Social Icons

Sunday, June 2, 2013

චාපා 08



    සිකුරාදා රාති‍්‍රයේ මට නින්දක් නොආවේය. දහවල් ඒ සොදුරු මොහොත තවමත් හීනයක් මෙන් දෙනෙත් ඉදිරියේ මැවි මැවී පෙනෙයි. ඇයව මට මෙතරම් ඉක්මනින් ලැබේ යැයි මම සිතුවේ නැත.

සදුදා වන තුරු මම සිටියේ නොඉවසිල්ලෙනි. ඒ සොදුරු රුව දකිනතුරු සිතට ඇත්තේ නොසන්සුන් බවකි. නමුත් මේ වන විට අපේ පන්තියම මේ ගැන දන්නවා විය හැක. එය එසේ උවහොත් අද කණක් ඇසී ඉන්නට වන්නේ නැත. එන විදියකට මුහුණ දෙනවායැයි සිතා මම පාසැල් ආවේය.
වෙනදා මෙන්ම කොරිඩෝව දිගේ ඇවිද එන විට මගේ නෙත් සොයන්නෙ ඇයවය. නමුත් අද වෙනදාටත් වඩා හිත කලබලය. දුරතියාම අප දෙදෙනාගේ නෙත් එකිනෙක ගැටුණි. චාපාද අද මග බලාගෙන සිටිනවා දුටුවිට මගේ මුළු හිතම පිරී ගියේය. වෙනදාට ඇයව පසුකර යනවිට මම හිතින් ගුඩ්මෝනින් කියාගෙන යයි. නමුත් අද එය මුව පුරා කිවහැක.

"ගුඩ් මෝනින්..."

මටත් ප‍්‍රථම ඇය කීවාය. ඇගේ මුහුණ උදෑසන පිපුන නම නොදන්නා ලස්සන මලක් මෙනි.

"ගුඩ් මෝනින්. ..කවුරු එනකන්ද ඇස් කඩන් බලන් ඉන්නෙ?.."

"මොඩයෙක් එනකන්..."
ඇය කට ඇදකර කීවාය.

"දැන් අත කොහොමද?..."

"හොදයි..."
මම සමාව ඉල්ලන්න හඩින් ඇයට උත්තර දුණි.

"අළුත් කපල් එක උදේන්ම ඇවිල්ලා ලව් සීන් පටන් අරන් වගේ."

කෝසලී මගේ පිටුපසින් පැමිණ ඇසුවාය. මම හිතුවා හරිය. වැඬේ රටටම ප‍්‍රසිද්ධවී අවසානය. චාපාත් මමත් මුහුණට මුහුණ බලා සිනාසුණි.

"මේ.. මේ.. අපිට අනං මනං වැඩක් නැහැ දෙන්නාගෙන්ම පාටියක් ඕනෙ.."
චාපා ලැජ්ජාවෙන් බිම බලාගෙන සිනාසෙයි. 

"මේක හරි වැඩක්නෙ ඇයි පාටි දෙන්න අපි කසාද බැන්දද?.."

"හරි ඉතින් ඕක තමයි කසාදෙට අත්තිවාරම..."
කෝසලී සිනාසී යන්නට ගියාය. අදනම් සොදුරුම උදෑසනකි.

"ඇත්තද?.."
මම චාපා දෙස බලා ඇසුවෙමි.

"මොකක්ද?.."

"මේකද අත්තිවාරම?.."

"ඇත්තද බොරුද කියලා කියන්න මම මීට කලින් බැදලා නැහැනෙ"
ඇය සිනාසී කීවාය.

"බදිමුද?..."

"යනවා මෝඩයා..."
අද උදෑසන රැස්වීමේදීද මගේ හිත එක තැනක නැත. මට ඇයවම දකින්නට උවමනා නිසා ඇයට සමාන්තර පේලියක සිටගත්තේය. විටින් විට ළමයින් එහාට මෙහාට වී ඇයව නොපෙනුන විට මට තරහද ආවේය. චාපාගේ මුහුණද වෙනදාට වඩා සතුටින් පිරී ඇත. වෙනදා වැඩියෙන් සිනා නොවන ඇය දැන් සිටින්නේ සිනාසුන ගමන්මය.
විවේක කාලයේදී මම කල්පනා කර කර ඉන්නවා චාපා දක්න්නට ඇත. ඇයටත් පෙර ළඟට ආවේ ඇයගේ සුවඳයි.

"ගිම්හාන මොනවද ඔච්චර කල්පනා කරන්නේ?..."
මම බැරූරුම් මුහුණක් මවාගෙන ඇයදෙස බැලුවෙමි.

"නෑ සුදූ, මම මේ කල්පනා කලේ දැන් ඉතිං ඉස්සර තිබ්බ නිදහසත් නැහැනෙ..."
ඇය සිනාසුනාය. සිනාසෙන විට ඇය වඩාත් සුන්දරව පෙනෙයි.

"ඇත්ත ඇත්ත. දැන් ඉතින් මම කියන විදියට තමයි ඉන්න වෙන්නෙ. මම අරක කරන්න කිව්වම ඒක කරන්න ඕනෙ. මේක කරන්න කිව්වම මේක කරන්න ඕනෙ..."
ඇය කට හද හදා කියයි.

"ආ.. ඇත්තද එහෙමද හිතන් ඉන්නෙ? ඒවා කොහෙද මාත් එක්ක. වැඩිය නීති දැම්මොත් මම හොදට බීලා ඇවිල්ලා වළං පොළොව ගහලා ඔයාටත්........"
ඇය එක දිගට සිනාසුණි. හැමදාමත් ඇයව මේලෙසම සතුටින් තියන්නට මම ඉටාගත්තෙමි.

"අම්මෝ, එහෙනම් මම මුකුත් කියන්නෑ.."

ඇය සිනාව නවත්තගන්න බැරුව කීවාය. මා කියූ කතාවට මේතරම් සිනාසෙන්නට දෙයක් නැතත් ඇය පොඩිදෙයිනුත් මෙතරම් සතුටට පත්වන්නේ මෙතරම් දවස් දුකින් සිටි නිසාද? මා නිසා ඇය දැන් සිටින්නේ සතුටින් බව එදා විද්‍යාගාරයේදී ඇය කියූ සැටි මට සිහිවිය.

"ඔයා ඇත්තටමද කිව්වෙ? වළං පොළොවෙ ගහලා මටත් ගහනවද?.."
හිනාව බාලවන ගමන් ඇය ඇසුවාය. ඇය බියවන්නට ඇත.

'සමහර විට...."

"අනේ එහෙම කවදාවත් කරන්නෙපා ගිම්හාන. මම පුංචි කෙල්ලෙක්. මට ගොඩක් දේවල් දරාගන්න අමාරුයි. නොතේරුම් කමට මම වැරදි කරයි. ඒත් ඒවා මට කියලා දෙන්න. මෙහෙම කරන්නෙපා කියන්න. එතකොට මම ආයෙ කවදාවත් ඒවා නොකර ඉන්නම්. ඒත් මට බනින්නවත් එපා...."
ඇයගේ ඇස් රතුවී ඇත. පොඩි විහිළුව මෙතරම් ඇය බරපතලව ගනීවියැයි මම සිතුවේ නැත.

"පිස්සුද සුදූ මොනාද මේ කියන්නෙ? ගෑණුන්ට අතක් උස්සන්න තරම් පහත් මිනිහෙක් නෙවෙයි මම. ඔයාව හිනාගස්සන්නයි මම එහෙම කිව්වෙ.මට පිස්සු හැදිලා හරි එහෙම කලොත් ඔයා මාව දාලා යන්න. මම මුකුත් කියන්නෑ..."

"මම දන්නවා ඔයා එහෙම නෑ කියලා...."
ඇය අහින්සකව සිනාසී කීවාය. 


******************************************************************


දුරකථනය බෙරිහන් දෙන හඩට මම ගැස්සී ඇහැරුනේය. කාමරයේ ලයිට් එක දමා වෙලාව බලනවිට පාන්දර හයට පමණ ඇතිබව බොදවී ඇති දෙනෙතින් දැක්කේය. මේ පාන්දර කවුරු කතා කරනවාද? අම්මාගේද නින්ද කැඩෙතැයි සිතා මම ඉක්මනින් දුරකථනය ළඟට ගියේය.

"හෙලෝ..."
මම නිදිගැට කඩමින් කතාකලේය.

"හැපි බර්ත්ඬේ  ටූ යූ..."
අද මගේ උපන්දිනය බව මට මතක්වූයේ දැන්ය. නමුත් කතාකරන්නේ කවුදැයි මට හදුනාගැනීමට නොහැකිවිය.

"තැන්ක් යූ. ඒත් කවුද මේ කතාකරන්නෙ?.."

"ඔයාට ගොඩක් ආදරෙ කරන කෙනෙක් මෝඩයෝ..."

මට දැනුන සතුට නිම්හිම් නැතිවිය. උපන්දිනය දවසේ උදේ පාන්දරින් ඒ කටහඩ අසන්නට ලැබීමම ඇතිය.

"අනේ සොරි සුදූ. මට ඇත්තටම අදුනගන්න බැරි උනා. ෆෝන් එකෙන් ඔයාගෙ කටහඩ තවත් ලස්සනයිනෙ. රේඩියෝ චැනල් එකක කෙල්ලෙක් වගේ..."

"අනේ යන්න පල් එක නොදා..."

"මේ ඒක නෙවෙයි අද හවසට එනවා නේද?..."
අද හවසට පාසැලේ මිතුරන්ට පුංචි උපන්දින සාදයක් සූදානම් කලේ අම්මාය. 

"අනේ ගිම්හාන මට බයයි. මම කොහොමද ඇවිත් ඔයාලාගෙ අම්මගෙ මූණ බලන්නෙ?..."

"ඒක හරි වැඩක්නෙ අපේ අම්මගෙ මූණ බලන්න බැරිවෙන්න තරම් ඔයා මොකක්ද කරපු වරද?..."

"ඇයි අම්මටගෙ ලොකු පුතාව හොරකම් කලේ..."
මට සිනා ගියේය. මේ කෙල්ලටනම් හොදටම පිස්සුය.

"ඔයා ඉරේෂාලාගෙ ගෙදර යන්න. චාමරයා එහෙට එයි ඔයාදෙන්නව ගන්න. චාමර අපේ ගේ දන්නනවා..."

"හා.. ඒත් කියටද එන්න ඕනෙ"

"පුළුවන්නම් දැන්ම එන්න.."
මම සිනාසී කීවෙමි.

"ආසයිනම් තමයි..."
ඇය කෙතරම් අහින්සකද.

"පහ වෙනකොට එන්න සුදූ..."

"හොදමයි සර්... මම ඉක්මනට එන්නම්. මම හොරෙන් කෝල් එක ගත්තෙ තියන්නම් හොදේ..."

"හරි සුදූ, පරිස්සමට එන්න..."

"බුදු සරණයි ඔයාට..."



ජීවිතයෙන් මැකී යන අකුරු කියවන්න...
ආදරය වෙනුවෙන්...

(චාපා 09 වන කොටස සමගින් හමුවෙමු...)


            - නිරෝෂ් මෛති‍්‍ර -
                  - 2004 -


මෙතනින් (චාපා 09)


No comments:

Post a Comment

 

Sample text

Sample Text