන්නම් සුදූ...."

"හා.."
ඇය ළඟ තිබූ පොතක් ගෙන දිගහරිමින් මා සමග සිනාසුනාය.



නිම් හිම් නැති ආදරයක් බිහිකල ආදරණිය තක්සලාව...

(චාපා 12 වන කොටස සමගින් හමුවෙමු...)

            - නිරෝෂ් මෛති‍්‍ර -
                  - 2004 -




No comments:

Post a Comment

 

Sample text

Sample Text