Social Icons

Friday, June 14, 2013

චාපා 12



කල්පගේ අක්කාගේ විවාහ උත්සවය සදහා සහභාගිවීමට මමත් චාමරත් නදුනුත් පිටත්වූයේ සවස 6 ට පමණය. දෙවන දිනයක් නොමැති නිසාවෙන් එක් දිනකදී දෙපාර්ශවයේම නෑදෑයන්ගේ සහභාගීත්වයෙන් විවාහ උත්සවය පැවැත්වුණි. එබැවින් පාසලේ යහළුවන්ට කල්ප ආරාධනා කර තිබුනේ රාත‍්‍රියේ නිවසේ පැවැත්වෙන සාදයටය.

"මම මේ බල බල හිටියෙ මොකද පරක්කු උනේ...?"
අප එන විටත් කල්ප සිටියේ පාර අසලය.

"මේ නදුනයාව ගෙදරින් ගන්න උන්ගෙ අම්මට වදින්න උනා බං. ළාමක ටිං ටිං වගේනෙ මූව හදන්නෙ..."

"අනේ මේ මම කියන්නෑ ඉතිං..."

"කොහොම හරි කමක්නෑ ආවානෙ...."
අපේ පැමිණීමෙන් කල්පගේ මුහුණ එළිය වැටී ඇත.

"කෝ බං අපේ අනිත් උන්...?"
චාමර ඇසුවේ කල්පගෙනි.

"තාම නෑ, මඟ එනවා ඇති...."
කල්පගේ අක්කා අපේ මේසය අසලට පැමිණි පසු අප ඇයට සුභ පැතුවෝය.

"අක්කේ ඊළඟට මෙයා තමයි..."
නදුන් කල්පව ඇහෙන් පෙන්වමින් කීවේය.

"ඔවු ඉතින් එක්සෑම් ඉවර කරලා ජොබ් එකක් හොයාගත්තම මෙයාගෙ වාරෙ තමයි.. දැනට නැද්ද මල්ලි මෙයාට කවුරුත්..?"
අක්කා කල්ප දෙස හොරැහින් බලමින් ඇසුවාය.

"එක්කෙනෙක් කියලා නෑ අක්කෙ. දෙතුන් දෙනෙක් ඉන්නවා. මචං අර ශිෂ්‍යත්ව පන්තියේ කෙල්ලට මොකද උනේ? කෙල්ල දැන් අදිමදි කරනවා නේද?.."
නදුන් කල්පගෙන් ඇසුවේය. කල්පගේ අක්කා මහ හයියෙන් සිනාසුනාය. ඇය අද ඉතාමත් සුන්දරය.

"අක්කත් අහනවානෙ මුංගෙ පච..."

"මල්ලි, යාළුවන්ට බොන්න මොනවා හරි දෙන්න. මම අනිත් අයටත් කතා කරලා එන්නම්..."
අක්කා ඇයගේ යහළුවන් කිහිප දෙනෙකු පැමිණි නිසා යන්නට ගියාය.

"කෝ බං උබේ මස්සිනා? ඇයි පොරට අපිත් එක්ක කතා කරන්න ලැජ්ජයිලුද?.."

"ඔය හිටියෙ බං කැරකි කැරකි. අනේ මට ඌව දිරවන්නෑ බං...."
කල්ප කීවේ රහසිනි.

"මේ ඒක නෙවෙයි උඹලා මොනවද බොන්නෙ..?"

"මොනවද කියලා අහන්නෙ බියර් බෝතල් දහයක් පහලවක්වත් ගෙනෙන්. ආයෙ මෙහෙම කවදා බොන්නද?.."
කල්ප බියර් බෝතල් දෙකක් සමග වීදුරු තුනක් රැගෙන ආවේය.

"උඹලා සෙට් වෙයන් මම හපන්න මොනවා හරි අරන් එන්නම්...."

නදුන් චාමරත් සමග වැඩ ඇල්ලුවේ අප ඉදිරයේ තිබෙන්නේ ලෝකෙ තිබෙන අවසන් බියර් බෝතල් දෙක යැයි සිතෙන ආකාරයෙනි.

"මේ අදනම් ඇඹරෙන්න බැහැ හරිද? බීපං ටිකක්.. යකෝ කල්පයාගෙ අක්කා බැන්දා කියන්නෙ සුළුපටු සිද්ධියක්ද?.."

නදුන් කීවේ මා දෙසට වීදුරුවක් දිග් කරමිනි. බියර් බීමට මගේ වැඩි කැමැත්තක් නැතත් වෙනසකටත් එක්ක බීමට ගත්තේය.
රාත‍්‍රි 9 පමණ වුවද චාපා තවමත් ආවේ නැත. මා වැඩිමනත්ම ආවේ මොහොතකට හෝ චාපාව බලා යන්නටය. අද එන බවට ඇය මට පොරොන්දු වූවාය. ඇතැම් විට ගෙදරින් ඇයට එන්නට ඉඩ නොදෙන්නට ඇත. පාර දෙසම බලා සිට මගේ දෙනෙත්ද වෙහෙස වී ඇත. නොදැනුවත්වම දෙවන බියර් බෝතලයද අවසන් වී ඇත.

"බලහංකො බං සදමාලිත් නෑනෙ තාම..."
මා මෙන්ම නදුන්ද ඉන්නෙ හිතේ අමාරුවෙන් බව මට මතක්වූයේ දැන්ය.

"එන්නෙ නැතිවෙයි බං දැං වෙලාව කීයද?..."
චාමරගේ හොම්බට අනින්න ඇත්නම් යැයි සිතුනේ ඒ වෙලාවේය.

"කල්පයා තව බියර් එකක් ගෙනෙන්කො..."

"යකඩෝ මුන්ට මක්වලාද බං චාමරයෝ? බියර් නම් ෂුවර් නෑ ලොකු ජාති තමයි ඇත්තෙ..."

"මොන මගුල හරි ගෙනෙන් බං..."
ඒ පාර ඉස්සර වූයේ මාය. තිදෙනාම එකවර බැලුවේ මගේ මුහුණය. කිව්වා නොවෙයි කියවුණු බව තේරුනේ දැන්ය.

"මොකද මේ උඹට වෙලා තියෙන්නෙ?.."

"නිකං බං. ආයෙ බොන්නෑනෙ ඉතිං. ගෙනෙංකො හොද එකා වගේ.."

කල්ප ගෙනා බෝතලයෙන් බාගයටත් වැඩියෙන් හිස් කලේ මමත් නදුනුත්ය. වාහනය එළවන්නට තිබෙන නිසා චාමර බියර් වීදුරවක් පමණක් ගත්තේය. ලොකු කමට බොන්නට ගත්තද දැන් මා වටේ ඇත්තේ වේගයෙන් භ‍්‍රමණය වන ලෝකයකි. මුහුණුද ක‍්‍රමයෙන් බොදවී යයි.

"ගිම්හාන වරෙන් මචං කන්න යමු..."

"හරි යමු මචංලා..."
මම නැගිටින්නට හදනවිට පය පැකිලිණි. කල්ප මාව අල්ලගත්තේ නැත්නම් ගිම්හාන බිමය.

"මොකද වැඩියි නේද උඹට?.."

"නැහැ මච්චං අවු...ලක් නැහ් හැ...."

"නැත්තෙ මොකද බලපංකො ඇස් දෙක, ගොරකා මද දෙකක් වගේ. මෙහෙම යවන්න බැහැ මූව..."

"මොකද බං දැන් කරන්නෙ? නදුන් උඹටත් අවුල්ද?.."
චාමර නදුන්ගෙන් ඇසුවේය.

"නැහැ බං මට අවුලක් නැහැ. මූට පුරුදු නැහැනෙ බං ඒකයි...."

"මම කියන්නද චාමර, උඹ වරෙන් මාත් එක්ක. එහා පැත්තෙ අපේ නැන්දලාගෙ ගේ තියෙන්නෙ. ගෙදර කවුරුත් නැහැ, ඔක්කොම මෙහෙ. අපි කාලා එනකං ගිම්හානයාට ටිකක් ඇලවෙලා ඉන්න දෙමු...."

"ඒක හොදයි. නදුන් උඹ ඔහොම ඉදපං අපි ඉක්මනට එන්නම්...."
කල්පත් චාමරත් මාගේ කරේ අත දමාගෙන නැන්දලාගේ ගෙදරට අවෝය.

"උඹත් කරගන්න දේවල් බං..."

"චා..මරයා වෙලාව කීයද්..ද බං?..."

"දහයයි මචං.."

"දහයයි කියන්..නෙ දහ්..යයි ඒ කියන්නෙ චාපා එන්..නෑ මම ආවෙත් චාපා බලන්..න ඒත් චාපා නැහැ...."
මම ඔහේ කියවාගෙන ගියේය.

"චාපාට එන්න බැරිවෙන්න ඇති මචං. දැං ඕක කල්පනා නොකර ටිකක් නිදා ගනින්. මම ගිහිං ගෙදරට දාන්නම්..."

චාමර විදුලි පහන නිවා කාමරයේ දොර වැසුවේය.හිතුවාටත් වඩා ඔලුව බර විය. හිසේ එක පැත්තක් ගැලවෙන්නට මෙන් රිදෙන්නට ගත්තේය. මට අම්මාව මතක් විය. මේ අයුරින් මා සිටිනවා දුටුවානම් ඇය පැලී යනු ඇත. ආයේ කිසිදිනක මෙවැනි මෝඩ වැඩක් නොකරන්නට සිතාගත්තේය. එහෙම්මම ඇහැ පියවුනේ කොයි වෙලාවේ දැයි මතකයක් නැත. හීනෙන් මෙන් ඇහැරුනේ සුපුරුදු විලවුන් සුවදක් දැනීමෙනි. 



ජීවිතයෙන් මැකී යන අකුරු කියවන්න...
ආදරය වෙනුවෙන්...

(චාපා 13 වන කොටස සමගින් හමුවෙමු...)

            - නිරෝෂ් මෛති‍්‍ර -
                  - 2004 -

මෙතනින් (චාපා 13)
මෙතනින් (චාපා 14)
මෙතනින් (චාපා 15)



No comments:

Post a Comment

 

Sample text

Sample Text