Social Icons

Thursday, June 6, 2013

චාපා 09



     ම දුරකථනය තබා කල්පනාවට වැටුණි. දැන් මට වයස අවුරුදු 18 කි. එය මතක්වෙන විට කොහෙන්දෝ ආ වගකීම් සහගත බවකින් හිත බරවී ගියේය. මොන දේ කලත් කවදාවත් අම්මාගේ සිත රිදෙන දෙයක් නොකරන්නට මම තදින් ඉටා ගත්තෙමි.

"ලොකු පුතේ, උදේම පන්සලට ගිහිං එමු..."


අම්මා සෑම වසරකම මගේ උපන් දිනයට පන්සලට හීල් දානය දීමට අමතක නොකලාය. ඇයගේ මුහුණේ වෙනදාටත් වඩා සතුටින් පිරී ඇත. ඒ මගේ වෙනදා උපන්දිනයකටත් වඩා දැන් ඇයට ඉලංදාරි පුතෙක් ඉන්නාබව දැනෙනා නිසා විය යුතුය.


"මල්ලි ඉස්කෝලෙ ගියාද අම්මෙ.."


"නැහැ පුතේ, තාම නිදි. අද යන්නෑ කිව්වෙ ඔයාගෙ බර්ත් ඬේ එක නිසා.."


උදෑසනම පන්සලේ පරිසරය හිතට ගෙනෙන්නෙ වෙනස්ම පින්බර හැඟීමකි. පන්සල මායිමේ ඇති ගඟ දෙසින් හමා එන සීතල සුළඟත්, බෝපත් වල සිලි සිලි නාදයත් අද වෙනදාටත් වඩා සුන්දරව දැනෙයි. හීල් දානය පිළිගැන්වීමෙන් පසුව මාත් මල්ලීත් පන්සල පිටුපස ඇති ගඟ අද්දරට ආවේ වෙනදා පුරුද්දටය. උදෑසන හිරු එළියෙන් ගගේ වතුර දිළිසෙයි. මට චාපාව මතක්විය. දිනක ඇයවද මෙතනට රැගෙන ආ යුතුය.


මම ගෙදර අස්පස් කිරීමට අම්මාට උදව් විය. යහළුවන්ට සංග‍්‍රහ කිරීමට අම්මා මොන මොනවාදෝ හදන සුවද සාලයටද එයි.


"මල්ලී රේඩියෝ එක දාන්න.."


ගෙදර ඇති නිහඩතාවය බිදිමින් වාදනය වූයේ මම කැමතිම ගීතයකි.



පෙර කිසිදා ඔබ හමුවී නැති බව 
ඉදුරා කියත හැකි,
හමුවී ඇතිනම් 
ඒ පෙර සසරේ 
යුගයක වෙන්න ඇති..

මගේ මුවගට සිනාවක් ආවේ චාපාව සිහිවීය. දැන් ඇයව සිහි නොවන වෙලාවක් නැත. ඇත්තෙන්ම මටද ඇයව දුටු පළමු දිනයේ හුරු පුරුදු ගතියක් දැනුනු බව සිහිවූයේ ගීතය ඇසෙන විටය. නමුත් මේවන තුරුත් ඇයව මීට කලින් දැක ඇත්තේ කොහේදී දැයි සිහියට ආවේ නැත. 
සවස් වන විට මගේ සිත නොසන්සුන් විය. චාපා දකින තුරු සිතට නිවනක් නැත. මම ළඟම යහළුවන් කිහිපදෙනෙකුට පමණක් ආරාධනා කලේ අම්මාට කරදර කිරීමට නොහැකි නිසාය. නමුත් ඇය මේ හැමදෙයක්ම කරන්නේ ඉතා ආශාවෙන් බව මම දනිමි.

"ගිම්හාන...."

ඒ චාමරගේ හඩයි. මම ගේට්ටුව අරින විට හිත පිරී ගියේ චාපාව දැකීමෙනි. චාපා අද තවත් ලස්සනය. රෝස පැහැති බ්ලව්සය නිසා ඇගේ මුහුණ තවත් ලස්සන වී ඇත.

"ඔන්න උබේ කුමාරිහාමිවත් වඩම්මගෙනම ආවා.."

චාමර රහසින් කීවේය.

"තෑන්ක්ස් මගෙ දෙයියො.."

මම චාමරගේ බඩට ඇන්නේය.

"එන්න ගෙට එන්න ඉරේෂා..."


"කල්ප ආවේ නැද්ද ගිම්හාන..."


"නෑ ඉරේෂා දැන් එනවා ඇති. තිළිණත් එක්කගෙනනෙ එනවා කිව්වෙ..."


මම ඔවුන්ට වාඩිවෙන්නට කියා චාපා දෙස බැලුවේය. කොයි පැත්තෙන් බැලුවද ඇය ලස්සනය.


"කෝ බං අම්මයි මල්ලියි..?"

චාමර ඇසීය.

"ඇතුලෙ වැඩ වගයක් කර කර හිටියෙ. ඉදපං ටිකක්..."


මම කුස්සියට ගොස් අම්මත් සමග සාලයට ආවේ චාපා දෙස බලාගෙනමය. දැන් ඇයට ඇත්තේ කැලයේදී බියවූ මුවපැටවෙකුගේ දෙනෙතකි. මට සිනාව තදකරගෙන සිටියේය.

"ආ.. මේ යාළුවො ටික ඇවිත් ඉන්නෙ. මෙයා මෙච්චර වෙලා බල බල හිටියෙ තාමත් එක්කෙනෙක්වත් නැහැ කිය කිය.. කොහොමද පුතේ?.."
අම්මා චාමරගෙන් ඇසීය.

"ඔහේ ඉන්නවා ආන්ටි..."


"අම්මට මං කියලා තියෙන්නෙ අපේ පන්තියේ රණ්ඩු කෙක්කක් ඉන්නවා කියලා, ඒ තමයි මේ, ඉරේෂා..."


"ඒකනම් ඇත්ත ආන්ටි..."

චාමර කියූ විලාසයට අම්මාටත් සිනා ගියාය.

"එහෙම නැතුව බෑ නේද පුතේ මෙයාලත් එක්ක ඉන්න..."


"ඒකනෙ ආන්ටි...."


දැන් ඇයව කෙසේනම් හදුන්වා දෙන්නද. සරලව කියනවානම් අම්මෙ 'මේ තමයි මගෙ පණ' කිව හැක. ඇය හදුන්වා දිය හැකි හොදම ක‍්‍රමය එයයි.


"අම්මේ මේ චාපා. අපේ පන්තියේ ඉන්න අහිංසකම ළමයා...."


"ආ..... මෙන්න වැඩක්, එතකොට අපි ඔටුවොද?.."

මම චාමරට රැව්වෙමි.

"කොහොමද දුවේ..."

ඇය අහින්සකව සිනාසුනාය. මට ඉන්නා හොදම යාළුවා අපේ අම්මා නිසා මට මේ හැමදේම අම්මාට කිවහැක. නමුත් මටත් මම කියන්නට පෙර අම්මා සියල්ල තේරුම් ගන්නවා යැයි මම හොදින් දනිමි.

"ලස්සන ගෑණු දරුවෙක්..."
අම්මා මගේ කණට කර කීවාය. මට ඇතිවූණ සතුට නිම්හිම් නැතිවිය.

"පුතාලා කතා කර කර ඉන්න මම බොන්න මොනවාහරි අරන් එන්නම්..."
ටික වේලාවකින් කල්පද තිළිණ සමගින් ආවේ සිනාමුසු මුහුණෙනි. අම්මා සිටියේ බීම අල්ලමිනි.

"ඔන්න එහෙනම් අපි කිව්ව වෙලාවට ආවා හරිය..."

"ආවා.. ආවා.. වෙලාවටම ආවා. කනබොන වෙලාවටනෙ උඹ කොහොමත් එන්නෙ..."
චාමර කල්පට බීම වීදුරුවක් දෙමින් කීය. මම චාපා අසලට ගියවිට ඉරේෂා නැගිට මට ඇය අසල ඉඩ දුන්නේය.

"ඔයා ඉන්න ඉරේෂා..."

"අනේ මට බෑ බැනුම් අහන්න. මම දන්නවා මෙච්චර වෙලා මම නැගිටිනකං හිතින් බැන බැන තමයි ඉන්න ඇත්තෙ කියලා..."
චාපාගෙ මුහුණ සතුටින් පිරී ඇත.

"මොකද ඇස් වලින් හිනාවෙන්නෙ?..."

"මට හිතාගන්නවත් බෑගිම්හාන මම මේ ඉන්නෙ ඔයාලගෙ ගෙදර කියලා.හරියට හීනයක් වගේ..."
මම ඇයගේ අතක් කෙනිත්තුවේය.

"ආවු...."

"රිදුනා නේද?..."

"නැතුව මෝඩයෝ..."

"ආ.. ඒ කියන්නෙ හීනයක් නෙවෙයි...."

"පිස්සා.."
ඇයත් මමත් එකවිට සිනාසුනි. ඇත්තෙන්ම අද ඇය සිටින්නේ සතුටින් වන්නට ඇත. එය චාපාගේ මුහුණෙන්ම පෙනෙයි.

"එන්නකො වැඩක් පෙන්නන්න..."

"මොකක්ද?..."

"එන්න ඉතිං මොකක්ද කියලා පෙන්නන්න...."

මම චාපාත් සමග ඉහල මාලයට ආවේය. 




සරල බලාපොරොත්තුවක, උත්තරීතර ආදරය...

(චාපා 10 වන කොටස සමගින් හමුවෙමු...)


            - නිරෝෂ් මෛති‍්‍ර -
                  - 2004 -

මෙතනින් (චාපා 10)


No comments:

Post a Comment

 

Sample text

Sample Text