Social Icons

Saturday, May 19, 2012

සාරන්‍යා 06 - අවසාන කොටස

මෙතනින් (සාරන්‍යා 01) 
මෙතනින් (සාරන්‍යා 02)
මෙතනින් (සාරන්‍යා 03)
මෙතනින් (සාරන්‍යා 04)
මෙතනින් (සාරන්‍යා 05) 

මට සංජය පිළිබද ඇතිවූයේ කියාගත නොහැකි තරහවකි. උදේ පාන්දරම මගේ දවස කා දැම්මා පමණක් නොව ඔලුවද විකාර කර දැම්මේය. සංජය කරන බොරුව ගැන මට ඔහුගෙන්ම ප‍්‍රශ්න කරන්න හිතුනත් එය හොරාගෙ අම්මාගෙන් පේන ඇසීමක් වන නිසා ඔහුට කතාකොට පලක් නැත. අනෙක් අතට සාරන්‍යාගේ කතාද පරස්පරය. මට එක්වරම සිහියට ආවේ විමාෂාය. ඇය සාරාන්‍යාගේ හොදම යෙහෙළියයි. එම නිසාම මගේද ළඟම යෙහෙළියක වී සිටියද සැලකිය යුතු කාලෙකින් ඇයට දුරකථන ඇමතුමක්වත් දීමට නොහැකිවිය. මෙම ගැටළුව ලිහාගැනීමට හොදම කෙනා විමාෂා බැවින් ලැජ්ජාව පසෙකින් තබා ඇයට ඇමතුමක් ගත්තෙමි.

"හෙලෝ විමූ..."


"දෙයියනේ... තාමත් අපේ නොම්මර ඔය ෆෝන්වල තියෙනවා එහෙනම්.."


"හරි හරි.. නෝන්ඩියට කතා කරන්න ඕනෙ නෑනෙ. පහුගිය දවස්ටිකේ එකදිගට වැඩ විමූ, කාටවත් Call එකක්වත් දෙන්න බැරි උනා. කොහෙද ඉන්නෙ, campus එකේද? "


"නැහැ අකිල නිවාඩු නිසා යාළුවෙක්ගෙ ගෙදර ආවා. ඒක නෙවෙයි, මුලින් කියලා ඉමුකො තකහනියක් අපිව මතක් උනේ මොකද කියලා. මට proposal එකක්වත් ගේන්නද? අනේ රජෝ දැන්නම් ඒකට too late, අන්න අපේ ගෙදරින් මට එකක් හොයලා..."

විමාෂා සුපුරුදු හිනාව සමගින් එකදිගට පැවසුවාය. ඇයගේ කතුරු කටනම් තවමත් වෙනස්වී නැත.

"අනේ මේ.. උඹට proposal ගේන්න මගේ ඇස් වපරයි කියලා හිතුවද? මම ගත්තෙ නම් පොඩි පණිවිඩයක් දැනගන්නත් එක්ක.."


"ආ... ඒ කියන්නෙ මේ අපේ දුක සැප බලන්න නෙවෙයි call කරලා තියෙන්නෙ..
කමක් නැහැ.. කමක්නැහැ.. කියමුකො බලන්න මොකක්ද කියලා.."


"හැබැයි විමූ ඔයා මට කිසිම දෙයක් හංගන්නෙ නැතුව ඇත්තම කියන්න ඕනෙ.."


"ආ... ඒ මොකක් ගැනද? "


විමාෂාගෙ කෙලිලොල් හඩ වෙනස්විය. මෙය බරකර කීවොත් මට ඇත්ත කතාව දැනගැනීමට හැකිවන්නේ නැත.


"නෑ.. නෑ.. ලොකු දෙයක් නෙවෙයි, campus එකේ මගේ යාළුවෙක් කිව්වා සාරන්‍යාට boy කෙනෙක් ඉන්නවා කියලා ඒක ඇත්තද? එයාගෙන් කෙලින් අහන එක හරි නැහැනෙ, ඒකයි ඔයාගෙන් ඇහුවෙ.."


විමාෂා නිහඩය. ඇය මේ ගැන සහසුද්දයෙන්ම දන්නවා විය යුතුය.

"විමූ.."


"ඔයා අප්සෙට් ගන්නැත්තම් මම උනදේ කියන්නම් අකිල, හැබැයි සාරන්‍යාම මේක ඔයාට කියනකං හිටියානම් තමයි හොද, මොකද නැත්තම් සාරන්‍යාත් මම ගැන වැරදියට හිතයි.."


"නැහැ විමූ.. මට ලොකු දෙයක් දැනගන්න ඕනෙ නැහැ. මට දැනගන්න ඕනෙ අපේ එකා කිව්වෙ පචයක්ද කියලා දැනගන්න විතරයි.මොකද ඒකා ඉදපු ගමන් හෙන බේගලුත් අතඅරිනවා"


මට අවශ්‍යවූයේ මෙය මට ඒතරම් ප‍්‍රශ්නයක් නොවන බව විමාෂාට ඇගවීමටය.

"හ්ම්... ඔයා දන්නවා නේද සංජය අයියාව? "


"ඔවු..  සාරන්‍යා මට ඒ දවස්වල ඉදන්ම කියලා තියෙනවා, රැග් සීසන් එකේදී සාරන්‍යාව ෂේප් කලෙත් සංජයනෙ.."


"ඔවු එයා තමයි. සාරන්‍යා සංජය අයියාට කැමති උනා.."


හද ගැස්ම වැඩිවූයේ ඇයිදැයි මමම නොදනිමි.


"ළඟදීද? "


මෙතෙක්වෙලා පූර්විකා දුන්නේ මේ ප‍්‍රශ්නය ඇසීමටයි.


"නැහැ.. අපි Batch Trip එක ගියපු දවසෙ.."

මම නිරුත්තර වීමි. මෙය විශ්වාස කල හැකි දෙයක්ද?


"ඔක්තෝම්බර්වල ගිය Trip එකද? "


"ඔවු අකිල.."


තවත් මොනවානම් අසන්නද? මේනම් මා දැනසිටි සාරන්‍යා වන්නට බැරිය. මට බොරු කෙරූ හේතුව කුමක් උවත් ඒ බොරුව වහන්නට මේ දින කිහිපයට පමණක් ඇය කිවූ බොරු තොගය ටොන් ගණනක්ය. මට සාරන්‍යා ගැන ඇති වූයේ තදබල පිළිකුලකි.


"විමූ.. මට office එකෙන් call එකක් එනවා, මම ඔයාට පස්සෙ ගන්නම්.."

මට තවදුරටත් විමාෂාත් සමග කතා කිරීමේ අපහසුවක් ඇතිවුණි.
 

"හරි අකිල, අප්සෙට් ගන්න එපා.."

"ඒක අප්සෙට් ගන්න දෙයක් නෙවෙයි විමූ, සාරන්‍යා කාවම උනත් Marry කරන්න එපැයි. මම ඔයාට නිවාඩු පාඩුවෙ ගන්නම්.."


මට සාරන්‍යා ගැන ඇතිවූ කලකිරීම කියා නිමකල නොහැකි එකකි. මේ තරම් කාලයක් ඇය කිවූ දේවල් බොරුබව තවමත් ඇදහීමටවත් නොහැක. ඇය කෙතරම් අහිංසකද. ගන්ධබ්බ අවස්ථාවක සිටින කලෙක මෙන් මාව පාවෙමින් තිබුනේ විශ්වාසය පිළිබදව ඇතිවූ කෙලවරක් නොමැති සංව්ගය නිසාය. සාරන්‍යා මේ තරම් හපන්කමක් කලේ කෙසේද? නොදැනීම පැයක් පමණ ගතවී ඇත. කරන්නම දෙයක් නැති තැන සාරන්‍යාට ඇමතුවත් ඇය දුරකථනය විසන්ධි කලාය. නැවත නැවතත් ඇමතුවත් ඇය විසන්ධි කලාය. වෙනදාට ඇය ඇමතුමක් විසන්ධි කරන්නේ දේශනයක සිටින විටදී පමණි. නමුත් අද ඇය නිවසේය. විනාඩි පහකට පසු කෙටි පණිවිඩයක් ලැබුණි.

Akila oya mokakda me ehatai mehatai call kara kara karanne? ayyath dan mata call karala hodatama benna. oyata one mage ayyawa mata nethi karannada? mata mage paduwe inna denna. mata hemadetama wada ayyawa watinawa.


සමාප්තයි !

"සාරන්‍යා" නමින් මෙතෙක් දිනක් දිගහැරුන කතාව අදින් අවසන්වෙයි. සාරන්‍යාලා, අකිලලා, සංජයලා ඔබත් මමත් ජීවත්වන සමාජයේ කෙතෙකුත් ඇත. ඇතැම්විට ඔබට මුණගැසීද ඇත. ඇතැම්විට ඔබ මින් එක් චරිතයක් වන්නටද ඇත. ඉදින් අප සාරන්‍යාලා, අකිලලා මෙන්ම ඔවුන්ගේ චරිත ස්වභාවයන්ද, ඔවුන්ගේ ආශාවන්ද, ඔවුන්ගේ බලාපොරොත්තුද තේරුම්ගෙන ඔවුන්ම සමගින් ජීවත්වමු.

නිරෝෂ් මෛති‍්‍ර
2012/05/19




Friday, May 18, 2012

ඓශ්චර්ය විදිමින්..



හෙට සැමරේවි
තවත් එක් දිනක්
උඹලාව
විකුණන් කන..
ලගින්නට වේවි
ගිණි අවුවෙ,
උන් ඉද්දි
ටෙන්ට් යට...

රටක් රැකි විරුවන්
අද නිදන් හොරුන්
ඔබ පිදු දෑතින්
ගසති අපම
පොල්...

එදා දෙමළාට දිග්වූ
කටපුච්චා..
අද සිහළ බෞද්ධයාට..
ඒ විතරක්ද,
දේශපේ‍්‍රමියාටත්..

එකම මවකගෙ
දරුවන් මරා,
අපි දිනූ කිරුළ
ඇස්පනා පිටය..

- නිරෝෂ් මෛති‍්‍ර -
2012/05/18

Sunday, May 13, 2012

ඔබා මාමේ.... උඹට නිවන් සුව....!!!



අදින් පසු ඔබා මාමාගේ Post නොවැටෙනු ඇත. Comments නොවැටෙනු ඇත. නමුත් සුන්දර මිනිසෙකු ලෙස ඔහු තැබූ සටහන් සදාකල් පවතිනු ඇත. අද සමස්ත බ්ලොග් පාඨකයන් සියලු දෙනාම අඩුම තරමේ ඔහු වෙනුවෙන් සුසුමක් හෝ හෙලති. මන්ද ඒතරම් ඔබා මාමා බ්ලොග් ලියන්නන් අතර ජනපි‍්‍රය චරිතයක් වූ බැවිනි. බ්ලොග් පාඨකයන්ගේ සිනාසෙන රූප අද සුදු කොඩි බවට හැරී ඇත. ඇත්තෙන්ම බ්ලොග් ලියන්නන්ගේ එකමුතුකම ගැනනම් ඉතාමත් සතුටුය.
බ්ලොග් ලියන්නෙක් වෙනුවෙන් මේතරම් එකමුතුවක් මින් පෙර දුටුවේ අවස්ථාවන් දෙකකදී පමණි. එක් අවස්ථාවක් නම් ඉලන්දාරියා අසනීපවී සියලු දෙනාම එක්ව ඔහු වෙනුවෙන් මුදල් එකතු කල අවස්ථාවයි.
අනික නම් ටැබූගේ බ්ලොගය හැක් කර විනාශ කර දැමූ දිනයයි.කෙසේ වෙතත් අප අතරන් හදිසියේ වෙන්වූ සොදුරු මිනිසාට හදවතින්ම නිර්වාන සුවය ප‍්‍රාර්ථනා කරමු.

ඔබ මාමාගේ වියෝව ගැන අන්තර්ජාලයේ පලවී තිබූ කදුළු බින්දු කිහිපයක්...

 -   හඳුනාගත් දින පටන් අප සතුටින් තැබූ පිනෙන්ම
සනත් (ඔබ්සවර්)
අයියේ නුඹට නිවන් සුවයම ලැබේවා..!

 - ආදරණීය සනත් විජේවර්ධන හෙවත් ඔබා මාමේ...ඔබට අජරාමර නිවන් සුව!

- ආයෙත් මගෙ තියා කාගේවත් පෝස්ට් කියවීමට ඔබා මාමා එන්නේ නැත....
                            දයාබර සහෘදය ඔබට නිවන් සුව!!!
අද බුකිය පාළුයි...
ජෝක් නෑ...
ආතල් නෑ...
මඩ නෑ...
කොටින්ම චැට් එකේ කතාබහත් නැවතිලා...
ඇත්තටම ඔබා මාමේ,
ඔයා යන්නම ගිහින් කියලා කොහොම හිතන්නද?
අනේ,
ආයෙත් අද හෙටම අපේ පැත්තෙ ඇවිත් යන්න එන්න...
අළුත් පෝස්ට් එකකුත් ලියාගෙන...
ඔයාගෙ කමෙන්ට් එක වැටෙනකම්
අපේ බ්ලොග් සියගණනක් බලාගෙන ඉන්නවා ඔබා මාමෙ...
ඉතින්,
නිවන් දකින්නට කලින් එකම එක සැරයක්...
අපේ පැත්තෙ ඇවිත් යන්න එන්න...
ජීවිතේ එකම එක වරක් දැකපු..
හැබැහින් වචන කීපයකට වඩා කතා නොකරපු
උඹ සදහටම වෙන්වෙලා කියල ඇහුවාම
මගේ පපුව හිර උනේ ඇයිද කියල මම තාමත් දන්නෙ නෑ...

බ්ලොග් ලෝකෙට අලුත් එකෙක් විදියට
වෙන උන්ගෙ බ්ලොග් කියවගෙන යද්දි
සමහර පෝස්ට් වලට වඩා.. උඹේ කමෙන්ට් කියවන්න මම ආස කරා...

මමත් බ්ලොග් එකක පටන් ගත්තාම
උඹේ කමෙට් එකක් වැටුන දවසෙ
ඒක මට මහා ලොකු කමක් උනා...

ඒ උඹ මගේ හිතේ එච්චර " පොරක් " වෙලා ඉදපු නිසයි...


උඹ පොරක් උනේ වයස් සීමාවෙන් වෙන් කරන්න බැරි වෙච්ච යාලු කමට...
උඹ පොරක් උනේ හිතවත්කමට....
උඹ පොරක් උනේ මනුස්ස කමට....

එදා උඹත් එක්ක හිනා උන හැමෝම
ඇස්වල කදුළු පුරෝගෙන
බලාගෙන ඉදිද්දි...
තව ටිකකින්
උඹ හිනාවෙලාම යන්න යාවි....

උඹ විතරක් හිනා වෙද්දි
අපි ඔක්කොම අඩාවි...
අද ඉදං... බ්ලොග් අවකාශයේ හිනාව අඩුවේවි....

ඔබා මාමේ....
උඹ අපේ හිත් තුල හැමදාටම අමරණීයයි..... 

උඹට නිවන් සුව....!!!



දයාබර පාඨකයිනි,
අප සියල්ලන්ගේම හදවත් කම්පනය කළ ඔබා මාමාගේ හදිසි නික්මයාම හේතුවෙන් "අයියෝ සල්ලි" බ්ලොග් අඩවියෙහි සතියකට පමණ අළුත් පෝස්ට් පළ කිරීමෙන් වැලකී සිටීමට අප තීරණය කර ඇති බව දැනුම්දෙනු කැමැත්තෙමු.

ස්තුතියි...


 


ඔබා මාමාගේ බ්ලොගය http://observer-nireekshaka-observer.blogspot.com


- නිරෝෂ් මෛත‍්‍රි -
   2012/05/14
 

Tuesday, May 8, 2012

බයයි - බදින්න වෙන ගෑණි ගැන


ඉරේෂා call කලාද?
- ඔය ගත්තෙ දැන් ටිකකට කලින්..
 මොකද බං ඕනවට එපාවට වගේ ?
- අනේ බං දැන් කතා කලත් එකයි, නැතත් එකයි..
ඇයි ඒ ?
- ඒකි නොගත්තොත් චතුරි ගන්නවා, දෙන්නම නොගත්තොත් නිකං ඉන්නවා..
උඹ මාර පොරක්නෙ !
- මාර තමයි බං. මොකා එක්ක හිටියත් ඉස්සර වගේ Love Feelings දැන් එන්නෑ බං.
ඇයි ඒ ?
- බොක්කෙන්ම Love කරපු එකී දාලා ගියාට පස්සෙ දකින දකින කොයි වත්තට හරි පැනලා උලා කෑවා මිසක්, සිරා වෙන්න හිතෙන්නෙම නෑ බං.

හ්ම්..
- ඒත් මට බයයි බං..
ඒ මොකෝ ?
- මෙහෙම තිරිසන් වෙලා ආයෙ මොකෙක් ගැනවත් ඇත්තට ආදරයක් නොදැනෙයි කියලා..
ආ.. දැන් ඒකද උඹට තියෙන බය ?
- බය මං ගැන නෙවෙයි මචං..
එහෙනම් ?
- මම හොයාගත්තෙ නැතත් ගෙදරින් හරි හොයලා බන්දලා දෙන ගෑණි ගැන..



- නිරෝෂ් මෛති‍්‍ර -
    2012/05/08 



මම දැන් රැඩිකල් (18 +)



නිමිත්ත : මම තේරුම්ගත්තා බං රැවුල වවලා විප්ලව කරන්න බැහැ කියලා, ඒ හින්දා කැපුවා.

"මාක්ස්  කියා මට කියන්න"
මං හරි ආසයි...
'වෙඩ්ඩා' වගේ කවි ලියන්න
මං හරි ආසයි...
'ෆ්‍රොයිඩ්' වගේ ලෙඩ හොයන්න
මං හරි ආසයි...
"අනේ මාව පොර කරන්න"
මං හරි ආසයි...

මොන විප්ලව කෙරුවත් මම
පිටු පිරෙන්න ලිව්වත් මම
ආසයි මම මටම කියා
පොෂ් කෙල්ලෙක්
ඉන්නවානම්...

හැබැයි ඔයා බැහැ කිව්වොත්
ෆැන්ටසියෙන් ඇද දැම්මොත්
නියම ලෙනින් කවුද කියා
පෙන්නමි මම අම්මාටත්...

බඩුව උඹයි මම *කාපු
පෙට්ටි පොඩ්ඩ මම කඩාපු
හෙළුවැල්ලෙන් ගංවතුරේ
පීන පීන කිති කවාපු...

"ඒකි ඇන්දෙම රෝස පාට"
"ටොයිලට් ගියෙත් මට කියලා"
"ඇනගන්නමයි ආස"
"මම නෑනෙ ඉතිං ඕවට..."

"තේරෙනවා නේද බොලාට"
"දැන් පිප්පුවාට ඔය *ත්ති"
"මම නැතුව ඕකිට
රෑට නින්ද ගියෙත් නෑ..."

අපිත් කරමු විප්ලවේ..
පෙළ ගැහෙන්න යාලුවේ..
එතකොට උඹටත් කියාවි,
"දැන් ඌ රැඩිකල්..."

- නිරෝෂ් මෛති‍්‍ර -
2012/05/08

Sunday, May 6, 2012

සාරන්‍යා 05

මෙතනින් (සාරන්‍යා 01) 
මෙතනින් (සාරන්‍යා 02)  
මෙතනින් (සාරන්‍යා 03)  
මෙතනින් (සාරන්‍යා 04)  

 දිගුවේලාවක් දුරකථනය නාදවීමෙන් අනතුරුව සාරන්‍යා සම්බන්ධ විය.

"ඔවු අකිල.."

"මට පොඩ්ඩක් කතාකරන්න පුළුවන්ද? "

"Sure.."

කොහෙන් පටන්ගෙන මොනවා අහන්නදැයි මටම නොතේරේ.

"සංජය මට Call කලා.."

"ආ.. අයියා ඔයාට ගත්තද? ඒ කියන්නෙ දැන් දෙන්නා යාළුවො.."


සිහින් සිනාවක් සමගින් සාරන්‍යා කීවාය. 'ඔවු  ඕනවටත් වඩා' යැයි කියන්නට සිතුණි.

"සාරන්‍යා මම ගත්තේ ඔයාගෙන් පොඩි දෙයක් අහන්න, ඔයා මට ඇත්තම කියනවානම් මම කැමතියි.."


"ඒ මොකක් ගැනද? "


"ඔයාගෙ Affair එක පටන් ගත්තෙ ඊයෙ ඉදන් නෙවෙයි නේද? "


ක්ෂණික පිළිතුරක් බලාපොරොත්තු වූවත් එය තත්ත්පර දහයකටත් වඩා ප‍්‍රමාද විය.


"ඇයි අකිල එහෙම අහන්නෙ? "


වෙලා අරගෙනද ඇය දුන්නේ උත්තරයක් නොව තවත් ප‍්‍රශ්නයකි.


"ප‍්‍රශ්නෙකට ප‍්‍රශ්නෙකින් උත්තර දෙන්නෙපා සාරන්‍යා, ඇත්තම කතාව ඔයාගෙ Affair එකට දැන් මාස 03ක් වෙනවා, මම හරි නේද? ඇත්ත කිව්වනම් ඔයාට පවු පිරෙනවද? "


"ඇයි අකිල මේ කලබල වෙලා,ඔයාට පිස්සුද, මොනාද මේ කියවන්නෙ.."

තවමත් මට ලැබෙන්නේ උත්තර නොව ප‍්‍රශ්නය.


"මේකයි සාරන්‍යා.. මට ඒක කවදා පටන්ගත්තත් කමක් නැහැ, ඒත් මට දැනගන්න  ඕනෙ මෙච්චරයි, ඔයාට මට බොරු කියන්න තිබ්බ උවමනාව මොකක්ද? "


සාරන්‍යා අද පිළිතුරු දීමට වැඩි කාලයක් ගැනීම මට මහත් කුතුහලයකි.

"දැන් කවුද ඔයාට ඔය බොරුව කිව්වෙ? "


"කිව්වෙ ඔයාගෙ අයියා .."


සාරන්‍යා නැවතත් නිහඩය.


"මේ මොන විකාර කතාවක්ද? ඉන්න මම එයාගෙන් අහන්නම්. අනික ඔයාට මට වඩා දැකලාවත් නැති කෙනෙක් ලොකු උනාද? "


ඇයව තවමත් මට උවමනාටවත් වඩා විශ්වාසය. සාරන්‍යා අසනීප වූ දින සිට මා ඇයගේ සතුට වෙනුවෙන් නොකල දෙයක් නැත.ඇය කැමති කෙනෙකු සමගින් නැවත සම්බන්ධයක් ඇතිකරගැනීමට ඉඩදී මා හිත හදාගත්තේද ඇයගේ සතුට වෙනුවෙනි.


"ඔයාලා කැමති දෙයක් කතාබහ කරගන්න. මට ඕනඋනේ හැමදේටම ඉඩදීපු මට ඔයා බොරුකිව්වද කියලා දැනගන්න විතරයි.."


"මම ඔයාට බොරු කරනවද අකිල.."


"හ්ම්.. මට ඔයාව විශ්වාසයි.."


"ඒකනෙ.. පිස්සු විකාර හිතන්න එපා, උදේට කාලද ඉන්නෙ?

"තව නැහැ සාරන්‍යා.."

"හරි එහෙනම් දැන් ගිහින් කන්න, මම අයියාට Call කරලා දවල්වෙලා ඔයාට ගන්නම් හොදද..
ආ... කියනකොටම එයා මට ගන්නවා. මම එහෙනම් තියන්නම් අකිල,අනං මනං හිතන්න යන්නෙපා.
බුදු සරණයි..."


"බුදු සරණයි.."


සංජය මට බොරු කියන්නට ඇතැයි කියා සිත හදාගන්නද? සාරන්‍යා මට අවිශ්වාස කිරීමට තරම් දෙයක් මේවන තුරුත් ඇය මට කර නැත. නමුත් මගේ සිතට නැගෙන්නේ විස්තර කිරීමට නොහැකි ගුප්ත ස්වභාවයකි. සාරන්‍යාට මෙන්ම සංජයටද මාහට බොරුකිරීමට ඇති අවශ්‍යතාවය කුමක්ද? මට නැවත මතක්වූයේ සංජයගේ අංකයයි.දුරකථනය අතට ගෙන Received call List එකේ සංජයගේ අංකය නැවත බැලූවෙමි. මට හීන් දාඩිය දැම්මේ එවෙලෙහිය. සාරන්‍යාගේ අංකයෙන් අවසන් අංක දෙකෙන් පමනක් වෙනස් වන ඔහුගේ අංකය නිසැකයෙන්ම කපල් පැකේජ් එකක් වන්නට ඇත. සාරන්‍යා නව අංකය භාවිතා කරන්නට ගත්තේද මීට මාස දෙකකට පමණ පෙර සිටය.එසේනම් සාරන්‍යා මට මේ කියන්නේ ගල් පැලෙන බොරුද?

(මතු සම්බන්ධයි)
මීළඟට...සාරන්‍යා අවසාන කොටස 

- නිරෝෂ් මෛති‍්‍ර -
2012/05/06


මෙතනින් සාරන්‍යා 06 - අවසාන කොටස  


Thursday, May 3, 2012

බෲටස් නම් ඔහු (18 +)


හිස්ටීරියාකාරයෙකු,
මාක්ස්වාදියෙකු,
විප්ලවවාදියෙකු,
ශ්‍රේෂ්ඨ චින්තකයෙකු,
ලෙස

ඔබ මා දකිනවානම්
මා සතුටුය..
මේ ගොන් හරක්
මට දෙන ගරු නම්බු දැක,
මගේ අග්නාශය 

නලියයි..
පුරහ්ස්ථි ග්‍රන්ථියයෙන්
ස‍්‍රාවයක් 

වෑහෙන්ට ගනියි..
අවසානයේ මා 

පුදුමාකාර 
සංප්‍රමෝදයකින්,
සුරාන්තයේ අවසන් 

මුදුනට පැමිනෙයි..
ආහ්...
දැන් මට අනුව මා පොරකි,
copy නොකරන,

අලූත් දේ කරන,
මා පොරකි..

කෙතරම් පොරක් වීද යත්,
මිතුරු වේශය නම්,
ඊනියා ඔළුබක්කා දමාගෙන
මා ඔබට අනින්නේ
පපුවට නොව
පිටටය..


"Sorry මචං, මට හුරු එහෙම 
අනින්න විතරයි.ගනන් ගන්න එපා"
හහ්.. හහ්.. හා...

- නිරෝෂ් මෛති‍්‍ර -
2012/05/04

 

Tuesday, May 1, 2012

සාරන්‍යා 04



මෙතනින් (සාරන්‍යා 01)  
මෙතනින් (සාරන්‍යා 02)  
මෙතනින් (සාරන්‍යා 03)  

අදනම් පුදුමාකාර දිනයකි. ඇහැරුන වෙලේ ඉදන් ඇහෙන්නේ හතරබීරි කතාය. සංජය නම් නිගන්ඨයා මේ ඇද බාන්නේ ගල් පැලෙන බොරුවක්ද? මාස 03ක් වන පේ‍්‍රම සම්බන්ධතාවයක් සාරන්‍යා මගෙන් වසන් කරන්නේ අහවල් එකකටද? එසේ කිරීමට ඇයට ඇති උවමනාව කුමක්ද? අනෙක කිසි දිනෙක දැක නැති පුද්ගලයෙකුගේ ඇමතුමකට මා කලබලවන්නේ ඇයි...

"මම හිතන්නේ සංජය හොදට විහිළු කරන්නත් දන්නවා..."


"මොන විහිළුවක්ද, මේවා විහිළුවට ගන්න ඕන දේවල් නෙවෙයිනෙ අකිල,
කවුද ඔයාට කිව්වෙ ඊයෙ සාරන්‍යා මට කැමතියි කිව්වා කියලා? සාරන්‍යාද ? "


"නැතුව ඉතිං කැම්පස් එකේ VC මට කතා කරන්නෙ නැහැනෙ සංජය.."


"සාරන්‍යා ඇයි එහෙම බොරුවක් ඔයාට කිව්වෙ.. සාරන්‍යා මට කැමතියි කිව්වෙ අපි Batch Trip එක ගියපු දවසෙ, ඒ මීට මාස තුනකට කලින්. ඒක මුලු Batch එකම දන්නවා.."


"සංජය ඔයා ඔය ඇත්තමද කියන්නෙ? 

බැරිම තැන මම ඇහුවෙමි.


"මම ඔයාට බොරු කියලා කඩන්නවත් ඔයාලගෙ දැන් affair එකක් නැහැනෙ අකිල, සාරන්‍යා කොහොමටත් මගේ, එහෙම එකේ ඇයි මම ඔයාට බොරු කිය කියා කාලෙ නාස්ති කර ගන්නෙ? එයා මට හරිම ආදරෙයි.."


මටනම් මෙහි අගක් මුලක් නොතේරේ.

"කැම්පස් එකේ කැන්ටිමේ කෑම කටේ තියන්න බැහැ. දවසක් මම ඕක සාරන්‍යාට කිව්වා. පහුවෙනිදා ඉදන් එයා හොස්ටල් එකේ උයලා මටත් කෑම එකක් දෙනවා. ඊයෙ ජිම් එකේදි පොඩි තැලීමක් උනා. හවසම එයා ඇවිත් ඇස්වල කදුළු පුරවන් බාම් ගාලයි ගියේ.. එහෙම එකේ මම ඔයාට බොරු කියලා මොනා කරන්නද? අනෙක ඉතිං ඔයාටම මේක අහන්නත් පුළුවන්නෙ.එයා ඔයාට කතා කරනවනෙ"

පොලු පාරක් වැදුන කලෙක මෙන් මම තෝන්තුවී ගියේය. බත් උයාගෙන කන්න බැරිනම් කෝම්පිට්ටු හදන් කෑවත් මට කමක් නැත,මන්ද මම නැති උවද සාරන්‍යාටද ජීවිතයක් තිබුය යුතු නිසාවෙනි. නමුත් සාරන්‍යාට මට බොරු නොකර ඉන්නට තිබුනි. මේවන තුරුත් කවදාවත් ඇය මට බොරුකියානම් නැත. සංජය කියනවාක් මෙන් ඔහුටද මට බොරුකීමේ අවශ්‍යාතාවයක් නැත. කවදා පටන්ගත්තද දැන් ඔවුන් පෙම්වතුන්ය. මෙතන ඇත්තේ මට 'අයියේ' කියලා කතා කරන්නද සූදානම් වූ සාරන්‍යාගේ බොරු කලේ ඇයිද යන උබතෝකෝටික ප‍්‍රශ්නයයි.

"මම හිතන්නෑ සංජය සාරන්‍යා ඒ තරම් බොරුවක් මට කියයි කියලා, ඔයා ෆෝන් එක තියන්න. මම එයාට ගන්නම්"


මට තවමත් සාරන්‍යා විශ්වාසය.


"ඔයා ඇහුවත් නැතත් මම එයාගෙන් අහනවා, මොකද මටත් ලැජ්ජයිනෙ මේ කතාව ඇත්තනම්. මම තියනවා අකිල.."


"ok bye..."

මම තත්පරයක්වත් නාස්ති නොකර සාරන්‍යාට ඇමතුවෙමි. පාන්දරම ඔළුව විකාරවී උතුර දකුණ මාරුවී ඇත.අද ඇයගේ දුරකථනයේ Ringing Tone එකකුත් වාදනය වෙයි .

'Tujh mein rab dikhta hai
Yaara mein kya karu..'



"Rab Ne Banadi Jodi.......... "

(මතු සම්බන්ධයි) 


- නිරෝෂ් මෛති‍්‍ර -
2012/05/02


මෙතනින් (සාරන්‍යා 05)  
මෙතනින් (සාරන්‍යා 06)  


Sunday, April 29, 2012

සාරන්‍යා 03



මෙතනින් (සාරන්‍යා 01)
මෙතනින් (සාරන්‍යා 02)

නිවාඩු දින ගත කිරීමට සිටි සැහැල්ලුව සතුට උදෑසනින්ම සාරන්‍යා විසින් උඩුහුලගේ පා කළාය. ඒ මදිවට දැන් අයියලා එක්කත් යාළු මිත‍්‍රකම් පැවැත්වීමට සිදුවී ඇත. වෙන දෙයක් වෙන්න කියා මම දුරකථනය අතට ගත්තෙමි.

"හෙලෝ.."


"මේ අකිලද? "


මගේ දුරකථනයට
නම් ඇමතුවේ "මම අකිල නැතුව තොගෙ ***ද" අහන්න සිතුනත් ආයාසයෙන් එය මැඩගත්තේ අනෙක් පසෙන් ආවේ නොදන්නා හඩක් නිසාවෙනි.

"ඔවු අකිල තමයි.. මේ කවුද? "


"මම සංජය.. සාරන්‍යා නංගි කියන්න ඇති නේද මං ගැන "


මේ සාරන්‍යාගේ පෙම්වතා වන්නට ඇත. දැන් මම මොනවා කතාකරන්නද?


"ආ ඔවු සංජය.. මට කියලා තියෙනවා ඔයා ගැන.. ඉතින් කොහොමද? "


"වරදක් නැහැ අද වැඩද? "


"නැහැ සංජය.. අද off එක"


සංවාදයක් පවත්වාගෙන යාමේ පිරියක් මට නැත. එබැවින් කටට එන්නේම කෙටි පිළිතුරුය.


"සංජයට මට කතා කරන්න ඕනෙ කිව්වෙ විශේෂ දේකටද? "


"නැහැ එහෙම විශේෂ දෙයක් නැහැ.. මට සාරන්‍යා ඔය දෙන්නාගෙ සම්බන්ධෙ ගැන කියලා තියෙනවා."

'ඉතිං' කියලා අහන්න සිතුණි. සංජය කතා කරන විලාශයට මට හිනා යන්නටම එයි. දකුණු පළාතේ උග‍්‍ර ග‍්‍රාමීය ප‍්‍රදේශයක හැදුන කෙනෙක්වත් මෙතරම් ඇද ඇද කතාකරන්නේ නැත.


"සංජය කොහෙද? "


"මම මාතර.."


අයියෝ සල්ලි. මම හිතුවා හරියටම හරිය..


"ඔයාලගේ සම්බන්ධෙ කොච්චරකල් තිබුනද? "


"අවුරුදු දෙකක් විතර සංජය.."


"ලොකු කාලයක් නේද? "


"හ්ම්.."


"එතකොට ඔයාලා අතර තිබුනේ මොනවගේ සම්බන්ධයක්ද? "


අනේ මගේ කටට එන දේවල් ඇයි දෙයියනේ නිදහසේ කියන්න ඉඩක් නැත්තේ.. අඩුතරමේ නිදහසේ සිනාසෙන්නවත්.. සාරන්‍යාත් මාත් අතර තිබුනේ මාපිය දූදරු සම්බන්ධයක් කියා කියමුද?


"මට තේරුන්නෑ සංජය ඔයා අහනදේ ගැන.."


"නෑ මම කියන්නෙ මේකයි.. මටත් මීට කලින් සම්බන්ධයක් තිබුණා. අපි දන්නවනෙ ඉතිං, ඒවගේ දෙකදි මොනවා මොනවද වෙන්නෙ කියලා.. ඔයත් කොල්ලෙක් මාත් කොල්ලෙක්නෙ, ඒ ගැනයි මම ඇහුවෙ.."

මූ නම් මාරම පොරකි. යකඩෝ දැකලාවත් නැති මගෙන් අහන ප‍්‍රශ්න. අනික මේකට මෙච්චර හයියක්..


"මේකයි සංජය, ඔයා අහන්නෙ තේරුමක් නැති ප‍්‍රශ්නයක්. අපේ affair එක ඇතුලෙ මොනවා උනත්, ඒක දැන් අදාල නැහැනෙ. සාරන්‍යා දැන් ඉන්නෙ ඔයත් එක්ක. ඔයාට එයා හොද නිසා වෙන්න ඇතිනෙ ඔයා එයත් එක්ක affair එකක් පටන් ගත්තෙ.. ඊයෙ ඔයා මෙච්චර දවස් සාරන්‍යාගෙන් අහපුදේට උත්තර ලැබුනනෙ. ඒනිසා දැන් ඔය දෙන්නා හොදින් ඉන්න. පරණ කුණු අදින්නෙ නැතුව. ඔයවගේ නැති ප‍්‍රශ්න අදින එක ඔයාට ඇති වැඩකුත් නැහැ, මටත් ඇති වැඩක් නැහැ.."


තරමක ආවේගයෙන් නමුත් පැහැදිලි හඩින් මම එක දිගට කීවෙමි.


"තරහ ගන්න එපා අකිල.. මම නිකමට ඇහුවෙ, අනික ඔයා මොකක්ද මේ කිව්වෙ ඊයේ උත්තර ලැබුන කතාවක්? "


"මම මොකක්ද කිව්වෙ කියන්නෙ? සාරන්‍යා ඊයෙනෙ ඔයාගෙ යෝජනාවට කැමති උනේ, ඒ ගැනයි මම කිව්වෙ.. "


"අකිලට පිස්සුද?  සාරන්‍යාගෙයි මගෙයි සම්බන්ධෙට අනිද්දට මාස තුනක්..."


(මතු සම්බන්ධයි)  

- නිරෝෂ් මෛති‍්‍ර -
2012/04/29
  

මෙතනින් (සාරන්‍යා 04) 
මෙතනින් (සාරන්‍යා 05)  
මෙතනින් (සාරන්‍යා 06) - අවසාන කොටස


Friday, April 27, 2012

සාරන්‍යා 02



 මෙතනින් (සාරන්‍යා 01) 

එදින නිවාඩු දිනයක් වූ බැවින් ටිකක් වැඩිපුර නිදගන්නට ලැබුණි. අද කරන්නට විශේෂ යමක් නොතිබූ බැවින් තවත් ටික වෙලාවක් ඇදේ දිග පලල මැන්නේය. ජංගම දුරකථනය බෙරිහන් දෙන්නට වූයෙන් මිනුම් කටයුතු නිමාකරන්නට සිදුවිය.ඉස්සර දුරකථනය නාදවීම තරම් පි‍්‍රයජනක සංගීතයක් තුන්ලෝකයේම නැතත් දැන්නම් එය දස වදයකි. නිදිමතේම අතපතගා දුරකථනය ගෙන බලන විට ඇමතුම සාරන්‍යාගෙනි. එක්වරම හිත අතීතයට දිව ගියේය.

"ගුඩ් මෝර්නින් මහත්තයෝ.."

"මෝර්නින්.. මෝර්නින්.. ඇයි දෙයියනේ මහ පාන්දර,
ඔයාට නින්ද යනවා හොරයිද? "
 

"හොද පාන්දර, නැගිටිනවා කම්මැලියා..
දැන් වෙලාව අටයි, කීයටද ක්ලාස් යන්නෙ..
 

"අනේ මට බැරියෝ... මම තියනෝ......"

වෙනදාට ඇහැරෙන්නේ ඇගේ ඇමතුමෙනි. නින්දට යන්නේද ඇගේ ඇමතුමෙනි. දැන් ඒ මල්සමය නිමවී බොහෝ කල්ය.

"ගුඩ් මෝර්නින්"
 

වෙනසකට ඇත්තේ දැන් අමුවෙන්ම ගුඩ් මෝර්නින්ය.ඉන්පසුව විශේෂණ පදත් සමග කියැවෙන මගේ නම නැත.
කෙසේ උවද ඇගේ හඩ වෙනදාටත් වඩා ප‍්‍රබෝධමත්ය.

"ගුඩ් මෝර්නින්.. ඇයි මේ ගොඩ කාලෙකින් උදේම call කලේ? "


"ඔයා නිදාගෙනද හිටියේ? Sorry අකිල.. මම පොඩි පණිවිඩයක් කියන්න ගත්තෙ.."


"නෑ ඒකට කමක් නැහැ, ඔයා කියන්න.."


පණිවිඩය පොඩි එකක් වන්නට බැරිය.


"අකිල ඊයෙ මම අරක ගැන තීරණයක් ගත්තා. පස්සෙ අයියාට මම ඒ ගැන කිව්වා"

"මොකක් ගැනද? "


"එයා අහපු දේ ගැන,මම ඒකට කැමතියි කියලා"


මෙය නම් සොදුරු උදෑසනකි.ඉබේම ඇදේ ඉන්දවුනි. දැන් මම මොන ආකාරයේ පිළිතුරක් දෙන්නද?


"අකිල.."


"ඔවු කියන්න"


"ඔයා අහගෙනද ඉන්නෙ.."


"හ්ම්..."


"ඔයා දුකෙන්ද? "


ඇයට මගේ වෙනස තේරෙන්නට ඇත.ඇය වසර දෙකක් කුළුදුලේම ඇසුරුකල පිරිමියා මමය.


"නැහැ සාරන්‍යා.. තාම නිදිමතේනෙ, ඒකයි. ඔයා හිතලා බලලානම් තීරණය ගත්තෙ, මම wish කරනවා ඔයාට.. හොදින් ඉන්න.."


"මම අයියට ඔයා ගැනත් කිව්වා. එයා කිව්වා ඔයත් එක්ක කතා කරන්න  ඕනෙ කියලා.."


මේ මොන හෙණ ගෙඩියක් පහත් වෙන්න එනවාද? ප‍්‍රශ්න ගොඩක වැටී කොහොල්ලැ බබා බදාගත්තාක් මෙන් ඉන්න මට නැති ප‍්‍රශ්නය.

"ඒ මොකද.. ඒ මාත් එක්ක මොනවා කතාකරන්නද? "


"විශේෂ දෙයක් නෙවෙයි, යාළුවෙක් වගේ කතා කරන්න. මම කැමතියි ඔය දෙන්නා යාළුවො වෙනවානම්"


මගේ කටට ආවෙ කුණුහරුපය.සිල්ගත්ත නයාගේ කතාව සිහියට ආවේ නිරායාසයෙනි. ඒත් ඇයගේ සිත රිදවීමට නොහැකිය.අනික ඒකත් එක්ක කතා කලා කියලා මම මැරෙනවායැ.


"අයියා දවල්වෙලා ඔයාට ගනියි, කතා කරන්න හොදේ..."


මම නිරුත්තරය.සාරන්‍යාට කැමැත්තකට ඉඩදුන් මට ඇගේ අළුත් පෙම්වතා සමග කතාබස්කර මිතුරුවන්නට කියන්නේ ඇයි? අවංකවම ඇයට ඇත්තේ ඒ උවමනාවද? නැත්නම් මා රිදවීමටද? අප වෙන්වූයේ අපට අප නොගැලපෙන බව තේරුම්ගත් නිසාවෙනි.සාරන්‍යාත් මාත් ඒ දිනවල අසීමිතව රණ්ඩු උනෙමු. හේතු ඇතුව රණ්ඩුවූ අප පසුකාලීනව අහේතුකව රණ්ඩුවන සිල්ලර තත්ත්වයට ඇද වැටුණි.නමුත් කිසිදිනෙක සාරන්‍යා මා හැර නොයන බවට මා තුළ දැඩි විශ්වාසයක් විය.ඒ විශ්වාසය නිසාම බියෙන් සැකෙන් තොරව මා ඇය සමග සිත්සේ රණ්ඩුවිය.මට අවශ්‍යවූයේ මා කැමති දේ පමණක් සාරන්‍යා කරනු දැකීමයි.එය කෙතරම් අසාධාරණ හැසිරීමක්දැයි මා තේරුම් ගන්නා විට සාරන්‍යා මට සැතපුම් සිය ගණනක් දුරින්ය.කෙතරම් රණ්ඩු සරුවල් උවත් සාරන්‍යා හට මා අසීමිතව ආදරය කලේය.ඒ ආදරය ආත්මාර්ථකාමීවූ තැන බහින්බස්වීම් ඇතිවූයේ මගේම පවකට විය යුතුය.


පැයකට පමණ පසු නැවතත් නොදන්නා අංකයකින් ඇමතුමකි.එම අංකය සාරන්‍යාගේ අංකයට බොහොදුරට සමානය.වෙනස ඇත්තේ අවසන් අංක දෙක පමණි.


(මතු සම්බන්ධයි)

- නිරෝෂ් මෛති‍්‍ර -
2012/04/27 


මෙතනින් (සාරන්‍යා 03)
මෙතනින් (සාරන්‍යා 04) 
මෙතනින් (සාරන්‍යා 05)  
මෙතනින් (සාරන්‍යා 06) - අවසාන කොටස  


Wednesday, April 25, 2012

තත්සරණි



දරයත්
සහෝදරත්වයත්
අතර
අපැහැදිලි සෙනෙහස...
විටෙක නැගෙමින්
විටෙක බිදෙමින්
නැගෙන
රළපෙළ...
මිටින් මුදා හළද
හැරදමා නොගිය
සෙනෙහස...
නිබද බෝ
ස්නේහයෙන්
ඡායාව මෙන් රැදුන
ගැහැණිය...
උස් මුදුනක
මා වැජඹෙන්නට
සිහින දුටු
හදවත...
නමක් නැති
නෑකමට
නම් සොයා
ළතනොවෙමු
ඔබ මිහිර
පද වැලක්ය
....................

- නිරෝෂ් මෛත‍්‍රි -
2012/04/26



 

Sample text

Sample Text