Social Icons

Tuesday, May 21, 2013

අයියෝ "චාපා"



      චාපා ගැන පූර්විකාවක් නොලිව්වේ ඇයි දැයි මට සිතුනේ ඒ පිළිබදව මාව හතරවෙනි තට්ටුවට ගෙන ගොස් රහස් පොලීසිය ප‍්‍රශ්න කරන්නාක් මෙන් කිහිපදෙනෙක් දැඩිව ප‍්‍රශ්න කල නිසාවෙනි. බොහෝ දෙනා මේ පිළිබදව වැරදි මතයක පිහිටා කතාව කියවන බව දැනුන නිසා පමාවී හෝ පූර්විකාවක් නොවූවත් යම් පැහැදිලිකිරීමක් සටහන් කිරීමට සිතුණි. මන්ද, වෙන් වෙන්ව මෙයට පිළිතුරුදී මට ඇතිවී ඇති නිසාවෙනි. චාපා සදහා පූර්විකාවක් තැබීමට මට අමතක වූවා නොවේ. කතාව අවසානයේ පසුවදනක් ලීවීමට සිතා සිටි නමුත් එන්න එන්නම ඇතිවන භීෂණකාරී තත්ත්වය උග‍්‍ර අතට හැරෙන නිසා තවත් මෙය ප‍්‍රමාද කිරීම සුදුසු නොවන බව හැඟුනි.

ප‍්‍රථමයෙන්ම සදහන් කරන්නට ඇත්තේ චාපා යනු මීට වසර 9 කට පෙර එනම් 2004 වර්ෂයේ ලියා අවසන් කල කතාවක් බවයි. වැඩිදෙනාගේ ජාතික ගැටළුව වූයේ චාපා මගේ අත්දැකීමක් නේදැයි යන පැනයයි. වැඩි දෙනෙක්ට උත්තර බැදීමට සිදුවූ නිසා දුන් බොහෝ පිළිතුරු උදාසීන ඒවා විය. නමුත් බුද්ධියේ විමසුමට ලබාදෙන සත්‍යයේ සටහන නම් චාපාගෙන් ඉතාමත් සුළු කොටසක් මගේ අත්දැකීම්ද සහිත උවත් සමස්ත කතාවෙන් 95% ක්ම මගේ නොවෙන බවයි. 
චාපා මට ලියන්නට හේතුවක් විය. ගිම්හානට මෙන් පාසැල් සමයේ මටද ඇතිවූ ප‍්‍රථම පේ‍්‍රමයක් විය. එය මාස 03ක් හෝ 04ක් පමණක් තිබී හිටි හැටියේම අවසන් වූයේ ප‍්‍රථම වතාවට විරහව යනු කුමක්දැයි මට වටහාදෙමිනි. සිගරට් අරක්කු වල පිහිට නොපතන ඒ කාලේ එම පීඩනය පිටකරගන්නට පිටු ඉතිරිව තිබූ සාමාන්‍ය පෙල තනිරූල් පොත් 04 ක මම කතාවක් ලීවෙමි. ඒ ඇතැම් විට මට සාර්ථක පාසැල් ආදරයක් තිබුනානම් මා කැමැත්තෙන් සිටියේ මේ ආකාරයක ආදර කතාවක් යැයි මගේ සිතේ තිබුන කතාව වන්නට ඇත. චාපා යනු මගේ සිතේ සිටිය මම ආදරය කරන්නට කැමැත්තෙන් සිටි චරිතය වන්නට ඇත. මම ආදරයක් ලැබීමට කැමැත්තෙන් සිටි චරිතය වන්නට ඇත. ඒ පීඩනය අවසානයේ චාපා ලෙස එළියට ආවේය. (අද ඒ ආකාර සිදුවීමක් උනානම් කතා නොලියා අපි බාර් හිස් කරන්නෙමු). 

   පාසැල් කාලයෙන් පසුව මට එක් වරක් හැරෙන්නට එම කතාව නැවත කියවීමට අවස්ථාවක් වූයේ නැත. රැකියාවක් කරන්නට පටන්ගෙන අප ලොකු මිනිසුන්වූ පසු මට එම පොත් 04 අමතකම වී ගියේය. නමුත් පසුගිය මසෙක මට එම පොත් හතර සුරැකිව තිබී හමුවිය. මට දැනුනේ පැරණි මිතුරෙකු නැවත දුටුවාක් මෙන් සතුටකි. ඉන්පසුව චාපා මෙලෙස කොටස් වශයෙන් අන්තර්ජාලයට එකතුවෙන්ට පටන්ගත්තේය. 

චාපා ගැන මෙතෙක් කියූ දේවල් වලට වඩා විශේෂ යමක් කීමට ඇත. එනම්, චාපා කතාව මට පුදුම සහගත කතාවක් බවයි. චාපා ලියද්දී මගේ සිතුවිලි වලින් හෝ සිහින ලෝකයේ හෝ දේවල් වලින් ලියූවද පසුකාලීනව කතාවෙ එන බොහෝ සිදුවීම් ඒ ආකාරයෙන්ම සිදුවිය. ඇතැම් දෙබස් ඒ ආකාරයෙන්ම කණ වැකෙද්දී මම පුදුම වී ගියේය. ඇතැම් චරිත ඒ ආකාරයෙන්ම මුණ ගැසුණි. එබැවින් චාපා කතාව මට සැමදාම විශේෂ එකක් විය.චාපා කතාව ගැන තව කියන්නට ගියහොත් කතාවේ ඉදිරි කොටස් පිළිබදව හෙළදරව් වන නිසා කටඋත්තරය මෙතනින් අවසන් කිරීම සුදුසුය. නවකතාකරුවන් හෝ කෙටිකතා කරුවන් කතා ලියන්නේ ඇතැම්විට අත්දැකීමක් පාදක කරගෙනය. නමුත් එය සෑම විටම එසේ නොවන බවයි මට කීමට අවශ්‍ය වූයේ. චාපා කතාව එයට හොදම උදාහරණයයි.


- නිරෝෂ් මෛත‍්‍රි -
   2013/05/22



No comments:

Post a Comment

 

Sample text

Sample Text