Social Icons

Monday, July 22, 2013

චාපා 24


      සෙනසුරාදා පැතුම් සමග නුගේගොඩට එනවිට මදක් හවස්වී තිබුණි. ඉරේෂා චාපාත් සමග නුගේගොඩට ආසන්නයේ සැලූන් එකකට එනබව දන්වා ඊයේ රාති‍්‍රයේ දුන් දුරකථන ඇමතුමෙන් පසුව ඇයව හමුවන තුරු සිතේ තිබුනේ දැඩි නොසන්සුන් කමකි.

"හොද වෙලාවට අද අයියාකාරයා ගෙදර. නැත්තං ඌ උදේම වෑන් එක අරන් අර හෝන්තුවගෙ ගෙදර යනවා. එන්නෙ මහ රෑට..."

පැතුම් නාවල පාරෙන් නුගේගොඩ දෙසට හරවනගමන් කීවේය.

"කවුද බං හෝන්තුව?..."
මම හිනාවෙන ගමන් ඇසුවේය.

"හෝන්තුව කවුරු උනත් බලපංකො අද උඹේ මූණේ සිරියාව. පහුගිය ටිකේ හිටියෙ නිකං බූරු ගහලා පැරදිලා වගේනෙ..."

"තාමත් එහෙමම තමයි බං. මේ යන්නෙත් විනාඩි පහක හරි සතුට හොයාගෙනනෙ..."

වාහන තදබදයට අසුව තිබූ වාහන අතරින් පැමිණි හිඟන කාන්තාවක් වෑන් එකේ වීදුරුවට තට්ටු කලාය. ඇගේ අතේ අවුරුදු දෙකක පමණ කුඩා දැරියකි.

"අනේ මහත්තයෝ මමයි පොඩි එකියි තාම දවල්ට මුකුත් කාලා නැහැ. පාන් කෑල්ලක් කන්න කීයක් හරි දෙන්න බුදු මහත්තයෝ,පිං සිද්ධ වෙනවා...."
මේ ඝෝෂාකාරී නුගේගොඩ නගරය මැද පොඩි එකී හොදටම නිදිය. මම පර්ස් එකෙන් ගත් රුපියල් පනහක් වීදුරුව පහත් කර ඇයට දුන්නේය.

"අනේ මහත්තයාට ගොඩක් පිං මහත්තයෝ. කරන කියන හැමදේම හරියන්න ඕනෙ..."
මහලොකු දෙයක් කලාක් මෙන් හිතට දැනුනෙ අමුතුම හැඟීමකි.

"උඹටත් පිස්සු බං. ඕකුන් කුඩු බොන්න ඔය සල්ලි එකතු කරන්නෙ. උඹෙත් ඉතිං පොඩ්ඩ ඇත්තං උණු වෙනවනෙ..."

"අර බලපං..."

මම පැතුම්ට උත්තර දෙනවා වෙනුවට කලේ තව දුරටත් හිඟකනවා වෙනුවට පාර අයිනෙ තිබූ පෙට්ටි කඩයකට ගිය ඇයව පෙන්වීමයි. තදබදය අතරින් වාහනය ඉදිරියට යනවිට ඔවුන් දෙදෙනාව වඩාත් පැහැදිලිව දැක ගත හැකි විය. දුටු සංවේදී දසුනෙන් පැතුම්ට තමන් වැරදි යැයි වැටහෙන්නට ඇත. දරුවාව උකුලේ තියාගත් ඇය පාන් කාලක කෑලි කඩා පොඩි එකාටද කවන ගමන් ඇයද කෑවාය.

"සමහර හිඟන්නන්ගෙ ලෝක බොරු නිසා ඇත්තට අසරණ උන කෙනෙක්ටවත් දැන් මිනිස්සු සතයක්වත් දෙන්නෙ නැහැ බං..."

"ඇත්ත පැතුම්, අපිට වඩා දුක් විදින මිනිස්සු කොච්චර මේ ලෝකෙ ඉන්නවද කියලා හිතෙන්න පාරටම බහින්න ඕනෙ..."

"ඒක ඇත්ත බං. හැමදේම තියාගෙනත් අපි නැති දේ ගැනම හිත හිතා කොච්චර අඩනවද? ඒ මිනිස්සුන්ගෙ හැටි බං. කොච්චර තිබ්බත් මදි. නැතිදේටමයි ආස..."
වාහන තදබදය අඩුවූයෙන් කොහුවල දෙසට ධාවනය පහසුවිය.

"අරක නේද සැලූන් එක..."

"ඔව්. උඹ ටිකක් මෙහායින් අයින් කරලා නවත්තහං..."

පැතුම් පාරෙ අයිනටම කර වවාහනය නැවැත්තුවේය.ඔවුන් දෙදෙනා පෙනෙන්නටවත් සිටියේ නැත. 

"උඹ ඔහොම හිටපං මම ගිහිං බලලා එන්නම්. උඹ කෝකටත් කියලා පිටිපස්සට ගිහිං වාඩිවෙයං. අපි පරිස්සමට ඉන්න එක ඇඟට ගුණයි..."

පැතුම් වාහනයෙන් බැස සැලූන් එක දෙසට ගියේය. මේ ගමන් සියල්ල අවධානම් උවත් දැන් වෙන කරන්නම දෙයක් නොමැත. කලේ එකම එක වරදකි. එනම් ඇයට අපමණව ආදරය කිරීම පමණි.
විනාඩි පහකට පමණ පසුව පැතුම් නැවත ආවේය.

"ඇයි බං මොකද උනේ...?"

"අවුලක් නැහැ. දෙන්නම පාරෙ ඉන්නවා. අපි ටිකක් ඉස්සරහට යමු..."

සැලූන් එක පසුකර මද දුරක් යද්දිම චාපාත් ඉරේෂාත් පාර අයිනේ සිටියෝය. චාපා දකිනවිටම මට ඇතිඋන හැඟීම විස්තර කල නොහැක.

"ඉක්මනට නගින්න. ඉරේෂා ඔයා ඉස්සරහට එන්න..."
මම පසුපස දොර හැර චාපාව ඇතුලට ගත්තේය. 

"එන්න සුදූ..."

ඇය මා දෙස බලාගෙනම වාහනයට නැග්ගාය. ඇයෙගේ ඇස් ආදරයෙන් දිළිසෙයි.

"කරදරයක් නේද මම?..."

මම ඇයගේ සුරත ගෙන කම්මුලේ තබාගත්තේය. ඇය තවමත් මා දෙස බලාගත්වනමය.

"මොනාද ආපු වෙලෙ ඉදන් බලන් ඉන්නෙ හොල්මනක් දිහා වගේ...?"

ඇය හිටිවනම මාව වැලද ගත්තාය. තවමත් ඇය එකදු වචනයක් හෝ කතාකලේ නැත. කදුළු බින්දුව බින්දුව මගේ දකුණතට වැටෙන්නට විය.

"ගිම්හානයා අපි කොහෙටද යන්නෙ...?"

"ඉරේෂා කියන තැනකට යමු මචං..."

"කොහේ උනත් කමක්නෑ මනුස්ස වාසයක්වත් නැති තැනකට යමු. මම අද මේ ආවේ ලොකු අවදානම් ගමනක්..."

ඉරේෂා පැතුම් දෙස බලා කීවාය.

"එහෙනම් ඉතිං යන්න වෙන්නෙ කනත්තකට තමයි..."
පැතුම් හයියෙන් සිනාසිය.

"කනත්තකට හරි කමක්නෑ, මොකෙක්වත් නැත්තං. ආන්ටි අද මෙයාව මාත් එක්ක සැලූන් එකට එව්වෙත් දාහක් දේවල් කියලා..."

ඉරේෂාගේ මුහුණේ අද ඇත්තේ බැරූරුම් ස්වරූපයකි. ඇය කියුවාක් මෙන් ඇත්තටම අප කාට කෙසේ උවත් ඇයට මෙය අවධානම් ගමනකි. චාපාව ඇයගේ ගෙදරට එවන්නේද ඇය පිළිබද ඇති විශ්වාසය නිසාය.

"තාම අඩනවද? අද කතාකරන්නෙ නැද්ද මාත් එක්ක..?."
මම චාපාගෙ හිස අතගාමින් ඇසුවේය.

"අඩන්න දෙන්න මට..."

පැතුම් බොරලැස්ගමුවෙන් අතුරු පාරකට දමා සැලකිය යුතු දුරක් පැමිණ තිබුනේය. වාහනය නැවැත්වුයේ විශාල රබර් වත්තක් අසලය.

"ඔන්න ඉරේෂා නෝනාව මනුස්ස වාසයක් නැති තැනකට ගෙනාවා..."

"විහිළු කරන්නෙපා පැතුම්..."
ඉරේෂා දොර ඇරගෙන එළියට බැස්සාය. පැතුම්ද බැස පසුපස දොර හැරියේය.

"ඉරේෂාගෙ බය සාධාරණයි බං. අපි මෙහෙම ආවාට මේක මහ ඬේන්ජර්ස් ගමනක්..."

"ඒක ඇත්ත මචං මටත් තේරෙනවා. එහෙමයි කියලා වෙන මොනවා කරන්නද...?"

"මම නිසා හැමොටම කරදරයි නේද..?"

"එහෙම එකක් නෑ චාපා. අපි සහෝදරයො වගේ එකට ඉන්න අය. අපි අපිට උදව් කරගන්නෙ නැත්තං වෙන කවුරු උදව් කරන්නද..?"

චාපාගෙ ඇස්වල කදුළු අළුත් විය. ඒත් සමග ඉරේෂා එතැනට ආවාය.

"මට සමාවෙන්න චාපා. මම ටිකක් කලබල උනා. උඹට මම කියලා දෙන්න ඕන නෑනෙ උඹලාගෙ තාත්තගෙ හැටි. ඒ නැතත් අර මරුමුස් අයියා..."

"ඒකට කමක් නැහැ ඉරේෂා. ඔයා මේ කරන උදව් වෙන කෙනෙක්නම් කරන්නෑ මග අරිනවා මිසක්..."

"හරි හරි. අපිට ගොඩක් වෙලා මෙතන ඉන්න බැහැ. කතා කරගන්න තියෙන සේරම ඉක්මනට කතා කරගන්න. මායි පැතුනුයි පාරට ගිහිං බොන්න මොනවා හරි අරන් එන්නම්..."

"මචං කවුරු ආවත් දොරනම් අරින්න එපා. අපි ඉක්මනට එන්නම්..."

පැතුම් දොර වසා දමා ඉරේෂාත් පාර දෙසට යන්නට ගියේය.



(චාපා 25 වන කොටස සමගින් හමුවෙමු...)
- නිරෝෂ් මෛති‍්‍ර -
- 2004 -

No comments:

Post a Comment

 

Sample text

Sample Text