Social Icons

Sunday, June 30, 2013

චාපා 16



අප නුවරට යනකම් කලේ සින්දු කියන එකය. නමුත් නුවරට ළඟා වන විට වැඩි දෙනෙක්ගේ කන් අගුල් වැටී උගුර බැරැන්ඩි වී වෙන්න තිබූ සේරම සිදුවී තිබුණි.නමුත් නුවර පරිසරයත් සීතල මද සුළඟත් සහිත පරිසරය ගතට ගෙනෙන්නේ වෙනස්ම හැඟීමකි. දළදා මාළිගාව වැදීමෙන් අනතුරුව දහවල් දොළහ පමණවන විට අප පේරාදෙණිය උද්භිද උද්‍යානයට ඇතුළුවූයේ එහි සිටම දිවා ආහාරය ගැනීම පහසු නිසාය. තැන තැන ගස් යට එකතුවූ ළමයින් ආහාර ගැනීමට සැරසූනේය.

"ගිම්හාන ආ..."
චාපා හා ඉරේෂා පැමිණ බත් පාර්සලයක් මා අත තැබීය.

"මේ කොහෙන්ද?.."

"මම ගෙදරින් ගෙනාවා.."
මට පුදුම සිතුණි.

"කාටද බත් දෙකක් ගෙනියන්නෙ කියලා ඇහුවෙ නැද්ද?..."

"අම්මා ඇහුවා, මම කිව්වා ඉරේෂාගෙ අම්මාට අසනීප නිසා එයාටත් එක්ක තව එකක් දෙන්න කියලා..."
මට සිනා ගියේ ඇය එය කියූ ආකාරයටය.

"බලනවා ඉතින් ,මෙයාලාගෙ කෙහෙල්මල් ලවු එකක් හින්දා අර ගහක් ගලක් වගේ ගෙදර ඉන්න අපේ අම්මත් ලෙඩ ඇදට දාලා. උඹ අහුවෙයන්කො මට...."
ඉරේෂා චාපාට කියූවේ මවාගත් තරහකිනි.

"එහෙනම් කන්න ගිම්හාන, අපි යන්නම්..."

"ඔය දෙන්නත් අපිත් එක්ක මෙතන කමු...."

"ආසයි. ඒත් පි‍්‍රයංකා ටීච මුකුත් කියයිද දන්නෑ..."

"ඒක හරි වැඩක්නෙ. මෙන්න මෙතන වාඩිවෙලා කන්න ජෝඩුවම. අපි මේ ටි‍්‍රප් එකක්නෙ ඇවිත් ඉන්නෙ...."

චාමර පත්තරයක් දිගහැර වාඩිවෙන ගමන් කීවේය. චාපාත් ඉරේෂාත් ඔවුන්ගේ කෑම පාර්සල් දෙක ගෙනවිත් අප අසලින් වාඩිවිය. චාපා ඉදගත්තේ මගේ අනෙක් පසිනි.

"කෝ දිග ඇරපන් බලන්න උඹේ නැන්දම්මාගෙ බත් එක. මේකෙන් තමයි අපි තීරණය කරන්නෙ කොල්ලව එහෙට යවන්න සුදුසුද නැද්ද කියලා...."

පැතුම් මටත් කලින් චාපා මට දුන් බත් පාර්සලය දිග හරිමින් කීවේය. චාපා මා දෙස බලා සිනාසුනාය.

"ෂා.. මාර සුවදක් නම් එනවා සුවද වගේම රසත් තිබ්බොත් නංගි ගොඩ.."
චාමරත් කල්පත් කට හද හදා කන්නට පටන් ගත්තේය.

"මේ ළමයාටත් කන්න දෙනවාකො හාමතේ ඉදලා වගේ තනියම ගිලින්නෙ නැතුව.."
ඉරේෂා චාමරට කීවාය.

"ආ මෙන්න.. මූ බඩගින්නෙ කියලා චාපාට නෙවෙයි මෙයාටයි ඩෝං ගිහිං තියෙන්නෙ..."

මමත් පැත්තකින් බත් කටක් ඇනුවේය. ඇනූ කට කන්නට කලින් මට චාපා දෙස බැලිණි. මම බලන විටත් චාපා සිටියේ මා දෙස බලා සිටියේ ඇනූ බත් කටක් බත් පාර්සලයේ තබාගෙනය. කවන්නට ආසා වුවත් එවන් දෙයක් කරන්නට මෙය තැන නොවන නිසා මම බත් කට ඇයගේ බත් පාර්සලයේ කොනකින් තැබුවේය. ඇයද ඒසේම කලාය.

"අපි දැක්කෝ..."
චාමරගේ හැකර කට අවදිවිය.

"ඕක එහාට මෙහාට පාස් කරන්නේ නැතුව කැවුවනම් ඉවරයිනෙ..."
චාපා ලැජ්ජාවෙන් මා දෙස බැලූවාය.

"ඉරේෂා ඩෙසට් වලට මොනාද ගෙනාවේ?.."
පැතුම් ඉරේෂාගෙන් ඇසුවේ බත් කා අවසන් වන විටය.

"මං නම් මුකුත් ගෙනාවෙ නැහැ, ඔන්න චාපානම් මොනාද ගෙනාවා කිව්වා..."

"අහපු මෝඩකම, ඒ කෙල්ල තමයි ඉතින් මොනාහරි ගෙනාවොත් ගේන්නෙ. මොනාද චාපෝ ගෙනාවෙ?..."

"ආනමාලු.."

මට බකස් ගා හිනා ගියේය. බත් කටද හිරවී කැස්සක්ද ආවේය. කල්පද මරහඩ දෙමින් සිනාසෙයි. චාපා මා අසලටවිත් පිට අතගාන්නට ගත්තාය.

"කනකොට හිනාවෙනවද ගිම්හාන? හිනා උනත් ඔහොම?.."

චාපා මට වතුර බොතලය අතට දෙමින් කීවාය. සිනාසී මගේ ඇස්වලින් කදුළුද පැන ඇත. මම අමාරුවෙන් පැතුම් දෙස බැලීය. පැතුම්ගේ මුහුණ බලන්නට නොහැකි තරම් ලැජ්ජාවට පත්ව ඇත.

"ඔය තරම් හිනා යන්න මොකක්ද උනේ?.."

"මම කියන්නද පැතුමෝ?..."

කල්ප ඇසුවේ පැතුම්ගේ කරට අතක් දාගන්නා ගමන්ය. පැතුම් කල්පට රැව්වේය.
"කියන්නකො මොකක්ද?..."

"චාපා නොදන්නවා උනාට පොඩි කේස් එකක් නිසා පැතුමාට කියන්නෙ ආනමාලුවා කියලා..."
අප සියල්ලෝම සිනාසුනෝය.

"අනේ සොරි පැතුම් මම දැනගෙන හිටියෙ නැහැනෙ...."


අප රාති‍්‍රයේ නැවතුනේ නුවරින් මදක් ඇතුළට වන්නට තිබූ පිටිසර පාසැලකය. ඉතාමත් සුන්දර පරිසරයට එම පාසැල පිහිටා තිබුනේය. රාති‍්‍ර කෑම සියල්ලන්ම එකතුවී පිසින්නට යොදාගෙන තිබූ නිසා එය සැමට අළුත් අත්දෑකීමක් විය. මමත් කල්පත් එක්වූයේ ළූණු සුද්දකරන තැනටය.

"ආ ළමයි බරටම වැඩ වගේ.."

සදමාලි කොළ මිටි දමාගත් බේසමක් ඔසවාගෙන විත් අප අසලින් වාඩිවිය. චාපාද ඇය සමගින් ආවාය.

"කාටද බං ඔච්චර කොළ?..."
කල්ප සදමාලිගෙන් ඇසුවේය.

"ඔයාලට කවන්න තමයි..."

චාපා සිනාසී මා දෙස බැලුවාය. මා ඇයට ඇසක් ඉඟි මැරීය.

"අපිට කොහොම උනත් උඹලා ටික කාපල්ලා එතකොට තමයි අඩුගානෙ කවදාහරි උඹලාගෙ ළමයෙක්වත් පාට වැටිලා උපදින්නෙ..."

"අනේ හරි සුදු එක්කෙනානෙ මෙයා..."
සදමාලි කල්පට රැව්වාය.

"කෝ දෙන්න මම සුද්ද කරන්නම්..."
චාපා මා ළඟින් වාඩිවී මාඅත තිබූ පිහිය ගන්නට හැදුවාය.

"කමක් නෑ මම සුද්ද කරන්නම්..."

"මෙන්න මෙහෙට දෙන්න, බැරිවැඩ කරන්නෙ නැතුව ගිහින් අත් දෙකයි මූණයි හෝදගන්න. බලන්න ඇස්වල කදුළු..ආ ලේන්සුව..."

ඇය පිහිය උදුරා ගත්තාය. ළූණු සැරට මගේ ඇස්වලින් කදුළු ඇවිත් තියෙනවා ඇය දකින්නට ඇත. මම ඇගේ ලේන්සුවෙන් ඇස් දෙකෙලවර පිහිදා ගත්තේය.

"හරි සුවදයි. මේක මම තියාගන්නම්..."

"බැහැ බැහැ.. කෝ දෙන්න..."
ඇය මගේ අතේ තිබූ ලේන්සුව ගත්තාය.

"ඇයි ඒ? මට ඔයාගේ ලේන්සුවක්වත් දෙන්නෙ නැද්ද?..."

"එහෙම එකක් නෙවෙයි ගිම්හාන, මං අහලා තියෙනවා ලේන්සු දුන්නම තරහා වෙනවා කියලා. ඒවා ඇත්තද බොරුද කියලා මම දන්නෑ. ඒත් මට බයයි..."

"ආච්චි අම්මා දන්න දේවල්..."
මම ඇයගේ අතක් කෙනිත්තුවේය.

"මොට්ට මහත්තයාව මම අල්ලගන්නයි හිටියෙ, මොකක්ද අර අද දවල් කලේ? ෆුට් බෝඩ් එකේ ගිහින් වැටුනනම් එහෙම?.."

ඇය වැඩිහිටි ස්වරූපයක් ගෙන ඇත. මට හිනා ආවේය.ඇයට එතරම් බැරෑරැම් මුහුණක් ගත නොහැක.

"ළස්සන ගෑණු ළමයි ටිකක් පාරෙ ගියා. ඉතින් මායි චාමරයයි ඇඩ‍්‍රස් ලියලා දදා ගියා..."
ඇගේ සුදු මුහුණ බලා සිටියදී මැල විය.

"ඉතින්  ඕකට තරහද?..."

"ඔවු තරහයි තමයි. කතා කරන්නෙපා මාත් එක්ක. ඔය ඉතින් ආදරේ තරම තමයි..."

"මම ඔයත් එක්ක නැතුව වෙන කාත් එක්ක කතා කරන්නද?.."

"කතා කරන්න කෙනෙක් හොයා ගන්නනෙ ඔය ඇඩ‍්‍රස් දදා යන්න ඇත්තෙ...."

"ඔයා හොදටම දන්නවනෙ සුදූ මම එහෙම කරනවද නැද්ද කියලා. දැන් මේ හිතේ වෙන කාටවත් ඉඩක් නැහැ...."

ඇය සිනාසුනේ අහිංසක විදියටය. ඇය තරහවූයේ බොරුවට බව මම දනිමි.



(චාපා 17 වන කොටස සමගින් හමුවෙමු...)


No comments:

Post a Comment

 

Sample text

Sample Text