Social Icons

Sunday, May 26, 2013

චාපා 05

හිස් අතින්ම එන්න ආදරය අරන්...


    මම බ‍්‍රහස්පතින්දා පාසැල් නොගියේය. එදා දිනය ගෙවා දැම්මේ කෙතරම් අපහසුවෙන්දැයි දන්නේ මා පමණි. දවස පුරාම එක එක දේවල් සිතෙයි. සුරේකා මොනවා කරගත්තාද? චාපා සුරේකාට බැණ වැදුනාද? ඇය අකමැති වුවහොත් මා මින්පසු ඇයට මුහුණ දෙන්නේ කෙසේද? සියල්ල පැටලී ඇති සෙයකි. සිකුරාදා පාසැල් ආවේ මේ සිතිවිලි ගොන්න නැවත නැවතත් අලූත් කරමිනි. කොරිඩෝව දිගේ එද්දිම දුරටම දුටුවේ ඒ සොදුරු රුවයි. ඇය අද වෙනදාටත් කලින් පැමිණ ඇත. පන්තිය ඉදිරියේ ඇති කණුවකට හේත්තුවී ඇය බර කල්පනාවකය. මේ පාන්දර ඇය මොනවා සිතනවාද?
මම පන්තියට ඇතුළු වන තුරුම චාපා මා දුටුවේ නැත. මගේ තිගැස්ම තවත් වැඩිවිය. ඇය මාව දුටුවානම් ඇයගේ ප‍්‍රතිචාරය අනුව ඇය දුන් පිළිතුර මට අනුමාන කල හැක.

"අඩෝ උඹ උදේම ආවද?..."
කල්ප සිනාමුසු මුහුණෙන් පැමිණියේය.

"මේ.. මේ.. විකාර නොකර මෙහෙ වරෙන්, මොකද ඊයේ උනේ ?..."

"ඉදින්කො බෑග් එකවත් තියනකං උඹට මාර හදිස්සියක්නෙ තියෙන්නෙ..."

"මාව තවත් බයකරන්නැතුව කියහංකො උනේ මොකක්ද කියලා..."

"මේකයි උනේ අපි සුරේකාට කියලා වැඬේ පත්තුකලා. මොකද මායි අරුයි එක්කත් චාපා වැඩිය කතා බහක් නෑනෙ.."

"ඉතිං..."
දැන් මගේ හදගැස්ම එන්න එන්නම වැඩිවෙයි.

"සුරේකා මේක චාපාගෙන් අහන්නත් ටිකක් අදිමදිකලා, ඒකිට බැනුම් අහන්නවෙයි කියලා.මොකද චාපා සුරේකලා වගේ නෙවෙයිනෙ. එයා අහින්සක චූටි රැබිට්නෙ..."
චාමර මාව මඩවන්නට තියාගෙනය.
"හරි  ඕවා මම දන්න දේවල්නෙ. උනේ මොකද කියහං දැන්වත්..."

"මේකයි, චාපා වැඩියමක් කියලා නැහැ..."
දැන්නම් 

මගේ හදවත පුපුරන තරම්ය. ඇය අකමැති වූවානම් ආයෙ ඇගේ මුහුණ බලාද ඉවරය.

"උඹත් එක්ක කතා කරන්න ඕන කිව්වලු..."

ඉහලට ගෙන මෙතෙක් වෙලා හිරකරගෙන සිට හුස්ම පිටකලේ දැන්ය.මේ ටික කියන්න කල්පයා මාව මොකාවද මෙන් කෝට්ටේ එක්ක ගිය හැටි.

"කොයි වෙලේටද බං කතා කරන්නෙ? මං මොනවා කියන්නද..?"

"කියන කරනදේ උඹ කල්පනා කරලා කරගනින්. ව්‍යාපෘති පීරියඩ් එකේ කතාබහ කරගන්න එකක් කරගන්න පුළුවන්..."

"ඒ කොහොමද?"

"අද පද්මා ටීච එන්නෙ නැහැ කියලා වැඩ වගයක් දුන්නා. කාටද බං ඕවා කරන්න වෙලාවක් තියෙන්නෙ. ඒ පීරියඩ් දෙකම අයිස් තමයි..."

"තෑන්ක් යූ මගෙ දෙයියො.."
මම කල්පට තට්ටුවක් දාමින් කීය.

"අපිවගේ යාළුවො පතපං හැම ආත්මෙම..."

"වෙලාවක් තිබ්බොත් බලමු..."

මට පුදුම සතුටක් දැනුණි.එය නිශ්චිතවම සතුටකැයි කිව නොහැක. එහි සතුට දුක බය සැකය නැති එකක් නැත. මම දැන් කුමක් කරන්නද? ඇය සමග කතාව කොහෙන් පටන්ගන්නද? කියනවානම් දාහක් දේ ඇත. නමුත් වචනයක් දෙකක් කතාකරනවිට මාව හිරවෙනු ඇත. 
ව්‍යාපෘති දෙවන කාලපරිච්ඡේදයේ තිබුනද මට ඒ වන තුරුද සිටිය නොහැකි තත්ත්වයක් ඇතිවමින් තිබුණි. අද වෙනදාටත් වඩා ඉබිගමනේ වෙලාව යයි. කී වතාවක් මම දැන් වෙලාව බැලුවාද? අවසානයේ මම ඔරලෝසුවට සාපකෙරුවෙමි.
මම දෙතුන් වරක් චාපා දෙස බැලූවද ඇය අද එක්වරක්වත් මා දෙස බැලුවෙ නැත. එම නිසා මගේ සතුට ක‍්‍රමයෙන් පහව යමින්ද තිබුණි. ඇය මට බනීවිද? ඇය එසේ කරාවියැයි මට සිතිය නොහැක. 
දෙවන කාලපරිච්ඡේදය සදහා සීනුව නාද විය. මෙතෙක් වේලා මෙය නාදවන තුරු බලා සිටියද දැන්නම් ඇත්තේ බියකි.

"ඒයි.. අන්න උබේ මංගල සීනුව නාද වෙනවා..."

චාමර මට කණට කර කීවේය. චාපා තවත් ගැහැණු ළමුන් දෙදෙනෙකුද සමග විද්‍යාගාරය වෙතට ගියේ මා දෙසවත් නොබලාය. අපගේ ව්‍යාපෘති භාරව සිටි පද්මා ගුරුතුමිය විද්‍යා ගුරුවරියක් වීම නිසා ව්‍යාපෘති සදහා අපේ කාණ්ඩායම යන්නේ විද්‍යාගාරයටයි. 

"වරෙන් යන්න..."
චාමර මගේ අතකින් ඇද්දේය.

"ඒත්..."

"මේ.. මේ.. ඒත් මේත් නෙවෙයි.හරිම අමාරුවෙන් කතාකරන්න කැමතිවෙන තැනකට ඕක ගොඩදාලා දුන්නෙ. නිකං දෙල්කරගන්නනම් එපා හරිද?.."

"චාපාගෙ මූඩ් එක එච්චර හොදනෑ බං. සුරේකාට කෙලින්ම බැහැයි නොකිය මාත් එක්ක කතා කරන්න ඕනෙ කිව්වෙ හොදවයින් දෙකක් කියන්නද දන්නෑනෙ?.."

"අනේ මේ.. කාගෙවත් මූණවල් බලලා සාස්තර කියන්න ඇයි උඹ සාස්තර පුංචි අම්මගෙ පුතාද? මෙන්න මෙහෙ වරෙන් යන්න..."

චාමර මාත් සමගම විද්‍යාගාරයට ආවේය. චාපා තවත් ගැහැණු ළමයින් දෙදෙනෙකු සමග කතා කර කර සිටියාය.නමුත් මා දුටුවිට ඇයගේ මුහුණ වෙනස්විය. කල්ප විද්‍යාගාරයේ දොර ළඟ නතරවිය. 

"පලයං..පලයං..  ඕල් ද බෙස්ට්..."



අවසානයක් කොහෙද ආරම්භයක් ළඟ...
(චාපා 06 වන කොටස සමගින් හමුවෙමු...)
- නිරෝෂ් මෛති‍්‍ර -
- 2004 -


No comments:

Post a Comment

 

Sample text

Sample Text