Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Thursday, November 22, 2012

මගේ උගත් පෙම්වතී



"...මිනිස් ජීවීන්ගේ හැඟීම් කි‍්‍රයාත්මකවන ආකාරයට බලපාන ප‍්‍රධාන සංයෝගයන්ගේ එක් මූලයක් මෑතකදී සොයාගෙන ඇති බව දොස්තරවරු ඈට කීහ. එය 'සෙරොටොනින්' යනුවෙන් හැදින්වේ. කරන කියන කටයුත්තක් ගැන අවධානය යොමුකිරීමට, කෑමට බීමට, නිදාගැනීමට සේම ජීවිතය රසවිදීමට පවා නොහැකිවීම මේ කියන 'සෙරොටොනින්' අඩුකම නිසා සිදුවන්නකි. මේ මූලද්‍රව්‍යය සහමුලින් නැතිවූ කල හිතේ මළානිකකම ඇතිවේ. අශුභවාදය රජකරන්නට පටන්ගනී. කරන සියල්ල නිරර්ථකය යන හැඟීමට ගොදුරුවේ. විඩාව, කාන්සාව, අතීරණය පිරි තිමිරයෙන් වැසුණු සාදාතනික දෝමනස්සයට යටවේ. එක්කො සියල්ල එපාවූ නීරස මනෝභාවයට නැත්නම් සියදිවි නසාගැනීමට අවසානයේ කෙනෙකු පෙළඹෙන්නේ මේ මනෝභාවය හේතුවෙනි... "
පාවුලෝ කොයියෝ -


අතිශය සංකීර්ණ සමාජයක ජීවත්වන අපට හමුවන විවිධාකාර මිනිසුන් අතර යම් කිසි විශේෂයක් ඇති පුද්ගලයන් පමණක් අපෙගේ මතකයේ රැදෙනවා. එයිනුත් මතකයේ විශේෂයෙන් රැදෙන්නේ ජීවිතයට විශේෂ යමක් එක්කල පුද්ගලයන් හා ජීවිතයම එපා කල පුද්ගලයින් පමණි. එයිනුත් කාන්තාවට හිමිවන්නේ කෙතරම් විශේෂිත ස්ථානයක්ද ? එයිනුත් ඇතැමෙක් සදාකල් මතකයේ රැදෙන ආදරණීය, ධනාත්මක හැඟීම් ඉතිරිකර යන අතර ඇතැමෙක් මතක් කලත් ඉතිරි වෙලා ඇති ලේ ටිකත් පුච්චලා දැමීමට සමත් වෙනවා.

දුක, ශෝකය, අහිමිවීම, ආර්ථික අපහසුතා, සැකය, සාංකාව ගැන නිතර කියවන කෙනෙකුන් සමග සදාකල් එකට ජීවත්වීමට සිදුවුවහොත් ඇතිවන තත්ත්වය කෙසේදැයි අනුමාන කිරීම කිසිවෙකුටත් අපහසු නොවනු ඇත. මේ සියල්ලටත් වඩා එම පුද්ගලයා බොරුකාර ජීවිතයක් ගෙවන්නෙකු නම්...


"...ආදරය සම්බන්ධයෙන් වූ වැරදි අවබෝධයන් අතර වඩාත් පොදු අදහස වන්නේ, ආදරය යනු අනෙකකු මත යැපීම හෝ රදාපැවැත්ම යන්නය. මෙලොව සිටින ඕනෑම පුද්ගලයෙකු තමාට මෙන්ම අන්‍යයන්ට ඇඟවීමට උත්සහ දරන්නේ අපට හැඟීම් හා අවශ්‍යතා ඌනතාවයක් නොපවතින බව හා අනෙකකු මත යැපීමට කිසිදු අවශ්‍යතාවයක් නොවන බවය. එසේ උවද අප සැම කි‍්‍රයාකරන්නේ කුඩා දරුවෙකු සුරතල් වෙමින්, අනෙකකු මුළු හදින්ම සැබෑ ආදරයෙන් හා අප ගැන උනන්දුවෙන් තමන් ගැන සොයා බැලීමක් කල යුතුය යන සිහිනය තුළය. සිහිනය සිහිනයකි. සැබෑව සිහිනයට පිටස්තරය. අප මානව ධර්මතාවයන්ට කොතෙක් ගෞරවයෙන් කටයුතු කලද සිහිනය අනවශ්‍ය තරමට විශ්වාස කල විට අහසින් පොළවට පතිත වන්නේ අනපේක්ෂිතවය. සිහිනයක් අප දෙනෙත ඉදිරිපිටනම්, අප වහාම පියවි සිහිය උවමනාවෙන් අවදිකල යුතුය. පියවි සිහිය නැතිවන මොහොත තුළ අපව සොරකම් කර ගැනීම කවරෙකුට උවද පහසුය..."
- ආචාර්ය ස්කොට් පෙක් -

ආචාර්ය ස්කොට් පෙක්ගේ කියමන සිහියට නැගුනේ මීට සති කිහිපයකට පෙරය. එදිනම මේ සටහන තැබීමට අවශ්‍ය උවත් පැවති කාර්යබහුල තත්ත්වය නිසා එය මග හැරුණි. එනම් පියවි සිහිය තොර කරගත්තෙකු මුණ ගැසුනා මදිවට ඇය මගේද පියවි සිහිය නැති කරන්නට ගත් උත්සහයක් නිසාය. මගේ කීමකට වඩා ආචාර්ය ස්කොට් පෙක්ගේ කියමනක් යොදා ගත්තේ ඇයගේ සුවපහසුව පිණිසමය. මන්ද යත් ඇය මටත් වඩා පොත පත පරිශීලනය කරන පොත් කියවා එහි සිටින මිනිසුන් සැබෑ ජීවිතයේ සොයන කෙනෙකුන් නිසාය.

මේ සටහන තුළින් මට කිවයුතුව ඇතිදෑ බොහොමයක් උවත් සියල්ල කාලය විසින් මෙතෙක් කලක් තීරණය කලාසේම ඉතිරියද කාලයටම බාරදීම යහපතියි මම විශ්වාශ කරමි. මන්ද මෙම සටහන අදාල සිදුවීම් දාමය වඩාත් විශ්ලේශනය කරන තැනකට තල්ලුවුවහොත් ගඳ ගසන කුණු ගොඩක් හිතාමතාම ඇවිස්සුවාට සමාන වනු ඇත. අතීතයෙන් පාඩම් ඉගෙන නොගන්නා එකා සදාකල් එකතැන පල්වන්නාක් බව මා කොහෙන්දෝ අසා ඇත. මාත් සමග සම්බන්ධකම් පැවැත්වූ කිසිවෙකුගේ චරිත කිසිම අවස්ථාවකදී ඝාතනය නොවන්නට මෙතෙක් වග බලාගත්තා සේම, එය ඉදිරියටද එසේමය. එය දැන දැනම හෝ දැන ගත්තද ගොං මොළයකට නොතේරෙන තැනක සිට කරන බාල වර්ගයේ චෝදනාවලට මා කිසිවිටක උත්තර බැදීමට ඉදිරිපත් වන්නේද නැත. අනෙක එකම කාරණය පිළිබද වරින් වර කරන අභූතයන් ගැන උත්තර දෙනවාට වඩා මට කිරීමට වෙන වැඩද ඇත. සාංසාරික බැදීමක් බලාපොරොත්තු වනවාට වඩා ළඟ සිටින පුද්ගලයාගේ විශ්වාසය රැකීමට පුරුදුවීම කාටත් වටී. එය සමාජ ජාල අඩවි වල රට්ටු හිනස්සන Status දමනවාට වඩා වැදගත් කාරණයකි. 

ඉස්සර වගේ හැම දෙයක්ම 
     ලස්සනට පේන්නෑ..
පේ‍්‍රමයේ සුවද තවදුරටත්
     අපෙන් හමන්නෑ..

සෘතු මාරුවෙලා,
     කටෝර හිරු එබෙන්න කළින්
දොර කවුළු සියලු,
     මුදා හරිමි පේ‍්‍රමයේ නමින්...

- ශ්‍රෝණි මේ කලා -
අරුණ පත්තිනිගේ


හුදෙක් මගේම පහන් සංවේගය තකා,
- නිරෝෂ් මෛති‍්‍ර -
2012/11/22