Social Icons

Friday, July 19, 2013

චාපා 23



      පාසැල් යාමට තරම් කිසිදු මානසිකත්වයක් නැතත් ඇයට මා උන පොරොන්දුව රැකිය යුතු නිසාම පාසැල් ඒමට සිදුවිය. නමුත් බැලු බැලු හැම තැනම ඉතිරිව ඇත්තේ ඇයගේ මතකය පමණි. උදේන්ම පන්තියට එනවිට කොරිඩෝව ළඟින් හැරෙන විට වෙනදාට දකින රුව දකින්නට නොලැබෙන බව දැන දැනත් මට අවනත නැති නෙත් සොයන්නේ ඇයයි. අපගේ සොදුරු මතක සටහන් මේ පාසැල් බිමේ ඉතිරිකර දා ඇය අද එක තත්පරයකටවත් දකින්නටවත් නැත.
පන්තිය ඇතුලට පැමිනෙත්ම නෙත ගැටුනේ කෙලවරේම වූ ඇයගේ මේසය හා පුටුවයි. අද එය හිස්වී පාලුවටම ගොස් ඇත. හිතේ ඇවිලෙන තනිකමත් සමග මම ඇයගේ පුටුවේ මොහොතකට ඉදගත්තේය. චාපාගේ මේසය දැක මට හීල්ලුණි. එහි තැනින් තැන ඇයගේ වටකුරු අකුරෙන් 'ගිම්හාන' ලෙස ලියා ඇත. මට අද දකින්නටවත් නැත්තේ මේ තරම් මට ආදරය කල යුවතියයි. හිතේ බර දරාගන්නට බැරි තැන මම ඇගේ මේසය මත හිසතබා ගත්තේ ඇයගේ සුවඳවත් මේ කොහේහෝ ඇත්දැයි සොයමිනි.

"ගිම්හාන..."

හීනයෙන් මෙන් මට ඇසුනේ චාපාගේ හඩය. ඇය පාසැල් ඇවිත්ද? හිතට දැනුන සතුට කියා නිමකල නොහැකිවිය.

"චාපා...."

මම එකවර හිස ඔසවා බැලුවේය. නමුත් ඒ ඉරේෂාය. ඇය පුදුමයෙන් මා දෙස බලා සිටියාය.

"සොරි ඉරේෂා, මම හිතුවෙ චාපා කියලා...."

ඉරේෂා කතා කලේ නැත. බලා සිටියා පමණි. ඇය අසලට එත්ම මා චාපාගේ පුටුවෙන් නැගිට්ටේය.

"ඔයා හිත හිතා දුක්විදිනවා නේද ගිම්හාන...?"
මට දිග හුස්මක් පිටවුණි. ඇය ගැන සිතා දුක්වීමද හිතට සතුටකි.

"ඇයි ඊයේ ඉස්කෝලෙ ආවෙ නැත්තෙ?.."
චාපා පාසැල් ගමන අවසන් කල පසුදින මට පාසැල් ඒමට කොහෙත්ම පිරියක් තිබුනේ නැත.

"චාපා මේ දවස් ටිකේම හවස අපේ ගෙදර ආවා. ඒ ඇවිල්ලත් අහන්නෙම ඔයා ගැන. මම ඉතිං බොරු කිව්වා එදා ඉස්කෝලෙ ආවා කියලා කෙල්ල අප්සෙට් යන නිසා.."

මට ඇය ගැන පුදුමාකාර ආදරයක් දැනුනි. මොනම හේතුවක් නිසාවත් යළි පාසැල් නෑවිදින් නොසිටින්නට සිතාගත්තෙමි.

"චාපාගෙ ගෙදර තත්වෙ කොහොමද ඉරේෂා? .."

"ඒකෙ ඇති වෙනසක් නැහැ ගිම්හාන.  ආ..මේක චාපා ඔයාට දෙන්න කිව්වා..."

ඉරේෂා ඇයගේ පොතක් දිගහැර දෙකට තුනට නවා තිබූ කොලයක් මට දුන්නාය. එය චාපා දුන් ලිපියකි. මට පුදුමාකාර සතුටක් දැනුනි.

"යන්තං ඇති. දැනුයි මූණට හිනාවක් ආවෙ..."

ඉරේෂාද සිනාසී පන්තියෙන් එළියට ගියාය. තව මොහොතක් හෝ නාස්ති නොකර මම ලිපිය දිගහැර පොතක් තුළට දමාගෙන කියවන්නට ගත්තේය.

මගේම ගිම්හාන,
ඔයා සනීපෙන් නේද මහත්තයෝ. මම හැමදාම ඉරේෂාගෙන් ඔයාගැන අහනවා. තරහ නැහැ නේද? ගිම්හාන ඔයා මේ ප‍්‍රශ්න ගැන හිතන්නෙපා. මම ඔයාගෙන් ඉල්ලපු දේ මතකයි නේද? හැමදාම ඉස්කෝලෙ එන්න ඉගැන්නුවත් නැතත්. හවසට ක්ලාස් ගිහින් ඇවිත් රෑට පාඩම් කරන්න පුළුවන් තරම්. මාස 05ක් කියන්නෙ ඒ තරම් ලොකු කාලයක් නෙවෙයිනෙ. එහෙ බලලා මෙහෙ බලද්දි ගෙවිලත් තියෙයි. ඔයාට වැඩ වැඩි උනාම මේ ප‍්‍රශ්න ගැන හිතන්න වෙලාවක් නැතිවෙයි. එතකොට ඔයාගෙ හිතත් නිදහස්. ඔයා කොහොම හරි එක්සෑම් හොදටම පාස්වෙන්න. ඒකනෙ රත්තරං මගේ එකම හීනෙ. 
මට ඉස්කෝලෙ එන්න වෙන්නෙ නැති එක ගැන ඔයා හිතන්න යන්නෙපා. ඒක මගෙ ලැබීම. මට ඔයාව දකින්න ගොඩක් ආසයි. හරිම පාළුයි ඔයා නැති ජීවිතේ. ඒත් මාව දැකලා ඔයා ආයෙමත් අවුල් වෙයි. ඒ නිසා ඒක එපා. මගේ හැඟීම් වලට වඩා මට ඔයාගෙ අනාගතේ වටිනවා. මම ඔයාට ගොඩාක් ආදරෙයි ගිම්හාන. ගොඩක්ම. 
මට දැන් ගෙදරට වෙලා මෙහෙම හිර වෙලා ඉන්න එක හරි සන්තෝසෙන් ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙ අපේ ලස්සන මතයකන් ගොඩක් ඉතුරු උන නිසා. ඒ තරමට ඔයා මට ආදරේ දීලා තියෙනවා. ඒකට ඔයාට ගොඩක් පිං සිද්ද වෙනවා. අනේ මම හරිම ආදරෙයි ඔයාට. පරිස්සමින් ඉන්න මගෙ මහත්තයො. මට ඉන්නෙ ඔයා විතරයි. කරදර වලට පැටලෙන්න යන්නෙපා. මේක අපේ නරක කාලයක් වෙන්නැති. සමහරවිට ඉක්මනට අපිට හොද කාලයක් එයි.

බුදු සරණයි ඔයාට,
ඔයාගෙම,
චාපා...

මගේ නෙතගට කදුලක් ඉනුවෙ නොදැනීමය. මෙතරම් ආදරයක් ලබන්නට තරම් මම කල පින කුමක්දැයි මටම නොතේරේ. නොකීවාට ඇය ගොඩක් දුක්විදින බව මම හොදාකාරවම දනිමි. නමුත් ඇයට උවමනා මගේ හිත හදන්නටය. ඇයනම් පුදුමාකාර සෙනෙහසක් තිබෙන යුවතියකි.
විවේක කාලයේදි මම ඉරේෂා සමග කතා කලේය.

"මට චාපාව හම්බවෙන්න විදිහක් නැද්ද ඉරේෂා?.."

"ඔය හදන්නෙ ආයෙමත් ප‍්‍රශ්නයක් ඇතිකර ගන්න නේද?.."

"නැහැ ඉරේෂා මේකෙ මොකක්හරි විසදුමක් තියෙන්නත් එපැයි.නොකිව්වට එයත් දුක් විදිනවා. මගෙත් ඔලුව අවුල්. අනිත් දේවල් කොහොම උනත් මට එයාව දකින්නැතුව මේ විදියට ඉන්න අමාරුයි ඉරේෂා. මොකක්ද මේ ජීවිතේ?..."

"කලබල වෙලා තීරණ ගන්නෙපා ගිම්හාන. කෙල්ලගෙ පැත්තෙනුත් හිතලා අපි ටිකක් ඉවසමු..."

සුසුම් හෙලනවා හැරෙන්නට ඇත්තෙන්ම මට කරන්නට දෙයක් කවර කොනකින්වත් නොපෙනේ.

"මට තව දවස් දෙක තුනක් දෙන්න. මම ඔයාට චාපාව මුනගස්සන්නම්. ඔය දෙන්නා දෙපැත්තට වෙලා හූල්ල හූල්ල ඉන්න එක මට බලන් ඉන්නත් බෑ..."
හිතට දැනුනේ සැනසීමකි.

"ඔයාට පිං ඉරේෂා..."
දැන් දින දෙක තුනකට හෝ සතුටින් ජීවත් වීමට බලාපොරොත්තුවක් ඇත.


(චාපා 24 වන කොටස සමගින් හමුවෙමු...)

No comments:

Post a Comment

 

Sample text

Sample Text