Social Icons

Tuesday, May 21, 2013

චාපා 04




   පාසලට ආ දිනයේ සිට කුමක් හෝ බාහිර කි‍්‍රයාකාරකමක් කිරීමේ ආශාවෙන් සිටියද විවිධ හේතු නිසා එය මගහැරී ගියේය. කල්ප හා චාමර විවාද කණ්ඩායමේ සාමාජිකයින්ය. ඔවුන් මට විවාද කණ්ඩායමට එක්වෙන ලෙසට අවස්ථා කිහිපයකදීම ඇවිටිලි කලද මගේ ඉදිරිපත්වීමේ හැකියාව එතරම් හොද මට්ටමක නොතිබූ නිසා මම එයට අකමැති විය.මම වඩාත් කැමැත්තෙන් සිටියේ තූර්ය වාදක කණ්ඩායමට සම්බන්ධවීමටය. නමුත් ඒ වන විටත් එයට සිසුන් බදවාගෙන අවසානය. උදාරගේ මාර්ගයෙන් දැනගන්නට ලැබුනේ පාසලේ චෙස් සංගමයක් ඇතිබවය.
කුඩාකල සිටම මට හොදින් ක‍්‍රිඩාකල හැක්කේ කි‍්‍රකට් හා චෙස් පමණි. එබැවින් මම පාසල නිමවීමෙන් පසුව චෙස් පුහුණුවීම් කරන පන්ති කාමරය වෙත ගියේ එම පිරිසට මා අළුත් බැවින් යම් චකිතයකිනි.

මට වෙන්නේ අර කාටද මන්දා නිතර වෙන දේවල්ය.චෙස් සංගමයේ පුහුණුවීම් වෙන තැන චාපාද සිටියි. ඇය දැක මගේ ඉහේ මලක් පිපුනාක් මෙන් විය. ඇය මා දුටුවේ නැත. මම විනාඩියක්.. දෙකක්.. තුනක්.. පමණ එක දිගට ඇය දෙස බලා සිටියේය. ඇය සමග කතාකරනවාද නැද්ද. 

"ඔයා මේකෙත් ඉන්නවාද?.."
චාපා හැරී බැලුවාය. ඇගේ මුහුණේ සිහින් සිනාවක් ඇදුනි. ඔහොම හිනාවෙන්නට එපා යැයි මට කියන්න සිතුණි.

"ඔවු.. ප‍්‍රයිමරි ළමයිව ප‍්‍රැක්ටිස් කරන්නෙ මම.."

"ඒ කියන්නෙ  එහෙනම් චෙස් චැම්පියන් කෙනෙක්.."
ආයෙත් ඒ සිනාවයි.

"ඇයි ඔයා මෙහේ ?..."

"මාත් ආසයි චෙස් ඉගෙන ගන්න.."
මම චෙස් දන්නා බවක් ඇයට ඇගවිය යුතු නැත.

"නන්දා ටීචනම් පි‍්‍රන්සිපල් සර් හම්බවෙන්න ගියා. එතකං ඔයා මේ බෝඩ් එක අරන් ප‍්‍රැක්ටිස් වෙන්න..."
ඇය මට චෙස් බෝඩ් එකක් පෙන්වා කීවාය.

"මේකෙ දාං ඉත්තො කපනවා වගේද කපන්නෙ?.."
ඇය මට බෝඩ් එක දී යාවි යැයි සිතා මම ප‍්‍රශ්න අසන්නට ගත්තේය. ඇය අතින් කට වසාගෙන සිනාසුනි.

"නැහැ මේක ඊට වඩා ගොඩක් වෙනස් හැබැයි මෝඩයන්ට නම් කරන්න අමාරුයි.."
ඇය තොලක් සපාගෙන හොරැහින් බලා කීවාය. එහෙනම් ඔයාත් අදින්නෙ යැයි වෙන කෙනෙක්ටනම් පිළිතුරු දෙන්නට තිබුණි.එහෙත් ඇයට එසේ කීමට නොහැක.

"ආ.. අපි ගැන එහෙම වෙන්නැති හිතාගෙන ඉන්නෙ..."

"හරි ඉන්නකො මම කියලා දෙන්න..."
ඇය ඉත්තන් පිළිවෙලට සකසයි. මම ඇගේ ඇඟිළි තුඩු පිළිවෙලට එහා මෙහා යන ආකාරය බලා සිටියේය. 

"හරි.. මේ පෝන්.."

මම ගැස්සී ගියේය. ඇය ඉත්තන් පෙන්වමින් මට ඔවුන්ව හදුන්වා දෙයි. නමුත් ඇයට අවශ්‍යනම් මට මොවුන්ට නම් වැටුන හැටිද කිව හැක.

"මේ රුක්.. මේ බිෂොප්..."

"මෙයා කවුද?.."
මම ක්වීන් පෙන්වා ඇසුවේය.

"ඔය ක්වීන්.."
'ඔයා වගේමයි' කියන්න කට නලියයි. වේලාසනින් ටිකට් කපාගත යුතු නැත. ඇය සියල්ල මට හදුන්වාදී අදින්නට පටන්ගත්තාය.

"ඔයාගෙ බිෂොප් කැපෙනවා බේරගන්න.."

"බේරගන්න බැරිඋනොත්...."

"කිංට බලපෑම් වැඩියි. එහෙම උනොත් ඔයා පරදිනවා.."

ඇය උනන්දුවෙන් කී‍්‍රඩාව කරයි.මම බලා සිටියේ ඇය දෙසය. ඇයගේ ඇස් මෙතරම් ලස්සන වූයේ කෙසේද?  මම නොසිතූ මොහොතක ඇයද දෙනෙත් එසෙව්වාය. දැන් බිම බලාගැනීමට පරක්කු වැඩිය. ඇය සෙමින් නැවතත් පුවරුව දෙසට දෙනෙත් බර කර ගත්තාය.
මගේ ඉත්තන් පිට පිටම කැපේ. ඇය ඉන් අපමණ සතුටක් ලැබූ බව ඇගේ මුහුණෙ ඇති ජයග‍්‍රාහී හිනාවෙන් පෙනෙයි. දැන් මගේ වැඩ පෙන්විය යුතු වෙලාවයි.මම අවස්ථා දෙකකදී ඇයගේ රුක්ලා කපා දැම්මේය.

"ඒ... කොහොමද කලේ ?.."

"අනේ මන්දා.."
මගේ ඉතිරිව ඇත්තේ ක්වීන් එක රුක් කෙනෙක් හා නයිට්ලා දෙදෙනාය. මම ඇයගේ කිං කොටුකර දැමීය. දැන් ඇයට කිං ඇදීමට කොටුවක් ඉතිරිව නැත.

"චෙක් මේට්.."
මම පුරුද්දට කියවිණි.

"ඔයා කොහොමද චෙක් මේට් කරන හැටි දන්නෙ? මම කියලා දුන්නෙත් නෑනෙ?.."

"නෑ... මං මේ...."

"බොරුකාරයා, චෙස් දැනගෙන ඉදලා දන්නෑ වගේ රඟපෑවා නේද ?.."
ඇය මුහුණ ඇඹුල්කරගෙන නැගිට්ටාය. ඇය පරාජයවීම ගැන ඇයට තරහ එන්නට ඇත.මට සිනාගියේය.

"හැක හැක තමා.."
ඇය නැගිට යන්නට හැදුවාය. 

"චාපා.."
මට එකවරම ඇයගේ අතකින් ඇල්ලිණි. ඇය ඇස් ලොකුකරගෙන හැරී බැලුවාය. මම හෙමින් ඇයගේ අත අතහැරියේය.

"සොරි.."

"පිස්සෙක්.."

ඇය මුහුණ අමුතුකර යන්නට ගියාය. මම ඈ දෙසම බලා සිටියේ කියාගන්නට නොහැකි හැඟීම් ගොඩක් හිත ඇතුලේ තෙරපෙද්දිය.ඇය චෙස් කාමරයෙන් පිටවීමට පෙර තව වරක් හැරී බැලීය.

"යෙස්.."

මට කියවිණි. ළඟ සිටි කුඩා ළමයි කිහිපදෙනෙක් හැරී මා දෙස බැලුවෙ අමුතු විදියටය. 

********************************************************************************

පසුවදා පාසැල් ආවේ චකිතයකිනි. මන්ද ඊයේ සිදුවීමෙන් චාපා මා සමග අමනාප වී ඇද්දැයි සැකයක් තිබුනේය. අද ප‍්‍රමාද වී තිබුණද තවමත් පළමුවන කාල පරිච්ඡේදය ආරම්භවී නොතිබුනේය. මම පන්තියට ඇතුලට ආවේ චාපා සිටින ඩෙස්ක් එක දෙස බලාගෙනමය. ඇය සටහනක් ලියමින් හිද හිස ඔසවා බැලුවාය. මම ඇය සමග චකිතයකින් සිනාසුනේය. ඇයද ලෝබ නැතුව සිනාසුනාය. ඇගට ලේ ටිකක් ඉනුවේ දැන්ය.
තවත් මට මෙය සිතේ තබාගෙන සිටිය නොහැක. විවේක කාලයේදී පාප මිත‍්‍රයන් දෙදෙනාට සියල්ල කියනවා යැයි සිතා ගත්තේය.

"ඒයි ඉරේෂා මොකද බං අර සදමාලි මූණ එල්ලන් ඉන්නෙ?..."
ජීවන්ත පසුපස පේලියේ සිට බෙරිහන් දුන්නේය.

"නදුන් අයියා සතියකට ඉන්දියා යනවනෙ ජීවන්ත කරාටේ ටූනමන්ට් එකට. ඒකයි ඔය..."
නදුන් යනු ජීව විද්‍යා පන්තියේ අවසාන වසරේ ඉගෙන ගන්නා සිසුවෙකි. ඔහු පාසලේ පමණක් නොවෙ සමස්ත ලංකා මට්ටමේ ජනපි‍්‍රය කරාටේ කී‍්‍රඩකයෙකි. එමෙන්ම සදමාලිගේ පෙම්වතාය.

"මේක හරි වැඩක්නෙ යකෝ, ඌ යන්නෙ ඉන්දියාවට මිසක් යුද්ධෙට නෙවෙයිනෙ?
අනේ අම්මපා අපි ගිලිලා මලත් අඩන්න එකෙක් නැති හැටි..."

"ඉතින් හොයාගන්න එකනෙ තියෙන්නෙ අනුන්ගෙ ඒවා බල බල හූල්ලන්නැතුව.."
ඉන්දීවරී සදමාලිව ආරක්ෂා කරන්න සිතාගෙන කීවාය.

"ඔයාගේ කකුළෙ බකලෙ තිබ්බෙ නැත්තම් මම එකෙන්ම කැමති වෙනවා රත්තරං. අපේ අම්මා කැමති වෙන එකක් නෑ බකල කෑල්ලක් මම ගෙදරට ගේනවට..."
මුළු පන්තියම සිනාසුනි. ඉන්දීවරීට ඇති බකලයක් නැත. ජීවන්තව අවුස්ස ගත්තොත් ඔහොම්මමය.

මම විවේක කාලයේදී කල්පට හා චාමරට පෙරදා සිදූවු සිදුවීමත් සමග මගේ සිතේ ඇති හැමදෙයක්ම කීවේය.

"අම්මට සිරි ගෙම්බෙක් ගිය උඩක්.."

"මම සීරියස් කියන්නෙ බං.."

"මම කියන්නද? අපි මේක සුරේෂිට කියමු ඒකි තමයි අභ්‍යන්තර පේ‍්‍රම කටයුතු භාරව ඉන්නෙ.."

"සුරේෂි නායිද ?..."

"නැහැ.. නැහැ.. උඹ බය නැතුව ඉදින්.සුරේෂි ඔයිට වඩා ඒවා ගොඩදාලා තියෙනවා..."

"හැබැයි උඹලා මේක සුරේෂිට කියන්න ඕනෙ හෙට හරිද?.."

"ඇයි හෙට කෙම්මුර දවසක්ද?.."
කල්ප මගේ බඩට ගසා ඇසුවේය.

"උඹ පැහෙන්නෙ නැතුව හෙට සුරේෂිට කියලා වැඬේ ගොඩදාපන්කො. හරිද?.."

මම හෙට පාසැල් නොඑන්නට සිතා ගත්තේය. හෙට ඇතිවන මේ ඇතිවන්නට යන භීෂණකාරී තත්ත්වය මට නුහුරුය. ඒ ආදරය මට කුළුදුල් මාතෘකාවක් වන බැවිනි. 



හිස් අතින්ම එන්න ආදරය අරන්...

(චාපා 05 වන කොටස සමගින් හමුවෙමු...)


- නිරෝෂ් මෛති‍්‍ර -
- 2004 -

මෙතනින් (චාපා 05)
මෙතනින් (චාපා 06)
මෙතනින් (චාපා 07)
මෙතනින් (චාපා 08)
මෙතනින් (චාපා 09)
මෙතනින් (චාපා 10)


No comments:

Post a Comment

 

Sample text

Sample Text