Social Icons

Saturday, June 22, 2013

චාපා 14



   සෙනසුරාදා ආර්ථික විද්‍ය පන්තිය නිමවී ගම්පහ බස් ස්ටෑන්ඩ් එකට එනවිට 12.30 පමණ ඇත. ආර්ථික විද්‍යාව අපහසු විෂයක් වන්නේ ඕනවට එපාවට අතරින් පතර දේශනවලට සහභාගිවුවහොත් බව අද සුදත් සර් කීවේය. මුල සිට ක‍්‍රමානුකූලව පාඩම් කලහොත් විභාගය ආසන්න වන විට බියවීමට හේතුවක් නොමැති බව ඔහු නිතර කියන දෙයකි. එය සැබෑවටම ඇත්තකි. හැම විෂයක්ම අමාරු කර ගන්නේ අපය. නමුත් උනන්දුවෙන් මුල සිට පාඩම් කලහොත් අවසාන මොහොතේ නටන්නට හේතුවක් නැත.

"ගිම්හාන..."

උදේ සිට කෝච්චිවල බස්වල ඇවිත් දේශනවලට වලට සහභාගිවී ඇගට තිබුණ මහන්සිය දැන් කොහෙන් ගියාද නැත.

"මම ළඟට එනකම්ම දැක්කෙ නැහැ. ඔච්චර බර කල්පනාව කෙල්ලෙක් ගැනද?.."
ඇය සිනාසී ඇසුවාය.

"කොහොම දැනගන්නවද මන්දා හරියටම..."

"මම දන්නවනෙ එහෙම නෑ කියලා...."

අද ඇය වෙනදාටත් වඩා සුන්දරයැයි සිතුණි.

"අද ක්ලාස්එක කලින් ඉවර උනාද?..."


"ඔවු ගිම්හාන, විනාඩි දහයක් කලින් ඉවරයි. මේ අද මම ඉක්මනට ගෙදර යන්න ඕනෙ...."

"ඒ මොකෝ?..."

"අද අයියයි තාත්තයි දෙන්නම ගෙදර..."

"ඉතිං ඔයා බයද?..."

"අනේ නැහැ. පරක්කු උනාම මගේ චන්ඩියා ඉන්නවනෙ ගෙදරටම ඇරලවන්න..."

අපි නලීමා එකට යාමට පාර පනින විට චාපා වටපිට බලමින් ගියේ අදුනන කවුරුන්හෝ ඉදීවිදැයි බියෙනි.චාපාගේ අයියාට ගම්පහ යහළුවන් ඇතිබව ඇය පෙරවතාවක මට කීවා මතකය. වේටර්වරයා සිනාමුසු මුහුනෙන් ආවේ අපි දෙදෙනා නිතර පැමිණිම නිසා දැන් අපව අදුනන නිසාය.

"සුදූ මොනාද බොන්නෙ?..."

"ඔයා බොන දෙයක්..."

"එහෙනම් අපිට බියර් දෙකක් ගේන්න..."

"ඒයි.. පිස්සා..."

ඇයි සිනාසී මගේ අතක් කෙනිත්තුවාය. 

"අපිට ස්මැක් දෙකක් ගේන්න...."

සෙනසුරාදාට නිලීමා එකේ වැඩිපුරම සිටින්නේ පන්ති යන ළමයින්ය. වේටර්වරයා ගියපසු මම චාපාගේ සුරත දෝතටම ගෙන ඇය දෙස බැලීය. කහ පැහැති සල්වාර් එක ඇයගේ මුහුණට ගෙනවිත් තිබුනේ අමුතු ආලෝකයකි. චාපාගේ මැදගිල්ලේ දමා තිබු කුඩා රන් මුදුව පිරිමදිමින් මම ඇගේ දෙනෙත් දෙස බලා සිටියේය.

"මොනවා හරි කියන්නකො ගිම්හාන..."

මම බැහැයි කියන්නට හිස දෙපසට වැනුවේය.

"ඇයි?..."

"මට ටිකක් බලන්න ඉන්න දෙන්න. අද හරිම ලස්සනයි.  ලස්සන සල්වාර් එකක් ඇදලා හරියට හින්දි නිළියෙක් වගේ...."

මම ලෝබකමක් නැතුවම කීවේය. ඇය අහින්සකව සිනාසී බිම බලාගත්තාය.

"නුවරඑළියෙ යන්නෙ ඊළඟ මාසෙ නේද ගිම්හාන?..."

"හ්ම්..."

"මට යන්න දෙයිද දන්නෑ. අනේ ඒත් මම හරිම ආසයි යන්න..."

මම ගැස්සුණි. ඇය නාවොතින් මම ගිහින්ද පලක් නොමැත.

"ඇයි තාත්තා එන්න දෙන්නැතිවෙයිද?..."

"දන්නවනෙ ඉතිං..."

ඇය සුසුමක් පිටකරමින් කීවාය. ඇයගේ මුහුණ මැලවී ගියේ බලාගෙන ඉද්දිය.

"හරි හරි දැන් ඕවා හිතන්න එපා. අපි බලමුකො මොනවා හරි කරගන්න. මම ඉරේෂාටත් කියන්නම්...."

***************************************************************

සෙනසුරාදා පන්ති ඉවරවී ගෙදර එනවිට මහා වැස්සකට අසුවිය. වේයන්ගොඩට ළංවන විටත් වැස්සක සේයාවක් වත් නොතිබුනත් හිටි හැටියේම ඇද හැලුණ වැස්ස පොඩි වැස්සක් නොවීය. ගෙදර එනවිට ඉහෙන් කනින් වතුර බේරෙමින් තිබුණි. හෙම්බිරිස්සාවෙන් ඉරිදා දිනයම විදෙවව්වද අද පාසැල් ආවේ ඇයව දකින්නට නලියන හිතට ඉඩදීය. පාසැල් ආවද ඇගට කිසිම ප‍්‍රාණවත් ගතියක් නැත. ඔළුවද බර ගතියක් තිබූ නිසා මම ඩෙස්ක් එක මත හිස තබාගෙන සිටියේය.

"ගිම්හා..න.."

චාපාගේ හඩ ඇසීමත් සමග හිත පිරී ගියේය. මම හිමින් හිස ඔසවා බැලීය.

"ඇයි මේ සනීප නැද්ද? ඇස් දෙකත් රතු වෙලා..."
ඇය බියවී ඇත.

"සෙනසුරාදා ගෙදර යනකොට වැස්සට අහුඋනා සුදූ. ඊයෙ ඉදන් ඇගට හරි මදි..."

"එහෙනම් අද ආවෙ?..."

"මම සෙනසුරාදා ඔයාට කිව්වනෙ අද එනවා කියලා ඒකයි ආවේ..."

"පව් දෙයියනේ ඔයා..."
එවිටම මට කිවිසුමක් ගියේය. දැන්නම් ඊයෙට වඩා ඇඟට අමාරුය.

"ඊයේ බෙහෙත් ගත්තෙ නැද්ද?..."

"ඊයෙ මෙච්චර අමාරුවක් තිබ්බෙ නැහැ සුදූ.."

"පවු ඔයා. මට එනවා කිවුවට අසනීපනම් ගෙදර ඉන්න තිබ්බනෙ මහත්තයෝ..."
ඇය වටපිට බලා මගේ නළලට අත තබා උණ දැයි බැලුවාය.

"දෙයියනේ ඔයාට උණ ගිම්හාන.. බලන්නකො ඔයත් කරගන්න දේවල්. ඉන්න මම පැනඩෝල් දෙකක් අරන් එන්නම්...."
චාපා යන්නට හැරුණාය.

"එපා, දැන් හොදයි"
ඇය පුදුමයෙන් ආපසු හැරුණාය.

"ඒ කොහොමද?..."

මම සිනාසී පිටි අල්ල නළලට තබා ඇය උණ බැලූ ආකාරය කර පෙන්නුවේය.

"මොන ලෙඬේ තිබ්බත් දැගලිල්ලනම් අඩුනැහැ..."

ඇයගේ බෑගයෙන් පැනඩෝල් දෙකක් ගෙන ඇයගේ වතුර බෝතලයද ළඟට ගෙනත් දී චාපා මා දෙස බලාසිටියේ අනුකම්පාවෙනි.

"ඕක බොන්න. දැන් පි‍්‍රයංකා ටීච එයි. මම යන්නම්. බුදු සරණයි ඔයාට...."

මට හිතට දැනුන සතුට කියා නිමකල නොහැකි විය. ඇය මට මේ දක්වන ආදරය සෙනෙහස මට මහමෙරක් මෙන් විය.ඇය ආදරය කරන ප‍්‍රමාණයට මගෙන් ආදරයක් ලැබෙනවාදැයි වෙලාවකට මට සිතෙයි. ඇත්තටම ඇය උණ බැලූ පසු ඇගට දැනෙන්නේ සනීප ගතියකි. 

"ඒයි ඇත්තද උඹ අසනීපෙන් කියන්නෙ?..."
චාමර මා අසලින් වාඩිවී ඇසුවේය.

"දැන්ද අහන්නෙ? මැරෙන්න ඔන්න මෙන්න හිටියෙ...."

"සොරි මචං මම ගියා ටි‍්‍රප් එක ගැන කතාකරගන්න. උඹට පැනඩෝල් දෙකක් ගෙනත් දෙන්නද?..."

"එපා චාපා ගෙනත් දුන්නා...."

"අප්පට සිරි. දොස්තර නෝනා ඇවිත් ටී‍්‍රට්මන්ට් කරලා. බොරුවට අපිට පුප්පනවා...."

චාමර මට රවා යන්නට නැගිට්වේය. මම එහෙම්මම චාපා දෙස බැලුවේය. ඇය ඉරේෂා සමග කතාකරමින් බලා සිටින්නේ මා දෙසමය.



 හැමෝටම කතාවක් තියනවා කියන්න, කාටවත් නොකියන....

(චාපා 15 වන කොටස සමගින් හමුවෙමු...)

            - නිරෝෂ් මෛති‍්‍ර -
                  - 2004 -


මෙතනින් (චාපා 15)




No comments:

Post a Comment

 

Sample text

Sample Text