Social Icons

Wednesday, August 7, 2013

චාපා 30 (අවසාන කොටස)


    දැඩි සත්කාර ඒකකයේ දොර අරිද්දිම මට දකින්නට වූයේ ජීවිතයේ කෙදිනකවත් දකින්නට බලාපොරොත්තුවූ දසුනක් නොවේය. නිල් පැහැති රෝහල් ඇදුමකින් සිටි ඇයට යන්ත‍්‍රයක ආධාරයෙන් ඔක්සිජන් ලබා දෙමින් තිබුණි. දකුණු පසින් ආධාරකයක එල්ලන ලද සේලයින් බෝතලයක කෙලවර චාපාගේ අතක් සිදුරු කර ඇත. මට ඇතිවූයේ දරාගත නොහැකි දුකකි.

"අංකල් ඇයි මේ? චාපට හුගක් අමාරුද..?"

"පේෂන්ට්ව ගේන්න ටිකක් පරක්කු උනා පුතා. නැත්තම් මේතරම් අමාරු වෙන්නෑ. දැනටනම් අපිට කරන්න පුළුවන් හැමදේම කරලා තියෙන්නෙ. ඒත් ඇත්තම කියනවානම් පේෂන්ට්ට අමාරුයි..."
මම ඇය අසල ඇද කෙලවරේ ඉදගත්තේය.

"පුතා මම විනාඩි දහයකින් එනවා, ඉක්මනට පේෂන්ට්ව බලලා එළියට යන්න. එයාට කොයිම වෙලාවක හරි සිහිය එන්න පුළුවන්. මේක අපි හැමෝම අමාරුවේ වැටෙන වැඩක්, තේරුණාද..."
කල්පගේ මාමා එළියට ගියේය. මට දැනුනේ පුදුමාකාර හිස් හැඟීමකි...

"සුදූ..."
මම ඇයගේ අතකින් අල්ලා ගත්තේය. වෙනදා මටත් කලින් මගේ අතේ වෙලෙන ඒ අත අද අප‍්‍රාණිකය.

"සුදූ මං දිහා බලන්න..."
දුටු මුල්දිනයේ මෙන්ම අදත් ඒ මුහුණ පියකරුය. ඇය හුස්ම ගත්තේ අපහසුවෙනි.

"ඇයි සුදූ මෙහෙම දෙයක් කරගත්තෙ? ආදරෙ නැද්ද මට? මාව දාලා යන්න පුළුවන්ද එහෙම..?"

මගේ කදුළු බින්දුවක් ඇගේ පිටි අල්ල මතට වැටුනේය. වෙනදා මේ අත අල්ලා ගන්නේ එහි ඇති උණුසුමට ලෝභකමේය. නමුත් අද ඒ අත සීතලවී ඇත.

"මම කොහොමද ඔයා මෙහෙම ඉන්නවා බලන් ඉන්නෙ දන්නවාද මට කොයිතරම් දුකයිද කියලා. මමයි මේ හැමදේටම වැරදි. පාඩුවේ ඉදපු ඔයාව දුක විතරක් ඉතුරු කරන බැදීමක පටල ගත්තට. පුළුවන්නම් මට සමාව දෙන්න.."

මම ඒ අත ගෙන සිපගත්තේ අපමණ සෙනෙහසකිනි. ඇය කොන්දෙන් ඉස්සෙමින් එකවර තදින් හුස්මක් ගත්තේය.

"සුදූ... අමාරුද ඔයාට..."

ඇය වරක් ඇස්ඇර බලා නැවතත් පියවා ගත්තාය. ඇයට සිහිය එනවා විය හැකිය. නර්ස් කෙනෙක්ට කතාකරන්නටවත් මට එළියට යාමට හැකියාවක් නැත.

"සුදූ..."

එකවර ඇය මගේ අත තදින් අල්ලා ගත්තාය. මට පුදුමාකාර සතුටක් දැනුණි. ඇය නැගිටින්නට හැදුවාය.

"ගිම්..හා..."

"ඔහොම්ම ඉන්න. කතා කරන්න එපා රත්තරං. ඔයාට අමාරුයිනෙ..."

"කො..හෙද මේ..."

"ඔයාට අසනීප උනානෙ.. ඉතිං හොස්පිට්ල් ගෙනාවා.. දැන් මුකුත් කල්පනා කරන්න එපා.. තව ටිකක් නිදා ගන්න.."
මම ඇයගේ හිස ආදරයෙන් අතගෑවේය.

"මාව.. රට.. ගෙනි..."

"නෑ සුදූ ඔයාව කොහෙවත් අරන් ගියේ නෑ. කතා කරන්න එපා පුතේ. ඔයාට හොද නෑ..."

"නෑ.. ම..ට පුළුව..න්.."

"හ්ම්.. ඒත් මට මෙතන ගොඩක් වෙලා ඉන්න බෑ සුදූ... ඉක්මනට යන්න වෙනවා. හරිම අමාරුවෙන් මෙහෙම හරි ඔයා ළඟට ආවේ.."

"අනේ.. යන්..න එපා..."
ඇය අපහසුවෙන් මගේ අත තදකර අල්ලාගත්තාය.

"මට.. සමාව දෙ..නවා නේ..ද..?"
ඇය මගේ ඇස් දිහා බලමින් ඇසුවෙ අහිංසකවය.

"මමයි සමාව ඉල්ලන්න ඕනෙ ඔයාට මෙහෙම කලාට.. දැන් ඕවා හිතන්නෙපා.  අපි ඉක්මනට සනීපවෙලා ඉමු, හොදද.."

"ඒත් මා..වා ආයෙ රට ය..වයි.."

"එහෙම වෙන්නෙ නෑ සුදූ.. අපි බලමු මොනවා හරි කරන්න.."
ඇය අපහසුවෙන් සිනාසුනාය.

"අමාරුද ඔයාට..?"

"කවදා.වත් තනිවෙ..න්න එ.පා.."
මම ඇසූ දෙයට ඇය පිළිතුරු දුන්නේ නැත.

"හොදට ඉ..ගෙන ගන්න. හැමෝ..ටම පේන්න. ම..ගේ ආදරේට වටිනකමක් දෙන්..න මහත්තයෝ...."

"ඔයා කියපු කිසිම දෙයක් මම නොකර ඉදලා තියෙනවද..?"

"මං කාත් එක්..කවත් ගියේ.. නෑ.. මුලි..න්මයි අන්තිමටයි ඇල්..ලුවෙ මේ අත..."
ඇය මගේ අතගෙන පපුව උඩින් තියාගත්තාය. 

"ඔයාගෙ අයියා එන්න කලින් මම යන්න ඕනෙ රත්තරං.."

"ඉන්..න ටිකක්.. මාත් එනවා.."
ඇය සිටින්නේ තවමත් හරියටම පියවි සිහියේ නොවෙන්නට ඇත.

"නිදි මතයි නේද ඔයාට.. නිදාගන්න ටිකක්.."
ගිම්හානට නොකීවාට චාපා සිටියේ දැඩි වේදනාවකිනි. ඇයට ශරීරය අභ්‍යන්තරයෙන් ලොකු වෙනසක් දැනෙන්නට ගත්තාය. 

"එ..දා පාර්.ක් එ..කේ..දි...."
ඇයට වචන පිටවන්නේම නැති තරම්ය.

"මම කිව්වා දව..සක ඇති තර..ම් කිස් දෙන්..න..ම් කියලා... ඒත්...."

"හරි සුදූ ඔයා සනීපවෙලා එනවානෙ. එතකොට මම ළඟටම වෙලා ඉන්නම්.."
ඇය කතාකරන දේවල්වල අමුත්තක් ගිම්හානට නොදැනුනාම නොවේ නමුත් ඔහු එය නොසිතා ඉන්නට හැදුවේ හිතට දැනුන බිය නිසාය.

"ම්හ්.. මට.. නළලට....."

මගේ ඇතුළු ළයම කඩා වැටුනේ ඇය එය කියූ අසරණ විලාසයටය. චාපා මට මේතරම් ආදරේ කරන්නේ කෙසේදැයි මට සිතාගැනීමටවත් නොහැක. මම පහත්වී උතුරා ගලායන තරම් සෙනෙහසකින් ඇයගේ නළල සිපගත්තේය. චාපා දිග හුස්මක් ඉහලට ඇද මගේ අත අත්හැරියාය.



සමාප්තයි !

පසුවදන:
     චාපා නමින් කොටස් 30 කින් පලවූ යොවුන් නවකතාව අදින් මෙසේ නිමාවට පත්වෙන බව මෙය මෙතෙක් කියැවූ පාඨක ඔබට දැනුම්දෙන්නේ සතුටින් නම් නොවේ. චාපා අවසාන කොටසේ සමාප්තයි යනුවෙන් අකුරු අමුණන විට මට දැනුනේ වචන කල නොහැකි දුකකි. චාපාගේ අවසානය ගැන පාඨක ඔබේ අදහස කවරාකාර වුවත් වෙනස් කල නොහැකි සත්‍යය එයවේ. මන්ද මෙය ලිවීමට පටන්ගෙන කොටස් දෙක තුන පලවද්දී මට ලැබෙන්නට වූ ප‍්‍රතිචාරවලින් බොහෝමයක කියැවුනේ චාපා කතාව හොදම විදියට අවසන් කරන ලෙසයි. ඇතැම් ඒවා තර්ජනද විය. කෙසේ නමුත් මෙය මීට වසර නවයකට පෙර උසස්පෙළ සමයේ ඉතිරිවූ හිස්කොලවල ලියා අවසන්ව තිබූ කතාවක් බැවින් එහි අවසානය කෙසේවත් වෙනස් කල නොහැකිව තිබුණි. එබැවින් තමන්ට රිසි පරිදි මෙහි අවසානය භාර ගැනීම පාඨක ඔබට භාරය.කෙසේවෙතත් පසුවදනක් ලෙස මට ලිවීමට කරුණු කිහිපයක් නොලියාම බැරිය. 
පලමුවෙන්ම චාපා සමග මුල සිටම රැදී සිට එය කියැවීමෙන් නොනැවතී මා දිරිමත් කල පාඨකයන් කිහිපදෙනෙකුට හදපිරි ස්තූතිය පුදකිරීමට මෙය අවස්ථාව කර ගනිමි. ඉන් බොහෝ අය ඊළඟ කොටස පල කිරීමට ප‍්‍රමාදවූ විට බැන වැදුණ අවස්ථා එමටය. ඔවුන් සැමදෙනාටම මා සමගින් සිටීම පිළිබදව නැවත වරක් කෘතඥපූරක වීමට කැමැත්තෙමි.

පොත් අතරේ පුස්කා විනාශ වන්නට තිබූ 'චාපා' මා බ්ලොග් පිටු අතරට එක්කලේ හුදෙක් මගේ හිතසුව පිණිස පමණක් වුවත් නොසිතූ පරිදි එයට ප‍්‍රතිචාර ලැබීම මගේ පුදුමයට හේතුවිය. නමුත් කණගාටුවට කරුණ නම් ඒවායින් බොහෝ ප‍්‍රතිචාර රහසිගත ඒවා වීමයි. බොහෝදෙනෙක් බ්ලොග් පිටුවේම අදහස් දක්වනවා වෙනුවට මුහුණු පොතේ පුද්ගලික පණිවුඩ ලෙස ඒවා එවීය. අප හැමෝම නොකියන අපේම කතාවක් ඇත. එය තමන්ට ලියන්නට නොහැකිවූ කල කවුරුන්හෝ ලියනාලද කතාවකට අප ආශා කරන්නේ ඒ නිසාය. ඇතැමෙක් තමන්ගේ ජීවිත කතාවන්වල සමානකම් දැක චාපාට පෙම්බැන්දේය. ඇතැමෙක්ට උවමනා වූයේ චාපා හා ගිම්හාන මෙන් ආදරය කිරීමටය. ඒ අතරම ඇතැමෙක් චාපා විවේචනය කල අතර ඇත්ත ලෝකයේ කිසිවෙකු මෙසේ ආදරය නොකරන බවට දෝෂාරෝපණය කලේය. ඒ සියලු අදහස් තම තම නැණ පමණින් මෙන්ම තම තම අත්දැකීම් අනුවය.

කෙසේ වෙතත් චාපා අදින් අවසන්ය. චාපාලා ගිම්හානලා අඩුවැඩි අයුරින් අප සමාජයේ අප අතරේම ජීවත් වෙයි. චාපා පළමු වරට ලියනවිට මා අසාවත් නොතිබූ ඇතැම් දෙබස්, ස්ථාන, සිදුවීම් වසර නවයක් ගෙවුණු තැන අසන්නට දකින්නට සිදුවීම දෛවයේ අපූර්වත්වයක් මට කියාදුන් බව පමණක් කිව හැක.

'චාපා' සමග රැදී සිටි,
ඔබ සැමට,
ස්තූතියි !

- නිරෝෂ් මෛති‍්‍ර -
- 2013/08/05 -




No comments:

Post a Comment

 

Sample text

Sample Text