Social Icons

Sunday, July 7, 2013

චාපා 19



    ළුව බර ගතියක් තිබුනද අමාරුවෙන් හෝ අද පාසැලට ආවේ චාපාව හමුවිය යුතුම නිසාය. මම හිතනවාටත් වඩා ප‍්‍රශ්නය දුරදිග ගොස් තිබිය හැක. මම දන්නවාට වඩා දෙයක් සිදුවී තිබෙන්නටද හැක. එසේ වුවහොත් කරන්නට හැකි දෙයක් තවමත් හිතාගත නොහැක.

"අයියේ..."

එක වසරෙ යැයි කිවහැකි නංගි කෙනෙක් ඇවිත් මගේ අතේ එල්ලිණි. ඇගේ මුහුණ අඩන්නට ඔන්න මෙන්නය.

"ඇයි නංගි? මොකද මේ අඩන්නේ?..."

"අරයා මගේ රිබන් එක ගැලෙව්වා..."

ප‍්‍රාථමිකය දෙසට දිවයන කුඩා පිරිමි ළමයෙකු පෙන්වා ඇය අඩන්නට වූවාය. 

"අනේ අඩන්න එපා ඉතින් ඕකට. රිබන් එක ආයේ දාන්න පුළුවන්නෙ, කෝ දෙන්නකො...."

"එයා හැමදාම ගලවනවා..."

ඇය හඩමින් අතේ තිබූ රිබන් පටිය මට දිග් කලාය. පොඩි උන් කෙල්ලන්ට ඉන්නම දෙන්නෙ නැත. මම ඇයගේ ගැලවී තිබූ කෙටි කොණ්ඩයේ රිබන් පටිය ගැටගසා කොණ්ඩය හැදුවේය. පොඩි එකීගේ  මුහුණේ දැන් හිනාවකි.

"හරිනෙ ඕකටනෙ ඇඩුවෙ ඉතිං. දැන් යන්න පන්තියට..."

මම කියා නිම කරන්නත් කලින් පොඩි එකී දිව්වාය. හිටිවනම මට චාපාව සිහිවිය. ඇයත් මමත් කුඩා කාලයේ සිටම එක පන්තියේ සිටියානම්.....
හිත අළුතෙන් බර විය. ප‍්‍රධාන ශාලාව දෙසින් පැමිණ කොරිඩෝව දෙසට හැරුනේ සුපුරුදු පරිදි චාපාගේ රුව බලාපොරොත්තුවෙනි. නමුත් ඇය සිටියේ නැත. ඉක්මනින් ඇවිද ගොස් පන්තියට එබුනේ ඇය පන්තියේ නැතත් ඇයගේ පොත් බෑගයවත් තිබේ දැයි බැලීමටය. නැත, එයද තිබුනේ නැත. හිත එතැනම කඩා වැටුණි. කරකියාගන්නට දෙයක් නොමැතිව පොත් ටික මේසයෙන් තබා  එය මත හිස තබාගත්තේය. 


"ගිම්හාන... ඇයි මේ..."

ඒ ඉරේෂාගේ හඩයි. හිස එසවීමට නොහැකි තරම් හිස බරවී ඇත. ඒ මදිවට ඇස් අග කදුළුය.

"ගිම්හාන නැගිටින්න. අසනීපයක් නම් කියන්න අපිට..."

මම හිස එසවූවත් ඉරේෂා දෙස බැලීමටවත් ශක්තියෙක් වූයේ නැත. මගේ දෑසීන් කදුළු දෙපේලියක් ගලා ගියේ මටත් නොදැනීමය. 

"ඇයි ගිම්හාන, මොකද උනේ ඔයාට?..."

ඉරේෂා බියවී මෙන් මා දෙස බලා සිටියාය. මම සිදුවූ සියල්ල ඇයට කීවෙමි.

"හරි ගිම්හාන, මේ වෙලාවෙ ඔයා කෙලින් ඉන්න. ඔයයි චාපායි දෙන්නම අඩන්න තියාගත්තම කොහොමද ප‍්‍රශ්න විසදගන්නෙ. අපි බලමු කරන්න පුළුවන් දෙයක්...."

"මට බය එයාව ආයෙ ඉස්කෝලෙ නොඑවයි කියලා ඉරේෂා..."

"හ්ම්.. එහෙම වෙන්නත් බැරි නෑ ඒ ගෙදර හැටියට. ඔයා කලබල නොවී ඉන්නකො..."

චාමරද පන්තිය ඇතුළට ආවේ ඒ වෙලාවේය.

"ඇයි මේ ? මොකද මචං?..."

ඔහු ඉරේෂාත් මාත් දෙස මාරුවෙන් මාරුවට බලමින් ඇසුවේය.

"එන්නකො. ගිම්හාන ආ වතුර ටිකක් බොන්න..."

ඉරේෂාගේ වතුර බෝතලය මගේ මේසය මතින් තබා ඉරේෂා චාමරත් සමග පන්තියෙන් එළියට ගියාය. ඇය චාපාගේ හොදම මිතුරියයි. ඇතැම් විය ඇය මොනවා හෝ දන්නවාද විය හැක.

"ගිම්හාන වරෙන් මාත් එක්ක යමං..."
චාමර නැවත පන්තියට විත් මගේ උරහිසට අත තබමින් කීවේය.

"කොහෙද ඒ ළමයව එක්ක යන්නෙ ඔයා?..."

"අපි ලොකු ලැබ් එක පැත්තට යනවා. රැස්වීමට එන්නෑ. නදුන් ආවොත් පොඩ්ඩක් ෂේප් කරන්න කියන්න...."

මාත් චාමරත් උසස්පෙළ දෙවන විද්‍යාගාරය තිබූ පැත්තට ආවේය. විද්‍යාගාරය දකිද්දීම මට චාපාව සිහිවී හිතේ වේදනාව අළුත් විය. ඇය මට මුලින්ම ආදරේ යැයි කීවේ මෙතනදීය.

"මචං වැඬේ බරපතලද?..."

"ඔවු චාමර, මම ඊයේ රෑ කෝල් කලා. කෙල්ල ඉන්නෙ ලොකු ගින්දරක. ඒත් මට මුකුත් පෙන්නන්නෑ. මගේ හිතම හදනවා. ඒකමයි මට දුක...."
මම ගොස් ඉදගත්තේ චාපා එදා ඉදගෙන සිටි තැනය.

"හරි මුලින්ම උඹ කෙලින් ඉදහන්කො වැටෙන්නැතුව. එහෙම උනොත් චාපාට තවත් දුකක්නෙ බං. මේවා මෙහෙම වෙයි කියලා දැනගෙනනෙ බං අපි හිටියෙ...."

"මට මගේ හිතේ සතුට හොරු අරං ගියා වගේ හැඟීමක් මචං තියෙන්නෙ. උඹ දන්නවනෙ මම චාපාට කොයි තරම් ආදරෙයිද කියලා. කතා බහ කරන්න නැතත් දකින්න වත් නැති උනාම..... මට තේරෙන්නෑ මචං. පුදුම දුකක් දැනෙන්නෙ. වැඩිපුරම දුක එයාව ආයෙ ඉස්කෝලෙ නොඑව්වොත් එයාගෙ ඉගෙනීම කඩාකප්පල් කලේ මම නේද කියලා හිතෙන එක. එහෙම උනොත් කොහොමද බං මම ඉස්කෝලෙ පැත්ත පලාතකවත් එන්නෙ? එයා හරි ආසාවෙන් ඒ ලෙවල් කරන්නෙ. මට කොච්චර පවුද මේ කරපු වැඬේට..."

මගේ හිතේ දුක කියා නිම කරන්නට නොහැක. මට වචන පැටලේ. කියන්නට ඕනෑ දේ කියවෙන්නේ නැත. මම ඇයට වරදක් කලේය යන වරදකාරී හැඟීමෙන් මට මිදෙන්නට නොහැක. නදුන්ද විද්‍යාගාරයට ආවේ ඒ වෙලාවේය.

"උඹට දුක බව දන්නවා මචං. අපිත් දවසක් හරි ලව් කරපු මිනිස්සුනෙ...."

"ඒකම තමයි නදුන් මාත් කිව්වෙ..."
චාමර කීවේ මගේ කරේ අතක් දමා ගනිමිනි.

"ඕක චාපාගෙ ගෙදරට ගියා විතරනෙ මචං. උඹට කෙල්ලව නැති උනේ නැහැනෙ. උඹ පොඩ්ඩක් කලබල නොවී ඉදපංකො...."

************************************************************

මම එක දිගට සති දෙකක් පමණ පාසැල් ගියේ නැත. එදා සිදුවීමෙන් පසුව දින දෙක තුනක් පාසැල් ගියද ඒ එක දිනකවත් චාපා පාසැල් ආවේ නැත. ඇයට අපරාධයක් කලාක් මෙන් මට දැනෙන හැඟීමෙන් සිත ගලවා ගන්නට මට නොහැකි විය. අනෙක් දේවල් කෙසේ වෙතත් අඩුතරමේ ඇය පාසැල්වත් එනවානම් හිත හදාගත හැක. 

"අයියේ කෝල් එකක්...."

මල්ලී පඩිපෙලේ සිට කෑගැසුවේය. මට දැන් දුරකථන ඇමතුම් තරම් වදයක් තවත් නැත. පන්තියේ අය එක එක වෙලාවට ඇමතුම් ලබාදී එක එක විකාර කියවයි.

"මම ගෙදර නැහැයි කියන්න..."

"ඉරේෂා කියලා අක්කා කෙනෙක් කතා කරන්නෙ. හදිස්සියක්ලු...."

ආවාට ගියාට ඉරේෂා දුරකථන ඇමතුම් ගන්නේ නැත. ඇතැම් විට චාපා ගැන කුමක් හෝ තොරතුරක් වන්නටද ඇත. මම වේගයෙන් තරප්පු පෙළ බැස රිසීවරය අතට ගත්තේය.

"ඉරේෂා...කියන්..න..."

"මොකද මේ හති දාන්නෙ?..."

"දුවගෙන ආවේ ඉරේෂා... කියන්න, ඇයි හදිස්සියේ?..."

"කලබල නොවී අහගන්නකො...."
මගේ හද ගැහෙන වේගය වැඩිවිය.

"මම ඊයේ චාපාලාගෙ ගෙදර ගියා ඉස්කෝලෙත් එන්නැති නිසා බලන්න. නැත්තම් මමත් කතා නොකලම ගෙදර අයත් සැක හිතනවානෙ නිතර ආපු මට මොකද උනේ කියලා.."

"ඉතිං..."

"මම ගියාම කෙල්ල හරියට ඇඩුවා ගිම්හාන. වෙන දෙයක් කතා කරන්න උනේම නැහැ, ඔයා ගැනමයි ඇහුවෙ. ඔයාව දවසක් හරි දකින්න ඕනෙ කියලා හූල්ලනවා...."
මට පුදුමාකාර දුකක් දැනුණි.

"පව් දෙයියනේ..."

"ඒක තමයි ගිම්හාන, මටත් හරිම දුකයි. එයා හරිම සතුටින් හිටියෙ ඔයත් එක්ක. ඒ දවස් ටික ගැනම කියෙව්වා...."

"අනේ එයා සනීපෙන් නේද?..."
ඉරේෂා කතා කලේ නැත.

"ඉරේෂා එයා සනීපෙන් නේද?..."
හිතට අමුත්තක් දැනුන නිසා දෙවන වර මම හයියෙන් ඇසුවේය.

"ඔයාටම බලාගන්න පුළුවන් සනීපෙන්ද නැද්ද කියලා..."
මට ඇය කියූ දෙයක් වැටහුනේ නැත.

"ඒ කොහොමද?..."

"මම චාපාලාගේ අම්මත් එක්ක කතා කලා ගොඩක් වෙලා. ආන්ටිට මට පුළුවන් විදියට තේරුම් කරලා දුන්නා මොනාඋනත් එක්සෑම් එක කෙල්ලට කරන්න ඉඩ දෙන්න කියලා...."

"ඉතිං..."

"පස්සෙ අන්තිමට මම ඇහුවා ඉස්කෝලෙත් යන්නෙ නැති එකේ අපේ ගෙදර පාඩම් කරන්න එක්කගෙන යන්නද කියලා. ගොඩක් වෙලා හිතලා හිතලා මාව විශ්වාසෙටයි එවන්නෙ කියලා හා කිව්වා...."

මට දැනුනේ පුදුමාකාර සතුටකි. මොනවා නැතත් ඇය උසස්පෙළ කරනවානම් මට ඒ ඇතිය. ඒ වෙනුවෙන් ඕන කැපකිරීමකට මම සූදානම්ය.

"අනේ කොයිතරම් දෙයක්ද ඉරේෂා ඔයා කරලා තියෙන්නෙ. කාලෙකට පස්සෙයි හිතට සතුටක් දැනුනෙ. එයාත් එක්ක පාඩම් කරන්න. එයා එක්සෑම් කරනවානම් මට එච්චරයි ඕනෙ. මම ඕන උදව්වක් කරන්නම්...."

"අද හවස කෙල්ල අපේ ගෙදර එනවා. මම හිතන්නෙ ආන්ටි එවන්න කැමති උනේ අංකල් මේ දවස් ටිකේ ඉන්දියා ගිහින් ඉන්න නිසා වෙන්න ඇති. චාපා කිව්වා ඔයාට හවස අපේ ගෙදර එන්න කියන්න කියලා එක පාරක් හරි දකින්න ඕනෙ කියලා...."

මටත් ඇයව එක වතාවක් හෝ දකින්නට ඇත්නම් හිතේ සතුටෙන් බත් කටක්වත් කෑ හැකිය. නමුත් ආයෙමත් ඇයට ප‍්‍රශ්නයක් ඇතිකිරීමට මට නොහැකිය.

"එපා ඉරේෂා. එක පාරක් මම කරපු දේ හොදටම ඇති. තව පාරක් එයාව හම්බවෙන්න ඇවිත් ප‍්‍රශ්නයක් උනොත් ඒ මිනිස්සු ඔයත් එක්ක තියෙන හිතවත්කමත් නැතිවෙනවා. මෙහෙමවත් එක්සෑම් කරන්න එයාට දීපු අවස්ථාව ආයෙම නැති වෙනවා. මම එයාට කරපු වැරදි ටික හොදටම ඇති...."

"චාපා එන්නෙ ඔයාව බලන්න ගිම්හාන... ඔයා හිතනවද එයාට හිත නිදහසේ පාඩම් කරන්නවත් පුළුවන් වෙයි කියලා මේ විදියට? අනික ඔයාටත්?...."

"ඔයා කියන එක ඇත්ත. සම්පූර්ණ ඇත්ත. ඒත්......"

"අදට විතරක් හම්බවෙන්න. පවු කෙල්ල. මමත් මේක කරන්නෙ ලොකු අවදානමක් අරගෙන. ඒත් ඒකි මගේ හොදම යාළුවා. මට බෑ අර  අඩන විදිය බලන් ඉන්න...."

"මට තේරෙන්නෑ ඉරේෂා මම මොනවා කරන්නද කියලා....."

"මේ ප‍්‍රශ්න වලින් අවුල් වෙන් එපා ගිම්හාන... අපි දැන් පොඩි ළමයි නෙවෙයිනෙ තව දුරටත්..."

"හරි මම එන්නම්..."

"හ්ම්.. පරිස්සමින් එන්න.. කෙල්ල දැනටමත් එනවා ඇති..."

මම දුරකථනය තැබුවේ කුමක් කරම්දෝයි යන දෙගිඩියාවෙනි. ආයෙත් ගැටළුවක් ඇති වුවහොත් මම මටම සමාවක් නොදෙනු ඇත.


වෙන්විමද ආරම්භයකි, හමුවිය යුතු...

(චාපා 20 වන කොටස සමගින් හමුවෙමු...)


No comments:

Post a Comment

 

Sample text

Sample Text