Social Icons

Thursday, May 9, 2013

චාපා 02




"චාපා මේ අරලිය කොළ ටික පොල්තෙල් පහන යටින් රවුමට තියනවද?

මදි උනොත් මට කියන්න.තව ටිකක් ගෙනත් දෙන්නම්..."

තිර රෙද්ද ඈත්කල මට දකින්නට ලැබුනේ ඉරේෂා ඇයත් සමග කතාකර කර ඉන්න සොදුරු දසුනයි. 'චාපා' ඇයටම ගැලපෙන අමුතු නමකි. 'චාපා' 'චාපා' 'චාපා' මම හිතින් කිහිප වතාවක් ඒ නම මිමිණුවේය.

අද මෙතරම් වාසනාවන්ත දිනයක් වේ යැයි මම කීයටවත් සිතුවේ නැත.අද සවස නතරවීමට මගේ කිසිම කැමැත්තක් තිබුනේ නැත. නමුත් එසේ වූවානම් මෙතරම් සොදුරු මොහොතක් මට මග හැරෙන්නට තිබුණි. එසේ වූවානම් ඇගේ නමවත් දැනගැනීමට මට නොහැකිවනු ඇත. මම ඉරේෂාට පින්දෙමින් ජීවන්ත හමුවීමට යාමට වේදිකාවෙන් බිමට බැස්සේය. එවිට ඇය සිටියේ පොල්තෙල් පහන සකසමිනි.

ඇයගේ හිත වෙනතක ඇති බව තේරුම් ගියේ මෙතරම් සමීපයට මා පැමිණ ඇතත් ඇයට නොදැනුන නිසාය. එකවර යමක් මතක් වී මෙන් ඇගේ මුහුණට සිනාවක් ආවාය.

"ඇයි තනියම හිනාවෙන්නෙ?..."
ඇය ගැස්සුනි. ඇය මා දෙසට හෙලුවෙ' මම ළගට ආවේ කොයිවෙලේද' යන හැගීමෙන් යුතු බැල්මකි.

"නැහැ.. මුකුත් නැහැ..."

"හැබැයි මම දන්න විදියටනම් ගෑණු ළමයි හිනාවෙන්න විශේෂ හේතු දෙකක් තියෙනවා..."
මම ඇයට සමීපවන්නට සිතා කීවෙමි.

"ඒ මොනාද?.."
ඇය එය ඇසුවේ නම් සැබෑම උවමනාවකිනි.

"එක්කෝ කවුරුහරි කරපු විහිළුවක් මතක් උනාම, නැත්නම් යාළු පිරිමි ළමයව මතක් උනාම..."
මට උවමනා වූයේ මේ මල දැනටමත් නෙලාගෙන ඇත්දැයි දැනගැනීමටය.

"පිස්සු..."

ඇය මට රවා යන්නට ගියාය. මම දැනුම ප‍්‍රදර්ශනය කරන්නට ගොස් තියෙන ලකුණු ටිකත් කපා ගනියි. 

"ඒයි කොහෙද ඉන්නෙ?.."
කල්ප පිටට තට්ටුවක් දමා ඇසුවේය.

"නැහැ බං මම මේ හෙට වැඩටික ගැන කල්පනා කර කර හිටියෙ. අපේ ඔලුවෙනෙ බං සේරම බර.."

"ආ එහෙනම් කමක් නැහැ, උඹට තාම ඊතල වැදිලා නැහැනෙ තනියම කල්පනා කරන්න?.."

"මොන ඊතලද බං.."

"මල්සරා විදින ඒවා.."
මට හිනා ගියේය.මල්සරා හීය විද්දේ පාසලට පැමිණි මුල් දිනයේය.


***************************************************************

අද ඉතා කාර්යබහුල දිනයක් විය. කලා පන්තියේ සිසුන් තම තමන්ට පැවරුණු වැඩ කොටස ඉතා හොදින් නිම කිරීමට ඉතාමත් වෙහෙසවී වැඩ කරන බව කිව යුතුමය. කල්ප කලා උළෙලේ නිවේදන කටයුතු කිරීමට යොදවා තිබුණි. චාමර වේදිකාව පසුපස වැඩකටයුතු මෙහෙයවීමට භාරගත්තේය. මම සංවිධාන කටයුතු කිහිපයක් සමග කාර්යබහුල විය. වැඩි යමක් කිරීමට මම තවම අලුත් වැඩි යැයි මට නිතර සිතුණි.

චාපා කතාවක් පැවැත්වීමට සූදානමින් ඉන්නාබව මට කවුරුන්හෝ කියනවා ඇසුනි. ඒ සදහා අද ඇය පැමිණ සිටියේ ළමා සාරියකින් සැරසීය. ඇය අද වෙනදාටත් වඩා පින්බරය. ළමා සාරියට ඇය කුඩා දැරියක් මෙනි. නමුත් පවත්වීමට නියමිත කතාව ගැන ඇය බියෙන් පසුවෙන බව මට දැනුනේ අද උදෑසන පටන් කලබලයෙන් එහාට මෙහාට ගිය ආකාරයෙනි.
ඒ එක් අවස්ථාවක ඇයගේ අතේ තිබූ හාෆ් ෂීට් කොලයක් වැටුණි.මම එය අහුලාගෙන ඇයට දීමට බලන විටත් ඇය සෑහෙන දුර ගොස්ය. එය දිගහැර බලනවිට එය අද පැවැත්වීමට නියමිත කතාවේ කටු සටහනකි.

ගිම්හාන මේ කොඩි ටික ගේට්ටුව ළඟ ඉන්න උන්ට දීලා වරෙන්කො ටාර් ගාලා
දිලීප කොහෙන්දෝ පැමිණ සිංහ කොඩි තොගයක් මගේ ඇගේ ගැස්වේය. චාපාගේ කොළය එහෙම්මම සාක්කුවේ දාමාගෙන දිලීපට හිතින් බැන බැන මම කොඩි භාර දීමට ගියේය.

කලා උළෙල ඉතා උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. ප‍්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස නන්දා මාලනී මහත්මියත්, රෝහන බැද්දගේ මහතාත් සහභාගි විය. කලා සිසුන් හැමදෙනාගේම මුහුනේ තිබුනේ සතුටු සිනාය. ඒ අප සිතුවාටත් වඩා හොදින් වැඩකටයුතු සිදුවෙමින් පවතින නිසාවෙනි.
මේ දින කිහිපයේම මහන්සිවූ නිසාදෝ මට උදේ සිට සුළු හිසරදයක් තිබුණි. වේදිකාව පසුපස වැඩ කටයුතු ටිකක් නිමකර මම පන්තියට එන්නට ප‍්‍රධාන ශාලාවෙන් එළියට ආවේය.

"මචං, කොහෙද යන්නෙ?.."
ඒ චාමරය.

"පන්තියට ටිකක් ගිහින් එන්නම්.ඔලුව කකියනවා බං ඊයෙ රෑත් තුන වෙනකං තෑගි එතුවනෙ..."

"එහෙනම් පැනඩෝල් දෙකක් ගහලා ඉක්මනට වරෙන්..."

පන්තියේ කවුරුත්ම නැත. මම ඩෙස්ක් එකක් ළගට ඇදගෙන කල්පගේ බෑගයට ඔලුව තියාගත්තේ අමාරුව වැඩිකමටය. ටික වේලාවකින් පුටු එහාට මෙහාට කරන ශබ්දයක් ඇසී මම හිස ඔසවා බැලුවේය. ඒ චාපාය. මගේ හිසේ කැක්කුම කොහෙන් ගියාද නැත. ඇය පුටු එහාට මෙහාට කරමින් මොනවාදෝ සොයයි. මට දෙලොව සිහිවූයේ එවෙලේය. ඇය සොයන්නේ ඇගේ කතාවට අදාල හාෆ් ෂීට් එක වන්නට ඇත. වැඩවල සිරවූ නිසා මට එය එහෙම්මම අමතකවී ගියේය. නමුත් එය එකවර දීමට මට සිත් නොවීය.

"මොකක්ද හොයන්නෙ?.."

"මුකුත් නැහැ.."
ඇය කීවේ තරමක් තදිනි. ඊයේ මගේ මෝඩ කතාවට ඇය තවමත් තරහින් පසුවනවා වන්නට ඇත.

"සොරි..."
එසේ කියා මම හිස අනෙක් පසට හරවාගෙන නැවතත් මේසයෙන් හිස තබාගත්තේය. නැවත මගේ හිසේ කැක්කුම වැඩිවිය.

"මේ.... පන්තිය ඇතුලෙ හාෆ්ෂීට් කොලයක් වැටිලා තියෙනවා දැක්කද?.."

ඇයගේ කතාව පැවැත්වීමට වෙලාව ළග නිසා ඇය අසරණ වන්නට ඇත. නැත්නම් ඇය මට සැර දැම්මේ මීට සුලු මොහොතකට කලිනි. මම ස්වයංකී‍්‍රයව මෙන් නැගිට කොලය ගෙන ඇයට දිගුකලෙමි.

"උදේ ඔයා අතින් වැටිලා තිබුනා වැඩත් එක්ක මට දෙන්න බැරි උනා..."
ඇගේ මුහුණේ ඇදුණු සතුටු සිනාවෙන් මගේ හිත පිරී ගියේය. මට දැනුනේ මම මහා වීරක‍්‍රියාවක් කාලාක් මෙනි.

"අනේ තව ටිකකින් මම ඉවරයි, පින් සිද්ධ වෙනවා... හොදටම පරක්කු වෙලා"
ඇය යන්නට හැරුණි.

"ඇයි ඔලුව ගහන් ඉන්නෙ කලා උළෙලට යන්නැද්ද?.."
ඇය නැවතත් හැරී ඇසුවාය. මගේ සතුට නිම්හිම් නැතිවිය.

"මගේ ඔලුව ටිකක් රිදෙනවා ඒකයි එහෙම හිටියෙ..."

"මගේ බෑග් එකේ ඉස්සරහ පොකට් එකේ පැනඩෝල් පෙති දෙකක් ඇති අරන් බොන්න. මට හොදටම පරක්කු වෙලා මම යනවා..."

එසේ කියා ඇය ප‍්‍රධාන ශාලාව දෙසට දිව ගියාය.

'මගේ බෑග් එකේ පැනඩෝල් පෙති දෙකක් ඇති, අරන් බොන්න' මගේ හිතේ ඒ වචන දෝංකාර දුන්නේය. දැන්නම් මට ඇති ලෙඩක් නැත. මට පන්තියේ නටන්නට හිතුනි. ඇයට මෙහෙමවත් සමීපවීමට ලැබූමත් මටනම් විශිෂට ජයග‍්‍රහණයකි. කොතරම් ඇය ගැන නොසිතා ඉන්නට හැදුවද සිත නවතින්නේම ඇය ළගය. ඇය ලස්සන නිසා මම සිතා සිටියේ ඇය අහංකාර යුවතියක් වන්නට ඇතිය කියාය. නමුත් ඒ සිතුවිල්ල වැරදි බව දැන් තේරෙයි. ගිම්හානට මොනවා වෙන්නට යනවාදැයි මම දන්නේ නැත.



(චාපා 03 වන කොටස සමගින් හමුවෙමු...)


- නිරෝෂ් මෛති‍්‍ර -
     - 2004 -


මෙතනින් (චාපා 03)
මෙතනින් (චාපා 04)
මෙතනින් (චාපා 05)
මෙතනින් (චාපා 06)
මෙතනින් (චාපා 07)
මෙතනින් (චාපා 08)
මෙතනින් (චාපා 09)
මෙතනින් (චාපා 10)


5 comments:

  1. Saralai sundarai....

    ReplyDelete
  2. දැන්නම් මට ඇති ලෙඩක් නැත. මට පන්තියේ නටන්නට හිතුනි. ekanam maru

    ReplyDelete
    Replies
    1. උඹට මෙහෙම නටන්න හිතෙන අවස්ථාවක් උදා උනේ නැද්ද?
      මටනම් හිතිලා තියෙනවා. නටලත් තියෙනවා.
      මුල්ම Kiss එක නළලට දීපු දවසෙ...

      Delete
    2. (නටල නටල කරනමකුත්...හිතෙන් )


      හා ! හා ! නා ගන්න තිබුන නටන්න ගිහිල්ල පහලට වැටුනානම් එහෙම .. ;) මොකෙන්ද මොකෙන්ද

      Delete
    3. ඇලෙනුත් නෙවේ දොලෙනුත් නෙවේ ගඟෙනුත් නෙවේ වැවේනුත් නෙවේ .මුහුදෙනුත් නෙවේ.එහෙනම් මොකෙන්ද මොකෙන්ද

      Delete

 

Sample text

Sample Text