Social Icons

Sunday, July 28, 2013

චාපා 26



      චාපා ගෙදර එනවිට හවස හයද පසුවී තිබුණි. තාත්තාගේ වාහනයත් තවත් රතු පැහැති කැබ් රථයකුත් නිවස ඉදිරිපිට නවත්වා තිබුනේය. ගෙදර එනවිට රෑ වන බව කීවද තාත්තා කලින්ම ආවේ ඇයි දැයි ඇයට බියක් දැනුනි. 

"කොහෙ ගිහිල්ලද මේ එන්නෙ...?"

සාලය පසුකරගෙන යනවිටම ඇසුනේ පියාගේ හඩයි. ඇය හැරී බලන විට පියාත් අනුරුද්ධගේ පියාත් ඇය දෙස බලා සිටියෝය. අනුරුද්ධ යනු චාපාව විවාහ කරදීමට සැරසෙන කෙනාය. 

"ඉරේෂාලාගේ ගෙදර තාත්තේ..."

"අදින් පස්සෙ කොහෙවත් යන්නෑ තේරුණාද? අනිද්දාට අනුරුද්ධ එක්ක ඉන්දියා යන්න ලෑස්ති වෙන්න ඕනෙ. මම සේරම ලෑස්ති කරලා තියෙන්නෙ..."

චාපාගේ හිසට ඉහළින් අකුණක් කෙටුවාක් මෙන් විය. කොයිදේ වුවත් තමන්ව මේ රටේවත් නොතියාවියැයි ඇය සිහිනෙකින්වත් නොසිතුවාය. කාමරයට ආවද දෙපා පණ නැතිව යන්නාක් මෙන් දැනුනි. තාත්තා මෙතරම් දවසක් නිහඩව සිටියේ මේ සදහා වන්නට ඇත. ගිම්හානට වචනෙකින් හෝ කරදරයක් නොවූයේ තමන්ව රටින්ම යවන්නට පියා සැලසුම් කරගෙන සිටි නිසා බව වැටහෙන්නේ දැන්ය. ගිම්හානගේ ආදරය කෙසේ උවද තාත්තා මේ උදුරා ගන්නේ තමන්ගේ නිදහසේ ජීවත්වීමේ අයිතිය නොවේද. වචනයක් වත් කතාකර නොමැති පුද්ගලයෙක් සමග නන්නාදුනන රටක තමන්ගේ දුව තනිකර දැමීමට ඔහු හිත හදාගත්තේ කෙසේ. ඔළුව පැලෙන්නට තරම් කැක්කුමක් ආවෙන් ඇය කාමරයේ තිබූ වතුර වීදුරුව අතට ගනිද්දීම එය බිමට වැටුණි.

"ලොකූ ඇයි පුතේ...?"

චාපාගේ මව කාමරයට ආවේ දුවගෙනය. චාපා එහෙම්මම අම්මාගේ උරහිසට වාරුවූවාය.

"ඇයි මට මෙහෙම කරන්නෙ අම්මේ...?"

ඇය ඉකිගසමින් හඩන්නට ගත්තාය. චාපාගේ මේ ප‍්‍රශ්නයේදී ඇයගේ මව ඉතා අසරණය. මීට මොහොතකට කලින් චාපාව අනුරුද්ධ සමග රට යවනවා යැයි කීවිට ඇය දැඩිව විරුද්ධ වූවාය. නමුත් පිට මනුස්සයෙක් ඉදිරියේදී චාපාගේ පියා ඇයට කුණුහරුපයෙන් බැන වැදුන හැටි ඇයට සිහිපත් විය.

"අනේ අම්මේ තාත්තට කියන්න අම්මේ මට මෙහෙම කරන්නෙපා කියලා.. මට බැහැ අම්මෙ මේ විදියට ජීවත් වෙන්න. මේ තරම් ලොකු දඩුවමක් දෙන්න තරම් මම මොකක්ද අම්මේ තාත්තට කරපු වරද...?"

"උඹ කරපු වැරැද්දද? ඉදපං මම උඹට කරපු වැරැද්දෙ දිග පළල කියලා දෙන්න.."
චාපාගේ පියා දොර රෙද්ද මෑත් කරමින් කාමරයට පැමිණියේය.

"මම උඹව ඉස්කෝලෙ යැව්වෙ මොකටද? උගන්නන්න. ඒත් උඹ කලේ මොකක්ද? කොහෙවත් යන එකෙක් එක්ක රෝන්දෙ ගහන්න ගිය එක. ලොකු එකා නොදැක්කනම් උඹ අදටත් ඌත් එක්ක පාර්ක් ගානෙ යනවා. තාමත් උඹ කියනවද උඹ වරදක් කලේ නැහැ කියලා?හැබැයි උඹ මේක හොදට මතක තියාගනින් මට ඕන විදියට දේවල් සිද්ධ උනේ නැත්තං මම ඕකට බත් කන්නනම් තියන්නෑ...."

ගිම්හාන ගැන කියූ කතාවත් සමග ඇයට ඉහිලුම් නැතිවිය. මේ ප‍්‍රශ්න කොයිහැටි වෙතත් කිසිම හේතුවක් නිසාවත් තමන් නිසා ඔහුට හීරීමක්වත් වනවාට චාපා කැමතිවූයේ නැත.

"තාත්තා මුකුත් නොදැන අයියා කියපු දේවල් අහලා ඔහොම කතා කරන්නෙපා. ඔව් මම ගිම්හානට ආදරෙයි. මගේ පණටත් වඩා ආදරෙයි. ඒක නිකම්ම නිකං කට වචනයක් නෙවෙයි. ඒ වගේම කොයි විදියට සැලකුවත් මම අම්මට වගේම තාත්තටත් ආදරෙයි. හැබැයි තාත්තෙ මොන හේතුව නිසා හරි ගිම්හානට පොඩි හරි කරදරයක් වෙලා තිබුනොත් තාත්තට එදාට තමයි තාත්තගෙ ලොකු දුව නැතිවෙන්නෙ...."

චාපාගේ කම්මුල හරහට පියාගෙන් වේගයෙන් කම්මුල් පහරක් වැදුනේ ඇයටත් හිතාගන්නටවත් බැරි මොහොතකය. වැදුණු පහරට ඇයව විසිවී වැටුනේ ඇද පාමුලය.

"ඔයා මොනවද මේ කරනේනෙ දෙයියනේ? ගෑණු ළමයෙක්ට ගහනවාද මෙහෙම...?"

"ගෑණු ළමයෙක්? හහ්.. ගෑණු ළමයෙක් නෙවෙයි මේකි අපේ පවුල කන්න ආපු එකියක්. බලන්නකො අද මේකි මාත් එක්ක එකට එක කතා කරන හැටි..."

ඇත්තටම චාපාගේ පියාටත් ඇය ගැන පුදුමය. මේ ජීවිත කාලයටම ඇය පියා සමග මෙසේ කතා කරනවාමය. ඔහුගේ මූණ බලාවත් කතාකරන්නට බිය ඇය පියාට යමක් කියන්නට ඇත්තම් එය කීවේ මවගේ මාර්ගයෙනි.  අද ඇය චාපා නොවේදැයි සිතෙන තරමටම වෙනස්වී ඇත.

"තාත්තා පොඩ්ඩක්වත් හිතුවද තාත්තාගෙ දුව කොල්ලෙක්ට මෙච්චර මැරෙන්න හදන්නෙ ඇයි කියලා. තාත්තා පොඩිකාලෙ ඉදන්නම මට ආදරෙන් කතා කරලා තියෙනවද? මට තියා නංගිටවත්? මම තාත්තා කියපු මොනදේද නොකලෙ? අපි හැදුනේ මේ ගේ ඇතුලේ තනියම නේද? ඒත් තාත්තා අයියාට එහෙම කලේ නැහැ. ඇයි අපි දෙන්නට අකමැති? අපි ගෑණු ළමයි නිසාද? තාත්තා අයියාව හොදම ඉස්කෝලෙකට දැම්මා. ඒත් මායි නංගියි යන්නෙ ගමේ ඉස්කෝලෙට. ඇයි ඒ? දැන් ඇයි එක පාරට හොයන්න ගත්තෙ අපි ගැන...?"

"දැන් ඇති කටවහගනින් කිව්වම..."

"තාත්තා සල්ලිම හෙව්වා. අයියාත් තාත්තගෙ අඩිපාරෙම ගියා. දෙන්නටම මනුස්සකම් නෑ. තාත්තා එහෙම කලාම ආදරයක් ලැබෙන තැනකට අපි යනවා නේද? ගිම්හාන පුදුම තරම් ආදරෙයි මට. මාත් මනුස්සයෙක් තාත්තෙ...."

"උඹ කට වහනවද නැද්ද? ඔයාවත් මේකිට කියන්න. නැත්තං අද මේකිට මම......"

චාපාගේ පියා නැවතත් චාපාගේ කොණ්ඩයෙන් ඇද ගහන්නට සැරසුනේය. අනුරුද්දගේ පියාද කාමරයට ආවේ ඒ වෙලාවේය.

"මොනවද නිමල් මේ කරන්නෙ? පිස්සු වැඩ කරන්න එපා. පොඩි ළමයෙක්ටද ඔය ගහන්න පනින්නෙ? එන්න අපි යමු..."

"තාත්තා සල්ලි හම්බ කලා. ටිකක් නෙවෙයි මහ ගොඩක්. ඒත් අන්තිමේදි තාත්තට දරුවො නැති උනා. මං ගැන විතරක් නෙවෙයි අයියා ගැන උනත් හිතලා බලන්න, අයියාට අද වෙනකොට උසාවි කීයක නඩු තියෙනවද කියලා..."

"ලොකු දුව කටවහන්න..."
චාපාගේ මව ඇයව වත්තන් කරගෙන ඇදෙන් වාඩිකෙරෙව්වාය.

"මට සමාවෙන්න අම්මෙ.අද කතා නොකලොත් මට ආයෙ කතා කරන්න දවසක් නැතිවෙයි. තාත්තාට ගිම්හානට අකමැති වෙන්න කිසිම හේතුවක් නැහැ. සල්ලිම නම් ඕනෙ අපිට තරම් නැති උනාට ගිම්හානට සල්ලිත් තියෙනවා. ඒත් තාත්තා හදන්නෙ මාව බන්දලා දීලාත් වෙන බිස්නස් එකක් කරගන්න... මම තරහ නෑ තාත්තත් එක්ක. හැබැයි මෙහෙම ජීවිතයක් මට ඕනෙත් නැහැ. වැඩි දවසක් යන්න කලින් තාත්තට තේරෙයි සල්ලිම නෙවෙයි ජීවිතේ කියන්නෙ කියලා..."

"බලන්නකො මේකි...."

චාපාගේ පියා නැවත කාමරයට එන්නට හැදුවද අනුරුද්දගේ පියා ඔහුව එළියට රැගෙන ගියේය. ඔහුට වැඩියෙන් රිදුනේ ඇය කියූදේවල් වැඩියෙන් දැනුන නිසාය. නමුත් මොනම හේතුවක් නිසාවත් ඔහු ඒවා පිළිගන්නට සූදානම් වූයේ නැත. හෙට ඇයගේ විවාහය ලියාපදිංචි කර අනිද්දාට අනිවාර්යයෙන්ම මාස තුනකටවත් ඇයව රට යවනවාමයි ඔහු සිතාගත්තේය.

චාපාට එදා රෑ නින්දක් ආවේම නැත. හිතේ දුක් ගොඩකි. වැඩිමනත් දුක තාත්තාට කතා කල විදිය ගැනය. නමුත් කියූ කිසිදෙයක් තවදුරටත් නොකියා සිටිය හැකි දේවල්ද වූයේ නැත. ඒත් පියා ගෙදර සිටියානම් සමාවගන්නටවත් තිබුනායැයි සිතුණි.  මේ සියල්ලට වඩා ඇයට බියවූයේ අනිද්දා සිට ගෙවන්නට සිදුවන ජීවිතය ගැනය. තමන් කැමති වුවද අකමැති වුවද තමන්ගේ ජීවිතයේ වැදගත්ම තීරණ වෙනදා මෙන්ම පියා තනිකැමැත්තට ගෙන ඇත. එයද අතිශය අමානුෂික ආකාරයෙනි. එයට අකමැති උවහොත් ගිම්හානට හොදින් ඉන්නට නොදෙන බවට පියා දිවුරා කීවේය. ඔහු දෙයක් කිව්වොත් කීවාමය. ගිම්හාන නොමැති හෙට දිනයක් හිතාගන්නට නොහැකි උවද ඔහුගේ ජීවිතය අවධානමට හෙලන්නටද කිසිසේත් නොහැකිය. හිතට දැනෙන්නේ විස්තර කල නොහැකි ගුප්ත හැඟීම් රාශියකි. චාපාගේ ඇස් පියවුනේ නොදැනීමය.

"ගිම්හාන.................."

"අක්කේ... ඇයි අක්කෙ මේ..."

"අනේ ගිම්හානව මරන්නෙපා... තාත්තෙ එයාට යන්නෙ දෙන්න තාත්තෙ... අනේ ගිම්හාන දුවන්න..."

"අක්කේ මේ බලන්න... ඔයා හීනෙන් බයවෙලා ඉන්නෙ... කෝ එන්න..."
ඇය චාපාව ඇදේ වාඩිකරවීය. චාපාගේ ඇස් රතුවී හොදටම දාඩිය දමා ඇත.

"මේ වතුර ටිකක් බොන්න..."

චාපාත් ඇයගේ නැගණියක් කුඩාකල සිටම නිදාගත්තේ එක ඇදේය. අයෝධ්‍යාට වෙනම කාමරයක් තිබුණද ඇය කෙදිනකවත් එය පාවිච්චියට ගත්තේ නැත. ඇය සිය සහෝදරියට අපමණව ආදරය කලාය.

"නංගි ඔයා හෙට ඉස්කෝලෙදි එයාට කියනවද පරිස්සම් වෙන්න කියලා..."

"හරි අක්කෙ, දැන් නිදා ගන්නකො..."

"අනේ ඔයා කියනවා නේද...?"

"හරි අක්කෙ මම අයියට කියන්නම්. නිදාගන්න, මම ඉතිපිසෝ ගාථාව කියන්නම්..."



(චාපා 27 වන කොටස සමගින් හමුවෙමු...)
- නිරෝෂ් මෛති‍්‍ර -
- 2004 -




No comments:

Post a Comment

 

Sample text

Sample Text