Social Icons

Tuesday, May 28, 2013

චාපා 06

සැගව යන්නට හැදු ආදරයක, වචන එකතු කල ආදරණිය පියවර...


චාපා අසල සිටි ගැහැණු ළමයින් දෙදෙනා නැගිට එළියට ගියේ මාත් සමග සිනාසීය. මම චාපා අසලට ගියේ ටික ටික එකතුකරගත් ආත්ම ශක්තියෙනි.

"මම මෙතනින් වාඩිවෙන්නද?.."
ඇය මේසය මත බාගෙ රූලකින් ඔහේ ඉරි අදියි. විනාඩියක් දෙකක් ගියද ඇයි පිළිතුරු දුන්නේද නැත.

"චාපා..."

"ඔයා මේ මොනවාද සුරේකාට කියලා තියෙන්නෙ?..."
ඇය හිස ඔසවන්නේ නැතුවම ඇසීය.

"ඇයි මම වැරදි දෙයක් කිව්වද?..."
මගේ පපුව ගැහෙන ශබ්දය ඇයට තව ටිකකින් එහා පන්තියටත් ඇසෙනු ඇත.

"ඒ උනාට මම ඕවට කැමති නැහැ..."
ඇය කියන්නෙ බොරුය. ඇය අකමැතිනම් එදාම සුරේකාට එය කියන්නට තිබුණි.

"ඒ ඇයි කියලා දැනගන්න පුළුවන්ද?..."

"මට ඉගෙන ගන්න ඕනෙ..."

"මටත් ඉගෙන ගන්න ඕනෙ..."

"එහෙනම් ඉගෙනගන්න මට කරදර කරන්නෙ නැතුව..."
බලාපොරොත්තු කන්දම මගේ දෙපතුල ළඟ ඇදවැටුණි. මම සිතුවා හරිය. ඇය මාව ගෙන්වාගත්තේ බනින්නමය. මම පසුපස ඇති දිග මේසයට හේත්තු වූ විට අතේ යමක් ඇනිණි. එය බිදීගිය පරීක්ෂණ නලයකින් කැබැල්ලකි. හිතට ඇනුන ඇයගේ වචන ටික ඊට වඩා රිදුම් දුන්නේය.

"ඇයි ඔයා මෙහෙම කතාකරන්නෙ කියලා මම දන්නෑ චාපා. ඔයා හිතනවද දන්නෑ මම ඉගෙන ගන්න ආසාවක් නැතුව අනිත් අය වගේ පිස්සු නටන්න හදනවා කියලා. මගේ අනාගතේ සම්පූර්ණයෙන් රැදිලා තියෙන්නෙ මගේ ඉගෙනීම උඩ. ඒ නිසාම මේ කාරණේ මම අමතක කරලා ඉන්න ගොඩක් උත්සහ කලා. ඒත් මට ඒක කරන්න බැරි උනා. ඇත්තම කියනවානම් මම මෙහෙට ආපු පළවෙනි දවසෙ ඉදන්ම ඔයාට ගොඩක් කැමැත්තෙන් හිටියෙ. මටත් නොදැනීම ඒක ආදරයක් උනා. මම වැරදි ඇති. ඒකට මට සමාවෙන්න. ඒත් මම ඇත්තටම ඔයාට ආදරෙයි. තව දුරටත් මට ඒක හංගන්න බැහැ. ඔයාට නොකියා ඉන්නත් බැහැ. මම මේක කිව්වෙ ඔයාගෙවත් මගේවත් ඉගෙනීම කඩාකප්පල් කරගන්න නෙවෙයි. මං ගැන වැරදියට හිතන්න එපා. මම යන්නම්..."

මම එක දිගට කියාගෙන කියාගෙන ගියේය. ඒතරම් ආත්ම ශක්තියක් මට කොහෙන් ආවාදැයි මම නොදනියි. චාපා පළමුවරට හිස ඔසවා මාදෙස බැලුවාය.  නමුත් අපමණව සිත රිදී ඇත්තේ බලාපොරොත්තු සියල්ල කඩවී ඇති නිසාවෙනි. සිත් වේදනාවට මටත් නොදැනීම වීදුරු කැබැල්ල මිරිකිනි. අතින් ලේ පැන්නේය.

"මොනවද මේ කරන්නෙ? පිස්සුද ආ?..."
චාපා නැගිටවිත් මගේ ලේ එන දකුණු අත දෙස බලා ඇසුවාය. නමුත් මම යන්නට හැරුණි.

"නෑ ඒක ගානක් නෑ. ඊට වඩා හිත ගොඩක් රිදිලා ඉවරයි. මම යන්නම්..."
වීදුරු කටුව තවමත් අතේය. යන මොහොතේ හෝ ඇය මොනවා හරි කියාවියැයි බොළඳ ආශාවක් ඇතිවිය.

"මට සමාවෙන්න. හොදට ඉගෙන ගන්න..."

ඇයට කීමට ඇත්තේ එපමනක්මද? 'උඹ පව් බං ගිම්හාන' විද්‍යාගාරයේ වීදුරු පෙට්ටියේ ඇති ඇටසැකිල්ලද මට සිනාසෙනවාක් මෙන් මට පෙනුණි. අවසන් බලාපොරොත්තුවද පයට පෑගී ගියේය. ආපසු හැරී විද්‍යාගාරයේ දොර දෙසට යමින් ගමන් මම වීදුරු කටුව අතින් ඇද දැම්මේය.

"ආ...."
වීදුරු කටුව අදින විට මට රිදුම් ආවේ ඇහෙන් කදුළු පනිමිනි. කදුළු ආවේ අතේ රිදුමටද හිතේ රිදුමටද කියා මා දන්නේ නැත. නමුත් චාපා දිව එනවා මට ඇසුණි.

"ඇයි දෙයියනේ හිතුවක්කාර වැඩ කරන්නෙ?.."

මම කිසිවක් නොකියා ඔහේ සිටියේය. නහය උඩිනුත් වතුර ගියපසු තව මොන කතාද?

"මේ බලන්න අතින් ලේ ගලනවා. කෝ එන්න..."

චාපා මගේ ලේ එන අත මෘදුව අල්ලා ගත්තාය. මට දැනුන හැගීම කියා නිමකල නොහැක. ඇය මාව විද්‍යාගාරයේ කරාමය අසලට ගෙන ආවාය. කරාමය ඇර අඩු වේගයෙන් ජලය එන්නට හැර ඇය ලේ සෝදා හැරියාය.

"රිදෙනවද?..."

ඇය මා දෙස බැලූ ආදරණීය බැල්ම මට කවදාවත් අමතක නොවේ යැයි මට සිතුණි.

"මට මේකට අකමැති වෙන්න හේතු තියෙනවා ගිම්හාන. නැත්තම්...'"
ඇය කියන්නට ගියදේ ගිලගත්තාය.

"ඒ මොනාද ?..."
කතාකරන්නට වචනයක් සොයාගත්තේ හරිම අපහසුවෙනි. 

"ඉස්සෙල්ලා මෙතනින් වාඩිවෙන්න..."

විද්‍යාගාරය ඇත්තේ පාසලේ කෙලවරක නිසා සිසුන් වැඩිපුර මේ අසල නොගැවසෙයි. එබැවින් උසස්පෙළ විද්‍යාගාරය අවට හරිම නිස්කලංකය.

"ඔයා හොද කෙනෙක් කියලා මම දන්නවා ගිම්හාන. ඔයා ඉගෙනගනැනැති ළමයෙක් නෙවෙයි කියලත් දන්නවා..."

'එහෙනම් ඉස්සෙල්ලා අරෙහෙම කිව්වෙ ඇයි' දැයි අහන්නට සිතුනත් ඇයට කතාකරන්නට ඉඩදී මම බලාසිටියේය.

"මම පිරිමි ළමයිත් එක්ක වැඩි කතාබහක් නැහැ. මොකද මට ඒ තරම් ලොකු පැහැදීමක් නැති නිසා. ඔයාට ඇත්තම කියනවානම් මට එහෙම උනේ අපේ අයියයි තාත්තයි නිසා..."

ඇයගෙන් අහන්නට හරස්ප‍්‍රශ්න එක දිගට ගලා එයි. නමුත් තව දුරටත් නිහඩව ඇයට සවන් දුනි.

"ඔයාගෙ හිත රිදුනා නේද ?....මම නපුරු කෙනෙක් කියලා හිතන්නෙපා. මට ඕන උනේ මේවා අමතක කරලා ඔයා ඉගෙනගන්න ඒවට හිත යොදවනවානම්. ඒකයි මම එහෙම කතාකලේ. ඒත්..."

"ඒත් කිව්වෙ ඇයි?..."
මම ඇය දෙස කෙලින් බලා ඇසුවේය. ඇයගේ ඇස් දිළිසෙයි.

"මම ඇත්තම කියන්නම්, පහුගිය ටිකේ ඔයත් එක්ක කතා බහ කරලා මම හිටියෙ සතුටින්. සමහර දවස්වලට මම ගෙදර ගිහිනුත් කල්පනා කරනවා. මම දන්නෑ ඒ ඇයි කියන්න. මේ ජීවිත කාලෙටම පිරිමියෙක් ගැන ප‍්‍රියමනාප හැඟීමක් ඇති උනානම් ඒ ඔයා ගැන විතරයි..."

තුවාල වූ තැනින් ලේ බින්දු එක දෙක මතුවී තිබුණි. නමුත් දැන් එහි වේදනාවක් නැත. මන්ද ඇය මා ගැන මේ කියනා දේවල් නිසාය.

"ආයෙමත් ලේ එනවා නේද ? ආ මේක එතනින් තියාලා ටිකක් තදකරන් ඉන්න...."
ඇය ලේ එන තැනට ඇගේ ලේන්සුව තබා මා දෙස බැලුවාය. 

" මම ලේ හලාගෙන ආදරේ කරන්න තරම් වටින කෙනෙක් නෙවෙයි ගිම්හාන..."

ඇයගේ කම්මුල් දිගේ කදුළු දෙපේලියක් ගලා ගියේ මගේ හිත කඩා වට්ටවමිනි. ඇයව ඇඩෙව්වෙ මමද?

"අඩන්නෙපා චාපා. මමයි වැරදි. පාඩුවෙ ඉදපු ඔයාගෙ ඔලුවට විකාර ගෙනත් දැම්මෙ මමයි. මම ඒක අමතක කරන්නම්..."

කරකියාගත හැකි දෙයක් නොවූයෙන් මම හිත තදකරගෙන කීවෙමි.

"මගෙන් ආයෙ කරදරයක් වෙන්නෑ ඔයාට. අඩන්නැතුව ඉන්නකො..."

"මම ඇඩුවෙ අද ඊයෙ නෙවෙයි ගිම්හාන. මට දැන් ඒක පුරුදුයි. දවසක මම සේරම කියන්නම් ඔයාට...."
අයෙ දවසක අපට කතාකරන්නට ඉඩක් ලැබෙන්නේ නැත. මා එතරම් වාසනාවන්තයෙකු නොවන බව දැන් උවමනාවටත් වඩා පැහැදිලිය. නමුත් තවදුරටත් ඇගේ සිත රිදවිය නොහැක.

"ඒත්... මම නිසා ඔයා දුක් විදිනවට මම කැමති නැහැ..."

"කවුද කිව්වෙ මම ඔයා නිසා දුකෙන් ඉන්නෙ කියලා...?"

ඇය මගේ දෙනෙත් දෙස බලා ඇසුවාය. තද කරගත් හිත කඩාගෙනම වැටෙන්නෙ වැඩියෙන්ම ආදරය කරන ඒ දෙනෙත් දකින විටය.

"එහෙනම් දැන් ඇඩුවෙ..."

"ගෑණු ළමයින්ට තියෙන ප‍්‍රශ්න පිරිමි ළමයින්ට තේරෙන්නෑ ගිම්හාන, එයාලා සැහැල්ලුවෙන් විනෝදෙන් ජීවත්වෙන අය. කිසිම බරක් පතලක් නැහැ. ඒත් අපිට එහෙම බැහැ...."

"කොහොම උනත් මම නිසා ආයෙ අඩන්නෙපා. මම ආයෙ ඔයාට කරදර කරන්නෑ චාපා. හොදට ඉගෙන ගන්න. හැබැයි මම හැමදාමත් ආදරෙයි ඔයාට..."

තවත් මෙහි රැදුනොත් මටද හැඩුම් එන නිසා මම යන්නට නැගිට්ටේය. මම ඇයට කොතෙක් ආදරය වුවත් මා නිසා ඇය අඩනවා මට බලාසිටිය නොහැක.

"මාත්..."

විදුලි සැරක් වැදුනාක් මෙන් මුළු සිරුරම වෙව්ලා ගියේය. එය කීවෙ චාපාමද ? මම නැවතත් හැරුනා නොවෙ, ඉබේම හැරවුණි.



 සුමුදු පියවර තබා එන මඟ, සුසුදු පියවිලි එළා තැබුවා...

(චාපා 07 වන කොටස සමගින් හමුවෙමු...)

                    - නිරෝෂ් මෛති‍්‍ර -
                           - 2004 -

මෙතනින් (චාපා 07)
මෙතනින් (චාපා 08)
මෙතනින් (චාපා 09)
මෙතනින් (චාපා 10)


No comments:

Post a Comment

 

Sample text

Sample Text