Social Icons

Tuesday, May 21, 2013

චාපා 04




   පාසලට ආ දිනයේ සිට කුමක් හෝ බාහිර කි‍්‍රයාකාරකමක් කිරීමේ ආශාවෙන් සිටියද විවිධ හේතු නිසා එය මගහැරී ගියේය. කල්ප හා චාමර විවාද කණ්ඩායමේ සාමාජිකයින්ය. ඔවුන් මට විවාද කණ්ඩායමට එක්වෙන ලෙසට අවස්ථා කිහිපයකදීම ඇවිටිලි කලද මගේ ඉදිරිපත්වීමේ හැකියාව එතරම් හොද මට්ටමක නොතිබූ නිසා මම එයට අකමැති විය.මම වඩාත් කැමැත්තෙන් සිටියේ තූර්ය වාදක කණ්ඩායමට සම්බන්ධවීමටය. නමුත් ඒ වන විටත් එයට සිසුන් බදවාගෙන අවසානය. උදාරගේ මාර්ගයෙන් දැනගන්නට ලැබුනේ පාසලේ චෙස් සංගමයක් ඇතිබවය.
කුඩාකල සිටම මට හොදින් ක‍්‍රිඩාකල හැක්කේ කි‍්‍රකට් හා චෙස් පමණි. එබැවින් මම පාසල නිමවීමෙන් පසුව චෙස් පුහුණුවීම් කරන පන්ති කාමරය වෙත ගියේ එම පිරිසට මා අළුත් බැවින් යම් චකිතයකිනි.

මට වෙන්නේ අර කාටද මන්දා නිතර වෙන දේවල්ය.චෙස් සංගමයේ පුහුණුවීම් වෙන තැන චාපාද සිටියි. ඇය දැක මගේ ඉහේ මලක් පිපුනාක් මෙන් විය. ඇය මා දුටුවේ නැත. මම විනාඩියක්.. දෙකක්.. තුනක්.. පමණ එක දිගට ඇය දෙස බලා සිටියේය. ඇය සමග කතාකරනවාද නැද්ද. 

"ඔයා මේකෙත් ඉන්නවාද?.."
චාපා හැරී බැලුවාය. ඇගේ මුහුණේ සිහින් සිනාවක් ඇදුනි. ඔහොම හිනාවෙන්නට එපා යැයි මට කියන්න සිතුණි.

"ඔවු.. ප‍්‍රයිමරි ළමයිව ප‍්‍රැක්ටිස් කරන්නෙ මම.."

"ඒ කියන්නෙ  එහෙනම් චෙස් චැම්පියන් කෙනෙක්.."
ආයෙත් ඒ සිනාවයි.

"ඇයි ඔයා මෙහේ ?..."

"මාත් ආසයි චෙස් ඉගෙන ගන්න.."
මම චෙස් දන්නා බවක් ඇයට ඇගවිය යුතු නැත.

"නන්දා ටීචනම් පි‍්‍රන්සිපල් සර් හම්බවෙන්න ගියා. එතකං ඔයා මේ බෝඩ් එක අරන් ප‍්‍රැක්ටිස් වෙන්න..."
ඇය මට චෙස් බෝඩ් එකක් පෙන්වා කීවාය.

"මේකෙ දාං ඉත්තො කපනවා වගේද කපන්නෙ?.."
ඇය මට බෝඩ් එක දී යාවි යැයි සිතා මම ප‍්‍රශ්න අසන්නට ගත්තේය. ඇය අතින් කට වසාගෙන සිනාසුනි.

"නැහැ මේක ඊට වඩා ගොඩක් වෙනස් හැබැයි මෝඩයන්ට නම් කරන්න අමාරුයි.."
ඇය තොලක් සපාගෙන හොරැහින් බලා කීවාය. එහෙනම් ඔයාත් අදින්නෙ යැයි වෙන කෙනෙක්ටනම් පිළිතුරු දෙන්නට තිබුණි.එහෙත් ඇයට එසේ කීමට නොහැක.

"ආ.. අපි ගැන එහෙම වෙන්නැති හිතාගෙන ඉන්නෙ..."

"හරි ඉන්නකො මම කියලා දෙන්න..."
ඇය ඉත්තන් පිළිවෙලට සකසයි. මම ඇගේ ඇඟිළි තුඩු පිළිවෙලට එහා මෙහා යන ආකාරය බලා සිටියේය. 

"හරි.. මේ පෝන්.."

මම ගැස්සී ගියේය. ඇය ඉත්තන් පෙන්වමින් මට ඔවුන්ව හදුන්වා දෙයි. නමුත් ඇයට අවශ්‍යනම් මට මොවුන්ට නම් වැටුන හැටිද කිව හැක.

"මේ රුක්.. මේ බිෂොප්..."

"මෙයා කවුද?.."
මම ක්වීන් පෙන්වා ඇසුවේය.

"ඔය ක්වීන්.."
'ඔයා වගේමයි' කියන්න කට නලියයි. වේලාසනින් ටිකට් කපාගත යුතු නැත. ඇය සියල්ල මට හදුන්වාදී අදින්නට පටන්ගත්තාය.

"ඔයාගෙ බිෂොප් කැපෙනවා බේරගන්න.."

"බේරගන්න බැරිඋනොත්...."

"කිංට බලපෑම් වැඩියි. එහෙම උනොත් ඔයා පරදිනවා.."

ඇය උනන්දුවෙන් කී‍්‍රඩාව කරයි.මම බලා සිටියේ ඇය දෙසය. ඇයගේ ඇස් මෙතරම් ලස්සන වූයේ කෙසේද?  මම නොසිතූ මොහොතක ඇයද දෙනෙත් එසෙව්වාය. දැන් බිම බලාගැනීමට පරක්කු වැඩිය. ඇය සෙමින් නැවතත් පුවරුව දෙසට දෙනෙත් බර කර ගත්තාය.
මගේ ඉත්තන් පිට පිටම කැපේ. ඇය ඉන් අපමණ සතුටක් ලැබූ බව ඇගේ මුහුණෙ ඇති ජයග‍්‍රාහී හිනාවෙන් පෙනෙයි. දැන් මගේ වැඩ පෙන්විය යුතු වෙලාවයි.මම අවස්ථා දෙකකදී ඇයගේ රුක්ලා කපා දැම්මේය.

"ඒ... කොහොමද කලේ ?.."

"අනේ මන්දා.."
මගේ ඉතිරිව ඇත්තේ ක්වීන් එක රුක් කෙනෙක් හා නයිට්ලා දෙදෙනාය. මම ඇයගේ කිං කොටුකර දැමීය. දැන් ඇයට කිං ඇදීමට කොටුවක් ඉතිරිව නැත.

"චෙක් මේට්.."
මම පුරුද්දට කියවිණි.

"ඔයා කොහොමද චෙක් මේට් කරන හැටි දන්නෙ? මම කියලා දුන්නෙත් නෑනෙ?.."

"නෑ... මං මේ...."

"බොරුකාරයා, චෙස් දැනගෙන ඉදලා දන්නෑ වගේ රඟපෑවා නේද ?.."
ඇය මුහුණ ඇඹුල්කරගෙන නැගිට්ටාය. ඇය පරාජයවීම ගැන ඇයට තරහ එන්නට ඇත.මට සිනාගියේය.

"හැක හැක තමා.."
ඇය නැගිට යන්නට හැදුවාය. 

"චාපා.."
මට එකවරම ඇයගේ අතකින් ඇල්ලිණි. ඇය ඇස් ලොකුකරගෙන හැරී බැලුවාය. මම හෙමින් ඇයගේ අත අතහැරියේය.

"සොරි.."

"පිස්සෙක්.."

ඇය මුහුණ අමුතුකර යන්නට ගියාය. මම ඈ දෙසම බලා සිටියේ කියාගන්නට නොහැකි හැඟීම් ගොඩක් හිත ඇතුලේ තෙරපෙද්දිය.ඇය චෙස් කාමරයෙන් පිටවීමට පෙර තව වරක් හැරී බැලීය.

"යෙස්.."

මට කියවිණි. ළඟ සිටි කුඩා ළමයි කිහිපදෙනෙක් හැරී මා දෙස බැලුවෙ අමුතු විදියටය. 

********************************************************************************

පසුවදා පාසැල් ආවේ චකිතයකිනි. මන්ද ඊයේ සිදුවීමෙන් චාපා මා සමග අමනාප වී ඇද්දැයි සැකයක් තිබුනේය. අද ප‍්‍රමාද වී තිබුණද තවමත් පළමුවන කාල පරිච්ඡේදය ආරම්භවී නොතිබුනේය. මම පන්තියට ඇතුලට ආවේ චාපා සිටින ඩෙස්ක් එක දෙස බලාගෙනමය. ඇය සටහනක් ලියමින් හිද හිස ඔසවා බැලුවාය. මම ඇය සමග චකිතයකින් සිනාසුනේය. ඇයද ලෝබ නැතුව සිනාසුනාය. ඇගට ලේ ටිකක් ඉනුවේ දැන්ය.
තවත් මට මෙය සිතේ තබාගෙන සිටිය නොහැක. විවේක කාලයේදී පාප මිත‍්‍රයන් දෙදෙනාට සියල්ල කියනවා යැයි සිතා ගත්තේය.

"ඒයි ඉරේෂා මොකද බං අර සදමාලි මූණ එල්ලන් ඉන්නෙ?..."
ජීවන්ත පසුපස පේලියේ සිට බෙරිහන් දුන්නේය.

"නදුන් අයියා සතියකට ඉන්දියා යනවනෙ ජීවන්ත කරාටේ ටූනමන්ට් එකට. ඒකයි ඔය..."
නදුන් යනු ජීව විද්‍යා පන්තියේ අවසාන වසරේ ඉගෙන ගන්නා සිසුවෙකි. ඔහු පාසලේ පමණක් නොවෙ සමස්ත ලංකා මට්ටමේ ජනපි‍්‍රය කරාටේ කී‍්‍රඩකයෙකි. එමෙන්ම සදමාලිගේ පෙම්වතාය.

"මේක හරි වැඩක්නෙ යකෝ, ඌ යන්නෙ ඉන්දියාවට මිසක් යුද්ධෙට නෙවෙයිනෙ?
අනේ අම්මපා අපි ගිලිලා මලත් අඩන්න එකෙක් නැති හැටි..."

"ඉතින් හොයාගන්න එකනෙ තියෙන්නෙ අනුන්ගෙ ඒවා බල බල හූල්ලන්නැතුව.."
ඉන්දීවරී සදමාලිව ආරක්ෂා කරන්න සිතාගෙන කීවාය.

"ඔයාගේ කකුළෙ බකලෙ තිබ්බෙ නැත්තම් මම එකෙන්ම කැමති වෙනවා රත්තරං. අපේ අම්මා කැමති වෙන එකක් නෑ බකල කෑල්ලක් මම ගෙදරට ගේනවට..."
මුළු පන්තියම සිනාසුනි. ඉන්දීවරීට ඇති බකලයක් නැත. ජීවන්තව අවුස්ස ගත්තොත් ඔහොම්මමය.

මම විවේක කාලයේදී කල්පට හා චාමරට පෙරදා සිදූවු සිදුවීමත් සමග මගේ සිතේ ඇති හැමදෙයක්ම කීවේය.

"අම්මට සිරි ගෙම්බෙක් ගිය උඩක්.."

"මම සීරියස් කියන්නෙ බං.."

"මම කියන්නද? අපි මේක සුරේෂිට කියමු ඒකි තමයි අභ්‍යන්තර පේ‍්‍රම කටයුතු භාරව ඉන්නෙ.."

"සුරේෂි නායිද ?..."

"නැහැ.. නැහැ.. උඹ බය නැතුව ඉදින්.සුරේෂි ඔයිට වඩා ඒවා ගොඩදාලා තියෙනවා..."

"හැබැයි උඹලා මේක සුරේෂිට කියන්න ඕනෙ හෙට හරිද?.."

"ඇයි හෙට කෙම්මුර දවසක්ද?.."
කල්ප මගේ බඩට ගසා ඇසුවේය.

"උඹ පැහෙන්නෙ නැතුව හෙට සුරේෂිට කියලා වැඬේ ගොඩදාපන්කො. හරිද?.."

මම හෙට පාසැල් නොඑන්නට සිතා ගත්තේය. හෙට ඇතිවන මේ ඇතිවන්නට යන භීෂණකාරී තත්ත්වය මට නුහුරුය. ඒ ආදරය මට කුළුදුල් මාතෘකාවක් වන බැවිනි. 



හිස් අතින්ම එන්න ආදරය අරන්...

(චාපා 05 වන කොටස සමගින් හමුවෙමු...)


- නිරෝෂ් මෛති‍්‍ර -
- 2004 -

මෙතනින් (චාපා 05)
මෙතනින් (චාපා 06)
මෙතනින් (චාපා 07)
මෙතනින් (චාපා 08)
මෙතනින් (චාපා 09)
මෙතනින් (චාපා 10)


Sunday, May 19, 2013

Heer - (අතිශයින් හින්දි රසිකයන් සදහා පමණයි)




Jab Tak Hai Jaan පසුගිය කාලයේ අතිශය ජනපි‍්‍රයත්වයට පත් චිත‍්‍රපටයක්. එහි තවත් විශේෂත්වයක් වන්නේ බොලිවුඩ් සිනමාවේ ආදරණීයම චිත‍්‍රපට නිෂ්පාදකයා වන යශ් චෝප්රා (King of Romance) අතින් නිර්මාණය වූ අවසාන චිත‍්‍රපටය වන නිසාය. මෙම සටහනෙන් බලාපොරොත්තු වන්නේ යශ් චෝප්රා ගැන හෝ Jab Tak Hai Jaan චිත‍්‍රපටය ගැන කතාබහ කිරීම නොව එහි එන අපූරු ගීයක යට ගියාව පිළිබද විශේෂ සටහනක් ඉදිරිපත් කිරීමටය.
සුන්දර ගීත රැසකින් හෙබි Jab Tak Hai Jaan චිත‍්‍රපටයේ එන "Heer" නම් පන්ජාබ් ගීතය විරහ ගීයකි. එහි තාලයත්, ගායිකාවගේ හඩත් හින්දි ගීත ලෝලීන්ගේ සිත් වසග කරගන්නේ අපූරු ආකාරයෙනි. මන්ද එය පන්ජාබ් ගීතයක් වූවද මෙතරම් ජනපි‍්‍රයත්වයක් දිනාගන්නේ එහි ඇති අපූර්වත්වය නිසාවෙනි.
පන්ජාබයේ එන ඉතිහාස කතා දෙකක් නොදැන සිටියහොත් ඔබට "Heer" ගීතයේ අරුත වැටහෙන්නේ නැත.
එම කතා දෙක නම්, හීර් - රන්ජා (Heer - Ranjha) හා මිර්සා - සහිබා (Mirza - Sahiba) යන ආදර කතා දෙකයි.

Heer - Ranjha - 'හීර්' කියන්නේ ජන්ජාබයේ ජාන්ග් නගරයේ ධනවත් පවුලක උපන් ඉතාමත් සුරූපි තරුණියක්. 'රාන්ජා' ජන්ජාබයේ ටාක්ත් හසාරා නගරයේ සිවුදෙනෙකුන් යුක්ත පවුලේ බාලයායි.
තරුණ රාන්ජා තම සහෝදරයන්ගේ මදිපුංචිකම් ඉවසාගත නොහැකිව ගෙදරින් පිටවී රැකියාවක් සොයාගෙන ජාන්ග් නගරයට පැමිනෙනවා. එහිදී ඔහුට හීර් මුණ ගැසීමෙන් පසුව හීර් තම පියාට අයත් ගව රැළක ගොපල්ලෙකු වශයෙන් ඔහුට රැකියාවක් ලබාදෙනවා. රාන්ජා දක්ෂ බටනලා වාදකයෙක්. ඔහුගේ බටනලා වාදනයට හීර් ඉතාමත් ආශා කරනවා. සෑම දිනකම ඔහුගේ වාදනය ඇසීමට හීර් පැමිණෙනවා. පසුව ඔවුන් නොදැනීම පේ‍්‍රමවන්තයින් වනවා. මෙම ආදරය වසර ගණනනාවක් හොර රහසේ පැවතියත් හීර්ගේ මාමා කෙනෙකුට මොවුන්ගේ පේ‍්‍රමය ආරංචි වෙනවා. පසුව හීර්ගේ දෙමාපියන් ඇයගේ අකමැත්තෙන් 'සයිදා කේරා' නම් පුද්ගලයෙකුට විවාහ කරදෙනවා.

Mirza - Sahiba - චෞද්රි වන්ජාල් ඛාන්ගේ පුතා වන 'මිර්සා' ඔහුගේ අධ්‍යාපන කටයුතු සදහා 'කීවාන්' ප‍්‍රදේශයේ නෑදෑ නිවසක නතරකර තබනවා. එහිදී ඔහුට 'සාහිබා' නම් රූමත් තරුණිය මූණ ගැසී ඔවුන් දෙදෙනා ආදරය කිරීමට පටන්ගන්නවා.කල්යත්ම සාහිබාගේ දෙමාපියන් ඇයව 'තහා ඛාන්' නම් පුද්ගලයෙකුට විවාහකරදීමට සූදානම් වනවා.
මෙය සැලවූ මිර්සා ඇයගේ මෙහෙන්දී උත්සවයේදී අශ්ව කරත්තයකින් පැමිණ ඇයව රහසේම රැගෙන යනවා. නමුත් සාහිබාගේ සහෝදරයන්ට මෙය ආරංචිවී ඔවුන් දෙදෙනා සොයාගෙන ලුහුබදිනවා. බොහෝ වේලාවක් ගමන්කල නිසා මිර්සා ගසක් යට අශ්ව කරත්තය නවත්වා සාහිබාගේ උකුළ මත හිස තබාගෙන විවේක ගන්නවා. සාහිබා තම සහෝදරයින් දුරින් එනවා දැක කළබල වනවා. මන්ද මිර්සා හොදින් පුහුණුවූ දුණුවායෙක් බැවින් ඔහු අවදිවුවහොත් ඔහුගේ දුණු පහරින් තම සහෝදරයින් මියයාවියැයි ඇය බියවනවා. එබැවින් ඇය මිර්සා නිදාසිටියදී ඔහුගේ ඊතළ කඩාදමනවා. ඇයගේ සහෝදරයින් ඇයට ගොඩක් ආදරය කරන බව දන්නා සාහිබා ඇයව දුටු පමණින් ඔවුන්ගේ සිත් වෙනස්වී ඔවුන් දෙදෙනාට අනතුරක් නොකර ආශිර්වාද කොට ඔවුන්ව ගෙදර ගෙනයාවියැයි ඇය විශ්වාස කරනවා. නමුත් සිදුවන්නේ අනෙකක්. මිර්සාව වටකරගන්නා සහෝදරයින් ඇතුළු පිරිස ඔහුට පහර දෙනවා. අවදිවූ මිර්සාද ඔවුන් සමග සටන් කලද පිරිස විශාල නිසාත් ඔහුගේ ඊතළද නොමැති නිසාත් සාහිබාගේ සහෝදරයන්ගේ කඩුපහරින් මරු වැළද ගන්නවා. කිසිවෙකුගේ ලේ වැගීරීමකට අකමැති වූ සාහිබා නොසිතූ අයුරින් සිය පේ‍්‍රමවන්තයා තමන් නිසා මියගිය ශෝකයෙන් ඔහුගේ කඩුව ගෙන මිර්සා ඉදිරියේම සියදිවි නසාගන්නවා. අදටත් මිර්සා හා සාහිබා පන්ජාබ් ජාතිකයින් අතර අමරණීය පේ‍්‍රමවන්තයින් දෙදෙනෙක්.


'Heer' ගීතය ගොඩනැගෙන්නේ මෙම පුරාවෘත්ත දෙක පදනම් කරගෙනය.


"Heer Heer na akho adiyo
Main te Sahiba hoi
Ghodi leke aave le jaaye
Ho mainu le jaaye Mirza koi
Le jaaye Mirza koi..."


"මට 'හීර්' කියා ආමන්ත‍්‍රණය නොකරන්න..

මම කැමතියි 'සාහිබා' කෙනෙක් වෙන්න...
මොකද එහෙම උනොත් විතරයි 
'මිර්සා' අශ්වයාගේ පිටින් ඇවිත් 
මාව එක්කගෙන යන්නෙ..."

- පද රචනය | ගුල්සාර් -


මෙතෙක් මේ ගීතය අසා නැත්නම් උනන්දුවෙන් එක්වරක් දෑස්වසාගෙන අසා බලන්න. ජීවිතයේ එක්දිනක් හෝ ආදරය කර ඇත්නම් සැබවින්ම මේ ගීතය ඔබේ හදවතට දැනේවි.



"Heer" ගීතය මෙතනින්...






Jab Tak Hai Jaan චිත‍්‍රපටය සංක්ෂිප්තව :

සමර් හට අනතුරක් සිදුවූ අවස්ථාවේ මීරා දෙවියන්ගෙන් ඔහුව සුව කරදෙන මෙන් ඉල්ලා සිටියාය. ඒ වෙනුවෙන් ඇය භාරවූයේ තමන්ගේ ආදරයයි. සමර් හට සුවවුවහොත් මින් පසුව ඔහුව මුණ නොගැසෙන බවට ඇය දෙවියන්ට පොරොන්දු වනවා. අවසාන වතාවට සමර් හමුවන ඇය රොජර් නම් විදේශිකයා හා විවාහ වෙන බවට පවසා ඔහුගෙන් සමුගන්නවා. පසුව ඉන්දියානු හමුදාවේ බෝම්බ නිශ්කී‍්‍රය අංශයට බැදෙන සමර් ජීවිතය පිළිබදව කිසිදු බලාපොරොත්තුවකින් තොරව සිය ආදරය සිතේ තබාගෙන අවදානම් දිවියක් ගෙවමින් ජීවත්වනවා.
වසර ගණනාවක් ගෙවුනු පසු අනපේක්ෂිත අන්දමින් අකීරාගේ මැදිහත්වීම නිසා සමර් හා මීරා මුණගැසෙන්නෙ කොපමණ දුරස් කරන්නට උත්සහ කලද ඔවුන්ගේ ආදරය යටපත් කිරීමට නොහැකිවූ නිසාවෙනි. නමුත් ඒ වන විටත් මීරා හෝ සමර් විවාහවී සිටියේ නැත.


- නිරෝෂ් මෛති‍්‍ර -
2013/05/19


Friday, May 10, 2013

චාපා 03



කලා උළෙලින් පසුව එක දිගට ඉගැන්වීමේ කටයුතු කෙරීගෙන ගිය නිසා පාසල තුළදී විවේකයක් ලැබුනේම නැත. පාඩම් රැසක් මගහැරීද තිබූ නිසා ආර්ථික විද්‍යාවට හා දේශපාලන විද්‍යාවට අමතර පන්ති දෙකකටද බැදුනේය. ආර්ථික විද්‍යාව සිතුවාට වඩා අමාරු වෙන තත්ත්වයක් උදාවෙන්නට පටන්ගත්තේ නොසිතුව පිරිද්දෙනි.
එබැවින් වැඩි බරක් දමා ආර්ථික විද්‍යාව සටහන් සම්පූර්ණ කරගත්තේය.

දිනක් ගම්පහ ආර්ථික විද්‍යා පන්ති නිමාවී දුම්රියපොළට එනවිට චාපාද එහි සිටිනු දැක මම පුදුමයට පත්විය. ඇය ඇඳ සිටියේ ලා නිල් පැහැති ලස්සන සල්වාර් එකකි. අද ඇය වෙනදාටත් වඩා සුන්දරය. ඇයද අමතර පන්ති පැමිණ ඇතිබව දැනගත්තේ ඇය අතේ දේශපාලන විද්‍යාව පොත්පත් තිබුණු නිසාවෙනි.ඇය සමග කතාකරන්නට සිතුනද මේ පාසල නොවන නිසාත් ඇය මාත් සමග එතරම් හිත හොද නැති නිසාත් ඇය මා සමග කතා නොකරාවි යැයි සැකයක් ඇතිවිය.
ටික වේලාවක් සිටින විට ඇය සමග තව දුරටත් කතානොකර සිටිය නොහැකි විය.වෙන දෙයක් වෙද්දෙන් කියා මා ඇය සමීපයට ගියේය.

"හලෝ මිස් මාව අදුනන්න පුළුවන්ද ..?"
කොච්චර ඩීසන් වෙන්න හැදුවද රස්තයාදුකාර වචන සෙට් එක ඉස්සරහට පනියි.

"ඔයා කොහෙද මෙහේ...?"
මම ඇසුවෙමි.

"ඇයි අපිට මෙහෙ එන්න බැරිද...?"

"අනේ නැහැ. මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක්නෙ. මිනිස්සුන්ට මූලික අයිතිවාසිකම් තියෙනවා. ඕන තැනක යන්න එන්න නිදහස තියෙනවා කියලා ව්‍යවස්ථාවෙම තියනවා..."

"අපෝ ඇති ඇති...ඇවිල්ලා සති තුනයි, පොලිටිකල් සයන්ස් කටපාඩම් කලාද...?"
චාපා සිනාසෙමින් ඇසුවාය. ඇය සිනාසෙන විට මට මෙතරම් සතුටක් දැනෙන්නේ ඇයි.
"ගෙදර යන්නද ඉන්නෙ..."

ඇය හිස වැනුවාය.

******************************************************

"උඹ ළඟදි ඉදන් එක විදියක්.."
විවේක කාලයේදි කල්ප මාත් සමග කතාවට වැටුනේය. චාමරද එතනට පැමිණියේ මගේ නරකම වෙලාවටය.

"උඹට විකාරද? මම මේ ඉන්නෙ දෙයියනේ කියලා..."

"අඩෝ එකට ඉන්න අපිට පොත් පෙරලන්න එපා.ඇත්තට අපිටත් හොරා මුකුත් උනාද උඹට...?"
මගේ මුහුනේ සිනාවක් ඇදුනේ චාපාව සිහිවීය. මුන් මේවා කොහොම දැනගන්නවාද?

"මුගේ නේද? මමත් නෝට් කලා. ළඟදි ඉදන් මුගේ මූණ හරි පෙම් පාටයි. උඹ දැක්කද කල්පයා මුගේ ඩෙස්ක් එකේ ලියලා තියෙන සින්දු. අම්මි ගහයි ටින් එකෙන්, ඔක්කොම තනි ඇහැට ඇඩෙන ඒවා..."
මම වටපිට බැලූවේ චාපා අහල පහල ඉන්නවාද කියාය. මුන්ගේ හැකර කටවල් වලින් වහන්න ඉතිං අම්මා තාත්තාටවත් බැරි උන එකේ මට පුළුවන්ද.

"ආ උඹත් පටන්ගත්තද? උඹේ අදහස් ටික විතරයි අඩුවෙලා තිබුනෙ. අනේ පල යන්න..."

"මේ සීරියස් අහන්නෙ ගිම්හානයා, ඇත්තටම මොකක්ද වෙනස? කවුරු හරී......"
මුන් දෙන්නට හොරෙන් වතුර උගුරක්වත් බිව්වත් මුන්ට සුවඳ එයි.

"නැතුවමත් නෙවෙයි, උඹලට පස්සෙ දවසක් කියන්නම්..."

"ඔය පැන්නෙ බැළලි පැටවුත් එක්කම මල්ලෙන් එළියට, මේ කියහංකෝ කවුද කෙල්ල කියලා..."
කල්ප පුටුවකුත් ඇදගෙන මා ආසලට ආවේ රස කාතාවක් ඇසීමට මෙනි.

"මම ගෙස් කරන්නද..?"
චාමර ඇසුවේය.

"කවුද..?"
මම ඇසූවේ කුතුහළයෙනි.

"චාපා........ මම හරිද..?"
මගේ මුහුණේ ඇදුනේ සතුටු සිනාවකි.ඇය ගැන මතක් වෙද්දී නිතර ඇදෙන සිනාව එයයි.

"අම්මට සිරි ඔය තියෙන්නෙ ස්මයිල් එක. උඹ නම් පුදුම පොරක් බං ඒක නෙවෙයි චාමරයා උඹ කොහොමද දැනගත්තෙ කෙල්ල චාපා කියලා...?"
"මම දැක්කා කලා උළෙල දවස්වල මූ චාපාට ප්ලග් වෙලා ඉන්නවා..."
චාමර සිනාසී කීවේය.

"හොදයි.. හොදයි.. කාට කාට හරි හරියනවනම්. හැබැයි පුතෝ මම හිතන්නෑ වැඬේ ලේසිවෙයි කියලා..."
කල්ප කියූ විදියට මගේ හිතේ ඇතිවූයේ බියකි.

"ඇයි ඒ? චාපාට බෝයි කෙනෙක් ඉන්නවාද..?"

"අම්මේ, මෙන්න දාඩියත් දාලා.. චාමර මූට චාමර සලපං, නෑ යකෝ මම මේ කිව්වෙ අපි දන්න විදියටනම් එහෙම සීන් එකක් නෑ. ඒත් චාපා එක විදියක්නෙ බං. කාත් එක්කවත් වැඩි කතාබහක් නෑ. ඉන්නෙත් සයිලන්ස් මෝඩ් එකේ.හැබැයි කෙල්ලනම් හරිම හොදයි."

මට මහත් සතුටක් දැනුනි. හිතට තිබුණු එකම බයනම් ඇයට මේ වනවිටත් පෙම්වතෙක් ඇතිය කියාය.දැන් ඒ බර හිතින් නිදහස්ය.

"දැන් උඹ මොකක්ද කරන්න ඉන්නෙ...?"
චාමර ඇසුවේය.

"අපි අහන්නද...?"

"අපෝ එපා. උඹ හදන්නෙ මේ තියෙන ඇයිහොදැයියත් නැති කරන්නද...?"

"හරි.. හරි.. උඹේ කැමැත්තක් අපි ඕන වෙලාවක සහයට ඩැනී ජොබ් එක කරනවා හරිය..."



වෙන්විමද ආරම්භයකි හමුවිය යුතු...


(චාපා 04 වන කොටස සමගින් හමුවෙමු...)


- නිරෝෂ් මෛති‍්‍ර -
   - 2004 -



මෙතනින් (චාපා 04)
මෙතනින් (චාපා 05)
මෙතනින් (චාපා 06)
මෙතනින් (චාපා 07)


Thursday, May 9, 2013

චාපා 02




"චාපා මේ අරලිය කොළ ටික පොල්තෙල් පහන යටින් රවුමට තියනවද?

මදි උනොත් මට කියන්න.තව ටිකක් ගෙනත් දෙන්නම්..."

තිර රෙද්ද ඈත්කල මට දකින්නට ලැබුනේ ඉරේෂා ඇයත් සමග කතාකර කර ඉන්න සොදුරු දසුනයි. 'චාපා' ඇයටම ගැලපෙන අමුතු නමකි. 'චාපා' 'චාපා' 'චාපා' මම හිතින් කිහිප වතාවක් ඒ නම මිමිණුවේය.

අද මෙතරම් වාසනාවන්ත දිනයක් වේ යැයි මම කීයටවත් සිතුවේ නැත.අද සවස නතරවීමට මගේ කිසිම කැමැත්තක් තිබුනේ නැත. නමුත් එසේ වූවානම් මෙතරම් සොදුරු මොහොතක් මට මග හැරෙන්නට තිබුණි. එසේ වූවානම් ඇගේ නමවත් දැනගැනීමට මට නොහැකිවනු ඇත. මම ඉරේෂාට පින්දෙමින් ජීවන්ත හමුවීමට යාමට වේදිකාවෙන් බිමට බැස්සේය. එවිට ඇය සිටියේ පොල්තෙල් පහන සකසමිනි.

ඇයගේ හිත වෙනතක ඇති බව තේරුම් ගියේ මෙතරම් සමීපයට මා පැමිණ ඇතත් ඇයට නොදැනුන නිසාය. එකවර යමක් මතක් වී මෙන් ඇගේ මුහුණට සිනාවක් ආවාය.

"ඇයි තනියම හිනාවෙන්නෙ?..."
ඇය ගැස්සුනි. ඇය මා දෙසට හෙලුවෙ' මම ළගට ආවේ කොයිවෙලේද' යන හැගීමෙන් යුතු බැල්මකි.

"නැහැ.. මුකුත් නැහැ..."

"හැබැයි මම දන්න විදියටනම් ගෑණු ළමයි හිනාවෙන්න විශේෂ හේතු දෙකක් තියෙනවා..."
මම ඇයට සමීපවන්නට සිතා කීවෙමි.

"ඒ මොනාද?.."
ඇය එය ඇසුවේ නම් සැබෑම උවමනාවකිනි.

"එක්කෝ කවුරුහරි කරපු විහිළුවක් මතක් උනාම, නැත්නම් යාළු පිරිමි ළමයව මතක් උනාම..."
මට උවමනා වූයේ මේ මල දැනටමත් නෙලාගෙන ඇත්දැයි දැනගැනීමටය.

"පිස්සු..."

ඇය මට රවා යන්නට ගියාය. මම දැනුම ප‍්‍රදර්ශනය කරන්නට ගොස් තියෙන ලකුණු ටිකත් කපා ගනියි. 

"ඒයි කොහෙද ඉන්නෙ?.."
කල්ප පිටට තට්ටුවක් දමා ඇසුවේය.

"නැහැ බං මම මේ හෙට වැඩටික ගැන කල්පනා කර කර හිටියෙ. අපේ ඔලුවෙනෙ බං සේරම බර.."

"ආ එහෙනම් කමක් නැහැ, උඹට තාම ඊතල වැදිලා නැහැනෙ තනියම කල්පනා කරන්න?.."

"මොන ඊතලද බං.."

"මල්සරා විදින ඒවා.."
මට හිනා ගියේය.මල්සරා හීය විද්දේ පාසලට පැමිණි මුල් දිනයේය.


***************************************************************

අද ඉතා කාර්යබහුල දිනයක් විය. කලා පන්තියේ සිසුන් තම තමන්ට පැවරුණු වැඩ කොටස ඉතා හොදින් නිම කිරීමට ඉතාමත් වෙහෙසවී වැඩ කරන බව කිව යුතුමය. කල්ප කලා උළෙලේ නිවේදන කටයුතු කිරීමට යොදවා තිබුණි. චාමර වේදිකාව පසුපස වැඩකටයුතු මෙහෙයවීමට භාරගත්තේය. මම සංවිධාන කටයුතු කිහිපයක් සමග කාර්යබහුල විය. වැඩි යමක් කිරීමට මම තවම අලුත් වැඩි යැයි මට නිතර සිතුණි.

චාපා කතාවක් පැවැත්වීමට සූදානමින් ඉන්නාබව මට කවුරුන්හෝ කියනවා ඇසුනි. ඒ සදහා අද ඇය පැමිණ සිටියේ ළමා සාරියකින් සැරසීය. ඇය අද වෙනදාටත් වඩා පින්බරය. ළමා සාරියට ඇය කුඩා දැරියක් මෙනි. නමුත් පවත්වීමට නියමිත කතාව ගැන ඇය බියෙන් පසුවෙන බව මට දැනුනේ අද උදෑසන පටන් කලබලයෙන් එහාට මෙහාට ගිය ආකාරයෙනි.
ඒ එක් අවස්ථාවක ඇයගේ අතේ තිබූ හාෆ් ෂීට් කොලයක් වැටුණි.මම එය අහුලාගෙන ඇයට දීමට බලන විටත් ඇය සෑහෙන දුර ගොස්ය. එය දිගහැර බලනවිට එය අද පැවැත්වීමට නියමිත කතාවේ කටු සටහනකි.

ගිම්හාන මේ කොඩි ටික ගේට්ටුව ළඟ ඉන්න උන්ට දීලා වරෙන්කො ටාර් ගාලා
දිලීප කොහෙන්දෝ පැමිණ සිංහ කොඩි තොගයක් මගේ ඇගේ ගැස්වේය. චාපාගේ කොළය එහෙම්මම සාක්කුවේ දාමාගෙන දිලීපට හිතින් බැන බැන මම කොඩි භාර දීමට ගියේය.

කලා උළෙල ඉතා උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. ප‍්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස නන්දා මාලනී මහත්මියත්, රෝහන බැද්දගේ මහතාත් සහභාගි විය. කලා සිසුන් හැමදෙනාගේම මුහුනේ තිබුනේ සතුටු සිනාය. ඒ අප සිතුවාටත් වඩා හොදින් වැඩකටයුතු සිදුවෙමින් පවතින නිසාවෙනි.
මේ දින කිහිපයේම මහන්සිවූ නිසාදෝ මට උදේ සිට සුළු හිසරදයක් තිබුණි. වේදිකාව පසුපස වැඩ කටයුතු ටිකක් නිමකර මම පන්තියට එන්නට ප‍්‍රධාන ශාලාවෙන් එළියට ආවේය.

"මචං, කොහෙද යන්නෙ?.."
ඒ චාමරය.

"පන්තියට ටිකක් ගිහින් එන්නම්.ඔලුව කකියනවා බං ඊයෙ රෑත් තුන වෙනකං තෑගි එතුවනෙ..."

"එහෙනම් පැනඩෝල් දෙකක් ගහලා ඉක්මනට වරෙන්..."

පන්තියේ කවුරුත්ම නැත. මම ඩෙස්ක් එකක් ළගට ඇදගෙන කල්පගේ බෑගයට ඔලුව තියාගත්තේ අමාරුව වැඩිකමටය. ටික වේලාවකින් පුටු එහාට මෙහාට කරන ශබ්දයක් ඇසී මම හිස ඔසවා බැලුවේය. ඒ චාපාය. මගේ හිසේ කැක්කුම කොහෙන් ගියාද නැත. ඇය පුටු එහාට මෙහාට කරමින් මොනවාදෝ සොයයි. මට දෙලොව සිහිවූයේ එවෙලේය. ඇය සොයන්නේ ඇගේ කතාවට අදාල හාෆ් ෂීට් එක වන්නට ඇත. වැඩවල සිරවූ නිසා මට එය එහෙම්මම අමතකවී ගියේය. නමුත් එය එකවර දීමට මට සිත් නොවීය.

"මොකක්ද හොයන්නෙ?.."

"මුකුත් නැහැ.."
ඇය කීවේ තරමක් තදිනි. ඊයේ මගේ මෝඩ කතාවට ඇය තවමත් තරහින් පසුවනවා වන්නට ඇත.

"සොරි..."
එසේ කියා මම හිස අනෙක් පසට හරවාගෙන නැවතත් මේසයෙන් හිස තබාගත්තේය. නැවත මගේ හිසේ කැක්කුම වැඩිවිය.

"මේ.... පන්තිය ඇතුලෙ හාෆ්ෂීට් කොලයක් වැටිලා තියෙනවා දැක්කද?.."

ඇයගේ කතාව පැවැත්වීමට වෙලාව ළග නිසා ඇය අසරණ වන්නට ඇත. නැත්නම් ඇය මට සැර දැම්මේ මීට සුලු මොහොතකට කලිනි. මම ස්වයංකී‍්‍රයව මෙන් නැගිට කොලය ගෙන ඇයට දිගුකලෙමි.

"උදේ ඔයා අතින් වැටිලා තිබුනා වැඩත් එක්ක මට දෙන්න බැරි උනා..."
ඇගේ මුහුණේ ඇදුණු සතුටු සිනාවෙන් මගේ හිත පිරී ගියේය. මට දැනුනේ මම මහා වීරක‍්‍රියාවක් කාලාක් මෙනි.

"අනේ තව ටිකකින් මම ඉවරයි, පින් සිද්ධ වෙනවා... හොදටම පරක්කු වෙලා"
ඇය යන්නට හැරුණි.

"ඇයි ඔලුව ගහන් ඉන්නෙ කලා උළෙලට යන්නැද්ද?.."
ඇය නැවතත් හැරී ඇසුවාය. මගේ සතුට නිම්හිම් නැතිවිය.

"මගේ ඔලුව ටිකක් රිදෙනවා ඒකයි එහෙම හිටියෙ..."

"මගේ බෑග් එකේ ඉස්සරහ පොකට් එකේ පැනඩෝල් පෙති දෙකක් ඇති අරන් බොන්න. මට හොදටම පරක්කු වෙලා මම යනවා..."

එසේ කියා ඇය ප‍්‍රධාන ශාලාව දෙසට දිව ගියාය.

'මගේ බෑග් එකේ පැනඩෝල් පෙති දෙකක් ඇති, අරන් බොන්න' මගේ හිතේ ඒ වචන දෝංකාර දුන්නේය. දැන්නම් මට ඇති ලෙඩක් නැත. මට පන්තියේ නටන්නට හිතුනි. ඇයට මෙහෙමවත් සමීපවීමට ලැබූමත් මටනම් විශිෂට ජයග‍්‍රහණයකි. කොතරම් ඇය ගැන නොසිතා ඉන්නට හැදුවද සිත නවතින්නේම ඇය ළගය. ඇය ලස්සන නිසා මම සිතා සිටියේ ඇය අහංකාර යුවතියක් වන්නට ඇතිය කියාය. නමුත් ඒ සිතුවිල්ල වැරදි බව දැන් තේරෙයි. ගිම්හානට මොනවා වෙන්නට යනවාදැයි මම දන්නේ නැත.



(චාපා 03 වන කොටස සමගින් හමුවෙමු...)


- නිරෝෂ් මෛති‍්‍ර -
     - 2004 -


මෙතනින් (චාපා 03)
මෙතනින් (චාපා 04)
මෙතනින් (චාපා 05)
මෙතනින් (චාපා 06)
මෙතනින් (චාපා 07)
මෙතනින් (චාපා 08)
මෙතනින් (චාපා 09)
මෙතනින් (චාපා 10)


Thursday, May 2, 2013

චාපා 01




සස් පෙළ සදහා නව පාසලට ඇතුළු වූ මුල් දිනවල තිබූ පාළුව හා තනිකම දැන් නැත. ඒ මා මෙන්ම වෙනත් පාසැල් දෙකකින් පැමිණි සිසුන් දෙදෙනෙකු වන චාමර හා කල්ප මා සමග හොදින් මිතුරුවීම නිසාය. මුල් දිනවල නම් මෙය එපාම කරපු තැනක් වන්නට වූයේ පාසැලේ පැරණි සිසුන් රැග් කරන්නට තියාගත් නිසාය. නමුත් තත්ත්වය සාමාන්‍යවී ඔවුන් මගේ හොද මිතුරන් වන්නට එතරම් කාලයක් ගතවූයේ නැත.

කලා විෂයන් සිතූ තරම් අපහසු නොවූවත් දේශපාලන විද්‍යාවට හා ආර්ථික විද්‍යාව විෂයන්ට අමතර පන්තිවලට සහභාගි නොවීම බැරිය. තවද මම උසස් පෙළ සදහා පාසලට ඇතුල්වූයේම මාස 03ක් ප‍්‍රමාද වී බැවින් අතපසුවූ සටහන් තොගයක්ම ආවරණය කර ගැනීමට ඇත. ඒ නිසා මේ දිනවල වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවීම හිසරදයක් වෙන තරමටම දැන් පැමිණ ඇත. වැඩිපුර සටහන් ලබාදී ඇත්තේ දේශපාලන විද්‍යාවෙන් නිසා අතපසුවූ කොටස් ලියා ගැනීමට කල්පගේ දේශපාලන විද්‍යාව පොත ඉල්ලා සිටිය විට එය ලබාදෙනවා වෙනුවට ඔහු කලේ මාධවී නැමැති ගැහැණු ළමයෙකුගේ පොතක් ඉල්ලා දීමය.

"ඌ උඹට උගේ පොත නුදුන්නෙ අවුලකට නෙවෙයි, ලැජ්ජාවට..."
චාමර කියූ දෙය මට වැටහුනේ නැත.

"ඒ මොකද බං ඒ ? "
මම ඇසුවෙ පුදුමයෙනි.

"උගේ අකුරු ඌ කියවන්නෙත් පුදුම දුකක් විදලා, ඒකයි..."
මාත් චාමරත් ඇති තරම් සිනාසුනි.මට කාරණය වැටහුනේ එවිටය.

පාසලට ආ මුල් දිනයේම දුටු රැවක් මගේ සිතේ තදින්ම සටහන්වූ බවනම් කිව යුතුමය. විදුහල්පතිතුමාගේ කාර්යාල කාමරයෙන් එළියට එනවිටම දකුණුපස ඇති රෝස පාත්තිය අසලින් ඇය ආ හැටි සිහිවන හිතට දැනෙන්නේ අමුතුම හැගීමකි. පාත්තියේ ලා රෝස මලුත් ඇගේ මුහුනත් අතර එතරම් වෙනස්කමක් නොතිබුනේය. ඇය කෙතරම් තදින් මගේ සිතේ ඇදුනත් කාරණා කිහිපයක් නිසා ඇය ගැන සිතීම මම ඇතහැර දැමීය.

එයින් ප‍්‍රධානම හේතුව වූයේ අපමණ වෙහෙසක් දරා සමත්වූ සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව ලැබූ උසස්පෙළ වරම විශ්ව විද්‍යාලයෙන් කෙලවර කරගැනීමට මම ඉටාගෙන සිටි නිසාය. මගේ දුප්පත් අම්මා අප උස්මහත් කිරීමට විදි දුක් කන්දරාව මම දෑහින්ම දැක තිබුණි. ඇයට දුකක් එන කිසිම දෙයක් කිරීමට මට හිත හදාගැනීමට නොහැක. ඒ නිසා අනවශ්‍ය සබදකමක් මාව මගේ අරමුණු වලින් ඈත්කිරීමට ඉඩ ඇත. අනෙක් කරුණ නම් මා තවම මේ පාසැලට අලුත්ය. මෙවැනි දෙයක් නිසා පාසැල තුළ මා අපහසුතාවයට ලක්වීමට ඇති ඉඩකඩ වැඩිය. අනෙක් කාරණා කෙසේ උවත් ඇය වැනි සුන්දර යුවතියකට පෙම්වතෙක් නැතැයි සිතිය නොහැක. නමුත් හිත හදාගන්නට නොහැකිවූයේ ඇයද කලා පන්තියේ සිසුවියක බව දැන ගැනීමෙන් පසුවය.


******************************************************


පාසලේ කලා උළෙල පැවැත්වීමට තව ඇත්තේ දින දෙකකි. එබැවින් මේ දිනවල පන්තිය තුළ ඇත්තේ කළබලකාරී ස්වභාවයකි. කලා උළෙල නිසා ඉගැන්වීමේ කටයුතුද නොකෙරෙන බැවින් මදක් සැහැල්ලුවෙන් විනෝදයෙන් මේ දින දෙකවත් කල්ගෙවිය හැක. 
කලා උළෙලේ වැඩ නිසා ගොඩක් ළමයින්ව දැන හදුනාගැනීමට අවස්ථාවක් ලැබුණි. එය මට මෙන්ම චාමරට හා කල්පටද හොද අවස්ථාවකි. දැන් දැන් අපට නව පාසලේ නුහුරු ගතිය මග හැරෙමින් තිබුණි.

සවස නතරවීමට කලා අංශයේ සියලු සිසුන්ට උපදෙස් ලැබුනේ සැරසීමේ කටයුතු රාශියක් ඉතිරිව තිබූ නිසාය.  එබැවින් අප සියලු දෙනාම එකාවන්ව එම වැඩවල යෙදුනේ කලා ශිෂ්‍යා ශිෂ්‍යවන්ගේ හැකියාවන් මුළු පාසලටම පෙන්වන්නට එන හොදම දිනය එදින බැවිනි. ප‍්‍රධාන ශාලාව සැරසීම වේදිකාව සැකසීම හා පිරිසිදු කිරීමේ කටයුතු සිදුකිරීම පමණක් මේවන විට ඉතිරිව තිබුණි. මමත් තවත් පිරිමි ළමුන් තිදෙනෙකුත් වේදිකාව සැකසීමේ කටයුතුවල නිරතවුනි.

"රසාංග මේක මැදට වෙන්න දාන්න"

කියමින් මම අනෙක් පැත්ත හැරෙනවාත් සමගම කෙනෙක් මගේ නළලේ තදින් වැදුණි. ඒ ඇයයි. මා මේ පාසලේ දකින්නටම කැමතිම රුවයි. නමුත් වැදුනේ සුලුපටු වැදීමක් නොවේ. ඇයට හොදටම රිදෙන්නට ඇතිය. නමුත් මටනම් ගානක්වත් නැතිවූයේ ඇය නිසාවන්නට ඇත.මම ඇය දෙස බලාගෙනම උන්නෙමි.

"අනේ සොරි මගෙයි වරද, මම අහක බලන් ආවෙ..."

ඇය කියූවේ අසරණ තාලයෙනි.

"නැහැ නැහැ මගෙයි වරද මට සමාවෙන්න.."
ඇයට වරද බාරගැනීමට කිසිසේත් ඉඩදිය යුතු නැත.ඇය තවමත් නළල අතගාන ගමන්ය.

"තාම රිදෙනවාද? "

ඇය මදෙස බලා යන්තම් සිනාසුනි.මට එයද හොදටම ඇතිය.

"පොඩ්ඩක් රිදෙනවා.."

'කෝ බලන්න' කියා කියන්න හිතුවද එය වචන කලේ නැත.

"අයි ඈම් සොරි, මම වෙන කල්පනාවක හිටියේ.."

ඇගේ නමවත් නොදැන එතනින් එහාට කතාකිරීමට අපහසුය. ඊටත් වඩා කවදාවත් නැති විදිහට අද මට වචන පැටලේ.

"මම හිතුවා..."
ඇය කීවාය. මම තුෂ්නිම්භූත විය.

"මොකක්ද?.."

මම දෑස් ලොකුකරගෙන ඇයගෙන් ඇසුවෙමි.

"වෙන කල්පනාවක තමයි හිටියෙ කියලා..."

සිනාසෙමින් ඇය යන්නට ගියාය.වේදිකාව විශාල තිරදේද පිටුපස මේ හැලහැප්පීම් ජාලාව සිදුවූ බැවින් කවුරුත් එය දැක්කේ නැත.මට දැනුනේ පුදුමාකාර සතුටකි. ඇය සමග මෙහෙමවත් වචනයක් කතාකිරීමට ලැබීමත් කෙතරම් දෙයක්ද.


"චාපා..."

ඒ ඉරේෂාගේ හඩයි. 'චාපා' නුහුරු නමක් ඇසුන නිසා මම තිර රෙද්ද මෑත්කර බැලීය.


(මතු සම්බන්ධයි)


- නිරෝෂ් මෛති‍්‍ර -
     - 2004 -


මෙතනින් (චාපා 02)
මෙතනින් (චාපා 03)
මෙතනින් (චාපා 04)
මෙතනින් (චාපා 05)
මෙතනින් (චාපා 06)
මෙතනින් (චාපා 07)
මෙතනින් (චාපා 08)
මෙතනින් (චාපා 09)
මෙතනින් (චාපා 10)



Saturday, December 15, 2012

හිතුවේ නැහැ මං




අප ආ ගිය මග
ආයෙත් සැරයක්
පුරුදු සිනාවෙන්
කෙදිනක හෝ යළි
යන්න ලැබේ යැයි
සිතුවේ නැහැ මං...


බිදක් තරම්වත්
වෙනස් නොවී ඇති
ආදර ඔබෙ වත
හුස්ම පොදක
පමණක් කෙටි දුරකින්
කෙදිනකවත් යළි
දකින්න වේ යැයි
සිතුවේ නැහැ මං...


නැවතත්
ජීවත් වෙනවා මෙන්
මම
දැනුනෙ පින්බර
සිනාවකින්...
මියැදී තිබු හිත 
පුබුදු වුනේ ඔබේ 
දෑතේ පැටලුනු 
මගෙ දෑතින්...


- නිරෝෂ් මෛති‍්‍ර -
   2012/12/15



Thursday, November 22, 2012

මගේ උගත් පෙම්වතී



"...මිනිස් ජීවීන්ගේ හැඟීම් කි‍්‍රයාත්මකවන ආකාරයට බලපාන ප‍්‍රධාන සංයෝගයන්ගේ එක් මූලයක් මෑතකදී සොයාගෙන ඇති බව දොස්තරවරු ඈට කීහ. එය 'සෙරොටොනින්' යනුවෙන් හැදින්වේ. කරන කියන කටයුත්තක් ගැන අවධානය යොමුකිරීමට, කෑමට බීමට, නිදාගැනීමට සේම ජීවිතය රසවිදීමට පවා නොහැකිවීම මේ කියන 'සෙරොටොනින්' අඩුකම නිසා සිදුවන්නකි. මේ මූලද්‍රව්‍යය සහමුලින් නැතිවූ කල හිතේ මළානිකකම ඇතිවේ. අශුභවාදය රජකරන්නට පටන්ගනී. කරන සියල්ල නිරර්ථකය යන හැඟීමට ගොදුරුවේ. විඩාව, කාන්සාව, අතීරණය පිරි තිමිරයෙන් වැසුණු සාදාතනික දෝමනස්සයට යටවේ. එක්කො සියල්ල එපාවූ නීරස මනෝභාවයට නැත්නම් සියදිවි නසාගැනීමට අවසානයේ කෙනෙකු පෙළඹෙන්නේ මේ මනෝභාවය හේතුවෙනි... "
පාවුලෝ කොයියෝ -


අතිශය සංකීර්ණ සමාජයක ජීවත්වන අපට හමුවන විවිධාකාර මිනිසුන් අතර යම් කිසි විශේෂයක් ඇති පුද්ගලයන් පමණක් අපෙගේ මතකයේ රැදෙනවා. එයිනුත් මතකයේ විශේෂයෙන් රැදෙන්නේ ජීවිතයට විශේෂ යමක් එක්කල පුද්ගලයන් හා ජීවිතයම එපා කල පුද්ගලයින් පමණි. එයිනුත් කාන්තාවට හිමිවන්නේ කෙතරම් විශේෂිත ස්ථානයක්ද ? එයිනුත් ඇතැමෙක් සදාකල් මතකයේ රැදෙන ආදරණීය, ධනාත්මක හැඟීම් ඉතිරිකර යන අතර ඇතැමෙක් මතක් කලත් ඉතිරි වෙලා ඇති ලේ ටිකත් පුච්චලා දැමීමට සමත් වෙනවා.

දුක, ශෝකය, අහිමිවීම, ආර්ථික අපහසුතා, සැකය, සාංකාව ගැන නිතර කියවන කෙනෙකුන් සමග සදාකල් එකට ජීවත්වීමට සිදුවුවහොත් ඇතිවන තත්ත්වය කෙසේදැයි අනුමාන කිරීම කිසිවෙකුටත් අපහසු නොවනු ඇත. මේ සියල්ලටත් වඩා එම පුද්ගලයා බොරුකාර ජීවිතයක් ගෙවන්නෙකු නම්...


"...ආදරය සම්බන්ධයෙන් වූ වැරදි අවබෝධයන් අතර වඩාත් පොදු අදහස වන්නේ, ආදරය යනු අනෙකකු මත යැපීම හෝ රදාපැවැත්ම යන්නය. මෙලොව සිටින ඕනෑම පුද්ගලයෙකු තමාට මෙන්ම අන්‍යයන්ට ඇඟවීමට උත්සහ දරන්නේ අපට හැඟීම් හා අවශ්‍යතා ඌනතාවයක් නොපවතින බව හා අනෙකකු මත යැපීමට කිසිදු අවශ්‍යතාවයක් නොවන බවය. එසේ උවද අප සැම කි‍්‍රයාකරන්නේ කුඩා දරුවෙකු සුරතල් වෙමින්, අනෙකකු මුළු හදින්ම සැබෑ ආදරයෙන් හා අප ගැන උනන්දුවෙන් තමන් ගැන සොයා බැලීමක් කල යුතුය යන සිහිනය තුළය. සිහිනය සිහිනයකි. සැබෑව සිහිනයට පිටස්තරය. අප මානව ධර්මතාවයන්ට කොතෙක් ගෞරවයෙන් කටයුතු කලද සිහිනය අනවශ්‍ය තරමට විශ්වාස කල විට අහසින් පොළවට පතිත වන්නේ අනපේක්ෂිතවය. සිහිනයක් අප දෙනෙත ඉදිරිපිටනම්, අප වහාම පියවි සිහිය උවමනාවෙන් අවදිකල යුතුය. පියවි සිහිය නැතිවන මොහොත තුළ අපව සොරකම් කර ගැනීම කවරෙකුට උවද පහසුය..."
- ආචාර්ය ස්කොට් පෙක් -

ආචාර්ය ස්කොට් පෙක්ගේ කියමන සිහියට නැගුනේ මීට සති කිහිපයකට පෙරය. එදිනම මේ සටහන තැබීමට අවශ්‍ය උවත් පැවති කාර්යබහුල තත්ත්වය නිසා එය මග හැරුණි. එනම් පියවි සිහිය තොර කරගත්තෙකු මුණ ගැසුනා මදිවට ඇය මගේද පියවි සිහිය නැති කරන්නට ගත් උත්සහයක් නිසාය. මගේ කීමකට වඩා ආචාර්ය ස්කොට් පෙක්ගේ කියමනක් යොදා ගත්තේ ඇයගේ සුවපහසුව පිණිසමය. මන්ද යත් ඇය මටත් වඩා පොත පත පරිශීලනය කරන පොත් කියවා එහි සිටින මිනිසුන් සැබෑ ජීවිතයේ සොයන කෙනෙකුන් නිසාය.

මේ සටහන තුළින් මට කිවයුතුව ඇතිදෑ බොහොමයක් උවත් සියල්ල කාලය විසින් මෙතෙක් කලක් තීරණය කලාසේම ඉතිරියද කාලයටම බාරදීම යහපතියි මම විශ්වාශ කරමි. මන්ද මෙම සටහන අදාල සිදුවීම් දාමය වඩාත් විශ්ලේශනය කරන තැනකට තල්ලුවුවහොත් ගඳ ගසන කුණු ගොඩක් හිතාමතාම ඇවිස්සුවාට සමාන වනු ඇත. අතීතයෙන් පාඩම් ඉගෙන නොගන්නා එකා සදාකල් එකතැන පල්වන්නාක් බව මා කොහෙන්දෝ අසා ඇත. මාත් සමග සම්බන්ධකම් පැවැත්වූ කිසිවෙකුගේ චරිත කිසිම අවස්ථාවකදී ඝාතනය නොවන්නට මෙතෙක් වග බලාගත්තා සේම, එය ඉදිරියටද එසේමය. එය දැන දැනම හෝ දැන ගත්තද ගොං මොළයකට නොතේරෙන තැනක සිට කරන බාල වර්ගයේ චෝදනාවලට මා කිසිවිටක උත්තර බැදීමට ඉදිරිපත් වන්නේද නැත. අනෙක එකම කාරණය පිළිබද වරින් වර කරන අභූතයන් ගැන උත්තර දෙනවාට වඩා මට කිරීමට වෙන වැඩද ඇත. සාංසාරික බැදීමක් බලාපොරොත්තු වනවාට වඩා ළඟ සිටින පුද්ගලයාගේ විශ්වාසය රැකීමට පුරුදුවීම කාටත් වටී. එය සමාජ ජාල අඩවි වල රට්ටු හිනස්සන Status දමනවාට වඩා වැදගත් කාරණයකි. 

ඉස්සර වගේ හැම දෙයක්ම 
     ලස්සනට පේන්නෑ..
පේ‍්‍රමයේ සුවද තවදුරටත්
     අපෙන් හමන්නෑ..

සෘතු මාරුවෙලා,
     කටෝර හිරු එබෙන්න කළින්
දොර කවුළු සියලු,
     මුදා හරිමි පේ‍්‍රමයේ නමින්...

- ශ්‍රෝණි මේ කලා -
අරුණ පත්තිනිගේ


හුදෙක් මගේම පහන් සංවේගය තකා,
- නිරෝෂ් මෛති‍්‍ර -
2012/11/22








Tuesday, October 9, 2012

හැමදාම මල් පෙති ළං කලත්...



මැරුණ හිතක් අමාරුවෙන් හුස්මගන්න හදන සද්දෙ ඇහිලා තියෙනවද?
මට ඊයෙ ඇහුණා...
හැඟීම් මැරුණට පස්සෙ ඉන්නෙ කොයිවගේ මිනිහෙක්ද කියලා දැකලා තියෙනවද?
මම ඊයෙ දැක්කා...
ගොඩාක් සතුටින් ඉන්නවා වගේ පෙන්නන ඒත් අමුම අමු මළ කදක් එක්ක කතා කරලා තියෙනවද?
මම ඊයෙ කතා කලා...
එතන දැන් ජීවයක් නැහැ.
මම හිතන්නෙ ඌ දැන් ගන්ධබ්බයෙක්...


- නිරෝෂ් මෛති‍්‍ර -
- 2012/10/10 -


Sunday, October 7, 2012

ඇවිදින මළකඳ




මෙච්චර සතුටු වෙන්න
දේවල් තියෙද්දිත්,
සතුටක්,
නොදැනෙන හැටි...
දුක් වෙන්න
ඇති තරම් දේවල්
ඇගේ හැපි හැපි යද්දිත්
දුකක්
නොදැනෙන හැටි...
මම හිතන්නෙ
ඔයාව
වළලපු දවසේ
මාත්
මැරෙන්නැති...

- නිරෝෂ් මෛති‍්‍ර -
2012/10/07

Tuesday, October 2, 2012

ඔහු හා ඇය




ඔහු

* පත්තරේකට නිදහස් මාධ්‍යවේදියෙක් විදිහට ලිව්වා.
* අප‍්‍රසිද්ධ සමාජවාදී කල්ලියකට සම්බන්ධ වෙලා හිටියා.
* නිතර දේශපලනික පොත් බැලුවා.
* කාර්යාලයේදීත් කියෙව්වෙ ආණ්ඩුව විවේචනය කරලා තියෙන වෙබ් පිටු, බ්ලොග් පිටු.
* දවසකට දුම්වැටි දෙකක්වත් ඉරුවා.
* ලස්සන නිසදැස් ලිව්වා.
* ඒවයෙනුත් ගොඩක් ඒවා හරි බරයි.
* ඒ වගේම ඔහු රණ්ඩුවටත් බරයි.


ඇය

* ලස්සන ඇදුම් ඇන්දා.
* උදේට දැක්කම පන්සලක් දැක්කා වගේ හිතම පිරෙනවා.
* ප‍්‍රවෘත්ති කාමරේ වැඩි බරක් ඇද්දත් ඇය කවදාවත් දේශපාලනය ගැන කතා කරන්න ආසා උනේ නැහැ.
* ඉඩක් ලැබුන හැටියෙ සින්දු ඇහුවා.
* ඔන්ලයින් ගේම් ප්ලේ කලා.
* කොණ්ඩ මෝස්තර දාන හැටි යූ ටියුබ් එකෙන් බලාගත්ත අතේ බලන් හිටියා.
* කාර්යාලය දෙක වෙන්න හයියෙන් හිනා උනා.
* කන්න කැමති උනේ 'ටිපි ටිප්' වගේ පොඩිඋන් කන්න කැමති කෑම.


හැබැයි ඇය ඔහුට ගොඩක් ආදරේ කලා. හිතාගන්නවත් බැරි තරමට.
ඒ වෙනදෙයක් නිසා නෙවෙයි, ඔහුගෙ බරයි කියලා පෙන්නන ජීවිතය යට ඉන්නෙ ඇයටත් වඩා කුඩා දරුවෙක් බව ඇය හොදාකාරවම දැනන් හිටිය නිසා...


- නිරෝෂ් මෛති‍්‍ර -
2012-10-02


Sunday, August 26, 2012

වෙහෙස දැනෙන මේ ජීවිතේ




සීත කාමරයක සිට,


ආදරණීය ඔබට,

            ඔහේ ගිය ජීවිතය ලස්සන එක තැනක නැවතුනේ ඔයා නිසා. මම ඒ තැනට ගොඩක් ආසා කලා. ඊටත් වඩා ආදරේ කලා. අවසානය ලස්සනට ඉවරවෙන ලස්සනම ලස්සන කතාවක් නෙවෙයි මේක කියලා දැන දැනත් තව තවත් ආදරේ කලා. මටත් වඩා ඔයා. ඒත් අන්තිමේදි උනේ මම හිතපු මම බාරගන්න බලන් ඉදපු දුක හිතෙන අවසානයට වඩා වෙනස්ම එකක්. මතක් වෙනකොටත් මටම ලැජ්ජා හිතෙන එකක්. නමුත් මොනවිදිහෙන් උනත් අන්තිමට උනේ මට ඔයාව නැති උන එක. ඒ එකකටවත් මට ඔයාගෙන් සමාව ඉල්ලන්න තරම් හයියක් නැහැ. පුළුවන් කමකුත් නැහැ. ඒත් මම එක දෙයක් කියන්නම්, "මම ඔයාට හරිම ආදරෙයි, හැමදාමත්..."

ආශා නිරාශා මැවූ 
ඈ ස්වප්න මායාවකි
ස්නේහෙ ගඟුල්
පේ‍්‍රමේ තැවුල්
මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි...

ඇත්තටම ඔයාගෙ ආදරේ මට පුදුමයක්. ඊටත් වඩා හීනයක්. මොකද ඒ ටික කාලෙ ඇතුලත ඒ තරම් ආදරයක් වින්දද කියලා සමහර වෙලාවට මට විශ්වාස නැති නිසා. මට අසනීප උනාම ඔයා මාව බලාගත්ත හැටි, ඔයාගෙ අතින්ම මට හරිම ආදරෙන් කවපු හැටි, මම ඇක්සිඩන්ට් වෙලා ඉද්දි මගෙ හැමදේම ඔයා කරලා දීපු හැටි විතරක් නෙවෙයි, ප‍්‍රශ්න වලට හිනාවෙලා සැහැල්ලුවෙන් මූණ දෙන්න කියලා දීපු හැටි.. ඒ දවස් කොයිතරම් ලස්සනද.. ඔයා කරපු ඒ දේවල් මට වටින්නෙ වෙන මුකුත් නිසා නෙවෙයි, මම හොදාකාරවම දන්නවා ඔයා ඒ තරම් දේවල් කලේ කොයි තරම් ප‍්‍රශ්න මැද්දෙද කියලා. ප‍්‍රශ්නයක් ආවම බුම්මන් ඉන්න පුරුදුවෙලා හිටිය මම, අද කිසිම දෙයක් ඕනවට වඩා ඔළුවට බරක් කරගන්නැතුව හිනාවෙලා ඉන්න පුරුදු උනේ ඔයාගෙන්. අදත් මම කොයිතරම් දුකක් හිතේ හිරකරන් උනත් සතුටින් හිනාවෙලා ජීවත් වෙන්නෙ ඔයා පෙන්නපු පාරෙ යන නිසා. ඔයාව බලන්න මම මගට ආවම ඔයාගෙ මූණෙ ඇදෙන ලස්සන හිනාවට තරම් කිසිම දේකට මම ආස උනේ නැහැ. කලින් කියන්නෙ නැතුව ඔයා කැමති දෙයක් ගෙනත් දුන්නම ඔයා පුදුම වෙලා ඒ වෙලාවට හැසිරෙන හැටි මට කවමදාවත් අමතක නොවේවි. ඇත්තමයි..ඒතරම් ඔයාගෙ හැම ඉරියව්වක්ම මට හරිම ප‍්‍රියයි.

නීල දිලෙන නිම්නයේ
සුමුදු සයනයේ
නෙතු පියන් වැසී 
ස්වප්නයක්ද මේ තරම් පුදුමවූ
ඔබේ ආදරේ...
මේ සුරම්‍ය පාරාදීසේ
හදවතින් උමතුවූ
සදානන්ද කර සරාග
සුවද විජිතයේ...

අද මට ගොඩක් මහන්සියි. කෙලවරක් නැතුව දුවනවා, මොකට දුවනවද කියලා මමවත් දන්නෑ. ඒ මහන්සිය දරාගන්න බැරිතැනකට ආවම මුලින්ම මතක්වෙන්නෙ ඔයාව. ඔයත් එක්ක විනාඩි පහක්වත් කතා කර කර ඉන්න තිබුනනම් කියලා හිතෙද්දි පුදුමාකාර තනිකමක් දැනෙනවා. ඒත් එහෙමයි කියලා ඔයාගෙ ජීවිතේට ආයෙමත් මට එන්න පුළුවන් කමක් නෑ. මම දන්නවා ඔයා සතුටින් බව. හැමදාමත් එහෙම්මම ඉන්න. අර ලස්සන දඟකාර හිනාවත් මූණෙ තියාගෙන. මේ ලෝකෙ මට හම්බඋන ආදරණීයම හිත තියෙන්නෙ ඔයා ළඟ. ආදරණීයම හිත...

මා නොමැති හෙටක් නැතත්
පිපෙන මල් යළිත් පිපෙයි
හිරු එළිය ඇවිත් 

තව දවසක් උදාවෙයි...


යන්නම්...

ඔයාගෙම,

.................. 
- නිරෝෂ් මෛති‍්‍ර -
- 2012/08/26 -




 
 


 

Sample text

Sample Text